Thursday, October 31, 2013

නුහුරු හැඟුමක්

පසුගිය සතිඅන්තයේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මා ගමන්ගත් බසය, කළුතර බෝධියට මීටර 100ක් තිබියදී පමණ කාර්මික දෝෂයකට ලක්ව නවත්වන ලදී. සියලු මගීන්ට ඉන් බැස කොළඹ දෙසට ධාවනය වන වෙනත් බසයකට ගොඩ වන කොන්දොස්තර මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ආසන්නයේ තිබූ බස් නැවතුම් පොළ වෙත පියමං කළෙමි.

එහිදී මා නෙත ගැටුණේ තරමක් නුහුරු දසුනකි.

ඇය සිඟන්නියකි. "ඔයා හිඟන්නියො දැකලා නැත්ද..?" යි ඔබ අසනු ඇත. 

මා අනන්ත අප්‍රමාණ විවිධ ස්වරූපයේ යාචක කාන්තාවන් දැක ඇත්තෙමි. නමුත් මැයගේ යම් විශේෂත්වයක්  නිරීක්ෂණය කළෙමි.
සාමාන්‍යයෙන් ඇය වයස 30-35 අතරේ පසුවන්නට ඇත. එවැනි වයස්වල අයද සිඟන වෘත්තියේ දුලභ නොවන බව දනිමි. නමුත් ඇගේ තළෙ'ලු වතද, පිළිවෙලකට ගත දැවටූ පිරිසිදු ඇඳුම්ද කියා පෑවේ ඇය මේ ක්ෂේත්‍රයට නවක බවයි.

කිසිවක් නො-ඇතුරූ බිම හිඳගෙන ඇය මගීන්ට අතපාමින් සිටියාය. මා සමගම බසයෙන් බට තරුණයෙක් ඇය පෑ අතට යම් මුදලක් දෙනු දුටිමි.
නමුත් අන් අයගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. හේතුව නොදනිමි. ප්‍රකෘති ශරීරයෙන් සිටින ඇය යම් රැකියාවක් කොට උපයන්නේ නැත්තේ මන්දැයි ඔවුන් සිතනවා විය හැකිය. නැතිනම් ඇය ලොව පැරණිම රැකියාව කරන හෝ යම් දුරාචාරවලට ඇබ්බැහි වූ තැනැත්තියක් යයි උපකල්පනය කරන්නට ඇත. ඒ අනුව ඇයට සිඟමන් දීම එම නාස්ති වියදම්වලට අනුබල දීමක් වනු ඇත.

සාමාන්‍යයෙන් මා ලෝකය පවසන, සිතන දේවල් නිසා කරන්නට සැලසුම් කරගෙන සිටින දේ ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නෙක් නොවේ. නමුත් යම් හේතුවක් නිසා මම ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි. එවිට ඇය දැක්වූයේ උදාසීන මළානික ප්‍රතිචාරයකි. එය ඇයට නුහුරු අත්දැකීමක් නොවන්නට ඇත.

මීළඟට පැමිණි බසයට මා ගොඩවූ අතර අසුනක්ද ලැබුණි.
එවෙලේ එම ප්‍රතික්ෂේප කිරීම එතරම් ගණනක් ගියේ නැති වුවද වැඩි වේලා යන්නට පෙර මා සිත එම සිද්ධිය නිසා නුහුරු හැඟීමකින් තවන්නට විය. එය අනුකම්පාව, වේදනාව, පසුතැවීම, වගකීමක් පැහැර හැරි විට දැනෙන වරදකාරී හැඟීම ආදිය එකට කළතා සෑදුණු වෙනස්ම ආකාරයේ හැඟීමකි.

ඇත්ත වශයෙන්ම ඇය පැරණිම රැකියාව කරන්නියක නම්, සිඟා කෑමේ අවශ්‍යතාවය කුමක්ද?

දැඩි පංචශීල ප්‍රතිපත්තියක පිහිටි මා කිසිදිනක ගණිකාවක ඇසුරු කර නැති මුත් එවැන්නියක පොදු ස්ථානයක දුටුවහොත් හඳුනාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මොනවා වුනත් මටත් පිහිටා තියෙන්නේ පිරිමි ඇසක් නිසාය. එහෙත් එවැනි සාපේක්ෂව 'ඉහළ ආදායමක්' උපයා ගත හැකි වෘත්තියක් කරන අයකු සිඟා කනු ඇතැයි සිතිය නොහැකි ය. කස්ටමර් කෙනෙකු සෙට් වන තුරු අමතර ගානක් ඉපැයීමට පාට් ටයිම් සිඟා කන ලිංගික සේවකයින් මා කිසිදු සමාජ විද්‍යා පර්යේෂණයක කියවා නොමැත. මෙය එවැන්නක් නම් පට්ටම Exceptional Case එකකි.

