Wednesday, December 12, 2012

ඈත පලාත්වල ජීවිත - 2


මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. (අරමුණ බදු වලින් නිදහස් වෙන එක වුනත් ප්‍රතිඵලය හොඳ දෙයක්)

මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොණරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණ. මොකද ඒ කිට්ටුව තිබුණ ලුණුගම්වෙහෙර ජලාශයේ ජල පෝෂක පොඩි පොඩි කැලෑ කුට්ටි වලට ත්‍රස්තයො රිංගගෙන කියල කටකතාවකුත් ගියා. ඒ කතාව සනාථ කරමින් ඊට සැතපුම් කිහිපයක් දුරින් තිබුණ වීරවිල පන්නෙගමුව කියන ගමට කොටි ගැහුවෙත් ඔය දවස්වල. 

අතින් කාල හරක් බලන වැඩක් උනත් පිනට ඉගෙන ගන්න එකේ රටට ලෝකෙට වැඩක් කරන්නත් ඕනි නිසා මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.

ඉතින් දේශන එහෙම අඩු දවසක් බලල ඉස් ඉස්සෙල්ලම ඒ ඉස්කෝලෙ හොයාගෙන ගියා. පයින් නම් යන්න වුනෙ නැති වුනාට බස් එකක් එනකම් සෑහෙන වෙලාවක් තැපල බොහොම අබල-දුබල බස් එකකින් කැඩිච්ච පාරක සැතපුම් කිහිපයක් ගමන් කරල කොහොමහරි ඉස්කෝලෙට යාගන්න පුළුවන් වුනා.

මම බස් එකෙන් බැහැල ඉස්කෝලෙ කඩුල්ල ළඟට ගියා. දන්නවනෙ ඉතින් පොඩි ඉස්කෝලවල ඔය සද්ද දාන සෙකියුරිටි අංකල්ල එහෙම නෑනෙ. ස්වේච්චාවෙන් සේවය කරන ළමයෙක්ගෙ අම්ම කෙනෙක් යයි සිතිය හැකි ගැමි කාන්තාවක් මාව ගෞරවයෙන් පිළිගත්ත. විස්තරේ කිවුවට පස්සෙ මට එක්සර්සයිස් පොතක අත්සන් කරන්න කියල කාර්යාලය පෙන්නුව.

විදුහල්පතිතුමා සහ උපවිදුහල්පතිතුමා මාව පිළිගත්තෙ හරියට ගොඩක් කාලයක් දන්න කියන කෙනෙක් විදියට බොහොම ලෙන්ගතුවයි. 

"මල්ලි, ඉස්කෝලෙට කරන්ට් එක නම් තියෙනව.මේ ළඟදි ගත්තෙ. ඒ උනාට අපෙ කොම්පියුටර් කාමරේ වයරින් කරල නෑ. අපි ඔයා එනකම් හිටියෙ උපදෙස් අරගෙන සුදුසු විදියට ඒක කරවන්න."
"කෝ බලමු ඒ කාමරේ..." මම නැගිට්ටා.
"ටිකක් ඉන්න පුළුවන්ද?. ඒකෙ දැනට පොත් වගයක් දාල තියෙන්නෙ. මම ඒක ඉක්මනට අස් කරවන්නම්..." 
මෙහෙම කියපු විදුහල්පතිතුමා ගුරුතුමෙකුගෙ කනට කරල මොකද්ද කිවුව. එයා මෝටර් සයිකලේ අරන් ඉගිළුනා. 
"අනේ මොකට කරදර වෙනවද සංග්‍රග වලට...."
සම්ප්‍රදායක් විදියට කිව්වත් ඇත්තටම මම හිටියෙ අධික රස්නය නිසා හරිම අපහසුවෙන්.

ගුරුතුමා ගෙනාපු ක්‍රීම් සෝඩා එක අපි වීදුරු වලට දාගෙන බොමින් ඉදිරි වැඩ කටයුතු සාකච්ඡා කළා. උප විදුහල්පතිතුමාත්, තවත් ගුරුභවතෙකුයි මගෙ සහයට ලබාදෙන්න විදුහල්පතිතුමා තීරණය කළා. ඒ සියලුදෙනාම ඉතාම මිත්‍රශීලී අය.

මම ගිහින් අදාල කාමර‍ය පරීක්ෂා කළා. මම අවුරුදු 10ක් විතර තිස්සෙ ඔය විදුලි වැඩ ගැන උනන්දුවක් මෙන්ම අත්දැකීම් තියෙන කෙනෙක්. මට පෙනී ගිය දෙයක් තමයි, ඒ වයරින් එක මට කරල දෙන්න පුළුවන් බව. එහෙම වුනොත් මෙයාලට අදම මේ කම්පියුටර් අටවල දෙන්න පුළුවන්. මම ඒ බව විදුහල්පතිතුමාට කිව්වම එතුමා ඉතාම සතුටට පත් වුනා. එවෙලේම මුදල් දීලා මෝටර් සයිකලය අයිති ගුරුතුමාට මාව නගරයට රැගෙන යන ලෙස දැන්වූවා.

පැය කිහිපයක් ඇතුළත සියළුම තාක්ෂණික වැඩ කටයුතු අහවර කරන්න මට හැකි වුණා. ඒ සඳහා උප විදුහල්පතිතුමා සහ අනිත් පිරිමි ගුරුවරු ඉතාම ඉහළ සහයෝගයක් දුන්නා. විශේෂයෙන්ම අදාල ආයුධ සපයාගැනීමේදී.
ඔයින් මෙයින් පාසැල ඇරෙන වෙලාවත් ආවා. 

