Sunday, February 9, 2014

කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය

එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක. 
ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ. 
එහෙනම් ඇයි මම මේ දේවල් හිටිහැටියෙම වමාරන්නෙ? මටත් හිතාගන්න බෑ ඇත්තම හේතුව. 
ආසන්නතම හේතුව මේකයි. අවසානයක්, පරක් තෙරක් පේනතෙක් මානයකවත් නොපෙනෙන මේක මට දැන් ඇති වෙලා. කාට හරි කියලා දාලා හිත සැහැල්ලු කරගන්නයි අවශ්‍ය. 
මගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් ඔබේ වටිනා කාලය කා දැමීම ගැන දහස් වාරයක් මට සමාවන්න.

මේක ඒක-පාර්ශවික ප්‍රේම කතාවක්. මේ දක්වා කතාව අහපු හැමෝම කිවුවෙ එහෙමයි.

එක-පාර්ශවික ප්‍රේමය, දෙදෙනාගේම එකඟතාවය ඇතුව දළුළා වැඩුණු, ගලා යන, බිඳුණු ප්‍රේමය තරම් උත්තරීතර දෙයක් නොවන බවයි, මට ඒ හැමෝම කිවුවේ. මේක සමාජ සම්මතයක් තරමටම මිනිස්සුන්ගේ හදවත් තුළ පැලපදියම් වී තිබෙන බව දකින්නට ලැබෙනවා. අවසානය කුමක් වුවත්, සම්මත හෝ අසම්මත ප්‍රේම කතා වලින් 99% කටත් වඩා දිවෙන්නේ එම, ඒ කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත ඇතිවූ ඒවා.
දශක තුනක ජීවිතයේ මා නරඹූ දේශීය-විදේශීය නිර්මාණ දහස් ගණනක් අතුරින් ඒක-පාර්ශවික ප්‍රේමයට තැනක් දීපු නිර්මාණක් මම දුටුවේ එකම එකයි. ඒ ගුණදාස කපුගේ ගායනා කරන 'උන්මාද සිතුවම්' ගීතය ඇතුළත් 'එක් ටැම් ගේ' සිනමා සිත්තම. මේ සටහන තබන්නට එයින් ලැබුණු ධෛර්‍යය අප්‍රමාණ බව කිවයුතුයි.

මගේ ජීවිතයේ මම තරුණියන් 3 දෙනෙකුට ආදරය කර තිබෙනවා. කියන්න කණගාටුයි එයින් පළමු 2ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පාර්ශවික ඒවා. ඒ කියන්නේ ඒවාට අනිත් පාර්ශවයෙන් අංශු මාත්‍ර හෝ දිරිගැන්වීමක් ලැබුණේ නැති බව අවංකවම කියන්න ඕනා.
ඉන් පළමු එක ඇතිවූයේ මීට වසර 11කට පෙර, මා උසස් පෙළ හදාරණ කාලයේ. මා සහභාගී වූ රසායන විද්‍යාව කුඩා කණ්ඩායම් පන්තියකට පැමිණි අසල්වාසී සමවයස් තරුණියක් කෙරෙහි. අවුරුදු 3ක් විතර මම බලාපොරොත්තු තියාගෙන හිටියත් ඇය දැඩිව මාව ප්‍රතික්ශේප කළ නිසා සරසවියේ පළමු වසරේ මගේ කණ්ඩායම් ව්‍යාපෘතියක හිටපු කෙනෙකුට මා අවධානය යොමු කළා. මාස කිහිපයක් ඇවෑමෙන් කල් යල් බලලා මා මගේ අදහස ප්‍රකාශ කරන්නට ඔන්න මෙන්න තිබියදී මගේ මිතුරකු ඇයට ඇගේ ගම් පළාතේ පෙම්වතකු සිටින බව සොයාගත්තා. ඉතින් හිත හදාගන්නට සිද්ධ වුණා.

ගොඩක් දෙනෙකුට බොක්කටම වදින්නේ ප්‍රථම ප්‍රේමය බව පැවසෙතත් මා සම්බන්ධයෙන්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව වඩාත් හොඳ අවබෝධයෙන් යුතුව, වඩාත්ම ගැඹුරින්, අධ්‍යාත්මිකව මම පෙම් කළේ තුන්වන සහ අවසන් වතාවට.

පළමු වසර අවසානයේ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු ක්ෂේත්‍ර චාරිකාවකදී තමයි අපි එකිනෙකාට සමීප වුණේ. 
මගේ දෙවන උත්සාහයක් අසාර්ථක වූ නිසා මා සිටියේ තරමක කළකිරීමෙන්. නමුත් ඒ ගමනේදී ඒ වනවිට එකම බෝට්ටුවේ සිටි ඇයව හඳුනාගන්නට ලැබුණා. එකම බෝට්ටුවේ කිවුවේ ඒ වන විට ඇයත් ඇගේ ආදරය බිඳිලා වේදනාවෙන් හිටියේ.

අවුරුදු 2 1/2ක්ම අපේ හිතවත්කම (අවසානයේ ඇය එය හැඳින්වූයේ එහෙමයි.) ගලාගෙන ගියා. 
මට ඕනෑ වුණේ ඇගේ ආදරය ස්ථිරවම දිනාගන්නා තුරු කිසිවෙකුටත්ම ඒ ගැන දැනගන්නට ඉඩ නොතැබීම. කොටින්ම මගේ හිතවත්ම මිතුරන්, මිතුරියන්වත් ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන හිටියේ නෑ. ඉන් සමහරු අදවනතුරුත් මේ ගැන දන්නෙ නෑ.

ඇත්ත. ඇය මට කවදාවත්ම 'මම ඔයාට ආදරෙයි' කියා නෑ. අහන අහන කෙනා එය හුදෙක් මගේ හිතළුවක් යයි නිගමනයට එන්නට ඒක පාවිච්චි කරනවා. සමහරවිට ඇත්ත වෙන්න ඇති.

ඒත් ඒ අවුරු දෙකහමාරට අපි අතරේ ඇතිවුණු දුරකතන සංවාද, කෙටි පණිවුඩ, 'මිස්ඩ් කෝල්ස්' (මීට අවුරුදු 7 1/2 කට කළින් ඔය ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තිබුණෙ නෑ. 'මිස්ඩ් කෝල්' තමයි හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ.)
සමහර දවස්වල මගේ ජංගම දුරකථයට ඇයගෙන් ලැබුණු 'මිස්ඩ් කෝල්ස්' ගණන දුසිම් ගණනක්. කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)ත් එහෙමයි.
ඒ කිසිම එකක 'ආදරය' කියන වචනය තිබුණේ නැති බව ඇත්තයි. නමුත් මේ හැම එකකම සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය දැඩි ලෙන්ගතුකමක් තිබුණු බවයි මට හැඟී ගියේ.

ඇයත් මා මෙන්ම ඉතාම සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. ඉතාම සුළු දේටත් මහා ලොකුවට සිත රිදවා ගන්නා කෙනෙක්. මේ අවුරුදු දෙක හමාරට එවැනි සිදුවීම් දුසිම් ගණනක් ඇය මට පවසා තිබෙනවා. සමහර දවස්වල රාත්‍රියට අපි පැය ගණන් හැඟීම්බර කතාවල යෙදුණා. කෙළින්ම ආදරය යන මාතෘකාවට නොබැස්සත් අපි කතා කළේ ඊට ගොඩක් සම්බන්ධ දේවල් ගැන. ජීවිතය ගැන, සමහර දේවල්වල නිස්සාරත්වය ගැන එකිනෙකා හිතන පතන විදිය ආදියයි. එතැනදී මට හැඟී ගිය දෙයක් තමයි, මේ තරම් මම සිතන පතන විදියට අනුකූලතාවයක් දක්වන වෙනත් සිතක් දරන්නෙක් මේ ලෝකේ සිටීම හරිම පුදුම සහගතයි කියන කාරණය. අපි අතරේ ඒ තරම් ගැලපීමක් තිබුණා. 

ඇයට මා ගැන හැඟුණේ හුදෙක් සාමාන්‍ය මිත්‍රයෙක් ගැන දැණුන විදියටයි කියා මට තවමත් සිතෙන්නේ නෑ. එය එහෙම වූයේ කෙසේදැයි වචනයෙන් විස්තර කරන්නට බැහැ.

ඒ අවුරුදු 2 1/2 තුළදීම මම ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට සුදුසු අවස්ථාවක් එනතුරු කල්මරමින් සිටියේ. නමුත් විස්තර කරන්නට තේරෙන්නේ නැති හේතුවකට මා එය දවසින් දවස කල් දැමුවා. එය එයට වඩාත්ම සුදුසු වේලාව නොවේයයි මගේ සිත කියූ නිසයි. අනවශ්‍ය ලෙස කළබල වීමෙන් ආදරය පමණක් නොව, ජීවිතයේ හමුවූ වඩාත්ම මා තේරුම් ගත්, අවිහිංසක, සංවේදී, හැඟුම්බර, චාම්, සරල, අවංක යන ගුණවලින් පරිපූර්ණ වූ තැනැත්තියගේ මා කෙරෙහි අවධානය, සැබෑම ලෙන්ගතුකම, ඇසුර පවා අහිමි වී යා හැකි බව මට හැඟී ගියා.

මේ අතරේ ඇගේ යම් සියුම් වෙනසක් මා නිරීක්ෂණය කළා. වෙනදාට වඩා කල්පනාවේ නිමග්න වෙමිනුයි ඇය කාලය ගත කළේ. යම් කෙනෙකුට දුරකථනයෙන් අමතන්නට ඇය උත්සාහ දරණ බවත්, අනිත් කෙළවරෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසා යම් තැවුලකින් ඇය සිටින බවයි මට හැඟුනේ. නමුත් ඇගේ නිහඬ බව ප්‍රශ්න කරන්නට මා බිය වුණා. මේ වනවිටත් මට එසේ කිරීමට අයිතියක් තිබුණේ නෑ.
අන්තිමේදී මගේ ප්‍රාණ සමාන යෙහෙළියක් මඟින් මා පිළිබඳව ඇගේ අදහස කුමන ආකාරයක එකක් දැයි දැනගැනීමට මා තීරණය කළා.
මා යෙදවූ යෙහෙළිය ඉතා විශ්වාසවන්ත වුවත්, ඇය කී කතාව මට පිළිගන්නට අපහසු වුණා.

"එයා හොඳ යාලුවෙක් තමයි. ගතිගුණත් ගොඩක්ම හොඳයි. නමුත් එයා වගේ කෙනෙක් බඳින්න නම් මම කැමති නෑ."
එයට හේතුවත් මගේ මිතුරිය උපක්‍රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා. එයත් විශ්වාස කරන්නට අපහසුයි.
ඇය පවසා ඇත්තේ මෙවැන්නක්:
ඇයට අවශ්‍යයිලු සරසවියෙන් පිටවූ වහාම විවාහ වීමට. ඇය විවාහ කරගන්නා තැනැත්තාට තමන්ගේම කියා නිවසක්, වාහනයක් තිබිය යුතුයිලු.

ඇය වගේ සරල, චාම් (ඇත්තටම මම ඇයට කැමති වන්නට ප්‍රධානම හේතු එකී කී ගුණාංගයි.) භෞතික දේවල් වලට වඩා අධ්‍යාත්මික දේවල් අගය කරන කෙනෙක් හදවතට එකඟව ඒ විදියට කතා කරන්නේ කොහොමද කියා මට සිතාගන්නවත් බැරි වුණා.

මොකද්ද මේ කතාවේ තේරුම කියා මා දින ගණනක් කල්පනා කළා. සමහරවිට ඇය කියපු කාරණය ඇත්ත වන්නට පුළුවන්. හැඟීමවලට ඉඩනොදී යථාර්ථයට මුහුණදෙන්නට ඇය ඉටාගන්න ඇති.

නමුත් මා පරාජය බාරගන්නට කැමති වූයේ නෑ. විශේෂයෙන්ම ඇය වගේ අය අද කාලේ හොයන්න හරිම අමාරුයි.

ඉතින් මම තීරණය කළා ඇයට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට.
ඒ වනවිට මම සිහින මවමින් සිටියේ උපාධියේ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමට. එය මා පමණක් නොවේ, ඇය ඇතුළු මුළු විශ්වවිද්‍යාලයම දැන සිටියා. මගේ ඒ ගැන කිසිවෙකුට අබමල් රේණුවකවත් අවිස්වාසක් තිබුණේ නෑ.  
නමුත් ඇය වෙනුවෙන් අවශ්‍යනම් එය පවා අත් හරින්නට මා තීරණය කළා. (මීට වසර 5-6කට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුට ලැබුණේ ඉතාම සොච්චම් වැටුපක්.)
උපාධිය ලැබූ පසු ආචාර්ය මණ්ඩලයට නොබැඳී ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී, එයින් ලැබෙන ඉහළ වැටුපෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිවස හා වාහනය යන අරමුණු වලට ලඟා විය හැකි බව මට පෙනී ගියා.
මේ අනුව, ඒ කැපකිරීම කිරීමට මා සම්පූර්ණ සූදානමින් සිටියා. ඒ අරමුණු ඉටුකරගන්නා තෙක්, තවදුරටත් අපේ සමීප සම්බන්ධතාවය පෙර පරිදිම ඉදිරියට ගෙන යාමටයි මා බලාපොරොත්තු වූයේ.
මේ වනවිට උපාධියේ තුන් වන වසර අවසාන භාගයයි ගතවෙමින් තිබුණේ. ඒ වනවිටත් එකිනෙකාගේ සුවදුක් විමසන කෙටි පණිවුඩ හුවමාරු වෙමින් තිබුණා.

ඒ අතරේ මගේ මිත්‍රයෙක් ගෙනා ආරංචිය නම් මට සුභදායක එකක් වුණේ නෑ. එයින් කියැවුණේ ඇය ඇගේ ගම් පළාත වන මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාවික ඉංජිනේරු විද්‍යාව හදාරණ තරුණයෙගෙන් ආදරය අයදින බව.

එක්තරා දිනෙක මම දුටුවා ඇගේ යම් කැපී පෙනෙන වෙනසක්.  ඇය වෙනදාට වඩා බොහෝ සතුටින් සිටින බවයි මා දුටුවේ. ඇගේ ජංගම දුරකථනයටත් කිසිම නිවනක් තිබුණු පාටක් පෙනෙන්නට තිබුණේ නෑ.
මා අනුමාන කළ දේ නිවැරදි වී තිබුණා. ඔහු ඇගේ ආදරය පිළිගෙන තිබුණා.

ලෝකයට හොරෙන් ආලය කිරීමේ බරපතලකම මට තේරුණේ එදායි. අපි අතර සිදුවූ කිසිම දෙයක් අප දෙදෙනා හැර අන් කිසිවෙකු දැන සිටියේ නෑ.

එය මට දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් වුවත් හිතේ හැටියට ශෝක වන්නට හැකි වාතාවරණයක් එහි තිබුණේ නෑ. ප්‍රසිද්ධියේ හිතේ අමාරුව පිට කරන්නට යාමෙන් මා උන්මත්තකයෙකු හා කුහකයෙක් යයි මිතුරන් අතරේ ආකල්පයක් ඇති වනවාට මා බිය වුණා.

එදින මා දැඩි තීරණයක් ගත්තා. ඒ දෙබිඩි ජීවිතයක් ගතකරන්නටයි. එනම් ලෝකයට පෙනෙන්නට ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර දුක, ශෝකය හුදකලාවම විඳ දරාගන්නට. වෙනත් වචනවලින් කියනවා නම් සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගතකරන බව මවාපාමින් රහස් ශෝකභරිත ජීවිතයක් ගෙවන්නට.

