Thursday, September 13, 2012

ජීවන සුනාමිය

ජීවිතයේ වාසනාව හා අවාසනාව සදා අප සමග නොවුවත්, ඒ ද්විත්වයම කිසිදා අප හැර නොයන බව මට තදින් විශ්වාස කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අත්විඳීමට සිදුවූ විශ්වාස කිරීමට තරම් නොහැකි එක පිට එක පැමිණි දුක්, කම්කටොළු මැදින් මා සොයා ආ වාසනාව නිසාය. විටෙක මා තරම් අවාසනාවන්තයෙකු මේ මිහිපිට නොමැති යයි හැඟුනිද, ඒ අවාසනාවම මට ජීවිතයේ නොසිතූ විරූ ජයග්‍රහණ ළඟා කර දී ඇති අයුරු මා විශ්මයට පත් කරයි. ජීවිතය නම් මෙයැකැයි සියල්ල උපේක්ෂා සහගතව ඉවසීමටත්, කම්පා නොවීමටත් මා ප්‍රගුණ කළේ ඒ අසමසම අවාසනාවන්ත සිදුවීම් සමුදායයි.

ඒ වන විට ගෙවෙමින් තිබුණේ මගේ සරසවි දිවියේ තෙවන වසරයි. ඉතා උද්යෝගිමත් ලෙස අධ්‍යයන කටයුතු කරමින් සිටි මගේ ඒකායන අරමුණ වූයේ උපාධියේ ඉහළම සාමාර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමයි. තෙවන වසර ප්‍රථම සෙමෙස්තර විභාගයෙන් GPA අගය ලෙස 3.8 ඉක්මවින් මා කණ්ඩායමේ ඉහළම ළකුණු වාර්තා කර තිබීම ඒ බලාපොරොත්තු තවත් තීව්‍ර කළේය.

නමුත් අවාසනාව මා හඹා ආවේ මටත් හොරාය. වසර 2 1/2 කට අධික කාලයක් පෙරුම් පුරමින් බලා සිටි මට ඇයගෙන් ලැබුයේ අනපේක්ෂිත පිළිතුරකි. මෙයින් ලද ජීවිත කළකිරීම හා වෙනත් කරුණු කිහිපයක් මුල් කොට ගෙන මට දැඩි මානසික අවපීඩනයකට මුහුණ දීමට සිදුවිය. එය එකම හේතුව නොවුවත්, මා ක්‍රමයෙන් කෘශ වී සිරුර වැහැරී දැඩි ලෙස රෝගාතුර වූයෙමි. එක්තරා දිනෙක එහි සීමා මායිම් දෙගොඩ තලා ගලා ගොස් මා ක්ලාන්ත වී ඇද වැටුනි. 
රෝහලට ඇතුළත් කර කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ මා සදාකාලික රෝගියකු බවට පත්ව ඇති බවයි. මගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 667 ඉක්මවා තිබූ අතර මා දියවැඩියා රෝගයේ ඉතා අවාසනාවන්ත ගොදුරක් වී තිබුණි. ඒ වනවිට මා යන්තමින් ජීවිතයේ 24 කණුවට ළගා වූවා පමණි.
මියෙන තුරාම මා හට දිනපතාම දෙවරක් ඉන්සියුලින් එන්නත් කිරීම අනිවාර්ය බව වෛද්‍යවරු නිර්දේශ කළහ. ඔවුන්ගේ තවත් එක් නිර්දේශයක් වූයේ එම එන්නත මා විසින්ම කරගත යුතු බවයි! 

මෙය මා දැඩි කළකිරීමකට පත්කිරීමට සමත් විය. වෙනත් අයකු විසින් කරන එන්නත් කිරීමද මා ඉවසන්නේ ඉතා වේදනාවෙනි. දිනකට දෙවරක්, මියෙන තුරාම මගේ සිරුර මවිසින්ම සිදුරු කර ගැනීම ඉවසිය හැකිද? තව කොපමණ දුරක් යා යුතුව තිබේද..? 
මීට අමතරව මුළු ජීවිත කාලයටම බලපාන පරිදි මට සියලුම රසවත් ආහාර සපුරා තහනම් කරන ලදී.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ වූයේ, සිරුරේ සංඥා හසුරුවන රසායනික සමතුළිතතාව බිඳ වැටීම හේතුවෙන් මගේ දෑසේම පෙනීම නැති වී ගියාට පසුය. 

