Friday, September 28, 2012
ඉතින් අවසරයි සමු දෙන්නට....
සංවේදී සේවය කරන සරසවියේ සංවේදීගෙ සහය ආචාර්ය මණ්ඩලයේ සොයුරෙක් හා සොයුරියක් (ඉතිරි වෙලා හිටිය එකම සොයුරිය) අද සරසවියට සමු දීලා පාසල් ගුරු සේවය වැළඳ ගන්නවා. මේ ඒ වෙනුවෙන් සංවේදී මුහුණු පොතේ තියපු සටහන. මේ ඉල්ලීම සහ වදන් පෙළගැස්ම සමස්ත ගුරු පරපුරටම වැදගත් වේවි සහ උපහාරයක් වේවි කියලා හිතුන නිසා මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.
"එක අතකට ඔබ මට වඩා වාසනාවන්තයයි මට හැඟේ.
කීර්තිමත් විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීමට සුදුසුකම් ලද ඔබ නික්ම යන්නේ වඩාත් කැපකිරීම් සහිත වූ උතුම් සේවයක් මේ රටට ඉටුකිරීමටය.
මා වායුසමනය කරන ලද විද්‍යාගාරයක සහය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන කරන සේවය ඔබ දහඩිය වගුරුවමින් අවම පහසුකම් මැද මේ රටට ඉටු කරනු ඇත.
දුප්පත් අහිංසක දරුවන්ගේ කඳුල හා සුසුම මට වඩා ඔබට සමීප වනු ඇත.
වනයේ පිපුනු නමුත් සුන්දරත්වයේ හෝ වටිනාකමේ අගයේ අඩුවක් නැති මල් කැකුළුවල සුවඳ ඔබ ආඝ්‍රාණය කරනු ඇත.
ඒ සුකොමළ හදවත් වඩාත් මෘදු ලෙස ස්ඵර්ශ කරනු ඇත.
ඒ සුවඳින් ඔබ විඳින අනේක විධ දුක් වේදනා සැනෙකින් අමතක වනු ඇත.
මතක තබාගන්න. විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද, දුෂ්කර පාසලේ බාලාංශයට ඉගැන්වුවද ගුරුතුමා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුඋතුමා වේ. එය වන්දනීය තනතුරකි.
මීට,
ඔබේම සොයුරු,
____ සර්"
ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සංවේදීට හොඳට පුරුදු වුනත් (මේ සංවේදීගෙ සිවු වෙනි සරසවිය හා රැකියා ස්ථානය.) වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඒ ගැන නොවෙයි.
අපේ නිදහස් සරසවි අධ්‍යාපනයේ හෙට දවස ගැන...
Wednesday, September 26, 2012
මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...?
මම ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හොඳ යෙහෙළියෝ 3 දෙනෙක් හිටිය. හැබැයි ඒ තුන්දෙනා ගැන මට දැනුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තුන් විදියකටයි.
ඉන් එක්කෙනෙක් මම කවදහරි මගේ ආදරවන්තිය වෙයි කියල අවුරුදු 2 1/2 කට අධික කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා. මෙයා මම D කියලා හඳුන්වන්නම්. දෙවැන්නා මගේ හොඳම මිතුරිය. එයාගෙන් මම කවදාවත් හීනෙන්වත් එහෙම එකක් බලාපොරොත්තු වුනේ නෑ. ඒක මගේ හිත දන්නවා. කොටින්ම මම එයාගෙන් බලාපොරොත්තු වුනේ මගේ අක්කගෙ තැන.
සාමාන්‍යයෙන් පිරිමි තීරණ ගනිද්දි ගොඩක් දුර බලන්නෙ නැතුව, එවෙලෙ ආපු ආවේගයකට වහල් වෙලා ගන්න හදිසි තීරණ තියෙනවා. මේ සමහර ඒවා, එවෙලෙට හරියටම හරි කියලා හිතුනත් පස්සෙ ඤාව් වෙලා ඇඬෙන අවස්ථා තියෙනවා. එතකොට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ. ඒක නිසා ගෙදර අම්ම හරි ලොකු අක්ක හරි කියන දේ කවදාවත් අහක දාන්න හොඳ නෑ කියලයි මගෙ පෞද්ගලික මතය. මොකද ගැහැණු අය, ඒ ගොල්ලන්ගෙ සහජ ඉව පාවිච්චි කරල පිරිමි අපි නොදකින වෙනම පැත්තකින් ප්‍රශ්නයක් දිහා බලනවා කියලා මම කියන්නෙ අත්දැකීමෙන්. ඔය දෙවැනියට මම ආස්සරේ කරපු කෙනා (N කියලා හඳුන්වමු)ගෙන් මම ඇත්තටම බලාපොරොත්තු වුනේ මගේ ජීවිතයේදි, විශේෂයෙන් ගෙදර මිනිස්සුගෙන් ගොඩක් දුරස් නිසා සහ ශිෂ්‍ය නායකයෙක් විදියට මට නිතරම තීරණාත්මක තීරණ ගන්න වෙන නිසාත් (කොහොමත් මම හැඟීම් වලට ගොඩක් ඉඩ දෙන කෙනෙක්) ඒ වෙලාවට ළඟින් ඉඳගෙන හොඳ නරක කියල දෙන්න කෙනෙක් ඉන්න ඕනෑ කියල හිතුන නිසා කියල කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.
කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න.
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු."
නැත්නම්
"අපි ඕකි උස්සමු.".
උන් ඔය වගෙ එකකට ප්‍රතිචාර දක්වන්නෙ ඔහොමයි. වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඒත් කිට්ටු යෙහෙළියක් ඒ වගේ වෙලාවකදි ළඟින් ඉඳන් හිත හදන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියකට.
තුන්වෙනි එකී මම ආශ්‍රය කළේ 'මචං' ලෙවෙල් එකෙන්. කොල්ලෙකුට කියන්න පුළුවන් ඕනෙම එකක් මේකිට මූණ බලාගෙන කියන්න පුළුවන්. අදටත් ඒ ෆිට් එක එහෙමම තියෙනවා. මේකිට 'වැලා' කියල කටපුරා කියන්නෙ එහෙම නරක අදහසකින් නෙවෙයි. ෆැමිලි නේම් එකේ එහෙම කෑල්ලක් තියෙන නිසා. ගත් කටටම 'තෝ' කියලා තමයි මම අමතන්නෙ.
මේ සටහන උන් තුන් දෙනාගෙන් දෙවැන්නා, N ගැන.
