Tuesday, March 12, 2013

අතිශය භයංකර හෙළිදරවු කිරීමක්....


මා පසුගිය සරසවි ඇදුරන්ගේ වර්ජනය පැවති කාලසීමාවේදී ඒ සඳහා 'බැහැලාම' වැඩ කළ අයෙක් බව ඔබ දනී. ඒ මා රාජ්‍ය විරෝධියෙක් හෝ එන්. ජී.ඕ කාරයෙක් නිසා නොව ජාතික සරසවියක ආචාර්යවරයෙක් ලෙසට මා දිවි දිනූ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වස් මාගේ යුතුකම් කොටස ඉටුකිරීමට බව මගේ අවංක හදවත දනී.   

මීට මාස 6කට පමණ ඉහතදී FUTA මගින් සංවිධානය කරන ලද ඒ මහා ජාතික සටනේදී එක් ඉසවුවකදී මට අපූරු පුද්ගලයෙකු මුණ ගැසිණ.

ඔහු වෘත්තීය සමාජවාදියෙකි.

මා ඔහු හා කුළුපග වූයේ මා මෙන්ම ඔහු සරසවි ඇදුරෙක් යයි සිතාය. පසුව ඔහු පිළිබඳව දැනගත් නමුදු අප සටනට සවිබල දෙන අයෙකු නිසා දිගටම ඔහු හා දොඩමළු වීමි. මා රජයේ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ නිසා ඔහු සිතුවේ මාද උග්‍ර සමාජවාදියෙක් කියාය. 

කොහොමත් ඒ වනවිටත් මා තුළ සමාජවාදය ගැන තිබුයේ පැහැදීමකි. (ඒ පැහැදීම තවමත් මා තුළ ශේෂව ඇත. ලංකාවේ නූගත් බුද්ධි හීනයන් විසින් නායකත්වය සපයන සිය පටු අරමුණු උදෙසා විකෘති කරගත් වෛරී විකාරයට නොවේ. උතුම් මානවවාදී දර්ශනයක් වන පිරිසිදු සමාජවාදයයි.)
උග්‍ර සමාජවාදය ගැන මා අසා සිටිමුත් එවැන්නෙක් සජීවීව ඇසුරු කරන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය. ලංකාවේ සමාජවාදීන් තුළ පවතින ('ආගම අබිං' යන මිථ්‍යාව හැරුණු කොටගෙන) මා නොදත් යම් යම් ආකල්පමය විෂම අදහස් දැන ගැනීමට මෙය තෝතැන්නක් කරගත යුතුයැයි මම තීරණය කළෙමි.

එනිසා ඔහුට එසේම (මාද උග්‍ර සමාජවාදියෙක් කියා) සිතාගන්නට හැරියෙමි. 
කිසිදිනෙක මා සිහිනෙන්වත් නොසිතූ කරුණු කාරණා කිහිපයක් ඔහු මට හෙළි කරන්නට පෙළඹුනි. මගේ පියා විජේවීරගේ හිටපු පළමු පෙළ අනුගාමිකයෙක් සහ ජ'පුර සරසවියේ හිටපු ශිෂ්‍ය නායකයෙක් යයි මා හෙළිදරව් කළ නිසා ඔහු එසේ නිගමනය කරන්නට ඇත. 

පළමු කරුණ මා දැනගත්තේ අහම්බෙනි. 
ඉස්ලාම් මූලධර්මවාදය ගැන මාතෘකාව ඇදුනේ අහම්බෙනි.
"මම නම් කැමතියි තාලිබාන් කාරයො හරි කොටි හරි මොකෙක් හරි ලවා ඔය බුද්ධාගමයි සංස්කෘතිය කියන විකාරෙයි නැති කරල දානවට...."
මා විශ්මයට පත්වෙනු දැක ඔහු මෙසේද කීය. 
"ඕක තමයි අපිට තියෙන ලොකුම හෙණේ...මේ රටේ බුද්ධාගම තියෙනකම් අපිට කවදාවත් අපේම පාලනයක් ගේන්න බෑ. මේ රටේ මිනිස්සු සමාජවාදය පිළි ගන්න අකමැති ඔය බුද්ධාගම ඔළුවෙ වැඩ කරන නිසා. මෛත්‍රී කර කර විප්ලව කරන්න බෑ සහෝදරයා...අරගල කරන කොට ප්‍රතිවාදීන්ගෙ ලේ ගෑවෙන එක නවත්වන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕන ඔය කෙහෙල්මල් ආගමයි සංස්කෘතියයි විනාශ කරල දාන එක...! ඒකට උදවු කරන ඕනම එකෙක් අපි පිළිගන්න ඕන." 

යම් කිසි හේතුවක් නිසා ලංකාවේ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියා කලාපය මම ඔහු හා දැඩිව විවේචනය කළෙමි. ඉන් දිරි ලැබූ ඔහුගේ ප්‍රකාශය ඉතා බැරෑරුම්ය.
"අර කාම්බෝජෙ කළා වගේ කවදහරි අපේ පාලනයක් තියෙන දවසට ඔය සංඝයො ඔක්කොම සිවුරු ගලවල කුඹුරු හාපිය කියල ගහල පන්නන්න ඕනා...!" 
ඉතිරි ටික ඇසූ මගේ ඇගේ හිරිගඩු පිපිණ....! 
"බැරි උන් ඔක්කොම මරලා දාන්න ඕන බල්ලො වගේ...!!" 
මා ඔහුගෙන් පැහැදිළි කරගත් ආකාරයට, ඔහු අදහස් කළ 'සංඝයා' කුළකයට ආරණ්‍යවාසී ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා පවා ඇතුළත්ය...!

