Monday, August 5, 2013

පසුතැවීම

ගුරු ජීවිතයේ මා කම්පනයට පත්වූ තවත් දවසක් අද. මේ තරම් ගැඹුරු ලෙස ඒ හැඟීම අන්තිමට අත් වින්දෙ 2011.12.01 වැනිදා සිදුවූ මේ සිදුවීමෙන්*. 

අද හවස 3ට විතර මට ගෙදරින් කෝල් එකක් ආවා. අම්ම කතා කළේ.

"ඔයාව හම්බෙන්න කවුද ඇවිත්. ෆෝන් එක දෙන්නම්...?"

"හලෝ... .... මහත්තය නේද?"

"ඔව්."

"ඔබතුමා කවුන්සලින් කරනව නේද? මම මගෙ පුතත් එක්ක ආවෙ ගාල්ලෙ ඉඳල. පුතා මේ පාර ඒ.ලෙවල් ලියනව."

මොකක් හරි වයර් මාරුවීමක් වෙලා තියෙනව කියල මට මීටර් වේගෙන එනව.

"මට ඔබතුමාගෙ ගෙදරට ගිහින් හම්බෙන්න කියල කිව්වෙ වළස්මුල්ලෙ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තය."

මම හිතුව හරි. ලොකු වැරදීමක්. ලංකාවෙ කිසිම පොළිසියක නිළධාරියෙක් මම පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. අනිත් එක මට හිතාගන්න පුළුවන් වුනා එතුමගෙ අවශ්‍යතාවය. ළඟ එන විභාගෙ ස්ට්‍රේස් එක නිසා ඔහුගෙ දරුව යම් සුළු මානසික අවපීඩනයකට ලක් වෙලා වගෙ. කොහොම වුනත් මට ඒ සම්බන්ධෙන් කරන්න පුළුවන් දෙයක් නෑ.

"ලොකු වැරදීමක්නෙ වෙලා තියෙන්නෙ. මම ඔයා හිතා කෙනා නෙමෙයි. මගෙ නම තියෙන වෙන කෙනෙක් වෙන්න ඕන. මම කවුන්සලින් කරන්නෙ නෑ. කම්පියුටර් සයන්ස්, ඉලෙක්ට්‍රොනික්ස් නෙ උගන්නන්නෙ."

"ඔබතුමා ..... නෙ? කැම්පස් එකේනෙ වැඩ කරන්නෙ."

මේක මළ ඇණයක් වුනානෙ. 

"ඔව්. කැම්පස් එකේ තමයි. ඒ උනාට කවුන්සලින් කරන්නෙ නෑ. මම කම්පියුටර්-ඉලෙක්ට්‍රොනික් තමයි කරන්නෙ. ඔයා හොයන්නෙ වෙන කෙනෙක්."

අනේ මන්ද. කොහොමහරි ඒ මහත්තයට කරුණු පැහැදිළි කරල දුන්නම පිළිගත්ත.

හවස 6 වෙනකම් මගෙ ලෙක්චර් එකක් තිබුණ. 
6.15ට විතර මම ගෙදර ආව. අම්ම තේ එක හදාගෙන ඇවිත් කිව්ව මෙහෙම කතාවක්.

"මම ගියා හවස එළවලු ගන්න පොළට."
පොළ කිව්වට ඒක හන්දියෙ තිබුණ දිළිඳු තාවකාලික කඩ පේළිය.

"පොළේ වෙළදම් කරන දුප්පත් අම්ම කෙනෙක් කිවුවනෙ අර මනුස්සය අපේ ගෙදරට යන පාර ඇහුව, එයා තමයි පාර කිවුවෙ කියල." 

එහි විශේෂත්වයක් මම දැක්කෙ නෑ. ගමේ ඉස්කෝලෙක අවුරුදු විසිගණක් උගන්වන අපේ අම්මව ගමේ මිනිස්සු දන්නව. අපේ ගෙදරත් දන්නව ඇති. එක අහඹු සිදුවීමක් වෙන්න ඇති.  

"ඒත් මම ඇහුව ඔයා මාව දන්නවද? අපේ පුතාව දන්නෙ කොහොමද? කියල. කැම්පස් එකේ වැඩ කරන ..... මහත්තයගෙ ගෙදර කියලලු ඇහුවෙ."

