Friday, October 4, 2013

ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින්... (21+)

පිටපත ලැබී මාස 1 1/2ක් පමණ ගතවුවද නිවී සැනසිල්ලේ 'ඉගිල්ලෙන මාළුවෝ' නැරඹීමට විවේකයක් සොයාගත්තේ ඊයේ සවසය.

දෙගිඩියාවකින් තොරවම කිව හැක්කේ සංස්කෘතික, ආගමික, ඊනියා දේශප්‍රේමී තිමිර පට ලිහා බැලූ කල එය මෑත කාලයේ සිනමාවට එකතු වූ අති විශිෂ්ට නිර්මාණයක් බවය. මෙයින් රටේ ආරක්ෂක අංශවලට අවමානයක් වනවා යයි කීම හුදෙක් ප්‍රලාඵයකි. කෙළින්ම කියනවානම් එම පදනමක් නැති උපකල්පනය මත පදනම්ව එය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම තකතීරු, අමනෝඥ ක්‍රියාවක් බව පැවසීමට පසුබට නොවෙමි.  

මා මෙසේ කියන විට මා හා උරණ වන දෙපිරිසක් සිටිති. ඉන් පළමු පිරිස කලා නිර්මාණ රසඥතාවය යන්න කළඳක්වත් පිහිටා නොතිබූ, අගය කළ යුතු කලා නිර්මාණයක් වනාහී එක්කෝ ඓතිහාසික හෝ ආගමික තේමාවක දිවිය යුතුය යන පටු දූපත් මානසිකත්වයේ පිහිටා එය තහනම් කළවුන් විසින් මොළ සෝදන ලද මෙරට විචාර බුද්ධියෙන් තොර ප්‍රේක්ෂකයින්ය. නැතහොත් ඉන්දියාවේ සිවසේනා කල්ලීයේ අදහස් දරන මෙරට සංස්කෘතික හා ආගමික අන්තවාදීන්ය. 

දෙවැන්නන් නම් සිනමා විචාරය සිය බුක්තියට සරි කරගෙන, එය සින්නක්කර ලියාගෙන ඇති මෙරට වෘත්තීය කලාකරුවන් හා කුමක් හෝ මාධ්‍ය ආයතනයකට රිංගා තමන්ට මාධ්‍යවේදී සීල් එක ගසාගන්නා අයවළුන්ය. බ්ලොග් අවකාශයේ කවුරුත් හොඳින් දන්නා 'දුකා' විසින් සත්‍යජිත් රායිගේ 'අපූර් සංසාර්' සිනමා කෘතිය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ තබන ලද ප්‍රකාශයකට මා දැක්වූ අදහස්වලට ප්‍රතිපක්ෂව පුවත්වත් කලාවේදීන් යයි කියාගන්නා ඇතැමෙක් (මේ සංවාදයට නලීන් අයියා -නලීන් දිල්රුක්ෂ සහභාගී නොවුනු නිසා මේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ හැකිය.) අදහස් දක්වා තිබුණේ මා කුහකයෙක් යයි හුවා දක්වමිනි..! මා ලද අධ්‍යාපනය හෝ නිරත වන වෘත්තිය, කලාවට කිසිසේත්ම අනුකූලතාවයක් දක්වන්නේ නැති හෙයින් මට එවැනි අදහස් දැක්වීමක් කිරීමට අයිතියක් නැතැයි යන ආකල්පයක් ඔවුහු දරති. එහෙයින් මෙය සුදුසුකම්ලත් ප්‍රවීණ සිනමා විචාරකයෙක් විසින් කරන ලද සාරගර්භ ගැඹුරු විචාරයක් නොව, අතිශයින් සාමාන්‍ය සිනමා රසිකයෙක් විසින් මතුපිටින් බලා කරන ලද ලඝු නොහොත් අසංක්ෂිප්ත, අපරිපූර්ණ අදහස් දැක්වීමක් ලෙස සැලකිය යුතු මනාය.

