මා ඉදිරියේ බුර බුරා නැගෙන ගින්නකි. තත්පර කිහිපයකට පෙර මා සිටියේ මේ ගොඩනැගිල්ල තුළ බව ඇදහීමටවත් නොහැකිය...
සතර දෙසින්ම ඇසෙන්නේ අඳෝනාය.
"අනේ මගේ සහතික ටික..."
"මොන සහතිකද?"
"මම ජීවිත කාලෙම නව නිපැයුම් වලින් දිනපු ඒවා. කුටියෙ බිත්තියෙ අලවල තිබුනෙ"
පළාතම දෙදරවමින් මහා පිපුරුම් හඬක් ඇසේ...
"ඒ මගේ ෆ්‍රිජ් එක..මම අඳුනන කඩේකින් ඉල්ලන් ආවේ..."
යෝගට් ආදී ආහාර නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා තිබූ දැවැන්ත ප්‍රදර්ශක ශීතකරණය මට එකෙණෙහිම සිහිවිය.
කෝ මගේ දරුවෝ..?
මම අසිහියෙන් මෙන් සෙනග පීරුවෙමි.
චරක එහි සිටිනු දැක ඇඟට ලේ ටිකක් ඉණුවත් තවත් දරුවෙකු ගින්නට මැදි වූවාදැයි මසිත බියෙන් සැළෙයි.
"සර්..හේරත් රොබෝව බේරගෙන" චරකගේ ස්වරයේ වූයේ දුකක්ද සතුටක්ද යන්න පැහැදිලි නොවීය.
"රොබොට්ට යකාට ගියාවේ. කොල්ල ඉන්නවද..?" පෙරලා අසන්නට ධෛර්‍යක් කොහෙන් ආවාදැයි නොදනිමි.
හේරත්ද පිරිස අතරින් මතුවනු දුටුවෙන් මද අස්වැසිල්ලක් ලැබුණද සහෝදර භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ හිතවතුන් සිහිවී නැවතත් සැනසීම පළා යනු දැනින.
මා අත්සන පිට විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් පිටවූ ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ වලට සිදුවූ දේ පිළිබඳ සාක්ෂ්‍ය එකතු කිරීමට කැමරාව ක්‍රියාත්මක කරද්දී අපේ පිරිස සෙනග ගොඩේ යළිදු මට මගහැරිණ.
වාසනාවකට ජංගම දුරකථන සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වූයෙන් පිරිසට ගේට්ටු අංක 4ට පැමිණෙන ලෙස උපදෙස් දෙමින් අහෙන් මෙහෙන් රිංගා ඒ දෙසට ගමන් කළෙමි.
යළිත් වරක් දුරකථනය නාද වෙයි. ඒ චරකය.
"සර්, සිසිල සර් (අප කණ්ඩායමේ භෞතික විද්‍යා ආචාර්ය) එක්ක කරන්න බෑ. ආයෙත් ගිණිගන්න බිල්ඩින් එකට ගියා. බඩු වගයක් ගන්න."
පුදුම මනුස්සයක්නේ. අනතුරක් කරගනීද දන්නෙ නෑ. ගොඩනැගිල්ලේ වහළයේ කොටස් ගිණිගෙන දැවී වැටෙනු දුටිමි.
මම භෞතික විද්‍යා සඟයාට ඇමතුමක් ගත්තෙමි. අනපේක්ෂිත ලෙසට ඔහු ඇමතුම ගත්තේය!
"සිසිල ඔයා මොකද කරන්නේ? ඔයාගෙ බඩු ටික අපි ගාව තියෙනවා." මා පැවසූයේ බොරුවකි. ඔහු එය විශ්වාස කළේද නැත.
(ඔහු ආරක්ෂිතව යළි පැමිණි විට ජීවිත අවධානමක් දරාගෙන එසේ කළේ ඇයිදැයි මා ඇසීමි.
"මේව කොච්චර අමාරුවෙන්ද කැම්පස් එකට ගත්තේ...රටේ සල්ලි. අපරාදේ. තව ළමයි කීයක් මේවගෙන් ඉගෙන ගනීද?")
කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ බසය සමීපයට එකතු වීමට අප කණ්ඩායමට අවකාශ ලැබුණි.
වෙනත් සරසවියක සිසුවෙකු එදෙසට දිව එනු දුටිමි.
"කවුද ඔයාලගෙ සර්?"
ප්‍රදර්ශකවරයෙකු විසින් මා පෙන්වනු ලැබීය.
"සර්. අපි ...... කැම්පස්. අපේ සංජීවනී මැඩම්." ඔහු දුරකථනය මා අත තබයි.
"හෙලෝ සංජීවනී. මම සුනෙත් කතාකරන්නෙ රුහුණ යුනිවර්සිටි ඩිපාර්ට්මන්ට් කෝඩිනේටර්."
"ඔයාලගෙ හැමෝම ඉන්නවද?"
"ඔව්. ඉන්නවා."
ඇමතුම විසන්ධි විය.
වෙනත් සරසවියක ආචාර්යවරියක් මගෙන් එසේ ඇසීමේ තේරුම කුමක්දැයි මා කල්පනා කළෙමි.
ඇය අතරමං වූ සිය දරුවෙකු සොයන බව මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුය.
කම්පනය නිසා ඇයට අවශ්‍ය තොරතුර අසාගත නොහැකි විය.
පැයකට පමණ පසු මා යළි දැවුණු ගොඩනැගිල්ල දෙසට පියමැන්නේ සිදුවූ හානිය පිළිබඳ වඩාත් පැහැදිළි සාක්ෂ්‍ය එක් රැස් කිරීමටය.