හැබෑට අම්මව දන්නව වුනාට මම කැම්පස් එකේ වැඩ කරනව කියල දන්නෙ ගමේ ඉතාම හිතවත් කීප දෙනයි.

"ඉතින්?" ඔන්න ඒ පාර නම් මම නොඉවසිලිවන්ත වුනා. හිතුවට වඩා මිනිස්සු මාව දන්නව වගෙ...?

"එයාගෙ දුව පුතාගෙන් ඉගෙන ගන්නවලු."

මගේ පපුව හෝස් ගාල ගියා.

කැම්පස් ළමයි වැඩි දෙනෙක් ගොඩක් දුප්පත් පවුල්වල අය කියල මම කොහොමත් දැනගෙන හිටිය. මොකද මමත් ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස්වලම ඉගෙනගත්ත එකෙක් නිසා.

ඒත් මේ තරම් විශාල දුකක් මට එකපාරටම ඇතිවුනේ ඇයි...? 

මට මතක්වුනා දැන් දවස් කීපෙකට කලින් වෙච්ච සිද්දියක්.

පිරිමි ළමයි 5 දෙනෙක් මාව හම්බෙන්න ආව. 

"සර් උගන්නනව හොඳයි. ඒත් අපිට ඉංග්‍රීසි බෑ සර්. බැරිද.........."

මම උත්තර දුන්නෙ තරමක් නුරුස්සන ස්වරයෙන්....

"පුතාල. දැන්ද ඕක කියන්නෙ? බලන්න. ඔයගොල්ල තව මාස 5කින් අවුට් වෙන්න ඉන්න අය. ඉංග්‍රීසි බැරිව කොහොමද එළියට ගිහින් තැනක වැඩ කරන්නෙ..? දැන්හරි මහන්සිවෙලා කඩ්ඩ හදාගන්න. ඉංග්ලිෂ් මීඩියම් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් සිංහලෙන් කරන එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අනික මගේ හිතුමතේට එහෙම කරන්නත් බෑ. මගේ ජොබ් එකත් ගහල යන වැඩක් ඒක. මම එහෙම කළොත් ඒක අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත අයට කරන අසාධාරණයක්. අනික ගොඩක් වචනවල සිංහල තේරුම් තවත් අමාරුයි. දැන් ඔයාල දන්නවද 'තස්බණුව' කියන්නෙ මොකද්ද්ද කියල?"

අහිංසකයො ටික උඩබිම බලනවා.

"ටෙලිෆෝන් එක හලෝ...! දැන් ඔයාලට 'යාවත්කාළීන කරනව' කියන එකද වැඩියෙන් තේරෙන්නෙ නැත්නම් 'අප්ඩේට් කරනව' කියන එකද..?"

"අප්ඩේට් කරන එක සර්...." එක්කෙනෙක් ඇහෙන නොඇහෙන ගානට කොඳුරන්නෙ පරාජිත ස්වරයෙන්...

කට කොණකට නැගුණ හීන් හිනාවත් එක්ක මම මෙහෙම කිව්ව.

"මගේ නෙමෙයි. ඔයාලගෙ වචන වලින්ම ඔප්පු වෙනවනෙ ඔයාල මෙතන කරන යෝජනාව ප්‍රැක්ටිකල් නැති බව...?"

කට්ටියගෙම මූණුවල සටහන් වෙලා තිබුණ බලාපොරොත්තු කඩවීමේ වේදනාව මගේ ටෝන් එක වෙනස් කරන්න සමත් වුණා.

මම නක්කල් මෝඩ් එකෙන් නිවුණු මෝඩ් එකට මාරු වුනා. 

"පුතා. අමාරුය කියල සමහර දේවල්, ඉංග්‍රීසි වගේ ඒව මහඇරල යන එක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. අපිත් ඉංග්‍රීසි කතාකරන පවුල්වල අය නෙමෙයි. බොහොම අමාරුවෙන් තනියම කට්ට කාල ඉගෙනගත්තෙ." 

තවදුරටත් මේ පණ්ඩිතය එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතුණ හින්දද කොහෙද එයාල යන්න ගියා.

