Wednesday, August 29, 2012

ෂෙරීෆ් (Sheriff)

ෂෙරීෆ් යනු මගේ කැම්පස් බැචෙකි. නමුත් ෆැකල්ටිය වෙනස් ය. ඔහුගේ මවුබස සිංහලය. නමුත් ඔහු මුස්ලිම් ජාතිකයෙකි. බලාගෙන යනකොට ෆැකල්ටිය විතරක් නොව, ඔහුත් මමත් අතර තවත් වෙනස්කම්ද රාශියකි.

මිනිසුන් අතර විවිධ සමානකම් මෙන්ම වෙනස්කම් ද ඇත. එය යම් කෙනෙකු හෙළා දැකීමට තරම් නොවේ. මෙය තේරුම් ගත නොහැකි වූ තැන ගැටළු මතුවේ. ඇත්ත වශයෙන්ම මේ සටහන පාවොච්චාරණයකි. මන්ද මමද එවැනි වරදක් කර, ඊට ලැබිය යුතු හොඳම දඩුවමද විඳ, ඉන් නොසෑහී තවදුරටත් පසුතැවෙන්නෙක්මි. මෙය කියවන ඔබෙන් මා ආයාචනා කර සිටින්නේ මා අතින් සිදුවූ මෙම වැරැද්දට කිසිදා ඉඩ නොතබන ලෙසටයි.

බණ දේශනය අවසන්. දැන් කතාව.

දේශපාලන මත ගැටුමක් හේතුවෙන්, මම ඔහුට දිනක් කැන්ටිමේදී ඉතා දරුණු ලෙස බැන වැදුනෙමි. පහර දීමටද සූදානම් වුවද අනෙක් අය මා වැලකූහ. සාමාන්‍යයෙන් මා එලෙස හැසිරෙන්නෙක් නොවේ. ඒ දිනවල විශ්වවිද්‍යාලය මට කරන ලද බලවත් අසාධාරණයක් සහ අතිශයින් පෞද්ගලික ජීවිතයේ යම් කළකිරීමක් නිසා අසහනයෙන් කල් ගෙවීම මීට ආසන්න හේතුව විය හැකිය. කෙසේ වෙතත් එය සාධාරණිකරණය කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.
ආයෙත් ට්‍රැක් පැන්නා...!

දින කිහිපයක් ගතවිය. මසක් පමණ එකදිගට තිබුණු අසනීප ගතිය නිසා දුර්වල වූ ශරීරයක් හිමිව තිබූ මම දිනක් ක්ලාන්ත වුනෙමි. වහාම මා රෝහලට ඇතුළත් කරනු ලැබීය. රුධිරගත ග්ලූගෝස් මට්ටම 667, එනම් ඉතා අවදානම් තත්වයකට ඉහළ ගොස් තිබුණි.
මෙහි අතුරු ඵලයක් ලෙසට තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වීමි.
රජයේ රෝහලේ සති කිහිපයක් ප්‍රථිකාර ගත්තද යථා තත්වයට පත්වන සේයාවක්වත් තිබුනේ නැත. මා ඉන් ඉවත් කරගෙන් ගොස් පෞද්ගලික රෝහලක විශේෂඥ සේවය සැලසීමට මාපියන් තීරණය කර තිබුණි.
මේ වනවිට 3 වන වසර අධ්‍යයන වාරය අවසන් වීමට තිබුනේ දින කිහිපයකි. නේවාසිකාගාරයේ මගේ බඩු මුට්ටු අස් කරගතව යුතුව තිබුණි. ඊටත් වඩා තවත් සති කිහිපයකින් විභාගය පැවැත්වේ. දින කිහිපයකින් පෙනීම නම් ලැබෙනු ඇතැයි වෛදවරු මත පළ කළද, පොත් හා සටහන් ඇතුලුව අනෙකුත් අඩුම කුඩුම ඉවත්කර ගෙන ගෙදර ගෙන යාමට මම තීරණය කළෙමි. එවිට පෙනුම යළි ලැබුනොත් පුද්ගලික රෝහලේ සිට මට ඒවා පරිශීලනය කළ හැකිය.