"යෝවද තම්පව...." 
(ඉතිරි ටික මට ඇහෙන්නෙ "රෝමානු ජේසු" කියල! හරිද මන්දා...?) අපේ ඉස්කෝලවල වගේ යකඩ කටවල් නැහැ. බොහොම මෘදු විදියට ලස්සනට ලතාවකට කවුරුත් හඬ නගා කිවුව. 
ඊට පස්සෙ කිසිම කළබලයක් නැතුව ලස්සනට පේළි හැදිල අපූරුවට ඉස්කෝලෙන් පිට වෙලා ගියා. (ඇත්තටම මට හිතාගන්නත් අමාරු වුනා. මොකද එච්චර විනයක් තිබුණත් කිසිම ශිෂ්‍ය නායකයෙක් මම ඇහැටවත් දැක්කෙ නෑ. අපේ ඉස්කෝලවලනම් ඔය වෙලාවට ප්‍රිෆෙක්ට්ස්ලා හරක් දක්වන්න වගේ අපිව දැක්කුවනෙ.)

ඒ අතරතුර කීප වතාවක්ම මට දිවා ආහාර ගන්න ලෙසට ඉල්ලා සිටියත් වැඩේ ඉවර කරලමයි මම පස්ස බැලුවේ. එතකම්ම අනෙත් අයත් බඩගින්නෙම හිටියා.

දැන් මට අම්බානකට බඩගිනියි. කෑම ගෙනවෙත් නැහැ. මොකද අද පොඩි සාකච්චා පාරක් දාලා යන්න හිතාගෙන ආවේ. මේ දුප්පතුන්ගෙන් කෑම බලාපොරොත්තු වෙන්නත් බෑ. මම හිතාගත්ත ටවුන් එකට ගිහින් හොඳ කඩේකින් දීල අදින්න ඇරියර්ස් එක්කම. මම සමුගන්න ලැස්ති වුනා. ඉස්කෝලෙ වෙලාවත් ඉවරයිනෙ. මෙයාලට ගෙවල්වල යන්නත් ඕනෙනෙ.  


මේ කම්පියුටර් වලට දාන්න මම එක්ස්. පී. මෙහෙයුම් පද්ධතියයි, ඔය ඔෆිස් වගෙ අත්‍යවශ්‍ය මෘදුකාංග කීපෙකුයි සී.ඩී. වල ගහගෙන ආව. මගේ වියදමෙන් ගහගෙන ආවත් මම ඒව ඉස්කෝලෙට පරිත්‍යාග කළා.
ඒවට වියදම ගියේ රුපියල් සීයකටත් අඩුවෙන් වුනත් ඔවුන්ට ඒක භාරගත්තෙ ඉස්කෝලෙට කම්පියුටරක් ලැබුණා හා සමාන අහිංසක සතුටකින්...(ඒ සතුට මිළ කරන්න බැරි බව මට පස්සෙ කාලෙක වඩාත් හොඳින් තේරුණා..)  

"මම ගිහින් එන්නම්...සර්ල ගෙවල්වලට යන්නත් ඕනෙනේ..."

"නෑ අද අපි හවස්වෙනකම් ඉන්නව. අද අමතර පන්ති තියෙන දවසක්. ළමයි ගෙවල්වලට ගිහින් පාට ඇඳුම් ඇඳගෙන තවටිකකින් ආපහු එයි...."

අමතර පන්ති..? ඉස්කෝලෙ ඇතුළෙම.....? මම අවුල් ගියා කියල උප විදුහල්පතිතුමාට තේරුණා...
"නෑ..නෑ..එහෙම එකක් නෙමෙ. මේ පාර 5 වසරෙ ශිෂ්‍යත්වෙ ලියන අයට...අපි නොමිලෙ කරන්නෙ...." එතුමා කිව්වෙ හිනා වෙවී....මම ඇතිකරගත්ත වැරදි වැටහීම ගැන කණගාටු වුණා...
(හැම දේම සල්ලි වලට විකිණෙන අද කාලෙ මේ මිනිස්සුන්ගෙ මනුස්සකම තවමත් විකිණිලා නැති එක ගැන සතුටුයි.)

මාව ගුරු නේවාසිකාගාරෙ (නේද ක්වාර්ටර්ස් වල කියන්නෙ..?)ට එක්කගෙන ගියා.
මම බොන්න වතුර වීදුරුවක් ඉල්ලුව. මේ පැත්තෙ වතුර කොව්වර බිව්වත් පිරිමහන්න බැහැ.
අපෙ ගුරුතුමෙක් ක්ෂණිකව ගුරු නේවාසිකාගාරෙ මිදුලෙ තිබුණ තැඹිලි ගහකට නැග්ගෙ හරියට වෘත්තීය ගස් නගින්නෙක් වගෙ.
වතුර ඉල්ලපු මට ලැබුණෙ නියම ඔරිගිනල් ගහේ බඩු. (වැරදියට හිතන්න එපා තැඹිලි...වෙන මොනවත් නෙමෙයි...)
පොළොස් මාළුවක් සහ කුකුළ් මස් එක්ක ඉතාම රසවත්ව කෑම වේලක් ඔවුන් මට පිළිගැන්වුවා....
මදි අඩුපාඩු (මටනම් එහෙම අඩුවක් දැණුනෙම නෑ) බෙදුවෙ හරියට කාලෙකින් මහගෙදර ගියාම ලොකු අම්මයි අක්කලයි තරඟෙට බෙදන්නා වගෙ.
(කළින් දවසෙ මම අද එනබව විදුහල්පතිතුමාගෙ නිවසෙ දුරකථනයට දැන්වුවා. මේ විශේෂයෙන්ම මා වෙනුවෙන්ම පිළියෙල වූවක් බව පසුව දැන ගත්තා...)

කෑමෙන් පසුව අපි සමුගත්තා, 
ඒත් ඒ දැණුනු සැබෑ ලෙංගතුකම, ආත්ම තෘප්තිය.... සොඳුරු අත්දැකීම මගේ හදවතට කවදාවත් සමු දෙන එකක් නෑ....     

