Tuesday, October 30, 2012

ලබන මාසෙ පඩියෙන් බඳිමු...?


මේ කතාව මට කිවුවෙ මගෙ මහාචාර්යතුමා. අපේ යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න ඔහු පාවිච්චි කරන්නෙ අපූරු උපක්‍රමයක්. ඒ තමයි උපහාස කතා. හාස්‍යොත්පාදක කතා විදියට ඔහු මේවා තැනට සුදුසු ලෙස පැවසුවාට, අපි හඬනගලා සිනාසුනාට මේවායේ ගැබ් වෙලා තියෙන සියුම් උපහාසය ඇත්තටම එල්ල වෙලා තියෙන්නෙ අන්තිමට බලාගෙන ගියාම අපිටමයි. මේකත් එහෙම එකක්. 

වැඩ කල් දමන්න අපි තරම් රුසියො මේ ලෝකෙ තවත් නැතුව ඇති. මේ එහෙම කෙනෙක් ගැනයි.

අගනුවර ආයතනයක සේවය කරන තරුණියක් සහ තරුණයෙක් ප්‍රේමයෙන් බැඳුනලු. ගෙවල් වලිනුත් අවුලක් නැතිලු.

තරුණියට වුවමනා වුනාලු ඉක්මනට කසාද බඳින්න. දවසක් මේ ගැන එයා සිය අනාගත සැමියට මතක් කළාලු.
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..." ඔහුගේ පිළිතුර වුනා.
වෙඩිමක් ඉතින් කොච්චර චාමෙට ගත්තත් ටිකක් සල්ලි එහෙම ඕනෙනෙ. ඒක නිසා ඒ ගැන තරුණිය සතුටු වුනාලු. අනෙත් එක මහ ලොකු කාලයක් නෙමේනෙ. ලබන මාසෙ.
ඉතින් මෙයා ඊළඟ මාසෙ පඩි දවස වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවලු. යාළුවොත් එක්ක විවාහය සැලසුම් කරනවලු.

ඔන්න කොහොමහරි පඩි දවසත් ආවලු.
හිතපු නැති දෙයක්නෙ වුනේ. තරුණයා ගැටළු ලිස්ට් එකක්ම ඉදිරිපත් කළාලු. බලාගෙන ගියාම ඒ ඔක්කොම අත‍යවශ්‍ය හදිසි වැඩ. ඒවට සල්ලි වියදම් කළාම වෙඩිම ගන්න වෙන්නෙ නෑ කියල මෙයා තරුණියට එආත්තු ගැන්වූවා.  
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..."
කමක් නෑ. මාසයයිනේ. තරුණිය හිත හදාගෙන හිටිය.

ඒත් ඊලඟ මාසෙ පඩියෙන් කරන්න තවත් වැදගත් වැඩ ලිස්ට් එකක් අපේ කොල්ලට එකතු වෙලා. ආයෙත් මාසයක් කල් ගියා.

මෙහෙම මාස කිහිපයක්ම ගත වුනා. ඒ ගැන මතක් කරන හැම වෙලාවෙම ඔහුගෙ පිළිතුර වුනේ "අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු...!"
ඔහොම කාලයක් යනකොට තරුණියට තේරුණා මේක හරියන සූදුවක් නෙමෙයි කියලා. සුපුරුදු පරිදි ඉතින් එයා වෙන අතක් බලා ගත්තා.
කොල්ල මානසිකව වැටිල වැඩ කරපු තැනින් අස් වෙලා වෙන තැනකට ගියා.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * 

අවුරුදු 3කට පස්සෙ තරුණිය බබාල දෙන්නත් එක්ක බස් එකකට නගින්න ඉන්නකොට දැක්ක අර ඩයල් එක පාරෙන් අනිත් පැත්තෙ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොනව වුනත් ඉතින් දවසක් හරි ආදරේ කරපු මනුස්සයනෙ කියල මෙයා පාර පැනල එයා හම්බෙන්න ගියා.

බලනකොට මිනිහ තාමත් තනිකඩ.
"හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව..? කසාද බඳින්න එහෙම අදහසක් නැද්ද..?" තනිකඩයන්ගෙන් ඇහෙන සුපුරුදු පැනය.

එතකොටම බස් එකක් ආවලු. මෙයා කළබලෙන් බස් එකට ගොඩ වෙන ගමන් මෙහෙම කියාගෙන ගියාලු.

"ලබන මාසෙ පඩියෙන් බඳිනවා...!"

Friday, October 26, 2012

ඉරුණු නෝට්ටුව


මා අත තිබුණු ඉරුණු නෝට්ටුව මට පැටවූයේ කවුරුන්දැයි මා මතක් කර බැලූ මුත් සිහියට නො එයි. අද දවසේ කිහිප තැනකින්ම මුදල් ගනුදෙනු කළ බැවින් නිශ්චිත තීරණයකට එලැඹිය නොහැකි විය. ඉතිරි මුදල් එවෙලේම පරික්ෂාකර බලා භාරගැනීමේ පුරුද්දක් නොමැති වීම ගැන මම මටම දොස් පවරා ගතිමි. මීට පෙරද කටුබැද්ද හන්දියේ එක්තරා හෝටලයක් සහ බස් කොන්ස්තරවරුන් රැසක් මට රු. දහස් ගනණින් හිතාමතාම වංචා කළේ මගේ මේ අනවශ්‍ය කලබලය දඩමීමා කරගෙනය. එහෙත් තවමත් මා හැදී නැත.

මම යලිඳු නෝට්ටුව පරීක්ෂා කර බැලීමි. එය රු. 100ක නෝට්ටුවකි. හරි මැදින් බාගයක්ම ඉරී ඇත. එහෙත් 'සෙලෝ-ටේප්' පාරකින් එය ඉතා පහසුවෙන් අළුත්වැඩියා කළ හැකි බව පෙනුනි.

මා සතුව සෙලෝටේප් නොමැති වීම නිසා සහ ගන්නට සිතා සිටියත් අමතකවීම නිසා එය දිනෙන් දින කල් ගියේ ය. දින නොව සති කිහිපයක්ම කිසිදු වෙනසක් නොවී එය පසුම්බියේම රැඳුනි. බැංකුවටද කිහිප වරක්ම ගියද කළබළකාරී බව නිසා එය හොඳ නෝට්ටුවකට මාරු කර ගැනීමට අමතක විය.

මගේ හිත හොඳ කමද මෙය මෙතරම් දික් ගැස්සීමට හේතු වූවා යයි කිවහොත් වඩාත් නිවැරදිය. ගණුදෙණු කරන අවස්ථාවකදී එය අනෙක් හොඳ නෝට්ටු සමඟ ප්‍රයෝගකාරීව දෙන්නට සිතුනද හිතට එකඟව එසේ කළ නොහැකි විය.

වරක් එය ආපනශාලවට දී තේ ඇණවුම් කළෙමි. මුදල් භාරගත් සේවිකාවට එහි තත්ත්වය ගැන කල්පනාවක් නොවීය. එය ලාච්චුවේ දාගන්නට ඔන්න මෙන්න් කියා තිබියදී මට සිතුනේ මා තවත් අහිංසකයකු අමාරුවේ දමන බවත්, විශේෂයෙන්ම දිනපතා ගනුදෙනු කරන මෙවැනි හිතවත් කෙනෙකුට එසේ කිරීම බලවත් වරදක් බවත් ය. මම වහාම ඇත්ත පවසා එය ආපසු ඉල්ලා ගතිමි.

කෙසේ හෝ සෙලෝටේප්  රෝලක් ගැනීමට මම තීරණය කළෙමි. අදාල ගාස්තු ගෙවා මම එය ලබාගෙන සේවා ස්ථානයට පැමිණ හරි බරි ගැසී වාඩි වූයේ ඉරුණු නෝට්ටුව අළුත් වැඩියා කිරීමටය.

ඒත් කෝ ඒක....? එය පසුම්බියෙහි හෝ සාක්කුවල නොවීය. 

එහෙත් ඒ වෙනුවට සෙලෝටේප්  මිළදී ගැනීමට පෙර තිබූ මුදල් සියල්ලම එහි තිබුණි.....!  

