Tuesday, December 11, 2012
දැන් හැදෙන ළමයි
මේ ළඟදි දවසක මහාචාර්යතුමා හම්බවෙන්න ලී ඉරන පැත්තෙ විස්සවිජ්ජාලෙට ගියා. එතුමා මහා මීටිමකට හිරවෙලා කියල දැනුම් දුන්න නිසා 'ගොඩ' කියලා නම් දරාපු ආපනශාලාවට වෙලා ටිකක් හිටියා.
ටික වෙලාවකින් දිවා ආහාර වෙලාව ආවා. මොහොතකින් මුළු ශාලාවම එකම හිස් ගොඩක්. මම ඈඳි ගත්ත තැනම එහෙමම හිටිද්දි කළු පාට ටී ෂර්ට් ඇඳගත්ත සරසවි මානව-මානවිකාවන් මං හිටපු මේසෙ වටේටම පිරුණා. එයාල එකම බැච් එකේ අය.
ඒ වෙනකොටත් මම ලැප දිගහැරගෙන හිටිය නිසා මෙයාල මගේ දිහා බැලුවෙ ටිකක් නුරුස්නා විදියට.හරියට එයාලගෙ තැන මම බලෙන් ඇල්ලුවා වගේ.
පස්සෙ බලද්දි එයාල කීපදෙනෙක් ගෙදරින් ලොකුම ලොකු කෑම පාර්සල් ගෙනත්, එතන කට්ටියත් එක්ක බෙදාගෙන කන්න ඉඩ මදි. වටේටම ඔළුව කරකවලා බැලුවත් එකම අසුනක්වත් නිදහස් නොවූ නිසා මම එහෙම්ම හිටියා. (වෙන ඉන්න තැනක් නැහැ. අනිත් එක මම මොකටද අයින් වෙන්නෙ..? මමනෙ කළින් ආවෙ....!)
මෙයාල තඩි බත් පාර්සල් ලිහල මේසෙ උඩට අතහැරියා. ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්, කැම්පස්වල, හොස්ටල් වල ඉඳපු අය දන්නවානෙ. එතන එකම පොරයයි. මං හිතන්නෙ අඩුම ගානෙ 15ක් වත් ඉන්න ඇති.
එකෙක් කියනවා
"මචං බත් එකේ මජං රහක් එහෙම එන්නෙ නැද්ද උඹලට....?"
මට බකස් ගාල හිනා ගියා. එයා මැෂින් එකක වැඩ කර කර ඉඳල ඇවිත් තියෙන්නෙ. අත හෝදල නෑ.
(එහෙම හොඳ පුරුදු තියාගත්තොත් ඉතින් බඩගින්නෙ තමයි ඉතින් දන්නවනෙ. අපි උනත් ඒ කාලෙ ඔහොමයි.)
මට එකපාරටම මතක් වුනේ පිට්ටුව කතාවෙ අජා. මටත් මෙහෙම සුන්දර සරසවි දිවියක් තිබුන නේද කියල මතක් වෙලා හිත ඉරිසියාවෙන් පිච්චිල ගියා.
ඒ හින්දද කොහෙද මට එයාල පෙණුනෙ ඇත්තටම ඇණයක් විදියට (එයාලට මාව පේන්න ඇත්තෙත් එහෙම). විශේෂයෙන්ම සමහරු පොරකෑවෙ මාවත් පෙරලගෙන. සමහරු මගේ ඇඟ උඩ. මට ඇල්ලුවෙම නැති දේ තමයි එතන බත්, එළවලු විසිරවපු එක. කොටින්ම මෙහෙම කෑම 4-5 ක් විතර එතන කාල ඉවරවෙනකොට මේසෙ උඩ තඩි කොත්තුවක් දාල වගෙ.
'දැන් හැදෙන උන් නම් ගන්න දෙයක් නෑ.'
මට පහුගිය කාලෙ සිදුවෙච්ච සිදුවීම් එකපෙළට සිනමා පටියක් වගේ මතකයට ආවා. අගනුවර විශ්වවිද්‍යාලයේදී මාත් එක්ක එකට වැඩකරපු ආධුනික කථිකාර්යවරයාට කොලර් එකෙන් එකෙන් උස්සලා සිසුන් පහරදීපු හැටි, දවසක් ඒ සරසවි බිමේදීම 'රැග්' කරන සිද්ධියක් ඇස් කොණින් බලාගෙන එතනින් පියමන් කළ මගේ මිතුරියට 'මොකද බලන්නේ...?' යයි සැරෙන් ඇසූ හැටි (ඇය සාරියක් ඇඳ සිටි බැවින් ශිෂ්‍යාවක නොවන බව පැහැදිලිව දැන දැනත්), ශිෂ්‍ය නායකයෙක් 'ලෙක්චරස්ල කියන්නෙ අපේ සතුරු ධනපති පැලැන්තියේ බැවින් ඔවුන්ට ගරු කළ යුතු නැති බවත්' ඇසූ හැටි....
'මෙයාලත් ඒ ගොඩේම තමයි....මෙහෙම අය අනාගතේ ඉංජිනේරුවො නෙමෙයි මොකෙක් වුනත් වැඩක් නෑ...විනයක් නෑ...'
මෙහෙම හිත හිත ඉන්නකොට හරි අපූරු දෙයක් වුනා....
කෑම කාපු කණ්ඩායමේ හිටිය උස මහත දැරිවියක්...එයාගෙ කට හරි සැරයි. එයා එතන නායිකාව වගෙ.
එයා කට්ටියට කතා කළා...
විසිරිල තිබුන බත් ඇටයක් ගානෙ, පරිප්පු ඇටයක් ගානෙ ඇහින්ඳනෙ මෙයාල. විනාඩි කීපයක් ගියෙ නෑ එතන තිබුණටත් වැඩිය පිරිසිදුයි.
ඒක දැකපු මගේ අපිරිසිදු වෙලා තිබුණු හිතත් පිරිසිදු වුනා......
මම යන ගමන් හිතුවේ.....
"දැන් හැදෙන ළමයි....!"
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment