මා කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවකු නිර්මාණය කර තිබෙනු දැක මගේ සමාජවාදී මිතුරකු මෙසේ කීය: "ඔයාලා වගේ අයගෙන් මේ රටට සත 5ක වැඩක් නෑ. රටේ සල්ලි වලින් රටට වැඩදායී යමක් කලොත් නරකද?"
මේ ගැන ඔබේ කාරුණික අදහස් උදෙක්ම බලාපොරොත්තු වෙමි.
මගේ පෞද්ගලික අදහස් දැක්වීම:
මෙම චෝදනාවම මගේ ගුරුදේවයන් වන ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතාටද එල්ල වූ බව දනිමි. ඔහුගේ බිම් බෝම්බ ඉවත්කරන රොබෝ යන්ත්‍රය මෙවැන්නන් විසින් නම් කරනු ලැබුයේ "ඊනියා සාම රොබෝ" යනුවෙන් යයි මට මතක තිබේ.
බැලූ බැල්මට මෙය සාධාරණ තර්කයක් හා සත්‍යයක් සේ පෙනී ගියද, මෙහි මෙවැන්නන් නොදකින පැත්තක් ඇත. එනම් විද්‍යාඥයා යන පුද්ගලයා, එක් ජාතියකට හෝ භෞමික කලාපයකට අයත් කෙනෙකු නෙව, මුළු මිනිස් සංහතියටම අයත් මානව සම්පතක් යන්නයි.
අපේ මිත්‍රයාට අමතක වූ දෙයක්නම් මිනිස් ඉතිහාසයයේ පළමු වතාවට මනුෂ්‍යයෙකු සාර්ථකව අභ්‍යාවකාශ ගතකරන ලද්දේ සමාජවාදී සෝවියට් දේශය බවයි. ඒ යූරි ගගාරීන් ය. සමාජවාදී රටවල විද්‍යාත්මක පර්යේෂණ හා විද්‍යාඥයින් දිරිමත් කරන්නේ කෙසේදැයි කරුණාකර ඔබේ ළිංමැඩි චින්තනයෙන් මිදී බලනු මැනවි.
සමාජයේ සෑම මනුෂ්‍යයයෙකුගේම සියළුම මූලික අවශ්‍යතා 100% සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්ව ගවේශනය, කෘතිම බුද්ධිය ආදී මිනිස් සංහතියේ ප්‍රගමණයට දායක වන පර්යේෂණවල නියැලෙන සමාජවාදී රටවල් ඇත්දැයි නොදනිමි. එය එතරම් කල් දමනු ලැබුවේ නම් මේ තරම් විද්‍යාව දියුණු අවධියකට පැමිණීමට හැකියාවක් තිබේද යන්න මසිතේ කුකුසක් ජනිත කරවන්නේ නිතැතිනි.
රටට හා වර්තමානයට වැඩදායී නව නිර්මාණ බිහි කළ හැකිනම් වඩාත් අගනේය, එහෙත් ඔහුගෙන් සත 5ක වැඩකට නැතැයි කීම කුහක කතාවකි. සරල උදාහරණයක් මගින් මෙය පැහැදිලි කර දිය හැකිය.
අද වන විට ඩිජිටල් තාක්ෂණයේ ඵල නෙළන්නේ නැති අයෙක් සොයාගැනීමට නොහැකි තරම්ය. කොටින්ම ජංගම දුරකථනයක් භාවිත නොකරන ලාංකික සමාජවාදියෙකු පවා සොයාගැනීම උගහටය. නූතන ජංගම දුරකථනය යනු ඩිජිටල් තාක්ෂණයෙන් පණගැන්වෙන උපාංගයක් බව අපේ සමාජවාදී අයියලා නොදන්නවා ඇත.
ජෝර්ජ් බූල් (George Boole) නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා, බූලියන් වීජ-ගණිතය (Boolean algebra) සොයාගත්තේ 1847 නම් ඈත ඉතිහාසයේය. නමුත් කිසිවෙකුත් එය ප්‍රායෝගිකව යෙදිය හැකි අවස්ථාවක් නුදුටු හෙයින් එය සියවසකට අධික කාලයක් හුදෙක් සෛද්ධාන්තික සංකල්පයක් ලෙස පමණක් පැවතුණි. එහෙත් ඉන් සියවසකට පසු ට්‍රාන්සිස්ටරය සොයාගත්පසු ඩිජිටල් නම් තාක්ෂණය කළ එළි බැසීය. බූලියන් වීජගණිතය නොමැතිව ඩිජිටල් තාක්ෂණය හැසිරවිය හැකිද නොහැකිද යන්න දැනගැනීමට වෘත්තීය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් වීමට අවැසි නැත. නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ තාර්කික ද්වාර (Logic Gates) පිළිබඳව දැනුම තොල ගා සිටීම පමණක්ම සෑහේ.