කිසිදා වැඩිහිටියෙකු නොවන 'පොඩි එකා'


අප සමාජයට කෙතරම් වැඩිහිටි චරිත වුවද ගෙදරට තවමත් නොදරුවන්ය. මිතුරන් සමඟ කෙටි ගමනක් යාමට සූදානම් වූ විට 'මූදෙ නාන්න යන්න එපා', 'වාහනේ හයියෙන් යන්න එපා' වැනි උපදෙස් අදටත් නොඅඩුව ලැබේ. ආශ්‍රය කරන්නේ කවුරුන් සමගදැයි තවමත් සොයා බලයි. ඇඳිරි වැටුනු පසුත් ගෙදරට වාර්තා කර නොමැති නම් ජංගම දුරකථනයට නිවනක් නොමැත. ගියේ දුර ගමනක් නම් ගමනාන්තයට සුවෙන් ළඟා වෙමින් පවතීද?, ගෙදරට ගොඩ වැදුනේද?, තව කවුද ඉන්නේ? යනාදී වශයෙන් සියල්ල සජීවී විස්තර ප්‍රචාරයක් දීමට සිදුවේ. බැරි වෙලාවත් හදිසියක් වී රාත්‍රියේ නිවසින් පිටවීමට සිදුවුවහොත් තනිවම එම ගමන යාමට කිසිසේත්ම අවසර නොලැබේ. රාත්‍රියේ "බීපු මිනිසුන් ඇඟේ හැපීම සහ බේබදු රියදුරන් ඇඟට කැපීම" එයට හේතුව බව ඊයේ සිදුවූ මෙවැනි සිදුවීමකට මා විරෝධය දැක්වීමේදී දැනගැනීමට හැකිවිය. එය මට හාස්‍යජනක කරුණු පැහැදිලි කිරීමක් වුවද, කෙතෙක් උපහාසයට ලක් කළද සිත රිද්දන්නට නොහැකි හෙයින් අදහස අත් හැර ගැනීමට සිදුවිය. මා සූදානම් වූයේ මහා ලොකු දුර ගමනක් යාමට නොව, මීටර් 700ක් පමණ දුරින් පිහිටි හන්දියට ගොස් රීචාර්ජ් කාඩ් පතක් මිළදී ගැනීමටයි! 

මේ ළඟදී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා මා වටහාගෙන සිටින්නේ මා තවමත් පොඩි එකෙකු නොවන බව ගෙදර අය පිළිගැනීමට අපොහොසත් බවයි. මින් එකක් මෙසේය:

මගේ පියා ගුරුවරයෙකි. ඔහු සුළු පරිමාණයෙන් පුද්ගලික පන්තිද පවත්වයි. එතරම් ආදායමක් නොලැබෙන ඒවායේ ප්‍රචාරයද බොහෝ විට සිදුවන්නේ ඉතා සුළු පරිමාණයෙනි. බොහෝ විට ගෙදරදීම සකස් කරන ලද ලී රාමු සහිත කටවුට් කිහිපයක්, පැය කිහිපයකට කුළියට ගන්නා ලද පුද්ගලයකු ලවා එල්ලවීමට පමණක් මෙය සීමාවේ.
මෙවර ඒ සඳහා අපට අවශ්‍ය පුද්ගලයා සොයා දුන්නේ ම'පියා ගේම ගෝලයෙකි.

අපි, එනම් මම, තාත්තා, ඔහුගේ ගෝලයා සහ  කටවුට් එල්ලන වැඩේ භාරගත් තරුණයා වාහනයේ ගමන් ගනිමින් සිටියෙමු. නගරයට කිලෝ මීටර කිහිපයක් දුර බැවින් ඒ යන අතරතුර කතාබහේදී ඔහුද වෙනත් විශයමාලාවකින් උසස් පෙළ හදාරන සිසුවෙකු බව දැනගන්නට ලැබුණි.
ප්‍රචාරක පුවරුවක් එල්ලන්නට සුදුසු තැනකට අපි පැමිණ සිටියෙමු. මා ඇමතූ තාත්තා...

"පුතේ, ඩිකියෙ ඇති කම්බියි, කටර් අඬුවයි. මේ අයියට දෙන්න....."

අයියා? ඔහු උසස් පෙළ සිසුවෙකි. අඩු තරමේ අවුරුදු 7-8 ක්වත් මට වඩා බාල විය යුතුය. මා උසස් පෙළ පමණක් නොව විශ්වවිද්‍යාලය පමණක් නොව රැකියාද කිහිපයක්ම 'පාස් කළ' අයෙක්මි. තත්තාට වැරදීමක් සිදුවන්නට ඇතැයි සිතුනි. නමුත් ඔහු අඳුරේම කණුවක් පාමුලට යනු දුටු තාත්තා නැවතත්
"පුතේ අයියට ටෝච් එක අල්ලන්න" යයි කීය.

