Wednesday, September 26, 2012

පූස් පැටවු


විසි පස් වෙනි සංවේදී දිගහැරුම.

මේ අඩවියෙන් සංවේදී හදවත් තියෙන අයගෙ හිත් තවතවත් සංවේදී බවෙන් පුරවාලන්නට මිසක් කම්පා කරන්නට කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. දහස් වාරයක් සමාවන්න. අද කියන්න වෙලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සිදුවීමක්. මේක ඒ ජාතියේ පලමුවෙනි සහ අන්තිම සටහන කරන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා.

දුක හිතෙන ෆේස්බුක් පෝස්ට් එකක්වත් ශෙය්‍යා(ර්) කරන්නෙ නැත්තෙ මම අත්විඳින දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා. ඒත්...මේකෙ ඔබට කියලා මගේ දුක තුනී කරගන්න ආත්මාර්ථකාමී අරමුණට වඩා එහා ගිය පණිවිඩයක් ගැබ්වෙලා තියෙනවා කියලා අවංකව හැඟෙන එකම හේතුව නිසයි මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නෙ. දැන් නම් සිදුවීම සිදුවෙලා දවස් කීපයක් ගෙවිලා නිසා මේ සටහන තියන්න තරම් හිත ටිකක් විතර හැදිලා තිබ්බත් එයින් ඇති කරපු කම්පනයනම් ජීවිත කාලෙටම ළඟ තියේවි.

ගෙදර බොහොම ආදරෙන් හදපු බළල් තඩියා මැරුණට පස්සෙ සත්තු මොකෙක්වත් හදන්නෙ නෑ කියල හිතාගෙන හිටියේ. ඒත් කොහෙද යන බැළලියක් අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොඳ හිතෙන් ප්‍රයෝජන අරගෙන අපේ ගෙදර බලෙන්ම නැවතුනා. දැන් මාසෙකට විතර කළින් මෙයා අම්ම කෙනෙක් වුනා, ලස්සන බෝල වගේ කහ පාටට හුරු පැටවු 3 දෙනෙක්ගෙ. එළියෙ මඩුවක දමයි දැම්මෙ. පැටවු සත්තු ගෙනියයි කියල හිතුන නිසා උන් ගේ ඇතුලෙ තියාගම්මු කියල මම යෝජනා කළත් පස්සෙ මේක මහ කරදරයක් වෙයි, ගේ ඇතුලෙ කැත කරයි වගෙ අසුබවාදී කතා නිසා ඒක යට ගියා. මඩුවෙම මේ අහිංසකයො මාසයක් විතර හැදුනා. අපි හැමෝම හැමදාම මෙයාල හුරතල් කරන්න අමතක කළේ නෑ.

ඒත් දැන් සතියකට විතර කළින් දවසක බලනකොට එක්කෙනෙක් හිටියෙ නෑ. අපි පිස්සුවෙන් වගෙ හැමතැනම හෙව්ව. 
අන්තිමට අපි හැමෝම බලාපොරොත්තු අත් හැරගෙන ඉන්නකොට තාත්තා මෙයාව හොයාගෙන ආව, මුගටි ගුලක කටේ හිරවෙලා ඉඳලා. බලන්න දුකේ බෑ, මුගටියෙක්ගෙ දිග දත් දෙකක් වැදිල ඔළුවෙ ගැඹුරු තුවාල 2ක්. ඒ වෙනකොට පණ තිබුණත් අපි හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියල. කොහොමහරි බේත් දාල ('විෂකපාල' කියල තෙලක් තමයි දැම්මෙ.) දවත් 4ක් විතර යනකොට ටිකක් හොඳ තත්වෙට ආවෙ අපි කාටත් සැනසීම දෙමින්. මීට පස්සෙ අපි එයාලට ගේ ඇතුළෙ කාමරයක නවාතැන් දුන්නා.

දවස් තුනකට විතර කළින් රෑ මැද ගෙදර කෙනෙක් මහ බැළලිට බනිනවා ඇහුනා. බලනකොට බාත් රූම් යන්න ආපු ගෙදර කෙනෙකුට මෙයාල පෑගෙන්න හදලා. බැළලි මෙයාල තුන් දෙනාම පාපිස්ස උඩට අරගෙන ඇවිත්. මෙච්චර හොඳට පරණ රෙදි, කුෂන් දාලා උණුසුමට හදපු තැන ඉඳන් මේ අනාරක්ෂිත තැනට මෙයාල ගෙනාපු මහ බැළලිට පිස්සු, මහ මෝඩ එළදෙනක් කියල කවුරුත් අප්‍රසාදය පළ කළා. ආයෙමත් පරණ තැනින්ම ගිහින් තිබ්බා. තමන්ට බනිනවා කියලා සතාට උනත් තේරෙනවනේ. මහ බැළලි පැනල ගියා එළියට.

කොහොමහරි අපි කාටවත් දවස් 2කින් විතර එයාල බලන්න බැරිවුනා. බැළලි නිතරම කාමරයට රිංගන නිසා අපිත් හිතුවෙ දැන් අවුලක් නැතුව ඇති කියල. අර තුවාල වෙච්ච එක්කෙනාගෙත් තුවාලෙ සෑහෙන්න දුරට සනීප වෙලා තිබුණෙ.

