Tuesday, August 28, 2012

ලාංකික විද්‍යාඥයා සහ මාර්ග බාදකය


අසල්වැසි රටේ ජන නායකයන් ලෙසට අති අග්‍රගණ්‍ය විද්‍යාඥයන් සහ විශේෂඥ ඉන්ජිනේරුවරුන් නම් කෙරෙද්දී, හැමදාමත් අපේ රටේ එවැනි තැන්වලට මුසා බස් තෙපලීම සිය වෘත්තීයේම කොටසක් වන නීතීඥයන්ම පත් වීමට, ජනතාව අතර වීරයන් මැවීමේ පරම වරප්‍රසාදය ලද අපේ මාධ්‍යවේදීන් සම්පූර්ණයෙන්ම වගකිවයුතුය.

පහත දැක්වෙනුයේ මගේ සත්‍ය අත්දැකීමකි. මා පැවසූ කරුණු වල යථාර්ථවදීභාවය මෙය කියවා පසක් කර ගනු මැනවි.

ගාලු පාරේ කොළඹ දෙසට ධාවනය වූ නගරාන්තර බසයට කටුබැද්ද හන්දියෙන් ඔහුත් මමත් ගොඩනැඟුනෙමු. අපට වැඩි දුරක් යාමට හැකිවූයේ නැත. අඟුලාන පොලිස් මුරපොලේ මගීන් පරීක්ෂාව සඳහා බසය නවත්වනු ලැබීය. එය යුද්ධය නැගලා ගිය කාලය බැවින් අප සියලු දෙනා බසයෙන් බැස්සේ කැමැත්තෙන්ම ය.

මුරපොලේ නිලධාරීන් සියලු මගීන්ගෙන් තමා ගැන කෙටි හඳුන්වාදීමක් විමසූහ. මාත් සමඟ බසයට ගොඩවූ ඔහු හඳුන්වාදීමට අවස්ථාවයි මේ. ඔහු ආතර් සී. ක්ලාක් ආයතනයේ සේවය කරන සිරිලක අති අග්‍රගණ්‍ය විද්‍යාඥයෙකි. (ඉලෙක්ට්‍රොනික විද්‍යාව) කොටින්ම කිවහොත් ඔහුගේ සේවය වනුයේ වැඩි කොමිස් මුදල් නිසා මෙරටට ගෙනවා වැඩි දවසක් යන්නට මත්තෙන් ක්‍රියා විරහිතවන රු.කෝටි ගණන් වටිනා අධි තාක්ෂණික උපකරණ ඉතා අඩු පිරිවැයකින් ගොඩ දැමීමයි. මෙලෙස ඔහු ජාතියට ඉතිරි කර දී ඇති ජාතික ධනය රු. කෝටි 700 ඉක්මවන බව කිවහොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ.(මෙරට මාධ්‍ය වලින් සැබෑ වීරයන්ට දී ඇති අධික ජනප්‍රියතාව කොතරම්ද යත්, ඔහුගේ නම ඔබ කිසිවෙකුත් කිසිදින අසා නැති බවට මට 100%ක් ම විශ්වාසයි.)

ඉතින්, අමුතු යමක් සිදිවූයේ නැත. හැමදාම මේ රටේ සිදුවූ දෙයම මෙවර ඇස් පනාපිටම යළිත් සිදුවිය. ඔහුගේ රාජකාරි හැඳුනුම්පත සත 5 කට වත් මායිම් නොකර ඔහුව සම්පූර්ණ පරීක්ෂා කළ අතර අප අතර සිටි පැළඳි ඝනකම් රන් මාල පොටවල් කිහිපයම පෙනෙන්නට කමිසයේ බොත්තම් ඇරගෙන සිටි ප්‍රාදේශීය දේශපාලඥයාට කටපුරා 'සර්' කියමින් දෙකට තුනට නැවෙමින් මහත් හරසර දක්වන ලදී.

