Wednesday, December 12, 2012

ඈත පලාත්වල ජීවිත - 2


මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. (අරමුණ බදු වලින් නිදහස් වෙන එක වුනත් ප්‍රතිඵලය හොඳ දෙයක්)

මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොණරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණ. මොකද ඒ කිට්ටුව තිබුණ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල පෝෂක පොඩි පොඩි කැලෑ කුට්ටි වලට ත්‍රස්තයො රිංගගෙන කියල කටකතාවකුත් ගියා. ඒ කතාව සනාථ කරමින් ඊට සැතපුම් කිහිපයක් දුරින් තිබුණ වීරවිල පන්නෙගමුව කියන ගමට කොටි ගැහුවෙත් ඔය දවස්වල. 

අතින් කාල හරක් බලන වැඩක් උනත් පිනට ඉගෙන ගන්න එකේ රටට ලෝකෙට වැඩක් කරන්නත් ඕනි නිසා මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.

ඉතින් දේශන එහෙම අඩු දවසක් බලල ඉස් ඉස්සෙල්ලම ඒ ඉස්කෝලෙ හොයාගෙන ගියා. පයින් නම් යන්න වුනෙ නැති වුනාට බස් එකක් එනකම් සෑහෙන වෙලාවක් තැපල බොහොම අබල-දුබල බස් එකකින් කැඩිච්ච පාරක සැතපුම් කිහිපයක් ගමන් කරල කොහොමහරි ඉස්කෝලෙට යාගන්න පුළුවන් වුනා.

මම බස් එකෙන් බැහැල ඉස්කෝලෙ කඩුල්ල ළඟට ගියා. දන්නවනෙ ඉතින් පොඩි ඉස්කෝලවල ඔය සද්ද දාන සෙකියුරිටි අංකල්ල එහෙම නෑනෙ. ස්වේච්චාවෙන් සේවය කරන ළමයෙක්ගෙ අම්ම කෙනෙක් යයි සිතිය හැකි ගැමි කාන්තාවක් මාව ගෞරවයෙන් පිළිගත්ත. විස්තරේ කිවුවට පස්සෙ මට එක්සර්සයිස් පොතක අත්සන් කරන්න කියල කාර්යාලය පෙන්නුව.

විදුහල්පතිතුමා සහ උපවිදුහල්පතිතුමා මාව පිළිගත්තෙ හරියට ගොඩක් කාලයක් දන්න කියන කෙනෙක් විදියට බොහොම ලෙන්ගතුවයි. 

"මල්ලි, ඉස්කෝලෙට කරන්ට් එක නම් තියෙනව.මේ ළඟදි ගත්තෙ. ඒ උනාට අපෙ කොම්පියුටර් කාමරේ වයරින් කරල නෑ. අපි ඔයා එනකම් හිටියෙ උපදෙස් අරගෙන සුදුසු විදියට ඒක කරවන්න."
"කෝ බලමු ඒ කාමරේ..." මම නැගිට්ටා.
"ටිකක් ඉන්න පුළුවන්ද?. ඒකෙ දැනට පොත් වගයක් දාල තියෙන්නෙ. මම ඒක ඉක්මනට අස් කරවන්නම්..." 
මෙහෙම කියපු විදුහල්පතිතුමා ගුරුතුමෙකුගෙ කනට කරල මොකද්ද කිවුව. එයා මෝටර් සයිකලේ අරන් ඉගිළුනා. 
"අනේ මොකට කරදර වෙනවද සංග්‍රග වලට...."
සම්ප්‍රදායක් විදියට කිව්වත් ඇත්තටම මම හිටියෙ අධික රස්නය නිසා හරිම අපහසුවෙන්.

ගුරුතුමා ගෙනාපු ක්‍රීම් සෝඩා එක අපි වීදුරු වලට දාගෙන බොමින් ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කළා. උප විදුහල්පතිතුමාත්, තවත් ගුරුභවතෙකුයි මගෙ සහයට ලබාදෙන්න විදුහල්පතිතුමා තීරණය කළා. ඒ සියලුදෙනාම ඉතාම මිත්‍රශීලී අය.

මම ගිහින් අදාල කාමර‍ය පරීක්ෂා කළා. මම අවුරුදු 10ක් විතර තිස්සෙ ඔය විදුලි වැඩ ගැන උනන්දුවක් මෙන්ම අත්දැකීම් තියෙන කෙනෙක්. මට පෙනී ගිය දෙයක් තමයි, ඒ වයරින් එක මට කරල දෙන්න පුළුවන් බව. එහෙම වුනොත් මෙයාලට අදම මේ කම්පියුටර් අටවල දෙන්න පුළුවන්. මම ඒ බව විදුහල්පතිතුමාට කිව්වම එතුමා ඉතාම සතුටට පත් වුනා. එවෙලේම මුදල් දීලා මෝටර් සයිකලය අයිති ගුරුතුමාට මාව නගරයට රැගෙන යන ලෙස දැන්වූවා.

