Sunday, October 18, 2015

රාජ්‍ය සම්මාන මායාව සහ ග්‍රන්ථ ප්‍රකාශක මාෆියාව

මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link)
මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි. 

මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.

'පළමු දඩයම' මෑතකදී ග්‍රන්ථයක් ලෙස දොරට වඩින්නට පෙර එය පළමු වරට උපත ලැබුවේ වේදිකා නාට්‍යයක් ලෙසටය. ඒ අතීතය මින් වසර 8ක්, එනම් 2007 දක්වා ඈතට දිව යයි. නමුත් එහි වස්තු බීජය ම'පියාගේ සිත තුළ පිළිසිඳ ගන්නට ඇත්තේ ආසන්න වශයෙන් මීට දශකයකට පමණ පෙරාතුව ය.

එයට මුල්වූ සංවේදී අත්දැකීම නොහොත් වස්තු බීජය බොහෝ දෙනා නොදනී. සිද්ධිය සැකෙවින් මෙසේය:

දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ම'පියා එකල මාතර නගරයේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඇදුරුතුමන් විය. 

වෙනත් සංස්කෘතියක් නියෝජනය කළද, නාට්‍යකරණයට සහජ දක්ෂතා පෙන්නුම් කළ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතයේ සාමාන්‍යපෙළ කඩඉම වුව පසු කළේ නොමැති වුවද ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වූයේ ඇය කුඩා කලම ගිවිසගත් පරිදි වය්‍යාපාරික තරුණයෙකුට විවාහ කර දීමය. මේ පිළිබඳව සිසුවිය  තුළ අබමල් රේණුවකුදු කැමැත්තක් නොවුවද, දෙමාපියන් ඒ සඳහා ඇයට බලකර සිටින්නට වූහ. මේ පිළිබඳ සිත් තැවුලෙන් නොකා නොබී දින ගත කළ ඇය පිළිබඳ ම'පියාට දැනගන්නට ලැබුණි. 
ඔහු ඇගේ නිවසට ගියේ ය. එහිදී ගුරුවරයෙකු වශයෙන් ඔහු හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය.

"අනේ සර්....මාව බේරගන්න!" සිසුවිය ඔහු පාමුළ වැඳ වැටුණා ය.

දෙමාපියන්ට කෙතෙක් කරුණු පැහැදිලි කර දුන්නද සිය දියණියගේ සුකොමළ ජීවිතයට වඩා ආගමික චාරිත්‍රය ලොකු කරගත් ඔවුහු සිය රුදුරු තීරණය වෙනස් නොකළහ.

ඉතා සංවේදී පුද්ගලයෙකු වූ මගේ පියා මින් ඉමහත් කම්පාවට පත්විය.

අප්‍රිකානු අනුභූතියක් තුළ ගොඩනැංවුවද, ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයක මස් වැද්දෙකුගෙන් ඉගෙණුමෙහි සමත් තරුණියක් ගලවාගෙන සිදාදියට පළා යන්නට යත්න දරණ ගුරුවරයෙකුගේ ප්‍රස්තුතය (තේමාව) රැගත් එම නිර්මාණයෙන් පිළිබිඹු වූයේ අප ජීවත්වන සමාජයේම එක් අඳුරු පැතිකඩකි. තවත් එක් 'කාන්තාරයේ කුසුම' කි. (Desert Flower by Waris Dirie)

'පළමු දඩයම' ඔහු සේවය කරන විද්‍යාලයේ පෙරහුරු දර්ශනයක් රඟදැක්වූ දිනය ඔහුට වඩාත් වේදනාකාරී එකක් විය. 100% ක්ම ස්වතන්ත්‍ර වූ මේ නිර්මාණය, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් විය යුතුයැයි ඇතැම්හු නිගමනය කළහ. මීටත් වඩා බරපතළ චෝදනාවකට, (සිය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ලවන තරමේ) ඔහු ලක්විය. කථාවේ යටිපෙළ අරුත තේරුම් ගන්නට නොහැකි වූ එක්තරා කලාකාරයන් පිරිසක් එය අර්ථ දැක්වූයේ මෙසේයැ! 

කලාකරුට සිය සිසුවියක් පිළිබඳ සිතක් පහළ වී ඇත. මෙය සමාජ සම්මත‍යට පටහැනි නිසා එකම විසඳුම "අපි පැනලා යමු" යන්න වය්‍යාංගයෙන් පැවසීමයි. කතාවේ තේමාව දිවෙන්නේ ඒ ඔස්සේය...!
මේ කතාව මගේ අම්මාටද අසන්නට ලැබුණා නොව, 'ෆුල් සීරියස් මූඩ් එකක' කිසිවෙකු විසින් පවසන ලදී. විශ්වවිද්‍යාලයේදී ප්‍රේම සම්බන්ධයකින් විවාපත් වී දශක තුනකට අධික කාලයක් පුරාවට ම'පියා ගැන දන්නා ඇය එය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කිරීම අප කාගේත් පූරුවේ වාසනාව විය.

දහඩියෙන් කඳුලෙන් ඉපයූ, (එක් දර්ශන වාරයකට) අසූ දහසකට අධික (සෑම දර්ශන වාරයකම ආදායම ඊට වඩා බෙහෙවින් අඩු වූ බව කිව යුතුය.) මුදලක් හා මිළ කළ නොහැකි කැපකිරීම් රාශියක අග්‍ර ඵලය ලෙස ඔහු එය නැවත නැවතත් වේදිකා ගත කළේය. ඒ මාස ගණනක කාලය තුළ කිසිදිනෙක ඔහු මධ්‍යම රාත්‍රී පසුවී අළුයම උදාවනතුරු නිවසට පැමිණියේ නැත. ඔහු එනතුරා හදවත් රෝගියෙකු වූ මගේ මවුතුමිය නිදිවරා මගබලා සිටියාය.

