Monday, September 17, 2012

සෙමා

සෙමා යනු මගේ බැචෙකි. එහෙත් ඔහු සතු 'සෙමක්' නොවීය. නම මුලකුරු සමග ඉක්මනට කියැවීමෙදී මෙසේ ශබ්ද වන නිසා ඔහුට ඒ නමින් අමතන්නට හිතවත්ම අය හුරුවූහ.
ඔහු නිකම්ම නිකම් බැචෙක් නොව අප සරසවියේ සියලු පීඨවල, සියලු බැච් වල සිසුන් ඒකමතිකව පිළිගත් නිළ නොළත් ශිෂ්‍ය නායක විය. නිළ නොළත් වූයේ අප විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් (පමණක් නොව ආචාර්ය සංගම් පවා) සපුරා තහනම් වීම නිසා මිස අන් කිසිවක් නිසා නොවෙයි. පාලක පැලැන්තිය සිතා සිටියේ මෙය සරසවියක් නොව මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසටය. ප්‍රධාන ශිෂ්‍ය නායකට පත්වීම් ලිපියක් මගින් බලතල පැවරීම පාසැලකට තරම් නොවටී යයි ඔවුන් සිතන්නට ඇත.

නමුත් මා ඔහු මුළින්ම හඳුනා ගත් සිදුවීමනම් එතරම් ප්‍රසන්න එකක් නොවේ. නායකයන් තෝරා පත්කරගැනීමේ සභාවක කිසිවෙකුත් නොසිතූ පරිදි ඔහු විසින්ම ශිෂ්‍ය නායක තනතුර ඉල්වා සිටියේය. සාමාන්‍යයෙන් සිදුවන්නේ යමෙකු විසින් නම යෝජනා කිරීමයි. ඔහුට අවශ්‍යමනම් මිතුරකු මගින් යෝජනා කරවීමට තිබුණි. මෙසේ ඔහු සම්ප්‍රදායට එරෙහිව නැගී සිටීම මා තුළ එවෙලේ ඇතිකළේ පහන් සිතුවිල්ලක් නොවේ. එනමුත් මගේ උපකල්පිතය සාවද්‍ය එකක් බවද, ඔහු ඒ තනතුරට ඉතාම සුදුස්සා බවද ඉතිහාසය විසින් පසක් කර තිබේ. 

ඔහු තරම් සාර්ථක වූද, ජනප්‍රියවූද, සිසුන් වෙනුවෙන් පුද්ගලික ජීවිතය කැපකළා වූද, ඒ වෙනුයෙන් පළිගැනීමට ලක්වූවා වූද, සෘජු , නිර්භය, රැවටීමට ලක් නොවන, නොසැලෙන ආත්ම ශක්තියක් ඇත්තා වූද, ඉතාමත්ම ඉහළ සංවිධානාත්මක හා වෙනත් කුසලතා වලින් පරිපූර්ණ වූද නායකයකු මා දිවියේ කිසි දිනෙක දැක නැත. 

සිසු ගැටළු පිළිබඳ විවාදාත්මක සංවාද වලදී, ඔහු කතාකරන්නේ කවරකු සමගද යන්න ඔහුට වැදගත් නැත. උපකුළපති වේවා, උසස් අධ්‍යාපන ඇමති වේවා, ජනපති වේවා, ගැටළුව මගහැරීමට ගන්න ලද උත්සාහයන් ඔහු අතින් නිර්දය ලෙස විවේචනයට ලක් ලක් විය. මෙවැනි අවස්ථාවක ඔහු නැවැත්වීම කවරකු විසින් කරන්නට තැත් කරත් එය ව්‍යර්ථ වී ප්‍රතිවිරුද්ධ පාර්ශවයට කට උත්තර නැති වේ. ඔහුගේ කතාව තුළ සියුම් උපහාසක් ගැබ් වී ඇත. ඔහුගේ කරුණු අතිශයින් තාර්කිකය. පහසුවෙන් බිඳ හෙලීමට නොහැකිය. ව්‍යංගාර්ථ මගින් ප්‍රතිවිරුද්ධ කරුණු උපහාසයට ලක් කිරීමට ඔහු සමතෙකි.