හමුදා භටයෙකු විසින් ගමේ තරුණියෙකු අනාථ කර පළා යාමක් මෙහි ප්‍රස්තුතය වන හෙයින් මෙය හමුදාවට අවමානයක් යයි මෙයට එරෙහිව හඬ නගන අයගේ ප්‍රබලම තර්කයයි. නමුත් මැදහත්ව බලන කෙනෙකුට පෙනී යන දෙයක්නම් මෙහිදී ඉස්මතු කර ඇත්තේ ඔහුගේ හමුදා නිලය නොව, ඔහු තුළ ජීවත්වන සාමාන්‍ය මිනිස් දුර්වලතා වලින් හෙබි මනුෂ්‍යයායි. කතාවේ ආරම්භයේදී හැර, එය කෙමෙන් විකසනය වෙද්දී කිසිදු රූප රාමුවක ඔහු සිය නිළ ඇඳුම පිටින් සිටිනු දැකිය නොහැකිය. කොටින්ම ඔහු කරන හැම 'අළුගුත්තේරු' වැඩක්ම කරන්නේ එක්කෝ උපන් ඇඳුමෙනි. නැත්නම් සිවිල් ඇඳුමෙනි. ඔහු පෙනී සිටින ලිංගික දර්ශන වලදීත්, නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයට තරුණිය කැටුව යන්නේත්, පඬුරු ගැටගසන්නේත්, පොල් ගසන්නේත් සාමාන්‍ය ඇඳුමෙනි. එපමණක් නොව අවසන් රූප රාමු පෙළේදී තරුණිය මවාගන්නා විකාර රූපී චිත්ත රූප (තරුණයාගේ ලිංගේන්ද්‍රිය කඩාගන්නා දර්ශනය ඇතුළත්) වල පවා සිටින්නේ නිළ ඇඳුමෙන් සැරසුණු හමුදා භටයෙක් නොව සාමාන්‍ය තරුණයෙකි. මේ දර්ශන ඉහත කී මතය ඔළුවට බලෙන් ඔබ්බවා ගන්නේ නැතිව විවෘත මනසකින් නරඹන විට නිසඟයෙන්ම ඔහුගේ හමුදා භට භාවය අමතකව ගොස් ලිංගික හැඟීම් උද්දීපණය වන, සංවේදනා ඇති, ඉන්ද්‍රීය සංතර්පණය පරම සැපතක් දෙස සිතා එය සොයමින් සැරිසරන, ඇතැම්විට අවස්ථාවාදී පුහුදුන් මනුෂ්‍යයෙකු මැවේ. ඔහු තාවකාලිකව හෝ වසන, එනම් දැඩි මානසික පීඩනයකට නතුවූ නමුදු අවැසි නම් සොයාගත හැකි ඊනියා නිදහසක් පවතින සංදර්භයක එවැනි හැසිරීමකට පෙළඹීම ඔහු හමුදා භටයෙක් වීමෙන් ස්වායත්තය. එසේ නොවුණි නම් එය අස්වාභාවිකය. සිනමා කරු උලුප්පා පෙන්වන්නේ මේ යතාර්ථයයි. මෙහිදී එකී තරුණයා හමුදා භටයෙක්ම වීම ගැන විමතියට පත්වන ඇතැමුහු, මෙය සිනමාකරු සියුම් ලෙස ඔහු නියෝජනය කරන සමස්ථ කුළකය ගැනම වැරදි ආකල්පයක් මැවීමට උත්සාහ කරයි යනුවෙන් චෝදනා කරති. එය හරියට මෙවැනිය : අමරිකාවේ නිෂ්පාදිත මෙක්සිකානු මත්කුඩු බෙදාහරින මාෆියා සංවිධානයක ක්‍රියාකාරකම් අළලා නිර්මිත සිනමා පටයක් නරඹා සමස්ථ මෙක්සිකානු ජනගහනයම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පාතාලයින් යයි නිගමනයකට එලැබීම වැනිය. නැතහොත් චිකාගෝ නුවර ගණිකාවකගේ වෘත්තාන්තයක් නරඹා චිකාගෝවේ සෑම කාන්තාවක්ම ගණිකාවක් යයි උපකල්පනය කිරීම වැන්න. වැඩිය ඕන නැත. ඉන්දියාවේ නිෂ්පාදිත මෙගා ටෙලි නාට්‍ය පමණක් නරඹා ඉන්දියාව සුරපුරයක් ලෙස නම් කිරීම...? මෙහිදී වැරදි චිත්‍රයක් මැවීම ගැන අප සිනමාකරුට දොස් පවරනවාද?

