Thursday, May 23, 2013

පොත්

"කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.

අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල. 
මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් තියෙනව තාමත් පොත් සිය දහස් ගණනක් තියෙන. අමතක වීමකින් මට ඒකෙ දොරක් වහන්න බැරි වෙලා.

පොත් එකින් එක අරන් ස්ටූල් එක උඩින් තියෙන ගමන් තාත්තා එක පොතක් බොහොම සීරුවෙන් අතට ගන්නවා දැක්කා. 
අළුත ඉපදුණු රෝසපාට මී පැටවු හතරදෙනෙක් පොත උඩ එහෙට මෙහෙට පෙරලෙනවා. එතකොටම අපි දැක්ක මී අම්ම උඩ මුල්ලකින් ඔළුව දාල හරිම දුකෙන් බලන් ඉන්නව. තාත්ත හිමීට උන් එක්කම පොත උඩින් තිබ්බ.

"අරන් යනව ළමයි ටික. කරදර කාරයෝ."
මී අම්ම පැටවු ටික කටින් අරගෙන ගියේ රටක් රාජ්‍යයක් ලැබුණ වගේ.

මට කියන්න ඕන කතාව ඕක නෙමෙයි.

ඇත්තටම මේ පොත් තාත්ත අවුරුදු තිස් ගණනක් තිස්සෙ නොකා නොබී එකතු කරපුව කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. එකතු කරන්න පටන් අරන් තියෙන්නෙ තාත්ත කැම්පස් ඉන්න කාලෙ. ඒ කාලෙ තාත්ත හරිම දුප්පත්. මුළු මාසෙම වියදමට ගෙදරින් හම්බෙලා තියෙන්නෙ රුපියල් 50ක් වගෙ බොහොම සොච්චමක්. ඒක නිසා කැම්පස් ඉන්න ගමන්ම තාත්ත පත්තර කන්තෝරුවක වැඩ කරල තියෙනව. 'අත් තටු නැති කුරුල්ලෝ' කියල චිත්‍ර කතාවක් ලියල තියෙනව තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය වෙච්ච. පොත් අරගෙන තියෙන්නෙ ඒ සල්ලි වලින්. සල්ලි ටිකක් අතට ආපු ගමන්ම තාත්ත යන්නෙ මරදානෙ මගී පාලම යට තියෙන දුප්පත් පොත් සාප්පු වලටයි පොත් විකුණන වෙළෙන්දොයි ළඟටලු.

පොත් වලට තාත්ත කොච්චර ආදරේද කියල කියනවනම් ජීවිතේ පරදුවට තියල ඒව රැක ගත්ත අවස්ථා තියෙනව. ඒ දවස්වල උග්‍ර සමාජවාදියෙක් (පස්සෙ 88-89 ජේ.වී.පී. කාරයො කෙළපු පිස්සු දැකපු ඔහු කළකිරුණ. ඔහු දැන් හොඳ බෞද්ධයෙක්.)  එයා ගාව තිබිල තියෙනව ලෙනින් පොත් කට්ටලයම. ඒ කාලෙ ඒව ළඟ තබාගැනීම මරණයෙන් වන්දි ගෙවන්න ඕන වරදක්. කවුරුත් කිවුවෙ ඒව පුච්චල දාන්න කියල. ඒත් කවදාවත් පොතක් පුච්චන්නෙ නැති තාත්ත ඒව ඉටි කොළේක ඔතල වළක් කපළ දාල කෙසෙල් ගහක් හිටෙව්වා.

පොත් තරම් මගෙ ජීවිතයට ළංවුණු තවත් වස්තුවක් නැති තරම්. 
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමනේ සත්‍යතාව හොඳටම අත්වින්ද කෙනෙක් මම.

තාත්තගෙ පුස්තකාලෙ විවිධ විෂයන් අළලා තිබුණ පොත් සිය දහස් ගණනක් තිබුණ. හැම ක්ෂේත්‍රයකම වගේ. කෙටි කතා, නවකතා, පරිවර්තන, චරිත කතා, දාර්ශනික විග්‍රහ, ප්‍රබන්ධ කතා, මනෝ විද්‍යාව, යොවුන් නව කතා, සාහිත්‍ය විචාර, නාට‍ය පිටපත්. කොටින්ම සුරංගනා කතාවේ සිට මාක්ස්වාදය, ගැඹුරු බෞද්ධ දර්ශනය දක්වාම. පුදුමාකාර විවිධත්වයක් තිබුණත් වැඩියෙන්ම තිබුණෙ රුසියන් පරිවර්තන. 

