Tuesday, September 18, 2012

සමාධි සුව


ඇල්ලකන්ද කියන්නෙ වනගත ආරණ්‍යයක්. මේකෙ බොහොම සිල්වත් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බොහොම නිදහසේ භාවනායෝගීව කල් ගත කරනව. මනුෂ්‍ය ආශ්‍රය, භෞතික සම්පත් පරිභෝජනය ඉතා අල්පයි. මේ මෑතක් වෙනතුරුම ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට (වෙන වෙනම කැලේ මැද තියෙන්නෙ.) විදුලියවත් තිබුණෙ නැහැ. කාලෙකට පිණ්ඩපාතෙන් තමයි දානය සරි කර ගන්නෙ. දැඩි විනයක් රකින නිසා දනිස් පොල්කටු ළඟින් ලනුවකින් ගැටගහලා කියලයි මිනිස්සු කියන්නෙ.(මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ.)

මම උසස් පෙළ කරන කාලෙ දැඩි සිත් රිදීමක් වෙලා, භාවනා කරල හිත පොඩ්ඩක් හදාගන්න හිතුන. ඔව්. ඔව්. වයසෙ වැරැද්දට හදාගත්ත හිතේ අමාරුවක් තමයි. (ඔය වයසට එහෙම වෙන්නෙ නැත්නම් ඉතින් මොකක් හරි අඩුපාඩුවක්). මේ දවස්වල මට ආරංචි වුනා ඇල්ලකන්දෙ භාවනා වැඩසටහනක් යනවය කියල. තරුණ අයත් ගොඩක් සහභාගී වෙනවලු. අසහනය නිසා නින්ද යන්නෙ නැති තව යාලුවෙකුත් කැමති වුනා මාත් එක්ක භාවනාවට සෙට් වෙන්න.

ඉතින් අපි උදේ භාවනා කරල දහවල් දානෙන් පස්සෙ ගියා නායක ස්වාමීන් වහන්සෙ මුණගැහිල ටිකක් සුහදව සාකච්ඡාවක යෙදෙන්න. ඒ වෙනකොට මගේ හිත සෑහෙන්න දුරට පහන් වෙලා. මූණත් එළිය වැටිලා කියලයි යාලුව කිව්වෙ. භාවනා කරන අය දන්නව ඇති මේකෙ ඇත්ත නැත්ත.

'සුධම්ම' නායක ස්වාමීන් වහන්සෙ බොහොම ප්‍රියමනාප, පැහැපත්, නිවුනු කෙනෙක්. අපි සුහදව කතා කර කර ඉන්නකොට එකපාරටම ස්වාමීන් වහන්සෙ මගෙන් ඇහුවනෙ

"මහත්තයට හිතේ ප්‍රශ්නයක් තියෙනවද?"
පුදුම හිතුනත් මම "ඔව්" කිව්වා.

මුවගට උපේක්ෂා සහගත මඳ සිනාවක් නගාගත් ස්වාමීන් වහන්සෙ කිවුවා 
"මේ ළගදිත් මහත්තය වගේම තරුණ ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇති කරගෙන මාව හම්බෙන්න ආව. එයා නැවතිල හිටපු ගෙදර ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන......."

මා මගේ ගැටළුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළෙ නැතුවම උන් වහන්සේ බොහොම කාරුණිකව මට උපදෙස් රාශියක් දුන්නා.
මේක හුදෙක් අනුමාන කිරීමක්ද...? සමහරවිට මෙහෙම 'කේස්' නිතරම අපේ ස්වාමීන් වහන්සෙට එනව ඇති. ඒත්.....
ඒ වෙලාවෙ මම කියන්නත් කළින් ස්වාමීන් වහන්සෙ ප්‍රශ්නෙ ගැන කතාකළේ හරියට සියල්ල දැනගෙන වගේ විශ්වාසයෙන්. අනිත් එක යාළුවත් ඉද්දි මගෙන්ම අර ප්‍රශ්නෙ ඇහුවෙ ඇයි..?

මම ස්වාමීන් වහන්සෙගෙන් අවසර අරගෙන ආපහු ආවෙ කළින්ටත් වැඩිය පැහැදීමෙන්.
ඒ මානසික පිබිදීම මට විශ්වවිද්‍යාලයෙදී පවා අති සාර්ථක වෙන්න සෑහෙන දුරට බලපෑවා කිව්වොත් නිවැරදියි.    

2 comments:

  1. ඇල්ලකන්දට ඉස්සර බල්ලො ගෙනත් දානව අවට ගම්වල මිනිස්සු....බල්ලො ජරා කලාම හරිම කැතයි එතන.....
    ඒ අවට තියෙනව මතක විදියට වැවක්...හරි ලස්සන පොට් එකක්...යන්න ඕනි ආයි වතාවක් ඒ පැත්තෙ...
    දැන්නම් කැලේ එහෙම අඩු ඇති....

    ReplyDelete
  2. හ්ම්ම්ම් වසන්තයක්ම උදා වෙවා.......

    ReplyDelete