එන පොට හොඳ නැති බවත් මේ ගැන මොනවා හරි කළ යුතු බවත් මම සිතාගතිමි.
යළි වාහනයට පැමිණ ගමන් ඇරඹූ පසු මම තරුණයා කතාවට අල්ලා ගතිමි.

"මල්ලි මොන අවුරුද්දෙද ඒ. ලෙවල්....?"  
"2014."
"ආ..ඇත්තද...? මම 2003...!" මා කීවේ තාත්තාටද ඇසෙන පදිරි උස් හඬිනි.

ඉන් පසු ඔහු මට ඔහුගේ ගෝලයා 'අයියා' ලෙස හඳුන්වා දුන්නේ නැත.

ආපසු එන අතර මා කල්පනා කළේ මෙයයි:
"හොඳ වෙලාවට කසාද බඳින්න එහෙම හදිස්සියක් නැත්තේ....බැරි වෙලාවත් එහෙම වුවමනා වුනා නම් සොරිම තමයි....!" 

කාලය මැවු වෙනසක අරුමේ...


සාමාන්‍යයෙන් මම ප්‍රකෝපකාරීව හෝ කළහකාරීව හැසිරෙන කෙනෙක් නොවෙමි. එහෙත් බලවත් අසාධාරණය හමුවේ මගේ ඉවසීමේ සීමාවන් දෙගොඩ තලාගිය විට මා හැසිරෙන ආකාරය ගැන විවේචන තිබේ. එම හැසිරීම මගේ උගත්කමට නොගැලපෙන බව බහුතරයක් මිතුරන්ගේ මතය වුවද එය මා තුළ තවමත් යම් තාක් දුරට පවතින දුර්වලතාවයක් බව පිළිගනු නොකැමැත්තෙමි. බොහෝ විට මා එසේ කිරීම ගැන පශ්චාත්තාප නොවන අතර ඒ ගැන වැඩිදුර කල්පනා කිරීම අත් හැර දමමි.

එහෙත්....එවන් සිද්ධි වලට සම්බන්ධ පාර්ශව කෙරෙහි මගේ ආකල්පය, ජීවන අත්දැකීම් තුළින් ජීවිතය පිළිබඳ දැක්ම සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථා ඇත. මෙය එක්තරා ආකාරයකට අසම්පූර්ණව තිබූ පරිණත භාවයක් මා වෙත ළඟා කර ගැනීමක් බවට පිළිගැනීමට සිදුවේ. මේ පරිණත භාවය, කිසිදා සංතෘප්ත නොවන, සදාකල්හිම වැඩිදියුණු වෙමින් පවතින්නක් යයි හැඟේ.

මීට වසර කිහිපයකට පෙර මා සරසවි ශිෂ්‍යයෙක් ලෙස සිටි කාලයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන මා තුළ පැවති ආකල්පය එයට කදිම නිදසුනක් සපයයි.

මා එවකට පීඨ ශිෂ්‍ය නායක ව සිටියෙමි. අළුත් වාරයක් (සෙමෙස්තරයක්) ආරම්භවනවිට ඒ සඳහා අප හදාරණ විෂයයන් වලට ලියාපදිංචි වීම අප විසින් කළ යුතු විය. එතෙක් කල් පැවති සම්ප්‍රදාය වූයේ, සියළුම ශිෂ්‍යයන් විසින් තනි තනිව පුරවන ලද අයදුම්පත්, පීඨ ශිෂ්‍ය නායක විසින් පරීක්ෂාකර බලා අදාල අංශ වලට ගෙන ගොස් භාර දීමයි.

ඉතා අසීරුවෙන් එකතු කරගත් පීඨයේ සියලු සිසුන්ගේ නිසිලෙස සම්පූර්ණ කරනලද අයදුම්පත් ගොන්න සමඟ අදාල දෙපාර්තමේන්තුව වෙත ගිය මට දන්වන ලද්දේ අනපේක්ෂිත කතන්දරයකි. එනම් මෙවර සිට සිසුන් තනි තනිව පැමිණ ලියාපදිංචි විය යුතු බවයි.