අයින්ස්ටයින් කී මෙලෝ මළදානයක් ඔහුගේ මරණයෙන් පසුද දශක ගණනාවක් යනතුරුම මෙලෝ යකෙකුට තේරුනේ නැත. එහෙත් මිහිපිට සිදුවන සෑම විශ්ව ගවේශණාත්මක කටයුත්තක්ම සහ සෑම න්‍යෂ්ඨික බලාගාරයක්ම ඔහුගේ අසාමාන්‍ය පරිකල්පන ශක්තිය මත පදනම්ව දුවනු ලබයි.
විද්‍යාඥයෙකු අද දවසේ උපදවනු ලබන දැනුම, ප්‍රයෝජනවත් වන්නේ කුමන ජාතියටද, කුමන කාලයටද යන්න එහි වටිනාකමෙන් ස්වායත්ත වන බව ඉතිහාසය විසින් සාධනය කරනු ලැබ ඇති අවස්ථා බොහෝය. කවදා, කිසියම් ජාතියක්, එම දැනුම මත පදනම්ව මානව සංහතියේ ප්‍රගමණය උදෙසා යම් තාක්ෂණයක් නිපදවනු ඇත්දැයි පේන කීමට නොහැකිය. එහි වටිනාකම කොහොමත් එහි ගැබ්ව ඇත. සිදුවන්නේ මිනිසුන් එය වටහා නොගැනීම පමණකි.
තවත් යමක් මගේ පාඨකයින්ගේ දැනුම වශයෙන් එක් කරනු කැමැත්තෙමි.
රොබෝ තාක්ෂණයේ පියා වශයෙන් සැලකෙන්නේ විද්‍යාඥයෙකු හෝ ඉංජිනේරුවෙකු නොව, නාට්‍යකරුවකු වූ කලාකරුවෙකු යයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔව්. එය එසේය. ඔහු R.U.R. වේදිකා නාට්‍යය නිර්මාණය කළ චෙක් ජාතික කැරෙල් කැපෙක් (Karel Čapek) ය. කලාකරුවකු යනු සංවේදී මිනිසකු බව ඔබ දනී. ඔහු විසින් සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ලෙස දුටු ඉතා වෙහෙසකර වූ සහ අවදානම් සහගත වූ රැකියාවක් දරන කම්කරු වෘත්තිකයා ඉන් නිදහස් කිරීමට ඔහු දුටු විකල්පය මෙම මිනිස් යන්ත්‍රයයි.
මෙමගින් මිනිසුන්ගේ රැකියාව අහිමි වී එයින් අර්බුධයක් පැණ නගිනු ඇතැයි මේ තාක්ෂණය දෙස අසුබවාදීව බලන්නන් යොමු කරන තර්කයයි. අප විශ්වවිද්‍යාලයේදී ද නොවැරදීම ඇසුණු මේ පැණයට අපූරු පිළිතුරක් දීමට ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතා සමත් විය.
ස්වයංක්‍රීය ටිපර් රථයක වීඩියෝවක් ගෙන හැර දැක්වූ ඔහු "මොකටද අපි ඇමරිකානුවෙකු මේ වගේ දූලි පිරුණු කටුක පරිසරයක සේවයේ යොදවන්නේ? අපිට ඔහුට වඩා හොඳ අධ්‍යාපනයක් හා ජීවන තත්වයක් දිය හැකිව තිබියදී...අපි ඒ වෙනුවට ඒ වැඩේ යන්ත්‍රයකට භාර දෙනවා. යන්ත්‍රය ඔහු වෙනුවෙන් උපයනු ඇති." (එවක ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධව සිටියේය.)
මා නැවතත් අසන්නේ මා කම්පනයට පත්කළ මේ පැනයයි.
විද්‍යාඥයකු යනු එක් ජාතියකට හෝ දේශයකට හෝ වර්තමානයට පමණක් අයත් නොවන විශ්වීය සම්පතක් බව මේ පටු වින්තනධාරීන් වටහා ගන්නේ කවදා ද....?
සමාජවාදී මිතුරaa සමාජවාදයෙන් සමාජ රෝගයක් සාදා ගත් අයෙක් විය යුතුය
ReplyDeletePissu. Mata echcharayi kiyanna thiyanne.
ReplyDeleteකාටද පිස්සු, අඟහරු?
Delete\\\\විද්‍යාඥයකු යනු එක් ජාතියකට හෝ දේශයකට හෝ වර්තමානයට පමණක් අයත් නොවන විශ්වීය සම්පතක් බව මේ පටු වින්තනධාරීන් වටහා ගන්නේ කවදා ද....? \\\\\
ReplyDeleteමෙන්න මේ ටික නම් සෑහෙන්න ඇත්ත...