ඇත්තටම මට එහෙම උගන්වන මාධ්‍යය වෙනස් කරන්න බලයක් නෑ. අඩුගානෙ සිලබස්වත් වෙනස් කරන්න බෑ හිතුමතේට.

ළමයි හිතාගෙන ඉන්නෙ අපි සර්වබලධාරී කියල. 

ඒත් එදා මම ඉඳපු මතේ 100% හරිද කියල මට දැන් හිතෙනව.

සාධාරණ වේවා අසාධාරණ වේවා මොකක් හරි හේතුවත් නිසා අර අසරණ මනුස්සයගෙ දරුවට උගන්නන ඒව තේරෙන්නෙ නැතුව විභාගෙ අවුල් ගියා කියල හිතමු. 
ඒක ෆයිනල් ඉයර් එක්සෑම් එකක්. ඒ කියන්නෙ උපාධිය ගන්න අඩුම ගානෙ අවුරුද්දක් පරක්කු වෙනව. කොහොමහරි ඒ පාඩුව දරාගත්ත කියමුකො. ඒත් තමන් මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙන හිටිය දරුව උපාධිය ෆේල් කියන තාවකාලික හරි හැඟීම අර වගේ අසරණියක් කොහොමනම් විඳියිද? 
තමන්ගෙ ලෝකයෙ එකම සැනසීමත් පරක් තෙරක් නොපෙනන තරමට ඈතට ගිහින් තියෙන යථාර්ථය කොහොම නම් ඉවසයිද...? කොච්චර ඇඟිලි ගැන ගැන ඉන්න ඇද්ද උපන්දා සිට දුකම උරුම ජීවිතේ කෙළවරක් දකින්න. උපාධි ලෝගුව දාල රජ කිරුළ පළඳින හැටි....පින්තූරෙ රාමු කරල සාලෙ මැද විරාජමානව ප්‍රදර්ශනය කරන හැටි...කොච්චර හීන දකින්න ඇද්ද...? ඒ හීන අඩුගානෙ තව අවුරුද්දක් කල් යනව. දිනුම් කණුව පෙනි පෙනී කඳුලෙන් බොඳ වෙලා ඒක නොපෙනී යනව. 

සංවේදී කමට හිනාවෙන සමහර මහත්තුරුන්ට අවුරුද්ද කියන එක මහලොකු කාලයක් නෙමෙයි...ඇත්ත..ඒත් දුප්පතෙක්ගෙ ජීවිතේ අවුරුද්ද ඒ වගේ කෙනෙක්ගෙ අවුරුද්දට වඩා සෑහෙන්න දිග බව තමා කියන්න තියෙන්නෙ.

අනේ මන්ද වෙලාවකට හිතෙනව අපි ජීවිතත් එක්ක සෙල්ලම් කරනව වැඩිද කියල. 

*ඒ සිදුවීමේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, මා ෆේස්බුකියෙන් පරිබාහිරව පළමු වරට අන්තර්ජාලයේ සංවේදී හදවත් ඇත්තවුන් අමතන්නට තීරණය කළේ එදා. ඒ ලාස්ට් රෝ වෙනුවෙන්. මම ඒ සටහන ෆේස්බුක් එකේ තිබ්බෙ ගොඩක් බරවෙලා තිබුණ මගේ සිත සැහැල්ලු කරගන්න. ඒකට හිතපු නැති ප්‍රතිචාරයක් ලැබුණ ඒ වනවිට කැළණියෙ කැම්පස් එකේ ඉගෙන ගත්ත මම කවදාවත් දැක නොතිබුණු ප්‍රභාත් දර්ශන මල්ලිගෙන්. සංවේදී ඔබ වෙනුවෙන් ලියවෙන්න ගත්තෙ ඔහුගෙ ඉල්ලීමට. ඒ වනවිටත් බ්ලොග් ලෝකෙට පය ගහල හිටිය ගලා යන ජීවිතය ලියන නදී, පැන්ඩා සහ චන්දික ගුණතිලක යන මල්ලිලා තවදුරටත් දිරිමත් කළා.