මීට පසු මා උපක්‍රමශීලීව දැනගත් කරුණු මෙසේය.
ඔහු නියෝජනය කරන්නේ මේ රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂයක් නොවේ. ඉන් බිඳී ගිය මෑතකදී අටවාගත් එකකි. ඔවුහු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂවල ප්‍රතිපත්ති පිළි නොගනිති. විප්ලවය හා සමාජවාදයේ මූලධර්ම අත් හැර ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු පිළිවෙත් අනුගමය කිරීම ඊට හේතු ලෙස දක්වයි. කෙටියෙන්ම කිවහොත් ජ.වි.පෙ. ඇතුළු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂ 'සමාජවාදී මදිය.'

සිය මතවාද පතුරුවන කල්ලි විවිධ නම්වලින් පෙනී සිටින බවත්, ඇතැමුන් රතු කුරුස සමාජය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන්නන් ලෙස පෙනී සිටින බවත් ඔහු හෙළි කළේය. දමිළ බෙදුම්වාදය පිළිගැනීම සහ ඊට සහය දැක්වීම පොදු ලක්ෂණයයි.(නමුත් මින් එකක්වත් ලංකාවේ  ඉතිහාසයක් ඇති සම්ප්‍රදායික සමාජවාදී, මාක්ස්වාදී හෝ කොමියුනිස්ට්වාදී පක්ෂ නොවෙයි.)

මා දැනගත් තවත් කරුණක් ඉතා බරපතලය.
ඔවුහු බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදයේ අනුග්‍රහය ලබති. උන් ත්‍රස්තවාදීන් යයි මොවුහු නොපිළිගනිති. තත්ත්වය ඉතා භයානක වන්නේ (මොවුන් පවසන අන්දමට) ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩි බලතල හා පාලනය ඇත්තේ මොවුන්ටය....!
මෙය සත්‍යයක් නම්....ඉතා කණගාටුදායකය....

තවද, මොවුහු ඉස්ලාම් මූලධර්මවාදය ඇතුළු දේශද්‍රෝහී සියළුම බලවේගවල ආශිර්වාදය ලබති.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රුධිරය වගුරුවන විප්ලවය මොවුහු තවමත් (යල්පැන නොගිය, හණමිටි නොවන!) පාලන බලය ඇල්ලීමේ එකම ක්‍රමෝපාය ලෙස ඉඳුරාම පිළිගනිති....!

මට ඇතිවූයේ ශිෂ්ඨාචාරගත වී වැදගත් ලෙස ඉස්ලාමය අදහමින් සිට ඉස්ලාම් මූලධර්මවාදයට යන්නාක් මෙන් හැඟීමකි.

එහෙත් තවදුරටත් මේ 'අපූරු' දර්ශනය අදහන්නන්ගේ රහස් දැන ගැනීමේ කුහුල විසින් මැඬලනු ලැබූ එළිපිට අප්‍රසාදය පළ කිරීම නම් වූ ප්‍රතිචාරය මා තවදුරටත් ප්‍රමාද කළේය.

අවසාන වශයෙන්, අප හයිඩ් පාර්ක් පාගමනට සමගාමීව බෙදන්නට ගෙනා පත්‍රිකාවක් මට ඔහුගෙන් ලැබුණ. අමෙරිකාවේ සමාජවාදී ජනාධිපති අපේක්ෂකායා ඉදිරි දිනවලදී දිවයිනට පැමිණෙන්නට බලාපොරොත්තු වන බවත් බවත්, වැඩිදුර තොරතුරු www.wsws.org වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් පවසා ඔහු වෙන්විය.          

23 comments:

  1. මටත් ඔය wsws පොරක් ශිෂ්‍ය සටනක අතරමැද 2009දී මුණගැහුන. පේන විදියට ඒ අදහස් තවම වෙනස් වෙලා නෑ. එකම වෙනස අලුත් පෙරමුණක් එකතු වෙච්ච එක. ඔතන තියන වැරැද්ද ඇතුලෙ ඉන්න උන්ට පේන්නෙ නෑ. ඒවා එලියට යන්න දෙන්නෙත් නෑ. ඒ වගේම තමයි, යකා පේන තරම් කළුත් නෑ. මොකද උන්ගෙ වැඩ කටින්. ඇත්තටම ගත්තොත් කරපු දෙයක් නෑ. හොඳම උදාහරණෙ, FUTA පාගමනේදී ජීවිතේ පුජා කරපු සහෝදරවරුන්ගේ නඩුව. දැන් එකට පැමිණිල්ලෙ එකෙක්වත් යන්නෙ නෑ. ඒත් පළවෙනි වාර දෙකේම ගියා මීඩියා කවරේජ් ලැබෙන නිසා.

    අනිත් එක තමයි, එයාලට බලය තියනව කියන ශිෂ්‍ය සංගම්. ඒ එකෙක්ටවත් හරියට උගන්නල නෑ. පරිපාලනෙන් ප්‍රශ්න දෙක අහද්දී, දත කට පුට්ටු වෙලා, ඇඳිවතේ බහිශ්‍රාවය වෙන සෙට් එකක් දැන් ඉන්නෙ. ඒ නිසා පරිණාමයේ නීති වලට අනුව, ළඟදිම න්‍යෂ්ට වෙලා යනවා ඔහොමම ගියොත්නම්. :-(

    ReplyDelete
    Replies
    1. Me macho mama kiththa,meka sira blog ekakne.Set wennam comment karanna.

      Delete
  2. රහස් වැඩක්.. විකි ලීක්ස් වගේ ලීක් වෙලා.

    මේ මම කමෙන්ටුවක දැක්ක දෙයක්, ලෝකෙ ඉන්නා සියලුම ජන වර්ග හා ආගම් වර්ග ගත්තොත් ඒ හැම වර්ගයක් සමගම කෝලහල ඇති කරගෙන තියන පොදු කුලකය මේ ඔබ කියන ඉස්ලාම් අන්තවාදයයි...

    • හොද ලිපියක් දිගටම ලියන්න.

    ReplyDelete
  3. ඔබගේ තෝරා ගැනීම ගැන සතුට ඵල කරන අතර. තවමත් මේවා තේරුම් නොගත් ඇයට හොඳ පාඩමක් බවද පවසමි. අපි වැඩකට අත ගැසීමට පෙර ඒවාට සම්බන්ධ අනෙක් ඇයගේ තොරතුරු සොයා බැලිය යුතුයි.