මෙය වඩාත් සරල ලෙස පැහැදිලි කළ හැකිය. ධීවර ජනතාව දරුණු ජන කොට්ඨාශයක් ලෙස හංවඩු ගැසුවා යයි කියා 'ඹබරු ඇවිත්' (ධර්මසේන පතිරාජ) සිනමා පටයට හෝ හෝ මුඩුක්කු ජනතාව අතර අසම්මත සබඳතා පවතීයයි හුවා දැක්වීයයි චෝදනා කරමින් 'පාලම යට' (කුලසේන ෆොන්සේකා) ආදී විශිෂ්ට සමාජ විද්‍යා පර්යේෂණ කෘතීන්ට විරුද්ධව ධීවරයින් හෝ මුඩුක්කු ආශ්‍රිතව සිය දිවිපෙවෙත ගෙවන ජනතාව කැරළි ගැසුවේ නැත. කවුරුවත් එසේ කරන්නට කියා උසිගැන්වූයේද නැත. 

බුදුදහමට අවමන් වන දෙස සංවාදයන් හිතාමතාම ගොඩනගන්නේ යයි යනු තවත් චෝදනාවකි. එහෙත් ඉන් බෞද්ධයෙකු වන මා තුළ නම් එවැනි නොපහන් හැඟීමක් ඇති කරන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට බුදුදහමෙන් සහ බුදු සිරිතෙන් ජීවිතයට ගතහැකි මගපෙන්වීම හරිහැටි ග්‍රහණය කරගැන්මට අසමත් වූ, අනවබෝධය නිසා එය තමන්ට අවැසි ලෙස වැරදි ලෙස අර්ථකථනය කරගන්නා මිනිසුන් නම් දුටිමි. මෙවැන්නන් අප සමාජයේ අප අතරම කොතෙකුත් සිටිති. සිනමා නිර්මාණය තුළ පීරා සෙවීමට අනවශ්‍යය. එහි එය රඟදැක්වීම යථාර්ථය අභිබවා ගිය අතිශයෝක්තියක් නොවේ. 

චීවරධාරියාගේ භූමිකාව ගැන කියන්නට ඇත්තේ ඒ ටිකමය. බුදුන් දෙසූ අවිහිංසාවාදය වෙනුවට ප්‍රචණ්ඩත්වය දිරිගන්වන මෙවැනි භික්ෂූන් යුද්ධය නැගලා ගිය එකල මෙන්ම මෙකලද දුලබ නොවන බව රහසක් නොවේ. මෙහිදී ම'පියාගේ අනුවේදනීය අත්දැකීමක් සිහියට නැගේ.
1980 ගණන් වල මුළ් හරියේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ අහිංසක දමිළ වැසියන්ට සිංහල අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල විය. කුමක්දෝ හේතුවකට මගේ පියාද එහි සිට ඇත. (ඔහු ඒවාට සම්බන්ධ නැත.) මෙහිදී එහි සිටි එක් චීවරදාරියෙක් (ප.ලි. දිඹුලාගල හිමි නොවේ.) සිංහල තරුණයින්ට තවමත් මිය නොගිය පණ අදින දමිළ මිනිසෙක් සහ බුර බුරා නැගෙන ගින්නක් පෙන්වා 
"මෙන්න මූව අරකට ඇදල දාපල්ලා" යයි කියා ඇත.
මෙහිදී දැඩි කම්පාවට පත් මගේ පියා අසා ඇත්තේ
"හාමුදුරුවො බුද්ධාගමේද?" කියාය. ඉන් පසු ඒ අසරණයා පණ පිටින්ම ගිණි ගොඩට ඇද දමා ඇත. 
මේවා අසන විට සිතෙන්නේ සිංහල ජාතිවාදීන් හා ජාතිවාදී භික්ෂූන් ගැනත් වෙනම චිත්‍රපටි හැදෙනවා නම් හොඳය කියා ය. 

ලිංගික දර්ශන ඇතුළත් නිර්මාණ සියල්ලම පහත් පෙළේ ඒවා බවට වර්ගීකරණය කරන පිරිසක්ද සිටිති. ඔවුන්ට කියන්නට ඇත්තේ මෙය ළමා චිත්‍රපටයක් නොවන බව පමණකි.