මේ තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අපේ රටේ මාධ්‍යයි. සරල උදාහරණයක් ගතහොත්, දියුණු රටක බිහිවන ජනප්‍රිය සිනමා කෘති වලින් 90% කටත් වඩා තාක්ෂණය (ඇතැම් විට ඔවුන්ට දැනට නැති තාක්ෂණ පවා) තේමාව කරගත් විද්‍යා ප්‍රබන්ධයන්ය. බොහෝවිට ඒවායේ ප්‍රධාන චරිත (සුදු හෝ කලු වේවා) විද්‍යාඥයන් වටා ගොඩ නැගේ. නැතහොත් කථාවේ සිද්ධි සමුදායට එවැන්නන්ගේ බලපෑම අති මහත් වේ. සාමාන්‍ය ප්‍රජාවේ ආකල්ප, සිතුම් පැතුම් තුළ තවදුරටත් විද්‍යාඥයා යනු ආගන්තුකයෙක් නොවේ. ඔවුන් සමඟ එදිනෙදා දිවියේ සමීපතමයෙකි. ළමා හා යොවුන්, ඇතැම් විට තරුණ හෝ පරිණත සිත් පතුලේම සිටින වීරයෙකි.

එහෙත් ලංකාවේ වීරයන් බවට පත්ව ඇත්තේ...? දේශපාලකයන්ගේ කියන කතා වලට ප්‍රවෘත්ති විශේෂාංග වෙන් කරමින්,එවැනි සංවාද වලට පැය ගණන් වෙන්කරමින් රටේ සාමන්‍ය ජනතාව අතර ඔවුන් වීරයන් කිරීමට මාධ්‍ය නොගන්නා උත්සාහයක් නැති සේය. ජාතික පුවත්පතක 70% කටත් වඩා ඉඩ වෙන්වන්නේ ඔවුන්ටය. කලා කරුවන්ට වෙන්වූ විශේෂාංග අතිරේකයට පවා මොවුහු පවුල් පිටින්ම රිංගවති. ඇතැම් ජාතික පුවත්පතක ඒ වෙනුවෙන්ම වෙන්වූ අතිරේකයකි. එවැනි එක් විශේෂාංගයක නම 'දියත' යි. දියත යනු ලෝකයයි. එනම් දේශපාලනය යනු මුලු ලොවම තනි වචනයකින් නිරූපණය කළ විට ලැබෙන ප්‍රතිඵලයද..?
මේ පුස් වීරයන් සමාජයේ ඉහලිම වැජඹෙද්දී, අදටත් ආතර් සී. ක්ලාක් ආයතනයේ බහුතරයක් අසාමාන්‍ය බුද්ධියකින් හෙබි සැබෑ මිනිසුන් බස් වල රස්තියාදු වෙති. ඔවුන්ට සුර සැප දීමටවත්, දෙකට තුනට නැමී පය ලෙව කෑමටවත් දේශපාලකයන් රටකට අනවශ්‍යම පිරිසක් යයි කියාවත් මම අදහස් නොකරමි. සිදුවිය යුත්තේ ඔවුන්ට හිමි ගරුත්වය ලබාදීම පමණක්ම ය.

මෙන්න මෙ ටිකත් අවධාරණය කළොත් මැනැවි යයි මට සිතුනි. එදා ආතර්. සී. ක්ලාක් ආයතනයේ මා සමඟ සේවය කළ බොහෝ දෙනා අද එහි නැත. ඔවුන් ආයතනයේ අනුග්‍රහයෙන් නොව, සිය පුද්ගලික වියදමින් මේ රට හැර ගොසින් ය. නැවත ඒමට ඔවුන් පොරොන්දු පත්‍ර අත්සන් තබන්නේ කුමකටද? විදේශ ගත වීමට පෙර සිය ඉල්ලා අස්වීම් ලිපි භාර දී ඇති බැවිනි.

මෙවන් සන්දර්භයක් තුල බුද්ධි ගලනය යනු හුදෙක් තවත් එක් මායාවක් පමණක් ද...?

3 comments:

  1. eka me rate avasanava venna athi.. ekai me serama...

    ReplyDelete
  2. බොහොම සංවේදී කතාවක් උනත්, ඊට සංවේදී විය යුතු එකෙකුටවත් සංවේදිතාවයක්වත් නැති එක ගැනයි කණගා‍ටු

    ReplyDelete
  3. පරයන් රජවූ කලක සත්‍යය බොරුව වේ!

    ReplyDelete