පැය කිහිපයක් ඇතුළත සියළුම තාක්ෂණික වැඩ කටයුතු අහවර කරන්න මට හැකි වුණා. ඒ සඳහා උප විදුහල්පතිතුමා සහ අනිත් පිරිමි ගුරුවරු ඉතාම ඉහළ සහයෝගයක් දුන්නා. විශේෂයෙන්ම අදාල ආයුධ සපයාගැනීමේදී.
ඔයින් මෙයින් පාසැල ඇරෙන වෙලාවත් ආවා. 

"යෝවද තම්පව...." 
(ඉතිරි ටික මට ඇහෙන්නෙ "රෝමානු ජේසු" කියල! හරිද මන්දා...?) අපේ ඉස්කෝලවල වගේ යකඩ කටවල් නැහැ. බොහොම මෘදු විදියට ලස්සනට ලතාවකට කවුරුත් හඬ නගා කිවුව. 
ඊට පස්සෙ කිසිම කළබලයක් නැතුව ලස්සනට පේළි හැදිල අපූරුවට ඉස්කෝලෙන් පිට වෙලා ගියා. (ඇත්තටම මට හිතාගන්නත් අමාරු වුනා. මොකද එච්චර විනයක් තිබුණත් කිසිම ශිෂ්‍ය නායකයෙක් මම ඇහැටවත් දැක්කෙ නෑ. අපේ ඉස්කෝලවලනම් ඔය වෙලාවට ප්‍රිෆෙක්ට්ස්ලා හරක් දක්වන්න වගේ අපිව දැක්කුවනෙ.)

ඒ අතරතුර කීප වතාවක්ම මට දිවා ආහාර ගන්න ලෙසට ඉල්ලා සිටියත් වැඩේ ඉවර කරලමයි මම පස්ස බැලුවේ. එතකම්ම අනෙත් අයත් බඩගින්නෙම හිටියා.

දැන් මට අම්බානකට බඩගිනියි. කෑම ගෙනවෙත් නැහැ. මොකද අද පොඩි සාකච්චා පාරක් දාලා යන්න හිතාගෙන ආවේ. මේ දුප්පතුන්ගෙන් කෑම බලාපොරොත්තු වෙන්නත් බෑ. මම හිතාගත්ත ටවුන් එකට ගිහින් හොඳ කඩේකින් දීල අදින්න ඇරියර්ස් එක්කම. මම සමුගන්න ලැස්ති වුනා. ඉස්කෝලෙ වෙලාවත් ඉවරයිනෙ. මෙයාලට ගෙවල්වල යන්නත් ඕනෙනෙ.  


මේ කම්පියුටර් වලට දාන්න මම එක්ස්. පී. මෙහෙයුම් පද්ධතියයි, ඔය ඔෆිස් වගෙ අත්‍යවශ්‍ය මෘදුකාංග කීපෙකුයි සී.ඩී. වල ගහගෙන ආව. මගේ වියදමෙන් ගහගෙන ආවත් මම ඒව ඉස්කෝලෙට පරිත්‍යාග කළා.
ඒවට වියදම ගියේ රුපියල් සීයකටත් අඩුවෙන් වුනත් ඔවුන්ට ඒක භාරගත්තෙ ඉස්කෝලෙට කම්පියුටරක් ලැබුණා හා සමාන අහිංසක සතුටකින්...(ඒ සතුට මිළ කරන්න බැරි බව මට පස්සෙ කාලෙක වඩාත් හොඳින් තේරුණා..)  

"මම ගිහින් එන්නම්...සර්ල ගෙවල්වලට යන්නත් ඕනෙනේ..."

"නෑ අද අපි හවස්වෙනකම් ඉන්නව. අද අමතර පන්ති තියෙන දවසක්. ළමයි ගෙවල්වලට ගිහින් පාට ඇඳුම් ඇඳගෙන තවටිකකින් ආපහු එයි...."

අමතර පන්ති..? ඉස්කෝලෙ ඇතුළෙම.....? මම අවුල් ගියා කියල උප විදුහල්පතිතුමාට තේරුණා...
"නෑ..නෑ..එහෙම එකක් නෙමෙ. මේ පාර 5 වසරෙ ශිෂ්‍යත්වෙ ලියන අයට...අපි නොමිලෙ කරන්නෙ...." එතුමා කිව්වෙ හිනා වෙවී....මම ඇතිකරගත්ත වැරදි වැටහීම ගැන කණගාටු වුණා...
(හැම දේම සල්ලි වලට විකිණෙන අද කාලෙ මේ මිනිස්සුන්ගෙ මනුස්සකම තවමත් විකිණිලා නැති එක ගැන සතුටුයි.)

