Friday, September 7, 2012
ඈත පළාත්වල ජීවිත....
මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට....
ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ මිනිස්සුන්ව අමතක කරලා දාන්න එපා...
හරි මෙන්න කතාව. මම දුරින් හඳුනන කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.
මේක වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවලු.
ගුරුවරයෙක් වෙච්ච මගේ හිතවතාට දුෂ්කර සේවා විදියට බොහොම පිටිසර පළාතක පාසලකට පත්වීම ලැබුනලු.
මෙයා ගිහින් තියෙන්නෙ මෝටර් සයිකලයෙන්. ගිහින් නැවැත්තුවම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් යයි සිතිය හැකි ගැමි මනුස්සයෙක් ළඟට ආවලු.
මේ කාලෙ මේ ගමේ මෝටර් සයිකල් එහෙම දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්ලු. මෙයා අපේ හිතවතාගෙන් ඇහුවලු මෙහෙම,
"මහත්තය, උඹ මොකෙන්ද ආවෙ?"
අපේ හිතවතාට ඇමතුවෙ මහත්තය කියලද වෙන මොකක් හරි කියලද කියල හරියට මතක නෑ. කොහොමවුනත් ඒ අදහස තියෙන ගැමි වචනයක්.
'උඹ' කියල කිව්වට අපේ හිතවතාට ටිකක් විතර අප්සට්ලු. ඒ උනත් මේ පළාතෙ හැටි වෙන්න ඇති කියල දුන්නලු අහපු එකට උත්තර.
"මම මෝට(ර්) සයිකලෙන් ආවෙ."
මේක ඇහුව විතරයි අර මනුස්සයගෙ මූණ ඇඹුල් උනාලු, තරහ ගිහින් වගෙ එතැනින් යන්න ගියාලු.
කාර්යාලයට ගිහින් විදුහල්පතිතුමා හමුවෙලා, රාජකාරි
කටයුතු එහෙම සම්පූර්ණ කරලා, ආ ගිය කතා එහෙම කතාකරනකොට කිව්වලු අර මනුස්සයට තරහ ගිය සිද්දිය.
විදුහල්පතිතුමාට තේරුණාලු අවුල.
"මදැයි ඔයින් ගියා. මේ පළාතෙ 'මෝ' කියන්නෙ අම්මට. 'මෝට' කියන්නෙ 'උඹෙ අම්මට....' වගේ කතාවක්නේ....!"
ඔය වගේ භාෂා වෙනස්කම් නිසා වෙච්චි සිද්දි බර ගානක් කිව්වා, දැන් මට මතක නෑ.
ඔන්න අපේ ගුරුතුමා පන්තියට ගිහින් නාමලේඛනය පරීක්ෂා කරනවලු පහුවදා.
මෙහෙම බලාගෙන ගනකොට තියෙනවලු හරි අපූරු නමක්.
'දිවංගත ප්‍රේමදාස'
කුතුහලයට පත්වුනු අපේ ගුරුතුමා හොයල බැලුවලු මේ නමේ උපත.
බලනකොට මේ නම අයිති දරුවගෙ තාත්තා තමයි නම දාල තියෙන්නෙ. දරුව ඉපදිල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වෙච්ච දවස්වලලු.
ඒ දවස්වල 'වෑර්ලස් එකේ' (ගුවන් විදුලියේ) හරියට වැඩසටහන් වල කියවුනනානේ ඔය 'දිවංගත ප්‍රේමදාස' නාමය. මේ ගැමි මනුස්සයා හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ 'ශ්‍රීමත්' වගේ විශේෂණ පදයක් කියලා. තේරුම හොයලා නැහැ, ලස්සන නිසා දැම්මලු.
බලාගෙන ගියාම අපේ නගරබද 'පොෂ්' අම්මල තාත්තලත් ඔය වගේ තේරුම හොයන්නැතුව නම් දානවානේ! (උදා. 'ට්‍රික්සි' = ප්‍රයෝගකාරී / සෙල්ලක්කාර )
ආයෙ දවසක් ආවලු අලුතෙන්ම දරුවෙක් බාර දෙන්න. බාර දීලා දෙමාපියෝ ගියාලු. අපේ ගුරුතුමා අර දරුවගෙන් විස්තර අහනවලු.
"පුතේ ඔයාගෙ තාත්තගෙ නම?"