මම මේ තීරණයට එකඟ නොවීමි. එක් එක් වාරවල එක් එක් ප්‍රතිපත්ති පැවතිය නොහැකි බවත්, මෙය පත්වීම් ලිපියකින් පිළිගන්නා ලදුව ඇති ශිෂ්‍ය නායක පදවිය අවිශ්වාසයට ගැනීමක් ලෙස හා ඔහුගේ බලතල අවප්‍රමාණ කර සැලකීමක් ලෙස හුවා දක්වන්නට තැත් කළෙමි. ප්‍රතිඵලය වෙනස් නොවන කල්හි මට ඉවසුම් නොමැති විය. දැන් දැන් වාදය එන්න එන්නම උණුසුම් වේගෙන එයි.

මගේ කතා විලාශය කොහොමත් අනෙත් අයට සාපේක්ෂව තරමක් ශබ්දයෙන් වැඩිය. එක්වරම එහි සිටි අනධ්‍යන සේවිකාවක් (ඔවුන්ගේ වයස හා අධ්‍යාපන සුදුසුකම් අප දැන සිටියෙමු. ඇය මට වඩා වසර 2ක් පමණ බාල, අ.පො.ස. උ.පෙ. යන්තමින් සමත් තැනැත්තියක් බව දැන සිටියෙමි.) මා අමතා මෙසේ කීවේ ආරූඪ කරගත් මහේශාක්‍ය ලීලාවෙනි.

"මේක මොකක් කියලද හිතාගෙන ඉන්නෙ මෙතන ඔහොම කෑ ගහන්න...?"

මට නිම් නැතිවිය. කොහොමටත් මෙවැන්නියන් ගැන අප සියලු දෙනා (සිසුන්) තුළ තිබුණේ ඉතා අයහපත් ආකල්පයකි. මොවුන් ශිෂ්‍යයන් නොසලකා හැර ඇති අවස්ථා සහ තමන් සිසුනට වඩා ඉතා වැදගත් ගෞරවණීය පිරිසක් යයි දැනෙන්නට හැර ඇති අවස්ථා රාශියක් ගැන මට පැමිණිලි රාශියක් ලැබී තිබුණි. මේ සාපේක්ෂව නූගතුන් අතින් බාල්දු වන්නේ සරසවි ශිෂ්‍යයා සතු අභිමානය නොවේද...? 

මා කෙතරම් උද්වේගකර වූවේද කියතොත් මා සමඟ සිටි මිතුරන් විසින් මා තරකොට අල්ලා නොගන්නට ඇය මා අතින් පහර කනු ඇත. ඉතා ආවේගශීලීව මම ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීතුමියට සහ ජෙ‍ය්‍යෂ්ඨ ලේඛකාධීතුමාට මොවුනට ශිෂ්‍යයන් පහත්කර සැලකීමට මෙවැනි බලතල දීම ගැන දිගු වේලාවක් දොස් පැවරීමි. සිද්ධිය දැනගෙන අවට සිටි සිසුන්ද රැස්ව සිටි අතර ඔවුන්ද මා ගත් ක්‍රියාමාර්ගය එකහෙලාම අනුමත කළ අතර මා මෙම පොදු ගැටළුව කල් නොහැර ඉදිරිපත් කිරීම ගැන බලවත් ප්‍රසාදය පළ කළහ.  

කාලය ගෙවී ගියේය. මා උපාධිය ඉහළින් සමත් වී ටික කළක් පුද්ගලික අංශයේ සේවය කර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳීමට තීරණය කළෙමි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මා උගත් සරසවිය මා ප්‍රතික්ෂේප කළද අගනුවර කීර්තිමත්ම සරසවියක් මා ආදරයෙන් පිළිගත්තේය. ඒ වනවිටත් මා සතුව අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන තිබූ ආකල්පය අප්‍රසන්න එකක් විය. මා සැලසුම් කරගෙන සිටියේ හැකිතාක් ඔවුන් නොතකා රාජකාරි කටයුතු කරගෙන යාමටයි.