මේ වනවිට තත්ත්වය තරමක් සන්සුන් වී තිබුණි. ගිණි නිවන හමුදාව අස්සයා ගිය පසු ඉස්තාලය වසමින් සිටිනු දක්නට ලැබිණ.
"සර්. තැඹිලි ගෙඩියක් බොමු." රැවුළ ගිනිගන්නා අතරේ සුරුට්ටු පත්තු කිරීමට සිත් නොවුවත් ඔහුගේ උපේක්ෂා සහගත ස්වරය මගේ තීරණය වෙනස් කරන්නට සමත් විය.
"හා. දෙන්නකො එහෙනම්. ඔයගොල්ලො කොහෙද පුතාල?"
"අපි රජරට. තැඹිලි කපන මැෂින් එකක් හැදුවේ. මේ ටෙස්ට් කරන්න ගෙනාපු ඒවා."
"මැෂින් එකේ ඉන්ජිනියරින් ඩිසයින් එහෙම කොහේ හරි සේව් කරලා තියේද?"
"නෑ. ගොඩක් අයගෙ අවුරුදු ගානක් කරපු රිසර්ච් වල හැමදෙයක්ම තිබුණෙ ලැප්ටොප්වල. ගොඩක් ඒව බේරගන්න බැරි වුනානේ."
විකට ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් පිරිසක් පසෙක හඬමින් සිටිනු දැකිය හැකිවිය.
"ඔයාල කොහෙද?"
"අපි ජැෆ්නා. මෙයාල බයවෙලා."
ආපසු එන අතරතුර උදෑසන සිදුවූ සිද්ධියක් මතක් විය.
"ආ යූ ෆ්‍රොම් ...... යුනිවර්සිටි?"
"යා. ගොට් ද ෆස්ට් ඩිග්‍රී ෆ්‍රොම් දෙය. යූ ෆ්‍රොම් සේම් යුනි?"
"යර්ස්. පාස්ඩ් අවුට් ලාස්ට් ඉයර්. දීස් ආර් මයි ක්‍රියේෂන්ස්"
අඩි ගණනක් උසට නිමැවූ මංගල කේක් කිහිපය, සැබැවින්ම බොහෝ අලංකාරය.
ඇයට සිදුවූයේ කුමක්දැයි මේ මොහොත වනවිටත් නොදනිමි.
මටත් news බලද්දී හිතුනේ මේ ටික. බලමු අපේ අය කොයි පැත්තටද ඇඟිල්ල දික් කරන්නේ කියලා...
ReplyDeleteඅපට තවත් ප්‍රවෘත්තියක් පිලිබඳ ඇතුල් පැත්ත ඔබ මනාව විග්‍රහ කොට ඇත. මෙහි නියම බර දැනුනේ දැන්.
ReplyDeleteසංවේදී මෙන්න මෙතැනටත් ගොඩවැදී ඊයක් විදින්න. කැම්පස් සින්ඩිය
ReplyDeleteමොකද්ද මන් මේ කතාවේ අගමුල
ReplyDeleteචෙච්ච දේ පපුවටම දැනුනෙ දැං තමයි..
ReplyDeleteඊයෙ ඉඳන් ගිනිගත්ත කිව්ව විතරයි දැක්කෙ.. ටෙම්පරි බිල්ඩින් එකක් කිව්ව හින්ද මටත් එච්චර ගානක් ගියෙ නෑ.. දැනුයි දන්නෙ ප්‍රදර්ශනයක් තිබ්බ කියල...
ඒ මිනිස්සු අඬන කොට මටත් ඇඬුනා.. සමහර අයගේ ඔක්කෝම නැති වෙලා..
ReplyDeleteතුවාල වෙච්ච මිනිහගෙ වෙදනාව අපිට දැනුනෙ දැන්
ReplyDeleteදැන් තමයි ලිපි දෙක ම කියෙව්වේ. //නෑ. ගොඩක් අයගෙ අවුරුදු ගානක් කරපු රිසර්ච් වල හැමදෙයක්ම තිබුණෙ ලැප්ටොප්වල. ගොඩක් ඒව බේරගන්න බැරි වුනානේ.// මේ වචන පෙළ නිසා කියා ගන්න බැරි දුකක් හිතට ආවේ කඳුළුත් අරගෙන. අපිට මෙහෙම නං ඇත්තට ම අහිමි වූ අයට කොහෙම දැනෙනවා ඇත් ද?
ReplyDeleteකවුරු හරි සැනසුම් සුසුමක් හෙලන්න හැකි තත්වෙක ඉන්න එකත් සතුටක් සුනෙත්.
ReplyDeleteමමත් ඔතෙන්ට ගියා ගින්න නිවුනට පස්සේ. ඒත් ඔය ගින්න ගැන දැනගත්තේ පස්සේ. අපි ගියේ සිඟර් මෙගා ප්‍රදර්ශණේ බලන්නේ.
රුහුණෙ දෙදෙනකු සමඟ මම කතා කලා..මටත් එවිට තමයි තේරුනේ වෙලා තියෙන හානියෙ තරම. ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයන් මම ළඟ ඇති.. ඔවුන්ගෙ වේදනාබර හඬ මට තාමත් මතකයි. ඒ ඔබ සමඟ සිටි අය විය යුතුයි. ඒ වෙලාවෙ දැනිච්ච කම්පනය නම් හැම ප්‍රදර්ශනයකදිම දැනෙයි වගේ..
ReplyDelete