කෙසේ වෙතත් ඉතාමත්ම දැඩි සිසු පීඩනය හමුවේ පීඨ මට්ටමින් සිසුන්ට බලතල පැවරීමට බලධාරීන්ට සිදුවිය. පීඨ මණ්ඩල සඳහා පීඨ වලින් ශිෂ්‍ය නියෝජිතයන් සිසු කැමැත්ත මත තෝරා පත් කර ගැණින. ඔහු මගේම පීඨයේ සිසුවකු වුවද, පීඨ ශිෂ්‍ය නියෝජිත වශයෙන් තෝරා පත්කරනු ලැබුවේ මාය. සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් කෙරුණු මෙහි, ලැබෙන දුර්ලභ අවස්තාවෙන් උපරිම ඵල ලබා සිසු ගැටළු සීමිත කාලයක් තුළ සියල්ල ඉදිරිපත් කෙරීම අවශ්‍යතාව වූ නිසාත්, සාපේක්ෂව වඩාත් චතුර ලෙස හා වේගවත් ලෙස කඩුව හැසිරවීමට මා සතු හැකියාව ඊට හේතු විය.

එවෙලේ මට හැඟුනේ මා කිසිවකුගේ ඉත්තෙකු වූ බවයි. නීත්‍යානුකූල බලතල හිමි පීඨයේ එකම ශිෂ්‍යයා ලෙස මට ඉටුකිරීමට සිදුවන්නේ 'සෙමා' ගේ න්‍යාය පත්‍රයයි. පීඨ මණ්ඩලය මා නියෝජනය කළත් තිරය පිටුපස සිටින සැබෑ නායකයා වනු ඇත්තේ ඔහුය. පරිපාලනය පමණක් නොව ඇතැම්විට සිසුන්ගේද බහුතරය අදටත් සිතාගෙන සිටින්නේ එසේ විය හැකිය.

එහෙත් යථාර්තය එය නොවේ. පීඨ ශිෂ්‍ය නායක ලෙස මා ගත් තීරණ හා පීඨ මණ්ඩලයේ පළ කරන ලද අදහස් වලට ඔහු අංශු මාත්‍රයකවත් බලපෑමක් එල්ල නොකළේය. ඒ වෙනුවට සමස්ථ විශ්වවිද්‍යාලය මට්ටමින් නොව, පීඨ මට්ටමෙන් ගත්කළ මා ඔහු නියෝජනය කළ නායක බව ඔහු නිහතමානීව පිළිගෙන අදාල ගරුත්වය මට ලබාදීමට කටයුතු කළේ ය. මෙය නායකයකු සතු ඉතා හොඳ ගුණාංගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සංවිධානාත්මක හැකියාව හැකියාව අතින් ඔහුට සමකළ හැකි අන් කිසිවෙක් නොවීය. වරක් මා දිවා ආහාරය ගැනීමට කැන්ටිමට පැමිණි විට කැඳවීමක් ලැබුණි. මේ වන විට අප සොයුරු සිසුවෙකු අසාධාරණ ලෙස පන්ති තහනමකට ලක්ව පැයක් පමණ ගත වී ඇති බව මම දැන සිටියෙමි. සාකච්ඡාව ඒ ගැන විය යුතුය.

ඔහු මා කැඳවාගෙන ක්‍රීඩාපිටිය වෙත ගියේය. ඉතාම අල්පයක් හැර සමස්ථ විශ්වවිද්‍යාලයේම සිසුන් එහි සිටිනු දැක මම මවිතයට පත්වීමි. මිනිත්තු කිහිපක් තුළ එවැනි දැවැන්ත සංවිධානයක් කෙනෙකු කරන්නේ කෙසේද? අප සියලු දෙනා එක්ව ඉතා සාමකාමී ලෙස පරිපාලන ගොඩනැගිල්ලේ බිම පැය කිහිපයක් වාඩි වී සිටියෙමු. සාකච්චාවක් ලැබිණ. අප සොයුරු නිදොස් කොට නිදහස් කෙරිණ.

ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පමණක් නොව, සියලු තන්හි ඔහුගේ සංවිධානාත්මක හැකියාව කැපී පෙණුනි. එය දන්සැලක් වුවද, මළගෙයක් වුවද, විනෝද චාරිකාවක් වුවද වෙනසක් වූයේ නැත.