    ReplyDelete
  4. හෙළිදරව්වට ස්තුතියි. මේ වම්මු මගේ බ්ලොග් එකට ඇවිත් මට ධනවාදියා කියල බනින්නේ ලොවටම මානව දයාවෙන් ඉන්න හදවත අතට අරන් දෙන පිඩිතයා වෙනුවෙන් මාර කැපවුන පිරිසක් විදියට. ස්ටාලින් කලෙත් මිලියන ගානක් වලපල්ලට යවපු එක මොන සමාජවාදිය ආවත් එච්චරයි. මිනී මරල බලය අල්ලාගෙන අනුන්ගේ ධනය බලෙන් අරගෙන හැමෝටම බෙදලා දෙන එක තමයි මේ අයගේ ඉලක්කය. ධනය මවන්න බෑ කවුරුහරි වෙහෙසිලා මහන්සිවෙලා නිෂ්පාධනය කල යුතුයි. කිසිවක් නොකරන සමාජවාදී කම්මැලියෝ ටික අනුන්ගේ ධනය මුලින් සමව බෙදුවම නිෂ්පාදනය කරන්නේ කවුද?ඊළඟට එන්නේ වැඩකරපන් කියල තුවක්කුව අල්ලලා බලෙන් වැඩ ගැනීම. එකත් බලහත්කාරෙන් තමයි .

    ReplyDelete
    Replies
    1. හරියට හරි!සමාජවාදය ක්‍රියාත්මක කරන්නට යාමේ අවසාන ක්‍රියාවලිය තමයිතුවක්කුවේ බලයෙන් පාලනය ගෙනයාම.මොකද ඒතන නැහැ නිෂ්පාදනය, බෙදාහැරීම, කලමනාකරනය වැනි විෂයයන්ට දක්ෂයින්. හිටියත් ඔවුන්ගේ හැකියාවන් මතු වෙන්නෙ නැහැ මර්ධනය සහ භීෂණය නිසා.ලොකුම අවාසනාව තමයි අපේ සිටින සමහර බ්‍රයිට් පොරවල් පවා මොවුන්ගේ චාටු කතාවලටරැවටෙන ඒකයි.ඔවුන්ට සත්‍යය වැටහෙන විට ඔවුන් ප්‍රමාද වැඩියි.දැනට ලෝකෙ වැඩියෙන්ම මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙලා කියෙන්නෙ ඔය සමාජවාදීන් යටතේ තමයි.

      Delete
    2. මම blogs කියවන්න අරගෙන තවම ටික කාලයයි.ඒ නිසා මට බුවා මලයා විසින් ඉහත දක්වා අැති අදහස තේරුම් ගන්න ටිකක් අපහසුයි.සමහරවිට මම ලියන ෙශෙලිය ඔයාලට අල්ලන්නෙ නැතිද දන්නෙ නැහැ.මා කොහොමත් ලේඛන කලාව ප්‍රගුන කල කෙනෙක් නොවෙයි.හඅතට ඒන අදහස් ඔහේ ලියාගෙන යනවා.blogs කලාවත් ඒක්තරා මාධ්‍යක් විදිහට තමයි මා දකින්නෙ.මා ඒමාධ්‍යට කැමතියි,මොකද?ඒවායේ පලවන්නෙ නිදහස් අදහස් නිසා.කිසිදු වාරනයකට හෝ කපුපාදුවකට භාජනය නොවී අදහස් ප්‍රකාශකිරීමට අද ලංකාවේ අැති ඒකම මාධ්‍යය blogs ලිවීම කියලයි මට සිතෙන්නෙ.මා ලියන කමෙන්ට් වලින් කාට හෝ සිත් රිදවීමක වුනානම් සමාවන සේක්වා!
      මා මගේ කලින් කමෙන්ට් ඒකේදැක්වූ අදහස්තහවුරු කිරීම සදහා ඒක උදාහරනයක් දෙන්නමි.ඒ දා 88-89 කැරැල්ලෙන් J v p ඒක බලයට අාවානම් අද රට පාලනය කරන්නේ ඔය විමල් වීරවංශලාවගෙ අය නේද?

      Delete
    3. +++++++++ කියල බ්ලොග් අවකාශයේදී අදහස් වෙන්නේ "අනුමත" කිරීමක් . උදිතගේ සහ ඔබගේ දෙන්නගේම අදහස් වලට එකඟ නිසා තමයි + දාල තියෙන්නේ , ඔය + ප්‍රමාණය වැඩි වෙනවාය කියන්නේ ඉතා ඉහලින්ම අනුමත කරනවාය කියන එක . ඕකට "වැටක්" ගහනවාය කියලත් කියනවා

      Delete
  5. ගණන් ගන්න එපා. අපේ කාලෙත් ඔහොම අය සිටියා. අපි නම් උන්ට කිව්වේ R කාරයෝ කියල. ඔබේ පියතුමා විජේවීර කණ්ඩායමේ මුල් පෙලේ සාමජිකයෙක් නම් ඒ කාලේ ජ'පුර විශ්ව විද්‍යාලය තියෙන්න විදියක් නැහැ.(අත් වැරදීමකින් ඒ නම වැටෙන්න ඇති) එකල තිබුනේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය. ඒකෙන් ඉගෙනගෙන ලෝකය දැකපු එක අයෙක් විදිහට මම තවමත් ඒ නමට ගෞරව කරනවා.
    සමරසේකර

    ReplyDelete
  6. Niyama samajawadaya thiyenne marks gaaawa nemei. Buddhism wala...!

