Wednesday, December 12, 2012
වෙනස
මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ ඉගෙන ගන්න කාලෙ පරිගණක විද්‍යාගාර තියෙන විවිධ මට්ටමේ පාසැල් කිහිපයකටම පාසල පවත්වන වෙලාවන්හිදීම යන්න සිද්ධ වුනා. මගේ අම්මයි තාත්තායි දෙන්නම පාසල් ගුරුවරු, එයාලගෙ සහ තාත්තගෙ මිත්‍ර විදුහල්පතිවරු යටතේ පාලනය වන පාසැල් වලට. එහිදී මම දැක්ක ඉතාම කණගාටුදායක දෙයක් තමයි, විදුහල්පතිවරු විද්‍යාගාර සහ ඒවගෙ පරිගණක සිසුන්ට පාවිච්චි කරන්න දෙන්නෙ පූජා භාණ්ඩ විදියට, අනවශ්‍ය ප්‍රවේසමෙන්, කැඩෙයි කියල හරිම බයෙන්. මේ නිසාම බොහෝ විදුහල්පතිවරු පරිගණක විද්‍යාගාර සිසුන්ගෙන් හැකි තරම් ඈත් කර තබන්න තමයි උත්සාහ කරන්නෙ.
ඉන් සමහර පාසැල්වල තත්වය ඉතාම සෝචනීයයි. ඒ කියන්නෙ ඉබි යතුරු දාලා වහලා දාලා, සිසුන්ට තහනම් කලාපයක් කරලා.
මම ඒ ආකල්පය වැරදි බව පෙන්වාදෙන්න කරපු උත්සාහයන්ට සෑම විටම ලැබුණෙ සෘණ ප්‍රතිචාර.
කී බෝර්ඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා (දමලා හෝ පොළොවේ ගැහුවේ නැත්නම්) කම්පියුටරයක් කඩන්න බෑ කියන මූලික සිද්ධාන්තය මම ඔවුන්ට හැකි තරම් සරලව පැහැදිලි කළා. මම එයින් අදහස් කළේ පරිගණකයට භෞතික හානියක් කරන්න තරම් විධානයක් එයින් දෙන්න බහැ, විශේෂයෙන් පාසල් ළමයින්ට. කරන්න පුළුවන් ලොකුම හානිය තමයි වෛරසයක් ආසාධනය කරවීම. පිටින් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය , ඒ කියන්නෙ සංයුක්ත තැටි, පෙන් ඩ්‍රයිව්ස් වගේ ඒව පාවිච්චි කරන්නෙ නැත්නම් සහ අන්තර්ජංජාල සබඳතාව නැත්නම් ඒක කොහොමටවත් වෙන්න බැහැ කියලයි මම සිංහලෙන් පැහැදිලි කළේ. එහෙම පිටින් ගේන දත්ත ඇතුළත් කරන්නෙත් නැත්නම්, නෙට් යන්නෙත් නැත්නම් (මම මේ කියන පාසැල් ඔක්කොගෙම වගේ ඉන්ටර්නෙට් කපලා බිල් ගෙවන්නෙ නැතුව.) ඉතින් වෛරස් එකකින් හානියක් කරන්න හැකි එකම ක්‍රමය ඒ කම්පියුටර් එකේම වෛරස් එකක් ලියන එක. (කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ උණ, හෙම්බිරිසාව වගේ ළඟ තිබුනට බෝවෙන එකක් නෙමේනෙ. වෛරස් එකක් පැතිරෙන්න දත්ත හුවමාරු කෙරන්න ඕනා.). (ඒ කියන්නෙ කම්පියුටර් වෛරස් ඉබේ පහළ වෙන්නෙ නෑ. කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ පරිගණක භාෂාවක් සහ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඉතා ගැඹුරටම ඉගෙන ගත්ත කෙනෙක් වුවමනාවෙන් ලියපු උපදෙස් සමූහයක්. මේ උපදෙස් හෝ විධාන වලින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට, ස්ථාපිත මෘදුකාංග වලට හා තැන්පත් කර තිබෙන දත්ත වලට හානි පැමිණුවත් බොහෝ විට දෘඩාංග වලට හානියක් නෑ.) එහෙම ලියන්න පුළුවන් මට්ටමේ දැනුමක් තියෙන අය ළමයි අතරෙ නෑ කියන එකයි මගේ තර්කය වුනේ.