මාව ගුරු නේවාසිකාගාරෙ (නේද ක්වාර්ටර්ස් වල කියන්නෙ..?)ට එක්කගෙන ගියා.
මම බොන්න වතුර වීදුරුවක් ඉල්ලුව. මේ පැත්තෙ වතුර කොව්වර බිව්වත් පිරිමහන්න බැහැ.
අපෙ ගුරුතුමෙක් ක්ෂණිකව ගුරු නේවාසිකාගාරෙ මිදුලෙ තිබුණ තැඹිලි ගහකට නැග්ගෙ හරියට වෘත්තීය ගස් නගින්නෙක් වගෙ.
වතුර ඉල්ලපු මට ලැබුණෙ නියම ඔරිගිනල් ගහේ බඩු. (වැරදියට හිතන්න එපා තැඹිලි...වෙන මොනවත් නෙමෙයි...)
පොළොස් මාළුවක් සහ කුකුළ් මස් එක්ක ඉතාම රසවත්ව කෑම වේලක් ඔවුන් මට පිළිගැන්වුවා....
මදි අඩුපාඩු (මටනම් එහෙම අඩුවක් දැණුනෙම නෑ) බෙදුවෙ හරියට කාලෙකින් මහගෙදර ගියාම ලොකු අම්මයි අක්කලයි තරඟෙට බෙදන්නා වගෙ.
(කළින් දවසෙ මම අද එනබව විදුහල්පතිතුමාගෙ නිවසෙ දුරකථනයට දැන්වුවා. මේ විශේෂයෙන්ම මා වෙනුවෙන්ම පිළියෙල වූවක් බව පසුව දැන ගත්තා...)

කෑමෙන් පසුව අපි සමුගත්තා, 
ඒත් ඒ දැණුනු සැබෑ ලෙංගතුකම, ආත්ම තෘප්තිය.... සොඳුරු අත්දැකීම මගේ හදවතට කවදාවත් සමු දෙන එකක් නෑ....     

වෙනස


මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ ඉගෙන ගන්න කාලෙ පරිගණක විද්‍යාගාර තියෙන විවිධ මට්ටමේ පාසැල් කිහිපයකටම පාසල පවත්වන වෙලාවන්හිදීම යන්න සිද්ධ වුනා. මගේ අම්මයි තාත්තායි දෙන්නම පාසල් ගුරුවරු, එයාලගෙ සහ තාත්තගෙ මිත්‍ර විදුහල්පතිවරු යටතේ පාලනය වන පාසැල් වලට. එහිදී මම දැක්ක ඉතාම කණගාටුදායක දෙයක් තමයි, විදුහල්පතිවරු විද්‍යාගාර සහ ඒවගෙ පරිගණක සිසුන්ට පාවිච්චි කරන්න දෙන්නෙ පූජා භාණ්ඩ විදියට, අනවශ්‍ය ප්‍රවේසමෙන්, කැඩෙයි කියල හරිම බයෙන්. මේ නිසාම බොහෝ විදුහල්පතිවරු පරිගණක විද්‍යාගාර සිසුන්ගෙන් හැකි තරම් ඈත් කර තබන්න තමයි උත්සාහ කරන්නෙ. 

ඉන් සමහර පාසැල්වල තත්වය ඉතාම සෝචනීයයි. ඒ කියන්නෙ ඉබි යතුරු දාලා වහලා දාලා, සිසුන්ට තහනම් කලාපයක් කරලා.
මම ඒ ආකල්පය වැරදි බව පෙන්වාදෙන්න කරපු උත්සාහයන්ට සෑම විටම ලැබුණෙ සෘණ ප්‍රතිචාර. 

කී බෝර්ඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා (දමලා හෝ පොළොවේ ගැහුවේ නැත්නම්) කම්පියුටරයක් කඩන්න බෑ කියන මූලික සිද්ධාන්තය මම ඔවුන්ට හැකි තරම් සරලව පැහැදිලි කළා. මම එයින් අදහස් කළේ පරිගණකයට භෞතික හානියක් කරන්න තරම් විධානයක් එයින් දෙන්න බහැ, විශේෂයෙන් පාසල් ළමයින්ට. කරන්න පුළුවන් ලොකුම හානිය තමයි වෛරසයක් ආසාධනය කරවීම. පිටින් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය , ඒ කියන්නෙ සංයුක්ත තැටි, පෙන් ඩ්‍රයිව්ස් වගේ ඒව පාවිච්චි කරන්නෙ නැත්නම් සහ අන්තර්ජංජාල සබඳතාව නැත්නම් ඒක කොහොමටවත් වෙන්න බැහැ කියලයි මම සිංහලෙන් පැහැදිලි කළේ. එහෙම පිටින් ගේන දත්ත ඇතුළත් කරන්නෙත් නැත්නම්, නෙට් යන්නෙත් නැත්නම් (මම මේ කියන පාසැල් ඔක්කොගෙම වගේ ඉන්ටර්නෙට් කපලා බිල් ගෙවන්නෙ නැතුව.) ඉතින් වෛරස් එකකින් හානියක් කරන්න හැකි එකම ක්‍රමය ඒ කම්පියුටර් එකේම වෛරස් එකක් ලියන එක. (කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ උණ, හෙම්බිරිසාව වගේ ළඟ තිබුනට බෝවෙන එකක් නෙමේනෙ. වෛරස් එකක් පැතිරෙන්න දත්ත හුවමාරු කෙරන්න ඕනා.). (ඒ කියන්නෙ කම්පියුටර් වෛරස් ඉබේ පහළ වෙන්නෙ නෑ. කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ පරිගණක භාෂාවක් සහ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඉතා ගැඹුරටම ඉගෙන ගත්ත කෙනෙක් වුවමනාවෙන් ලියපු උපදෙස් සමූහයක්. මේ උපදෙස් හෝ විධාන වලින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට, ස්ථාපිත මෘදුකාංග වලට හා තැන්පත් කර තිබෙන දත්ත වලට හානි පැමිණුවත් බොහෝ විට දෘඩාංග වලට හානියක් නෑ.) එහෙම ලියන්න පුළුවන් මට්ටමේ දැනුමක් තියෙන අය ළමයි අතරෙ නෑ කියන එකයි මගේ තර්කය වුනේ.