වෙනස


මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ ඉගෙන ගන්න කාලෙ පරිගණක විද්‍යාගාර තියෙන විවිධ මට්ටමේ පාසැල් කිහිපයකටම පාසල පවත්වන වෙලාවන්හිදීම යන්න සිද්ධ වුනා. මගේ අම්මයි තාත්තායි දෙන්නම පාසල් ගුරුවරු, එයාලගෙ සහ තාත්තගෙ මිත්‍ර විදුහල්පතිවරු යටතේ පාලනය වන පාසැල් වලට. එහිදී මම දැක්ක ඉතාම කණගාටුදායක දෙයක් තමයි, විදුහල්පතිවරු විද්‍යාගාර සහ ඒවගෙ පරිගණක සිසුන්ට පාවිච්චි කරන්න දෙන්නෙ පූජා භාණ්ඩ විදියට, අනවශ්‍ය ප්‍රවේසමෙන්, කැඩෙයි කියල හරිම බයෙන්. මේ නිසාම බොහෝ විදුහල්පතිවරු පරිගණක විද්‍යාගාර සිසුන්ගෙන් හැකි තරම් ඈත් කර තබන්න තමයි උත්සාහ කරන්නෙ. 

ඉන් සමහර පාසැල්වල තත්වය ඉතාම සෝචනීයයි. ඒ කියන්නෙ ඉබි යතුරු දාලා වහලා දාලා, සිසුන්ට තහනම් කලාපයක් කරලා.
මම ඒ ආකල්පය වැරදි බව පෙන්වාදෙන්න කරපු උත්සාහයන්ට සෑම විටම ලැබුණෙ සෘණ ප්‍රතිචාර. 

කී බෝර්ඩ් එකයි මවුස් එකයි පාවිච්චි කරලා (දමලා හෝ පොළොවේ ගැහුවේ නැත්නම්) කම්පියුටරයක් කඩන්න බෑ කියන මූලික සිද්ධාන්තය මම ඔවුන්ට හැකි තරම් සරලව පැහැදිලි කළා. මම එයින් අදහස් කළේ පරිගණකයට භෞතික හානියක් කරන්න තරම් විධානයක් එයින් දෙන්න බහැ, විශේෂයෙන් පාසල් ළමයින්ට. කරන්න පුළුවන් ලොකුම හානිය තමයි වෛරසයක් ආසාධනය කරවීම. පිටින් ගෙනෙන විද්‍යුත් මාධ්‍ය , ඒ කියන්නෙ සංයුක්ත තැටි, පෙන් ඩ්‍රයිව්ස් වගේ ඒව පාවිච්චි කරන්නෙ නැත්නම් සහ අන්තර්ජංජාල සබඳතාව නැත්නම් ඒක කොහොමටවත් වෙන්න බැහැ කියලයි මම සිංහලෙන් පැහැදිලි කළේ. එහෙම පිටින් ගේන දත්ත ඇතුළත් කරන්නෙත් නැත්නම්, නෙට් යන්නෙත් නැත්නම් (මම මේ කියන පාසැල් ඔක්කොගෙම වගේ ඉන්ටර්නෙට් කපලා බිල් ගෙවන්නෙ නැතුව.) ඉතින් වෛරස් එකකින් හානියක් කරන්න හැකි එකම ක්‍රමය ඒ කම්පියුටර් එකේම වෛරස් එකක් ලියන එක. (කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ උණ, හෙම්බිරිසාව වගේ ළඟ තිබුනට බෝවෙන එකක් නෙමේනෙ. වෛරස් එකක් පැතිරෙන්න දත්ත හුවමාරු කෙරන්න ඕනා.). (ඒ කියන්නෙ කම්පියුටර් වෛරස් ඉබේ පහළ වෙන්නෙ නෑ. කම්පියුටර් වෛරස් එකක් කියන්නෙ පරිගණක භාෂාවක් සහ පරිගණකයේ ක්‍රියාකාරීත්වය ඉතා ගැඹුරටම ඉගෙන ගත්ත කෙනෙක් වුවමනාවෙන් ලියපු උපදෙස් සමූහයක්. මේ උපදෙස් හෝ විධාන වලින් පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට, ස්ථාපිත මෘදුකාංග වලට හා තැන්පත් කර තිබෙන දත්ත වලට හානි පැමිණුවත් බොහෝ විට දෘඩාංග වලට හානියක් නෑ.) එහෙම ලියන්න පුළුවන් මට්ටමේ දැනුමක් තියෙන අය ළමයි අතරෙ නෑ කියන එකයි මගේ තර්කය වුනේ.

ඒ නිසා ළමයින්ට මීට වඩා පරිගණකත් එක්ක ඇසුරු කරන්න අවස්ථාවක් දෙන්න කියල මම ඒ හැමෝගෙන්ම ඉල්ලීමක් කළා.
එතකොට එයාල මගේ දිහා බැලුවෙ නුරුස්නා බැල්මකින්. හරියට

"මූ නම් මහ පණ්ඩිතයෙක්" කියන්න වගේ. සමහරු එළිපිටම විරුද්ධත්වය පළකළා මේ විදියට....

"මේව කඩන්න ලේසියි, ඒ වුනාට ආයෙ හදාගන්න තියෙන අමාරුව..!. කී තැනකට නම් දන්වන්නද...? එක එක සමිති වලින් සල්ලි පාස් කරන්නද...? ඒ හැමෝම අහන්නෙ ඇයි පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ නැත්තෙ කියල...?" 

"ඉතින් ළමයි ඉගෙන ගන්නෙ නැත්නම් ලැබ් එකයි කම්පියුටර් ටිකයි ආරක්ෂාවෙන එකේ තේරුම මොකද්ද...?"  මම ඇහුවා.
"හරියට ටැන්කියෙ ෆුල් ටැන්ක් පෙට්‍රල් තියෙන කිසිම ලෙඩක් නැති කාර් එකක් රෙද්දකින් වහල තියාගෙන බස්වල රස්තියාදු වෙනව වගේ වැඩක්නේ...?" 

අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කරන්න කොච්චර අමාරුද කියල මට හරියටම තේරුණෙ එදා...

මම අදටත් හොයල බලනව ඒ තත්ත්වය වෙනස් වෙලාද කියල....

ම්...හ්....නැහැ....!

*     *     *     *     *     *    *     *     *     *    *    *    *     *     *     *     *      *      *

මම ශිෂ්‍යයෙක් විදියට සරසවියේ අවසන් වසරෙදි ඉගෙන ගන්න කාලෙ අවස්ථාවක් ලැබුණ ඉතාම දුෂ්කර පාසැල්වල පරිගණක විද්‍යාගාර පිහිටුවන්න උදවු කරන්න. මේ සඳහා අපි තෝරගත්තෙ ඌව පළාතෙ අති දුෂ්කර පාසැල්. ප්‍රසිද්ධ මෘදුකාංක සමාගමකින් භාවිතයෙන් ඉවත් කළත්, හොඳ තත්වයේ පරිගණක මේ ව්‍යපෘතියට ආධාර වශයෙන් ලැබුණ. මට අධීක්ෂණය කරන්න ලැබුණෙ මොනරාගල දිස්ත්‍රික්කයෙ බඩල්කුඹුර ප්‍රාදේශිකයට අයත් ඈත දුප්පත් අහිංසක කණිටු පාසැලක්. ඒ දවස්වල කොටි (කකුල් දෙකේ) කළබල එහෙමත් ඒ පැත්තෙ තිබුණත් මම බොහොම කැමැත්තෙන් වැඩේ භාරගත්ත.

හැම දෙයක්ම ඉතා සාර්ථකව සිද්ධ වුනා. ගුරුවරු කිහිප දෙනෙකුත් පුහුණු කළා.

මාසෙකට විතර පස්සෙ මම ගියා ඒ පැත්තෙ විසිට් එකක් දාන්න. කොහොමද වැඩේ නැගල යනවද බලන්න.
මේ වෙනකොට මම ඔය ඉහත කියපු අසුන්දර අත්දැකීම් විඳගෙනයි හිටියෙ. ඒ කියන්නෙ ඇත්තටම මම බලාපොරොත්තු වුනේ ඉතා තදින් අධීක්ෂණය වන, සීමිත පිරිසකට පමණක් භාවිත කරන්න අමාරුවෙන් අවසර හිමිවන, ඇනැම් විට යතුරු ලා ගෙන ඉන්න පරිගණක විද්‍යාගාරයක්. කොටින්ම මම සූදානම් වෙලා ගියේ ඒ ක්‍රමය වැරදියි කියන ලෙක්චර් එක විදුහල්පතිතුමාට දෙන්න.

නමුත්...දැකපු දෙයින් මම කුල්මත්වෙලා ගියා.....

කම්පියුටර් තුනක් විතරක් තිබුණ ඒ පුංචි කාමරය මල් කැකුළු වැනි හුරතල් කොළු- කෙළි පැටවු දුසිම් ගණනකින් පිරී ඉතිරී තිබුණා...! එතන භාරව ඉන්න ගුරු භවතා මම හොයාගත්තෙ හරිම අමාරුවෙන්. හේතුව ආයෙ කිසිම කෙනෙකුට ඒ කාමරයේ ඉඩ ඉතුරුවෙලා තිබුණෙ නෑ. පුංචි කෙළි පැටික්කියක් ලස්සනට පේන්ට් වලින් විත්‍රයක් ඇඳල තිබුණා.

මගේ ජීවිතයේ මා වැඩියෙන්ම සතුටු වූ දවසක් එදා....
අර විදුහල්පතිවරුන්ට කවදහරි මගේ ගානෙ ඒ ඉස්කෝලෙට (ඉස්කෝලෙ වෙලාවෙ) ට්‍රිප් එකක් එක්ක යන්න ඕනි කියල මට හිතුණා.   

Tuesday, December 11, 2012

දැන් හැදෙන ළමයි


මේ ළඟදි දවසක මහාචාර්යතුමා හම්බවෙන්න ලී ඉරන පැත්තෙ විස්සවිජ්ජාලෙට ගියා. එතුමා මහා මීටිමකට හිරවෙලා කියල දැනුම් දුන්න නිසා 'ගොඩ' කියලා නම් දරාපු ආපනශාලාවට වෙලා ටිකක් හිටියා.

ටික වෙලාවකින් දිවා ආහාර වෙලාව ආවා. මොහොතකින් මුළු ශාලාවම එකම හිස් ගොඩක්. මම ඈඳි ගත්ත තැනම එහෙමම හිටිද්දි කළු පාට ටී ෂර්ට් ඇඳගත්ත සරසවි මානව-මානවිකාවන් මං හිටපු මේසෙ වටේටම පිරුණා. එයාල එකම බැච් එකේ අය. 

ඒ වෙනකොටත් මම ලැප දිගහැරගෙන හිටිය නිසා මෙයාල මගේ දිහා බැලුවෙ ටිකක් නුරුස්නා විදියට.හරියට එයාලගෙ තැන මම බලෙන් ඇල්ලුවා වගේ. 
පස්සෙ බලද්දි එයාල කීපදෙනෙක් ගෙදරින් ලොකුම ලොකු කෑම පාර්සල් ගෙනත්, එතන කට්ටියත් එක්ක බෙදාගෙන කන්න ඉඩ මදි. වටේටම ඔළුව කරකවලා බැලුවත් එකම අසුනක්වත් නිදහස් නොවූ නිසා මම එහෙම්ම හිටියා. (වෙන ඉන්න තැනක් නැහැ. අනිත් එක මම මොකටද අයින් වෙන්නෙ..? මමනෙ කළින් ආවෙ....!)