කැම්පස් එකේ පළමු සතියෙ ඉඳල උපාධිය ගන්නකම්ම (උපාධිය හම්බුනේ අවුරුදු 4ත් සම්පූර්ණ කරල තවත් අවුරුද්දකට පස්සෙ.) අපි පුදුම හිතවත්කමකින් හිටියෙ. ගොඩක් කණ්ඩායම් ව්‍යාපෘති වලදි එකම ගෲප් එකේ හිටියෙ. 3 වෙනි අවුරුද්දෙ වගෙ දෙන්න ඉන්න කුඩා කණ්ඩායම් වල හිටියෙ අපි දෙන්න.
මෙයා බයෝ කරල ආපු නිසා පරිගණක විද්‍යාව විශේෂවේදී අපේ උපාධියෙ මැතට බර ගොඩක් සබ්ජෙක්ට්ස් මෙයාට අමාරු වුනා. මට මැත එදා ඉඳලම ගේමක් නැති නිසා ගොඩක් වෙලාවට ළඟින් තියාගෙන ගණන් කියල දුන්න. මගේ ගැන කොච්චර විශ්වාසයක් තිබුනද කිවුවොත්, සමහර විභාග කාලවල හැන්දෑවෙ 6.45 වගෙ වෙනකම් අඩ අඳුරෙ අපි දෙන්න විතරක් එකට පාඩම් කළා. ගොඩක් වෙලාවට වෙන්නෙ මට මෙයාට 'කුප්පිය' දාන්න වෙන එක. ගොඩක් වෙලාවට මෙයාව 'කුප්පියට' බාර දෙන්නෙ මෙයාගෙ මනුස්සයා (එළ කොල්ලෙක්. ඌ මම කවුද කියල දැනගෙන හිටිය. අදකාලෙ කවුරුවත් එහෙම පිට මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ.).
එක පාරක් මම තදට අසනීප වෙලා විභාගෙ තියෙන දවස වෙනකම්ම් කැම්පස් එකට එන්න බැරිවුනා. පට්ට අමාරු සබ්ජෙක්ට් එකක් තිබුණ Computer Graphics කියල. ත්‍රිමාණ කණ්ඩාංක පද්ධති එහෙම මේකෙ වැහි වැහැල. හැබැයි මට අවුලක් නෑ. මෙයා මේක දැනගෙන හිටිය.
මම විභාගෙට කළින් දවසෙ බෝඩිමට ආවම කොල්ලො කිව්ව් N මම නැති නිසා ඇඬුව කියල. සමහරවිට අරක අහගන්න කෙනෙක් නැති නිසා සබ්ජෙක්ට් එක ෆේල් වෙයි කියල බය හිතෙන්න ඇති.
මම ඉගැනුම් ආධාරක, ඔය පෙට්ටි වගේ ත්‍රිමාණ වස්තු යොදාගෙන ඒ පාඩම මෙයාට කියල දුන්න.
ඔය වගේ සිදුවීම් ඉසේ කෙස් ගාණට වුනා.
අවුරුදු හතර ඉවර කරල අපි පුද්ගලික අංශයෙ රැකියාවලට ගියා. අපි දෙන්නම ගොඩක් ඉහළ විදියට උපාධිය සමත් වුනත් එකපාරටම ආචාර්ය මණ්ඩලයට ගත්තෙ නෑ. කම්පැනිවල වැඩ කරද්දිත් හිතවත්කම තවතවත් දෝරෙ ගලාගෙන ගියා රැකියාවෙ පීඩනය නිසා. ෆෝන් එකෙන් හරි ස්කයිපි වලින් හරි දිනපතාම වගේ කතා කළා.
මේ අතරෙ කැම්පස් එකේ ස්ටාෆ් යන්න අපි දෙන්නම සෑහෙන උත්සාහ කළා. පුරප්පාඩු 2ක්ම තිබුණ නිසා අපි අතරෙ තරඟයක තිබුණෙ නෑ.
අන්තිමේදි මෙයාව ස්ටාෆ් ගත්තා. ශිෂ්‍ය නායක පදවිය උසුලපු නිසා මට අපහාස කරල ප්‍රතික්ෂේප කලා. මම ඒ ගැන සැළුනෙ නෑ. පශ්චාත් උපාධිය කරගෙන ගියෙ කවදහරි දිනුම ෂුවර් නිසයි.
ඒත් මට දරාගන්න බැරි දෙයක් සිද්ද වුනා. ස්ටාෆ් ගියාට පස්සෙ මෙයා ටික ටික වෙනස් වෙන්න ගත්ත. සමහරවිට ඇඩ්මින් එක මාව රුස්සන්නෙ නැති නිසා තමන්ගෙ රැකියාවෙ පැවැත්මට හොඳ නෑ කියල හිතුවද දන්නෙ නෑ මාත් එක්ක ඇයි හොඳයි කම් පවත්වන එක.
ෆේස් බුක් එකේ මගේ පොස්ට් වලට ලයික් දාන එක මෙයා නැවැත්තුවා. චැට් වලට ආවෙත් නෑ.
දවසක් මෙයා මට දරාගන්න බැරි වැඩක් කළා. මම බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනා (D) මට පිටු පාලා නාවික ඉංජිනේරුවෙක් බැන්දා. මෙයා ඒ වෙඩින් එකේ ෆොටෝස් සෑහෙන ගානක් ෆේස්බුක් දාලා තිබුණා. ඇතිවුණු හැඟීම් හිතාගන්න පුළුවන්නේ.
මම මෙයාට බොහොම සුහදශීලීව මැසේජ් එකක් යැව්වා මට මේවා බලන්න බෑ. මම ටික දවසකට විතරක් තාවකාලිකව ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ෂිප් එක අයින් කරනවා කියලා. මම හිතුවේ මෙයා මම ඉන්න තත්වෙ තේරුම් ගනියි කියලා. ඒත්......එවනව මට මැසේජ් එකක් මෙන්න මෙහෙම.
"බොහොම හොඳයි. මමත් බලාගෙන හිටියෙ ඔය අවස්ථාව ලැබෙනකම් තමයි. තාවකාලිකව නෙමෙයි මම සහදටම ඔබව ෆේස්බුක් එකෙන් අයින් කරනවා!"