ලිංගිකත්වය, වාරණය කළ යුත්තක් නොවේ. කායික සන්තර්පණය මූලික මිනිස් අවශ්‍යතාවයකි. නරඹන්නාට එම හැඟීම් උද්දීපනය වන දර්ශන ඇතුළත්, එය කර්මාන්තයක් කරගත් 'පෝර්න් ඉන්ඩස්ට්‍රි' එකක් අමරිකාවේ පවතී. මෙම නිල් චිත්‍රපට නිෂ්පාදනය කරන අය කලාකරුවන් ලෙස ආසියාතික ශිෂ්ට සමාජය පිළි නොගනී. මමද එහි සංස්කෘතියෙන්ම පෝෂණය වූවෙක් නිසා සිටින්නේ එම මතයේමය කිවහොත් එය අවංක ප්‍රකාශයකි. එහෙත් භාවාත්මක ලෙස ලිංගික දර්ශන ඇතුළත් කලා නිර්මාණ අපි කවුරුත් උසස් ලෙස අවිවාදයෙන් පිළිගනිමු..!? 

මේ සම්බන්ධයෙන් නම් සිනමා කරු ඇතැම් සංස්කෘතික සීමා මායිම් බිඳහැර ගෙන ගොස් ඇති බව පෙනේ. ස්ත්‍රී ස්වයං වින්දනය ගැන කතා කිරීමට අප, අප විසින්ම තහනම් නියෝග පණවාගෙන ඇත. ප්‍රවීණ සහ නිර්භය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ 'අග්නිදාහය' ආරම්භයේම පුරුෂ ස්වයං වින්දනයකි. එහෙත් මේ දක්වා සිංහල සිනමාවේ කිසිවෙකුත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් මෙවැනි දර්ශන ඇතුළත් කිරීම නොකළහ. වෙනත් විදියකින් කියනවානම් යථාර්ථවාදීව මෙවැනි සංවේදී සමාජ ගැටළුවක් (ස්ත්‍රීන්ගේ ලිංගික අවශ්‍යතා) පිළිබඳව මේ තරම් විවෘතව කතාකරන්නට කලාකරුවන් මැළි වූහ. සිනමාකරුගේ විශේෂත්වය එයයි. 

පිරිමින්ගේ ලිංගික අසහනය තරමටම ගැහැණුන්ගේ ලිංගික අසහනයද ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බව වටහාගෙන ඇත්තේ මේ 'රැඩිකල් රැල්ලේ' සිනමාකරුවන් පමණද? මෙය ඉතා හොඳින් විශ්ලේශණය කරන ලද වෙනත් නිර්මාණ දෙකක් ලෙස අසෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' සහ විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' හැඳින්විය හැකිය. ස්ත්‍රී සමලිංගික විවාහය ගැන සමාජයේ සැබැවින්ම සිදුවූ සිද්ධියක් පදනම් කරගනිමින් හඳගම නිර්මාණය කළ 'තනි තටුවෙන් පියාඹන්න' තත්පර ගණනක ස්ත්‍රී නිරුවත් දර්ශනයක් ඇතුළත් වූවා යයි 'මෙන්න හඳයා තමන්ගේ ගෑණිගෙ හෙළුව විකුණන් කනවෝ' කියමින් මෙරට ඇතැම් පටු රසඥතාවාදීන් මොර දුන්නා මතකය. ඇත්ත වශයෙන්ම එම දර්ශනය පහත් ලිංගික උද්දීපණය ජතිත කරවීම සඳහා පෙන්වූවක් නොවේ. සමාජයට පිරිමියෙක් ලෙස පෙනී සිටිමින් සිය අමුතු දීගය කන තැනැත්තිය එය 'මාට්ටු වූ' පසු සිය ආත්මාරාක්ෂාව උදෙසා තමාට පහර දීමට පැමිණෙන අයට සිය සළුව උනා පෙන්වයි. එයින් වික්ෂිප්ත වන අප සමාජයේ සුචරිතවාදීන්ගෙන් ඇය තාවකාලිකව හෝ ගැලවුමක් ලබයි. මෙය අවස්ථානුකූලව ගත යුතු හොඳම උපාය මාර්ගය යි. එය ඌරාගේ මාළු ඌරා පිටම තබා කැපීමකි. මෙවැනි දර්ශනයක් නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා නම් එය විකෘති තත්ත්වයකි.