විශ්වවිද්‍යාලයට ආදරය කිරීමේ ආදර්ශය අප විසින් ප්‍රගුණ කරන ලද්දේ ඔහුගේ නායකත්වය යටතේය. විශ්වවිද්‍යාලය සතු සියළු භෞතික දේපළ සුරැකීම එහිම කොටසක් විය. එය ස්වයං විනය පිළිබඳ දැවැන්ත සාර්ථක ආකල්පමය විප්ලවයකි. මෙය කෙතරම් තදින් ක්‍රියාත්මක වූයේද යත්, මා උපාධිය නිමකර පිටවන තෙක්ම, එකදු පෑන් ඉරක්වත් ඩෙස්ක් මත, වැසිකිළි වල පවා දක්නට නොලැබිණ.  

වරක් එක්තරා සැඳෑ කාලයක මට කැන්ටිමට කැඳවීමක් ලැබුණි. පාවා දීමේ සිද්ධියක් මත අප විසින් පිළිකුළ් කරන ලද 'ජූනියර්' බැච් එකක ශිෂ්‍ය නියෝජිතයෙක් සමග ඔහු සිටියේය. සුහද ක්‍රිකට් තරඟාවලියක් සඳහා මගේ පීඨයේ ජෙයේෂ්ඨ සිසුන් නිදහස් කිරීමට අවසර දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. මගේ අවසරයකින් තොරව ඔහුට ඉතා පහසුවෙන් එම තීරණය ගත හැකිව තිබුණත් ඔහු එසේ කළේ නැත. 


විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ සිට සුළු සේවක දක්වා ඔහුට පුද්ගලික සම්බන්ධතා රාශියකි. ඔහු මේවා භාවිත කළේ හුදෙක්ම සිසුන්ගේ යහපත සඳහා පමණි. සිසුන්ට සපුරා තහනම් වූ සාදවල පවා සිදුවන දෑ සාක්ෂි සහිතව කවරාකාරයෙන් හෝ ඔහු වෙත පැමිණේ. ඔහු වෙනුවෙන් යම් රහසිගත ඔත්තු සේවයක් පැවතුණි දැයි නොදනිමි. කෙසේ වෙතත් පරිපාලනයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ විද්‍යුත් පිටපත් සහිත සාක්ෂි රාශියක් ඔහු සතුවිය. ඒවා ලැබෙන්නේ කොහෙන්දැයි මා විමසූ විට ඔහු කීවේ ලැබෙන විදිය වැඩක් නොමැති බවත්, කිසිදු හේතුවක් නිසාවත් අදාල පුද්ගලයන් පාවා නොදෙන බවත්, අවශ‍ය නම් මා වෙනුවෙන් එවැනි සේවාවක් පවත්වා ගත හැකි බවත් (ඇත්ත වශයෙන්ම මා වෙනුවෙන් එවැනි රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක වී තිබිණ!), නමුත් මට සේවය කරන්නේ කවුරුන්දැයි මා පවා දැනුවත් නොවන බවත්ය. (දැන් අදාළ පුද්ගලයන් කිසිවෙකුත් අදාල තනතුරුවල සේවයේ නියුතු නොවන නිසාත්, එවැනි දෙයක් තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසාත් පරිපාලනය කළබල විය යුතු නැත. එවැනි සූක්ෂම ශිෂ්‍ය නායකත්වයක් යළි කිසිදා ඇති නොවනු ඇති නිසා පාලකයන්ට සදා නිදහසේ සැතපිය හැක.)


නායකත්ව දිවිය හැර, සාමාන්‍ය ජීවිතයේදී ඔහු ඉතා මිත්‍රශීලී, සමාජශීලී, මුඛරි, අපූරු පුද්ගලයෙක් විය.   
කිසිවෙකු විසින් කමිසයක් හොඳින් මැද තිබුණි නම් කිසිදු විමසීමකින් තොරව එය ඇඳගෙන යාම ඔහුගේ සිරිතයි. කොල්ලන්ගේ බෝඩිමක හෝ නේවාසිකාගාරයක ඇත්තේ පෞද්ගලික 'දේපළ' නොව පොදු දේ බව ඔහු විශ්වාස කළේය. එය ඇඳුම්, දන්තාලේප, ෂැම්පු, සබන් පමණක් නොව ඇතැම් විට යටඇඳුම්, රැවුළ බාන උපකරණ පවා විය හැකිය!