මෙය ආරක්ෂක අංශවල ඇස් වසන් සිරීමට  යොදන උපක්‍රමයක් යයි කෙනෙකුට පැවසිය හැකිය. එහෙත් පොලීසියේ සිටින්නේ බබ්බු නොවෙති. ගොනා හැරෙනකොට පොල්පැළයට සොරි වෙන බව නොදන්නේ නම් ඔහු උකුසු ඇසක් ඇති ආරක්ෂක අංශ නිලධාරියෙක් වීමට කොහෙත්ම නුසුදුසුය. 

ඒ අනුව මා නිගමනය කළේ ඇය ජෙනුඉන් කේස් එකක් කියා ය. ඇතැම්විට ඇයට පෝෂණය කිරීමට දරුවන්ද සිටිනවා විය හැකිය. යම් කායික හෝ මානසික දුබලතාවයකින් පෙළෙන්නියක්ද විය හැකිය.

ඒ අනුව මා කර ඇත්තේ සමාව දිය නොහැකි වරදකි. අසරණයෙක් නොසලකා හැරීමය. සමාජ වගකීම් පැහැර හැරීමකි. 

ප්‍රමාණවත් තරම් සිඟමන් නොලැබුනහොත්, පණ නළ ගැට ගසා ගැනීමේ එකම හා අවසන් විකල්පය ලෙසට හෙට දිනයේ ඇය ලොව පැරණිම වෘත්තිය තෝරා ගනු ඇත. 

ඇගේ එම තීරණයට මා ද දායක වී ඇත්තේ නොවේද?

14 comments:

  1. ඔබට දොස් කියාගන්න එපා ,, මාත් එවැනි අත්දැකීම් වලට මුහුණ පා තිබෙනවා ,, නමුත් සමහර විට ඇය කාලෙකින් නාලා අලුතෙන් කෙනෙක්ගෙන් ලැබුන ඇදුම ඇදගෙන සිටියා විය හැක ,, බොහෝ අප නොදන්නා කාරණා නිසා වෙන්නටද පුළුවන් ,, ඔබගේ ඇය වෙනුවෙන් සිතන්නට යෙදවූ සීත හැමෝ තුලම නැහැ ඒ නිසා සතුටින් ඉන්න

    ReplyDelete
    Replies
    1. අදහස් වලට බොහොමත්ම ස්තුතියි..

      Delete
  2. මම දවසක් යාළුවෙක් එක්ක බස් එකේ එද්දි සිංදු කියන කාන්තාවක් ආව. අවුරුදු තිහක් ඇති. බස් එකෙනුත් සෑහෙන ගානක් එකතුවුනා. මාත් එක්ක ගිය යාළුව දන්න මෑන් කෙනෙක් කෙල්ල ඉස්සුව. රුපියල් පන්සීයක්ද කොහෙද ලු ගාන.
    ඒ නිසා කලවම් වෘත්තිකයනුත් ඉන්නව කියල මම දැනගත්ත. මේකත් ඒ වගේ වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේක පුදුම සංකීර්ණ සමාජයක්නේ...වෙලාවකට අපේ සමාජ දැනුම මදි කියලා හිතෙනවා...

      Delete
  3. සංවේදී අහලා නැතිවුනාට රාජ් කිව්වා වගේ... ගණිකා වෘත්තියේ යෙදන සිඟන්නන් ඕනා තරම් ඉන්නවා. :D

    ReplyDelete
  4. හිගා කන එක දැන් බිස්නස් එකක් වෙලා. ඒ නිසා මම නම් කවදාවත් සල්ලි දෙන්නේ නැහැ. ඔය එකතු කරන සල්ලි වලින් වැඩි හරියක් යන්නේ මුදලාලිට.
    මම නම් කරන්නේ, අවුරුද්දකට වතාවක් දුප්පත් දරුවන් 50 විතර තෝරලා, පාසල් උපකරණ දෙන එක.... ඒක හිතටත් හොඳයි...