    ReplyDelete
  7. සමාජවාදය කියන එක ඇප්ලයි කරගන්න ඕනි ඒ රටට අදාලවෙන විදිහට උදාහරණයට මාක්ස් කියපු එක ඒ කාලේ රුසියාවට හරි ගියාට ලංකාවට ඒක ගේනකොට කස්ටමයිස් කරලා ගේන්න ඕනි මොකද සාමාජීයව හා ආර්ථ්කව අපි ඉන්නේ ඊට වඩා වෙනස් තැනක. ඔය බුවාලට වැරදුනේ එතන. පොරවල් රුසියාවේ සමාජවාදය එහෙම් පිටින් මෙහේ ගෙනල්ලා අතාරින්න හදනවා.

    ReplyDelete
  8. මුන්ටනම් පුකේ ඉඳන් පිස්සු මම අභියොග කරනවා පුළුවන්නම් කියන්න ඔයි ප්‍රකාශය කලේ කව්ද කියලා

    ReplyDelete
    Replies
    1. වචන භාවිත කරන හැදියාවෙන්ම පේනවා සමාජවාදීන්ගෙ මානසිකත්වය. ඔබේ පහත් හැසිරීමෙන් වෙන්නෙ ඉහත කරුණු තවතවත් සාක්ෂි සහිතව සාධනය වෙන එක පමණයි.

      Delete
  9. මාක්ස් යනු බුදු දහම ගැන අවදානය යොමු කිරීමට නො හැකි වූවෙකි.
    පල්ලියෙන් වූ තාඩන පීඩන යන්ට එරෙහිව හඩ නැගූවෙකි...
    එකල ඔහුට බුදු දහම හැදෑරීමට අවකාශ තිබුනේනම්
    ඔහුගේ දර්ශනය බුද්ද දර්ශනය වන්නේමය...

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. 1. ඔය කියන වර්ගයේ පුද්ගලයෙකු ගේ ප්‍රකාශ හරහා “සමාජවාදය“ හදුනාගැනීම කිය්නනෙ හරියට බොදුබල සේනාවේ ක්‍රියාකාරීත්වය හරහා “බෞද්ධ ප්‍රතිපදාව“ හඳුනා ගැනීමට සමානයි.

    2. wsws.org කියන්නෙ හතරවන ජාත්‍යන්තරයේ (ට්‍රොස්කිවාදී ජාත්‍යන්තරයේ) නිල වෙබ් අඩවිය. ලංකාවේ ඊට සම්බන්ධ දේශපාලන පක්ෂය තමයි සමාජවාදී සමානතා පක්ෂය. සමාජවාදී සමානතා පක්ෂයේ නායකයා විජේ ඩයස්. සමාජවාදී සමතාතා පක්ෂය කියන්නෙ පැරනි විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) විකාශනයක්. මහාචාර්ය පියසීලි විජේගුනසිංහ, මහාචාර්ය සුචරිත ගම්ලත් වගේ ලංකාවේ හිටපු සහ සිටින ප්‍රාමානික උගතුන් විසින් පෝෂනය කරන ලද දේශපාලන පක්ෂයක්. දේශපාලනික ක්‍රියාකාරීත්වය පොතේගුරුවාදයකට සීමා කරගෙන සිටියත් ‘සසප‘ කියන්නේ දැඩි අධ්‍යයන විනයක් ඇති ක්‍රියාකාරීකයන් ඉන්න පක්ෂයක් හැටියට ප්‍රසිද්ධයි. ඔවුන්ගේ දේශපාලන මතවාදය සමඟ මේ කියන (ඊනියා) “උග්‍ර සමාජවාදියා“ ගේ ප්‍රකාශ කිසිම අදාලතාවයක් නැහැ.

    3. ලේඛකයා ඉඟි කරන විදියට මෙහි කියැවෙන (ඊනියා) “උග්‍ර සමාජවාදීයා“ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයෙක්. ඔහු විසින් ලේඛකයාට ලබාදී ඇත්තේ සමාජවාදී සමානතා පක්ෂයේ (wssw.org) පත්‍රිකාවක්.

    4. ජවිපෙ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂ දෙකම wsws හෝ සමාජවාදී සමානතා පක්ෂය සමඟ කිසිම ඇයි හොඳයි කමක් නැහැ. ඔවුන් දෙපිරිස අතර උග්‍ර ප්‍රතිවිරෝධයක් තිබෙනවා. ජවිපෙ ශක්තිමත්ව සිටි අවධියේ ඔවුන් සසප සාමාජිකයන්ට සැලකූ ආකාරය අනෙක් විශ්වවිද්‍යාල වල කොහොම වෙතත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලනික කන්ඩායම් වල ක්‍රියාකාරීත්වය ගැන යම් අවබෝධයක් හෝ ඇති අය නම් දන්නවා ඇති.

    6. ඒ නිසා මේ කියන ‘සිදුවීම‘ පිළිබඳව බරපතල ගැටළුවක් තියෙනවා. එක්කෝ මෙය සිදුනොවූවක්. නැතහොත් රැවටීමක්.

    7. දැන් මෙහි ‘සමාජවාදය.‘ නමින් කියැවෙන කරුනු වලට ගියහොත්, ඒ කියැවෙන දේවල් සමාජවාදයට ඇති අදලාකමක් නැහැ. මේ දේවල් නෑකම් කියන්නේ සමාජවාදයට නෙමෙයි ආගමික සහ වාර්ගික අන්තවාදයට. පෙනෙන හැටියට මේ පුද්ගලයා මානසික රෝගියෙක් හෝ රැවටිලිකාරයෙක්. මේ කියන දේවල් සමාජවාදියෙකුගේ අදහසක් හැටියට සමාජගත කිරීමම දැන හෝ නොදැන කරන බරපතල නොමඟ යැවීමක්. මේක ව්‍යාජ හෙලිදරව්වක්.