තෙවන වසර අවසන් විභාගය ළඟ ළඟ එයි. මේ මානසික කායික තත්ත්වය හමුවේ මගේ අරමුණු වලට කෙසේ නම් යා හැකිද..? එය සිහිනයක් පමණි. මේ ගෙවී යන්නේ අධ්‍යයන නිවාඩුවයි.
මා ඇය සමඟ අමනාප නොවුවත්, ඇය මා බැලීමට පැමිණියේ නැත. සදාතනික රෝගියකු බවට පත්ව ඇති මා, මින් ඉදිරියට ඇය පමණක් නොව සමස්ථ ගැහැණු වර්ගයා විසින්ම ආදරවන්තයෙකු, ආදරබර ස්වාමි පුරුෂයකු හා තම දරුවන්ගේ ආදරණීය පියා ලෙස පිළි නොගනු ඇත. මා නිරෝගී කල ප්‍රතික්ෂේප කරන ලද හේතුන් ගැන සිතන විට, මෙය දරා ගත නොහැකි තරම් කටුක යතාර්ථයක් බව මට පසක් වුණි.

මට සිතුනේ මා තරම් අවාසනාවන්තයෙක් මිහිපිට තවත් නොමැති බවයි.
යන්තම් පෙනීම ලබා, මුහුණ දුන් තෙවන වර අවසන් විභාගයේ ප්‍රථිඵල නිකුත් වීමත් සමගම එය සනාථ විය. සියලුම විශයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබා, මා කණ්ඩායමේ අන්තිමයා වී තිබුණි. GPA යන්තමින් 2.0 ඉක්මවීය. ප්‍රථම පන්ති සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් බවට පත්ව තිබුණි. මීට පෙර විභාගයේ Batch Top වූ මා මෙවර Batch Bottom වීම කොතරම් දරුණු දෛවයේ සරදමක්ද..? මගේ එකම සැනසීම වූ ඉහල සාමාර්ථයක් සහිත උපාධිය හා අනාගත රැකියාව කෙරෙහි බලාපොරොත්තුද  කෙමෙන් මා හැර යන බව දැනුණි.

කෙසේ වෙතත් අවාසනාවට දිනුම නොදී සටන් කළ යුතු බව මම තීරණය කළෙමි. මගේ අරමුණට යාමට නම් අවසන් වසර සියළුම විෂයන්ට අති විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්, ගෞරව උපාධිය සඳහා සම්පූර්ණ කළයුතු පර්යේෂණයද ඉතා උසස් තත්වයෙන් තිබිය යුතුය. මේ සඳහා ඉතාමත්ම දැඩි කැපකීම් කිරීමට අවශ්‍යය. ඉතාම සුළු අත්වැරදීමකින් පවා එය අහිමි වී යා හැකිවීමේ අවදානම මා දැරිය යුතුය.

ඔව්..මම එය කළෙමි...!

මට අවශ්‍ය කර තිබූ පන්ති සාමාර්ථය සහිතව මා උපාධිය ඉතා ඉහළින් සමත් වී තිබුණි. මෙවර මට සිතුනේ මා ඉතා වාසනාවන්ත බවයි.

නමුත්... මා සිතුවා වැරදිය....'කට වැඩි නිසා' මා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම විශ්වවිද්‍යාලය විසින් නිගරු කොට ප්‍රතික්ෂේප කරන ලදී.
පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට පෝළිමේ රස්තියාදු වූ මට දැනුනේ නැවතත් අවාසනාව යළි මා ලුහු බැඳ එන බවයි. රටේ සියළුම ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගම් මගේ පන්ති සාමාර්ථය සත පහකට මායිම් නොකර මගේ සේවය අනවශ්‍ය බව පැවසීය. අවසානයේ අප ශිෂ්‍ය කණ්ඩායෙම් ඉතිරිව සිටියේ මාත්, තව අයෙකුත් පමණි.
අවසානයේ මට රැකියාවක් ලැබුණි. නමුත් අවාසනාවේ සෙවනැළි තවමත් මා අත් නොහැරි බව වැටහුනේ රැකියාවේ වෙහෙසකාරී බවත්, ඊට ගෙවනු ලැබූ සොච්චම් වැටුපත් හේතුවෙනි. මේ වන විට රැකියා ලබා සිටි මගේ 'බැචාලා' අතුරින් ඉතාම අවම වැටුපකට සේවය කළේ මාය. කොතරම් අඩුද කියනවානම්, ඉතා දුක්ඛිත තත්ත්වයේ නවාතැන් හා ආහාර පහසුකම් ලබමින් පවා මා ලැබූ මාසික චේතනය, මාසයේ මූලික වියදම් ආවරණය කිරීමටවත් ප්‍රමාණවත් නොවීය. මා අවසන් වසරේ කරන ලද සියළු කැපකෙරීම් ගඟට කැපු ඉනි මෙන් විය. මා ලැබු දැනුමෙන් කිසිවෙකුටත් පළක් නොවන බව වැටහුණි.