ඒ නිසා ළමයින්ට මීට වඩා පරිගණකත් එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් දෙන්න කියල මම ඒ හැමෝගෙන්ම ඉල්ලීමක් කළා.
එතකොට එයාල මගේ දිහා බැලුවෙ නුරුස්නා බැල්මකින්. හරියට

"මූ නම් මහ පණ්ඩිතයෙක්" කියන්න වගේ. සමහරු එළිපිටම විරුද්ධත්වය පළකළා මේ විදියට....

"මේව කඩන්න ලේසියි, ඒ වුනාට ආයෙ හදාගන්න තියෙන අමාරුව..!. කී තැනකට නම් දන්වන්නද...? එක එක සමිති වලින් සල්ලි පාස් කරන්නද...? ඒ හැමෝම අහන්නෙ ඇයි පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියල...?" 

"ඉතින් ළමයි ඉගෙන ගන්නෙ නැත්නම් ලැබ් එකයි කම්පියුටර් ටිකයි ආරක්ෂාවෙන එකේ තේරුම මොකද්ද...?"  මම ඇහුවා.
"හරියට ටැන්කියෙ ෆුල් ටැන්ක් පෙට්‍රල් තියෙන කිසිම ලෙඩක් නැති කාර් එකක් රෙද්දකින් වහල තියාගෙන බස්වල රස්තියාදු වෙනව වගේ වැඩක්නේ...?" 

අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න කොච්චර අමාරුද කියල මට හරියටම තේරුණෙ එදා...

මම අදටත් හොයල බලනව ඒ තත්ත්වය වෙනස් වෙලාද කියල....

ම්...හ්....නැහැ....!

*     *     *     *     *     *    *     *     *     *    *    *    *     *     *     *     *      *      *

මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොනරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණත් මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.

හැම දෙයක්ම ඉතා සාර්ථකව සිද්ධ වුනා. ගුරුවරු කිහිප දෙනෙකුත් පුහුණු කළා.

මාසෙකට විතර පස්සෙ මම ගියා ඒ පැත්තෙ විසිට් එකක් දාන්න. කොහොමද වැඩේ නැගල යනවද බලන්න.
මේ වෙනකොට මම ඔය ඉහත කියපු අසුන්දර අත්දැකීම් විඳගෙනයි හිටියෙ. ඒ කියන්නෙ ඇත්තටම මම බලාපොරොත්තු වුනේ ඉතා තදින් අධීක්ෂණය වන, සීමිත පිරිසකට පමණක් භාවිත කරන්න අමාරුවෙන් අවසර හිමිවන, ඇනැම් විට යතුරු ලා ගෙන ඉන්න පරිගණක විද්‍යාගාරයක්. කොටින්ම මම සූදානම් වෙලා ගියේ ඒ ක්‍රමය වැරදියි කියන ලෙක්චර් එක විදුහල්පතිතුමාට දෙන්න.

නමුත්...දැකපු දෙයින් මම කුල්මත්වෙලා ගියා.....

කම්පියුටර් තුනක් විතරක් තිබුණ ඒ පුංචි කාමරය මල් කැකුළු වැනි හුරතල් කොළු- කෙළි පැටවු දුසිම් ගණනකින් පිරී ඉතිරී තිබුණා...! එතන භාරව ඉන්න ගුරු භවතා මම හොයාගත්තෙ හරිම අමාරුවෙන්. හේතුව ආයෙ කිසිම කෙනෙකුට ඒ කාමරයේ ඉඩ ඉතුරුවෙලා තිබුණෙ නෑ. පුංචි කෙළි පැටික්කියක් ලස්සනට පේන්ට් වලින් විත්‍රයක් ඇඳල තිබුණා.

මගේ ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දවසක් එදා....
අර විදුහල්පතිවරුන්ට කවදහරි මගේ ගානෙ ඒ ඉස්කෝලෙට (ඉස්කෝලෙ වෙලාවෙ) ට්‍රිප් එකක් එක්ක යන්න ඕනි කියල මට හිතුණා.   

Tuesday, December 11, 2012

දැන් හැදෙන ළමයි


මේ ළඟදි දවසක මහාචාර්යතුමා හම්බවෙන්න ලී ඉරන පැත්තෙ විස්සවිජ්ජාලෙට ගියා. එතුමා මහා මීටිමකට හිරවෙලා කියල දැනුම් දුන්න නිසා 'ගොඩ' කියලා නම් දරාපු ආපනශාලාවට වෙලා ටිකක් හිටියා.

