Tuesday, November 5, 2013

වාහනයක් ගන්නවා නම් අද හෙටම ගන්න වෙයි...

ඔබත් තමන්ගේම කියා වාහනයක් මිළදී ගැනීමට සිහින මවන්නෙක්ද..? එසේනම් ප්‍රමාද නොවන්න. චුයින්ගම් සමුළුව අවසන් වීමට පෙර එය යථාර්ථයක් බවට පත් කිරීමට දැඩි උත්සාහයක් ගන්න. නැතිනම් එය සදාකාලික සිහිනයක්ම පමණක් වනු ඇත.

මේ දිනවල මදක් පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ වාහනවල මිළ සීඝ්‍ර ලෙස පහත යාමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මාස කිහිපයකට ප්‍රථම රු. ලක්ෂ 23ක් පමණ වූ වසර 2000-2001 පමණ නිපදවූ හොඳ තත්ත්වයේ Nissan Sunny N16 වර්ගයේ මෝටර් රථයක් මේ දිනවල අලෙවි වන්නේ ලක්ෂ 18.25 වැනි මිළකටය. ලීසිං සමාගම්වල පොළී අනුපාතිකයද සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ බැස ඇත.
මීට ආසන්නම හේතුව වශයෙන් දැක්විය හැක්කේ වෘත්තිකයින්ට ලබාදෙන වාහන බලපත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ සංසරණය වීමයි. ඒ අනුව තමා දැනට භාවිත කරන රථය කීයකට හෝ තල්ලු කර බලපත්‍ර මෝටර් රථයක් ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙනු දැකිය හැකිය. ඒ අනුව ඔබට අවම වශයෙන් මිලියන 1.6 ක් වැයකල හැකිනම් විධායක ශ්‍රේණියේ වැදගත් පුද්ගලයකු භාවිත කළ වාහනයක් සතු කර ගැනීමේ හැකියාවක් පවතී.

නමුත් මෙය ඉතාම තාවකාලික ප්‍රවණතාවයකි. 

ඔබ දැනටමත් දන්නා පරිදි (ඇතැම් විට නොදන්නා පරිදි!) සමුළුව වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙලේ අධි සුඛෝපබෝගී මෝටර් රථයක් වන Mercedes Benz S400 වර්ගයේ මෝටර් රථ 54ක් මෙරටට ගෙන්වා තිබේ. ඒ සඳහා ජාතිමාමක, දේශහිතෛශී ජනරජය වැයකර ඇති මුදල රු. මිලියන 875ක් හෙවත් කෝටි 87.5 කි. අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රු. මිලියන 758, එනම් කෝටි 75.8ක අති විශාල බදු සහනයක් ලබාදෙමින් (ඇත්ත වශයෙන්ම ලබා ගනිමින්) මෙම වාහන ආනයනය කර ඇත. ඒ අනුව  ජර්මනියේ "Daimler" සමාගම විසින් මෑතකදී නිෂ්පාදනය කරනු ලබන Benz S400 රථ 54 ක් Metropolis Logistics Pvt Ltd සමාගම හරහා ඩිමෝ ලංකා සමාගම ලංකාවට ගෙන්වා ඇත. 





මේවා තාවකාලික (කුළී) පදනම මත ලබාගත් ඒවා බවද, චුයින්ගම් සමුළුවෙන් පසු නැවත භාරදෙනු ඇතැයිද කියන කතා හුදෙක් හුදී ජන පහන් සංවේගය උදෙසා හුදෙක් හුදී ජන පහන් සංවේගය උදෙසා තෙපලනු ලැබෙන සුරංගනා කතා පමණක් යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ඉන් පසුව මේවා ලොව උගත්ම, කාර්යශූරම, වැඩ මිසක් කතා නැති, අවංකම දේශපාලක උතුමන් විසින් මහජනතාවට සේවය කිරීමට අවැසි අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකා සිය භාවිතයට ගනු ඇත. (ඒ අනුව ඉදිරියේදී හුදී ජනයා වශයෙන් අපට මොවුන්ගෙන් වඩාත් කැපවූ සේවයක් බලාපොරොත්තු විය හැකිය. අනේ වාසනාවන්...!) තමන්ට බඩේ බත් නැතත් තමන්ගේ පාලක උතුමන් සුරසැප විඳීමම එකම සහනයක් වන ජනතාවකට එය එතරම් ප්‍රශ්නයක් නොවනවා නො-අනුමානය.






ඒ අනුව මෙහිදී වැයකරන ලද අධික මුදල සහ අහිමි වූ බදු ආදායම (සමස්ථය රු. මිලියන 1500 නොහොත් කෝටි 150 ඉක්මවයි.) ආවරණය කිරීම (පියවා ගැනීම) සඳහා රජය දන්නා එකම උපක්‍රමය ක්‍රියාවට නංවනු ඇත. 
එනම් ආනයනය කරනු ලබන සාමාන්‍ය වාහනවලට අයකරනු ලබන බදු තව තවත් තර කිරීමයි. 

