Tuesday, December 11, 2012
අනුන්ට කැපූ නෝන්ඩියේ තමා වැටීම
පහුගිය දවසක මගේ ගමේ හොඳම යාළුවා බැන්දා. මනමාලිත් මේ පළාතෙම කෙනෙක් නිසා වෙඩිමයි, දෙවෙනි ගමනයි දෙකම තිබුණෙ මම තුමා වාසය කරන නගර පොජ්ජෙම හෝටල් 2ක තමා.
සාමාන්‍යයෙන් මම මාසෙකට නිවාඩු කිහිපයක්ම ගන්නවා, පර්යේෂණ වලට අවශ්‍ය උපදෙස් ගන්න මහාචාර්යවරු හම්බෙන්න අගනුචර විශ්වවිද්‍යාලවලට යන්න. යාළුවගෙ වෙඩිම තිබුන මාසෙත් මෙහෙම සෑහෙන්න නිවාඩු ගන්ඩ සිද්ද වුනා. ඔයින් මෙයින් මගෙන් කෙරෙන්න ඕන දේශන ආදී රාජකාරිත් ටිකක් විතර අතපසු වෙලා තිබුණෙ. මේ අස්සෙ මේ යකා ඇවිත් වෙඩිමටයි, දෙවෙනි ගමනටයි දෙකටම ආරාධනා කරපි. මොනා කරන්නද ඉතින් වැළි කෙලියේ ඉඳල එකට හිටපු එකා නිසා අමාරුවෙන් උනත් වෙඩිමට නිවාඩුවක් ගත්ත.
හෙට අනිද්දා විශ්වවිද්‍යාලයෙන් පිට කරන්න නියමිතව ඉන්න බැච් එකට මගේ දේශනයක් වැටිල තිබුණ හරියටම මිනිහගෙ දෙවෙනි දවසෙ. කොහොමටවත් නිවාඩුවක් ගන්න බැරි තත්ත්වයක් තිබුණෙ. ඉතින් දවසම නිවාඩු නොදා කෑම පැයේ (කිවුවට පැය 2ක් විතර) පැනලා මූණ දාලා 1 දාගන්න මම තීරණය කළා. (මම වැඩ කරන්නෙ ගමේ විස්සවිජ්ජාලෙ)
මනාල ජෝඩුවට පනාව දාලා කන්න දෙනකම් හොරගල් ඇහිඳ ඇහිඳ එළියෙ පරණ යාළු මිත්‍රාදීන් එක්ක කදයක් දාගෙන හිටියා. නියම තැන (හෝටලෙ), කන්දක් මුදුනෙ, මූද පේනවා නියමෙටම. අපි කට්ටිය ඉතින් ආගිය කතා කර කර ඉන්නකොට එක ඩයල් එකක් (යාළුවගෙ කොම්පැනියෙ වැඩ කරන පොරක් වෙන්න ඕනා නැත්නම් මොකද මම මිනිහ කලින් දැකල නෑ. යාළුව වැඩ කරන්නෙ අගනුවර මෘදුකාංග සමාගමක.) අන්තර්ජංජාලෙන් මොනවද හොය හොය ෆෝන් එකෙන් හෙන සීරියස් කතාවක්. පැණි කතාවක් නෙමෙයි, මල් කැඩීමක් නොමෙයි, රාජකාරි කෝල් එකක් කියල අපිට තේරුණා, මොකද කතා කලේ ඔක්කොම තාක්ෂණික දේවල්. මිනිහ කතාව ඉවර කරල තියන්න වෙන්නෙ නෑ ආයෙ කෝල් එනව. කතාකරන්නෙ මිනිහ වැඩකරන අහවල් සොෆ්ට්වෙයා කොම්පැණියෙන්.
මේ මිනිහට ජීවිතයක් නෑනේ කියල මට හිතුන. මොකද මාත් කාලයක් ඔහොම තමයි. කොටින්ම මට උපාධි උත්සවේ දවසෙයි, අළුත් අවුරුද්ද දවසෙයි ෆෝන් එකට කතාකරල වහාම කොළඹ එන්න කියල කියාපු නිසා ඒ දුක මම දන්නවා...මොනව කරන්නද රස්සාවනෙ.
ඔන්න සෑහෙන වෙලාවකට පස්සෙ මිනිහ කෝල් එකෙන් නිදහස් වුනා...ඒ වෙනකොටත් ටිකක් විතර ෆිට් වෙලා හිටිය නිසා මම මිනිහට නෝන්ඩියක් දැම්මා මෙහෙම....
"මොනාද බං...ජීවිතයක් නෑනේ....වෙඩිමකට ආවමවත්...." මම කිව්වෙ සිරාවටම.
"මමත් මීට අවුරුද්දකට විතර කළින් ඔහොමයි....." මම පටන් ගත්ත මගේ ජීවිත කතාව කියන්න...
අනේ අර අහිංසකයට මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්න එක ගැන ඉරිසියා හිතෙන තරමටම මම රජයේ සේවය ගැන වර්ණනාව දුන්නා එම ලෙසටම...
මට කියල කට ගන්න වුනේ නැහැ එකෙක් කියනවා
"ඇයි උබ කිව්වෙ උඹට 1.00 ට ලෙක්චර් එකක් කියල....?"
(ඇත්තටම මට අමතක වෙලා තිබුනෙ.)
මම ඔරලෝසුව බැලුවා...
"මලලසේකර....1 ට දහයයි.....!"
"මචං සොරි, මට දැන් යන්න වෙලා...." මම හිමින් සීරුවෙ එතනින් මාරු වුනේ ටිකක් පරක්කු වෙලා හරි දේශනයට යන්න....
මෙච්චර වෙලා වශී වෙලා වගේ මගේ කතාව අහගෙන හිටිය අපේ 'මෘදුකාංග' සඟයගෙ කට කොනකට නැඟුනු හීන් හිනාව මගේ පය තවත් ඉක්මන් කළා.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment