Sunday, October 18, 2015

රාජ්‍ය සම්මාන මායාව සහ ග්‍රන්ථ ප්‍රකාශක මාෆියාව

මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link)
මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි. 

මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.

'පළමු දඩයම' මෑතකදී ග්‍රන්ථයක් ලෙස දොරට වඩින්නට පෙර එය පළමු වරට උපත ලැබුවේ වේදිකා නාට්‍යයක් ලෙසටය. ඒ අතීතය මින් වසර 8ක්, එනම් 2007 දක්වා ඈතට දිව යයි. නමුත් එහි වස්තු බීජය ම'පියාගේ සිත තුළ පිළිසිඳ ගන්නට ඇත්තේ ආසන්න වශයෙන් මීට දශකයකට පමණ පෙරාතුව ය.

එයට මුල්වූ සංවේදී අත්දැකීම නොහොත් වස්තු බීජය බොහෝ දෙනා නොදනී. සිද්ධිය සැකෙවින් මෙසේය:

දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ම'පියා එකල මාතර නගරයේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඇදුරුතුමන් විය. 

වෙනත් සංස්කෘතියක් නියෝජනය කළද, නාට්‍යකරණයට සහජ දක්ෂතා පෙන්නුම් කළ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතයේ සාමාන්‍යපෙළ කඩඉම වුව පසු කළේ නොමැති වුවද ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වූයේ ඇය කුඩා කලම ගිවිසගත් පරිදි වය්‍යාපාරික තරුණයෙකුට විවාහ කර දීමය. මේ පිළිබඳව සිසුවිය  තුළ අබමල් රේණුවකුදු කැමැත්තක් නොවුවද, දෙමාපියන් ඒ සඳහා ඇයට බලකර සිටින්නට වූහ. මේ පිළිබඳ සිත් තැවුලෙන් නොකා නොබී දින ගත කළ ඇය පිළිබඳ ම'පියාට දැනගන්නට ලැබුණි. 
ඔහු ඇගේ නිවසට ගියේ ය. එහිදී ගුරුවරයෙකු වශයෙන් ඔහු හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය.

"අනේ සර්....මාව බේරගන්න!" සිසුවිය ඔහු පාමුළ වැඳ වැටුණා ය.

දෙමාපියන්ට කෙතෙක් කරුණු පැහැදිලි කර දුන්නද සිය දියණියගේ සුකොමළ ජීවිතයට වඩා ආගමික චාරිත්‍රය ලොකු කරගත් ඔවුහු සිය රුදුරු තීරණය වෙනස් නොකළහ.

ඉතා සංවේදී පුද්ගලයෙකු වූ මගේ පියා මින් ඉමහත් කම්පාවට පත්විය.

අප්‍රිකානු අනුභූතියක් තුළ ගොඩනැංවුවද, ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයක මස් වැද්දෙකුගෙන් ඉගෙණුමෙහි සමත් තරුණියක් ගලවාගෙන සිදාදියට පළා යන්නට යත්න දරණ ගුරුවරයෙකුගේ ප්‍රස්තුතය (තේමාව) රැගත් එම නිර්මාණයෙන් පිළිබිඹු වූයේ අප ජීවත්වන සමාජයේම එක් අඳුරු පැතිකඩකි. තවත් එක් 'කාන්තාරයේ කුසුම' කි. (Desert Flower by Waris Dirie)

'පළමු දඩයම' ඔහු සේවය කරන විද්‍යාලයේ පෙරහුරු දර්ශනයක් රඟදැක්වූ දිනය ඔහුට වඩාත් වේදනාකාරී එකක් විය. 100% ක්ම ස්වතන්ත්‍ර වූ මේ නිර්මාණය, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් විය යුතුයැයි ඇතැම්හු නිගමනය කළහ. මීටත් වඩා බරපතළ චෝදනාවකට, (සිය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ලවන තරමේ) ඔහු ලක්විය. කථාවේ යටිපෙළ අරුත තේරුම් ගන්නට නොහැකි වූ එක්තරා කලාකාරයන් පිරිසක් එය අර්ථ දැක්වූයේ මෙසේයැ! 