    8. “සමාජවාදය“ යනුවෙන් හඳුන්වන්නේ ‘සමානාත්මතාවය‘ පිළිබඳ අදහසක්. ඉතිහාසය පුරාම මානව ශිෂ්ඨාචාරය උන්නතිය වෙනුවෙන් මිනිසා විසින්ම නිපදවා ගත් අදහසක්, දෘෂ්ටිවාදයක් සහ ක්‍රියාකාරීත්වයක්. ‘සමාජවාදී‘ අදහස් ‘සමාජවාදය‘ කියන නම යෙදෙන නොයෙදන හැම තැනකම වගෙ විවිධ අයුරින් ක්‍රියාත්මක කෙරෙනවා. ‘නිදහස් අධ්‍යාපනය‘, ‘සර්වජන ඡන්ද බලය‘, ‘ප්‍රජාතන්ත්‍රවාදය‘. එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් ප්‍රඥ්ඥප්තිය ... කියන මේ හැම අදහසක් ඇතුලේම ඇත්තේ සමාජවාදී අභිලාෂය තමයි. සාමානාත්මතාවය ඉහලින්ම අගය කරන බෞද්ධ දර්ශනය තුල පවා මේ අදහස තියෙනව.

    9. සමාජවාදී සමාජයක් ගොඩනැගීම ඉලක්කර ගත් බොහෝ දේශපාලනික ව්‍යාපාර, දේශපාලනික මතවාද, දේශපාලනික දර්ශනයක් ගොඩනැගී තියෙනවා. මාක්ස්වාදය කියන්නේ ඉන් එකක් පමණයි. මාක්ස්වාදය හැඳින්වෙන්නේ විද්‍යාත්මක සමාජවාදී දර්ශනයක් විදියට.

    10. කෙටියෙන් පැවසිය යුතු දේ තමයි, ඉහත කියන (ඊනියා) ‘උග්‍ර සමාජවාදියා‘ කියන පුද්ගලයාගේ අදහස් මඟින් කියන්නට උත්සහ කර දෙය හා සමාජවාදය හෝ (ඒ සමඟම ගැටගැසීමට නියමිත) මාක්ස්වාදය අතර කිසිඳු සම්බන්ධයක් නැතෙයි කියන එක.

    11. මෙතනදී ‘ආගම අබිංය‘ කියන ප්‍රකාශය කාල් මාක්ස් විසින් කරන ලද ආගම පිළිබඳ විවේචනයකින් උඩින් පල්ලෙන් අතගා ගත්වචන දෙකක්. මතක හැටියට මාක්ස් එතනදී කියන්නේ මෙහෙම,

    “ආගමික පීඩනය එකවරම සැබෑ පීඩනයේ ප්‍රකාශිත වීම සහ සැබෑ පීඩාවට එරෙහි විරෝධය ද වේ. එය (ආගම) පීඩිතයාගේ සුසුමය. හදවතක් නැති ලෝකයෙහි හදවතය. එසේම එය ප්‍රබෝධ රහිත බවෙහි ප්‍රබෝධයය. එය ජනතාවගෙ අබිං ය.“ ~ කාල් මාක්ස්

    ‘සංවේදී‘ ට අනුව මේ කතාව මිත්‍යාවක් උනාට, යතාර්ථය අනුව මෙක ඇත්ත. වර්තමාන ලංකීය සමාජ ක්‍රියාකාරීත්වය තුල ‘ආගම‘ විසින් කරන කාර්යබාරය මේ කතාවේ සත්‍යතාවය නැවත නැවත් ලංකීය පොළොව මතම සනාථ කරනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත වශයෙන්ම මා බලාපොරොත්තුවෙන් සිටියේ මේ තර්කානුකූල වූත්, විස්තරාත්මක වූත් ප්‍රතිචාරය ලැබෙන තුරාය. හේතුව ලංකාවේ විවිධ සමාජවාදී පක්ෂ ගැන මගේ දැනුම අල්ප වීම බව නිහතමානීව කියමි.

      මේ ලිපිය සම්පාදනය කිරීමට මෙතරම් ප්‍රමාද වූයේද ඇතැම් කරුණු මටද පැහැදිලි නොවූ නිසාය. නමුත් ඔබේ කරුණු දැක්වීම මත මට තිබූ පහත ගැට පද ලිහා ගැනීමට හැකි වූ බව ස්තුති පූර්වකව දන්වමි.

      1. ඔහු සම්ප්‍රදායික නොවන බව පැවසුවද ඔහු නියෝජනය කරන පක්ෂය නම් වශයෙන් මමද නොදැන සිටියෙමි. සම්ප්‍රදායික නොවන කතාවෙන් ජ.වි.පෙ. නොවන බව පැහැදිලිය. එනම් බොහෝ විට කුරුටුගාමී හෝ සමානතා පක්ෂයේ විය හැකිය.

      2. ශිෂ්‍ය ව‍යාපාරයේ වැඩි බලතල ඇත්තේ අ.වි.ශි.බ.ම. ට බවද ඔවුන් පිටුපස සිටින්නේ සමානතා පක්ෂය නොව, කුරුටුගාමීන් බවද පැහැදිලිය. එසේනම් ඔහු කුරුටුගාමියෙක් විය හැකිය.

      3. ඔහු ඉහත වෙබ් අඩවිය සහිත පත්‍රිකාවක් මට දුන්නද, අමෙරිකාවේ සමාජවාදී අපේක්ෂකයා එන බව කීවද, ඔහු එයට සහභාගී වන බවක් කීවේ නැත. එය කීවේ පුවතක් ලෙස බව දැන් සිහිපත් කළ හැකිය. මට ආරාධනය කළේද නැත. එසේනම් පත්‍රිකාව...?

      ඔහු අත තිබුයේ එවන් පත්‍රිකා මිටියක් නොව කිහිපයක් බව ඔබේ තර්කාණුකූල කරුණු මත යළි සිහි කළ හැකිය. (මා සිතුවේ බෙදා අවසන් වී ඉතුරු වී ඇති ඒවා කියාය.) එසේනම් ඔහු ඒවා වෙනත් අයෙකුගෙන් ලද ඒවා විය හැකිය. අමරිකාවේ සමාජවාදියා එන කතාව එහි තිබුණක් විය හැකිය. (මම එය නොකියවීමි. අමතක වූ බැවිනි. එය කලිසම් සාක්කුවේ තිබී සෝදන විට විනාශ විය.)

