Wednesday, December 12, 2012

ඈත පලාත්වල ජීවිත - 2


මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. (අරමුණ බදු වලින් නිදහස් වෙන එක වුනත් ප්‍රතිඵලය හොඳ දෙයක්)

මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොණරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණ. මොකද ඒ කිට්ටුව තිබුණ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල පෝෂක පොඩි පොඩි කැලෑ කුට්ටි වලට ත්‍රස්තයො රිංගගෙන කියල කටකතාවකුත් ගියා. ඒ කතාව සනාථ කරමින් ඊට සැතපුම් කිහිපයක් දුරින් තිබුණ වීරවිල පන්නෙගමුව කියන ගමට කොටි ගැහුවෙත් ඔය දවස්වල. 

අතින් කාල හරක් බලන වැඩක් උනත් පිනට ඉගෙන ගන්න එකේ රටට ලෝකෙට වැඩක් කරන්නත් ඕනි නිසා මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.

ඉතින් දේශන එහෙම අඩු දවසක් බලල ඉස් ඉස්සෙල්ලම ඒ ඉස්කෝලෙ හොයාගෙන ගියා. පයින් නම් යන්න වුනෙ නැති වුනාට බස් එකක් එනකම් සෑහෙන වෙලාවක් තැපල බොහොම අබල-දුබල බස් එකකින් කැඩිච්ච පාරක සැතපුම් කිහිපයක් ගමන් කරල කොහොමහරි ඉස්කෝලෙට යාගන්න පුළුවන් වුනා.

මම බස් එකෙන් බැහැල ඉස්කෝලෙ කඩුල්ල ළඟට ගියා. දන්නවනෙ ඉතින් පොඩි ඉස්කෝලවල ඔය සද්ද දාන සෙකියුරිටි අංකල්ල එහෙම නෑනෙ. ස්වේච්චාවෙන් සේවය කරන ළමයෙක්ගෙ අම්ම කෙනෙක් යයි සිතිය හැකි ගැමි කාන්තාවක් මාව ගෞරවයෙන් පිළිගත්ත. විස්තරේ කිවුවට පස්සෙ මට එක්සර්සයිස් පොතක අත්සන් කරන්න කියල කාර්යාලය පෙන්නුව.

විදුහල්පතිතුමා සහ උපවිදුහල්පතිතුමා මාව පිළිගත්තෙ හරියට ගොඩක් කාලයක් දන්න කියන කෙනෙක් විදියට බොහොම ලෙන්ගතුවයි. 

"මල්ලි, ඉස්කෝලෙට කරන්ට් එක නම් තියෙනව.මේ ළඟදි ගත්තෙ. ඒ උනාට අපෙ කොම්පියුටර් කාමරේ වයරින් කරල නෑ. අපි ඔයා එනකම් හිටියෙ උපදෙස් අරගෙන සුදුසු විදියට ඒක කරවන්න."
"කෝ බලමු ඒ කාමරේ..." මම නැගිට්ටා.
"ටිකක් ඉන්න පුළුවන්ද?. ඒකෙ දැනට පොත් වගයක් දාල තියෙන්නෙ. මම ඒක ඉක්මනට අස් කරවන්නම්..." 
මෙහෙම කියපු විදුහල්පතිතුමා ගුරුතුමෙකුගෙ කනට කරල මොකද්ද කිවුව. එයා මෝටර් සයිකලේ අරන් ඉගිළුනා. 
"අනේ මොකට කරදර වෙනවද සංග්‍රග වලට...."
සම්ප්‍රදායක් විදියට කිව්වත් ඇත්තටම මම හිටියෙ අධික රස්නය නිසා හරිම අපහසුවෙන්.

ගුරුතුමා ගෙනාපු ක්‍රීම් සෝඩා එක අපි වීදුරු වලට දාගෙන බොමින් ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කළා. උප විදුහල්පතිතුමාත්, තවත් ගුරුභවතෙකුයි මගෙ සහයට ලබාදෙන්න විදුහල්පතිතුමා තීරණය කළා. ඒ සියලුදෙනාම ඉතාම මිත්‍රශීලී අය.

මම ගිහින් අදාල කාමර‍ය පරීක්ෂා කළා. මම අවුරුදු 10ක් විතර තිස්සෙ ඔය විදුලි වැඩ ගැන උනන්දුවක් මෙන්ම අත්දැකීම් තියෙන කෙනෙක්. මට පෙනී ගිය දෙයක් තමයි, ඒ වයරින් එක මට කරල දෙන්න පුළුවන් බව. එහෙම වුනොත් මෙයාලට අදම මේ කම්පියුටර් අටවල දෙන්න පුළුවන්. මම ඒ බව විදුහල්පතිතුමාට කිව්වම එතුමා ඉතාම සතුටට පත් වුනා. එවෙලේම මුදල් දීලා මෝටර් සයිකලය අයිති ගුරුතුමාට මාව නගරයට රැගෙන යන ලෙස දැන්වූවා.

