දේශපාලන අරමුණුවලින් තොරව රටේ ජනතාව වෙනුවෙන් තම දිවිකැප කරන්නට, වදනක් හෝ තම පුද්ගලික වාසිය නොසලකා තෙපලන්නට හිතැ'ති කිසිවකුත් මිහිපිට, සුවිශේෂයෙන්ම මේ ලක් දෙරණ නැතුවා සේය. මහා මානව හිතවාදීන් වන සමාජවාදීන් සමාජ සේවය කරන්නේත්, අසාධාරණයට එරෙහිව හඬ නගන්නේත්, මිථ්‍යාවට එරෙහි වන්නේත් ජනයාගේ සිත දිනාගෙන එනයින් කවදා හෝ තම දේශපාලන දර්ශනය ඔවුන් මත පටවා තමන්ට පාලන බලය ගැනීමටය.
ව්‍යාපාරිකයෝ සමාජ සේවය කරන්නේ බදු සහන ගැනීමටය.
ආචාර්ය සෝමා එදිරිසිංහ නම් එසේ නොවේ, මිහිබට දෙවඟනක් යයි මිනිස්සු සිතන අතර, ඇය වෙනුවෙන් දෙවොලක් පවා ඉදිරියේදී ගොඩ නැගීමට ඉඩ තිබේ. එහෙත් මා ඇයත් සමඟ හදවත් රෝගීන් වෙනුවෙන් සම්මාදම් කරන කලාකාරුවන් ආදී සුපින්වතුන්, අභ්‍යාස පොත් 5කට ආර්. දුමින්ද සිල්වා හෝ රෝහිත අබේගුණවර්ධන මීළඟ කතරගම දෙවිදුන් ලෙස නම් කරන ජනතාව ගොඩටම වර්ගීකරණය කරන්නට තරම් අන්තවාදී නොවෙමි! ගාල්තැන්නේ ගාමිණී දේවගැති නම් පෙරුම්පුරන බෝසත්වරයෙකි.
ජනතාව වෙනුවෙන් කෑමොර ගසන මාධයවේදීන්ගේ සැබෑ කැක්කුම ගැන අපට බුද්ධික පතිරණ, සුදර්මන් රදලියගොඩගේ සිට ශ්‍රී රංගා දක්වා මනා කොට පෙන්වා දී තිබේ. සෝම හිමියන්ගේ දේහය මතින් අද දවසේ බුදු දහම රැග ගැනීමේ අභියෝයට මුහුණදීමට අවැසි නෛතික බලය පණගැන්වීමට දියවන්නාවට වැඩිය අපේ මහා සංඝරත්නයේ සහ ගිහි සුපින්වත් උපාසක මහත්වරු ගැන අපේ රටේ ජනතවාට අමතකව ගොස් ඇති සෙයකි. රොජර් සෙනෙවිරත්නගේ සිට රන්ජන් රාමනායක දක්වාම ජනප්‍රිය කලාකරුන්වන් රාශියක්ද අද අපේ පාලක උතුමන් වෙලාය. ලෝක කුසලානය දිනාදුන් අර්ජුනගේ සිට හෂාන් තිලකරත්න පමණක් නොව සනත් ජයසූරිය පවා අති උතුම් පාර්ලිමේන්තුවේය. කවුරුන් කොහොම කිව්වත් යුධ වීරයන්ද සෘජුව හෝ වක්‍රව දේශපාලන ප්‍රවාහයට එක්වී සිටිති. සරත් ෆොන්සේකා අද යුද විරුවෙක් නොව දේශපාලඥයෙකි.
සමාජ ජාලවල හෝ බ්ලොග් අවකාශවල ආකර්ෂණීය සටහන් යොදන සියලු දෙනාම (මමද ඇතුළත්ව) කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමය. එම ප්‍රතිරූපය භාවිත කොට තමන් පිළිගත් දර්ශනය, ආගම, ඇදහිළි, විශ්වාස අන් අය ලවා අනුගමනය කරවීමටය.
තම ෆේස්බුක් ප්‍රොෆයිලය 100% ක්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් සහ සමාජවාදී නායකයින් වීරයින් කරවීමට වෙන්කරගෙන ඇති මිනිසුන් මා හොඳින් දනිමි. ඒ හැර අන් කිසිවක් ඔවුන් මෙහි කතා කරන්නේ නැත. අවුලක් නැත. ඒ ඔහුගේ අයිතියයි. නමුත් අරමුණ පැහැදිලිය. තමාට හෝ තම මතය දරන්නට බලය ලබාගැනීමය. මේ තරමටම නැතත් අන් සියලු පක්ෂවල අයද එසේ කරති.
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදන්නට සැදී පැහැදී සිටින අන්තරේ දරුවන්ද කවුරුන් කෙසේ කීවද කරන්නේ දේශපාලනයකි. පුරා සත් වසක් ජාතික සරසවි 4ක දිවි ගෙවූ, පුරා තුන් වසක් පීඨ ශිෂ්‍ය නියෝජිතයෙකු වූ මා එයට සාක්ෂ්‍ය සපයමි.
අධ්‍යාපනය උන්නතිය වෙනුවෙන් 6% ඉල්ලා මොරදුන් මා ඇතුලු සරසවි ඇතුරන්ද කළේ දේශපාලනයකි. එය මෙහෙයවූ ආචාර්ය නිර්මාල්, අමිල හිමි ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සියලුදෙනාම දේශපාලන දර්ශනයක් අනුගමනය කරන අය වෙති. අප විසින් ගනු ලැබූ වෘත්තීමය ක්‍රියාමාර්ගයට අප විසින් දරන ලද රාජ්‍ය විරෝධී දේශපාලන ආකල්ප තදින්ම බලපෑ බව කියන්නට මැළි නොවෙමු.