      මේ අනුව බලන කල වැඩි සම්භාවිතාවයක් තිබෙන්නේ ඔහු කුරුටුගාමියෙක් වීමටය.
      මේ දක්වා මා කර ඇත්තේ ගැටළු සහගත, පරස්පර විරෝධී අවස්ථා පිළිබඳ කරුණු දැක්වීමය.

      ඔබේ අදහස් වලට මගේ ප්‍රති උත්තර දීම මෙතැන් සිට.

      මෙම ලිපියෙන් මා අදහස් කළ සැබෑ පණිවුඩය ඔබ ඇතුළත්ව කිසිවෙකුත් හරිහැටි වටහා ගෙන නොමැත. මට අවශ්‍ය වූයේ සමාජවාදය යන සංකල්පයට පහරගැසීම හෝ තෝරාගත් එක් සමාජවාදී පක්ෂයකට රිදවා පහළ ශ්‍රේණියේ සතුටක් ලැබීමට නොව, ඉස්ලාම් අන්තවාදී, බෞද්ධ අන්තවාදී කණ්ඩායම් වැනි උන්මත්තක ආගමික කල්ලි මෙන්ම අප සමාජයේ සමාජවාදී අන්තවාදී කල්ලිද බිහිවීමේ ප්‍රවණතාවයක් පවතින බව පෙන්වා දීමටය.

      මා ධනවාදියෙක්, ධනවාදය අගය කරන්නෙක් හෝ සමාජවාදී විරෝධියෙක් නොවේ. කිසිදු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද නැත. එනිසා පොදුවේ සමාජවාදය විවේචනය කරන්නට හෝ කිසිදු සමාජවාදී පක්ෂයකට ඉලක්ක කර පහර ගැසීමට හෝ නිදොස් කොට නිදහස් කිරීමට මට අවශ්‍යතාවයක් නැත.

      මා පහර ගැසුවේ සමාජවාදී අන්තවාදයට මිස සමාජවාදය යන මානව හිතවාදී උතුම් දහමට නොවේ. එය ලංකාවේ අහිංසක මුස්ලිම් ජනතාව සමග සහෝදරත්වයෙන් එකට කා බී, අල්-කයිඩාවට විරුද්ධ වීම වැනිය. අල් කයිඩාවේ මිම්මෙන් සියලු ඉස්ලාම් භක්තිකයින් මැනීමට තරම් මෝහයෙන් මුලා වී නොමැති සේම එක් ඊනියා අන්තවාදියෙක්ගේ ප්‍රකාශය මත පදනම්ව සියලු සමාජවාදීන් ඒ ගොඩට දැමීමට තරම් මම බුද්ධි ධාරිතාවෙන් හීන පුද්ගලයෙකු නොවෙමි.එසේ කිරීම හරියැයි මා අනුමත කරන්නේ නැත.

      එහෙත් ඔහු දැරුවේ (පක්ෂය කුමක් හෝ වේවා), සිය පෞද්ගලික ස්ථාවරය නොවන බව මම විශ්වාස කරමි. එනම් අන්තවාදී ලෙස සමාජවාදය 'අදහන' යම් පිරිසක් ශ්‍රී ලාංකික සමාජයේ සිටින බව පැහැදිලිය.

      මා ඉහත කී ඊනියා සමාජවාදියා වෙබ් අඩවියට අයිති කෙනෙක් යැයි සිතාගෙන සිටීමට හේතුවක් තිබුණි. ඔබ කොතෙක් නැතැයි කිවුවද ඔය කියන වෙබ් අඩවියේ අන්තවාදී ස්වරූපයේ ලිපි දුලබ නොවේ.

      වරක් එහි, මාක්ස්වාදය සමග තැබූ විට නවීන විද්‍යාව 'බලු නොවටින' බව සඳහන් වුණි. වැඩිදුර කියවාගෙන යනවිට ඔහුගේ බර වචන නම් වූ කඩතුරාව ලිහී, අන්තවාදී නිරුවත දැකගත හැකි වේ. ඉන් ඔහු අදහස් කර ඇත්තේ මාක්ස්වාදය විශිෂ්ට දර්ශනයක් යන්න නොව, මාක්ස්වාදය සමග සැසඳීමේදී නවීන විද්‍යාව මිනිසාගේ ප්‍රගමණයට දක්වා ඇති දායකත්වය නොගිණිය හැකි තරම් බවය...! මෙය ලියූ අය නම් සිතන්නට ඇත්තේ එය මහා 'රැඩිකල්' ප්‍රකාශයක් බවය. එහෙත් විවෘත මනසකින් බලන්නෙකුට ලියුම්කරුගේ මනස දරණ අන්තවාදී ලක්ෂණ මනාව නිරීක්ෂණය කළ හැකිය. සරල උදාහරණයකින් පැහැදිලි කළහොත්, ලියුම්කරු අසනීපයක් නිවාරණය කිරීමට කරනවා ඇත්තේ වෛද්‍යවරයෙකු හමුවී ඖෂධයක් අනුමත කර ගැනීම වෙනුවට කාල් මාක්ස්ගේ පොතක් කියවීම වනවා විය යුතුය. මන්ද වෛද්‍ය විද්‍යාව, ජීව විද්‍යාව මගින් නිපදවනු ලැබෙන ඔසු හා පරීක්ෂණ උපකරණ කිසිදු වැදගම්මකට නැති විකාරය. මිහිපිට සියළු තාක්ෂණික උපකරණ ක්‍රියාකරනවා ඇත්තේ භෞතික විද්‍යාවේ, රසායන විද්‍යාවේ සිද්ධාන්ත වලට පටහැනිව, මාක්ස්වාදී සිද්ධාන්ත වලට අනුකූලවය. සියළු යන්ත්‍ර සූත්‍ර, රථවාහන, ගොඩනැගිලිලි ක්‍රියාකරනු ලැබෙන්නේ සහ ගොඩනගනු ලැබ ඇත්තේ ඉංජිනේරු විද්‍යාවේ මූලධර්මවලට අනුව නොව මාක්ස්වාදී සිද්ධාන්ත වලිනි.