30 comments:

  1. ඒ කරපු වැඩේ හරිද වැරදිද මන්දා , ඉංගිරිසිය නං වෙලාවකට මහ කරදරයක් තමා

    ReplyDelete
    Replies
    1. කරදරයක් වෙන්නෙ ලංකාවෙ උන් කඩ්ඩ පාවිච්චි කරන්නෙ වෙන වෙන දේවල් වලටනෙ මචං. හොඳට සිංහල දන්න උන් පොෂ් වෙන්න කටුව වනනකොට නම් එපා වෙනව.

      Delete
  2. ප්‍රභාත් දර්ශන බොහොම හොඳ වැඩක්නේ කරල තිබෙන්නේ. . . . .

    ReplyDelete
  3. එහෙමවත් නොකල නම් ඉස්සරහට යන ලොකයත් එක්ක අපි රැඳෙන්නෙ පහල අඩියේ. ඉංගිරිස් අවශ්‍ය තැනට කොහොමත් එය ආදේශ කරගන්න ඕන. අපි වුනත් ටිකක් පරක්කු වෙලා හරි ඉංගගිරිස් ටිකක් ගොඩ දාගන්න හදන්නේ ඒක නැතුවඉස්සරහට යන්ඩ අමාරුයි කියන එක තේරෙන් හින්දා නෙව...

    ReplyDelete
  4. මතක් වුනා වේදිකා නාට්ටියක් , අර සින්දුවක් තියෙන්නේ "විභාගේ තමයි අපෙ අභාගේ" කියලා.

    ReplyDelete
    Replies
    1. :) මගේ තාත්ත වේදිකා නාට්‍ය කාරයෙක්. අපේ ගෙදර ඕක නිතරම ඇහෙනව.

      Delete
  5. Ow. English nam nathuwa ba wage thamayi dan. Mamath 6 wasare English medium karanna eddi oya gataluwa thibba. Hadaaganna saahena kattak kaawa..

    ReplyDelete
  6. "පුතා. අමාරුය කියල සමහර දේවල්, ඉංග්‍රීසි වගේ ඒව මහඇරල යන එක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. අපිත් ඉංග්‍රීසි කතාකරන පවුල්වල අය නෙමෙයි. බොහොම අමාරුවෙන් තනියම කට්ට කාල ඉගෙනගත්තෙ." ඒක ඇත්ත තමයි මචන්. ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ අවුරුදු 13ක් ඉස්කෝලෙන් සිංහලට හුරු කරපු ජීවිතයක් මාස කීපයකින් ඉංග්‍රිසි එක්ක ගනුදෙනු කරන්න හුරු කරවන්න උත්සාහ කරන එකයි.

    ReplyDelete
    Replies
    1. අනිවා එතන ප්‍රශ්නයක් තියෙනව.

      Delete
  7. මට තේරුන් නෑ මෙතන අවුල....

    ඉංග්‍රිසියෙන් වෙනත් විශයක් උගන්නනවා කියන්නේ perfect spelling, perfect grammar and perfect pronunciation බලන එක නෙවෙයිනේ... සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි වෙන වචන ඒ විදියට ඉගැන්නිල්ලෙදි යෙදීම වැරැද්දක් නෙවෙයි... හැබැයි ගුරුවරුයා මේ කිව්ව හැම එකම perfectly බලාපොරොත්තු වෙනවා කියලා දැනුනම නම් අවුලක් වෙනවා... ළමයි ප්‍රශ්නයක්වත් අහන් නැති තත්වෙට පත් වෙනවා... සිංහල ඉංග්‍රීසි කලවමේ යන තරමට ළමයින්ට ‌තේරැම් ගන්න අවස්ථාව වැඩියි මං හිතන්නේ... එහෙම නැතුව බයෝ, කම්පියුටර් සයන්ස් එහෙම උගන්නන බෑ නේ ... මගේ අත්දැකීම නම් අපේ ගුරුවරු සුද්දන්ටත් වඩා හොඳට අපෙන් ඔය මං කිව්ව ඒවා බලාපොරොත්තු වෙනවා... ඉතිං ඉංග්‍රීසියට බය වෙන එක අහන්න දෙයක් යෑ...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ හිරු.
      අපි කොහොමත් කඩ්ඩෙනුත් කියල සිංහලෙනුත් කියල දෙනව. පේපර්ස් බලනකොට කවදාවත් ස්පෙලින්ග්ස්, ග්‍රැමර් වලට ළකුණු අඩු කරන්නෙ නෑ. හැබැයි ළමයින්ට ඕන සම්පූර්ණයෙන්ම සිංහලෙන් කරන්න. අනේ මන්ද