ටික වෙලාවකින් දිවා ආහාර වෙලාව ආවා. මොහොතකින් මුළු ශාලාවම එකම හිස් ගොඩක්. මම ඈඳි ගත්ත තැනම එහෙමම හිටිද්දි කළු පාට ටී ෂර්ට් ඇඳගත්ත සරසවි මානව-මානවිකාවන් මං හිටපු මේසෙ වටේටම පිරුණා. එයාල එකම බැච් එකේ අය. 

ඒ වෙනකොටත් මම ලැප දිගහැරගෙන හිටිය නිසා මෙයාල මගේ දිහා බැලුවෙ ටිකක් නුරුස්නා විදියට.හරියට එයාලගෙ තැන මම බලෙන් ඇල්ලුවා වගේ. 
පස්සෙ බලද්දි එයාල කීපදෙනෙක් ගෙදරින් ලොකුම ලොකු කෑම පාර්සල් ගෙනත්, එතන කට්ටියත් එක්ක බෙදාගෙන කන්න ඉඩ මදි. වටේටම ඔළුව කරකවලා බැලුවත් එකම අසුනක්වත් නිදහස් නොවූ නිසා මම එහෙම්ම හිටියා. (වෙන ඉන්න තැනක් නැහැ. අනිත් එක මම මොකටද අයින් වෙන්නෙ..? මමනෙ කළින් ආවෙ....!)

මෙයාල තඩි බත් පාර්සල් ලිහල මේසෙ උඩට අතහැරියා. ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්, කැම්පස්වල, හොස්ටල් වල ඉඳපු අය දන්නවානෙ. එතන එකම පොරයයි. මං හිතන්නෙ අඩුම ගානෙ 15ක් වත් ඉන්න ඇති.

එකෙක් කියනවා

"මචං බත් එකේ මජං රහක් එහෙම එන්නෙ නැද්ද උඹලට....?"

මට බකස් ගාල හිනා ගියා. එයා මැෂින් එකක වැඩ කර කර ඉඳල ඇවිත් තියෙන්නෙ. අත හෝදල නෑ.
(එහෙම හොඳ පුරුදු තියාගත්තොත් ඉතින් බඩගින්නෙ තමයි ඉතින් දන්නවනෙ. අපි උනත් ඒ කාලෙ ඔහොමයි.)

මට එකපාරටම මතක් වුනේ පිට්ටුව කතාවෙ අජා. මටත් මෙහෙම සුන්දර සරසවි දිවියක් තිබුන නේද කියල මතක් වෙලා හිත ඉරිසියාවෙන් පිච්චිල ගියා.

ඒ හින්දද කොහෙද මට එයාල පෙණුනෙ ඇත්තටම ඇණයක් විදියට (එයාලට මාව පේන්න ඇත්තෙත් එහෙම). විශේෂයෙන්ම සමහරු පොරකෑවෙ මාවත් පෙරලගෙන. සමහරු මගේ ඇඟ උඩ. මට ඇල්ලුවෙම නැති දේ තමයි එතන බත්, එළවලු විසිරවපු එක. කොටින්ම මෙහෙම කෑම 4-5 ක් විතර එතන කාල ඉවරවෙනකොට මේසෙ උඩ තඩි කොත්තුවක් දාල වගෙ.

'දැන් හැදෙන උන් නම් ගන්න දෙයක් නෑ.' 
මට පහුගිය කාලෙ සිදුවෙච්ච සිදුවීම් එකපෙළට සිනමා පටියක් වගේ මතකයට ආවා. අගනුවර විශ්වවිද්‍යාලයේදී මාත් එක්ක එකට වැඩකරපු ආධුනික කථිකාර්යවරයාට කොලර් එකෙන් එකෙන් උස්සලා සිසුන් පහරදීපු හැටි, දවසක් ඒ සරසවි බිමේදීම 'රැග්' කරන සිද්ධියක් ඇස් කොණින් බලාගෙන එතනින් පියමන් කළ මගේ මිතුරියට 'මොකද බලන්නේ...?' යයි සැරෙන් ඇසූ හැටි (ඇය සාරියක් ඇඳ සිටි බැවින් ශිෂ්‍යාවක නොවන බව පැහැදිලිව දැන දැනත්), ශිෂ්‍ය නායකයෙක් 'ලෙක්චරස්ල කියන්නෙ අපේ සතුරු ධනපති පැලැන්තියේ බැවින් ඔවුන්ට ගරු කළ යුතු නැති බවත්' ඇසූ හැටි....

'මෙයාලත් ඒ ගොඩේම තමයි....මෙහෙම අය අනාගතේ ඉංජිනේරුවො නෙමෙයි මොකෙක් වුනත් වැඩක් නෑ...විනයක් නෑ...'

මෙහෙම හිත හිත ඉන්නකොට හරි අපූරු දෙයක් වුනා....