      To Be Continued.....

      Delete
    2. ....From Previous (rest)
      අන්තවාදියාට සිය අන්ධ භක්තිය නිසා දක්නට නොහැකි වූ දෙයනම්, මාක්ස්වාදය සහ විද්‍යාව ඔවුනොවුන්ගේ අගය, අදාල වන සන්දර්භය තුළ ප්‍රශස්ත ලෙස ඉහළ නංවාගන්නවා බවය. එනම් මේවා සුදුසු තන්හි අවශ්‍ය මාත්‍රාවට (පමණට) භාවිත වෙමින් මිනිසාට සිය සේවය සලසමින් සිය වගකීම ඉටු කරණු ඇත. (නැතිනම් සිදු වන්නේ ලුණු වැඩිවූ ව්‍යාංජනයට සිදුවන දේය.) සරලවම කිවහොත් මාක්ස්වාදය යනු 'කෝකටත් තෛලය' නොවේ.

      විද්‍යාවේ තැන ගැනීමට මාක්ස්වාදයටවත්, මාක්ස්වාදයේ තැන ගැනීමට විද්‍යාවටත් නොහැකිය. තිරසාර මානව ප්‍රගමණයකට විද්‍යාව නැතුවම බැරිය. එයට අපහාස කොට, නොසලකා හැර යන ගමන කිසිසේත්ම ප්‍රායෝගික නොවේ.

      කොටි ත්‍රස්තවාදයට පක්ෂපාතී ප්‍රකාශද, උග්‍ර ලෙස බෞද්ධ විරෝධී වෛරී ප්‍රකාශද මම එහි අපමණ කියවා ඇත්තෙමි. උදාහරණයක් ලෙස, යම් නගරයක ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පිරිත් වාදනය කිරීම සාපරාධී, කරදරකාරී සහ බලවත් හිරිහැර සහිත සමාජ විරෝධී ක්‍රියාවක් බව දක්වා තිබුණි. මෙසේ පවසන්නට පෙළඹෙන්නේ උග්‍ර අන්තවාදීන් පමණක් නොවේද..? එහි පුරවැසියන්ට එහි ගැටළුවක් නැත්නම් එය බරපතල ගැටළුවක් ලෙස දකින්නේ උග්‍ර ලෙස බුදු දහමට සහ බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නෙක් නොවේද?

      සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භකයින් උගත් බුද්ධිමත් විද්වතුන් බව ඔබ පවසන්නේ, එය අන්තවාදීය යන චෝදනාවෙන් නිදොස් කර ගැනීමට බව පැහැදිලිය. එය පමණක් නොව, සියළුම සමාජවාදී පක්ෂවල ආරම්භය අධ්‍යයනය කළහොත් එසේය. කොටින්ම ජ.වි.පෙ. පදනම දැමූ විජේවීර පවා ඉහළ මට්ටමේ බුද්ධිමතෙකි.

      එහෙත් ආරම්භය හොඳ වූ පමණටම යම් සංවිධානයක් කිසිදා අන්තවාදයට තල්ලු වී නොයන බවට දිය හැකි සහතිකය කුමක්ද? සතුරාට පවා මෛත්‍රී කරන්නට වදාළ බුදුන්ගේ දහම 'අදහන්නන්' මෙරටදී එය තල්ලු කර ඇති තැන ඔබට අද දැක ගත හැකිය.

      පදනම දැමූ විද්වතුන්ගෙන් ගිලිහී, බුද්ධි හීනයන් අතට පත්වූ ඕනෑම දෙයකට අත්වන්නේ එම ඉරණමයි. එවන් අවාසනාවන්ත ගොදුරු වීමකට ලක්වූ විට, එහි මූලික හර පද්ධතිය පවා විකෘති වන්නේ දරුණු විෂබීජයක් ආසාධනය වූ පරිද්දෙනි. මේ සටහන (මුල් ලිපිය) තබන්නට සිදුවූ අවාසනාවන්ත සිදුවීම, එහි ප්‍රතිඵලයකි.

      Delete
  12. පිළිතුරට ස්තූතියි!

    සමාජවාදයට පහර ගැසීමේ අදහසින් ඔබ විසින් මෙම ලිපිය ලියා ඇති බවක් මම අදහස් කලේ නැහැ. මගේ මුල් ප්‍රතිචාරයෙන් මම එවැන්නක් අදහස් කල බවක් හැඟුනා නම් කණගාටුයි.
    නමුත්,.. එවැනනක් කිරීමට අදහස් නොකර ලියුවා වුවත් ඔබේ ලිපිය ‘අසම්පූර්ණ සහ නොමඟ යවන සුලුය‘ යන චෝදනාව නම් මම කරනවා. හේතුව ඉහත කමෙන්ටුවේ කියා ඇති. දෙවනුව ඔබේ ලිපිය අන්තර්ජාලය තුල, විශේෂයෙන් ෆෙස්බුක් හරහා ප්‍රචාරය කෙරුනේ ‘සමාජවාදයට‘ පහර ගසා එමඟින් ‘වර්ගවාදය‘ සාධාරණීකරනය කිරීමට.

    http://www.facebook.com/photo.php?fbid=497857823614798&set=a.497857746948139.1073741827.114323988634852&type=1&ref=nf

    වැඩි දෙනා ඔබේ ලිපිය හරහා වටහා ගන්නේ ඔබ කියන්න උත්සහ කල දෙයට වෙනස්ව ඔබ කියන්නට උත්සහ නොකල දෙය. ගැටලුව ඇත්තේ එතැන.