ඔහු තරම් එකිනෙකට වෙනස් වූ කුසලතා වලින් යුත් පුද්ගලයකු මා දැක නොමැති තරම්ය. ආහාර පිසීමේ, ඇඳුම් මැසීමේ පමණක් නොව පණුවෙකු මෙන් දඟළමින් නර්තනයේ යෙදීමටද ඔහුට හැකිය. වරක් බෝඩිමේ සිටි දුප්පත් කොල්ලන් ගැන අනුකම්පා කළ ඔහු, ඉතා සාධාරණ මුදලකට බෝඩිමීදී ඔහු විසින්ම පිළියෙල කරන ලද ආහාර ලබාදුන්නේය. මමද ඔහුගේ කෑම කා ඇත්තෙමි. ඉතා ප්‍රණීතය.

එක් නරක පුරුද්දක් නම් විය. එනම් ඉඳහිට හඳුන් කූරක් පත්තු කර ගැනීමයි. දිනක් මා කුස්සියට යනවිට මූ එකක් පත්තු කරගෙන දුම් දමමින් සිටියේය. මට වැඩිය ඕවා අල්ලන්නේ නැත. මම ඌ එළියට ඇද දමා දොර වැසුවෙමි. මා සිතුවේ ඔහු ඊට උරණ වනු ඇති කියාය. නමුත් බී අවසන් වූ විට මා යළි ගෙතුළට ගත් විට ඔහු කිසිවක් නොවූ පරිදි හැසුරුණි. කිසිදා හැදෙන එකෙක් නොවූ නිසා මා වැඩිපුර අවවාද දෙන්නට ගියේ නැත.

ඔහුගේ මුඛරි කම ගැන කිසිදා අමතක නොවන අපූර්ව සිද්ධියකින් පොත් ගනණක් වුව ලිවිය හැකිමේ අපූරු චරිතාපදානය නිමා කරමි.

ප්‍රායෝගික පරීක්ෂණයක යෙදී සිටි අප සොයුරියක් ඕනෑවට වඩා මේසයට නැඹුරු වීම නිසා ඇය ඇඳ සිටි ඇඳුම පිටුපසින් තරමක් පහළට ගොස් තිබුණි. මෙය දුටු සෙමා
"ඒයි...බජ්ජ-හුරී, උඹේ ඇඳුම හදාගනින් බං" යයි කීවේ සෙමිනි.
නමුත් ඇයට එය හරියට ඇසුනේ නැත.
"ඈ...?"
නැවත පවසන ලද නමුත් එවරද සාර්ථක වූයේ නැත.
උගුර පෑදූ සෙමා කාටත් ඇසෙන සේ මහහඬින් මෙසේ තෙපලීය.
"අද රෝස පාට එකක් නේ ඇඳන් ආවෙ...?" !!! 

7 comments:

  1. dan oya sema mokada machn karanne ekai wadagath wenne

    ReplyDelete
    Replies
    1. මචං උබ සෙමා නේද?
      (නැත්නම් සොරි වෙන්ට ඕනෑ - ඌ දැන් අරාබියෙ ඉංජිනේරුවෙක්)

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සොරි මචං කැම්පස් එකේ නම දාල තිබුන නිසා මට කමෙන්ට් එක අයින් කරන්න උනා. මම මේ බ්ලොග් 1කෙ කොහෙවත් මගෙ නමවත්, කැම්පස් එකේ නම වත් ගාවගන්නෙ නෑ. ඒක බ්ලොග් ලියන අයගේ සම්ප්‍රදායක්. නම නැතුව ආයෙ දාපන්.