අන්තිමේදී එය 2008 රාජ්‍ය නාට්‍ය උළෙලට නිර්දේශ විය. එය නැරඹූ නැසීගිය කලාශිල්පී එච්.ඒ. පෙරේරා මහතා එය ඔහු සිය ජීවිත කාලයේ නැරඹූ හොඳම වේදිකා නාට්‍ය අතළොස්ස අතර තිබෙන බවද, රාජ්‍ය සම්මානයක් නියත බවද කීය. ඔහු පමණක් නොව, එකී රාජ්‍ය නාට්‍ය උළෙලේ සියළුම නාට්‍ය එකක් හෝ අත නෑර නැරඹූ දිවයිනේ ප්‍රකට මාධ්‍යකරුවෙක් එය සනාථ කළේ ය. 

නමුත් පුදුමය නම් අවසානයේ කුසලතා සම්මානයක් හෝ දිනාගැනීමට එය සමත් නොවීමය. විවෘත මනසක් සහිතව මා නැරඹූ එතරම් කැපී පෙනෙන විශේෂත්වයක් නොමැති ඇතැම් නාට්‍යවලට සම්මාන වරුසා වසින්නට විය. අප ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අනුවර්තනයක් ඉදිරිපත් කිරීම ඊට හේතුව යයි තැන තැන කසුකුසු ගානු ඇසිණ.

ලොකුම විහිළුව නම් එකී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය සම්මානය දිනූ 'නිර්මාණය' අනුවර්තනයක් වීම ය. මා ඒ වනවිටත් නරඹා තිබූ 'අ බියුටුෆුල් සන්ඩේ' නම් විශ්ව කීර්තියට පත් නිර්මාණයේ විදේශීය නම් වෙනුවට ලාංකික නම් ගම් ආදේශ කිරීම මගින් නිර්මාණකරු එය ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අපූරුවට ඒත්තු ගන්වා තිබුණි.

සම්මාන සඳහා නිර්දේශ වූ නාට්‍යය නිර්මාණය අත්වූ කල දසාව එසේ වෙද්දී ඉන් බිඳක්වත් නොසැලුනු ම'පියා, එය 'ග්‍රන්ථාරූඪ' කිරීමට සත් වසක් දුක් විඳී ය.

මහා දානපතියන්, සමාජයේ පරමාදර්ශී පුද්ගලයින් ලෙස පෙනී සිටින බොහෝ පොත් ප්‍රකාශකයින්, ඔහු නොසලකා හැරියා පමණක් නොව ඔහුට අවමන් කිරීමටද නොපැකුළුනි.

පසුගිය 'දූෂිත' රජය පෙරළා වත්මන් යහපාලනය උදාකිරීමට මාධ්‍ය මගින් මහ මෙහෙවරක් කළ එක්තරා මහැදුරෙකුට අයත් 'විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය' එහිළා විශේෂ ය.

ගිනි අවුවේ නාට්ටාමි කෙණෙකු මෙන් මහා පොත් මිටියක් අතේ දරාගෙන ඔහු එකී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට ගොඩවන විට එහි සිට ඇත්තේ එකී මහැදුරුතුමාගේ ප්‍රියාදර ඇඹෙණිය යි.

"අපෝ..! ඔය අප්‍රසිද්ධ ලේඛකයින්ගෙ පොත් ගහල අපිට නිකං පාඩු විඳින්න බෑ. අපි බිස්නස් එකක්නෙ කරන්නෙ. අනිත් එක මේ දවස්වල කවුද නාට්‍ය පොත් කියවන්නෙ? මේ දවස්වල නැගල යන්නෙ ඔය නවකතා, ශිෂ්‍යත්ව පොත් වගේ ඒවනෙ. බැරිද ඒ වගේ ඒව කරන්න?" 

සොච්චම් කතෘ භාග (භාග කිවුවට 50% නොවේ. 5 % කි!) ගිවිසුමක් යටතේ මුද්‍රණයේ පවතින සිය පොතක සෝදුපත් බැලීමට සිවුවන මහළ නැගීමට ගිය මගේ පියාට, ඇස් ගොඩගේ නම් ජාතියේ මහා පහන් තැඹ, සිය ආයතනයේ විදුලි සෝපාව භාවිත නොකර පියගැටපෙළ භාවිත කරන්න යැයි අණ කර තිබේ. තුන් වේලවත් කන්න නොතිබූ අන්ත දිළිඳු ගොවියෙකුගේ පුතෙකු වූ ඔහුට තට්ටු සතරක් නැගීම මහ ලොකු කජ්ජක් නොවේ. එහෙත් පඩි පෙළ නගින අතරතුර ඔහු මට මෙසේ කීය.

"මේ මිනිස්සු මැරෙනකොට ගෙනියන්නද දන්නෙ නෑ අපි වගේ දුප්පත් ලේඛකයින් හූරා කාල මෙච්චර හම්බ කරන්නෙ. අඩු ගානේ දරුවෙක් මල්ලෙක්වත් ඉන්නවනම් කමක් නෑ."

ප.ලි. කංචුක නිර්මාණය: ලංකාදීප ප්‍රවීණ කාටුන් ශිල්පී පියල් උදය සමරවීර මහතාගේ පුත් පසත් සමරවීර.

මේ හා සබැඳි වෙනත් ලිපි:

පොත්
මගේ තාත්තා හෙවත් 'පළමු දඩයම' මැවූ ලේඛක තුමාගේ අපූරු ජීවිත කථාව