    ------------------

    මෙම ඊනියා උග්‍ර සමාජවාදියා කුමන පක්ෂකයට අදාලද යන්න ගැන සැලකීමේදී, ඔහු සමානතා පක්ෂයේ හෝ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වීමට වඩා වැඩි සම්භාවිතාවක් මේ දෙකටම අයත් නොවන හුදු විකාරකාරයෙකු වීමට තියෙනවා. හේතුව සරලයි.

    1. ‘මෑතකදී අටවාගත්‘ පක්ෂයක් සහ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩි බලයක් ඇති පක්ෂයක් යන කාරණා දෙක අනුව මේ කියන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගැන. පෙසප සමාජිකයින් ජවිපේ සමාජිකයන්ගෙන් වෙනස් වෙන්නේ පක්ෂයේ නමින් සහ තවත් ඉතා සුලු කරුණු කිහිපයකින් පමණයි. ඔවුන් කිසිවෙකුත් වැරදීමකින් හෝ සමානතා පක්ෂයේ පත්‍රිකාවක් බෙදීමට හෝ තවත් කෙනෙකුට දීමට ඉඩක් නැහැ. ප්‍රතිවිරුද්ධ (ඇත්තටම සතුරු) මතවාද දෙකක ඉන්න මේ දෙපිරිස අතර කිසිදු එකඟතාවයක් නැහැ. එකිනෙකාමේ අදහස් වලට ගරු කිරීම හෝ ඉවසා ඒවායේ හරයක් ඇත්තැයි සොයාබැලීමේ සංයමයක් වත් මේ දෙපිරිසෙන් බහුතරයකට* නැහැ. ඒ නිසා මේ පුද්ගලයා පිස්සෙක් එහෙමත් නැත්නම් රැවටිලිකාරයෙක්.

    ------------------

    [අන්තවාදී ලෙස සමාජවාදය 'අදහන' යම් පිරිසක් ශ්‍රී ලාංකික සමාජයේ සිටින බව පැහැදිලිය. ]

    පැහැදිලිවම. නමුත් මේ කියන අදහස් සහිත දේශපාලන පක්ෂයක් නම් ලංකාවේ නැති බව සහතිකයි.

    [ඔය කියන වෙබ් අඩවියේ අන්තවාදී ස්වරූපයේ ලිපි දුලබ නොවේ.]

    ඇත්ත ඔවුන්ගේ මතවාදය සම්බන්ධයෙන් පැහැදිලි විවේචනයක් තිබෙනවා. හැබැයි අර පුද්ගලයා කියූ ආකාරයේ අදහස් නම් නම් ඔවුන්ගේ දේශපාලනික මතවාදය සමඟ නැති බව පැහැදිලිය. පොතේගුරු ට්‍රොස්කිවාදී දේශපාලන පක්ෂයක් විදියට ඔවුන්ට ආගම සම්බන්ධයෙන් ඉතා දැඩි දේශපාලනික විවේචනයක් තිබෙනව ඇති. ඒත් ඒක මේ විදියෙ මෝඩ-උමතුවක් නෙමෙයි. සමානතා පක්ෂය කුමන විදියට අධ්‍රානග්‍රාහීව ඔවුන්ගේ මතයේ සිටියත් ඔවුන් තුල යම් ප්‍රබුද්ධ දේශපාලනික ලක්ෂන තියෙනවා. අධ්‍යයනනය සම්බන්ධයෙන් ඔවුන්ගේ නැඹුරුතාවය ඉන් එකක්.

    [සමාජවාදී සමානතා පක්ෂයේ ආරම්භකයින් උගත් බුද්ධිමත් විද්වතුන් බව ඔබ පවසන්නේ, එය අන්තවාදීය යන චෝදනාවෙන් නිදොස් කර ගැනීමට බව පැහැදිලිය.]

    කොහෙත්ම නැහැ. ඔබේ ලිපියේ කියැවෙන දෑ වලට පිලිතුරු ලෙස කරුණු දැක්වූවා මිස සමානතා පක්ෂයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටින්න අදහස් කලේ නැහැ. ඇත්තටම නම් පවතින කිසිඳු දේශපාලන පක්ෂයකට මම අයත් නැහැ.
    ඒ වගේම මම අදහස් කලේ සමානතා පක්ෂයේ ආරම්භකයින් ගැන පමණක් නොවේ.

    :)

    ReplyDelete
    Replies
    1. හරවත් සංවාදයක් ඇරඹීමට මුල් පිරීම ගැන ස්තුතියි. අඩු ගානේ එය ලංකාවේ විවිධ සමාජවාදී දෘෂ්ටි පිළිබඳ මගේ දැනීම හෝ පුළුල් කළා.
      ඕනෑම ප්‍රකාශයක් තමන්ට වාසිදායක ලෙස අර්ථකථනය කරන අන්තවාදීන් හැම තැනම ඉන්නවා. රටේ වැදගත් පුරවැසියන් උදා. හිටපු හමුදාපතිවරයා සහ අගවිනිසුරුතුමිය, ගේ කීර්ති නාමය පවා මේ සඳහා යොදගන්නට එවැන්නන් පසුබට වෙන්නේ නැහැ. ඔබේ චෝදන්වාට පදනමක් ඇති බව සත්‍ය නමුත් මා එවැන්නක් බලාපොරොත්තු වූයේ හෝ අනුමත කරන්නේ නැහැ. එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවීම ගැන අතිශයින්ම කණගාටුයි. නමුත් නොලියා ඉන්නට බැහැ. මා පත්ව ඇති අපහසුතාව ඔබට තේරුම් ගන්නට හැකි වෙතැයි සිතනවා.

      Delete
  13. Don't fear! He's just a mental patient.

    ReplyDelete
  14. කසුන්, සසප වෙනුවෙනු පෙනී සිටි එකට, නිවැරදි තොරතුරු සැපයූ එකට ස්තූතියි.
    (මේක සෑහෙන පරක්කු කමෙන්ට් එකක් බව දන්නවා. ඒත් මම මේක දැක්කෙ අද)

    ReplyDelete