කෑම කාපු කණ්ඩායමේ හිටිය උස මහත දැරිවියක්...එයාගෙ කට හරි සැරයි. එයා එතන නායිකාව වගෙ.
එයා කට්ටියට කතා කළා...

විසිරිල තිබුන බත් ඇටයක් ගානෙ, පරිප්පු ඇටයක් ගානෙ ඇහින්ඳනෙ මෙයාල. විනාඩි කීපයක් ගියෙ නෑ එතන තිබුණටත් වැඩිය පිරිසිදුයි.

ඒක දැකපු මගේ අපිරිසිදු වෙලා තිබුණු හිතත් පිරිසිදු වුනා......

මම යන ගමන් හිතුවේ.....
"දැන් හැදෙන ළමයි....!"  

අනුන්ට කැපූ නෝන්ඩියේ තමා වැටීම


පහුගිය දවසක මගේ ගමේ හොඳම යාළුවා බැන්දා. මනමාලිත් මේ පළාතෙම කෙනෙක් නිසා වෙඩිමයි, දෙවෙනි ගමනයි දෙකම තිබුණෙ මම තුමා වාසය කරන නගර පොජ්ජෙම හෝටල් 2ක තමා. 

සාමාන්‍යයෙන් මම මාසෙකට නිවාඩු කිහිපයක්ම ගන්නවා, පර්යේෂණ වලට අවශ්‍ය උපදෙස් ගන්න මහාචාර්යවරු හම්බෙන්න අගනුචර විශ්වවිද්‍යාලවලට යන්න. යාළුවගෙ වෙඩිම තිබුන මාසෙත් මෙහෙම සෑහෙන්න නිවාඩු ගන්ඩ සිද්ද වුනා. ඔයින් මෙයින් මගෙන් කෙරෙන්න ඕන දේශන ආදී රාජකාරිත් ටිකක් විතර අතපසු වෙලා තිබුණෙ. මේ අස්සෙ මේ යකා ඇවිත් වෙඩිමටයි, දෙවෙනි ගමනටයි දෙකටම ආරාධනා කරපි. මොනා කරන්නද ඉතින් වැළි කෙලියේ ඉඳල එකට හිටපු එකා නිසා අමාරුවෙන් උනත් වෙඩිමට නිවාඩුවක් ගත්ත. 
හෙට අනිද්දා විශ්වවිද්‍යාලයෙන් පිට කරන්න නියමිතව ඉන්න බැච් එකට මගේ දේශනයක් වැටිල තිබුණ හරියටම මිනිහගෙ දෙවෙනි දවසෙ. කොහොමටවත් නිවාඩුවක් ගන්න බැරි තත්ත්වයක් තිබුණෙ. ඉතින් දවසම නිවාඩු නොදා කෑම පැයේ (කිවුවට පැය 2ක් විතර) පැනලා මූණ දාලා 1 දාගන්න මම තීරණය කළා. (මම වැඩ කරන්නෙ ගමේ විස්සවිජ්ජාලෙ)

මනාල ජෝඩුවට පනාව දාලා කන්න දෙනකම් හොරගල් ඇහිඳ ඇහිඳ එළියෙ පරණ යාළු මිත්‍රාදීන් එක්ක කදයක් දාගෙන හිටියා. නියම තැන (හෝටලෙ), කන්දක් මුදුනෙ, මූද පේනවා නියමෙටම. අපි කට්ටිය ඉතින් ආගිය කතා කර කර ඉන්නකොට එක ඩයල් එකක් (යාළුවගෙ කොම්පැනියෙ වැඩ කරන පොරක් වෙන්න ඕනා නැත්නම් මොකද මම මිනිහ කලින් දැකල නෑ. යාළුව වැඩ කරන්නෙ අගනුවර මෘදුකාංග සමාගමක.) අන්තර්ජංජාලෙන් මොනවද හොය හොය ෆෝන් එකෙන් හෙන සීරියස් කතාවක්. පැණි කතාවක් නෙමෙයි, මල් කැඩීමක් නොමෙයි, රාජකාරි කෝල් එකක් කියල අපිට තේරුණා, මොකද කතා කලේ ඔක්කොම තාක්ෂණික දේවල්. මිනිහ කතාව ඉවර කරල තියන්න වෙන්නෙ නෑ ආයෙ කෝල් එනව. කතාකරන්නෙ මිනිහ වැඩකරන අහවල් සොෆ්ට්වෙයා කොම්පැණියෙන්. 

මේ මිනිහට ජීවිතයක් නෑනේ කියල මට හිතුන. මොකද මාත් කාලයක් ඔහොම තමයි. කොටින්ම මට උපාධි උත්සවේ දවසෙයි, අළුත් අවුරුද්ද දවසෙයි ෆෝන් එකට කතාකරල වහාම කොළඹ එන්න කියල කියාපු නිසා ඒ දුක මම දන්නවා...මොනව කරන්නද රස්සාවනෙ.
ඔන්න සෑහෙන වෙලාවකට පස්සෙ මිනිහ කෝල් එකෙන් නිදහස් වුනා...ඒ වෙනකොටත් ටිකක් විතර ෆිට් වෙලා හිටිය නිසා මම මිනිහට නෝන්ඩියක් දැම්මා මෙහෙම....