'කන්නන්ගර දරුවෝ' ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන් දැඩිව කැපවූ ෆෙස්බුක් පිටුවකි. මමද එහි ආරාධිත ලිපි සපයන්නෙක්මි. සමාජයට හොඳ දේ දායක කිරීමේ අරමුණෙන් 'ගුරු ගීතය', 'අම්මා' වැනි කෘතහස්ථ කෘති එහි වර්ණනා කරමින්ද, ඉන් යම් යම් කොටස් උකහා ගනිමින්ද එහි ලිපි පළ වනු දැක ඇත්තෙමි. එහෙත් ඒ සියල්ලම, සමාජවාදී රුසියාවෙන් බිහිවූ විශිෂ්ට කෘතිවල පරිවර්තන වීම අහම්බයක්ද...?
ඕනෑම කෘතහස්ත සාරගර්භ නිර්මාණයක,(මා කතා කරන්නේ වානිජ අරමුණෙන් පමණක් ලියූ 'මල් පොත්' ගැන නොවේ යයි ඔබට අමුතුවෙන් මතක් කර දීමට අවැසි නැතැයි සිතමි.) යටි අරමුණු ගැබ්ව ඇත. බොහෝ විට එයින් යම් පුද්ගලයෙක් විසින් ගොඩනගන ලද සමාජ ක්‍රමයක්, එනම් දේශපාලන දර්ශනයක් වෙත පාඨකයින් ආකර්ෂණය කරගැනීම සිදුවේ.
ලොව බිහිවූ විශිෂ්ට කලාකරුවන් සියලුදෙනාම දේශපාලනයෙන් බැට කෑවෝ වෙති. ඔවුන්ගේ නිර්මාණවලට දේශපාලනය ඈඳා ගැනීම අනිවාර්ය වූ බැවිනි. හෙන්රි ජයසේන විසින් සිංහලට නැගූ 'හුණු වටයේ කතාව' (ද කොකේසියන් චෝක් සර්කල්- බර්තෝල් බ්‍රෙෂ්ට්)හි පවා යටි පෙළ අරුත ලෙස දේශපාලනය දුවයි. බ්‍රෙෂ්ට් ට රට හැරදා පළා යාමට සිදුවන්නේ ඔහුගේ නිර්මාණවලින් රාජ්‍ය විරෝධී දේශපාලනය සියුම් ලෙස සමාජගත වන්නට වූ හෙයිනි. දේශපාලයනය නොගැවුණු කලා කෘතියක් පවා සොයා ගැනීම උගහටය.
බලාගෙන යනකොට අඩු වැඩි වශයෙන් 'කාරිය කෙරෙන තුරු කවුරුත් රැවටිල්ල' ය.
එහෙව් දේශයක මොනයම් ක්‍රමයකින් හෝ ජනතා ජනප්‍රියත්වයක් ළඟා කරගත් තෙරිපැහැ හිමියන් පමණක් උඩුගම් බලා පීනයි යයි සිතීම මුළාවකි. උන් වහන්සේ වෙනස්වන බව මම කල් තියාම දැන සිටියෙමි. උන් වහන්සේ වීරයෙක් කරමින් පළවූ ලිපි දෙස මා උපේක්ෂාවෙන් බලා බැහැර කළේ එහෙයිනි.
මේ ටික කියන්නට දේශපාලනය ගැන මෙච්චර වැල්වටාරම් ගෙනහැර පෑවේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් විමසිල්ලෙන් බලන්න. මේ සියල්ල දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කරන ලද දේශපාලන නාට්‍යයක ජවනිකාවන් ය.
මේ නාට්‍ය පිටපතේ වීර චරිත බිහිවීම තවම අවසන් නැත.
මිනිසා කියන්නෙ කොහොමත් දේශපාලනික සත්වයෙක්නෙ. ඔබ කියන්නාක් වගේ අපි සැම විටම කරන්නෙ අපේ ප්‍රතිරූපය ගොඩ නගා ගෙන ඒ තුලින් සමාජයට යම් යම් බලපෑම් කිරීමයි. එය ධනාත්මක බලපෑමක් 'නම්' මම එහි වරදක් නොදකිමි.
ReplyDeleteසිරිධම්ම හිමි ගැන කතා කරනවා නම් උන්වහන්සෙද මුල සිටම උඩකී අරමුණෙන් අරගල කල බව තමා පැවසිය හැක්කෙ.
- ප්‍රියා.
දේශපාලන යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් දැයි මට අපැහැදිලි හෙයින් කෙටියෙන් හෝ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.
ReplyDeleteඅලුත් විරයාට පරන විරය ජොකරයෙක්.පරන විරයාට අලුත් විරයා ජොකරයෙක්.හැබැයි දෙන්නගෙම අරමුන මිනිස්සුන්ට යහපත කිරිම.පුදුම වැඩෙ
ReplyDeleteවීර චරිත නම් හැමදාමත් බිහිවේවි..
ReplyDelete//සමාජ ජාලවල හෝ බ්ලොග් අවකාශවල ආකර්ෂණීය සටහන් යොදන සියලු දෙනාම (මමද ඇතුළත්ව) කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමය. එම ප්‍රතිරූපය භාවිත කොට තමන් පිළිගත් දර්ශනය, ආගම, ඇදහිළි, විශ්වාස අන් අය ලවා අනුගමනය කරවීමටය.//
ReplyDeleteමේක හැම කෙනාටම වලංගු නැනේද සුනෙත්