කොළුවා උඩ බිම බළයි.
"ඇයි පුතේ දන්නෙ නැද්ද?"
(නොදන්නා බව හැඟවීමට ඔළුව වනයි.)
"හොඳයි ඔයාගෙ අම්මා ගෙදරදි තාත්තට කතා කරන්නෙ කොහොමද?"
"ඕයි..කියලා"
"එතකොට තාත්ත අම්මට...?"
"ඒයි.....!"
වායුසමනය කරපු විවේකාගාරයක, සැප පුටුවකට බර වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන අන්තර්ජාල සබඳතාවකින් මේක ලියන මට, ඔබ ලවා ඔවුන්ව උපහාසයට ලක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව යළි යළිත් අවධාරණය කරන්නනම ඕනෑ. මහාචාර්ය ගංගානාත් කියනව වගේ, අපිව මේ විදියට නඩත්තු කරන්න මේ අහිංසකයින් පවා දායක වෙනවයි කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. මගේ විවේකාගාරයේ දැල්වෙන පහනත්, වායුසමන යන්ත්‍රයත් වැඩකරන්නෙ විදුලියෙන් නොවේ, මේ අසරණයින්ගෙ ලේ දහදිය වලින් කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජන්ජාලෙ හුවමාරු වෙන්නෙ දත්ත නොවෙයි, ඔවුන් හෙලන කඳුළු කියලයි මට හිතෙන්නෙ. මේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!
Subscribe to:
Post Comments (Atom)
අන්තිමට ලියපු හැගීම්ල අදහස් මගෙත් තිබුනා. තවමත් තියනවා. පස්සෙ මට දැනුන දෙයක් නම් අපි ගත කරන ජිවිතේ දි මේ වගෙ වටිනාකම් අපිට එකතු වෙන්නෙ අපේ වයසත් එක්ක...
ReplyDeleteඔව්. ඒක හරි. අපි කවදාවත් අත්දැකීම් එක්ක පරිණත වෙලා ඉවර වෙන්නෙ නෑ...
Deleteමට මේ වගේ ලැබුණු හොඳම අත්දැකීම තමයි නුවරකලාවිය ප්‍රදේශයේ රාජකාරි කරද්දී ඈත ගමකට ගියාම පාරක් ඇහුවොත් ලැබෙන උත්තර. 'මහත්තයා ඔහොමම ගිහින් අපේ උක්කුවා මලයාගේ ගේ පහුකරලා මිල්ල ගහ ගාවින් පහලට යනකොට තියනවා කිරිමැනිකා නැන්දගේ ගෙදර. එතන සියඹලා ගහ ගාවින් හැරුනම ඒ ළඟම තමයි. . . .' ඔන්න ඔහොමයි ඒගොල්ලෝ පාරවල් කියන්නේ. මොනවා කරන්නද. ඒ ඒගොල්ලන්ගේ ලෝකය. අපි එය අධ්‍යයනය කර අවබෝධ කරගත යුතුයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
දුශ්කර පළාත්වල දවසක් හරි සේවය කරපු / කරන ගුරුවරුන්ට මම හද පත්ලෙන්ම ගරු කරනවා...
Deleteඌන පූර්ණයක් : ගුරුවරුන්ට විතරක් නෙමෙ ඔවුන්ට වචනයකින් හෝ සේවය කළ හැමෝටම......
Deleteගොඩක් දවසකට පස්සෙ හොයපු දෙයක් හමු උනා වගේ දැනුන.සියලුම ලිපි එක හුස්මට කියවගෙන ගියා.
ReplyDeleteබොහොම ස්තුතියි සටහනට. ජීවිතේ ගොඩක් දේවල් පස්සෙ අනිත් අයත් එක්ක තරඟෙට දුවල හති වැටිච්ච කෙනෙක් මම. දැන්වත් මගේ ඇතුලෙ හිටිය සංවේදී මනුස්සයා අවදි කරල තව කෙනෙක් හරි සංවේදී හදවතක් ඇත්තෙක් කරන්න පමාවී හෝ ගත් තීරණය ඉතා නිවැරදි බව සොයුරු ඔබේ දිරි ගැන්වීම් වලින් සපථ වෙනවා....
Deleteහ්ම්ම් ඒ ජිවිත හරි වටිනවා .......