මම හිතුවෙ ඒක නපුරු විහිළුවක් කියල. ඒත් කැම්පස් ගියාම එයා මාව අඳුනන්නෙ නෑ වගෙ හිටිය. මට ගොඩක් දුක හිතුණත් ඇත්ත තේරුම් ගත්ත. දැන් එයාට මගෙන් වැඩක් නෑ. වෙනවනම් වෙන්නෙ හානියක් මිසක් වාසියක් නොවෙයි. අනික මම එයාගෙ කවුද..? කොල්ලද...? නෑ. එයා දැන් විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරියක්. කළින් ඇඳන් හිටපු සරල කෙළි ඇඳුම වෙනුවට දැන් ලස්සනට සාරියක් ඇඳල. ශිෂ්‍ය කාලෙ නම කියල කතාකරපු හැමෝම හැමෝම දැන් කටපුරා 'මැඩම්' කියල කතාකරන්නෙ. මම කවුද...? කොහෙවත් යන කොම්පැණි කාරයෙක්ගෙ කුළී ඉංජිනේරුවෙක්. අඳින්නෙ ටී ෂර්ට් එකයි, කබල් ඩෙනිමයි. අපි කවදාවත් පෑහෙන්නෙ නෑ කියල හිතුන.
බොහොම අමාරුවෙන් හිත වාවගෙන මම ආපු වැඩේ කරගෙන කැම්පස් එකෙන් පිටවෙලා ආව.
ඒත් දෙයියනේ....මනුස්සයෙකුට මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද....?
පූස් පැටවු
විසි පස් වෙනි සංවේදී දිගහැරුම.
මේ අඩවියෙන් සංවේදී හදවත් තියෙන අයගෙ හිත් තවතවත් සංවේදී බවෙන් පුරවාලන්නට මිසක් කම්පා කරන්නට කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. දහස් වාරයක් සමාවන්න. අද කියන්න වෙලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සිදුවීමක්. මේක ඒ ජාතියේ පලමුවෙනි සහ අන්තිම සටහන කරන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා.
දුක හිතෙන ෆේස්බුක් පෝස්ට් එකක්වත් ශෙය්‍යා(ර්) කරන්නෙ නැත්තෙ මම අත්විඳින දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා. ඒත්...මේකෙ ඔබට කියලා මගේ දුක තුනී කරගන්න ආත්මාර්ථකාමී අරමුණට වඩා එහා ගිය පණිවිඩයක් ගැබ්වෙලා තියෙනවා කියලා අවංකව හැඟෙන එකම හේතුව නිසයි මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නෙ. දැන් නම් සිදුවීම සිදුවෙලා දවස් කීපයක් ගෙවිලා නිසා මේ සටහන තියන්න තරම් හිත ටිකක් විතර හැදිලා තිබ්බත් එයින් ඇති කරපු කම්පනයනම් ජීවිත කාලෙටම ළඟ තියේවි.
ගෙදර බොහොම ආදරෙන් හදපු බළල් තඩියා මැරුණට පස්සෙ සත්තු මොකෙක්වත් හදන්නෙ නෑ කියල හිතාගෙන හිටියේ. ඒත් කොහෙද යන බැළලියක් අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොඳ හිතෙන් ප්‍රයෝජන අරගෙන අපේ ගෙදර බලෙන්ම නැවතුනා. දැන් මාසෙකට විතර කළින් මෙයා අම්ම කෙනෙක් වුනා, ලස්සන බෝල වගේ කහ පාටට හුරු පැටවු 3 දෙනෙක්ගෙ. එළියෙ මඩුවක දමයි දැම්මෙ. පැටවු සත්තු ගෙනියයි කියල හිතුන නිසා උන් ගේ ඇතුලෙ තියාගම්මු කියල මම යෝජනා කළත් පස්සෙ මේක මහ කරදරයක් වෙයි, ගේ ඇතුලෙ කැත කරයි වගෙ අසුබවාදී කතා නිසා ඒක යට ගියා. මඩුවෙම මේ අහිංසකයො මාසයක් විතර හැදුනා. අපි හැමෝම හැමදාම මෙයාල හුරතල් කරන්න අමතක කළේ නෑ.
ඒත් දැන් සතියකට විතර කළින් දවසක බලනකොට එක්කෙනෙක් හිටියෙ නෑ. අපි පිස්සුවෙන් වගෙ හැමතැනම හෙව්ව.
අන්තිමට අපි හැමෝම බලාපොරොත්තු අත් හැරගෙන ඉන්නකොට තාත්තා මෙයාව හොයාගෙන ආව, මුගටි ගුලක කටේ හිරවෙලා ඉඳලා. බලන්න දුකේ බෑ, මුගටියෙක්ගෙ දිග දත් දෙකක් වැදිල ඔළුවෙ ගැඹුරු තුවාල 2ක්. ඒ වෙනකොට පණ තිබුණත් අපි හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියල. කොහොමහරි බේත් දාල ('විෂකපාල' කියල තෙලක් තමයි දැම්මෙ.) දවත් 4ක් විතර යනකොට ටිකක් හොඳ තත්වෙට ආවෙ අපි කාටත් සැනසීම දෙමින්. මීට පස්සෙ අපි එයාලට ගේ ඇතුළෙ කාමරයක නවාතැන් දුන්නා.
දවස් තුනකට විතර කළින් රෑ මැද ගෙදර කෙනෙක් මහ බැළලිට බනිනවා ඇහුනා. බලනකොට බාත් රූම් යන්න ආපු ගෙදර කෙනෙකුට මෙයාල පෑගෙන්න හදලා. බැළලි මෙයාල තුන් දෙනාම පාපිස්ස උඩට අරගෙන ඇවිත්. මෙච්චර හොඳට පරණ රෙදි, කුෂන් දාලා උණුසුමට හදපු තැන ඉඳන් මේ අනාරක්ෂිත තැනට මෙයාල ගෙනාපු මහ බැළලිට පිස්සු, මහ මෝඩ එළදෙනක් කියල කවුරුත් අප්‍රසාදය පළ කළා. ආයෙමත් පරණ තැනින්ම ගිහින් තිබ්බා. තමන්ට බනිනවා කියලා සතාට උනත් තේරෙනවනේ. මහ බැළලි පැනල ගියා එළියට.
කොහොමහරි අපි කාටවත් දවස් 2කින් විතර එයාල බලන්න බැරිවුනා. බැළලි නිතරම කාමරයට රිංගන නිසා අපිත් හිතුවෙ දැන් අවුලක් නැතුව ඇති කියල. අර තුවාල වෙච්ච එක්කෙනාගෙත් තුවාලෙ සෑහෙන්න දුරට සනීප වෙලා තිබුණෙ.