      Delete
    2. සෙමා ගැන කියන්නට වෙබ් පිටුවක්ම අවශ්‍ය වුවත් ඔහු පිළිබඳ ස්වල්පයක් පමණක් සඳහන් කරනු කැමැත්තෙමි. ජීවිතයේ විවිධ අවධිවලදී විවිධ නායකයන් යටතේ විවිධ වු ක්‍රියාකාරකම් වලට දායක වී ඇතත් ඔවුනට වඩා සෙමා සැබවින්ම වෙනස්ය. සෙමා යනු සැබවින්ම ලීඩර්ෂිප් මොඩලයකි. ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියා කිරීමේදී සාමාජිකයන්ට ඇතිවන් පීඩනය ඉතාමත් අඩු බව ඔහු යටතේ විවිධ ක්‍රියාකාරකම් වලට දායක වුවෝ දනිති. විවිධ දක්ෂතා ඇති අය එකතුකර ගැනීමේ හා ඕනෑම පුද්ගලයකු කථාවෙන් වසඟයට ගන්නට ඔහු සතු හැකියාව ඉතාමත් ඉහළය. එදවස අප විසින් ශිෂ්‍ය නායකයන් වශයෙන් කරනු ලැබු සම-හරක් වැඩ වලදී ඔහු අපගේ සහයට නොසිටියානම් එවන් අවස්ථාවකදී කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි අද කල්පනා කරන විට එදා ඔහුගේ උපදෙස් අනුව ගත් තීරණ කොතෙක් නිවැරදිදැයි හැඟේ. සමස්ථ විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ව්‍යාපාරය තුල සැබවින්ම ඔහු අමරණීය චරිතයකි.
      එදවස අපගේ පාළන අධිකාරිය වඩාත්ම බියට පත් කළ පුද්ගලයා වීමේ ගෞරවයද ඔහුට හිමි වේ.එහෙත් ඔවුන් සිතා සිටි ආකාරයේ දේශපාළන හෙංචයියෙකු නොවු ඔහු සිය පෞද්ගලික සුඛවිහරණය තකා විශ්ව විද්‍යාලයේ ගෞරවයට හානි වන අන්දමේ ක්‍රියා වලට දායක නොවීය. එසේම ඔහු සතුව ඉතාමත් රහසිගත හා ශක්තිමත් ඔත්තු ජාලයක් පැවති බව සත්‍යකි. එහි සේවය කළ අය පිළිබඳ තොරතුරු එහි සේවය කළවුන් පවා නොදැන සිටීම මෙහි ඇති විශේෂත්වයයි. කොටින්ම පාළන අධිකාරිය කළ කී දෑ පමණක් නොව ආරක්ෂක අවශ්‍යතා මත විශ්ව විද්‍යාලයේ තොරතුරු එක් රැස් කළ හා ඔවුනට තොරතුරු සැපයු රාජ්‍ය නිළධාරීන් පිළිබඳව පවා ඔහුට වැටහීමක් තිබුණි. අප විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ව්‍යාපාරයට එතරම් බාහිර බලපෑම් එල්ල නොවීමට මෙම තොරතුරු සේවය ඉමහත් මෙහෙයක් ඉටුකරන ලදි.
      මාගේ පෞද්ගලික අදහස ඔහුට වඩාත් ගැලපෙන්නේ දේශපාලනය බවයි.වාසනාවකට හෝ අවාසනාවකට ඔහුට ඒ සඳහා එදවස පැමිණි ඉල්ලීම් උපක්‍රමශීලීව මගහරින්නට ඔහු සමත්විය.සෑම දේශපාලන පක්ෂයක්ම සිතා සිටියේ ඔහු ඔවුනගේ පාක්ෂිකයකු බවයි. එහෙත් මා දන්නා පරිදි ඔහුගේ එකම දේශපාලන පක්ෂය ශිෂ්‍යයන් හා පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටීමම විය. මා දන්නා පරිදි ඔහුට ශිෂ්‍ය ව්‍යාපාරය හරහා එදවස ලැබුනු දොල පිදේනි පිළිගත්තානම් ඔහු මේ වන විට අඩුම තරමේ පළාත් සභා මන්ත්‍රී ධූරයක්වත් හොබවනු ඇත.