කලාකරුට සිය සිසුවියක් පිළිබඳ සිතක් පහළ වී ඇත. මෙය සමාජ සම්මත‍යට පටහැනි නිසා එකම විසඳුම "අපි පැනලා යමු" යන්න වය්‍යාංගයෙන් පැවසීමයි. කතාවේ තේමාව දිවෙන්නේ ඒ ඔස්සේය...!
මේ කතාව මගේ අම්මාටද අසන්නට ලැබුණා නොව, 'ෆුල් සීරියස් මූඩ් එකක' කිසිවෙකු විසින් පවසන ලදී. විශ්වවිද්‍යාලයේදී ප්‍රේම සම්බන්ධයකින් විවාපත් වී දශක තුනකට අධික කාලයක් පුරාවට ම'පියා ගැන දන්නා ඇය එය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කිරීම අප කාගේත් පූරුවේ වාසනාව විය.

දහඩියෙන් කඳුලෙන් ඉපයූ, (එක් දර්ශන වාරයකට) අසූ දහසකට අධික (සෑම දර්ශන වාරයකම ආදායම ඊට වඩා බෙහෙවින් අඩු වූ බව කිව යුතුය.) මුදලක් හා මිළ කළ නොහැකි කැපකිරීම් රාශියක අග්‍ර ඵලය ලෙස ඔහු එය නැවත නැවතත් වේදිකා ගත කළේය. ඒ මාස ගණනක කාලය තුළ කිසිදිනෙක ඔහු මධ්‍යම රාත්‍රී පසුවී අළුයම උදාවනතුරු නිවසට පැමිණියේ නැත. ඔහු එනතුරා හදවත් රෝගියෙකු වූ මගේ මවුතුමිය නිදිවරා මගබලා සිටියාය.

අන්තිමේදී එය 2008 රාජ්‍ය නාට්‍ය උළෙලට නිර්දේශ විය. එය නැරඹූ නැසීගිය කලාශිල්පී එච්.ඒ. පෙරේරා මහතා එය ඔහු සිය ජීවිත කාලයේ නැරඹූ හොඳම වේදිකා නාට්‍ය අතළොස්ස අතර තිබෙන බවද, රාජ්‍ය සම්මානයක් නියත බවද කීය. ඔහු පමණක් නොව, එකී රාජ්‍ය නාට්‍ය උළෙලේ සියළුම නාට්‍ය එකක් හෝ අත නෑර නැරඹූ දිවයිනේ ප්‍රකට මාධ්‍යකරුවෙක් එය සනාථ කළේ ය. 

නමුත් පුදුමය නම් අවසානයේ කුසලතා සම්මානයක් හෝ දිනාගැනීමට එය සමත් නොවීමය. විවෘත මනසක් සහිතව මා නැරඹූ එතරම් කැපී පෙනෙන විශේෂත්වයක් නොමැති ඇතැම් නාට්‍යවලට සම්මාන වරුසා වසින්නට විය. අප ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අනුවර්තනයක් ඉදිරිපත් කිරීම ඊට හේතුව යයි තැන තැන කසුකුසු ගානු ඇසිණ.

ලොකුම විහිළුව නම් එකී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය සම්මානය දිනූ 'නිර්මාණය' අනුවර්තනයක් වීම ය. මා ඒ වනවිටත් නරඹා තිබූ 'අ බියුටුෆුල් සන්ඩේ' නම් විශ්ව කීර්තියට පත් නිර්මාණයේ විදේශීය නම් වෙනුවට ලාංකික නම් ගම් ආදේශ කිරීම මගින් නිර්මාණකරු එය ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අපූරුවට ඒත්තු ගන්වා තිබුණි.

සම්මාන සඳහා නිර්දේශ වූ නාට්‍යය නිර්මාණය අත්වූ කල දසාව එසේ වෙද්දී ඉන් බිඳක්වත් නොසැලුනු ම'පියා, එය 'ග්‍රන්ථාරූඪ' කිරීමට සත් වසක් දුක් විඳී ය.

මහා දානපතියන්, සමාජයේ පරමාදර්ශී පුද්ගලයින් ලෙස පෙනී සිටින බොහෝ පොත් ප්‍රකාශකයින්, ඔහු නොසලකා හැරියා පමණක් නොව ඔහුට අවමන් කිරීමටද නොපැකුළුනි.

පසුගිය 'දූෂිත' රජය පෙරළා වත්මන් යහපාලනය උදාකිරීමට මාධ්‍ය මගින් මහ මෙහෙවරක් කළ එක්තරා මහැදුරෙකුට අයත් 'විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය' එහිළා විශේෂ ය.

ගිනි අවුවේ නාට්ටාමි කෙණෙකු මෙන් මහා පොත් මිටියක් අතේ දරාගෙන ඔහු එකී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට ගොඩවන විට එහි සිට ඇත්තේ එකී මහැදුරුතුමාගේ ප්‍රියාදර ඇඹෙණිය යි.

"අපෝ..! ඔය අප්‍රසිද්ධ ලේඛකයින්ගෙ පොත් ගහල අපිට නිකං පාඩු විඳින්න බෑ. අපි බිස්නස් එකක්නෙ කරන්නෙ. අනිත් එක මේ දවස්වල කවුද නාට්‍ය පොත් කියවන්නෙ? මේ දවස්වල නැගල යන්නෙ ඔය නවකතා, ශිෂ්‍යත්ව පොත් වගේ ඒවනෙ. බැරිද ඒ වගේ ඒව කරන්න?" 

සොච්චම් කතෘ භාග (භාග කිවුවට 50% නොවේ. 5 % කි!) ගිවිසුමක් යටතේ මුද්‍රණයේ පවතින සිය පොතක සෝදුපත් බැලීමට සිවුවන මහළ නැගීමට ගිය මගේ පියාට, ඇස් ගොඩගේ නම් ජාතියේ මහා පහන් තැඹ, සිය ආයතනයේ විදුලි සෝපාව භාවිත නොකර පියගැටපෙළ භාවිත කරන්න යැයි අණ කර තිබේ. තුන් වේලවත් කන්න නොතිබූ අන්ත දිළිඳු ගොවියෙකුගේ පුතෙකු වූ ඔහුට තට්ටු සතරක් නැගීම මහ ලොකු කජ්ජක් නොවේ. එහෙත් පඩි පෙළ නගින අතරතුර ඔහු මට මෙසේ කීය.

"මේ මිනිස්සු මැරෙනකොට ගෙනියන්නද දන්නෙ නෑ අපි වගේ දුප්පත් ලේඛකයින් හූරා කාල මෙච්චර හම්බ කරන්නෙ. අඩු ගානේ දරුවෙක් මල්ලෙක්වත් ඉන්නවනම් කමක් නෑ."

ප.ලි. කංචුක නිර්මාණය: ලංකාදීප ප්‍රවීණ කාටුන් ශිල්පී පියල් උදය සමරවීර මහතාගේ පුත් පසත් සමරවීර.

මේ හා සබැඳි වෙනත් ලිපි:

පොත්
මගේ තාත්තා හෙවත් 'පළමු දඩයම' මැවූ ලේඛක තුමාගේ අපූරු ජීවිත කථාව








14 comments:

  1. සරත් විජේසුරිය නම් අමු හොරා බොරු උපාසක කබායක් ඇඳගෙන හිටියට අමුම කුහකයෙක් මේ ලිපිය බලන්න