ඔයින් මෙයින් මමත් පොත් කියවන්න ඇබ්බැහි වුණා. මක්සිම් ගෝර්කිගෙ 'අම්මා', තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' වගේ පොත් වයස අවුරුදු අට වෙනකොට මම කියවල ඉවරයි.

අපේ තාත්ත ලේඛකයෙක්. පොත් විසිගණනක් ලියල තියෙනව. නමුත් පොත් ප්‍රකාශකයො ඔක්කොමලා වගේ එයාව හූරගෙන කෑව. වැඩියෙන්ම හූරගෙන කෑවෙ ජාතියේ පිනට පහළ වුනායයි කියන, සාහිත්‍ය ලෝකයට අසමසම සේවයක් කරනවා යයි බෙරිහන් දෙන ගොඩගේ මුදලාලි කියල මම බය නැතුව කියනව. තාත්ත මාස ගණන් පර්යේෂණ කරලා, නිදිමරාගෙන ලියපු ලොකු පොත් වලට දුන්නෙ රු. 5000ක් වගෙ සොච්චමක්. සමහර වෙලාවට සල්ලි නොදී පොත් 50ක් විතර දෙනව විකුන ගනින් කියල. පෞද්ගලික වියදමින් පොත් මුද්‍රණය කරන්න තරම් වත්කමක් තිබුණෙ නැති නිසා වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

ඔය අතරෙ එන්න ඕන සල්ලි ඉල්ලන්න ගිහින් කිහිප දවසක්ම රස්තියාදුවෙලා අන්තිමට කොහොමහරි මුණගැසුනම පොත් ප්‍රකාශකයො එයාලගෙ වෙන පොත් ණයට දෙන්නම්, පොත් බිස්නස් එකක් පටන් ගන්න කියල තාත්තට කියල තිබුණ. (ඒ ඉතින් අපිට තියෙන ආදරේට නෙමෙයි.) 
සොච්චම් ගුරු වැටුපෙන් පොත් අච්චු ගහන්න බැරි නිසා තාත්ත ඒකට කැමති වෙලා තිබුණ.

ඉතින් පොඩිවට පොත් සාප්පුවක් දැම්ම ගෙදර.
ඒකෙන් වැඩියම සතුටු වුණේ මම. කියවල තිබුණෙ නැති තවත් පොත් දහස් ගණනක් නොමිළෙම කියවන්න මට අවස්ථාවක් ලැබුණ. කොළඹ ඉඳන් පොත් ලෝඩ් එකක් ගෙනාපු දවසට මම එළි වෙනකම් නිදාගන්නෙ නෑ. 

ඒව අහක ගියේ නැහැ. පහ වසර ශිෂ්‍යත්වය මම ඉතාම ඉහළින් සමත් වුනත් කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. එකම එක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්වත් කළෙත් නැහැ. සාමාන්‍ය පෙළත් එහෙමයි. ඔක්කොම විශිෂ්ට සාමාර්ථ. මාතර දිස්ත්‍රික්කයෙන් 47 වෙනියා. 

විශ්වවිද්‍යාලයෙ පවා කණ්ඩායමේ ඉහළම ළකුණු ලබාගෙන ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න තරම් මට වාසනාව ලැබුණෙ තාත්තගෙ පුස්තකාලෙන් මම ලබපු පොත පතට ඇබ්බැහි වීමේ පුරුද්ද නිසාත්, තෝරන්නේ නැතුව ඕනම විශයයක් ගැන ලියවුණු ඕනම පොතක් එක හුස්මට කියවලා ඉවර කරනකම් නින්ද යන්නෙ නැති තරමටම ප්‍රගුණ කරපු පොත් සම්බන්ධ දැඩි ආශාවත් නිසයි. 
මගේ සහෝදරියත් ඒ වගේ. එයා පසුගිය සෙමෙස්තරයෙ වෛද්‍ය විද්‍යාලයෙ ඉහළම ළකුණු ලාභියාලු.

ජීවිතේ මුහුණ දීපු කිසිම දැනුම මිණුම හෝ බුද්ධි පරීක්ෂණයකින් අසමත් නොවීමේ රහසත් මේ කියවීමේ පුරුද්ද කියල මට විශ්වාසයි. රූපවාහිනියෙ ප්‍රශ්න විචාරක වැඩසටහන් වල අහන බොහොමයක් ප්‍රශ්න වලට උත්තර මම දන්නවානේ කියල සියුම් ආඩම්බරයක් එනව එහෙම එකක් බලද්දි.

