Saturday, September 1, 2012

ගුරු සිත සලිත කළ ගැමි සුවඳ


කලකට පසු අද යළිත් අතිශයින් සංවේදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. අවුලකට ඇත්තේ එහි ප්‍රතිඵලය සිත් තැවුලකින් කෙළවර වීමයි.

ප්‍රථම උපාධියේ අවසන් විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් මාතර නගරයේ පුද්ගලික පන්තියක් ආරම්භ කළෙමි. ඉලෙක්ට්‍රොනික් හා රොබෝ උන්මත්තකයකු වූ මගේ පාඨමාලාව 'ක්ෂුද්‍රපාලක පරිගණක වැඩසටහන්ගතකරණය හා රොබෝ තාක්ෂණය' නම් විය. ඉතා කෙටි ශීර්ෂයකින් යුත් නිසාදෝ එය අතිශයින් ජනප්‍රිය විය. කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් සූ... ගාලා ශිෂ්‍යයෝ 4 ක් වැනි අති විශාල සංඛ්‍යාවක් ආරම්භයේ සිටියත් පාඨමාලා ගාස්තු එකතුකරනවිට එය 2 දක්වා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වී තිබුණි.

එක් ශිෂ්‍යයෙක් නම් ආරම්භක දිනයේම ඔහු පන්තිය නතර කරන බව මට දිනය අවසානයේ දැන්වීය. මගේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් නැති බවත්, මේ පාඨමාලාවේ අන්තර්ගතය තම අවශ්‍යතාවට නොගැලපෙන බව ඔහු අවංකව කියා සිටියේය. රූපවාහිනී අළුත්වැඩියා කිරීම හා ගෙවල් වයරින් කිරීම ජීවිකාව කරගත් ඔහුට කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු හෝ අධි තාක්ෂණික වාහන පරිගණක පාලක පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත්, දුප්පත් පවුල් කාරයෙකු වූ තමාට විවිධ රටා මවන බුදුරැස්මාලාවක් සාදා ගැනීම ප්‍රමාණවත් බවත්, මගේ පාඨමාලාවේ වපසරිය පුළුල් බවත්, මගේ දැනුමට ගරු කරන බවත් ඔහු ඉතා අවංකව දන්වා ඉවත් විය. 

උපාධිය ලබාගත් පසු රැකියාවේ හා පශ්චාත් උපාධියේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙන් මට එම පාඨමාලාව එක් ශිෂ්‍ය කණ්ඩායමකට සීමා කිරීමට සිදුවිය. (එය ත්‍රෛමාසික පාඨමාලාවකි.)

වසර දෙකකට පසු...

අගනුවර අධික කාර්යබහුල ජීවිතයට සමු දී හැදුණු වැඩුණු නගරයට පැමිණියෙමි. එක් දිනක් ඉහත කී අපූරු ශිෂ්‍යයා මට අහම්බෙන් මුණ ගැසුණි. මා පාඨමාලාව ඉගැන්වීම නවතා දමා ඇති බව ඇසූ ඔහු බෙහෙවින් කණගාටු විය. කෙසේ වෙතත් මගෙන් එම පාඨමාලාව නිවසටම පැමිණ තමන්ට අවශ්‍ය ලෙස හැදෑරීමට අවැසි බව කියා සිටියේය. ඒ සඳහා ගාස්තුවක්ද කියන ලෙස ඉල්ලීය. රු. අටදහසකට එය තීන්දු විය.

ඔහු අද දහවල් 12 ට මගේ නිවසට පැමිණ සවස 5 පමණ වනතුරු මා සමඟ එකී කාරණයේ යෙදුණි. හෙතෙම දහවල් ආහාරය නගරයෙන් ගෙන පැමිණ තිබුණෙන් මම සවස 3ට පමණ නිවස තුළ දිවා ආහාරය ගත් අතර ඔහු ෆෝටිකාවට ගොස් අම්මා සහ තාත්තා සමඟ පිළිසඳරක යෙදෙනු ඇසින.