බලන්න දුකයි, එයා බොහොම දුර්වල වෙලා බිම වැතිරිල හිටිය. අන්තිමට දකිනකොට වැඩිය ගොඩක්ම කෙට්ටු වෙලත් එක්ක. කිරි පොවන්න උත්සාහ කළත් හරි ගියෙ නෑ. එයා අපිව දාල ගියා දැන් දවස් 2කට විතර කළින්. දුක වැඩි කමට මම බලන්නවත් ගියේ නෑ. තාත්ත තමයි අස් කළේ.
මෙයාගෙ හදිසි මරණය ගැන විවිධ මත පළවුනා. තුවාලෙ යටින් ඔඩු දුවල මොළේට ආසාධනය වෙන්නැති කියල තමයි අන්තිම නිගමනය වුනේ. කොහොමවෙතත් දැන් ටිකක් අපිරිසිදු වෙලා නිසා එයාල ඉන්න තැන පරණ රෙදි අයින් කරල අළුතෙන් දාන්න ගියා. එතකොටයි අපිට තේරුණේ ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා.
ඒක අස්සෙ ඉඳල එළියට ආවෙ තඩිම තඩි ගරුඬ පත්තෑයෙක්. දන්නවද දන්නෙ නෑ පහතරට තෙත් කළාපෙ ඉන්නවා, තෙත ගතිය තියෙන තැන්වල, කුණු වලට තමයි ගොඩක් කැමති. හැඩය සාමාන්‍ය පත්තෑයෙක් වගෙ වුනත් ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒ වගේම විෂයි. දහඩිය ගඳට, තුවාල වලට එහෙම හොය හොයා එනව කියල මිනිස්සු විශ්වාස කරනව.
ඒ කාලකණ්ණි සතා අර අහිංසකයගෙ ජීවිතේ උදුරගෙන තිබුණ. මොනව කරන්නද? සතෙක්නෙ. හිතක් පපුවක් නෑනෙ.
දුක, කම්පනය මැදින් වුනත් මම කදිම පාඩම් 2ක් ඉගෙන ගත්ත.
1. අසරණයෙකුට, අසරණ සතෙකුට පිහිට වෙනවනම් පිහිට විය යුතු මොහොතෙම එහෙම කරන්න ඕනෑ. ආයෙ කල් දාන්නෙ නැතුව.එහෙම නැත්නම් වෙන්න අපිට වුනා වගේ පසුතැවෙන්නෙනයි. කළින්ම ගේ ඇතුලෙ නවාතැන් දුන්නනම් මේ අවාසනාවන්ත සිදුවීම මගහැරගන්න තිබුණා නේද කියල මට දහස් වාරයක් හිතුණා.
2. සතෙක් වුණත්, අම්ම කෙනෙක්ගෙ හැසිරීම කවදාවත් මෝඩ එකක් කියල කියන්න බෑ. අනතුර කළින් දැනගෙන වෙන්න ඇති බළල් අම්මා එයාල පාපිස්ස උඩට ගෙනාවෙ. අපිට මේක තේරුම් ගන්න බැරිවුන එක ලොකුම අවාසනාවක්.
මේ වගේ පසුතැවෙන්න වෙන වැඩ එහෙම වෙන්න කළින් වලක්වා ගන්න පුංචි හරි මගපෙන්වීමක් වෙනවනම් ඒක තමයි මේ සටහනේ අර කළින් කියපු ඒකායන අරමුණ.
Tuesday, September 18, 2012
හේතුවාදියෝ
හේතුවාදී සංගමයේ රැස්වීමක් ගැන පුවත්පතක දැකලා මේ ගැන ලියන්න හිතුනා.
හේතුවාදීන් කියලා කියන්නේ මේ ලෝකේ අධ්‍යාත්මික බලවේග තියෙනවා කියලා විශ්වාස නොකරන අය. මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි. මේ අදහස් ලංකාවේ ගොඩක්ම ප්රවලිත කළේ මහාචාර්ය ඒබ්‍රහම් කොවුර් (Abraham Kovoor) මහතා. එතුමාගේ අනුගාමිකයින් තමයි අර රැස්වීම කැඳවලා තියෙන්නේ. ලංකාවේ ඉහලම පෙළේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් සහ විද්වතෙක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එහි පුරෝගාමියෙක්. මීට අමතරව සුප්‍රකට මනෝ වෛද්‍යවරු වන රූමි රූබන් මහතා, පී.එන්.විද්‍යාකුලපති මහතා මෙහි ප්රමුඛ පෙළේ සාමාජිකයන්. එතුමන් විශ්වාස කරන්නේ සියලු යක්ෂ, ප්‍රේත ආරූඪ මනෝ මූලමය රෝගයන් කියාය. මෙහි සත්‍යතාව ඉතා ඉහළ විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් තරුණියන්ට වැහෙනවා කියන කළුකුමාර දිෂ්ටිය කියන්නෙ වැඩිවිය පත්වෙලා විවාහ දිවියට සුදුසුකම් ලබන වයසේ ඇතිවන සිරුරේ හෝමෝන වෙනස් වීම නිසා මොළයේ සංඥා හා සංවේදන හසුරුවන රසායනික විපර්යාස නිසා ඇතිවන මානසික සමතුලිතතාව බිඳවැටීමක් බව හේතුවාදී නොවන වෛද්‍යවරුන්ගේ පවා මතයයි.
මේ සටහනෙන් ඒ වගේ මතවලට සහය දැක්වීමට වඩා නිරුත්සාහයෙන්ම වෙන්නෙ ඒ මතයට ටිකක් පටහැණි සාධක ඉදිරිපත් කිරීමයි කියලා කිව්වොත් නිවැරදියි. මේක හේතුවාදී සංකල්පයට පහර ගැහීමක්වත් හේතුවාදීන් විවේචනය කිරීමක්වත් නොවෙයි. එහෙම වෙන්නෙ මගේ පුද්ගලික අත්දැකීම් 2ක් එක්කයි. එකක් 'අධ්‍යාත්මක හීන' සටහනේ තියෙන මගේම සත්‍ය අත්දැකීම. අනෙක තමයි 'සමාධි සුව' සටහන. ඒකත් මගේම සත්‍ය අත්දැකීමක්.
මේ දේවල්වලින් මට නම් නිගමනය කරන්න වෙන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන එකම හේතුව නිසා අපිට සියල්ල බැහැර කළ නොහැකි බවයි. මහ ලොකු විද්වතෙකු නොවුනත් මම ඒක තේරුම් ගන්නෙ මෙහෙමයි.
ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගත්තෙ නැත්නම් අපි තවමත් විශ්වාස කරන්නෙ විද්‍යුත් චුම්බක තරංග කියන්නෙ හුදෙක් කල්පිතයක් විතරක් කියල වෙන්න පුළුවන්. ඒක තිබුණාවෙ. අන්වීක්ෂය බැරිවෙලාවත් හොයාගෙන තිබුණෙ නැත්නම් අපි කවුරු හරි ක්ෂුද්‍ර ජීවීන් කියල සත්ත්ව කොට්ඨාශයක් ඉන්නව කිව්වොත් හිනාවෙන්නත් ඉඩ තියෙනව.
මෙතන වෙලා තියෙන්නෙ ඇත්තටම අධ්‍යාත්මික බලවේග කියල එකක් නැතිවීමද නැත්නම් ඒව අල්ලගන්න තරම් දියුණු, සංවේදී උපකරණ තවම නිපදවා නොමැති වීමද..? මිනිස් මොළය කියන්නෙ ඔය කියන හැම උපකරණයකටම වඩා සංවේදී, දියුණු අවයවයක් නිසා උපකරණ වලට අහුවෙන්නෙ නැති ඒව අහුවෙනව වෙන්න බැරිද..?
මරණාසන්න අත්දැකීම් (Near Death Experience) කියන්නෙ මොළේ යම් විශේෂ ප්‍රදේශයක සිදුවන රසායනික උත්තේජන කියල මේගොල්ල හොයාගෙන. දීප්තිමත් ආලෝක තුළින් ඉතා සැහැල්ලුවෙන් පියාසර කිරීම වගේ අත්දැකීම් වලට සමාන අත්දැකීම් මොළයේ යම් කොටස් විද්‍යුත් හා රසායනික උත්තේජන වලට ලැබිල තියෙනව. හැබැයි ඒ කාටත් සිහි මූර්ඡාකර තියෙද්දි ස්වාභාවිකව එහෙම දැණුනු අයට වගේ සැත්කම් කාමරය හා හෙදියන් එවෙලෙ කරමින් සිටියෙ මොනවද කියල කියන්න බැරි වෙච්ච බව ඒ ගොල්ලො සඳහන් කිරීම මග හරිනව.
මනෝ කාය(Astrol Body) ගැන පර්යේෂණ කරන විද්‍යාඥයො ගොඩක් අය ඔය වගෙ සියුම් ශරීර තියෙන ජීවී කොටස් ගැන විශ්වාස කරනව. ඒ විතරක් නෙමෙ ක්‍රිස්තුස් වහන්සෙ මරණින් දින ගණනකට පසු උඨ්ඨාන වුනයි (පෙනී සිටියයි කියන එක) කියන එකට මේ අය විද්‍යාත්මක අර්ථකතන දෙනව. සාමාන්‍ය කෙනෙකුට දර්ශනය නොවුනත්, යම් විශේෂ සංඛ්‍යාත පරාස වලට සංවේදී අයට එහෙම සියුම් ශරීරයක් පෙනෙන්න හැකියාව තියෙන බව මටත් හිතෙනෙව.
හොල්මන්, අවතාර ගැන මගෙත් වැඩි විශ්වාසක් නෑ. ඒත් එහෙම අය ඇත්තටම ඉඳලා, අපිට නොපෙනී ඉන්නවා වෙන්න පුළුවන්. උදාහරණක් විදියට මිනිස් කනට ඇහෙන්නෙ නැති ශබ්ද, රූප කොච්චර තියෙනවද සත්තුන්ට ඇහෙන, පෙනෙන. හිටිගමන් ඔය අපේ ගෙවල්වල බල්ලො එහෙම කිසිම හේතුවක් නැතුව කළබලවෙන්නෙ ඒ නිසා කියල මහලොකු උගත්තු නොවෙන අපේ ගැමියො කියනව. ඇත්ත වෙන්න පුළුවන්.
වඩාත් විද්‍යානුකූලව මේක පැහැදිලි කළොත්, කවුරුත් දන්නවනෙ MP3 ගැන. ඔය ගීත එහෙම ගබඩා කරන Format එකක්. මේක සම්පීඩනය(Compress) කරපු Format එකක්. මේ MP3 වර්ගයේ ගීතයක් ගබඩා කර තබන්න ඉලෙක්ට්‍රොනික උපකරණවල / තැටිවල අවශ්‍ය වෙන්නෙ ඒ ගීතයම අමු (සම්පීඩනය නොකළ) Audio File එකේ තියෙනකොට වගේ 1/10 ධාරිතාවක් (ඉඩ ප්‍රමාණයක්). මෙහෙම වෙන්නෙ මුල් පිටපතෙන් මිනිස් කණට නොඇසෙන - ඒ කියන්නෙ හර්ට්z(ස්) 20-2000Hz පරාසයේ නැති ශබ්ද අයින් කළාම. වීඩියෝ සම්පීඩනය කරලා MP4 වගේ Formats වලට හරවද්දි වෙන්නෙත් ඔය ටිකමයි. ඒ කියන්නෙ මිනිස් ඇසට 'දිරවන්නෙ නැති' සංඛ්‍යාත වල රූපමය දත්ත ඉවත් කිරීම. සමහරවිට ඒ අයින්කරන රූප, ශබ්ද වල හොල්මන්, අවතාර ඉන්නත් පුළුවන්!
ඔය සංඛ්‍යාත කතාව තේරුණේ නැත්නම් කරන්න හොඳ වැඩක් තියෙනව. ගන්න ටී.වී. එකේ දුරස්ථ පාලකය. ඒකෙ මුදුනෙ තියෙනව සුදුපාට බල්බ් එකක් පෙනුමෙන් එල්.ඊ.ඩී. (LED) එකක් වගෙ. බොත්තම් (ඇඳුමෙ නෙවෙ, රිමෝට් එකෙ) ඔබල බලන්න ඒක පත්තු වෙන්නෙ නෑ. දැන් ගන්න කැමරාවක් තියෙන ජංගම දුරකථනයක් (එහෙම එකක් නැත්නම් කරන්න දෙයක් නෑ) කළින් විදියට කරල බලන්න හැබැයි දැන් බලන්න අර බල්බ් එක පත්තුවෙනව දකියි ෆෝන් එකේ කැමරාවෙන්. මෙහෙම වෙන්නෙ ඇයි? හේතුව අරක විශේෂ එල්.ඊ.ඩී. එකක්. අධෝරක්ත කිරණ (Infra Red - IR) තමයි නිකුත් වෙන්නෙ. ඒක අපේ ඇහේ සංඛ්‍යාත පරාසෙ නෑ.