බලන්න දුකයි, එයා බොහොම දුර්වල වෙලා බිම වැතිරිල හිටිය. අන්තිමට දකිනකොට වැඩිය ගොඩක්ම කෙට්ටු වෙලත් එක්ක. කිරි පොවන්න උත්සාහ කළත් හරි ගියෙ නෑ. එයා අපිව දාල ගියා දැන් දවස් 2කට විතර කළින්. දුක වැඩි කමට මම බලන්නවත් ගියේ නෑ. තාත්ත තමයි අස් කළේ.

මෙයාගෙ හදිසි මරණය ගැන විවිධ මත පළවුනා. තුවාලෙ යටින් ඔඩු දුවල මොළේට ආසාධන‍ය වෙන්නැති කියල තමයි අන්තිම නිගමනය වුනේ. කොහොමවෙතත් දැන් ටිකක් අපිරිසිදු වෙලා නිසා එයාල ඉන්න තැන පරණ රෙදි අයින් කරල අළුතෙන් දාන්න ගියා. එතකොටයි අපිට තේරුණේ ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා.

ඒක අස්සෙ ඉඳල එළියට ආවෙ තඩිම තඩි ගරුඬ පත්තෑයෙක්. දන්නවද දන්නෙ නෑ පහතරට තෙත් කළාපෙ ඉන්නවා, තෙත ගතිය තියෙන තැන්වල, කුණු වලට තමයි ගොඩක් කැමති. හැඩය සාමාන්‍ය පත්තෑයෙක් වගෙ වුනත් ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒ වගේම විෂයි. දහඩිය ගඳට, තුවාල වලට එහෙම හොය හොයා එනව කියල මිනිස්සු විශ්වාස කරනව.
ඒ කාලකණ්ණි සතා අර අහිංසකයගෙ ජීවිතේ උදුරගෙන තිබුණ. මොනව කරන්නද? සතෙක්නෙ. හිතක් පපුවක් නෑනෙ.

දුක, කම්පනය මැදින් වුනත් මම කදිම පාඩම් 2ක් ඉගෙන ගත්ත.

1. අසරණයෙකුට, අසරණ  තෙකුට පිහිට වෙනවනම් පිහිට විය යුතු මොහොතෙම එහෙම කරන්න ඕනෑ. ආයෙ කල් දාන්නෙ නැතුව.එහෙම නැත්නම් වෙන්න අපිට වුනා වගේ පසුතැවෙන්නෙනයි. කළින්ම ගේ ඇතුලෙ නවාතැන් දුන්නනම් මේ අවාසනාවන්ත සිදුවීම මගහැරගන්න තිබුණා නේද කියල මට දහස් වාරයක් හිතුණා. 

2. සතෙක් වුණත්, අම්ම කෙනෙක්ගෙ හැසිරීම කවදාවත් මෝඩ එකක් කියල කියන්න බෑ. අනතුර කළින් දැනගෙන වෙන්න ඇති බළල් අම්මා එයාල පාපිස්ස උඩට ගෙනාවෙ. අපිට මේක තේරුම් ගන්න බැරිවුන එක ලොකුම අවාසනාවක්.

මේ වගේ පසුතැවෙන්න වෙන වැඩ එහෙම වෙන්න කළින් වලක්වා ගන්න පුංචි හරි මගපෙන්වීමක් වෙනවනම් ඒක තමයි මේ සටහනේ අර කළින් කියපු ඒකායන අරමුණ.   

9 comments:

  1. සතෙක්‍ කොයි වෙලාවෙවත් නිකම්ම නිකන් හේතුවක් නැතුව මොනවහරි දෙයක් කරන්නේ නෑ... ඒත් අපිට ඔවුන් ගැන හොයලා බලන්න වෙලාවක් ගොඩක් වෙලාවට අවශ්‍යතාවක් නැති විම තමා වෙලා තියෙන්නේ... දැන් ඉතින් වුණ දේ වුණා... ඒක ගැන කම්පා වෙන එකේ තේරුමක් නෑ... ඒ දේ එහෙම වෙන්න කියලා හිතලා කරපු දෙයක් නෙවෙයිනේ... කොහොම වුණත් මේ පෝස්ට් එක දැම්ම එක නම් ගොඩක් වැදගත්... මේක ලියපු ඔබ වගේම බලන කව්රුත් සතුන් ගැන මින් ඉදිරියට ගොඩක් සැළකිලිමත් වෙයි කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට සහ දිරි ගැන්වීමට.....

      Delete
  2. //දුක, කම්පනය මැදින් වුනත් මම කදිම පාඩම් 2ක් ඉගෙන ගත්ත.//
    ඇත්ත. ඒ පාඩම් දෙක මේ විදිහට අනිත් අයටත් කියල දුන්න එක වටිනවා..
    සංවේදී විදියටම ලියල...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට සහ දිරි ගැන්වීමට.....

      Delete
  3. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට සහ දිරි ගැන්වීමට.....

    ReplyDelete
  4. සත්තු අතේ දුරින් අෑතින් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න එතකොට අවුල ඉවරයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට සහ දිරි ගැන්වීමට.....

      Delete
  5. හ්ම්ම්..උගත් පාඩම් අපිටත් කියූ එක වටිනවා..
    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. happa machan ara mugati seen eken passe ithuru tika
      kiyewwe naha.
      uba patan gaththa widihata mta baya hithenawa..

      Delete