නමුත් අවාසනාව තල්ලු කරගෙන වාසනාවට මා වෙනුවෙන් මවෙත පැමිණීමට ඉඩ හසර ලැබී තිබුණි.
කිසිවෙකුත් නොසිතූ පරිදි, අසාර්ථක යයි අත් හැර දමා තිබූ සංකීර්ණ ව්‍යාපෘතියක්, ඉතා දැඩි කැපවීම මත අති සාර්ථක ලෙස දින කිහිපයක් තුළ 'ගොඩ දැමීමට' මට හැකිවිය. එතැන් සිට මවෙත සියල්ල ළඟා වන්නට වූයේ නන්දා මාලිනියගේ 'පූජාසනයේ ඔබ හිඳුවා..' ගීතය යථාර්ථයක් බවට පත් කරමිනි.

නමුත් මෙන්න මේ සිදුවීම නිසා මා එම රැකියාව අත් හැර දමා යළි මගේ ප්‍රථම අරමුණට යාමට ප්‍රයත්නයක යෙදුනෙමි. මා උගත් සරසවිය නව උපකුලපතිවරෙකු යටතේ පාලනය වුවද, ඔහු අසත්‍ය වූ කේළාම් විශ්වාසයට ගන්නෙකු වීම මා නැවත වරක් කළකිරීමට තරම් ප්‍රබල සාධකයක් වීම මගේ අවාසනාවක්ද නැත්නම් මගේ මවු සරසවියේ අවාසනාවක්ද යන්න නොදනිමි.

අවාසනාව වාසනාව බවට පරිවර්තනය කිරීමට තරම් මා දිරිමත් වීම ගැන අද උදම් අනමි. මා වැළඳගත් රෝගයට සාප කරමින් නොසිට මම එය පිළිබඳව ගැඹුරෙන් හැදෑරීමි. ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන්නට මෙය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පෙනේ.

කෙසේ වෙතත් රටේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක්ම මා උණුසුම් ලෙස පිළිගනිමින් මගේ දැනුමට නිසි අගයක් එක් කළහ. ඉතා දැඩි තරඟයකින් අනතුරුව මා පමණක්ම තෝරා ගැනීමට තුඩුදුන් එක් ප්‍රබලම සාධකයක් වූයේ අවාසනාව විසින් මා උගැනුමට පොළඹවන ලද විරල දැනුමයි. 

මා හට අවාසනාවද, වාසනාවද ගෙනා ජානය (gene) 'LARS2' බව මම සොයාගතිමි.

5 comments:

  1. අවාසනාවත් හැමෝටම එන්නෙ නෑ ඒ අතින් ඔයා වාසනාවන්තයි...බලන්න මගේ ජීවිතේ අවාසනාව කියන දේ ඇත්තෙම නෑ...මට මේ වෙලාවට හිතෙනවා අනේ මටත් අවාසනාව තිබුනනම් කියලා...

    ReplyDelete
  2. සැබෑ මිනිසෙක් පොත මතක් උනා....

    ReplyDelete
  3. මේ ජීවන කතරේ සැප දුක සමබර වේ...

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්
    ඔබගේ ලිපි සිය්ල්ලම එක හුස්මට කියෙවා...
    අව්ලක් නෑ ඔක්කොම එලකිරි..
    ප්‍රශ්න එනකොට තමඊ අපි ජීවත් වෙනවා කියල තෙරෙනෙ
    එවත් එක්ක අපෙ ජීවේතෙට හොද පන්නරයක් ලබෙනවා..
    හමදෙයක්ම හොදින් වෙන්න කිය පතනවා

    ජය

    ReplyDelete
  5. අඩේ පුදුම ලිපියක්.

    මිනිහෙකුට උත්සාහ කලොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක හොඳින් ඔප්පු කරපු ලිපියක්.

    ජය වේවා.

    ReplyDelete