මගේ අම්මා ගුරුවරියක්. ගම්බද ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ හරිම දුප්පත් අහිංසක ළමයි. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ඇති.
හය වසරෙ ගැහැණු ළමයෙක් ඇවිල්ල අසනීපයි කියල ගෙදර යන්න අවසර ඉල්ලුවලු. මොකද්ද අසනීපෙ කියල ඇහුවම බඩේ අමාරුවක්ලු. ගෙදර තියෙන්නෙ හැතැප්ම 6ක් විතර ඈත නිසාත්, එක්ක යන්න කවුරුවත් නැති නිසාත් එයාව නිදහස් කරල නෑ.
ටික වෙලාවකින් පණිවුඩයක් එනවලු එයා සුදු ගවුම නාස්ති කරගෙන කියලා. ඉතින් අම්මයි තව ගුරුතුමීල කීප දෙනෙකුයි ගියාලු බලන්න. බැලුවම කතාව ඇත්තලු. සුදු ගවුම එහෙම පිටින්ම කහ පාට වෙලාලු. 'මොකද වුනේ පුතේ?' කියල ඇහුවම කිවුවලු කතාව.
මෙයා වැසිකිළියට ගිහින්. හය වසරෙ උනත් තාමත් ළාමක නිසාත් (සෝදගන්න තේරෙන්නෙ නැති නිසා), පාලනය කරගන්න බැරි තරමට අසනීපය තදට තිබුණ නිසාත් ගවුමෙයි, කකුල් වලයි හැම තැනම මළද්‍රවය ගෑවිලා.
ඉතින් මොකද කරන්නෙ, අපේ ගුරු තුමීලා එයාව හේදුවලු. ඉහළ පන්තියක ළමයෙක් ළඟ පාත ගෙදරකට යැවුවලු ගවුමක් ගේන්න.
මෙයාට හරියන පාට ගවුමක් ගෙනාවලු. දැන් දරුව හොඳටම දුර්වල වෙලා. කොහොමහරි ගෘහ විද්‍යා කාමරෙන් කෝපි එකක් හදල දුන්නලු. නියෝජ්‍ය විදුහල්පතිතුමා උපදෙස් දුන්නලු ගෙදර ගිහින් ඇරලවන්න කියලා.
අපේ අම්මයි, තව ගුරුතුමියකුයි ත්‍රී-වීල් එකක් ගෙන්නගෙන මේ දරුව එක්කගෙන ගියාලු. හැතැප්ම 6ක් විතර එහා, ධීවර ගම්මානෙක ගොඩක්ම දුප්පත් ගෙදරක්ලු. පොල් රුප්පාවක් මැද කරදිය සුවඳ හමන තැනක්ලු. (මට මැවිල පෙණුන කියනකොට.)
යනකොට දරුවගෙ අම්ම, ලොකු අක්කත් එක්ක කොහු අඹරනවලු. කට්ටිය දැකපු ගමන් මෙයාල හිතුවෙ වෙන දෙයක්. ඇයි උදේ සුදු ගවුමක් ඇඳගෙන ගිය දරුව දැන් ඉන්නෙ පාට ඇඳුමෙන් නෙ.
එයාලට කාරණේ පැහැදිලිකරල දුන්නමලු සැනසුම් සුසුමක් හෙළුවෙ. ගුරුවරුන්ට නොසෑහෙන්න ස්තුති කරල ඇත්තම කිවුවලු.
"අනේ නෝනෙ. තේ එකක්වත් හදල දෙන්න ගේ හරියෙ අඩුම කුඩුම නෑ. මෙයාලගෙ තාත්ත මූදු ගිහින් දැන් දවස් දෙකක් වෙනව. මේකි ඊයෙ රෑට කෑවෙත් නෑ. අද උදේටත් නොකා ගියේ."
කොහොමහරි දරුව හොඳට බලාගන්න කියල අම්මල ආපහු ඉස්කෝලෙට ආවලු. ත්‍රී-වීල් එකට ගෙවපු රු.600 අපේ අම්මගෙ අතින්.
ඔය එක සිද්ධියක් විතරයි. ඔය වගෙ ඒව අනන්ත ඒ වගෙ ඉස්කෝලවල වෙනවලු. සමහර දවසට එක වසරෙ දරුවො වැසිකිළි ගියාම එයාල සෝදන්න වෙන්නෙ ප්‍රාථමික පන්ති භාර ගුරුතුමියටලු.
අපේ අම්ම අනන්ත ළමයින්ට ගෙදරින් කන්න හදාගෙන යනව. සල්ලි වලින්, පොත් පත් වලිනුත් උපකාර කරල තියෙනව, දැනටත් කරනව. දුප්පත් පාස්ල්වල ගොඩක් ගුරුවරු එහෙමයි.
මම මේ සටහන තිබ්බෙ මේ දවස්වල ගුරුවරු ගැන වැඩිපුර කතාවෙන හින්ද. හේතුව දන්නව ඇතිනෙ.
තව කියන්න දේවල් අනන්ත තියෙනව අපේ උදාර ගුරු පරපුර ගැන. විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල ගෙවෙන ජීවිත ගැන.