විද්‍යාත්මකව ඔප්පුකරන්න තවමත් බැරි වුනත්, තාර්කික ලෝකය විසින් පිළිගන්නා ලද පුනර්භව සාධක 11,000කට වඩා වාර්තා වෙලා තියෙනව. ඉතාමත්ම පුළුල් විෂය පථයක් නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.
විශ්වයේ දැනට පිළිගත් ආකෘතිය පමණක් නොව, ජීවය පැවතිය හැකි සම්භාවිතාවන්, සංඛ්‍යා ලේඛන සහිතව මීට අවුරුදු 2600කට පෙර බුදුන් වහන්සේ ගණනය කළේ කොහොමද? (විශ්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් Thousand Universal Objects - 'සහස්සී ලෝක ධාතු' නම් සූත්‍රයේ ඇතුළත්. ලොව මුල්ම සාර්ථක විශ්ව කොටස් වලට බෙදා වෙන්කිරීම, වර්ගීකරණය මෙයයි.). සත්ත්වයාගේ උපත ගැන උන්වහන්සේ සඳහන් කර ඇති උපමාවට පැසෙන කිරි බඳුනක මතුවන ගිතෙල් (Ghee) වල රසය සම්බන්ධකොට තියෙනවා. පුදුමය නම් එය ජීවය සඳහා අවැසි මූලික ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ල සංගණනය වීමෙන්.) වලින් පරිපූර්ණ වීමයි. 'ඉන්දක' සූත්‍රයේදී උන්වහන්සේ කළලයක විකසනය හරියටම විස්තර කර තිබෙන්නේ වෛද්‍ය පොතක වගේ.
වරක් උන්වහන්සේ අඹරේ දිලෙන තරුවක් පෙන්නලා ඇසුවලු "මහණෙනි ඔබ සිතනවද අර තරුව එතැන ඇත්තටම දැල්වෙමින් පවතිනවා කියලා?"
ලැබුණු උත්තරය 'ඔව්.' නමුත් උන් වහන්සේ ඊට පසු පැහැදිලි කළා එය පුපුරා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙර බවත්, දැන් අප දකින්නේ තවමත් පෘතුවියට ළඟා වෙමින් පවතින, තරුව පුපුරා යාමට පෙර එයින් මුක්ත කල ආලෝකය පමණක් බවත්. මතක තියාගන්න මේ පැහැදිලි කිරීම කළේ 'ආලෝක වර්ෂ' සංකල්පය තබා ආලෝකය කියන්නෙ (සීමිත වේගයකින්) ගමන් කරන දෙයක් බවවත් නොදැන සිටි සමයක බව.
ඔන්න ඔය නිසා තමයි NASA ආයතනයෙන් විශ්වයට මුදා හැරුණු යානයේ රන් පතක සඳහන් පණිවුඩය සනිටුහන් කිරීම සඳහා පාලි භාෂාවට විශේෂ ප්රමුඛත්වයක් ලැබුණේ. (රන් යොදා ගත්තේ එය ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම නිසා වැඩි කල්පැවැත්ම නිසා). තවත් පැහැදිලි කළොත්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි දෙවිවරු ගැන සඳහන් වෙනවනේ. විද්‍යාඥයො හිතන්නෙ මේ දියුණු ලෝක වල සිට පැමිණි පිටසක්වල ජීවීන් විය හැකියි කියල. බුදුන් වහන්සේ ඔවුන් සමග සන්නිවේදනය කළේ පාලියෙන් හෝ වෙනත් එවන් භාෂාවක් භාවිතයෙන් නිසා එයාලට වටහා ගන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ එම භාෂා කියලයි විද්‍යාඥයො බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
මෙහෙම බටහිර විද්‍යාඥයො අපේ දේවල් මත රඳා පවතින තැනට වැටෙද්දි අපේ අය ඊට ගරහන එක එක අතකින් කණගාටුවට කරුණක්.
කවුරුත් දන්නවනෙ 'හර්ජ්' (Hergé) කියන කලාකරුවා, 'ටින් ටින්' බැලුවනම්. මතකද දන්නෙ නෑ ඒකෙ මේ දර්ශනය
හර්ජ් කියන්නෙ නිකම් හිතළු විතරක්ම තමන්ගෙ කලා නිර්මාණ වලට පාදක කරගත්තු කෙනෙක් නෙමෙ. එයා ලෝකෙ ගොඩක් රටවල සංචාරය කරල තියෙනව. මේ අත්දැකීම එයා ටිබෙට් දේශයෙන් ගත්තු එකක්.
අදටත් මෙහෙම දේවල් ලෝකෙ තියෙනව. නිකමට 'ගූගල්' පාරක් දාල බලන්නකො 'Man Levitates YouTube' කියල.
සටහන : මේකෙ මේ හාමුදුරුවො පැහැදිලිවම කියනව 'Magic, we are not the same' (මැජික් සහ අධ්‍යාත්මික 'ප්රාතිහාර්යයන්' එකක් නෙමෙ නෙමෙ දෙකක්). මැජික් කියන්නෙ යම් කිසි දක්ෂ 'රැවටීම්ක්' විය හැකි නමුත් මෙය එවැන්නක් නොවන බව මෙහි අරුතයි.

සමාධි සුව
ඇල්ලකන්ද කියන්නෙ වනගත ආරණ්‍යයක්. මේකෙ බොහොම සිල්වත් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බොහොම නිදහසේ භාවනායෝගීව කල් ගත කරනව. මනුෂ්‍ය ආශ්‍රය, භෞතික සම්පත් පරිභෝජනය ඉතා අල්පයි. මේ මෑතක් වෙනතුරුම ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට (වෙන වෙනම කැලේ මැද තියෙන්නෙ.) විදුලියවත් තිබුණෙ නැහැ. කාලෙකට පිණ්ඩපාතෙන් තමයි දානය සරි කර ගන්නෙ. දැඩි විනයක් රකින නිසා දනිස් පොල්කටු ළඟින් ලනුවකින් ගැටගහලා කියලයි මිනිස්සු කියන්නෙ.(මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ.)
