Tuesday, October 30, 2012

ලබන මාසෙ පඩියෙන් බඳිමු...?


මේ කතාව මට කිවුවෙ මගෙ මහාචාර්යතුමා. අපේ යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න ඔහු පාවිච්චි කරන්නෙ අපූරු උපක්‍රමයක්. ඒ තමයි උපහාස කතා. හාස්‍යොත්පාදක කතා විදියට ඔහු මේවා තැනට සුදුසු ලෙස පැවසුවාට, අපි හඬනගලා සිනාසුනාට මේවායේ ගැබ් වෙලා තියෙන සියුම් උපහාසය ඇත්තටම එල්ල වෙලා තියෙන්නෙ අන්තිමට බලාගෙන ගියාම අපිටමයි. මේකත් එහෙම එකක්. 

වැඩ කල් දමන්න අපි තරම් රුසියො මේ ලෝකෙ තවත් නැතුව ඇති. මේ එහෙම කෙනෙක් ගැනයි.

අගනුවර ආයතනයක සේවය කරන තරුණියක් සහ තරුණයෙක් ප්‍රේමයෙන් බැඳුනලු. ගෙවල් වලිනුත් අවුලක් නැතිලු.

තරුණියට වුවමනා වුනාලු ඉක්මනට කසාද බඳින්න. දවසක් මේ ගැන එයා සිය අනාගත සැමියට මතක් කළාලු.
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..." ඔහුගේ පිළිතුර වුනා.
වෙඩිමක් ඉතින් කොච්චර චාමෙට ගත්තත් ටිකක් සල්ලි එහෙම ඕනෙනෙ. ඒක නිසා ඒ ගැන තරුණිය සතුටු වුනාලු. අනෙත් එක මහ ලොකු කාලයක් නෙමේනෙ. ලබන මාසෙ.
ඉතින් මෙයා ඊළඟ මාසෙ පඩි දවස වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවලු. යාළුවොත් එක්ක විවාහය සැලසුම් කරනවලු.

ඔන්න කොහොමහරි පඩි දවසත් ආවලු.
හිතපු නැති දෙයක්නෙ වුනේ. තරුණයා ගැටළු ලිස්ට් එකක්ම ඉදිරිපත් කළාලු. බලාගෙන ගියාම ඒ ඔක්කොම අත‍යවශ්‍ය හදිසි වැඩ. ඒවට සල්ලි වියදම් කළාම වෙඩිම ගන්න වෙන්නෙ නෑ කියල මෙයා තරුණියට එආත්තු ගැන්වූවා.  
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..."
කමක් නෑ. මාසයයිනේ. තරුණිය හිත හදාගෙන හිටිය.

ඒත් ඊලඟ මාසෙ පඩියෙන් කරන්න තවත් වැදගත් වැඩ ලිස්ට් එකක් අපේ කොල්ලට එකතු වෙලා. ආයෙත් මාසයක් කල් ගියා.

මෙහෙම මාස කිහිපයක්ම ගත වුනා. ඒ ගැන මතක් කරන හැම වෙලාවෙම ඔහුගෙ පිළිතුර වුනේ "අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු...!"
ඔහොම කාලයක් යනකොට තරුණියට තේරුණා මේක හරියන සූදුවක් නෙමෙයි කියලා. සුපුරුදු පරිදි ඉතින් එයා වෙන අතක් බලා ගත්තා.
කොල්ල මානසිකව වැටිල වැඩ කරපු තැනින් අස් වෙලා වෙන තැනකට ගියා.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * 

අවුරුදු 3කට පස්සෙ තරුණිය බබාල දෙන්නත් එක්ක බස් එකකට නගින්න ඉන්නකොට දැක්ක අර ඩයල් එක පාරෙන් අනිත් පැත්තෙ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොනව වුනත් ඉතින් දවසක් හරි ආදරේ කරපු මනුස්සයනෙ කියල මෙයා පාර පැනල එයා හම්බෙන්න ගියා.

බලනකොට මිනිහ තාමත් තනිකඩ.
"හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව..? කසාද බඳින්න එහෙම අදහසක් නැද්ද..?" තනිකඩයන්ගෙන් ඇහෙන සුපුරුදු පැනය.

එතකොටම බස් එකක් ආවලු. මෙයා කළබලෙන් බස් එකට ගොඩ වෙන ගමන් මෙහෙම කියාගෙන ගියාලු.

"ලබන මාසෙ පඩියෙන් බඳිනවා...!"

7 comments:

  1. ah..... math labanamase padiyenma bandinawa. LOL

    ReplyDelete
  2. අහ් ! ලබන මාසේ පදියෙන්ද? බඳිමු බඳිමු.

    ReplyDelete
  3. හිටුකෝ මමත් ලබන මාසේ පඩියෙන් බදිනව

    ReplyDelete
  4. මමත් පඩියක් හම්බුන දවසක බඳිනවා.

    ReplyDelete
  5. උපමා කතාවක් මරු මරු..

    ReplyDelete
  6. මෙවන් පුද්ගලයින් දැක ඇත. එවැන්නන් නිසා දුකින් සිටින කෙල්ලන්ද දැක ඇත. එබැවින් කතාව මේ කාලයට ඔබිනා උපමා කතාවක් බැව් කිය හැකිය

    ReplyDelete