Thursday, June 4, 2015

ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල

මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,

ලංකාවේ ඉතා අකාර්ය්‍යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.

සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.
ඉන් කියැවුණේ, අපට ඉතා ලබැඳි මගේ ඥාති සොයුරියක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඒ අනුව මා දේශනය කළින් නවත්වා මාතර හා ගාල්ල බලා පිටත් වූයෙමි.

දැන ගත් පරිදි සිදුවීම් දාමය මෙසේ ය.

මීට දින 3-4 කට පෙර ස්වසන අපහසුතාවය හා මද උණ ගතිය හේතුවෙන් මා ඥාති සොයුරිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තත්ත්වය උත්සන්න වී ඇති අතර, රෝගය නිවුමෝනියාව යයි නිගමනය කර ප්‍රතිකාර කර ඇත. දින 3කට පසු ස්වසන අවහිරතාවය සහ මද උණ ගතිය තිබියදීම 

"ඔයාට දැන් සනීපයි. අනිත් එක මොකටද මෙතන තද බදේ අස්සෙ ඉන්නෙ. අපිට ඇඳනුත් නැහැ. අනිත් අයට දෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා." යයි කියමින් අප ඥාතීන්ගේ දැඩි විරෝධතාවය මැද බලෙන්ම ටිකට් කප්පවා ඇත. 

තත්ත්වය එන්න එන්නම නරක් වූ හෙයින්ද, මාතර රෝහලෙන් තවදුරටත් පිළිසරණක් නොමැති හෙයින්ද ඥාතීන් මැදිහත් වී සොයුරිය කරාපිටිය ශික්ෂණ රෝහල (Teaching Hospital) ට ඇතුළත් කරන ලදී.

එහිදී හෙළිවූයේ මා ඥාති සොයුරියට ඉතා දරුණු වයිරසයක් වන Influenza A H1N1 ආසාධනය වී ඇති බවයි. මේ වනවිට ස්වසන අපහසුතාවය උත්සන්න වී ඇති අතර, වහාම දැඩි සත්කාර ඒකකය (ICU - Intensive Care Unit) වෙත යොමු කරන ලදී.
එහිදී හෙළිවූයේ, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 78 දක්වා පහළ බැස තිබූ බවයි. (නීරෝගී පුද්ගලයකුගේ මෙය 92-98 දක්වා පරාසයක පවතී.) 
වෛද්‍ය නිගමනය වූයේ තවත් ඒකක කිහිපයක් පහළ බැස්සානම්, එනම් තවත් අඩ පැයක් හමාර වූවානම් ඇගේ ජීවිතය අවසන් වන බවය.
මේ මොහොත වනවිටත් ඇය ජීවත් වන්නේ ඉතා අවදානම් තත්ත්වයක, සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ආධාරයෙන් ය.

මා ඥාති සොයුරිය, මාස කිහිපයක් වයසැ'ති බිලිඳු දියණියකගේ අම්මා කෙනෙකි. අම්මාගේ උණුසුම නොමැතිව අවිහිංසක සුරතල් දියණිය හඬනු දැක්ම තරම් හද කම්පා කරවන දර්ශනයක් මිහිපිට නොමැති තරම් ය.