නයා ඇති. තව අපූරු දෙයක් කියන්න බැරි වුණා.

ඒ තමයි තාත්තගෙ ලොකුම පොත් අල්මාරියෙ තිබුණ දොරක් මම වයස 13-14 වෙනකම් මට ඇරුණෙ නැති. නිසි වයස ආවම තාත්ත ඒකෙ යතුරත් දොරේම රඳවල තිබුණ.
ඇත්තටම ඒකෙ තිබුණෙ මොනවද කියල ලොකු කුතුහලයකින් මම හිටියෙ.

ඒකෙ තිබුණෙ ඒ වෙනකොට මම කවර් කරල නොතිබුණ තවත් අපූරු විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්න සමත් දැනුම ගබඩාවක්. ඒ තමයි ලිංගික මනෝ විද්‍යාව, ඒ හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණ (ඩෙස්මන්ඩ් මොරිස්ගේ 'මනුසත් උයන', 'නිරුවත් වානරයා' වගේ ඒව)තව පොඩි උන්ට කියෙව්වට කිසිම තේරුමක් නැති පොත්. වරදවා තේරුම් ගන්න එපා කුණුහරුප පොත් නොවෙයි, ඔය 'කැළණි පාළම', 'සුද්දිලාගෙ කතාව', 'අපේ කාලයේ කුමාරිකාවගෙ කතාව', 'අයෝමා' වගේ ඒ ලිංගික සූරාකෑම, පුරුෂාධිපත්‍ය, සමාජ අසාධාරණය වගේ තේමාවල වල දුවන ඒවා. 

මේවායින් ඒ ඒ වයසට කුතුහලයෙන් ඉන්න අපේ සමාජයේ වැඩිපුර එළිපිට කතාකරන්නෙ නැති දේවල් ගැන වුනත් හොඳ නිවැරදි, පුළුල්, විද්‍යානුකූල දැනුමක් ලැබුණෙ. මේක නිසා වෙනත් අවිශ්වාසදායක ක්‍රම වලට ඒ දැනුම හොයන්න අවශ්‍ය වුනේ නෑ. 

අපේ රටේ දැන් ඔය වයසෙ ඉන්න ළමයි ගොඩක් නොමග යන්නෙ ඒ දැනුම ලබන්න එහෙම හොඳ මාධ්‍යයක් නැති නිසා. අඩු ගානෙ ඉස්කෝලෙ ගුරුවරුත් ඔය මාතෘකාව වුවමනාවෙන්ම මග හරිනව. එතකොට ඉතින් සමවයසෙ යාළුවො කියන ඕන බේගලයක් විශ්වාසෙට ගන්නව. අසභ්‍ය පොත් (දැන් කාලෙ නම් තියෙන්නෙ වීඩියෝනෙ.) වල දකින විකෘති හැසිරීම් ස්වාභාවික ඒව කියල හිතාගන්නව. මේකට දරුවො පලි නෑ. ඒ වයසට ඒ දේවල් ගැන කුතුහලක් ඇති නොවෙනවනම් ඌ ලෙඩෙක්. මේ වෙලාවෙ පිහිට එන ඕන ගෝතයෙක්, මිථ්‍යාවක් විශ්වාස කරන්න කිසිම කෙනෙක් පැකිළෙන්නෙ නෑ. ඒක ස්වභාවිකයි. හරි මගපෙන්වීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මුළාවේ.
මේක ඛේදවාචකයක්. මං හිතන්නෙ මේකට සාර්ථකම විසඳුම සොයා ගැනීමේ ගෞරවය අපේ තාත්තට ලැබෙන්න ඕන.

සමාජයේ ජීවත් වෙනකොට ඔය හැම දෙයක් ගැනම අවබෝධය ඕන වෙනව.
සංවේදී මනුෂ්‍යයෙක් වෙන්නත් කියවීම ගොඩක් වැදගත් වෙනව. ජීවිතයේ ගොඩක් සැප විඳින කෙනෙක්, දුක් අඩුවෙන් උහුලන කෙනෙක් ලෝකෙ දුක් විඳින මිනිස්සු ගැන සමහර වෙලාවට දැන ගන්නෙ පොත පතින් වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ.