"මොනාද බං...ජීවිතයක් නෑනේ....වෙඩිමකට ආවමවත්...." මම කිව්වෙ සිරාවටම.

"මමත් මීට අවුරුද්දකට විතර කළින් ඔහොමයි....." මම පටන් ගත්ත මගේ ජීවිත කතාව කියන්න...
අනේ අර අහිංසකයට මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්න එක ගැන ඉරිසියා හිතෙන තරමටම මම රජයේ සේවය ගැන වර්ණනාව දුන්නා එම ලෙසටම...

මට කියල කට ගන්න වුනේ නැහැ එකෙක් කියනවා 
"ඇයි උබ කිව්වෙ උඹට 1.00 ට ලෙක්චර් එකක් කියල....?"
(ඇත්තටම මට අමතක වෙලා තිබුනෙ.)
මම ඔරලෝසුව බැලුවා... 

"මලලසේකර....1 ට දහයයි.....!"

"මචං සොරි, මට දැන් යන්න වෙලා...." මම හිමින් සීරුවෙ එතනින් මාරු වුනේ ටිකක් පරක්කු වෙලා හරි දේශනයට යන්න....

මෙච්චර වෙලා වශී වෙලා වගේ මගේ කතාව අහගෙන හිටිය අපේ 'මෘදුකාංග' සඟයගෙ කට කොනකට  නැඟුනු හීන් හිනාව මගේ පය තවත් ඉක්මන් කළා.....    

උණුසුම් ගල් කැටය


එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.

ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා උණුසුම්ද කියලා. එකම ගල් කැටය නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙන එක වලක්වන්න මෙයා අපූරු උපක්‍රමයකුත් භාවිත කළා. ඒ තමයි එහෙම 'රැවටිලිකාර' වෙනත් ගල් මූදේ ඈතට විසිකරලා දාන එක.

මුළදී වැඩේ පටන් ගත්තේ ටික දවසකින් හරිගියේ නැත්නම් නවත්වනවා කියලා හිතාගෙන වුනත් මේ ක්‍රියාව නවත්වන්න එයාට හිතුනෙ නෑ. ඒකට ඇබ්බැහි වෙලා වගේ. දැන් නැතුවට දැන් ලැබෙයි, මේක නොවුනට ඊළඟ එකනම් ෂුවර් එකටම තමා බලාපොරොත්තු වෙන එකම තමයි කියලා තමයි හිතුනේ. හරියට සූදුවට ගිහින් හැළි වළං ඇතුළුව සේසතම නැති කරගත්ත සක්විති රණසිංහ මහත්මයා වගේ.

ඔහොම දිගු කාලයක් ගෙවිලා ගියා....එසේ මෙසේ කාලයක් නොවෙයි දශක ගණනාවක්ම...'අපේ මනුස්සයා' දැන් සුදුවෙච්ච දිග රැවුලක් සහ කොණ්ඩයක් සහිත මැදි විය පසුකළ තැනැත්තෙක්. ඒත් මෙයා උත්සාහය අතහරින ජාතියේ කෙනෙක් නොවෙයි...පුදුම ධෛර්ය්‍යකින් කටයුතු කරන කෙනෙක්. එයා මේ 'පිස්සු වැඩේ' නවත්වන්න අදහසක් තවමත් නැහැ.(ඒ කාලෙ මෙයා රස්සාවක් කළේ නැද්ද? කෑවෙ බිව්වෙ කොහොමද වගේ ඒව මගෙන් අහන්න එපා ඔන්න. මේක කතාවක්නේ. කොහොමහරි කරගන්න ඇති ඒව.)

විශ්වාස කරන්න...එක දවසක්..නොසිතූ විරූ වෙලාවක මෙයාට ඒ වාසනාවන්ත පාෂාණ රාජයා හමුවුනා.....
ඊට පස්සෙ මොනව වෙන්න ඇති කියලද හිතන්නේ....?

වෙන මොනව වෙන්නද...? අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රගුණ කරපු පුරුද්දෙන් වහාම ඒක ගැඹුරු මුහුදට විසි කරල දැම්මා...!

අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

මම අවුරුදු 7 විතර කාලෙදි 'මිහිර' පත්තරේ තිබුණු මේ කතාව මට මතක් වුනේ පසුගියදා සම්පූර්ණ වුනු පශ්චාත් උපාධියේ (විද්‍යාත්මක) දර්ශනය දේශන මාලාවේදී සාකච්චා වුණු එක්තරා සංකල්පයක් නොහොත් මතවාදයක් සම්බන්ධයෙන්. මාටින් හයේඩෙගර් (Martin Heidegger) කියන දාර්ශනික විද්‍යාඥයා කියන්නේ මෙහෙම කතාවක්:

"ජීවිතය පහසු කරගැනීම අරභයා මිනිසා විසින් නිපදවනු ලබන සමහර මෙවලම්...ඇතැම්විට එය නිර්මාණය කිරීමේ මූලික අරමුණ පවා නොසලකා හරවයි (එය අමතක කරවයි.)" 
(සමාවෙන්න, මේ සිද්ධාන්තය කඩ්ඩෙන් සිංහලයට හරවනකොට මුල් අදහස එතරම් වෙනස් වුනේ නෑ මං හිතන්නෙ, ඒ කියන්නෙ මම තේරුම් ගත්ත විදියට....) 