ඒ නිසා ළමයින්ට මීට වඩා පරිගණකත් එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් දෙන්න කියල මම ඒ හැමෝගෙන්ම ඉල්ලීමක් කළා.
එතකොට එයාල මගේ දිහා බැලුවෙ නුරුස්නා බැල්මකින්. හරියට
"මූ නම් මහ පණ්ඩිතයෙක්" කියන්න වගේ. සමහරු එළිපිටම විරුද්ධත්වය පළකළා මේ විදියට....
"මේව කඩන්න ලේසියි, ඒ වුනාට ආයෙ හදාගන්න තියෙන අමාරුව..!. කී තැනකට නම් දන්වන්නද...? එක එක සමිති වලින් සල්ලි පාස් කරන්නද...? ඒ හැමෝම අහන්නෙ ඇයි පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියල...?"
"ඉතින් ළමයි ඉගෙන ගන්නෙ නැත්නම් ලැබ් එකයි කම්පියුටර් ටිකයි ආරක්ෂාවෙන එකේ තේරුම මොකද්ද...?" මම ඇහුවා.
"හරියට ටැන්කියෙ ෆුල් ටැන්ක් පෙට්‍රල් තියෙන කිසිම ලෙඩක් නැති කාර් එකක් රෙද්දකින් වහල තියාගෙන බස්වල රස්තියාදු වෙනව වගේ වැඩක්නේ...?"
අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න කොච්චර අමාරුද කියල මට හරියටම තේරුණෙ එදා...
මම අදටත් හොයල බලනව ඒ තත්ත්වය වෙනස් වෙලාද කියල....
ම්...හ්....නැහැ....!
* * * * * * * * * * * * * * * * * * *
මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොනරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණත් මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.
හැම දෙයක්ම ඉතා සාර්ථකව සිද්ධ වුනා. ගුරුවරු කිහිප දෙනෙකුත් පුහුණු කළා.
මාසෙකට විතර පස්සෙ මම ගියා ඒ පැත්තෙ විසිට් එකක් දාන්න. කොහොමද වැඩේ නැගල යනවද බලන්න.
මේ වෙනකොට මම ඔය ඉහත කියපු අසුන්දර අත්දැකීම් විඳගෙනයි හිටියෙ. ඒ කියන්නෙ ඇත්තටම මම බලාපොරොත්තු වුනේ ඉතා තදින් අධීක්ෂණය වන, සීමිත පිරිසකට පමණක් භාවිත කරන්න අමාරුවෙන් අවසර හිමිවන, ඇනැම් විට යතුරු ලා ගෙන ඉන්න පරිගණක විද්‍යාගාරයක්. කොටින්ම මම සූදානම් වෙලා ගියේ ඒ ක්‍රමය වැරදියි කියන ලෙක්චර් එක විදුහල්පතිතුමාට දෙන්න.
නමුත්...දැකපු දෙයින් මම කුල්මත්වෙලා ගියා.....
කම්පියුටර් තුනක් විතරක් තිබුණ ඒ පුංචි කාමරය මල් කැකුළු වැනි හුරතල් කොළු- කෙළි පැටවු දුසිම් ගණනකින් පිරී ඉතිරී තිබුණා...! එතන භාරව ඉන්න ගුරු භවතා මම හොයාගත්තෙ හරිම අමාරුවෙන්. හේතුව ආයෙ කිසිම කෙනෙකුට ඒ කාමරයේ ඉඩ ඉතුරුවෙලා තිබුණෙ නෑ. පුංචි කෙළි පැටික්කියක් ලස්සනට පේන්ට් වලින් විත්‍රයක් ඇඳල තිබුණා.
මගේ ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දවසක් එදා....
අර විදුහල්පතිවරුන්ට කවදහරි මගේ ගානෙ ඒ ඉස්කෝලෙට (ඉස්කෝලෙ වෙලාවෙ) ට්‍රිප් එකක් එක්ක යන්න ඕනි කියල මට හිතුණා.
