Tuesday, August 28, 2012

මේක ලියන එකාගේ ජීවන අන්දරය (අන්දරේ නොවෙයි)


අවවාදයයි

මෙය කයිවාරු, පුරාජේරු, වැල්වටාරම් හා ස්වයං වර්නණා වලින් අනූන ය.
එහෙයින් මෙය කියවා ඔබේ වටිනා කාලය නාස්තිකර ගැනීම ගැන පසුව මට දොස් නොකියන්න.
මා මෙය සටහන් කර තබන්නේ මා (ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා) සිදුකරන අතිවිශාල සමාජ මෙහෙවර හේතුවෙන් මා යම් දිනක ජාතික වීරයෙක් ලෙසට නම් කරන්නට ඉඩ ඇති නිසාත්,
එවිට මා ජීවතුන් අතර නැති වීමට බොහෝ දුරට ඉඩ ඇති නිසාත්ය. එදාට මා ගැන තොරතුරු සොයන මාධ්‍යවේදීන් අමාරුවේ වැටීම වලකනු වස් මෙසේ ලියා තබමි.

එහෙනම් පටන් ගම්මු

සංවේදී නම් මෙතුමා පොළොන්නරුව මූලික රෝහලේදී උපත ලැබුයේ 1984 සැප්තැම්බර් 7 වෙනි දින ගුරු යුවලක් වන දෙමාපියන්ට 7තේ 7 වැදී සිටි මොහොතක බව කියවේ. එනම් ඒ වන විට ඔවුන් දුෂ්කර සේවයේ යෙදී සිටියහ.
ඉතා අඩු වයසෙන් පාසල් ගිය අයකු වශයෙන් වාර්තාවට මම හිමිකම් කියන්නේ කුඩාකලදීම පෙන්වූ අසාමාන්‍ය දක්ෂතා නිසා නොව, දුප්පත් ගුරුවරුන් වන මගේ දෙමාපියන්ට මා බලා ගැනීමට ආයාවරුන්ට ගෙවීමට මුදල් නොමැති වීමෙනි. මෙසේ මගේ පළමු පාසල වූයේ පො/කඩවලවැව කණිෂ්ට විද්‍යාලය, බැඳිවැව යි. 1989 ජ.වි.පෙ.ට හා එකළ රජකළ ජනතාවාදී ආණ්ඩුවට පින් සිදු වන්නට අප වාසය කළ පෙදෙස අමු අපායක් විය. පාසල් යන දෙපස දිනපතාම ටයර් සෑයක් මත දැවෙන තරුණයන් / තරුණියන් වැරදුනේම නැත. මින් ඇතැමුන් මා සංවේදී මිනිසකු කළ කලාකරුවෙකු වූ මගේ තාත්තාගේ ගෝලයන් වූ අතර අප සියලු දෙනාම සිටියේ මහත් කළකිරීමෙනි. මගේ අම්මාගේ ගම් පෙදෙස වූ මාතර දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගමක් වූ හක්මණ දෙනගම නම් තත්ත්වය එපමණ 'චාටර්' නොවූ බව ලිපි මගින් දැනගත් අතර වාසනාවකට මගේ මව්පිය දෙපලටම අපේ මහගෙදර ආසන්නයේම විදුහලට මාරුවීමක් ලබාගැනීමට හැකිවීම, මගේ ජීවිතයේ දෙවන පරිජ්ජේදය සනිටුහන් කරයි.
තරමක් පිටිසර, සුන්දර ගම්මානය් වූ මෙහි ගෙවූ සුන්දර ළමා කාලය ඉතා වාසනාවන්ත එකක් විය.
පුරා වසර  3ක් මාර/දෙනගම විපුලසාර ම.ම.වි. මෑණියන්යෙන් සිප් ලබමින් සිටියදී මාපියන් විසින් වෙනත් පාසලකට මාරුවීමක් ලබාගත්තේ මාතර නගරයට තරමක් ආසන්නයෙන් නිවසක් මිළදී ගැනීමෙ හේතුවෙනි. එය මාගේ තෙවන පාසැල විය. නමින් මාර/සද්ධර්මරාජ මහා විද්‍යාලය, රත්මලේ විය. අන් ළම්යින් මෙන් පන්ති නොගියද, සෙල්ලමෙන්ම ගත කළද කෙසේ හෝ මා 5 වසර ශිෂ්‍යත්වයෙන් සමත් වී මාතර රාහුලයට උසස්වීමක් ලදිමි.