සංඛේත යොදාගනිමින් සන්නිවේදනය කිරීම හා විවිධත්ත්වයෙන් හා අපූර්වත්වයෙන් යුතු දෘෂ්ඨි කෝණ ඔස්සේ මැවෙන රූපරාමු සිනමාකරුගේ නිර්මාණශීලීත්වය මැනවින් සාධනය කොට පෙන්වයි. තේමාව ඔස්සේ දිවීම යන කාරණය ඔස්සේ ඇගයීමකට ලක් කළහොත් කිව හැක්කේ සාර්ථකය කියා ය. මොනවා වුනත් අන්තිමට දමිළ හෝ සිංහල හෝ වේවා තැලෙන්නේ පොඩි මිනිහා යන පරම සත්‍යය සිනමාකරු විවිධ උපක්‍රම මගින් පසක් කරයි. කප්පම් ඉල්ලා නොදුන් තැන වෙඩිකා මියයන දමිළ මනුෂ්‍යයා පිලිබඳවද, කාළකණ්ණි ඉරණමකට ගොදුරු වී විනාශ වන සිංහල පවුල ගැනද මිනිසත් කම අගයන ඕනෑම අයෙකුට ඇතිවන්නේ එකම ආකාරයේ කම්පාවකි. 

සිනමාකරු කොටින්ට කඩේ යනවා යයි චෝදනා ලබන්නේ කෙසේදැයි මට නොතේරෙන්නේ කොටි සාමාජිකයින් පාසැල් තුළට ගොස් දරුවන්ගේ මොළ සේදීම (මෙය කිසිසේත්ම අභව්‍ය නොවන සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් බව මගේ සරසවි දමිළ මිතුරා සනාථ කළේ ය.) සහ කප්පම් නොදෙන නිරායුධ වැසියන් ඝාතනය කරන අයුරු මෙයින් නිරූපණය කර තිබියදී වීම හේතුවෙනි. ඒ අතර සිනමාකරු දමිළයින්ට වූ අසාධාරණය කොටි සාමාජිකයා පාසැලේ උගන්වන පාඩම මගින් සියුම් ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. කොටියාගේ කතාව 100% හරි යයි ඔහු නොකියයි. එයින් ගත යුතු දෙය ගත යුතුයයි ඔහු බුද්ධිමත් ප්‍රේක්ෂයින්ට ආරාධනා කරයි. සිනමාකරුවෙකු සතු ප්‍රබල සන්නිවේදන හැකියාව, අපූර්වත්වය මෙයයි.  

අවසාන වශයෙන් කිව යුත්තේ කලාව පවතින්නේ පාලකයින් සතුටු කිරීමට, වෙනත් වචනවලින් කියනවානම් වන්දිභට්ටකම් කිරීමට හෝ එක්තරා තෝරාගත් පිරිසක් පමණක්, එනම් පොඩි එවුන්, දැඩි ආගමික භක්තියක් ඇත්තවුන්, දේශානුරාගයෙන් ඔද වැටී ගිය උන් ආදී වශයෙන් සීමිත පිරිසක් සතුටු කිරීමට නොවේ. ඊට වඩා පුළුල් දෘෂ්ඨි කෝණ වලින් ලෝකය දකින්නාවූද, පරිකල්පනය කරන්නාවූද අල්ප වූ හෝ පිරිසක් සිටිති. සැබෑ කලාකරුවා ස්ඵර්ශ කළ යුත්තේ පෙරකී සාතිශය බහුරතයගේ රුචිකත්වය පිනවීම අරභයා පමණක් නොව (වානිජ අරමුණුන් නිර්මාණ කරනවා නම් එසේ කළ යුතුවේ.), දුලභ වූ නමුදු ගැඹුරු ලෙස නිර්මාණයක් කියැවිය හැකි ඉහළ රසඥතාවයෙන් යුතු ප්‍රේක්ෂකයින්ටද අසාධාරණයක් නොවන ලෙසිනි. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ (පවුරු වළලු, පුරහඳ කළුවර) , තරමටම විමුක්ති ජයසුන්දර (සුළඟ එනු පිණිස), ඉනෝකා සත්‍යාංගනී (සුළං කිරිල්ලී) අසෝක හඳගම (තනිතටුවෙන් පියාඹන්න, අක්ෂරය) (මොවුන්ගේගේ යටි අරමුණු කුමක් වුවද කලා නිර්මාණ ලෙස ඔහුගේ නිර්මාණ සියල්ලම ඉතාමත්ම උසස් තත්ත්වයේ පවතී.) වැනි කලාකරුවන් අතළොස්ස අතරට සංජීව පුෂ්පකුමාරද එක්වී හමාරය.

16 comments:

  1. අයියා ඕක අප්ලෝඩ් කරලා ලින්ක් එකක් දාන්නකෝ අපිටත් බලන්න........