    ReplyDelete
  5. මම නම් කියන්නෙ යාචකයට මුදල් දීම එයාගේ රැකියාවට අනුබල දීමක් .
    සංවේදී .. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ ශ්‍රී ලංකාවේ යාචකයා පොත බලලා තියනවද ?

    ReplyDelete
  6. රාජ් කිව්ව වගේ මුදල් උපයන්න ඒ වෘත්තියට වක්‍රව දායක වෙන පිරිසුත් ඉන්නවා.

    ReplyDelete
  7. මොන විදියට හිගා කැවත් එකට අනුබල දෙන්න එපා.මගෙ හැගිම

    ReplyDelete
  8. තවත් දෙයක්.. හිඟා නොකා තමුන්ගේ මහන්සියෙන් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන මිනිහෙක් ගෙන් ඒවා අනවශ්‍ය ලෙස හෙට්ටු නොකර මිලදී ගැනීම හිඟමන් දීමට වැඩ හොඳ දෙයක්

    ReplyDelete
  9. මම නම් විශ්වාස කරන්නෙ හිඟන්නොන්ට සල්ලි දෙන්න ඒ මිනිස්සුන්ගෙ වතගොත උප්පැන්න සහතික චරිත සහතික බලන්න ඕනෙ නෑ. සමහර හිඟන්නො බොරු කරනව ඇති. සමහර විට ඒක රස්සාව වෙන්න ඇති. සමහර අය ඇත්තටම අසරණ ඇති. ඒ පැත්තෙ තත්වය කොහොම උනත් ඒ මිනිස්සු අසරණයි. අපිට අවංකවම හිතෙනව නම් සල්ලි කීයක් හරි දෙන්න ඕනෙ කියල දෙන එක තමා හොඳ. මොකද එහෙම දුන්න කියල කාටවත් අවැඩක් වෙන්නෙ නෑ. දෙන කෙනාට පිනක් මිස පවක් වෙන්නෙ නෑ. ඒ ගොල්ලො බොරුවක් කරනව නම් ඒ බොරුවෙ විපාක විඳින්න වෙන්නෙත් ඒ ගොල්ලන්ටමයි. දෙන්න හිතෙන්නෙ නැත්තම් නොදී ඉන්න. හිඟන්නගෙ වතගොත හොයන්න කියන ඒව ඇත්තද බොරුද කියල කිරල මනින එක තේරුමක් නෑ. අපි සල්ලි දුන්න නොදුන්න කියල ඒ මිනිස්සු හිඟා කන එක නවත්තන්නෙ නෑ. ඒ නිසා අපි දෙන කීයක් හරි දෙන්න ඕනෙ අවංකවම. ඒ සල්ලි වලට හිඟන්න මොනවද කරන්නෙ කියන එක අපට වැදගත් වියයුතු නෑ...

    ReplyDelete
  10. තමන්ගේ ජීවිතේ ගැටගහගන්න කරන්න තියෙන ඕනම දෙයක් කරන්න පෙළබෙන මිනිස්සු ඉන්නවා.. තමන්ටම දොස් පවරගන්න එපා..

    ReplyDelete
  11. හිගාකන එක දැන් මහාපරිමාණයෙන් පාතාලයෙන් රන් කරන බිසිනොස් එකක්නේ ලොක්ක..... අලුත් මාර්කටින් සිස්ටම් එකද්ද දන්නේ නැ

    ReplyDelete
  12. මේ බ්ලොග් අඩවියේ, මගේ මුල්ම කොමෙන්ටුව මේ.
    හිඟමනේ යෙදෙන කෙනා දැක්කම, හදවතට එකඟව මුදල් පරිත්‍යාගයක් කරන්න හිතෙනවා නම්, කරන්න ඕනේ. හොරෙක් කියල හරි, නරක දෙයක් කරන කෙනෙක් කියල හිතෙනවා නම්, සල්ලි දුන්නේ නැතුවට කමක් නැහැ.. ඒ මම හිතන හැටි.
    ඔබට ඒ මොහොතේ පරිත්‍යාගයක් කරන්න නොසිතුනේ කුමන හෝ හේතුවක් නිසා වෙන්න ඇති. ඒ ගැන පසුතැවිලි වීමෙන් වැළකී සිටියානම් හොඳයි.

    ReplyDelete