මෙයාල තඩි බත් පාර්සල් ලිහල මේසෙ උඩට අතහැරියා. ඊට පස්සෙ වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්, කැම්පස්වල, හොස්ටල් වල ඉඳපු අය දන්නවානෙ. එතන එකම පොරයයි. මං හිතන්නෙ අඩුම ගානෙ 15ක් වත් ඉන්න ඇති.

එකෙක් කියනවා

"මචං බත් එකේ මජං රහක් එහෙම එන්නෙ නැද්ද උඹලට....?"

මට බකස් ගාල හිනා ගියා. එයා මැෂින් එකක වැඩ කර කර ඉඳල ඇවිත් තියෙන්නෙ. අත හෝදල නෑ.
(එහෙම හොඳ පුරුදු තියාගත්තොත් ඉතින් බඩගින්නෙ තමයි ඉතින් දන්නවනෙ. අපි උනත් ඒ කාලෙ ඔහොමයි.)

මට එකපාරටම මතක් වුනේ පිට්ටුව කතාවෙ අජා. මටත් මෙහෙම සුන්දර සරසවි දිවියක් තිබුන නේද කියල මතක් වෙලා හිත ඉරිසියාවෙන් පිච්චිල ගියා.

ඒ හින්දද කොහෙද මට එයාල පෙණුනෙ ඇත්තටම ඇණයක් විදියට (එයාලට මාව පේන්න ඇත්තෙත් එහෙම). විශේෂයෙන්ම සමහරු පොරකෑවෙ මාවත් පෙරලගෙන. සමහරු මගේ ඇඟ උඩ. මට ඇල්ලුවෙම නැති දේ තමයි එතන බත්, එළවලු විසිරවපු එක. කොටින්ම මෙහෙම කෑම 4-5 ක් විතර එතන කාල ඉවරවෙනකොට මේසෙ උඩ තඩි කොත්තුවක් දාල වගෙ.

'දැන් හැදෙන උන් නම් ගන්න දෙයක් නෑ.' 
මට පහුගිය කාලෙ සිදුවෙච්ච සිදුවීම් එකපෙළට සිනමා පටියක් වගේ මතකයට ආවා. අගනුවර විශ්වවිද්‍යාලයේදී මාත් එක්ක එකට වැඩකරපු ආධුනික කථිකාර්යවරයාට කොලර් එකෙන් එකෙන් උස්සලා සිසුන් පහරදීපු හැටි, දවසක් ඒ සරසවි බිමේදීම 'රැග්' කරන සිද්ධියක් ඇස් කොණින් බලාගෙන එතනින් පියමන් කළ මගේ මිතුරියට 'මොකද බලන්නේ...?' යයි සැරෙන් ඇසූ හැටි (ඇය සාරියක් ඇඳ සිටි බැවින් ශිෂ්‍යාවක නොවන බව පැහැදිලිව දැන දැනත්), ශිෂ්‍ය නායකයෙක් 'ලෙක්චරස්ල කියන්නෙ අපේ සතුරු ධනපති පැලැන්තියේ බැවින් ඔවුන්ට ගරු කළ යුතු නැති බවත්' ඇසූ හැටි....

'මෙයාලත් ඒ ගොඩේම තමයි....මෙහෙම අය අනාගතේ ඉංජිනේරුවො නෙමෙයි මොකෙක් වුනත් වැඩක් නෑ...විනයක් නෑ...'

මෙහෙම හිත හිත ඉන්නකොට හරි අපූරු දෙයක් වුනා....

කෑම කාපු කණ්ඩායමේ හිටිය උස මහත දැරිවියක්...එයාගෙ කට හරි සැරයි. එයා එතන නායිකාව වගෙ.
එයා කට්ටියට කතා කළා...

විසිරිල තිබුන බත් ඇටයක් ගානෙ, පරිප්පු ඇටයක් ගානෙ ඇහින්ඳනෙ මෙයාල. විනාඩි කීපයක් ගියෙ නෑ එතන තිබුණටත් වැඩිය පිරිසිදුයි.

ඒක දැකපු මගේ අපිරිසිදු වෙලා තිබුණු හිතත් පිරිසිදු වුනා......

මම යන ගමන් හිතුවේ.....
"දැන් හැදෙන ළමයි....!"  

අනුන්ට කැපූ නෝන්ඩියේ තමා වැටීම


පහුගිය දවසක මගේ ගමේ හොඳම යාළුවා බැන්දා. මනමාලිත් මේ පළාතෙම කෙනෙක් නිසා වෙඩිමයි, දෙවෙනි ගමනයි දෙකම තිබුණෙ මම තුමා වාසය කරන නගර පොජ්ජෙම හෝටල් 2ක තමා. 