පොත් ගැනම ලියපු එකේ මගේ ප්‍රියතම පොත ගැනත් නොකිවුවොත් ඒක පරිප්පු නැති හෝටලේ වගෙ වෙනවනෙ.
විභූතිභූෂණ බන්ධ්‍යොත්ප්‍යාය ලියපු අපූර් සංසාර්. මේක 'අපූගේ ලෝකය' නමින් සිංහලට පරිවර්තනය කරල තියෙනව මගේ ප්‍රියතම ලේඛිකාව චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මිය.
(එතුමිය මගේ ප්‍රියතම ලේඛිකාව වෙන හේතුවත් අමුතුයි. ඒ එයාගෙ ඇත්තම ජීවිත කතාවට මම කැමති නිසා. ගමක හැදිච්ච, අහිංසක ගැමි ආදරයක් ලබපු කෙනෙක්.)
පථේර් පංචාලි (මාවතේ ගීතය), අපරාජිතෝ (අපරාජිත ජීවිතයක්) සහ අපූර් සංසාර් (අපූගේ ලෝකය.) කියන පොත් තුනෙන්ම කියවෙන්නෙ අපූ කියල කෙනෙක්ගෙ ජීවිත කතාව. ඇත්තටම ඒක මුල් කතුවරයගෙ ජීවිත කතාව. (සත්‍යජිත් රායි ෆිල්ම් තුනකුත් කළා මේව පාදක කරගෙන.)

(මම පුනර්භවය විශ්වාස කරන කෙනෙක්) මේක කියවන හැම වෙලාවෙම මේක ලිවුවෙ මම කියන හැඟීම මට එන්නෙ මොකද කියල හිතාගන්න බෑ. ඒ තරම් මේ කතාව මගේ සිතුම් පැතුම් වලට සමීපයි. මෙයාගෙම 'වණ අරණකට පෙම් බැඳ' කියවද්දිදිත් ඒ හැඟීම ම එනව.

මම ඕනම දෙයක් කියවන්න ආසයි. 

අදටත් මම කෑම ඔතාගෙන ආපු කඩදාසියක්වත් අතහරින්නෙ නෑ. අකුරක් නෑර කියවල තමයි කුණු කූඩෙට දාන්නෙ.

මම කවදහරි පුතෙක් හැදුවොත් වැඩියෙන් කැමති වෙන්නෙ එයා එයාගෙ තාත්තගෙ විද්‍යාගාරෙ දැවටෙනවට නෙමෙයි, සීයගෙ පුස්තකාලෙ පීරනවට. මොකද ඔහුගෙ මොළය සහ හදවත හැදෙන්න ඕනෙ ලෙයින් මසින් මිසක් යකඩ වලින්වත්, සිලිකන් වලින්වත් නොවෙන නිසා. නැත්නම් මගේ අතින් හැදෙන රොබෝ කෙනෙකුයි එයාගෙයි අතර තියෙන වෙනස මොකද්ද...?

9 comments:

  1. හද බැදගත් පෝස්ටුවක්... මාත් ජීවිතේ ඉතුරු කළ දෙයක් වෙත් නම් ඒ පොත් පමණයි... දවසක දුවල දෙන්නට දෑවැදි හැටියට දෙන්නට මට තියෙන්නේ පුස්තකාලයක් තමා. මගේ වෙලාවට උන් දෙන්නත් පොත්වලට මනාපයි.

    ReplyDelete
  2. yes, a post that charges my mind to read more...thank you very much.

    ReplyDelete
  3. ලස්සණ පෝස්‍ටුවක්, අයියේ. ඔයා කියලා තියෙන හැම දෙයක් ම ඇත්ත. පොඩි කාලේ ඉඳලා මමත් ආසාවෙන් ම කරපු දේ පොත් කියවිල්ල! පුස්තකාල ගණනාවක ම සාමාජිකත්වය තිබුණා. මට මතක යි මම මුලින් ම කියවපු පොත පිනෝකියෝ. ඒක කියවන කොට මම 2 වසරේ වගේ හිටියේ. අදටත් ඒ පොත මගේ ළඟ තියෙනවා. කවදා හරි මගේ ආසාව මගේ කියලා පුස්තකාලයක් හදන්න. දැනටත් පොත් එකතු කරමින් ඉන්නේ. ඔයාගේ පෝස්ටුව මගේ කියවීමේ ආසාව තවත් වැඩි කරනවා. ස්තූතියි, මේ වගේ දෙයක් ලිව්වට.

    ReplyDelete
  4. තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' :( ගෝර්කිගේ නේද?

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. වැරදීමක්. අන්තිමට ඔය පොත කියවල අවුරුදු 20ක් වෙනවා. දැන් ඒක අපි ළඟ නෑ. යාළුවෙක් අරගෙන ගියාමයි අද වෙනකම් නෑ.