උදාහරණයක් ලෙසට ගත්තොත් වායු සමනය කළ මෝටර් රථයක, සුන්දර ගම්මානයක් හෝ වනගත ආරණ්‍යයක් මැදින් ගමන් කරනවා යයි සිතන්න....වායු සමන යන්ත්‍රයේ අරමුණ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරවීම නම්....එවන් නියම සුපිරිසිදු නැවුම් ස්වභාවික සුළං පහස අහිමි කරමින් එය ඉටු කරනු ලබන්නේ අප මූළික අරමුණ අපටත් නොදැනීම අභිබවා යාමක් නොවේද...? (සමාවෙන්න දාර්ශනික පොරවල් එක්ක ඉඳලා මාත් ටිකක් රුවිතෙට හිතන්න පටන් අරන් වගේ...)     

ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....  

අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

Wednesday, December 5, 2012

එහෙනම් ඒක කරගෙන ඉන්ඩ.....


මේක ඇත්ත කතාවක්ලු....

අපේ සිරි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ කාර්යාලයක ලිපි ගොණු පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙකුට ඇබෑර්තුවක් තිබුණලු. 

මේක දැනගෙන ප්‍රදේශයේ උගත් තරුණයො සෑහෙන්න ආවලු සම්මුඛ පරීක්ෂණේට....ඒ අතරෙ උපාධිධාරියෙකුත් හිටියලු...මෙයාට උපාධියෙ පන්ති සාමාර්ථයක් එහෙමත් තිබුණලු...ඒ කියන්නෙ ක්ලාස් පාස් එකක්...විශ්වවිද්‍යාලෙ ගිය අය දන්නව ඇති ක්ලාස් එකක් ගහන්න සෑහෙන්ඩ අමාරුයි. (කැම්පස් කොල්ලො කියන විදියට පට්ටම දරුණු ගේමක් දෙන්ඩ ඕනා) ඒකට ඉතින් හැම විෂයටම වගේ ඉහල ලකුණු ගන්න ඕන.

ඉතින් මෙයාව ඉන්ටව් කළෙත් මන්ත්‍රී තුමාමලු.

ඉන්ටව් එක කරගෙන යන අතරතුර අපේ උපාධිධාරී තරුණයා තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කළාලු. මෙන්න මෙහෙම සංවාදයක් ගියාලු.

"සර්...මට ක්ලාස් එකකුත් තියෙනවා..." ඒකිව්වෙ අර උපාධියෙ පන්ති සාමාර්ථය ගැනනේ...

හැබැයි ලැබුණෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක්...

"ආ....එහෙමද....එහෙනම් ඔයා එක කරගෙන ඉන්ඩ....මම ජොබ් එකක් නැතිම කෙනෙකුට චාන්ස් එක දෙන්න බලන්නම්...!"

ඒ මොකද්ද ඒ හරුපෙ කියල ටියුම් ලයිට් මොළේට හිතෙනවද....? නිකං කොයිල් වගේද..?

ටියුබ් ලයිට් වලට තේරුණෙ නැත්නම් මෙන්න මේකයි අපේ මන්ත්‍රීතුමා තේරුම් අරගෙන තියෙන්නෙ...
මෙයාට ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා...(ඒකෙ සෑහෙන්න ළමයි, ඒ කියන්නෙ සැලකිය යුතු ආදායමක්...)
ඒකෙ උගන්නන්න යන්න පරක්කු වෙනවා කියල තමයි "මට ක්ලාස් එකකුත් තියෙනවා" කියල තරුණයා අදහස් කළේ....

කොහොමද අපේ මන්ත්‍රීතුමාගෙ සාමාන්‍ය දැනීම...? 
(මට කිවුවෙ තාත්තා..ඒ කාලෙ ඒ කියන්නෙ 1980 ගණන් වල වෙච්ච දෙයක්ලු. හැබැයි ඉතින් දැන් කියලත් අපේ දේශපාලු උතුමන්ගෙ දැනුමෙ, උගත්කමේ, බුද්ධියේ වැඩි වෙනසක් නෑ මං හිතන්නෙ...)

අපේ පවුලේ සුහද පිළිසඳරෙදි තාත්තා ඔය කතාව කිවුවම අම්මා තවත් ඒ වගේම සිදුවීමක් මතක් කළා...

ක්‍රීකට් ක්‍රීඩාව එච්චරම ජනප්‍රිය නැති ඒ කාලෙ දවසක් පාර්ලිමේන්තුවේදි කතාවුනාලු ලංකාවට ටෙන්ඩුල්කාර් එනවා කියලා....
එකපාරටම ඔය කළින් කතාවෙ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් නැගිටල කිව්වලු....

"මටත් එකක් ඕනේ....!"