Friday, February 20, 2015

අපි දික්කසාද වෙමු

වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.

මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ 

"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.

"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?" 

මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.

"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.

එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."

මම නිරුත්තර වුණා.

ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.

ඇය නැගූ ප්‍රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.

"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

6 comments:

  1. චැහ්! උඹට එවලේම උත්තර දෙන්න තිබුන නෙව (බෞද්ධයෙකුත් වෙච්ච එකේ)
    විවාහ වන මොහොතේ ඉන්න කෙනා නෙවේ නං ඊලඟ මොහොතේ ඉන්නෙ, පාට්නර් මාරුකලා කියල සිද්ධවෙන සෙතේ මොකක්ද? එයා මාරු කරල වෙන කෙනෙක් ගත්තත් එහෙමමයි නෙව. :-)

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද බං. මට නම් හිතෙන්නෙ ඒකිකෙ කතාවෙ පොයින්ට් එකක් තියෙනව කියල. පොඩි දේටත් ඩිවෝස් වෙන එක හොඳයි කියල නෙමෙයි මම කියන්නෙ. තමන්ට වෙනස් කම් වෙනවනම්, කියල හදාගන්නත් බැරිනම් වෙන අතක් බලාගත්තම මොකද කියල හිතෙනව.

      Delete
  2. අවුල තියෙන්නේ ඩිවෝස් වෙන එකේම නෙමෙයි, ඒ අයට සහ දරුවන්ට අපේ සමාජය දක්වන ආකල්ප වල.

    ReplyDelete
  3. යම් සමාජයක එක එක දේවල් සම්බන්ධයෙන් දරන ආකල්ප එකිනෙකට වෙනස්. වෙනස් කියල කිව්වම වැරදි මොකද්ද හරි මොකද්ද කියන තර්කෙ අයිති වෙන්නේ නැහැ. විවාහය ගැන යම් සංස්කෘතියක තිබෙන නිර්ණායක සහ වටිනාකම් ඉතාම වෙනස්. විශේෂයෙන් බටහිර සහ ආසියාතික රටවල් දෙකක. ගොඩක් වෙලාවට ආසියාතික විවාහයන් වල හර පද්ධතීන් ආගමානුකුලයි. ඒ හින්ද මේ පැනයට පිළිතුර ලැබෙන්නේ තර්කයෙන් නෙවෙයි, හදවතින්!

    ReplyDelete
  4. කටුක දුක් විරහ මැද - අතරමං වී ගියද
    අපි තවම පෙම්කරමු - අපේ ජීවිත වලට
    කියාදෙමු පියඹන්න - අපි අපේ පැටවුන්ට
    නිදහසේ තටු ලැබුන - කුරුල්ලන් වී දිනෙක.

    ReplyDelete