      Delete
  8. සංවේදී, මම ඉංග්‍රීසි ගුරුවරයෙක්. කාලයක් ලංකාවේ උගන්නලා දැන් ආසන්න රටක උගන්නන. මම දන්න විදියට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ එකාට ගුරුවරයෙක්වත් ඕනේ නෑ ඉගෙන ගන්න. අප අවට පහසුකම් තියෙනව නමුත් අවංක චේතනාවක් නෑ. කැපවීමක් නෑ. ඉංග්‍රීසි ගැන දරන ආකල්පය හොඳ නෑ.

    නිකං හිතලා බලාපං, අවුරුදු ගානක් ඉස්කෝලෙදි ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසි බැරි උන් හින්දි කතා කරන ලස්සන අර ‍ෆිල්ම් බලලම

    ReplyDelete
    Replies
    1. ඊළඟ මුළු ලිපියම ඔබ වෙනුවෙන්...ඔබට එකඟ වෙමින්...

      Delete
  9. ඕක මහා කාළකන්නි වැඩක්. 56 බන්ඩාරණායක කියන ගොන් බූරූවා කරපු වැඩක්. අපේ වාසනාවට, උසස් පෙළ පන්තිවල හිටපු ගුරුවරු, හැම දෙයක්ම ඉන්ගිරිසියෙනුත් කියා දුන්නා. අඩු ගානේ යකවුන්ටන්සි හරි කරගෙන කොල්ලෝ ඔක්කෝම වගේ ගොඩ ගියේ සම්ප්‍රදාය කඩපු ගුරුවරුන්ට පින් සිද්ද වෙන්න. ඔහෙත් සරළ ඉංග්‍රීසියෙන් උගන්වන්න පටන් ගන්න. නොතේරෙන දේ නැවත නැවත් කියාදෙන්න. මම ඉන්ගිරිසියේ දශමයක්වත් දන්නෙ නෑ නමෞත් දන්න ටික බොහෝ දෙනෙකුට නොමිළේ කියාදෙනවා..

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ එකඟයි මචං

      Delete
  10. අද රටේ රැකියාවක් ගන්න ගියහම ගියපු ඉස්කෝලෙ නම් අහපුවහම ඇතිලු රස්සාවට තේරෙන්න හරි නොතේරෙන්න හරි. ඒ නගරෙ ඉස්කොලෙ ඉංගිරිසියෙන් උගන්වන හින්දයි ගමේ ඉස්කොලෙ සිංහලෙන් උගන්නන හිංදයි වෙන්න ඇති.හැබැයි ඉතින් ඔය ලොකු ලොකු ඉස්කෝල වලින් ගිහිල්ල අර ගන්න ලොකු ලොකු ජොබ් කරන අය සේවය කරන්නෙ මේ රටේ අර දුප්පත් යැයි හංවඩු ගහපු ගමේ ඉස්කෝලෙ ගියපු වරදට රැකියාවක් නොදුන් ඉංග්‍රිසි කතා කරන්න බැරිව සිටි අහිංසක ජනතාවට. එතකොට ඒ දුප්පත් ජනතාවට සේවය කරන්නෙ ඔය කියන ඉංගිරීසි බාෂවෙන් කතාකරලද. උන් එතැනිනුත් අර නොදන්න ඉංගිරිසි කෑලි දෙකක් තුනක් දාපුවහම අනේ ඉතින් ගමෙන් ආපු රාලලාට අප්පුහාමිලාට බංඩලාට පියදාසලාට අබසරණයි

    ReplyDelete
  11. මට හිතෙනවා ඔබ ස්වයං මෝහනයක හෝ ඔබ පිලිබඳ අධි තක්සේරුවක එලඹිලා ඉන්න බවක්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා ලකාගෙ ලින්ක් එකෙන්නෙ මාව දැනගත්තෙ. වෙන කොහෙන් හරි මේ අඩ්වියෙ ලින්ක් එක ලැබුණ කියල හිතාගෙන බැලුවනම් ඔබටුමාට ඔය ප්‍රශ්නෙ එන්නෙ නෑ. ඔබතුමා කැමතිද වෙන කෙනෙක් ඇවිල්ල ඔබතුමාගෙ අඩවියෙ ඔබතුමාට අපහාස කරනවට...?