සාමාන්‍යයෙන් මම මාසෙකට නිවාඩු කිහිපයක්ම ගන්නවා, පර්යේෂණ වලට අවශ්‍ය උපදෙස් ගන්න මහාචාර්යවරු හම්බෙන්න අගනුචර විශ්වවිද්‍යාලවලට යන්න. යාළුවගෙ වෙඩිම තිබුන මාසෙත් මෙහෙම සෑහෙන්න නිවාඩු ගන්ඩ සිද්ද වුනා. ඔයින් මෙයින් මගෙන් කෙරෙන්න ඕන දේශන ආදී රාජකාරිත් ටිකක් විතර අතපසු වෙලා තිබුණෙ. මේ අස්සෙ මේ යකා ඇවිත් වෙඩිමටයි, දෙවෙනි ගමනටයි දෙකටම ආරාධනා කරපි. මොනා කරන්නද ඉතින් වැළි කෙලියේ ඉඳල එකට හිටපු එකා නිසා අමාරුවෙන් උනත් වෙඩිමට නිවාඩුවක් ගත්ත. 
හෙට අනිද්දා විශ්වවිද්‍යාලයෙන් පිට කරන්න නියමිතව ඉන්න බැච් එකට මගේ දේශනයක් වැටිල තිබුණ හරියටම මිනිහගෙ දෙවෙනි දවසෙ. කොහොමටවත් නිවාඩුවක් ගන්න බැරි තත්ත්වයක් තිබුණෙ. ඉතින් දවසම නිවාඩු නොදා කෑම පැයේ (කිවුවට පැය 2ක් විතර) පැනලා මූණ දාලා 1 දාගන්න මම තීරණය කළා. (මම වැඩ කරන්නෙ ගමේ විස්සවිජ්ජාලෙ)

මනාල ජෝඩුවට පනාව දාලා කන්න දෙනකම් හොරගල් ඇහිඳ ඇහිඳ එළියෙ පරණ යාළු මිත්‍රාදීන් එක්ක කදයක් දාගෙන හිටියා. නියම තැන (හෝටලෙ), කන්දක් මුදුනෙ, මූද පේනවා නියමෙටම. අපි කට්ටිය ඉතින් ආගිය කතා කර කර ඉන්නකොට එක ඩයල් එකක් (යාළුවගෙ කොම්පැනියෙ වැඩ කරන පොරක් වෙන්න ඕනා නැත්නම් මොකද මම මිනිහ කලින් දැකල නෑ. යාළුව වැඩ කරන්නෙ අගනුවර මෘදුකාංග සමාගමක.) අන්තර්ජංජාලෙන් මොනවද හොය හොය ෆෝන් එකෙන් හෙන සීරියස් කතාවක්. පැණි කතාවක් නෙමෙයි, මල් කැඩීමක් නොමෙයි, රාජකාරි කෝල් එකක් කියල අපිට තේරුණා, මොකද කතා කලේ ඔක්කොම තාක්ෂණික දේවල්. මිනිහ කතාව ඉවර කරල තියන්න වෙන්නෙ නෑ ආයෙ කෝල් එනව. කතාකරන්නෙ මිනිහ වැඩකරන අහවල් සොෆ්ට්වෙයා කොම්පැණියෙන්. 

මේ මිනිහට ජීවිතයක් නෑනේ කියල මට හිතුන. මොකද මාත් කාලයක් ඔහොම තමයි. කොටින්ම මට උපාධි උත්සවේ දවසෙයි, අළුත් අවුරුද්ද දවසෙයි ෆෝන් එකට කතාකරල වහාම කොළඹ එන්න කියල කියාපු නිසා ඒ දුක මම දන්නවා...මොනව කරන්නද රස්සාවනෙ.
ඔන්න සෑහෙන වෙලාවකට පස්සෙ මිනිහ කෝල් එකෙන් නිදහස් වුනා...ඒ වෙනකොටත් ටිකක් විතර ෆිට් වෙලා හිටිය නිසා මම මිනිහට නෝන්ඩියක් දැම්මා මෙහෙම....

"මොනාද බං...ජීවිතයක් නෑනේ....වෙඩිමකට ආවමවත්...." මම කිව්වෙ සිරාවටම.

"මමත් මීට අවුරුද්දකට විතර කළින් ඔහොමයි....." මම පටන් ගත්ත මගේ ජීවිත කතාව කියන්න...
අනේ අර අහිංසකයට මම දැන් ඒ ජීවිතෙන් මිදිල ඉන්න එක ගැන ඉරිසියා හිතෙන තරමටම මම රජයේ සේවය ගැන වර්ණනාව දුන්නා එම ලෙසටම...

මට කියල කට ගන්න වුනේ නැහැ එකෙක් කියනවා 
"ඇයි උබ කිව්වෙ උඹට 1.00 ට ලෙක්චර් එකක් කියල....?"
(ඇත්තටම මට අමතක වෙලා තිබුනෙ.)
මම ඔරලෝසුව බැලුවා... 

"මලලසේකර....1 ට දහයයි.....!"

"මචං සොරි, මට දැන් යන්න වෙලා...." මම හිමින් සීරුවෙ එතනින් මාරු වුනේ ටිකක් පරක්කු වෙලා හරි දේශනයට යන්න....

මෙච්චර වෙලා වශී වෙලා වගේ මගේ කතාව අහගෙන හිටිය අපේ 'මෘදුකාංග' සඟයගෙ කට කොනකට  නැඟුනු හීන් හිනාව මගේ පය තවත් ඉක්මන් කළා.....    

උණුසුම් ගල් කැටය


එක්තරා දුප්පත් මිනිසෙකුට හදිසියේම දැනගන්නට ලැබුණා වාසනාවන්ත ගල් කැටයක් ගැන. (මේක තියෙන බව දන්න නමුත් කවුරුවත් තවම සොයාගෙන තිබුණෙ නෑ.) තියෙන්නෙ එක්තරා වෙරළ තීරයක. පෙනුමෙන් ඉතා වටකුරු, කළු පැහැති, සුමට මතුපිටක් තියෙනවාලු. මේක හඳුනගන්න තියෙන සුවිශේෂීම ලක්ෂණය තමයි මේක උණුසුම්.

ඉතින් මෙයා තීරණය කළාලු මේක කොහොමහරි හොයාගන්න. ඔහු මුහුදු වෙරළට ගිහින් සැක කටයුතු වටකුරු, කළු පැහැ ගල් කැට අතට අරගෙන බැලුවා උණුසුම්ද කියලා. එකම ගල් කැටය නැවත නැවතත් පරීක්ෂාවට ලක්වෙන එක වලක්වන්න මෙයා අපූරු උපක්‍රමයකුත් භාවිත කළා. ඒ තමයි එහෙම 'රැවටිලිකාර' වෙනත් ගල් මූදේ ඈතට විසිකරලා දාන එක.