      කෙසේ වෙතත් සාමාන්‍ය ජීවිතයේදී මිත්‍රයකු වශයෙන් බොහෝ විට ඔහුගේ හා මගේ සිතුම් පැතුම් අහසට පොළව මෙන් විය.එහෙත් සිවු වසරක විශ්ව විද්‍යාල ජීවිතයේ වසර 3ක්ම ඔහු හා යෙහෙන් වාසය කරන්නට මා සමත් විය.(වැලා හා පෙට්ටියා ඔහු හා වසර 4ක් කෙසේ ගෙවා දැමුවාදැයි මට තවමත් ගැටලුවකි.) වසර 4ක විශ්ව විද්‍යාල ජීවිතයේ ඔහුට ප්‍රශ්ණ නොතිබුනු දවසක් තිබුනා නම් ඒ එහෙමත්ම දවසකි. අනවශ්‍ය ප්‍රශ්ණ ගෙදර ගෙන ඒමේ පුරුද්ද නිසා අපි 3දෙනා පමණක් නොව අසල්වැසි බෝඩිම්වල මිතුරෝද බොහෝ විට රාත්‍රී කාලයේදී නිදි නොලැබ පීඩා විඳින ලදි.
      කළමණාකරන උපාධිය හැදෑරූ අපට ප්‍රැක්ටිකල් බිස්නස් ඉගැන්වු ඔහු, ඔහු විසින් නිෂ්පාදනය කළ කෑම පමණක් නොව කුඩා මෘදුකාංගයක් පවා අලෙවි කිරීමට අපට ලබා දෙන ලදි. කෑම වැඩේ නැගලා ගිය නමුත් සිය මානව හිතවාදීකමට පින්සිදුවන්නට මටත් ධනාටත් මෘදුකාංග අලෙවියෙන් ලබාගතහැකිව තිබූ විශාල ලාභයක් අපට හොරා නොමිලයේ මෘදුකාංගය ලබාදෙන්නට ගොස් නැතිකරගන්නා ලද්දේද ඔහු විසින්මය.
      කෙසේ වෙතත් විභාග දිනවලදී පවා කිසිත් වැඩක් නොකර දිනය පුරා චිත්‍රපට නරඹන ඔහු විභාගයන් ඉහළින්ම සමත්වන විට ඔහුට බැන බැන දිනය පුරාම විශේෂ වැඩසටහනක් යටතේ පාඩම් කරන ඔහුගේ ලඟම මිත්‍ර හා ගෝල වැලා අවම වශයෙන් වරකට සබ්ජෙක්ට් 1ක්වත් අසමර්ථ වීම ග්‍රවූන්ඩ් පාළුවන් වු මටත් පෙට්ටියාටත් පුදුම්ය උපදවන සුළු විය. හදුන්කූරු පත්තු කිරීමට අමතරව ඔහු සතුව ඉතාමත් කැත පුරුදු කිහිපයක් පැවති නමුත් මෙහි ඒවා සඳහන් කිර්‍රම පවා ජුගුප්සාජනකය.කෙසේ වෙතත් ඒවා අන් අයට එතරම් කරදරකාරී ඒවා නොවිණි.
      ඔහු විසින් අනාගත විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිනා දුන් දෑ බොහොමයක් ඇත.කොටින්ම ඔවුන් අද ඉගෙනගන්නා විෂය නිර්දේශය පවා වෙනස් වුයේ ඔහුගේ අරගලවල ප්‍රථිඵලයක් ලෙස බව දන්නෝ දනිති. ඔහු හා සම්බන්ධ මතකයන් පිටු පුරා ලිවිය හැකි වුවත් මෙතකින් මෙය හමාර කරණු කැමැත්තෙමි.

      Delete
  3. පුදුම මනුස්සයෙක් වෙන්න ඕනෑ. මට මතක් වුනේ අර ත්‍රී ඉඩියට්ස් චිත්‍රපටියෙ රැංචෝ ව.

    ReplyDelete
  4. ඔය සෙමාලා මම හිතන්නේ හැම බැච් එකකටම එකෙක් ඉන්නවා. හැබැයි ඌ එච්චර දක්ෂයානම් සංවේදිට තිබුනා මිනිහාට ශිෂ්‍ය නායක වැඩේ බාර දෙන්න..

    ReplyDelete