පැය කිහිපයක් ඇතුළත සියළුම තාක්ෂණික වැඩ කටයුතු අහවර කරන්න මට හැකි වුණා. ඒ සඳහා උප විදුහල්පතිතුමා සහ අනිත් පිරිමි ගුරුවරු ඉතාම ඉහළ සහයෝගයක් දුන්නා. විශේෂයෙන්ම අදාල ආයුධ සපයාගැනීමේදී.
ඔයින් මෙයින් පාසැල ඇරෙන වෙලාවත් ආවා. 

"යෝවද තම්පව...." 
(ඉතිරි ටික මට ඇහෙන්නෙ "රෝමානු ජේසු" කියල! හරිද මන්දා...?) අපේ ඉස්කෝලවල වගේ යකඩ කටවල් නැහැ. බොහොම මෘදු විදියට ලස්සනට ලතාවකට කවුරුත් හඬ නගා කිවුව. 
ඊට පස්සෙ කිසිම කළබලයක් නැතුව ලස්සනට පේළි හැදිල අපූරුවට ඉස්කෝලෙන් පිට වෙලා ගියා. (ඇත්තටම මට හිතාගන්නත් අමාරු වුනා. මොකද එච්චර විනයක් තිබුණත් කිසිම ශිෂ්‍ය නායකයෙක් මම ඇහැටවත් දැක්කෙ නෑ. අපේ ඉස්කෝලවලනම් ඔය වෙලාවට ප්‍රිෆෙක්ට්ස්ලා හරක් දක්වන්න වගේ අපිව දැක්කුවනෙ.)

ඒ අතරතුර කීප වතාවක්ම මට දිවා ආහාර ගන්න ලෙසට ඉල්ලා සිටියත් වැඩේ ඉවර කරලමයි මම පස්ස බැලුවේ. එතකම්ම අනෙත් අයත් බඩගින්නෙම හිටියා.

දැන් මට අම්බානකට බඩගිනියි. කෑම ගෙනවෙත් නැහැ. මොකද අද පොඩි සාකච්චා පාරක් දාලා යන්න හිතාගෙන ආවේ. මේ දුප්පතුන්ගෙන් කෑම බලාපොරොත්තු වෙන්නත් බෑ. මම හිතාගත්ත ටවුන් එකට ගිහින් හොඳ කඩේකින් දීල අදින්න ඇරියර්ස් එක්කම. මම සමුගන්න ලැස්ති වුනා. ඉස්කෝලෙ වෙලාවත් ඉවරයිනෙ. මෙයාලට ගෙවල්වල යන්නත් ඕනෙනෙ.  


මේ කම්පියුටර් වලට දාන්න මම එක්ස්. පී. මෙහෙයුම් පද්ධතියයි, ඔය ඔෆිස් වගෙ අත්‍යවශ්‍ය මෘදුකාංග කීපෙකුයි සී.ඩී. වල ගහගෙන ආව. මගේ වියදමෙන් ගහගෙන ආවත් මම ඒව ඉස්කෝලෙට පරිත්‍යාග කළා.
ඒවට වියදම ගියේ රුපියල් සීයකටත් අඩුවෙන් වුනත් ඔවුන්ට ඒක භාරගත්තෙ ඉස්කෝලෙට කම්පියුටරක් ලැබුණා හා සමාන අහිංසක සතුටකින්...(ඒ සතුට මිළ කරන්න බැරි බව මට පස්සෙ කාලෙක වඩාත් හොඳින් තේරුණා..)  

"මම ගිහින් එන්නම්...සර්ල ගෙවල්වලට යන්නත් ඕනෙනේ..."

"නෑ අද අපි හවස්වෙනකම් ඉන්නව. අද අමතර පන්ති තියෙන දවසක්. ළමයි ගෙවල්වලට ගිහින් පාට ඇඳුම් ඇඳගෙන තවටිකකින් ආපහු එයි...."

අමතර පන්ති..? ඉස්කෝලෙ ඇතුළෙම.....? මම අවුල් ගියා කියල උප විදුහල්පතිතුමාට තේරුණා...
"නෑ..නෑ..එහෙම එකක් නෙමෙ. මේ පාර 5 වසරෙ ශිෂ්‍යත්වෙ ලියන අයට...අපි නොමිලෙ කරන්නෙ...." එතුමා කිව්වෙ හිනා වෙවී....මම ඇතිකරගත්ත වැරදි වැටහීම ගැන කණගාටු වුණා...
(හැම දේම සල්ලි වලට විකිණෙන අද කාලෙ මේ මිනිස්සුන්ගෙ මනුස්සකම තවමත් විකිණිලා නැති එක ගැන සතුටුයි.)