මුළදී වැඩේ පටන් ගත්තේ ටික දවසකින් හරිගියේ නැත්නම් නවත්වනවා කියලා හිතාගෙන වුනත් මේ ක්‍රියාව නවත්වන්න එයාට හිතුනෙ නෑ. ඒකට ඇබ්බැහි වෙලා වගේ. දැන් නැතුවට දැන් ලැබෙයි, මේක නොවුනට ඊළඟ එකනම් ෂුවර් එකටම තමා බලාපොරොත්තු වෙන එකම තමයි කියලා තමයි හිතුනේ. හරියට සූදුවට ගිහින් හැළි වළං ඇතුළුව සේසතම නැති කරගත්ත සක්විති රණසිංහ මහත්මයා වගේ.

ඔහොම දිගු කාලයක් ගෙවිලා ගියා....එසේ මෙසේ කාලයක් නොවෙයි දශක ගණනාවක්ම...'අපේ මනුස්සයා' දැන් සුදුවෙච්ච දිග රැවුලක් සහ කොණ්ඩයක් සහිත මැදි විය පසුකළ තැනැත්තෙක්. ඒත් මෙයා උත්සාහය අතහරින ජාතියේ කෙනෙක් නොවෙයි...පුදුම ධෛර්ය්‍යකින් කටයුතු කරන කෙනෙක්. එයා මේ 'පිස්සු වැඩේ' නවත්වන්න අදහසක් තවමත් නැහැ.(ඒ කාලෙ මෙයා රස්සාවක් කළේ නැද්ද? කෑවෙ බිව්වෙ කොහොමද වගේ ඒව මගෙන් අහන්න එපා ඔන්න. මේක කතාවක්නේ. කොහොමහරි කරගන්න ඇති ඒව.)

විශ්වාස කරන්න...එක දවසක්..නොසිතූ විරූ වෙලාවක මෙයාට ඒ වාසනාවන්ත පාෂාණ රාජයා හමුවුනා.....
ඊට පස්සෙ මොනව වෙන්න ඇති කියලද හිතන්නේ....?

වෙන මොනව වෙන්නද...? අවුරුදු විසි ගණනක් තිස්සේ ප්‍රගුණ කරපු පුරුද්දෙන් වහාම ඒක ගැඹුරු මුහුදට විසි කරල දැම්මා...!

අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

මම අවුරුදු 7 විතර කාලෙදි 'මිහිර' පත්තරේ තිබුණු මේ කතාව මට මතක් වුනේ පසුගියදා සම්පූර්ණ වුනු පශ්චාත් උපාධියේ (විද්‍යාත්මක) දර්ශනය දේශන මාලාවේදී සාකච්චා වුණු එක්තරා සංකල්පයක් නොහොත් මතවාදයක් සම්බන්ධයෙන්. මාටින් හයේඩෙගර් (Martin Heidegger) කියන දාර්ශනික විද්‍යාඥයා කියන්නේ මෙහෙම කතාවක්:

"ජීවිතය පහසු කරගැනීම අරභයා මිනිසා විසින් නිපදවනු ලබන සමහර මෙවලම්...ඇතැම්විට එය නිර්මාණය කිරීමේ මූලික අරමුණ පවා නොසලකා හරවයි (එය අමතක කරවයි.)" 
(සමාවෙන්න, මේ සිද්ධාන්තය කඩ්ඩෙන් සිංහලයට හරවනකොට මුල් අදහස එතරම් වෙනස් වුනේ නෑ මං හිතන්නෙ, ඒ කියන්නෙ මම තේරුම් ගත්ත විදියට....) 

උදාහරණයක් ලෙසට ගත්තොත් වායු සමනය කළ මෝටර් රථයක, සුන්දර ගම්මානයක් හෝ වනගත ආරණ්‍යයක් මැදින් ගමන් කරනවා යයි සිතන්න....වායු සමන යන්ත්‍රයේ අරමුණ පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කරවීම නම්....එවන් නියම සුපිරිසිදු නැවුම් ස්වභාවික සුළං පහස අහිමි කරමින් එය ඉටු කරනු ලබන්නේ අප මූළික අරමුණ අපටත් නොදැනීම අභිබවා යාමක් නොවේද...? (සමාවෙන්න දාර්ශනික පොරවල් එක්ක ඉඳලා මාත් ටිකක් රුවිතෙට හිතන්න පටන් අරන් වගේ...)     

ඔබ රැකියාවක් කරන්නේ ඔබේ ආදරණීයන්ට වඩාත් සුවබර දිවියක් උරුම කර දීමට නම්...එහෙත් ඔබේ රැකියාව ඔබට ඔවුන් සමඟ සැහැල්ලුවෙන් කල් ගතකිරීමට ඉඩක් නොදෙනවා නම්...ඔබ ලබන විශාල වැටුපෙන් තේරුමක් තියෙනවද...? පුළුවන් කාලේ හොඳට හම්බකරලා ඉතුරු කරලා පස්සෙ එහෙම කරනවා කියල හිතාගෙන හිටියට ඕක කවදාවත් කෙරෙන එකක් නම් නෙවෙයි. සමහරවිට අපි හතිවැටිලා බලනකොට අපි හම්බකරපු දේවල් බුක්ති විඳින්න අපිට කවුරුවත් නෑ...අඩු ගානේ අපේ ශරීර සෞඛ්‍යවත්....  

අපේ ජීවිතත් හරියටම මේ වගේ නොවේද....? මොහොතක් නැවතී සිතන්න....

Wednesday, December 5, 2012

එහෙනම් ඒක කරගෙන ඉන්ඩ.....