ආනයනය කරනු ලබන වාහනවල මිළ ඉහළ යාම අනිවාර්යයෙන්ම මදක් භාවිත කළ වාහනවල මිළටද බලපාන බව වටහා ගැනීමට ආර්ථික විශේෂඥයෙක් වීමට නු-වුවමනාය.

13 comments:

  1. \\\\\\\\විධායක ශ්‍රේණියේ වැදගත් පුද්ගලයකු\\\\\\\\\

    ඒ කිව්වේ ...?

    ReplyDelete
    Replies
    1. මම මෙතනදි අදහස් කළේ කාර් පර්මිට් එකක් හිමි කියන එකයි.

      Delete
  2. අන්තිමේ කියලා තියෙනවා වගේ ඔය වියදම පියවන්නේ ඉතින් ආයේ මොකක් හරි බද්දකින්ම තමයි..

    ReplyDelete
  3. පාවිච්චි කල කාර් වල නැවත අලවි වන මිල නම් ටිකක් බැහැල කියන එක ඇත්තයි.ඒත් එක හරියටම පහලට ඇවිල්ල නැහැ.අපේ රටේ තියෙන්නේ පාවිච්චියෙන් පසු අගය බහින වාහන මිලක් නොවෙයි. වහනය පාවිච්චි කිරීමෙන් ඇතිවූ ගෙවීයාම වෙනුවෙන් පමණක් නොව එය පාවිච්චි කල අය ගෙවූ ඉන්ධන මිලද ආපසු ගෙවීමට ඒක මිලදී ගන්නා නව ගැනුම් කරුට සිදුවීම මේ රටේ පමණක් සිදුවන බරපතල අපරාධයක්. ඒක වැලැක්වීමට නම් වාහන විකිණීමෙන් උපයාගන්නා ප්‍රාග්ධන ලාභයෙන් 50% රජය ආදායම් බදු ලෙස අය කලයුතුයි.කාට හරි හිතෙන්න පුළුවන් මම මේවා කියන්නේ ඉරිසියාවට කියල. එහම නෙමෙයි.මම කාර් එකක් පාවිච්චි කරන්නේ 1984 ඉඳලා.දැන් මම පාවිච්චි කරන්නේ මගේ 5 වැනි කාර් එක.එබැවින් පාවිච්චි කල කාර් වෙළඳ පලේ කාර් හිමියන් තම මෝටර් රථය වෙනුවෙන් කියන අලවි මිල ගැන මට දැනුමක් තියෙනවා.


    සමරසේකර

    ReplyDelete
  4. ගන්න ඕනා එහෙනම් වාහනයක්..... සුදු වැන් එකක් වගේ.....

    ReplyDelete
  5. ඔක්කොටම වැඩිය හොදයි බටු සනිය ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. හැත්තෑ ගනං වල නොබැඳි සමුළුවට ගෙනාපු වාහනත්, ඒ කාලේ ඒ වෙනුවෙන් හදපු තට්‍ටු නිවාසත් සමිට් කියලම නම් වුනා.

    ReplyDelete
  7. හීනේ තවත් ඈතට යන පාටයි !

    ReplyDelete
  8. N16 මොඩල් එක කැතයිනෙ බං ..එයිට වැඩිය හොඳා FB15 එක

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම් එක තමයි මම මේ දවස් වල මගේ වෑන් කටුව විකුනන්න ට්‍රයි කොරනවා වෙන්නේ නැත්තේ. මිල අසාමාන්‍ය ලෙස පහල බැහැලා.

    ReplyDelete
  10. මේ වාහන ගෙන්නිල්ලෙයි අනිත් වාහනවල මිලගණන් පහල යාමෙයි අතර සම්බන්දයක් ඇතැයි කියලා මං හිතන්නේ නෑ.කොහොමත් වාහන පර්මිට් දීමෙන් මීටවඩා සෑහෙන ආදායමක් නැති වෙනවා.මන්නම් කියන්නේ දොස්තරලට ,වී.වී. මහාචාර්ය,කථිකාචාර්ය වැනි ඉහල ආදායම් ලබන අයට දෙන වාහන පර්මිට්නුත් කැන්සල් කරන්න ඕන කියලයි.හැබැයි ඉතින් එහෙම කරන්න ගියොත් රටේ ඉන්න අහිංසක ලෙඩ්ඩු ටිකෙනුයි කැම්පස් ළමයි ටිකෙනුයි තමයි ඒ දෙගොල්ල වාඩුව ගන්නේ

    ReplyDelete
  11. වාහන ගන්නේ කොහෙද අප්පා..
    කන බොන දේවල් ගණන් ගිහින් තියෙන හැටියට වාහනයක් කියන්නේ හීනයක්‌ විතරයි.

    ReplyDelete
  12. මමත් ඔය චුයින් ගම් වාහනයක් ඕඩර් කරා බලමු ගන්න පුලුවන් වෙයිද කියල....

    ReplyDelete