Friday, October 26, 2012

කිසිදා වැඩිහිටියෙකු නොවන 'පොඩි එකා'


අප සමාජයට කෙතරම් වැඩිහිටි චරිත වුවද ගෙදරට තවමත් නොදරුවන්ය. මිතුරන් සමඟ කෙටි ගමනක් යාමට සූදානම් වූ විට 'මූදෙ නාන්න යන්න එපා', 'වාහනේ හයියෙන් යන්න එපා' වැනි උපදෙස් අදටත් නොඅඩුව ලැබේ. ආශ්‍රය කරන්නේ කවුරුන් සමගදැයි තවමත් සොයා බලයි. ඇඳිරි වැටුනු පසුත් ගෙදරට වාර්තා කර නොමැති නම් ජංගම දුරකථනයට නිවනක් නොමැත. ගියේ දුර ගමනක් නම් ගමනාන්තයට සුවෙන් ළඟා වෙමින් පවතීද?, ගෙදරට ගොඩ වැදුනේද?, තව කවුද ඉන්නේ? යනාදී වශයෙන් සියල්ල සජීවී විස්තර ප්‍රචාරයක් දීමට සිදුවේ. බැරි වෙලාවත් හදිසියක් වී රාත්‍රියේ නිවසින් පිටවීමට සිදුවුවහොත් තනිවම එම ගමන යාමට කිසිසේත්ම අවසර නොලැබේ. රාත්‍රියේ "බීපු මිනිසුන් ඇඟේ හැපීම සහ බේබදු රියදුරන් ඇඟට කැපීම" එයට හේතුව බව ඊයේ සිදුවූ මෙවැනි සිදුවීමකට මා විරෝධය දැක්වීමේදී දැනගැනීමට හැකිවිය. එය මට හාස්‍යජනක කරුණු පැහැදිලි කිරීමක් වුවද, කෙතෙක් උපහාසයට ලක් කළද සිත රිද්දන්නට නොහැකි හෙයින් අදහස අත් හැර ගැනීමට සිදුවිය. මා සූදානම් වූයේ මහා ලොකු දුර ගමනක් යාමට නොව, මීටර් 700ක් පමණ දුරින් පිහිටි හන්දියට ගොස් රීචාර්ජ් කාඩ් පතක් මිළදී ගැනීමටයි! 

මේ ළඟදී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා මා වටහාගෙන සිටින්නේ මා තවමත් පොඩි එකෙකු නොවන බව ගෙදර අය පිළිගැනීමට අපොහොසත් බවයි. මින් එකක් මෙසේය:

මගේ පියා ගුරුවරයෙකි. ඔහු සුළු පරිමාණයෙන් පුද්ගලික පන්තිද පවත්වයි. එතරම් ආදායමක් නොලැබෙන ඒවායේ ප්‍රචාරයද බොහෝ විට සිදුවන්නේ ඉතා සුළු පරිමාණයෙනි. බොහෝ විට ගෙදරදීම සකස් කරන ලද ලී රාමු සහිත කටවුට් කිහිපයක්, පැය කිහිපයකට කුළියට ගන්නා ලද පුද්ගලයකු ලවා එල්ලවීමට පමණක් මෙය සීමාවේ.
මෙවර ඒ සඳහා අපට අවශ්‍ය පුද්ගලයා සොයා දුන්නේ ම'පියා ගේම ගෝලයෙකි.

අපි, එනම් මම, තාත්තා, ඔහුගේ ගෝලයා සහ  කටවුට් එල්ලන වැඩේ භාරගත් තරුණයා වාහනයේ ගමන් ගනිමින් සිටියෙමු. නගරයට කිලෝ මීටර කිහිපයක් දුර බැවින් ඒ යන අතරතුර කතාබහේදී ඔහුද වෙනත් විශයමාලාවකින් උසස් පෙළ හදාරන සිසුවෙකු බව දැනගන්නට ලැබුණි.
ප්‍රචාරක පුවරුවක් එල්ලන්නට සුදුසු තැනකට අපි පැමිණ සිටියෙමු. මා ඇමතූ තාත්තා...

"පුතේ, ඩිකියෙ ඇති කම්බියි, කටර් අඬුවයි. මේ අයියට දෙන්න....."

අයියා? ඔහු උසස් පෙළ සිසුවෙකි. අඩු තරමේ අවුරුදු 7-8 ක්වත් මට වඩා බාල විය යුතුය. මා උසස් පෙළ පමණක් නොව විශ්වවිද්‍යාලය පමණක් නොව රැකියාද කිහිපයක්ම 'පාස් කළ' අයෙක්මි. තත්තාට වැරදීමක් සිදුවන්නට ඇතැයි සිතුනි. නමුත් ඔහු අඳුරේම කණුවක් පාමුලට යනු දුටු තාත්තා නැවතත්
"පුතේ අයියට ටෝච් එක අල්ලන්න" යයි කීය.

එන පොට හොඳ නැති බවත් මේ ගැන මොනවා හරි කළ යුතු බවත් මම සිතාගතිමි.
යළි වාහනයට පැමිණ ගමන් ඇරඹූ පසු මම තරුණයා කතාවට අල්ලා ගතිමි.

"මල්ලි මොන අවුරුද්දෙද ඒ. ලෙවල්....?"  
"2014."
"ආ..ඇත්තද...? මම 2003...!" මා කීවේ තාත්තාටද ඇසෙන පදිරි උස් හඬිනි.

ඉන් පසු ඔහු මට ඔහුගේ ගෝලයා 'අයියා' ලෙස හඳුන්වා දුන්නේ නැත.

ආපසු එන අතර මා කල්පනා කළේ මෙයයි:
"හොඳ වෙලාවට කසාද බඳින්න එහෙම හදිස්සියක් නැත්තේ....බැරි වෙලාවත් එහෙම වුවමනා වුනා නම් සොරිම තමයි....!" 

4 comments:

  1. විද්‍යාත්මක ලිපි දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි...(උද:- ඇල්බට් අයින්ස්ටයින් කියල තියන "සාපේක්ෂ කාලය" වගේ දේවල් ගැන දන්නවනම් ලිපියක් දාන්න ඒව වටිනව )

    ReplyDelete
  2. උවමනාවට වඩා දරුවන් ආරක්ෂා කරන්න ගිහිල්ල ඇන ගන්න/ගත්ත දෙමාපියනුත් නැතුවා නොවෙයි.කසාද බැදලා යනකන් දරුවන්ට දෙමාපියන්ව ඇනයක් වෙන අවස්ථා ද නැතුවා නොවෙයි.

    ReplyDelete
  3. වටිනා ලිපියක්, ඔනාවට වඩා අම්මලා ලමයි ගැන හොයන එකට මමත් තදින්ම විරුද්ධයි, මටත් ඔය වදේ අඩුනැතුව තිබුනා, හවස 6 වෙනකොට ගෙදර එන්න පරක්කු නම් කෝල් පිට කොල්, හරිම කරදරයක් තමයි,නිදහසේ ‍රැකියාවක් කරන්න නැහැ, නිදහසේ ට්‍රිප් එකක් යන්න නැහැ, කැමති කැමක් කන්න නැහැ, පුදුම වදයක් තමයි, දැන්නම් එ කරදෙරෙන් සදහටම නිදහස් මම තනිවම ගෙයක් හදාගෙන ජිවත් වෙන නිසා,........

    ReplyDelete
  4. "හොඳ වෙලාවට කසාද බඳින්න එහෙම හදිස්සියක් නැත්තේ....බැරි වෙලාවත් එහෙම වුවමනා වුනා නම් සොරිම තමයි....!" :D

    ReplyDelete