සවස 5.30ට පමණ අදට පාඩම අවසන් කළෙමි. පාඨමාලා ගාස්තුවෙන් කොටසක් ලෙසට රු. පන්සියයක් ඔහු මට දුන් අතර මම එය එතරම් ගණනකට නොගත්තෙමි.
ඔහුගේ යම් විශේෂයක් මා දුටුවේ අන්තිම මොහොතේය. වයස තිස් ගණනක් වූ ඔහු මට දණ ගසා වැන්දේය !
එවෙලේ යම් නුහුරු හැඟීමක් මසිත පහලවුවද මට වඩා ඉතා අඩු වයස් පරතරයක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට එසේ කළ බව සිහිවී එම හැඟීම මගහැර දැමීමට උත්සාහ කළද සාර්ථක වූයේ නැත, මොහු අඩු වශයෙන් අවුරුදු දහයක්වත් මට වඩා වැඩිමල් බව මට සිතුණි.

කෙසේ වෙතත් මේ සිද්ධිය මම අම්මාට කීවෙමි.
"අනේ එයා ගියාද..? පව් හරිම අහිංසක ගැමි ළමයෙක්. ගොඩක් ඈත ඉඳන් ඇවිත් තියෙන්නෙ. හරියට ගුරු ගෞරවේ. අපිත් එක්ක එකට වාඩි උනේම නෑනෙ කොච්චර කිව්වත්. සීනි තේකොළ, බිස්කට් එහෙමත් ගෙනත් තිබුණා. සල්ලි එහෙම ගන්න එපා කීයටවත්..." 

සල්ලි..? එම පිළිකුල් සහගත වදන මා සිත තුළ දෝංකාර දෙන්නට විය.
මා ඔහුගෙන් මුදල් ගත් බව සිහිවී සිත ගිණියම් විය. 

ඉතා ධර්මානුකූල දිවියක් ගත කරන තමා අසාධාරණ ලෙස තම සේවයට  ගාස්තු අය නොකරන බවත්, බිරිඳ රැකියාවක් නොකරන බවත්, තමා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ආදරබර පියෙකු බවත් ඔහු කී බව මට සිහිවී මට පපුව 'හෝස්' ගා ගියේය. මට එවෙළේ ආවේස වී සිටියේ කිනම් යක්ෂයෙක්ද...?

මා දැන් සිතන්නේ ඔහු අමතා නැවත පැමිණෙන දිනකදී මුදල් රැගෙන නො එන ලෙස ඉල්ලා සිටීමටයි. ඔහුගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද...?

4 comments:

  1. Harima hondama article ekak. Mage escalate kandulu awaa. Ada aluth mod kale lamaiwath mehema wandinne neha. Hondama hariyatamai, guruwaraya piyavi sightsee pathweema. Great story

    ReplyDelete
  2. සල්ලි ගත්ත නම් ඉතින් හොදට උගන්නන්න වෙන මොනව කරන්නද?බොටත් ඉතින් සල්ලි කීවොත් :))

    ReplyDelete
  3. අනේ මන්ද..මාරම දුකයි මේක කියවල.. :( එයා මොනා කියයිද මන්ද..ඒත් පව්..:(

    ReplyDelete
  4. මේක ලියන වෙලාවෙ කතාකරල 'ආයෙ සල්ලි ගේන්න එපා' කියන්න හිතාගෙන හිටියත් පස්සෙ මට හිතුන මේ මනුස්සයා ආයෙ නෑවිත් ඉඳීද කියල. ඒක නිසා ඒ අදහස අත් හැරියා. ආයෙ ආවම වෙනදටත් වැඩිය හොඳට උගන්නනවා සල්ලි ගන්නෙ නෑ මොනම හේතුවක් නිසාවත්.

    ReplyDelete