නේවාසිකාගාරයට පැමිණි මට දැනගන්නට ලැබුණු පුවත නම් එතරම් සුබදායක නොවේ. මගේ ෆැකල්ටියේ මිතුරන් දේශනයකය. තව පැය ගණනකට ඔවුන් නිදහස් නොවනු ඇත. කිලෝමීටර දෙසිය ගණනක් යා යුතු හෙයින් දැන්ම පිටත් විය යුතුය. 

මා මුහුණ දුන්නේ ඉමහත් අපහසුතාවකටය. පරිගණකය ඇතුලු සංකීර්ණ 'දේපල' වෙන්කර ඇසිරීමට ම පියාට නොතේරේ. මමද පොට්ටයෙක් බවට පත්ව ඇත.

"මචං. කෝ හිටපන් මම අස් කරල දෙන්නම්..." මිතුරකු මගේ අතින් අල්ලාගනු උණුසුමට දැණුනි. මම ඔහු කටහඬින් හඳුනා ගතිමි. ඔහු ෂෙරීෆ් ය!

සියලු දෑ ඉතා ඕනෑකමින් එකතුකර අසුරා දෙනු ලැබුනේ තවත් කළමනාකරණ පීඨ මිතුරන් කිහිපදෙනෙකුගේද සහය ලබාගනිමිනි.

මගේ ලැප්ටොප් පරිගණකයද උරෙහි දරාහෙන, මාද වත්තන් කරගෙන ඔහු සීරුවට පඩිපෙළ බැස්සේය.

මා යන්නට සැරසී වාහනයට ගොඩවීමි.
"උඹට සනීප වෙයි මචන් බයවෙන්න එපා. මම කෝල් එකක් දෙන්නම් උඹට...."
වාහනය පණ ගැන්වුනු විට ඔහු අනිත් උන්ට මෙසේ කියනු ඇසිණ.
"පව් බං සුනෙතා. හිත හොඳ කොල්ලෙක්නේ." 
ඔහු එය කිව්වේ අවංක හදවතේ පත්ලෙන්ම (බොක්කෙන්ම) බවට මට කිසිදු අවිශ්වාසක් නැත. 

මා දක්වන ලද අකාරුණිකත්වයට මට ලැබුණු හොඳම දඬුවම මෙයින් ලැබුණු පසුතැවීමයි.

7 comments:






  1. Ape sheriff. Kavadath hitha honda serious kollek. My one of best friend






    ReplyDelete
  2. ජිවිතේ ඔහොම අවස්ථාවල් වෙනව කාටත්..ඒත් ලොකුම දේ තමන් අතින් වුන දේ ගැන පසුව අවබොධ වූ විට හො සංවෙදී වීමට තරම යහපත් සිතක් ඇත්තෙක් වීම.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි. ඒ ගැන මා අවංකවම මා ගැන සතුටු වෙනවා

      Delete
  3. මට හිතෙන විදියට,ජිවිතයේ විවිධ සිදුවීම් නිසා එක් එක් අවස්ථාවල අපි සිටින්නේ විවිධ මානසික මට්ටම් වල,ඒ සමහර අවස්ථාවල අපේ හැසිරීම සාමාන්‍ය හැසිරීමෙන් වෙනස් වෙන්න පුළුවන්(track පනින්න පුළුවන් ).ඒත් අනිත් කෙනා දන්නේ නැහැ ඒ ගැන.ඒත් අනිත් කෙනාට පුළුවන් නම් ඒ ගැන තේරුම ගන්න ඒ මගින් යහපත් සබඳතා ගොඩ නගා ගන්න පුළුවන්.ඔබේ මිතුරාට ඒ ගැන හොඳ වැටහීමක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක හරි. මම එකඟයි.

      Delete
  4. Sheriff.....one of my faculty mates & still he cares about us more than some of the Sinhalese....I'm Proud of U Friend

    ReplyDelete