මා ඉංග්‍රීසි භාෂාවට, ගණිතයට හා ඉලෙක්ට්‍රොනික විද්‍යාවට දක්ෂයෙකු බව හඳුනාගැනීමේ ගෞරවය හිමිවන්නේ රාහුල මෑණියන්ටය.
පොලා, කරූ හා පූසා සහ මම, අපි තරඟයට පාඩම් කර සාමාන්‍ය පෙළ ඉතාමත්ම ඉහලින් සමත් වූයෙමු. කොතරම් අති සාර්ථක වූයේද යත්, මගේ දිස්ත්‍රික් කුසලතාව 49 විය. (එය ප්‍රතිඵල ලේඛනයේ සඳහන් නොවේ. ශිෂ්‍යත්වයක් පිරිනැමීම සඳහා සොයා බැලීමෙදී දැනගත්තකි.)
උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරීමි.
මට කෙළවුනේ එතැන් සිටය. මගේ සෙට් එක (මිතුරන්) කැඩී වෙනත් අංශ වලට ගියහ. පොලා බයෝ කර දොස්තර කෙනෙක් විය. කරූ කොමස් කර ගණකාධීවරයෙක් විය. පූසා මැත්ස් කරන්නට ආ නමුත් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා මගදී අත් හැර දැමීය. මම නන්නත්තාර වීමි. සාමාන්‍යපෙළ ඉහල ප්‍රතිඵල නිසා මා සිතා සිටියේ මා පොරක් කියාය. නමුත් මාත්, අපේ ගෙදර අයත් දැන සිටියාට විභාග දෙපාර්තමේන්තුව එය පිළිගත්තේ නැත. දෙවරක්ම වැඩ තුනවත් නැති වන්නට මට 'අම්බානක' සැලකුවේ එහෙයිනි.
කෙමිස්ට්‍රි වලට මුළු පේපර් එකෙන්ම මා ලබාගෙන තිබුනේ ළකුණු 13ක් වැනි අති විශාල සංඛ්‍යාවකි. වැඩේ හරියන්නේ නැති නිසා ගෲප් ක්ලාස් එකක් සොයාගතිමි.
මගේ හඳුන්පොත ඉස් ඉස්සෙල්ලාම කීං ගෑවේ එහිදීය. (අපේ ගෙදර අය මේක නොබලන නිසා හොඳයි!) කිට්ටුව ගෙදරක හැඩකාර ඩයල් එකකට මගේ හිත ගිහින් තිබුණි. නමුත් මටත් ලැබුනේ ජනප්‍රිය තැටි වාදනයමය. 'අපි යාලුවෝ විතරයි'. පසුව ගමේ කොල්ලන් මට මා හැර අන් සියල්ලන්ම දන්නා රහසක් කීහ. එනම් ඒකි වෙනත් කොල්ලන් සමග රවුම් ගසන 'ඩයල්' එකක් බවයි. (අද ඇය හෙදියකි.) මුළදී එය පිළිගැන්මට මැළිවී සෑහෙන කාලයක් පිස්සු කෙළමින් සිටියද පසුව එය තේරුම් යද්දී විභාගය කට උඩටම පැමිණ තිබුණි. මේ අවසන් අවස්තාවයි. මේක කෙළවගත්තොත් මගේ අවසානය වන නිසා 'ෆුල් ඩම් දා' පාඩම් වැඩ කළෙමි. උපතින්ම ඉලෙක්ට්‍රොනික් පිස්සෙකු වූ මගේ ඒකායන බලාපොරොත්තුව වූයේ මොරටු යාම වුවත් දෛවය එයට හරස් විය. ඒ ළඟින් යන පාඨමාලාවක් වන පරිගණක විද්‍යාව හැදෑරීමට මා සුදුසුකම් ලැබ තිබුණි. නමුත් විශ්වවිද්‍යාලය අලුතෙන්ම පටන් ගන්නා, ප්‍රසිද්ධ කැරැල්ලක නම රැගත්, සීතල පළාතක් යයි ප්‍රසිද්ධ (එහෙත් ඇත්තටම එහෙම නැති..) අප්‍රසිද්ධ එකකි. උන්න හැටියට මළා මදැයි, නැති මට අහල ගියත් මදෑ කියමින් මම එයට ඇතුළත් වුනෙමි.
ජීවිතය සිතූ තරම් සුන්දර වූයේ නැත. අළුත් තැනක් වූ එහි බොහෝ අඩුපාඩුකම් විය.