      Delete
    2. ඔබතුමා මම කියපු දේ අපහාසයක් විදිහට බාරගන්නවා නම් එහෙම බාරගන්න.මම පලකලේ මගේ අදහස.ඔබේ අදහස සම්බන්ධව අනිත් අයගේ අදහස් අනවශ්‍ය යැයි සිතන්නේ නම් උඩින් COMMENTS FAVOURABLE TO MY IDEAS ONLY කියා සටහන් කරන්න.මා ලියපු දේ අපහාසයක් යැයි සිතීම තුලම මට ඔබ ගැන තක්සේරු කර ගත හැක.

      Delete
    3. ඔබතුමා ගැන එහෙම ආකල්පයක් ඇති වුණේ ඔබතුමා ලකාගේ අඩ්වියේ මා ගැන තබා තිබූ කමෙන්ටුව නිසා. ඒ අඩවිය අපහාසාත්මක නෑ කියා ඔබ කියනවනම් මම ඔබතුමාත් එක්ක මෙතනින් එහාට අදහස් හුමමාරු කරගන්නෙ නෑ. ඒ වගේ තැනක ඊට පක්ෂපාතී විදියට කතාකරන්නෙ මොනවගේ අයද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඒක නිසා තමයි මම සහ මට ආදරය කරන මිනිස්සු ඒ ගැන එතැනදි කතා නොකරන්නෙ. අපිටත් ඒ තත්වෙට වැටෙන්න ඕන නැති නිසා.
      ඔබතුමා මේක අපහාසයක් නොවේ යයි කියන නිසා මම මට ඔබතුමාගෙ අඩවිය බැලුවම ඔබතුමා ගැන හිතෙන හැටිත් කියන්නම්.
      ඒ ගැන මට කියන්න තියෙන්නේ ඔබතුමා ඉන්නෙත් ඔබතුමා ගැන අධි තක්සේරුවක. (මම ඔබතුමාගෙ අඩවිය බල කෙනෙක්.) කෙනෙක් පරිණත නෑ කියල කියන්නෙ තමන් පරිණතයි කියල අධි තක්සේරුවක ඉන්න අය. ඔබතුමා එක ක්ෂේත්‍රයක, (දේශපාලනය වගේ) මට් වඩා දැනුම, අත්දැකීම් තියෙන්න පුළුවන්. ඒත් ඔබ කොහොමද කියන්නෙ මම හැම අතින්ම ලඳ බොලඳයි කියා. මම කළිනුත් කිව්ව වගේ තව කෙනෙකුට එහෙම චෝදනා කරන ගොඩක් අය තමන්ට එහෙම කරන්න සුදුසුකම් තියෙනවා කියල හිතාගෙන ඉන්න අය.
      ඔබතුමා කැමතිනම් දිගටම මෙතන කමෙන්ට් කරන්න. ඕනම දෙයක් කියන්න ඔබතුමාට අයිතිය තියෙනව. මම අයින් කරන්නෙ නෑ. හැබැයි පිටස්තරය වගේ තමන්ගෙ කමෙන්ට් එක තමන්ම අයින් කරගෙන පිට තැන්වල ගිහින් කුහක කතා කියන කෙනෙක් නෙමෙයි කියල මට හිතෙනව.

      Delete
    4. ඔබ තුමා වචනයේ පරසමාප්තාර්ථයෙන්ම සංවේදී පුද්ගලයෙක් බව මම වටහාගතිමි.

