Thursday, August 30, 2012

කඳු පාමුල



සරසවියේ ඉගෙන ගනිද්දී සෑම සති අන්තයකම පාහේ මිතුරු මිතුරියන් සමග කොහේ හෝ ඇවිදින්නට යන්නට මම පුරුදුව සිටියෙමි. මෙවර අප තෝරා ගත්තේ නමුණුකුළ කන්ද තරණය කිරීමයි.

උදෑසන 7.30 වනවිට කඳු පාමුලින් ගමන් ඇරඹුවද මග වැරදුණු අපට සැලසුම් කළ වෙලාවට කඳු මුදුනට යා ගත නොහැකි විය. අපේ ගමන් මග මීටර් දෙසියයකට නොඅඩු අංශක 85ක පමණ දැඩි බෑවුමකින්ද සමන්විත වුනේ පාර වැරදීමේ ප්‍රථිපලයක් ලෙසටය. මෙහිදී සිදුවූ එක් ත්‍රාසජනක සිද්ධියක් දැනුදු සිහිවන විට ඇඟ කිළිපොලා යයි. ගල් මුල් අල්ලාගෙන අපි කණ්ඩායම එම අසීරු දුර්ගය තරණය කරද්දී අපේ එක් අපරික්ෂාකාරී මිතුරෙක් 'දේවදත්තයකු' වීම නිසයි. ඔහු පෙරළූ ගලක් ඊට පහළින් සිටි මිතුරකුගේ ඇඟේ ගෑවී නොගෑවී ප්‍රපාතයට පෙරලී ගියේය.

කෙසේ වෙතත් මුඳුනට ලඟාවනවිට සවස 3.15 වී තිබුණි. පැය කාලක කෙටි විවේකයකින් පසු අපි ආපසු බැසීමේ ගමන ඇරඹීමු. 
යළි එනවිටද අපිට මග වැරදුණි. කෙසේ වෙතත් ජංගම දුරකථන සංඥා හොඳින් තිබූ නිසා කණ්ඩායම බෙදී ගොස් හරි පාර සොයාගෙන යළි කණ්ඩායම එකතු කර ගැනීමට හැකිවිය.

කඳුපාමුලට එන විට රාත්‍රී 7.30 පසුවී තිබුණි. මේ වන විටත් ගමෙන් නගරයට පිටත් වන අවසන් බසයත් පිටත්ව සුළු වේලාවක් ගතව තිබුණි.
අවස්ථාවේ හැටියට ත්‍රීරෝද රථ වල (බසය හමුවන තෙක්) බසය හඹා ගොස් අල්ලා ගැනීමට ක්ෂණිකව තීරණය කළෙමු.
කිලෝමීටර කිහිපයක් ගමන් කිරීමෙන් පසු අපට බසය අල්ලා ගැනීමට හැකිවිය. ගාස්තු වශයෙන් එක් අයකු රු. 100 බැගින් ගෙවා බසයට ගොඩවීමු.

මට රත් වුනේ බෝඩිමට පැමිණි පසුය. මා 100 කොළයක් යයි සිතා කරුවලේ ත්‍රීවිල් මල්ලිට දී තිබුණේ රු. 2000 නෝට්ටුවකි.

කාගෙත් අදහස වූයේ එය ගැන සිතීම තේරුමක් නොමැති නිසා අමතක කර දමන ලෙසයි. නමුත් මාසයේ 20 වනදාට තවත් සති 2ක කාලයක් ඇති බවත්, ඊට පෙර මට දීමට ගෙදරට මුදල් නොමැති බවත් සිහිවුණි.
පසුදා උදේ යළි නමුණුකුල පාමුලට ගොස් ත්‍රීවිල් මල්ලී හමුවීමට මම තීරණය කළෙමි. ඕනෑ පිස්සුවකට මා සමඟ සිටින වසන්ත පමණක් මා සමග එක්විය.

අපි එතැනට යනවිට උදේ 10 ට පමණ විය. පාක් එකේ අදාල ත්‍රීවීල් එක තිබුනේ නැත. හයර් එකක් යන්න ඇතැයි අප සිතුවද අන් කුළී රියැදුරන්ගෙන් දැන ගත්තේ ඔහු අද නොපැමිණි බවයි. වෙනදා නම් මේවලාවට ඇවිත් සිටින බව ඇසූ මට බලාපොරොත්තු සුන් විය.

ඉල්ලා ගත් ජංගම දුරකථන අංකය ඇමතූ නමුත් ප්‍රතිචාර දැක්වූයේ නැත. මගේ සල්ලි වලින් ඊයේ රාත්‍රී සාදයක් දමා ඇඟේ අමාරුවට තවමත් නිදි බවට මම උපකල්පනය කළෙමි. මෙපමණ දුර ගෙවාගෙන අපි යළි පැමිණෙනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත. දැන්නම් ඔහු සොයා ගෙදරට ගියත්, ඔහුට මගේ රු. 2000 ලැබුණු බව පිළිගත්තත් කිසිදු ඵලක් නොමැති බව මට වැටහුණි. ඊයේ රාත්‍රී සාදයට ඔහුට එම මුදල් වියදම් වීම අසාමාන්‍ය නොවේ.

සියලු බලාපොරොත්තු අත් හැර අප එන්නට හැරුණා පමණකි, ඔහු පැමිණ අප අසල ත්‍රිරෝද රථය නැවැත්වීය.
"අපිව මතකද? අපි කැම්පස් එකේ. ඊයෙ රෑ බස් එක් අල්ලන හයර් එක..."
"ඔව් ඔව්. මොකද මතක නැත්තේ. ඊයෙ රෑ පොඩි පාටි එකක්. ඒකයි දවල් වුනේ.දන්නැද්ද.."
මගේ උපකල්පනය ඉතාම නිවැරදිය.
"මේ...මෙයාගේ රුපියල් 2000ක් වැරදිලා ඊයෙ රෑ දීල කරුවලේ" මගේ මිතුරා කීවේ වැඩකට නැති කතාවකි.

මීළඟට ත්‍රීවිල් මල්ලි කියූ දෙයින් මම විමතියට පත්වීමි.
"ආ.. ඒ සල්ලි අය්යලගෙද..? ඒක තමයි මාත් බැලුව එක පාරටම පර්ස් එකේ සල්ලි වැඩිඋනේ කොහොමද කියලා. ඔයගොල්ලෝ ආපහු එයි කියලා හිතුන නිසා මම ඒකට අතවත් තිබ්බෙ නෑ."
මෙසේ කියා ඔහු මගේ නෝට්ටුවම සිය පසුම්බියෙන් ඇද දුන්නේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ අපි යළි ආවෙමු. එන ගමන් මා කල්පනා කළේ පිටිසර ගම් පළාත්වල තවමත් මනුස්සකම් සෝදාපාළු නොවී පවතින බවයි.

වසන්ත, ඔබට මෙම සිදුවීම මතකද..? (මගේ නම සඳහන් කරන්න එපා)

No comments:

Post a Comment