මම උසස් පෙළ කරන කාලෙ දැඩි සිත් රිදීමක් වෙලා, භාවනා කරල හිත පොඩ්ඩක් හදාගන්න හිතුන. ඔව්. ඔව්. වයසෙ වැරැද්දට හදාගත්ත හිතේ අමාරුවක් තමයි. (ඔය වයසට එහෙම වෙන්නෙ නැත්නම් ඉතින් මොකක් හරි අඩුපාඩුවක්). මේ දවස්වල මට ආරංචි වුනා ඇල්ලකන්දෙ භාවනා වැඩසටහනක් යනවය කියල. තරුණ අයත් ගොඩක් සහභාගී වෙනවලු. අසහනය නිසා නින්ද යන්නෙ නැති තව යාලුවෙකුත් කැමති වුනා මාත් එක්ක භාවනාවට සෙට් වෙන්න.
ඉතින් අපි උදේ භාවනා කරල දහවල් දානෙන් පස්සෙ ගියා නායක ස්වාමීන් වහන්සෙ මුණගැහිල ටිකක් සුහදව සාකච්ඡාවක යෙදෙන්න. ඒ වෙනකොට මගේ හිත සෑහෙන්න දුරට පහන් වෙලා. මූණත් එළිය වැටිලා කියලයි යාලුව කිව්වෙ. භාවනා කරන අය දන්නව ඇති මේකෙ ඇත්ත නැත්ත.
'සුධම්ම' නායක ස්වාමීන් වහන්සෙ බොහොම ප්‍රියමනාප, පැහැපත්, නිවුනු කෙනෙක්. අපි සුහදව කතා කර කර ඉන්නකොට එකපාරටම ස්වාමීන් වහන්සෙ මගෙන් ඇහුවනෙ
"මහත්තයට හිතේ ප්‍රශ්නයක් තියෙනවද?"
පුදුම හිතුනත් මම "ඔව්" කිව්වා.
මුවගට උපේක්ෂා සහගත මඳ සිනාවක් නගාගත් ස්වාමීන් වහන්සෙ කිවුවා
"මේ ළගදිත් මහත්තය වගේම තරුණ ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇති කරගෙන මාව හම්බෙන්න ආව. එයා නැවතිල හිටපු ගෙදර ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන......."
මා මගේ ගැටළුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළෙ නැතුවම උන් වහන්සේ බොහොම කාරුණිකව මට උපදෙස් රාශියක් දුන්නා.
මේක හුදෙක් අනුමාන කිරීමක්ද...? සමහරවිට මෙහෙම 'කේස්' නිතරම අපේ ස්වාමීන් වහන්සෙට එනව ඇති. ඒත්.....
ඒ වෙලාවෙ මම කියන්නත් කළින් ස්වාමීන් වහන්සෙ ප්‍රශ්නෙ ගැන කතාකළේ හරියට සියල්ල දැනගෙන වගේ විශ්වාසයෙන්. අනිත් එක යාළුවත් ඉද්දි මගෙන්ම අර ප්‍රශ්නෙ ඇහුවෙ ඇයි..?
මම ස්වාමීන් වහන්සෙගෙන් අවසර අරගෙන ආපහු ආවෙ කළින්ටත් වැඩිය පැහැදීමෙන්.
ඒ මානසික පිබිදීම මට විශ්වවිද්‍යාලයෙදී පවා අති සාර්ථක වෙන්න සෑහෙන දුරට බලපෑවා කිව්වොත් නිවැරදියි.
Monday, September 17, 2012
පින් අනුමෝදනාව
සෑහෙන කාලෙකින් ලබැඳි මිතුරෙක් කතා කළා..වෙන කවුරුවත් නෙමෙ...ෂෙරීෆ් (එයා ගැන මේකෙ වෙනම තැනක ලියැවිල තියෙනව. ලින්ක් එකක් දාන්න විදියක් නෑ කවුද ගෝතයෙක් 'ස්පෑම්' කියල රිපොර්ට් කරන්න අරන්. තරහ ගන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ඒජන්ත ගෝතයා වෙන්නත් පුළුවන්.) මතකයන් ආයෙත් අවුරුදු කිහිපයක් අතීතයට ගියා. පුංචි, නමුත් කිසිදා අමතක නොවන සිදුවීමක් ඒත් එක්කම මතකෙට ආවා. මේක වුනේ වෙසක් කාලෙක වුනත් සුදුසු කාලෙ - මීළඟ වෙසක් කාලෙ එනකම් ඉන්න බැරි නිසා ඔන්න ඔහෙ ලියල දානව.
මම ගියා තොරණක් බලන්න. තොරණක් කිව්වෙ වෙසක් තොරණක්. සෑහෙන කට්ටිය එහෙමත් හිටිය. රෑ.
මෙන්න බොලෙ ටික වෙලාවකින් මගෙ නම කියනව යකඩ කටෙන්...!
"............ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී හදිසියේ අප අතරෙන් වියෝවූ...
මහාචාර්ය ........... ............(මගෙ නම) මහතාට නිවන් සුව පතමින් එතුමාගේ ආදරණීය ගෝලයන් පිරිසක් රුපියල් විස්සක මුදල් ආධාරයක් අප වෙත ලබා දී තිබෙනවා."
මෙසේ කී නිවේදකයා හිටගෙන කවියක් කියන්න ගත්තනෙ මගේ අවාසනාවන්ත හදිසි වියෝව ගැන..!
එක පාරටම තක්බීර් වෙලා ගියත් ඊළඟ මොහෙතෙ මට තේරුණා මොකද්ද පටලැවිල්ල කියලා...
මේක මගෙ යාලුවො එකතු වෙලා කරපු පුංචි අහිංසක විහිළුවක්.
අධික වැඩ රාජකාරි නිසා මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්න වෙලාවක් නැති වුනත් ආයෙමත් අවස්ථාවක් ආවොත් මාව ආදරේට මරන්න නුඹලා පසුබට නොවෙන බව මම දන්නවා....
ආදරණීය සරසවි මිතුරනි, ජීවත්ව සිටියදීම මට පින් අනුමෝදන් කරනු ඇසීමට දුලබ වාසනාව උදා කර දීම ගැන නම් කියලා වැඩක් නැත....
ජෝන් මාමා
මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක දුවෙකුත් (මගේ ලොකු අක්කා) අවිවාහක පුංවි අම්මාත් පමණි.