Subscribe to:
Post Comments (Atom)
ඇත්තටම අදට මාත් අත්විදින නරකම අත්දැකිම තමා ඔය. ඇතැම් පරණ ගුරුවරු ඔය තත්වය පැහැදිලි කරන්න උත්සාහ කලාට පිලිගන්නේ නැහැ. ඒ වගේ ඈත දුෂ්කර ගම් වල ගුරුවරුන්ට වගේම ළමයින්ටත් ඒ දේ තේරෙනවා නගරයේ අයට වඩා. බොහොමයක් පරිගණක විද්‍යාගාර භාර ගුරුවරුන් හිතන්නේ ඉබි යතුරු දාලා යතුර ඉනේ ගහගෙන ආරක්ෂා කරන්න ඔනේ කියලා. ළමයෙක් එය භාවිතා කලොත් කඩා බිද දමාවි කියලා තමා. අනේ මන්දා මේ මිනිස්සුන්ගේ මොළ ඇලේ දාලා හෝදලා ගත්තත් හරි යන එකක් නැහැ....
ReplyDeleteමම අද මේ ලිපිය දැකල ඇත්තටම සතුටු උනා මම ගැන. මගේ පාසලේ පරිගණක විද්‍යාගරය උදේ ඇරල තියල මට එතනට නොගිහිල්ල ආයෙ හවස කිසිම හානියක් නොවී ඒක වහන්න පුළුවන් දරුවො මම නැතුවත් තනිවම වැඩ කරනව. කිසිම දෙයක් මෙතෙක් දරුවො හොරකම් කරල නෑ. කැඩ්ච්ච පුටුවෙ රබර් බීඩිමට ගෙදරින් ගෙනල්ල ටින්ටස් ඇනයක් ගහන දරුවෙක් මිසක් පරිගණක ඒකකයෙ දෙයක් ගෙදර ගෙනියපු දරුවෙක් මට මේ වසර 8 ටම හමු උනේ නෑ. රජයෙන් දීපු පරිගණක වලින් උපරිම ප්‍රයෝජන ගත්ත අපේ දරුවො. දැන් ඒව බොහොමයක් භාවිතයට ගන්න බැරි තත්වයට පත්වෙලා. අදටත් සමහර දරුවෝ තමන්ගෙ කැඩිච්ච පරිගණකයේ වැඩ කරන රැම් එක නැත්නම් පවර් සප්ලයි එක පාසලට ගෙනත් දෙනව පරිගණක හදා ගන්න. ඒ විදිහටත් අපි ඒ පරිගණක හදල වැඩ ගත්ත තවත් පරිගණක 3ක් වැඩ කරනව මේ අතරෙදි අපේ පාසලේ ආචාර්ය මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන් අපේ දරුවන්ට විදේශවල භාවිතා කළ පරිගණක අටක් ගෙනත් දුන්න. දැන් දරුවෝ ඒවයින් වැඩ කරනව. අපේ ගුරුවරු දන්නව ඒවයේ වටිනාකම. අපි පරිගණක භාවිතය අතින් හරිම පොහොසත්. අපේ පරිගණක ඒකකය කැතයි. පුටු කැඩිල. බිම අව පාට වෙලා. ඒත් ඒ කඩිච්ච පුටු වලට අවපැහැ උන බිමට මම ආදරෙයි. ඒ අපේ දරුවන් වැඩ කරපු නිසා. සතුටු නැද්ද මිත්‍රයා මට.
ReplyDeleteගුරුවරයෙක් විදියට ලබන ආත්ම තෘප්තිය වෙන කිසිම දෙයකින් ලබන්න බෑ සහෝදරයා. අතට දීපු මේ වගේ තුන් ගුණයක වැටුපත් එක්ක පුද්ගලික රැකියාව එපා කියල මේකෙ ඉන්නෙ ඒකයි. මොකද ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමෙයි.
DeleteObathuma puduma wei, aganuwara pradhana pasalak wunath ape iskoleth computer lab 1n apita labenne ibi yathuru salakili thamai kwwoth
ReplyDelete