    ReplyDelete
  2. ස්පෑම් වෙයිද දන්නෙ නෑ. මේකෙ ඕඩියෝ ට්‍රැක් එකයි සබ්ටයිටල් ට්‍රැක් එකයි ටිකක් ටයිම් ෂිෆ්ට් වෙලා අන්තිම හරියෙදි. මම අප්ලෝඩ් කරපු එකක් නෙමෙයි.
    සජීවීව නරඹන්න මෙතැනින්

    ReplyDelete
  3. මෙය ඉතාමත් වැදගත් විචාරයක්.

    ඉගිල්ලෙන මාලුවෝ වරණයය ගැන බ්ලොග් අවකාශයේ ලිපි විස්සක් පමණ ලියවුණා.

    මං හිතන්නේ මං කියවන මේ චිත්‍රපටය නැරඹූ අයෙක් ලියු මුල්ම චිචාරයයි.

    ReplyDelete
  4. මම 'ඉගිල්ලෙන මාළුවෝ' චිත්‍රපටය බැලුවා. බැලුවෙ BMICH එකේ උලෙළ තහනම් වීමටත් කලකට පෙරයි. මම කලා කටයුතු වලට සම්බන්ද කෙනෙක් නිසා පුද්ගලිකව ලැබුනු පිටපතකුයි බැලුවෙ. එය ඉතාම හොඳ මට්ටමේ පිටපතක්. පිටපත ලැබුනේ කෙසේදැයි කිව නොහැකි නමුත් මේ වන විට ජාලය හරහා film එකේ දුර්වල පිටපතක් සංසරනය වන නිසා මේ අදහස ලියන්න හිතුනා.

    චිත්‍රපටියක් ජනතාව අතරට මුදාහැරියට පස්සෙ ඒක කොහොම ව්‍යාප්ත උනත් ඒකෙ වරදක් මම දකින්නෙ නෑ. නමුත් ජනතාවට මුදාහැරීමට පෙර එහෙම වෙනවනං ඒක ප්‍රශ්නයක්.
    කලා'කරුවන් අතරද තම නිර්මාණ එලිදැක්වීමට පෙර එය පොදු ප්‍රේක්ෂකයා අතරට යාම වැලැක්වීමට අවශ්‍ය සංයමය නැත්නම්, සාමන්‍ය මිනිස්සු අතරේ තාක්ෂනිකව දුර්වල පිටපතක් සංසරනය වීම වලක්වා ගන්න කොහොමවත් බෑ. මොකද වැඩි දෙනෙක් හොඳ පිටපතක හා දුර්වල පිටපතක වෙනස නිසි පරිදි හඳුනා ගැනීමටවත් දන්නෙ නෑ. මිනිස්සුන්ට කොපියෙ හොඳ නරක වැඩක් නෑ... කොහොම හරි බලාගන්නයි ඕනෙ. (විවිධ චිත්‍රපටි වල කැමරා කොපි මේ තරම් ජාලය තුල පැතිර ඇත්තේ ඒ නිසයි)
    ඉතිං,
    තිර ගත කිරීමට ඉඩ ඇහිරී ඇති නිසාත්, නිර්මාණකරුවන් විදිහට මේවැනි අවස්තාවක දුර්වල පිටපත සංසරනය වීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා අතරම, ඉතා හොඳ මට්ටමක පිටපතක් ජාලය තුලට මුදා හැරීම'ද කල යුතුයි. මේ ගැන සංජීව අයියාටද e ලිපියකින් දැන්වූ නමුත් ප්‍රතිචාරයක් ලැබුනේ නැත.

    @ සංවේදී
    'කකා' කියූ පරිදි මේ, චිත්‍රපටය නැරඹූ අයෙක් ලියු මුල්ම චිචාරයයි.
    ඔබේ විචාරය බෙහෙවින් අගය කරමි. ඔබ නැරඹූ පිටපත දුර්වල එකක් බව හඳුනාගෙන ඒ බවද සටහන් කිරීම'ද ඒ තරමටම අගය කරමි.
    විචාරය සින්නක්කර ලියාගෙන ඉන්න පුස් විචාරකයන්ගේ ගොන් කතා වලට වඩා මේ ලිපිය අනගියි. හැකිනම් මුද්‍රිත මාධ්‍යට'ද මේ' ලිපිය යොමු කරන්න.
    -------------------------------------------------------------------------
    මමත් 'ඉගිල්ලෙන මාළුවෝ' ගැන තැබූ පොඩි සටහනක් තියෙනවා. (විචාරයක් නොවේ)
    කැමති අය ගිහිං බලන්න. මෙන්න link එක
    හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්

    ReplyDelete
    Replies
    1. ඉගිල්ලෙන මාලුවෝ තහනම ගැණ ලියවුණු සියළුම බ්ලොග් ලිපිවල එකතුවක් මා හැදුවා. එහි ලිපි විස්සක් තියෙනවා.

