මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක දුවෙකුත් (මගේ ලොකු අක්කා) අවිවාහක පුංවි අම්මාත් පමණි.
මා සාලය හරහා කෑම කාමරයට ගොඩවැදුනේ පොඩි බඩගින්නක් දැනුනු නිසා ඊට වග-උත්තර බැඳීමටය. මැදි විය පසු කර ඇති ඉතා අහිංසක ගැමි යුවලක් නිහඬව ලොකු අම්මාගේ සංග්‍රහයක් භුක්ති විඳිනු දුටිමි. සාමාන්‍යයෙන් ගැමි ප්‍රභූ නිවසක් යැයි සැලකෙන මේ ගෙදර ඕනෑම මොහොතක මෙවැනි දර්ශනයක් වරදින්නේ කලාතුරකින් වුවත්, ඔවුන් - විශේෂයෙන් ගැමි කාන්තාව මට දැක පුරුදු නොවුවත්, ගැමි වැඩිහිටියා ගැන නම් මට යම් අපැහැදිලි - එහෙත් සුවිශේෂී මතකයක් ඇතිබව දැනුනි. හරි හතර රියන් පුරුෂයකු වූ ඔහු කලක් ඉතා ශක්තිමත්ව සිටි බවට ලක්ෂණ තවමත් ඉතිරිව ඇත. උඩුකය තරමක් නිරාවරණය කර තිබූ නිසා පපුවේ ඝන රෝම වැවී තිබෙනු දිස්විය.
"පුතේ, මේ ජෝන් මාමයි ඒ නැන්දයි. කන්දෙ එහා පැත්තෙ ඉන්නෙ. එහේ පොඩි උත්සවයක් තිබිල, මේ අපිට කැවිළි අරන් ඇවිත්..."
ලොකු අම්මා මට ඔවුන් හඳුන්වා දුන්නාය.
බුළත් කහට බැඳුණු මුවින් ඔවුහු මා සමග අහිංසක ලෙස සිනාසුනහ. ඒ සිනහව තුළ, ගැමි කමට ආවේණික අව්‍යාජත්වය, ගෞරවය, ලෙන්ගතුබව යන සියල්ල ගැබ්ව තිබුණි. මේ සමගම මා හද තුළ වූ ගැමියා අවදිව ජෝන් මාමා ගැන අපූරු සිදුවීමක් සිහිකැඳවමින් මා වසර විසි ගණනක අපූර්ව වූ අතීතයට කැඳවාගෙන ගියේය.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මහගෙදරට අයත් කුරුඳු ඉඩම, අක්කර ගණනක් පැතිරී නිවස පිහිටි කන්දේ මුඳුන දෙසට යොමුවී තිබිණ. ඊටත් උඩින්, මුඳුනට කිට්ටුවන්නට තිබුණේ නොඉඳුල් වන ලන්දය. මේ ළඳු කැලෑව මාගේත්, අමිලගේත් ළමා සිත් නිරන්තරයෙන් කුහුලෙන් පුරවාලීමට සමත්විය. (අමිල යනු මගේ සමවයසේ සිටි ලොකුඅම්මා ගෙනෙකුගේ පුතෙකි.) ඉඳහිට දිනක මහගෙදර පිළිකන්නට ලන්ද බැස එන වල් ඌරන්, ඕලු මුවන් හා රාත්‍රියට විවිධ අත්භූත ශබ්ද නගන විවිධ සත්ත්වයන් මෙය අපූරු තැනක් යයි යන අදහස අප හදවත් තුළ ස්ථිර කලේය. මෙහි මුදුනට නැග්ග විට මුහුද ඇතුළු අප මෙතෙක් නොදුටු බොහෝ අපූර්ව දේ දර්ශනය වන බවට අපි විශ්වාස කළෙමු.
එක්තරා පාසැල් නිවාඩු දිනෙක, ගෙදරට හොරා මෙය ගවේෂණය සඳහා තරණය කිරීමට අපි දෙදෙනා තීරණය කළෙමු. (දළ ඌරන්ගේ/ බඹරුන්ගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවින් මෙය අපට තහනම් කර තිබුණි.) එකල අපේ වයස අවු.7කි.
කුරුන්ද (කුරුඳු ඉඩම) පසු කර අප බොහෝ දුර පැමිණ තිබුණි. දැන් දැන් රැහැය්යන්ගේ කන් බිහිරි කරවන ශබ්දය ජනිත කළේ ගුප්ත හැඟීමකි.
එක් වරම අමිල මට වැළමිටෙන් ඇන වහාම නිෂ්ශබ්ද වනලෙස දන්වා මාත් ඇදගෙන පඳුරක් පසු පස සැඟවුනේ කුතුහලය අවුස්සමිනි.
පඳුරු අතුරින් අප දුටුවේ කුමක්ද...?
ඇඟ පුරාම ඝනව රෝම වැඩුණු කළු, ඉතා උස මහත කෙනෙක් (ඇඳ සිටියේ අමුඩ කෙටියක් බව යන්තමින් මතකයි.) අප දෙසට එයි.
මේ කැළෑවේ හොල්මන්, අවතාර, යකුන්, බහිරවයන් අරක්ගෙන ඇතිබව කියමින් අප සහෝදරියන් නිතරම අප දෙදෙනා බිය ගන්වයි. එවෙලේට කොලු කමට එය අවඥාවට ලක් කළත්, යම් යම් අත්භූත දේ පැවතිය හැකි බවට අප යටි හිතේ තැන්පත්වී තිබෙන්නට ඇත.
ඊළඟ මොහෙතේ අමිලයාත් ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවන්නට මගේ දෙකකුල් වලට පණ ලැබුනේ කෙසේදැයි නොදනිමි.
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මේ සිද්ධිය මා මතක්කර සිටිවිට, ජෝන් මාමා ඇතුළුව අප සියලු දෙනාට සිනාව නවත්වාගැනීමට නොහැකි විය. මහගෙදර සියලු දෙනා හඬ නගා සිනාසුනද, ඔවුහු පළ කළේ නිහඬ අහිංසක සිනාවකි. එකල ඔහු කිතුල් මැදීම කළ බවත්, කැළය මැදින් කෙටි පාරකින් ගමන් කළේ එවැනි රාජකාරියට විය හැකි බවත් ඔහු කීය.
පිළිකන්නෙන් ගෙට ගොඩවූ ඔවුහු, පිළිකන්නෙන්ම බැස ගියහ. සාලයට පැමිණ ආගිය තොරතුරු විමසීමක් එම ගැමියන්ගේ නොවීය.
ඔවුන් ගිය පසු ලොකු අම්මා පැවසුවේ ජෝන් මාමා තරුණ කළ ඉතා හැඩි දැඩි සැරපරුෂ පෙනුමක් තිබුණක්, ඔහු එකල පවා පාඩුවේ ජීවත් වූ අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක් බවයි.
No comments:
Post a Comment