      Delete
    5. සහෝ. (කැමතිනම් මට මචං කියන්න-ඔබ ශිෂ්‍යයෙක් නොවෙයයි සිතනවා.) මම පිළිගන්නවා මම අනිත් අයට වඩා ටිකක් ආඩම්බර බව. ලොකුකම් කතාකරන්න කැමති බවත් ඇත්ත. මම ඒ අඩුපාඩු හදාගන්න ඕනෑ. ඒත් ඔබ වගේ කෙළින් අදහස් පළ කරල මිසක් තැන් තැන්වල මිනිස්සුන්ගෙ අඩුපාඩුම හොය හොය අපහාසකරන මිනිස්සුන්ට හේත්තු වෙලා නෙමෙයි. මට ටිකක් තදට කතාකරන්න සිද්ධ වුණ හේතුව ඔබට තේරුම් ගන්න පුළුවන් වේ යයි සිතනවා. සමහරවිට ඔබ එහි ගැවසුණ පළියට කුහකකමක් ගෑවිලාවත් නැති කෙනෙක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. ඔබ කිවුවෙ අවංකවම ඔබට සිතුණු දේ නම් මම ඔබට ගොඩක් ගරු කරනවා. මම අඩුපාඩු හදාගන්නම්. අදහස් ප්‍රකාශ කරන එක නවත්වන්න එපා. දැක්වූ අදහස් වලට බොහොම ස්තුතියි.

      Delete
    6. අවම වශයෙන්, මා නිර්ව්‍යාජ ලෙස අදහස් දැක්වූවා යැයි ඔබ සිතනවා නම් මම ඔබට කෲතඥ වෙමි.මිනිසා යනු වැරදි රාශියක සංකලනයකි.නිවැරදි විය හැක්කේ මෙවන් භාවිතා සහ සාකච්ඡා තුල පමනි.අපි සියල්ලෝම වඩ වඩාත් නිවැරදි විය යුතු බව බව මාගේ විශ්වාසයයි.මත දැරීම සහ ඒවා ප්‍රකාශ කිරීම මිනිසා සතු අණුලංඝනීය අයිතියකි.අගය කල යුතු තැන අගය කිරීමත් පහර දිය යුතු තැන පහර දීමත් මුවින් නොදොඩා සිටීමට වඩා මහත් අගනේය.මම ඔබේ ප්‍රවේශය අගය කරමි.ස්තුතියි

      Delete
  12. සංවේදී කමට හිනාවෙන සමහර මහත්තුරුන්ට අවුරුද්ද කියන එක මහලොකු කාලයක් නෙමෙයි...ඇත්ත..ඒත් දුප්පතෙක්ගෙ ජීවිතේ අවුරුද්ද ඒ වගේ කෙනෙක්ගෙ අවුරුද්දට වඩා සෑහෙන්න දිග බව තමා කියන්න තියෙන්නෙ.

    කාට උනත් අවුරුද්දක් නෙවේ දවසක් හරි පරක්කු වෙන එක කියන්න බැරි තරම් පාඩුවක්. මොකද ඒ දවස අය ජීවිතේ කවදාවත් ලැබෙන්නේ නැති නිසා. මම ටියුෂන් කරන දවස්වල මුණ ගැහුනා අපුරු ඉංග්‍රීසි ගුරුවරයෙක්. මනුස්සයා ජපන් ජාතිකයෙක් ලංකාවේ පදිංචියට ඇවිත් දැන් ලංකාවේ තරුණ පිරිසට සිංහලෙන් ඉංග්‍රීසි උගන්නනවා. ඒ මිනිහා දෙමල ඉගන ගන්න කියලා දෙමල ගෙදරක සතියට දවස් 3ක් නතර වෙලා ඉන්නවා. ඕනෑකම කියන්නේ අන්න එකයි.
    හොඳ පොස්ට් එකක්.

    ReplyDelete
  13. මගේ කමෙන්ට් එක ස්පෑම් එකේද බලන්න සංවේදී.

    ReplyDelete
    Replies
    1. ඔව්. තිබුණා. ඇයි ස්පෑම් එකට ගියේ. ඩිලීට් උනාද ඔයා අතින්...?

      Delete
    2. මගේ කමෙන්ට් ස්පෑම් වෙන ලෙඩක් තියෙනවා. මගේ කමෙන්ට් මගේම බ්ලොග් එකෙත් ස්පෑම් ෆෝල්ඩර් එකට යනවා කිව්වාම! :D
      ස්තුතියි සංවේදී.

      Delete