ReplyDeleteබොහොම ස්තුතියි සටහනට.
Deleteඅපූරු ලිපියක්..හිනා නොගියා කිව්වොත් බොරුවක් වෙනවා.හිනා ගියා..:)නමුත් ඔවුන්ට අපහස කරන බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි..
ReplyDeleteබොහොම ස්තුතියි සටහනට.
Deleteඅදමයි මේ පැත්තේ ආවේ. රජයේ ආයතන කියන්නේ අපේ දෙවල් කියලා හැමෝම හිතනවනම්.. මම කියන්නේ අද මොන ආණ්ඩුව තිබුනත් ඒ අපේ ආණ්ඩුව කියලා රජයේ සෙවකයෝ හිතනවනම් රජයේ ආයතන මීට වඩා හොඳට තියේවි. ඒවගේම ඒවායෙ සේවය ලබන අයත් එහෙම හිතනවනම් ........
ReplyDelete..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..
ඇත්ත කතාව. බොහොම ස්තුතියි සටහනට. මමත් අත්තම්මගෙ පෙට්ටගමේ සාමාජිකයෙක්..
Deleteඔයාගේ මේ ලිපියේ තියෙන දේ මට වඩාත් තදින් දැනුන කිව්වොත් නිවැරදියි. මොකද මම මේ ඊයෙයි අදයි වැඩ කලේ කොබෙයිගනේ, වාරියපොළ, නිකවැරටිය කියන ගින්නෙන් දැවෙන ගම් තුනේ. නිකවැරටියේ තියෙන ගම් දෙකක මගේ සේවාස්ථානය වන මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. මේ ගම් දෙක රස්නායකපුර සහ ගිරිල්ල. නම් දෙක අහපු අය ඉන්නවද ? ජනවාරි මාසෙන් පස්සේ මේ පළාත් වලට වැහලා නෑ. වැව් හිඳිලා අඩියටම. හම ඇඟට ඇලිච්ච වයස 70 විතර මනුස්සයෙක් පස් පෙරලන ගමන් උදැල්ල පැත්තකින් තියල අපි ගිය වාහනේ දිහා බැලුව. මට හිතුනේ අපිට පඩි ගෙවන මහත්ම මහත්මීන් තමයි මේ උදලු අරන් මහපොළවත් එක්ක ඔට්ටු වෙන්නේ කියල.
ReplyDeleteබොහොම ස්තුතියි සටහනට. දුෂ්කර පළාත්වල අහිංසකයන්ගෙ ජීවිත එළිය කරන්නට වචනයෙන් හෝ කැප වන සියලුම මිනිස් දෙවි දේවතාවන්ට මගේ හද පිරි ප්‍රණාමය....!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteපොඩි පරස් පර තාවයක් දැක්ක මම...රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා අභාවප්ප්‍රාප්ත වෙලා වසර 19යි..මෙ සිද්දියට වසර 15යි..එතකොට අර දිවංගත ප්‍රේමදාස කියල නම තිබ්බ ලමයාට වයස 4 වෙන්න ඕන..මම දන්න විදියට අවුරුදු 6 දි තමා 1 වසරට ගන්නේ..සමහර අය 5 දීත් යනව..එත් 4 දි??? මටනම් හිතෙන්නෙ ඈත ගම්මාන වල ජීවිත උපහාසයට කෙසේ වෙතත් දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති තුමා උපහාසයට ගැනීමට ගත් අසාර්ථක ප්‍රයත්නයක් වගේ මට පේන්නේ...!
ReplyDeleteනූගත් උනාට ඒ මිනිස්සු හරිම බුදිමත්..... ස්වභාව ධර්මයත් එක්ක ගෙවෙන සරල සැහැල්ලු ජීවිත... අව්‍යාජයි.. නිරහන්කාරයි.. හැබැයි ටිකක් තදයි
ReplyDeleteඔව්..ඒක ඇත්ත.
Deleteමේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!
ReplyDeleteමේ මට හිතුන දේ_ මෙක කියවනකොට හිනා යනවනම් එහෙම වෙන්නෙ ඇයි? ඒ අපි ගැමියා ගැන දන්න තරම නිසා ගැමියාගේ භාෂාව ගැන දන්න තරම නිසා ගැමියාගෙ ව්ඥානය ගැන දන්න තරම නිසා
ReplyDelete