Tuesday, August 28, 2012

ආදරණීය ගුරුතුමණි.....

මගේ දෑස...
මේ ලොව කිසිදු මනුෂ්‍යයකු විසින් නොදැකිය යුතු දෑ දැක්මට තරම් පව් කර ඇත.
උගත්, දක්ෂ ඉන්ජිනේරුවන් විසින් සැලසුම් කරන ලද විෂවායු කුටීර දැක ඇත්තෙමි...
උගත් වෛද්‍යවරුන් විසින් නිපදවූ විෂ,
පුහුණු හෙදියන් විසින් එන්නත් කරනු ලැබූ දරුවන් දැක ඇත්තෙමි.
කරුණාකර මීට පසු ඔබේ ශිෂ්‍යයන්ට මිනිසත්කම උගන්වන්න...

සටහන.

ජර්මනියේ උසස් විද්‍යාලයක පුවරුවක, එක්තරා උදෑසනක මෙසේ සඳහන් කොට තිබුනේ කතෘ අඥාතව ය.
වධක කඳවුරකින් අනූනවයෙන් පණ බේරාගත්තෙකු විසින් සිය සත්‍යවූත්, කටුක වූත් අත්දැකීම් සමුදාය අලලා නිර්ව්‍යාජව රචිත බව පෙනී යයි.
මේ වදන් පෙළ මුල් වරට සහ අවසන්වරට මා නෙත ගැටුනේ මීට වසර 12කට පමණ පෙරය. 
ඒ මා ලැබූ ප්‍රථම ව්‍යවහාරික ගණිතය නිබන්ධනයේ පසු පිටය. නිබන්ධන සැපයූ ගුරුදේවයන් ජනක අබේවර්ධනයන් ය
අදටත් එම වදන් මට අද වාගේ මතකයි. ඒ තරමටම එය මසිතට කාවැදුනි.
මමද අද රජයේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්මි. දේශනයක් සඳහා වේදිකාවට ගොඩවන විට
මෙය, විශේෂයෙන්ම මෙහි අවසන් වාක්‍යයෙන් කර ඇති හැඟුම්බර ආයාචනය අදට මෙන්ම සදා කල්හි මා හට සිහිවනු ඇත්තේ
චිත්ත සන්තානයේ මැවුනු අසරණ දරුවෙකුගේ ආයාචනාත්මක අහිංසක දෙනෙත සමඟිනි. හද කම්පා කරවන එම බැල්ම හදවතක් ඇති ගුරුවරයෙකුට කිසිදා මගහැරිය නොහැක.

1 comment: