Tuesday, February 17, 2015

හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....


හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.

සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)

ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 

උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.

මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.

එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.

10 comments:

  1. //ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. //

    එකඟ නොවෙමි. කැබ් සර්විස් කරුවන්ද, රෙන්ට් අ කාර් පොට්ද, හයිබිරිස් සැරට භාවිත කරති.

    //පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.//

    එකඟයි.

    මගෙත් හයිබිරිස් සිහනය බොඳ කලේ මෙවර තාවකාලික අය වැය. තාවකාලික නිසා ඉවසං බලන් ඉන්නවා මිසක මක්කොරන්නද? එහෙත් ඉන්දියන් වාහන බද්ධ අඩු කිරීමද අසාර්ථකයි. හයිබිරිස් භාවිතය වැඩි කිරීමට ඔය බද්ද අඩුකිරීම යහපත් කියල හිතෙනවා. බලමු ඉදිරි අයවැයක් ආවොත්.

    ReplyDelete
    Replies
    1. හැක් සෑමො එතකොට මේ තාවකාලික අයවැයක්ද ....හප්පොච්චියෙ කොත්තමල්ලි

      Delete
    2. //කැබ් සර්විස් කරුවන්ද, රෙන්ට් අ කාර් පොට්ද, හයිබිරිස් සැරට භාවිත කරති.//
      ඔබ නිවැරදියි. පෙන්වා දීම ගැන ස්තුතියි. නමුත් මා අදහස් කළේ පෞද්ගලික පරහරණය උදෙසා යොදාගන්නා රථ පමණයි.

      Delete
    3. @වැව් ඉස්මත්ත - අතුරු අය වැය කියන්නෙ ඒක නිසා නෙවේද?

      Delete
  2. මම හිතන්නෙ දවසට කිලෝමීටර් පණහක් දුවන්නෙ නැති මිනිස්සු හයිබ්‍රිඩ් ගන්න එක අපරාධයක් කියලයි. මොකද පැට්‍රල් වාහනේක වියදම ඊට අඩු නිසා. අනෙක් පැත්තෙන් හයිබ්‍රිඩ් බැටරි රීසයිකල් වෙන ක්‍රමයක් නැති නිසා එක පැට්‍රල් වලින්ම තරම් හනියක් ඉසරහට. තව එකක්, ගංවතුරකට හයිබ්‍රිඩ් වාහනයක් කොටු උනොත් වෙන්නෙ ලොකු අර්බුධයක් නේද?

    ReplyDelete
  3. ඔබ හරි බුද්ධිගලනයට මේ මාවතක් වන්නට බැරි නැත. නමුත් උගත් ප්‍රජාවක් වශයෙන් ඔවුන් මේ සම්බන්ධයෙන් ඉක්මන් නොවිය යුතුය. ඒ මන්ද කිව හොත් මෙය තාවකාලික අයවැයක් බවත් තව නොබෝ දිනකින් මැතිවරණයක් පවත්වන බැවිනුත්. ඇතැමුන්ට වැරැදි සිදුවුවද ඊලගග නිමේශයේදී එය නිවැරැදි කර ගැනීමට අවකාශයක් ලැබෙනු ඇත

    හයිබ්‍රිඩ් වාහනයක් කෙසේ වෙතත් හයිබ්‍රිඩ් වැස්සියක් හෝ ගන්නවාමය

    ReplyDelete
    Replies
    1. එවැනි කළකිරීමක් වන්නේ එක රැයින් නෙමෙයි. යෝධ ඇළේ නැම්ම (සැතපුමට අඟල බැස්ම.) වගේ ටිකෙන් ටික. 6% කාලෙදි වෙච්ච දේවල් එහි ඉදිරිපෙළ ක්‍රියාකාරියෙක් විදියට මම දැක්කා. අපිත් එක්ක ඒ සටනට උරදුන්නු සමහර විද්වතුන් අද අපිත් එක්ක එහි ප්‍රතිඵල බුක්ති විඳින්න මේ රටේ නැහැ.

      Delete
  4. //එකී දූෂිත රජය//
    :-)

    ReplyDelete
    Replies
    1. පැවති රජය අන්ත දූෂිත එකක් තමයි. හොඳම උදාහරණය 'ණයට කිරුළ' වැනි මහා පරිමාණ ජනතා මුදල් නාස්තිය. මා මේ රජය බලයට ගෙන එන්නට දායක නොවූ බව ඇත්ත. මේ අඩවියේ පැවති රජය විවේචනය කරන්නට වැඩි අවකාශයක් වෙන් නොකළ එකත් ඇත්ත. නමුත් මා ෆේස්බුක් වැනි සමාජ ජාලවල ඇති තරම් ඒවා කතා කර තිබෙනවා. ඒ සමහරු සිතා සිටින පරිදි මගේ 'ලේත් කොළපාටයි' වැනි නූගත් මානසිකත්වයෙන් නොවෙයි. (මෙය ඔබට කරන අපහාසයක් නොවෙයි. ඔබට එය අදාල නොවනවා ඇති. පොදුවේ යම් පිරිසක් ඉලක්ක කරගෙන කරන එකක්.) පුරවැසියෙක් ලෙසට මගෙන් විය යුතු වගකීම් හා යුතුකම් ඉටුකළ යුතු නිසා. මා පෞද්ගලිකව දන්න අය කියාවි, 6% සටනේදී මා පැවති රජයට එරෙහිව කෙතරම් තදින් ක්‍රියා කළේද කියා.
      වත්මන් පාලනය, පැවැති එකට වඩා දැනට සාපේක්ෂව හොඳ බව මා පිළිගන්නවා. නමුත් මා තවමත් මෛත්‍රීවාදියෙක් නොවෙයි. තවමත් මා ඉන්නේ නිරීක්ෂණ මට්ටමෙන්.

      Delete
  5. මං කියන්න හිතන් ආව එකම උඩින්ම සෑමා කියලා ගිහින්.. බලාගෙන ඉමු.. තව ටික දවසකින් මේවා ආයෙම වෙනස් වෙන්න බැරි නෑ..

    ReplyDelete