මගේ එම තීරණය වහාම ක්‍රියාවේ යෙදුණා.  
ඒ අනුව දිවාකාලයේ සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකළ මා, දේශන නිම වී පැමිණ කාමරයට වැදී දොර වසා විදුලි පහන නිමා දමා, යහනේ වැතිරී පැය ගණනක් හිතේ හැටියට ශෝක වන්නට මා පුරුදු වූවා.
(කෘෂි විද්‍යා සිසුවෙකු වූ මගේ කාමර සඟයා, හිස් ඇඳක් තිබූ වෙනත් කෘෂි විද්‍යා සිසුවෙකුගේ කාමරයේ ලැගුම් ගන්නට යාම එයට විශාල පහසුවක් වුණා.)
මටත් නොදැනීම ආහාර රුචිය කෙමෙන් කෙමෙන් මගෙන් ඉවත් වී ගියා. තරමක් තරබාරු සිරුරක් තිබූ මගේ ශරීරය ක්‍රමයෙන් කෘශ වී යන්නට පටන් ගත්තා.
ශරීරය දුර්වල වීම හේතුවෙන් මා නිතර රෝගාතුර වන්නට පටන් ගත්තා. රෝගවලට ප්‍රතිකාර ගන්නා බව ඇඟෙවුවත් ඇත්තටම එවැන්නක් සිදු වුනේ නෑ. 'ඕනේනම් ඉබේම සුව වී ගියාවේ. නැත්නම් වෙන ඕනම දෙයක් වුනාවේ' යන ස්ථාවරයක මා සිටියා.

මාස 7කට පමණ මේ විදියට ගෙවී ගියා.....

එකදිගට මාසයක් විතර උණ, ශරීරය අප්‍රාණික බව තිබුණා. හරිහැටි ප්‍රතිකාරයක් ගැනීමට මට වුවමනාවක් ඇති වූයේ නෑ. කෑම අරුචිය උත්සන්නම වුණා. ජීවිතය යන්තම් ගැටගසා ගත්තේ බිස්කට් කිහිපයක් සහ ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් වලින් සහ ෆාමසියකින් මිළදී ගත් 'ජීවනී' නම් පානයකින්.
දිනක් මේ මෙහි උච්චයට ළඟා වුණා. සිහිසුන්ව ඇදවැටුණු මා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ මගේ රුධිරගත ග්ලූකෝස් මට්ට්ම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ට්මක පවතින බවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය 667ක් වූවා. එවැනි ඉහළ අගයක් ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනෙක වාර්තා වී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට මා තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වූවා.
වැඩිදුර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරු මවිතයට පත්වුණා. එනම් මට වැලඳී තිබුණේ අකලට වැළඳෙන දියවැඩියා ප්‍රභේදය (Type I/Insulin dependent) නොව, වයස්ගත පිරිසි අතර බහුල Type II/Insulin independent නම් ප්‍රභේදයයි.
ජානමය හේතු නිසා තවත් වසර ගණනාවකින් මතුවන්නට තිබූ ප්‍රවේණික රෝගයක්, අධික මානසික අසංතුළිත භාවය නිසා කල්තියා අත්විඳින්නට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍ය මතය වූයේ.

මා නේවාසිකව ප්‍රතිකාර ලැබූ සති 3 තුළ තුළ මා බලන්නට පැමිණි ලබැඳියන් අතර සෑම දිනකම මම ඇගේ දෑස බලාපොරොත්තු වුවත් කවදාවත් එය ඉටුවූයේ නෑ. 

මා මුළින් කී මගේ දෙබිඩි ජීවිතය, වසර 5කට පසුවත් අදටත් නොවෙනස්ව පවත්වාගෙන යනවා. ඉන් මිදෙන්නට මට කවදා හැකියාවක් ලැබේදැයි සිතාගන්නටත් අමාරුයි.