මගේ සරසවි

දහසකුත් අඩුපාඩු මැද ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන ගියෙමි. මගේ 'කාඩ් එක' නොහොත් අන්වර්ථ නාමය 'ප්‍රොෆෙසර්' හෙවත් 'ප්‍රොපා' විය. ඒ මා අන් අයට වඩා අසාමන්‍ය දක්ෂයෙක් වූ නිසා නොව, මගේ පෙනුම එසේ වූ නිසාය. මිටි, තරබාරු, උදරය ඉදිරියට නෙරා ඇති නිසා විය යුතුය. පණ්ඩිත කතා කීමත්, කඩ්ඩ බැරි වුන්ට 'කුප්පි' දැමීමත් නිසා ඒ නම ස්ථිර වී ජනප්‍රිය විය.
ජීවිතයේ දෙවැනි හා අවසන් වතාවට මා ගෑණු මායම් වලට අසුවුනේ මෙහිදීය. දෙවන 'සීන් එක' පළමු එකට සර්වසම වූ අතර අවසන් පුරාවෘත්තය නම් ඛේදවාචකයක්ම විය (මට පමණි.) වසර 2 1/2 පමණ එතුමිය හා මා අතර ඉතාම දැඩි හිතවත්කමක් තිබුණි. මා සිතුවේ වැඩේ හරි කියාය. නමුත් එසේ වී තිබුණේ 50% පමණි. ඒ කියන්නේ මගේ පැත්තෙන් එන 50% පමණි. හේතු වශයෙන් දැක්වූයේ ඇයට උපාධිය නිම කළ හැටියේම කසාද බැඳිය යුතු බවත්, ඔහුට 'රෙඩි මේඩ්' තමන්ගෙම කියා රැකියාවක්, නිවසක් හා වාහනයක් හිමිවිය යුතු බවයි. (එහි සත්‍ය අසත්‍යතාව මම අදටත් නොදනිමි. කෙසේ වෙතත් අද ඇය නාවික ඉංජිනේරුවෙකුගේ ආදරබර බිරිඳකි.)

කෙල්ලන් ගැන මා සිතන හැටි හා ටු බී කන්ටිනියුඩ් මගේ සරසවි

කෙල්ලන් ගැන මගේ ආකල්පය ඉතා නරක එකක් වීමට එම සිද්දිය ඉතා තදින් බලපෑවේය. උන් සෑමවිටම මුල් තැන දෙන්නේ මනුස්සකම්වලට නොව, වාසියට බව මම අද අදහමි. හොඳ අතුරින් හොඳම දේ සොයන ඔවුහු වෙනත් කරුණු මත සෑහීමට පත් නොවෙති.
ඇඩ්මින් එක කියන විදියට මගේ 'කට වැඩි' ය. ඒ නිසා කොල්ලෝ මා උන්ගේ නායකයා (ඇත්ත වශයෙන්ම තෝල්කයා) ලෙස පත් කළහ. ඇඩ්මින් එක මින් පිනා ගියේය. කොතරම් පිනා ගියේද යත් අවසන උපාධියෙන් ඉහළම ලකුණු ලැබුවද 'ස්ටාෆ් එක' පැත්ත පළාතක වැද්ද නොගැනීමට වග බලා ගත් හ.. 3 වරක්ම අයදුම්පත නිගරු කර ප්‍රතික්ෂේප වුනි. 'එයා වළි කාරයෙක්, ජෙප්පෙක්, එයා කව්ද මේවට ඇප්ලයි කරන්න' ඔවුන් පවසා තිබුණි.

මගේ රස්සාව

තරමක් පසුබා ගියද පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගැන්මට සමත් වීමි. එහි 'ආතල්' සහ සමුදීමට සිදුවූ සිදුවීම් වෙනත් සටහනක තබන්නෙමි.
මින් පසු අද වනතුරු මා හට හරිහමන් (ස්ථිර) රස්සාවක් නැත. දැනට තාවකාලිකව ඉගැන්වීම් වැඩක නිරත වෙමි. මා උගන්වන්නේ රටේ ඉතාම නරකයයි හංවඩු ගසන ලද සිසුන් පිරිසකටය. ඔවුන් 'සරසවි සිසුන්' නම් වෙති.