      Delete
  5. අපේ තාත්තත් ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නොවුනට මේ ජාතියෙම කියලා මාත් ආඩම්බරෙන් කියනවා... තාත්තගේ රැසියන් පොත් ටික මම පස්සේ කාලෙක වලලපු තැනින් ගොඩ ගත්තේ ඒ ගේ විකුණන්න යනකොට... තෙත් බැඳිලා, යන්තම් අයින් වලින් නරක් වෙලා තිබ්බ පිටු ටික අරන් ගිහින් ආයිත් හාඩ් කවර් දාලා බැදගත්තා පොත් බඳින තැනකට දීලා... අම්මා පොත මම කියෙව්වෙ ශිෂ්‍යත්වේ ලියන්නත් කලින්... හැබැයි තේරුනේ නම් නෑ... හි හි...

    කිසි දවසක සිංහල වලට නම් පන්තියකට නොගිය මගේ රචනා හැම අවුරද්දෙම ඉස්කෝලේ රචනා තරඟෙන් පළවෙනියා... එතනින් එහාට යන්න බැරි උනේ මගේ අකුරු කැත හින්දා....

    තාත්තා සිගරට් බොනවට අකමැති වෙලා මං හර්තාල් දානකොට ඒ පුරුද්ද නවත්තලා හැම මාසෙම මට පොත් අරන් දුන්නේ සල්ලි තියෙනවට නෙවෙයි.. ඒ දෙන්නා නොකා නොබී... අතේ තියෙන අන්තිම සතෙත් වියදම් කළාට එකම වචනයක් වත් නොකියා එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකත් දෙනවා තව පොත් ගන්න කියලා බුක් ෆෙයාර් එකෙන්... මං බඳලා දැන් අවුරදු 3කටත් කිට්ටුයි... තාමත් තාත්තා මාව බුක් ෆෙයාර් එක්කන් යනවා හැම අවුරුද්දෙම...

    අන්තිමට... ආසම පොත් කියනවට වඩා ආස නැති පොත් නම් කරන්න මට ලේසි වෙයි.. මොකද මම ගොඩක් පොත් වලට ආසයි... අපූ ත්‍රිත්වය මගෙත් ආසම පොත් සෙට් එකක් තමයි.. ඒ වගේමයි ලෝරා ඉන්ගල්ස්ගේ පොත් සෙට් එකත්... ඒ වගේම ජෙරල්ඩ් ඩරල්ගේ මගේ පවුලයි අනිත් සත්තුයි.... හැබැයි “වණ අරණකට පෙම් බැඳ ”පොත මගේ ප්‍රියතම ලිස්ට් එකේ උඩම 5 අතරේ ඉන්නවා... දැනට නම් පොත මගේ ගාව නෑ... කුලී ගෙවල් වලින් මාරු වෙවී යන කොට පොත් ටික නාස්ති වෙන නිසා සහ තාත්තා අදටත් මගේ කාමරේ තියෙන පොත් රැක් එකේ මගේ මතකයන් හොයන නිසා මං පොත් ටික අරන් ආවේ නෑ....

    ReplyDelete
  6. සංවේදී ගෙ තාත්තා ගැන අපේ හිතෙත් ලොකු ගෞරවයක් ඇති වුනා..

    විශේෂයෙන්ම ලිංගික මනෝ විද්‍යාව වගේ අපේ සංස්කෘතිය තුල තව පරම්පරා ගාණක් යනකම් විවෘතව කතා නොකරයි කියලා හිතෙන විෂයන් තමන්ගේ දරුවන්ට කියලා දෙන්න මේ තරම් සාර්ථක උපක්‍රමයක් වෙන නැති තරම්.තමන්ට ඇති වෙන ප්‍රශ්න හොයාගන්න පොත්වලින් ලැබෙන උදව්ව කියලා නිම කරන්න බෑ.

    මම පොත් වලට කැමතිම ඒවා කියවලා මට මගේම ස්වාධීන අදහස් ගොඩ නගා ගන්න පුළුවන් කම ලැබෙන ලැබෙන නිසා.පොත් කියවලා ඉවර වුනාම ඒවා ආපහු කෑගහලා අපේ ඔළුව ඇතුලේ තියන අදහස් වෙනස් කරන්න උත්සාහ කරන්නෑනේ..අපේ අදහස් වෙනස් කරගැනීමේ පරම අයිතිය අපිට තියනවා..

    ස්තුතියි පෝස්ටුවට..


    ReplyDelete
  7. මේක නම් එලකිරි

    ReplyDelete
  8. ජිවිතයේ කටුකම අවස්ථා වල පාර පෙන්වන දේවතා එලි පොත්........

    ReplyDelete