මා සාලය හරහා කෑම කාමරයට ගොඩවැදුනේ පොඩි බඩගින්නක් දැනුනු නිසා ඊට වග-උත්තර බැඳීමටය. මැදි විය පසු කර ඇති ඉතා අහිංසක ගැමි යුවලක් නිහඬව ලොකු අම්මාගේ සංග්‍රහයක් භුක්ති විඳිනු දුටිමි. සාමාන්‍යයෙන් ගැමි ප්‍රභූ නිවසක් යැයි සැලකෙන මේ ගෙදර ඕනෑම මොහොතක මෙවැනි දර්ශනයක් වරදින්නේ කලාතුරකින් වුවත්, ඔවුන් - විශේෂයෙන් ගැමි කාන්තාව මට දැක පුරුදු නොවුවත්, ගැමි වැඩිහිටියා ගැන නම් මට යම් අපැහැදිලි - එහෙත් සුවිශේෂී මතකයක් ඇතිබව දැනුනි. හරි හතර රියන් පුරුෂයකු වූ ඔහු කලක් ඉතා ශක්තිමත්ව සිටි බවට ලක්ෂණ තවමත් ඉතිරිව ඇත. උඩුකය තරමක් නිරාවරණය කර තිබූ නිසා පපුවේ ඝන රෝම වැවී තිබෙනු දිස්විය.
"පුතේ, මේ ජෝන් මාමයි ඒ නැන්දයි. කන්දෙ එහා පැත්තෙ ඉන්නෙ. එහේ පොඩි උත්සවයක් තිබිල, මේ අපිට කැවිළි අරන් ඇවිත්..."
ලොකු අම්මා මට ඔවුන් හඳුන්වා දුන්නාය.
බුළත් කහට බැඳුණු මුවින් ඔවුහු මා සමග අහිංසක ලෙස සිනාසුනහ. ඒ සිනහව තුළ, ගැමි කමට ආවේණික අව්‍යාජත්වය, ගෞරවය, ලෙන්ගතුබව යන සියල්ල ගැබ්ව තිබුණි. මේ සමගම මා හද තුළ වූ ගැමියා අවදිව ජෝන් මාමා ගැන අපූරු සිදුවීමක් සිහිකැඳවමින් මා වසර විසි ගණනක අපූර්ව වූ අතීතයට කැඳවාගෙන ගියේය.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මහගෙදරට අයත් කුරුඳු ඉඩම, අක්කර ගණනක් පැතිරී නිවස පිහිටි කන්දේ මුඳුන දෙසට යොමුවී තිබිණ. ඊටත් උඩින්, මුඳුනට කිට්ටුවන්නට තිබුණේ නොඉඳුල් වන ලන්දය. මේ ළඳු කැලෑව මාගේත්, අමිලගේත් ළමා සිත් නිරන්තරයෙන් කුහුලෙන් පුරවාලීමට සමත්විය. (අමිල යනු මගේ සමවයසේ සිටි ලොකුඅම්මා ගෙනෙකුගේ පුතෙකි.) ඉඳහිට දිනක මහගෙදර පිළිකන්නට ලන්ද බැස එන වල් ඌරන්, ඕලු මුවන් හා රාත්‍රියට විවිධ අත්භූත ශබ්ද නගන විවිධ සත්ත්වයන් මෙය අපූරු තැනක් යයි යන අදහස අප හදවත් තුළ ස්ථිර කලේය. මෙහි මුදුනට නැග්ග විට මුහුද ඇතුළු අප මෙතෙක් නොදුටු බොහෝ අපූර්ව දේ දර්ශනය වන බවට අපි විශ්වාස කළෙමු.
එක්තරා පාසැල් නිවාඩු දිනෙක, ගෙදරට හොරා මෙය ගවේෂණය සඳහා තරණය කිරීමට අපි දෙදෙනා තීරණය කළෙමු. (දළ ඌරන්ගේ/ බඹරුන්ගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවින් මෙය අපට තහනම් කර තිබුණි.) එකල අපේ වයස අවු.7කි.
කුරුන්ද (කුරුඳු ඉඩම) පසු කර අප බොහෝ දුර පැමිණ තිබුණි. දැන් දැන් රැහැය්යන්ගේ කන් බිහිරි කරවන ශබ්දය ජනිත කළේ ගුප්ත හැඟීමකි.
එක් වරම අමිල මට වැළමිටෙන් ඇන වහාම නිෂ්ශබ්ද වනලෙස දන්වා මාත් ඇදගෙන පඳුරක් පසු පස සැඟවුනේ කුතුහලය අවුස්සමිනි.
පඳුරු අතුරින් අප දුටුවේ කුමක්ද...?
ඇඟ පුරාම ඝනව රෝම වැඩුණු කළු, ඉතා උස මහත කෙනෙක් (ඇඳ සිටියේ අමුඩ කෙටියක් බව යන්තමින් මතකයි.) අප දෙසට එයි.
මේ කැළෑවේ හොල්මන්, අවතාර, යකුන්, බහිරවයන් අරක්ගෙන ඇතිබව කියමින් අප සහෝදරියන් නිතරම අප දෙදෙනා බිය ගන්වයි. එවෙලේට කොලු කමට එය අවඥාවට ලක් කළත්, යම් යම් අත්භූත දේ පැවතිය හැකි බවට අප යටි හිතේ තැන්පත්වී තිබෙන්නට ඇත.
ඊළඟ මොහෙතේ අමිලයාත් ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවන්නට මගේ දෙකකුල් වලට පණ ලැබුනේ කෙසේදැයි නොදනිමි.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මේ සිද්ධිය මා මතක්කර සිටිවිට, ජෝන් මාමා ඇතුළුව අප සියලු දෙනාට සිනාව නවත්වාගැනීමට නොහැකි විය. මහගෙදර සියලු දෙනා හඬ නගා සිනාසුනද, ඔවුහු පළ කළේ නිහඬ අහිංසක සිනාවකි. එකල ඔහු කිතුල් මැදීම කළ බවත්, කැළය මැදින් කෙටි පාරකින් ගමන් කළේ එවැනි රාජකාරියට විය හැකි බවත් ඔහු කීය.
පිළිකන්නෙන් ගෙට ගොඩවූ ඔවුහු, පිළිකන්නෙන්ම බැස ගියහ. සාලයට පැමිණ ආගිය තොරතුරු විමසීමක් එම ගැමියන්ගේ නොවීය.
ඔවුන් ගිය පසු ලොකු අම්මා පැවසුවේ ජෝන් මාමා තරුණ කළ ඉතා හැඩි දැඩි සැරපරුෂ පෙනුමක් තිබුණක්, ඔහු එකල පවා පාඩුවේ ජීවත් වූ අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක් බවයි.

Subscribe to:
Posts (Atom)