බාහිර පෙනුම

ගෙම්බා සහ මා අතර එක් සමානකමක් ඇත. එනම් බෙල්ලක් නොමැති වීමයි. කොට, තරබාරු, බඩෙකි.
මේ හලෝ...! මගේ පෙනුම එහෙම උනත් මා හිත හොඳ කොල්ලෙකි (ටිකක් වයසට ගියත්) (ඒ කියන්නේ බේබද්දෙක් නොවෙයි.). පොඩි දේටත් හිත උණුවෙන, කම්පා වෙන, ඕනෑවට වැඩිය හිතන එකෙකි. එහෙම හිතන උන් දිරවනවානම් පමණක් මීට පසු පළවන ලිපි පෙළ කියවන්න.

මා ගැන දැනගතු යුතු හැමදේම වගේ මේකේ ඇතැයි සිතමි.

තැන්කූ වේවා..!  

20 comments:

  1. ලියපන් මචන් දිගටම ලියපන්

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. නියමයි සුභ පැතුම්!!!!!!!!!!!!!!!

    ReplyDelete
  4. කපීකේකිAugust 28, 2012 at 6:33 PM

    අකුරු ටිකක් ලොකු කරල දාන්න අලොz

    ReplyDelete
  5. @කපීකේකි ctrl+mouse_Scroll කරල බලන්න අලොz

    ReplyDelete
  6. නියමයි මචන් දිගටම ලියපන්

    ReplyDelete
  7. niyamai machan lassanata liyala tiyanawa

    ReplyDelete
  8. ශා මරු.... ඔන්න මගේ රීඩර් එකෙ මේ බ්ලොග් එකත් තියෙනවා...

    ReplyDelete
  9. හොදට ලියලා තියනවා. හැබැයි කතාව ටිකක් හයි ස්පීඩ් වගේ... එක නිසා වෙලාව අරන් හෙමිහිට ලිවොත් තවත් ලස්සන වේයි කියලා හිතනවා....
    දිගටම ලියන්න. සුබ පැතුම්!!!!

    ReplyDelete
  10. එල ප්‍රොෆා...එල...ඔහොම යං.....

    ReplyDelete
  11. හොදට ලියලා තියනවා....පෝස්ට් ටික එක හුස්මට කියෙව්වා.....තව තවත් හොඳ ඒවා ලියවේවා.දිගටම ලියන්න. සුබ පැතුම්....!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිරිමත් කිරීමට....

      Delete
  12. Godak hodai machan liayala thiyenawa..eth podi deyak mama dekka
    1."එකළ රජකළ ජනතාවාදී ආණ්ඩුවට පින් සිදු වන්නට අප වාසය කළ පෙදෙස අමු අපායක් විය"
    2."අතර වාසනාවකට මගේ මව්පිය දෙපලටම අපේ මහගෙදර ආසන්නයේම විදුහලට මාරුවීමක් ලබාගැනීමට හැකිවීම, මගේ ජීවිතයේ දෙවන පරිජ්ජේදය සනිටුහන් කරයි."

    Ihatha 2kama kale ee anduwama neda?ei ara 1 karunedi viwechanaya kala wage 2weni karunedi isthuuthiwantha une neththe? ehema unanam niyamama bedeem nethi patu adahas nethi writer kenek wage kiyala hithenna tibba..anyway All the best!!!

    ReplyDelete
  13. දිගටම ලියන්න සර්..ජය වේවා..

    ReplyDelete
  14. මරු සහටහන.. මුලින් ම කියෙව්වේ මේක.. පස්සේ හෙමිට ඉතුරුවා කියවන්නම්... :) ඉතා අවංක ආත්ම කථනයක්..
    ජය වේවා..

    ReplyDelete
  15. onna ada indan math enawa me paththe..

    ReplyDelete
  16. බොහොම සන්තෝසයි අයියේ. මමත් ඔය ගම්පළාතේ තමයි. වලස්මුල්ලේ. හොඳටම දන්නවා නේද? මගේ ලොකු තාත්තත් විපුලසාර ඉස්කෝලේ විදුහල්පති වෙලා ඉඳල විශ්‍රාම ගියා 2007 දී. අද ඉඳලා මමත් එනවා මේ පැත්තේ ගොඩ වැදිලා යන්න. දිගටම ලියමු. ජය වේවා.

    ReplyDelete
  17. මේ ලියමනට ගොඩක් කැමතියි.

    ReplyDelete