ජීවිතේ ලස්සනම තරුණ කාලෙ ඈත දුෂ්කර පළාතක අවම පහසුකම්වත් නැතුව හැම ගුරුතුමෙක්ම, ගුරුතුමියක්ම වගේ සේවය කරනව. අවුරුදු 6ක් කිවුවට ගොඩක් වෙලාවට ඒක ඒ කියන කාලෙට සීමා වෙන්නෙ නෑ. එයාලට තියෙන එකම සහනය ගැමියන්ගෙ අව්‍යාජ ආදරය විතරක්මයි.
ගමන් පහසුකම්වල තියෙන දුෂ්කරතා නිසාම කිහිපවතාවක්ම තමන්ගෙ දරු ගැබ ගබ්සා වුණු ගුරු අක්ක කෙනෙක් මම දන්නව. ඒ එක කතාවක් විතරයි.
කාලකණ්ණි නූගත් දේශපාලුවන් ඉදිරියේ දණ ගහන්න වෙන්නෙ මේ උත්තරීතර මනුස්සයන්ට කියල හිතෙනකොට පුදුම වේදනාවක් හදවතට දැනෙන්නෙ.
මේ සටහන් වලිනුත් කියවෙන්නෙ ඒ වගේ අත්දැකීම්.
ඈත පලාත්වල ජීවිත - 2
ඈත පලාත්වල ජීවිත
සමහරක් වෙලාවට ගුරුවරුත් බලය අයුතු විදිහට පාවිච්චි කරනවා
ReplyDeleteඑහෙම ගුරුවරු ඉන්නවා අටම් අයියේ. ඒ වුනාට මේ දුෂ්කර පැති වල වැඩ කරන ගුරුවරු 99% ක් එහෙම නෑ.
Deleteතමන්ගේ අතට ලැබෙන සොච්චමෙන් නැති බැරි ළමයිට ඇඳුම්,පොත් පත්,සපත්තු සෙරෙප්පු අරන් දෙන ගුරුවරු බහුතරයක් ඉන්නේ මේ පැති වල.අත්දැකීමෙන් කියන්නේ මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නත් මේ පළාතේ ගුරුවරු නිසා.
අපේ අම්ම දැන් වැඩකරන ඉස්කෝලෙට එන්න කලින් ඉගැන්නුවේ මේ ගුරුතුමී වැඩකරන ඉස්කෝලේ.
This comment has been removed by the author.
ReplyDeleteගුරුවරු ගැන මගේ තියෙන්නේ ඒ තරම් යහපත් හැඟීමක් නෙවෙයි බොහෝ වෙලාවට.. ඒත් මේ කියලා තියෙන කතාව ඇත්ත කියලා මාත් දන්නවා... දුෂ්කර සේවය කරද්දි කොයිතරම් කැපකිරීමක් කරනවද සමහර ගුරුවරු... කොළඹ ඉස්කෝලවල ඉගෙනගෙන, ඒ ඉස්කෝලෙටම පත්වීම හදාගත්ත සමහර ගුරුවරු නම් මේ වගේ දේවල් කරන්න තියා හිතන්නෙවත් නැති බවත් මම දන්නවා...
ReplyDeleteකොහොමත් දොස්තරකමට වෙච්ච දේම තමයි අද ගුරකමටත් වෙලා තියෙන්නේ... ඒකත් සල්ලි හම්බුවෙන රස්සාවක් විතරක්ම වෙලා.. කොල්ලන්ට දොස්තරකම, කෙල්ලන්ට ගුරුකම... ගුරුකමට ආසාවෙන් ඒක කරන කෙනා සේවය කරන්න ලැබෙන්නේ දුෂ්කර පළාතකද කියන එකට වඩා සලකන්නේ එක ළමයෙක්ට හරි හොඳට උගන්නන්න...
ඉස්සර සමාජයේ ගුරුවරයෙක්ට තිබුන පිලිගැනීම අද නෑ.. ඒකට ගුරුවරු වගේම සමාජයත් වග කියන්න ඕනි
ReplyDeleteකලාතුරකින් මේ වගේ ගුරුවරුත් අපිට මුණ ගැහෙනවා. ඒත් හුඟක් ම ඉන්නේ තමන්ගේ බලය පාවිච්චි කරලා ළමයින් ව තලා පෙළා දමන ගුරුවරු.
ReplyDeleteඑවන් ගුරු දෙවිවරු තවම ඉන්නවා....
ReplyDeleteමේ වගේ ගුරුවරු ගොඩක් අදටත් ඉන්නවා. ඒ අය තමයි තමන්ගෙ වෘත්තිය තමන්ගෙ ජීවිතයට බද්ධ කරලා සළකන්නෙ.
ReplyDeleteTeaching is the only proffession that makes other preffessions possible....Must respect teachers....
ReplyDeleteTeaching is the only proffession that makes other preffessions possible....Must respect teachers....
ReplyDeleteඅහම්බෙන් ගොඩ වැදිලා කියෙව්ව පළවෙනි ලිපියම මගේ හිතට අල්ලලා ගියා.
ReplyDeleteඉතුරු ටිකත් කියවන්න යන්නේ.