      මෙන්න ගොසින් බලන්න.
      http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html

      Delete
    2. දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි

      Delete
  5. මං විචාරයක් නෙමෙ ෆිල්ම් එක පෙන්වන්න නොදුන්න එක ගැන කතා කලා වගේ මතකයි. මට නම් මේක හරිම ස්ලෝ කතාවක්. මේ ස්ලෝ ගතිය විමුක්තිගෙත් තිබුනා. එක සිදුවීමක් වෙන්න ටිකක් කල් යනවා. ඒක මට නම් බලං ඉන්න බැරි තරම් වෙලාවක්..

    ගලායන්නෙ නැති සිදුවීම් පෙළක් ඉක්මනින් සිදු නොවන විට බලා ඉන්න එපා වෙනවා.. සමාහර විට මේක සිනමාහලේදි අති වෙන එකක් නැහැ. මං වැල කෑලි දෙක බැලුවා. ඒකත් එහෙමට ඔය කියන ලිංගිකත්වය උත්දීපනය කරන්නෙ නැහැ.

    හැබැයි යුද්ධයක් ඇති පැත්තක තියෙන ශුන්‍යත්වයම ඉස්මතු කරන ෆිල්ම් එකක්. හැබෑට ඒ පැතිවල මිනිස්සු සෞන්දර්යාත්මක ලෙස ලිංගිකත්වය හැර විඳින කිසිම දෙයක් නැද්ද? සමාරවිට නැතුවත් ඇති.

    ReplyDelete
    Replies
    1. 6. අමිල චතුරංග අන්සතු දින පොතේ ලියූ "flying සංජීව (ඉගිලෙන පරවියෝ)"
      http://ansathudinapotha.blogspot.com/2013/07/flying.html

      Delete
  6. හොදම විචාරයක්.මොනව උනත් ඉතින් රජතුමාගෙ පවුලෙ අයට ආස හිතෙන්න ඔන නැත්තම් ඔක තමයි වෙන්නෙ

    ReplyDelete
  7. Sanvedi vichaaraya nam godak hodhai, eth eka thenaka oba kiyu deyakata mm yamak ekathu karanna oni. mokada obe nowana athdekim uda lankawe vechchi sivil satana gena oba katha nokalot hodhai, visheshayen manampitiye siddiya sambandawa, mm hithanne nehe oba niyamaakaarayenma a gena karunu dannawa kiyala

    ReplyDelete
  8. විචාරය නම් වටිනවා.. බලන්න පුළුවන් විදිහක් හොයා ගන්න ඕන..

    ReplyDelete
  9. චිත්‍රපටිය බලලා ඉන්න ඕනේ මගේ අදහස කියන්න නම් ......
    "එදිනෙදා ජීවිතය | Trance".

    ReplyDelete
  10. (http://crownlanka.com)මෙතන තියෙනවා සම්පූර්න චිත්‍රපටිය බලපු නෑති කෙනෙකුට බලන්න පුවන්

    ReplyDelete
  11. මේ මැදිහත් වීම මම ඉහළින් ම අගය කරනවා. මම මේ චිත්‍රපටය නැරඹුවේ බ්‍රිස්බේන් නුවර පැවැත්වුණු Australian Cinemateque උළෙලේ දී. සිනමා පටය මහා විනාශයක් ලෙසත්, නිර්මාණකරු හා නිෂ්පාදක ඩයස්පෝරා මුදලින් කොටි සහයෝගී චිත්‍රපට සාදන්නත් ලෙසත් දක්වමින් කළ බිහිසුණු ප්‍රහාරය වෙලාවෙ මම කතා කළා.. ලිව්වා... ඔබේ මැදිහත් වීම ඉතාම අගෙයි. චිත්‍රපටය කියවා ඇති ආකාරයට මම කැමතියි.

    http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_15.html

    http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_18.html

    ReplyDelete