Sunday, June 16, 2013

ජීවන වියදම

ජීවන වියදම පිළිබඳව මනා වැටහීමක් ලැබීමට නම් අගනුවර (සරසවි පරිශ්‍රයෙන් පරිබාහිරව සාමාන්‍ය ජනයා ගැවසෙන පරිසරයක.) ටික දිනක් හෝ ගත කළ යුතුය. අද උදෑසන මා පිළියන්දල බෝකුන්දර නගරයේ දිලිඳු ආපන ශාලාවකට ගොඩ වැදී උදෑසන අහර පිණිස, අල්ලක ප්‍රමාණයකට නොවැඩි තුනී පොල් රොටී 4ක් හා සීනි නොයෙදූ කහට කෝප්පයක් ගතිමි. (තිබූ කුසගින්නේ තරමට එයද කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා හා සමානය!) අවසන එහි මිළ ඇසූ මට ඇතිවූයේ කළකිරීමකි. එය රු. 92/= (20x4+12) විය. 

ඔව්. එය මවැන්නෙකුට දරාගත නොහෙන තරම් මිළක් නොවන බවද, අද කාලේ භාණ්ඩ මිළේ හැටියට එය අරුමයක් නොවන බවත් ඔබ පවසනු ඇත.

එහෙත්, මා කල්පනා කළේ එය රු. 3,000 කට ආසන්න දෛනික ආදායමක් හිමි මට පවා හොඳටම දැනෙන ගණනක් වූයේ නම්, දිනකට රු. 1000ක පමණ ආදායමක් ලබන, සිවු දෙනෙකුගෙන් සමන්විත පවුලකට එය කෙසේ දැනෙනු ඇත්ද කියායි. 92x4=368, එනම් උදෑසන ආහාරය සඳහා පමණක් ඔවුනට සිය ආදායමෙන් 36.8% ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. දිවා හා රාත්‍රී ආහාරය පිණිස මෙම පරිසරයේ එක් අයෙකුගේ අවම වියදම රු. 80x2, සිවු දෙනෙකු සඳහා සම්පූර්ණ දෛනික වියදම ආසන්න වශයෙන් (60+80+80)x4= රු. 880.00 ක් වේ. එනම් මුළු ආදායමෙන් 88% කි!. 

අප මේ කතිකාව කරන්නේ අප සමාජයේ සාතිශය බහුතරයකගේ මාසික ආදායම රු. 30,000 (එනම් දෛනික ආදායම රු.1000)නොඉක්මවන සන්දර්භයක බව අමතක නොකරනු මැනවි!.
එනම් මේ රටේ අති බහුතරයකට සිය ආදායමෙන් 90% පමණ ආහාර නම් ප්‍රාථමික අවශ්‍යතාව සඳහා පමණක් දැරීමට සිදුවේ නම් අනෙක් අවශ්‍යතා ගැන කවර කතාද? කොටින්ම, අධ්‍යාපනය සඳහා 6% ඉල්ලා සිටි සරසවි ඇදුරන් වන අපි සමඟ හදවතින් බැඳී සිටි මේ රටේ සුවහසක් ජනතාවගේ මුළුතැන්ගෙයි ලිප්බොක්කේ තත්ත්වය එසේය. මෙය ඛේදවාචකයක් නොවන්නේද...?

මට කීමට අවැසි වූ සත්‍ය කතාව මෙය නොවේ.

පණ නල ගැටගසා ගැනීම පිණිසම සිය ආදායමෙන් වැඩි කොටස වෙන්කරන්නට සිදුව ඇති ජාතියක්, අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ උදෙසා මුදල් වෙන් කිරීම මොන තරම් නම් විශිෂ්ට කැපකිරීමක්ද? ඒ කැපකිරීම කිරීමට සූදානම්ව එක්සිත්ව සිටින්නේ ඉහත කී ජනතාව වීම සුවිශේෂිතය. මොනතරම් නම් ශ්‍රේෂ්ඨත්වයක්ද? 
ඒ ගැන සිතනා මොහොතක් පාසා සිත බරව යයි.

3 comments:

  1. පසුගිය ජූනි 12 වැනිදා උදේ මමත් මගේ බිරිඳත් රාගම ගුවන් පාලම අසල ජාඇල පැත්තට යනවිට වම් අත පැත්තේ තිබෙන තෝසේ කඩයෙන් තෝසේ තුනයි, උළුඳු වඩේ දෙකයි කාලා, ප්ලේන් ටී දෙකක් බීලා, කුඩා වතුර බෝතලයක් ගත්තා. බිල රු 245 යි. අපි දෙන්නම ජීවත් වෙන්නේ විශ්‍රාම වැටුපෙන්. බැංකු ණය, මාසික බිල්පත්, එක දරුවකුගේ අධ්‍යාපන වියදම (වෛද්‍ය විද්‍යාලයේ) බැලුවම සහ අපි පාර අයිනේ ඉන්නකොට යන අලුත් වාහන කන්දරාව දැක්කම, 'අපි කවුද මොනවද කරන්නේ' කියලා අපෙන්ම අහගන්න වෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  2. හ්ම්ම් මම උදේ වැඩට ගියාම කන්න තියන එකම තැන කිරිබත් කෑල්ලක් රුපියල් 60 යි. පරාටා එකක් 90 යි. කඩල කෑවොත් 80 යි. දවල්ට කන්න පුළුවන් අඩුම කෑම එක 100 යි. හවසටත් 100 වගේ වියදම් කරන්න වෙනවා. ප්‍රවාහන ගාස්තුත් එකතු කළාම අනිවාර්යෙන් දවසට රුපියල් 400-450 ක් යනවා. ඔය අස්සේ විවාහ උත්සවයකට යන්න වුනොත්, එහෙම නැත්තම් ලෙඩක් හැදුනොත්, හදිස්සියේ බඩු ගන්න වුනොත් එහෙම මාසේ ඉවර වෙනකොට පඩිය ඉවරයි.

    ReplyDelete
  3. ජිවන වියදම අඩුම රටක් හොයනවනම් මෙහෙට එන්න .... එත් ජොබ් කරන්නනම් එන්න එපා .... මම අලුත් එකෙක්
    http://onemalaysiasinhala.blogspot.com/

    ReplyDelete