නමුත්....දින සති ගෙවී මාස කිහිපයක් යනවිට ඔවුන් ගැන මා තුළ තිබූ චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි එකක් යයි යන යථාර්ථය මට ඉතා සෙමෙන් නමුත් ගැඹුරු ලෙස පසක් වෙමින් තිබුණි. දහසකුත් එකක් වැඩ රාජකාරි අතරේ අතිශයින්ම කාර්යබහුල වී සිටින විටය අපට අන් අයගේ සුළු හෝ උපකාරයන්හි අගය දැනෙන්නේ. දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, විභාග, ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘති අධීක්ෂණය, විශ්වවිද්‍යාලය විසින් පවරන ලද වෙනත් රාජකාරි හා ව්‍යාපෘති, පශ්චාත් උපාධියේ කටයුතු අතර පැමිණීමේ ලේඛන සකස් කිරීම හා එම දත්ත පරිගණකගත කිරීම ආදී 'සිල්ලර' දේත් කරන්නට වූයේනම් එය මහත් හිසරදයක් හා වටිනා කාලය නාස්තියක් වනු ඇත. මෙහිදී අප වෙනුවෙන් එම 'මෙලෝ රහක් නැති' කාර්යයන් ඇතුළුව තවත් බොහෝ දෑ භාරගන්නා කැපකිරීම ඔවුන් කරන බව මා දැනගත්තේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු පසුය. දේශන ශාලා සැකසීම, තාක්ෂණික නිවැරදි කිරීම් ආදී මෙකී නොකී සේවාවන් රාශියක් ඔවුන් විසින් ඉටුකරනු ලබන බවද, එය කිසිසේත් ලඝු කොට තැකිය නොහැකි බවද වටහා ගතිමි. කොටින්ම දේශනයේ 'වීරයා' ආචාර්යවරයා වුවද තිරය පිටුපස තවත් බොහෝ දෙනෙක් නිහඬව ඊට පරිසරය සකස් කරන බව බොහෝ දෙනෙක් නොදුටු යථාර්ථය නවමු මානයකින් දකින්නට මට හැකිවිය.

මගේ ආකල්පමය පරිවර්තනය මට පවා විශ්වාස කරන්නට නොහැකි විය. දිනෙන් දින මා හා ඔවුන'තර සුහදතාව හා විශ්වාසය දළුලා වැඩුණි. පීඨාධිපති කාර්යාලයේ බොහෝ දෙනෙකු මට සොයුරෙකුට මෙන් සලකන්නට වූහ. විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙවී ගිය අතර මා ලබා තිබූ දියුණුව මැනිය හැකිවූ අවස්ථාවක් උදා විය. ගම් පළාතේ සරසවියකට උසස් වීමක් සමගම මා මාරුවීමක් ලබාගත් අතර ඒ සඳහා සමුගැනීමේ සාදයක් සංවිධානය විණි. 

පීඨයේ සියළුම අනධ්‍යන කාර්ය මණ්ඩලය එහි සිටිනු දැකගත හැකි වීම මා උපයා තිබූ ආකල්පමය වත්කම මට හඬගා කීය.  

මෙහිදී බොහේ දෙනෙකු අවංකව අදහස් පළ කළ අතර, සියළු කාර්ය මණ්ඩල අතර මෙවැනි ජනප්‍රියතාවක් කෙනෙකු ලබාගත්තේ වසර 12කට පසු බව දැන ගන්නට ලැබුණි.           

මා දැනට සේවය කරන සරසවියේද (මගේ සහය ආචාර්ය මණ්ඩලය හැරුණු කොට ගෙන) මා හා වඩාත්ම ළබැඳිව කටයුතු කරන්නේ ඔවුන් බව කිවහොත් එහි ඇති වැරැද්දක් නොමැත. ආචාර්ය මණ්ඩලය මා හා බැඳී පවතින්නේ රාජකාරිමය සුහදතාවයකින් යයි මට අවංකව දැනෙන දෙයයි. ඇතැම් විට මෙහි කථිකාචාර්යවරියන්ගෙන් කිහිප දෙනෙක්ම මගේ ගුරුවරුන් වීමත්, පශ්චාත් උපාධි පර්යේෂණ වල නියුතුව සිටීම නිසා සහ වෙනස් හේතු නිසා අප අතර කතාබහ ඉතා අල්ප වීමත් ඊට හේතූන් වියහැකිය.

කාලය විසින් මිනිසුන් පරිණත කරන බවත්, ඔවුන් තුළ උපේක්ෂාව වැනි දේව ගති ප්‍රගුණ කරවන බවත්, යම් යම් දුර්ගුණ මැඩ පවත්වන බවටත් මම අද විශ්වාස කරමි.