මාව ගුරු නේවාසිකාගාරෙ (නේද ක්වාර්ටර්ස් වල කියන්නෙ..?)ට එක්කගෙන ගියා.
මම බොන්න වතුර වීදුරුවක් ඉල්ලුව. මේ පැත්තෙ වතුර කොව්වර බිව්වත් පිරිමහන්න බැහැ.
අපෙ ගුරුතුමෙක් ක්ෂණිකව ගුරු නේවාසිකාගාරෙ මිදුලෙ තිබුණ තැඹිලි ගහකට නැග්ගෙ හරියට වෘත්තීය ගස් නගින්නෙක් වගෙ.
වතුර ඉල්ලපු මට ලැබුණෙ නියම ඔරිගිනල් ගහේ බඩු. (වැරදියට හිතන්න එපා තැඹිලි...වෙන මොනවත් නෙමෙයි...)
පොළොස් මාළුවක් සහ කුකුළ් මස් එක්ක ඉතාම රසවත්ව කෑම වේලක් ඔවුන් මට පිළිගැන්වුවා....
මදි අඩුපාඩු (මටනම් එහෙම අඩුවක් දැණුනෙම නෑ) බෙදුවෙ හරියට කාලෙකින් මහගෙදර ගියාම ලොකු අම්මයි අක්කලයි තරඟෙට බෙදන්නා වගෙ.
(කළින් දවසෙ මම අද එනබව විදුහල්පතිතුමාගෙ නිවසෙ දුරකථනයට දැන්වුවා. මේ විශේෂයෙන්ම මා වෙනුවෙන්ම පිළියෙල වූවක් බව පසුව දැන ගත්තා...)

කෑමෙන් පසුව අපි සමුගත්තා, 
ඒත් ඒ දැණුනු සැබෑ ලෙංගතුකම, ආත්ම තෘප්තිය.... සොඳුරු අත්දැකීම මගේ හදවතට කවදාවත් සමු දෙන එකක් නෑ....     

8 comments:

  1. එයාලට ඔය වැඩේ කරගන්න කොච්චර කල් යන්න තිබ්බද? කොච්චර මුදල් යන්න තිබ්බද? ඇයි රැවටීම්... කොච්චර රැවටෙන්න තිබ්බද? ඒ ඔක්කොම වැළකුණා ඔයා නිසා.. මේව සෙල්ලම් වැඩ නෙමේ... ඒ පින දෙගුණ තෙගුණ වී ලැබේවි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහස් දැක්වීමට....මමත් අද ගුරුවරයෙක් (සරසවි ඇදුරෙක්) මේ සේවය වඩාත් හොඳින් කරන්න මට අවස්ථාවක් ලැබීම ගැන සතුටු වෙනවා...
      මේ තියෙන්නෙ ඒ වගේ වෙනත් අත්දැකීම් කිහිපයක්......
      http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_7617.html
      http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_28.html
      http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_3636.html
      http://www.sanwedi.blogspot.com/2012/09/blog-post_7.html
      http://www.sanwedi.blogspot.com/2012/09/blog-post_1.html
      http://www.sanwedi.blogspot.com/2012/09/blog-post_28.html
      http://www.sanwedi.blogspot.com/2012/12/blog-post_12.html

      Delete
  2. ඇත්තටම ගොඩක් සංවේදී කතාවක්... මේවැනි දේ වලින් ලැබෙන ආත්ම තෘප්තිය එමටයි නේද?

    ReplyDelete
  3. අපූරු වැඩක්... අපි තාක්ෂණික දියුණුව ගැන ‍කොයි තරම් කතා කළත් ඈත පළාත්වලට ගියාම දැ‍නෙනව ළමයි ‍කොයි තරම් දුෂ්කරතා මැද්දෙකද ඉ‍ගෙන ගන්නෙ කියල. ‍මේ ව‍ගේ යහපත් වැඩ අහන්න දකින්න ලැ‍බෙන එක සතුටක්.

    ReplyDelete
  4. තෘප්තිමත් දෙයක් කරාම අපිට හැමදම ඒ ගැන හිතලා සතුටු වෙන්න පුලුවන්.. මතක තියාගන්න ඒන දෙයක් තමයි මේ වගේ මිනිස්සු අපේ රටේ අඩුයි වගේම,අනිත් කෙනෙහිලි කම් වලටත් භාජනය වන්නේ හොඳ අයම බවත්..


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  5. හ්ම්ම්ම්ම්ම් වටින කියන වැඩක් ජයෙන් ජය/.....

    ReplyDelete
  6. තමන් කරන දෙකින් තමන්ට සෑහීමකට පත්වෙන්න පුලුවන්නම් පස්සේ දවසක මතක් කරද්දීත් ඒ ගැන හිතල සතුටු වෙන්න පුලුවන්නම් ඒක ලොකු පින් අතේ වැඩක්
    කෝරලේ වලව්ව

    ReplyDelete