    අරණකට පෙම් බැඳ හොරාට මුද්‍රණය කරලා
    චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය විසින් පරිවර්තනය කරන ලද විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි කතුවරයාගේ අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය කතෘභාග කිසිවක් නොගෙවමින් පසුගිය දෙවසර පුරා වංචනිකව මුද්‍රණය කොට පාඨකයන්ට විකුණා ඇති බව වාර්තා වේ. අරණකට පෙම් බැඳ නමැති ග්‍රන්ථය සිංහල පාඨකයන් අතර මහත් සේ ජනප්‍රිය වූ අතර මේ වන විට ඉතා විශාල පිරිසක් මේ පොත මිලදී ගෙන තිබේ. මෙම ජනප්‍රිය ග්‍රන්ථයේ කතුවරිය වූ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මිය 2000 වසරේ මිය ගියාය. ඇයගේ මරණින් පසු ඇය විසින් ලියන මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය වැනි කෘතීන් පවා මෙසේ වංචා සහගතව විකුණා තිබෙන බව හෙළි වේ. පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී විකිණීම සඳහා කතුවරයාගේ කිසිදු ඥාතියෙකුගේ අවසරයකින් හෝ අනුදැනුමකින් තොරව අරණකට පෙම් බැඳ ග්‍රන්ථයෙන් පිටපත් ඉතා විශාල ප්‍රමාණයක් මරදාන ප්‍රදේශයේ මුද්‍රණාලයකදී මුද්‍රණය කොට කෙලින්ම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලව වෙත ගෙනගොස් තිබේ. මෙසේ වංචනිකව අරණකට පෙම් බැඳ ග්‍රන්ථය හොරාට විකුණා මුදල් උපයාගෙන ඇත්තේ අවංක භාවය , මානව සාරාර්ථ ගැන නිතරම පුවත්පත්වලින් ගුවන්විදුලියෙන් බන කියන තමන්ගේ නමින්ම ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයක් පවත්වාගෙන යන කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකි.

    ReplyDelete
  2. පොත් ප්‍රකාශකයෝ ගැන නම් කියන්නත් ලැජ්ජයි. මේ දේ මේ වාගෙ වෙන්නෙ ලංකාවෙ පමණයි. ලේඛකයාගේ ඒ උදාර ගුණයටත්, ඔබේ සංවේදී බවටත් හිස නමා ආචාර කරමි. කොයි ලොව යන්නේ මරණින් මත්තේ........පින් පව් එනවා අප පසු පස්සේ...........නියම පාඨකයාගේ රුචිය ඔය මාධ්‍ය වල සංදර්ශන වලට නම් යටත් නෑ කියල නම් කියන්නම ඕනෙ.

    ReplyDelete
  3. වානේ පන්නරය ලබන්නේ ගින්නෙනි, එයමැ සිත්හි දරා ඔහු නොසැලී තම නිර්මාණ කාර්යයේ නියැලී ඇති බව මනාව පැහැදිලි වෙයි.

    ඔහුගේ උත්සාහය තුලින්ම ඔහු දැනටම සම්මානයට පාත්‍ර වී අවසන්ය.

    ඔබේ පියාට ධීර්ගායු පතමි.

    ReplyDelete
    Replies
    1. (දීර්ඝ + ආයු) දීර්ඝායු කියමු නේද? අනවශ්‍ය මහාප්‍රාණ අනවශ්‍ය තැන්වලට දැමීමෙන් බස නැසේ. ඔබට ස්තුතියි.

      Delete
  4. පොත් ප්‍රකාශකයො කියන ජාතිය ගැන කතා කරල වැඩක් නෑ.

    ඔබේ පියාවගේ අයට තමයි මහා පුරුෂයින් කියල කියන්නෙ...

    ReplyDelete
  5. ඔබේ පියානන් උත්තම පුරුෂයෙකි. ඔහු වැන්නන් මේ සකල සිරින් පිරි සිරිලංකාවේ ඉපදිය යුතුව තිබුනේ නැත.

    සම්මාන පොරේ ගැන නම් ඉතා පිලිකුලෙන් තමයි කතා කරන්ට වෙන්නෙ. නාට්‍ය, සාහිත්‍ය, සිනමා මේ කොයි යම් සම්මාන උළෙලක දී හෝ වේවා මේ කාලකන්නි තත්ත්වය අඩු වැඩි විදිහට දැකගන්න පුලුවන්.

    මේ මෑතකදී ඉඳන් තවත් වැඩක් යනවා මට පේන විදිහට හිමීට. හැබැයි මේක බොහොම ධනාත්මක ප්‍රවනතාවක් විදිහට තමා හුඟක් කස්ටිය දකින්නෙ. මෙහෙම කිව්වම මටත් ගල්මුගුරු එනවා අනිවාර්යෙන්. කමක් නෑ කියලා දාමු. ඒ වැඩේ තමා you scratch my back, I'll scratch yours පන්නයේ චිචාරක කලාවක බිහිවීම. නවකතා කෙටිකතා කවි ලියන ඈයො අනුන්ගෙ නිර්මාණ ගැන (ඒවට නිර්මාණ කියන්ට පුලුවන්ද මන්දා) ගල්පැලෙන බොරු දෙසලා එව්වා හෙන උස මුරුංගා අතු වල තියනවා. මේ සැරේ එව්වට සම්මාන ෂුවර් කියලා අනාවැකිත් කියනවා. පොත් ප්‍රදර්ශනයේ දී ඔයාලා නොවරදවා ගන්ට ඕන කියලා රෙකමදාරුත් කරනවා. බුකියට මේ වගෙ ඒවා ලියලා දැම්මහම සිය ගණන් කස්ටිය එව්වා ලැයික් කරනවා. ෂෙයා කරනවා. රෙකමදාරුව නිසා පොත් විකිනෙනවා. එලම සීන් එක කියන්නෙ සමහර විට මේ අවුරුද්දේ ඒ විචාරක මහත්තුරු නෝනලා පබ්ලිශ් කරලා නෑ. හැබැයි ලබන අවුරුද්දට එහෙම ප්ලෑන් කරලා තියෙන්නෙ. ඉතිං අර මුරුංගා අතු උඩ තියාපු අය තමන්ට ගිල්ලවපු ගුලිය රිටර්න් කරන්න ඕන ඊළඟ සැරේ. ඔන්න ඒ කස්ටිය ලියනවා අනික් පැත්තට සප් එක දීලා. බිස්නස් එක නැගලා යනවා. හැබැයි මේක අර්ථකතනය වෙන්නෙ මෙහෙමයි. "අවංක අනිකාගේ දියුනුව පතන සැබෑ විචාරකයෝ කලාකරුවෝ නම් එසේය. ඔවුන් අනුන්ගේ නිර්මාණ කුහකකමින් තොරව අගය කරති... බ්ලා බ්ලා බ්ලා..." අනේ සකෝ බලලෝ කිව්වලු.

    ReplyDelete
    Replies
    1. එකෙන්ම එකගයි
      ඒක දැං විලාසිතාවක් වෙලා

      Delete
    2. අනිවා මචං. බුකියෙත් යනවා මේ වැඩේම. නිසදැස් කයියෝ සදැස් කයියෝ වැහි වැහැලා. කොමෙන්ටු නිසා ඒ කයියො මුරුංගා අතු මුදුන්වල. මොනා හරි කසිකබල් විලාපයක්, බූට් මූඩ් එකේ අඳෝනාවක් වචන කඩලා පේලිගනනාවකට දැම්මනං ඕං ඒක කවියක්.

      Delete
  6. හැම පොත් ප්‍රකාශකයම යම් තත්වයකට ආවම ඔහොම තමා.. මාත් මීට සමාන කෙටි කතාවක් ලියා තිබුනත් එහි අන්තර්ගතය මදි යැයි සිතා පෝස්ට් නොකර සිටිමි. ඔබගේ පියාට නිරෝගී සුව පතමි.

    ReplyDelete
  7. මොනම හරි කට්ටක් කාල කර්තෘ ප්‍රකාශනයක් කරනෙක හොදයි කියල හිතෙන්නෙ මේ වෙලාවට නේද.. හැබැයි දැං අලුත් ප්‍රකාශකයො කීප දෙනෙක් ඉන්නව
    සම සන්ථව වගේ බලමු ඒ අයත් ඉස්සරහට නෙහ්...
    අපි බලන් ඉමු මොකද වෙන්නෙ කියල රාජ්‍ය සාහිත්‍ය සම්මාන කීවට එතනත් පංගු පේරුව තියේනෙ..
    ඔබේ පියාට සුබ පතනව
    ඔහුගේ සියළු බලාපොරොත්තු සපල වේවා

    ReplyDelete
  8. ලිවිල්ල එහෙනං ලේවලින් ඇවිලා

    ReplyDelete
  9. මේ පොත මිලට ගත හැකි කඩ මොනවාද?

    ReplyDelete
  10. මට කියන්න තියෙන්නේ ඉදකිං කියලා විතරයි. මෙහෙම දුක් විදින්න මොකද ලියන්නෙ කියලා හිතෙනවා

    ReplyDelete