මේක ඇත්ත කතාවක්ලු....

අපේ සිරි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ කාර්යාලයක ලිපි ගොණු පවත්වාගෙන යන්න අවශ්‍ය කෙනෙකුට ඇබෑර්තුවක් තිබුණලු. 

මේක දැනගෙන ප්‍රදේශයේ උගත් තරුණයො සෑහෙන්න ආවලු සම්මුඛ පරීක්ෂණේට....ඒ අතරෙ උපාධිධාරියෙකුත් හිටියලු...මෙයාට උපාධියෙ පන්ති සාමාර්ථයක් එහෙමත් තිබුණලු...ඒ කියන්නෙ ක්ලාස් පාස් එකක්...විශ්වවිද්‍යාලෙ ගිය අය දන්නව ඇති ක්ලාස් එකක් ගහන්න සෑහෙන්ඩ අමාරුයි. (කැම්පස් කොල්ලො කියන විදියට පට්ටම දරුණු ගේමක් දෙන්ඩ ඕනා) ඒකට ඉතින් හැම විෂයටම වගේ ඉහල ලකුණු ගන්න ඕන.

ඉතින් මෙයාව ඉන්ටව් කළෙත් මන්ත්‍රී තුමාමලු.

ඉන්ටව් එක කරගෙන යන අතරතුර අපේ උපාධිධාරී තරුණයා තමන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් කතා කළාලු. මෙන්න මෙහෙම සංවාදයක් ගියාලු.

"සර්...මට ක්ලාස් එකකුත් තියෙනවා..." ඒකිව්වෙ අර උපාධියෙ පන්ති සාමාර්ථය ගැනනේ...

හැබැයි ලැබුණෙ අනපේක්ෂිත ප්‍රතිචාරයක්...

"ආ....එහෙමද....එහෙනම් ඔයා එක කරගෙන ඉන්ඩ....මම ජොබ් එකක් නැතිම කෙනෙකුට චාන්ස් එක දෙන්න බලන්නම්...!"

ඒ මොකද්ද ඒ හරුපෙ කියල ටියුම් ලයිට් මොළේට හිතෙනවද....? නිකං කොයිල් වගේද..?

ටියුබ් ලයිට් වලට තේරුණෙ නැත්නම් මෙන්න මේකයි අපේ මන්ත්‍රීතුමා තේරුම් අරගෙන තියෙන්නෙ...
මෙයාට ටියුෂන් ක්ලාස් එකක් තියෙනවා...(ඒකෙ සෑහෙන්න ළමයි, ඒ කියන්නෙ සැලකිය යුතු ආදායමක්...)
ඒකෙ උගන්නන්න යන්න පරක්කු වෙනවා කියල තමයි "මට ක්ලාස් එකකුත් තියෙනවා" කියල තරුණයා අදහස් කළේ....

කොහොමද අපේ මන්ත්‍රීතුමාගෙ සාමාන්‍ය දැනීම...? 
(මට කිවුවෙ තාත්තා..ඒ කාලෙ ඒ කියන්නෙ 1980 ගණන් වල වෙච්ච දෙයක්ලු. හැබැයි ඉතින් දැන් කියලත් අපේ දේශපාලු උතුමන්ගෙ දැනුමෙ, උගත්කමේ, බුද්ධියේ වැඩි වෙනසක් නෑ මං හිතන්නෙ...)

අපේ පවුලේ සුහද පිළිසඳරෙදි තාත්තා ඔය කතාව කිවුවම අම්මා තවත් ඒ වගේම සිදුවීමක් මතක් කළා...

ක්‍රීකට් ක්‍රීඩාව එච්චරම ජනප්‍රිය නැති ඒ කාලෙ දවසක් පාර්ලිමේන්තුවේදි කතාවුනාලු ලංකාවට ටෙන්ඩුල්කාර් එනවා කියලා....
එකපාරටම ඔය කළින් කතාවෙ මන්ත්‍රීතුමා වගේ කෙනෙක් නැගිටල කිව්වලු....

"මටත් එකක් ඕනේ....!"  

Wednesday, November 21, 2012

පාඩම් කරන හැටි....



ඔන්න ඔය ඉහත දක්වලා තියෙන ආකාරයේ පණිවුඩයක් ෆේස්බුක් හරහා හුවමාරු වෙනවා දැකලා මේ සටහන තියන්න හිතුනා.

මේක ඇත්තටම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය දන්නවා. නොදන්න අයට පැහැදිලි කිරීමක් කරන්නම්කෝ. GPA, ඒ කියන්නේ Grade Point Average (සමහරු තරහට Global පිටිපස්ස_පැත්තෙ අමාරුව කියලත් අර්ථකථනය කරනව.). මේක ශිෂ්‍යයෙක් සිය සරසවි දිවිය තුළ සියලුම විෂයයන් වලට ලබා ගන්නා ලකුණු වල සාමාන්‍ය අගය දක්වන මිනුමක් ලෙසට දක්වන්න හැකියි. මෙහි උපරිමය 4.0 හෝ 4.5 දක්වා ගන්නවා. උපාධියේ පන්ති සාමාර්ථය (Class) (උපාධිය හැදෑරීමේදී ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව දැක්වූ කුසලතාව පිළිබඳ දර්ශකයක්) ඒ කියන්නේ පළමු පෙළ (1st Class) ද , දෙවන පෙළ ඉහළ (2nd Upper) ද, දෙවන පෙළ පහළ (2nd Lower) ද හෝ සාමාන්‍ය සාමාර්ථයක් (General Pass) ද යන්න තීරණය වන්නේ මෙන්න මේ කියන GPA අගය මත. ගොඩක් වෙලාවට ඉහළ පෙළේ රැකියාවක් හෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්න අය (ඒ සඳහා සලකා බැලෙන්නේ පළමු පෙළ හෝ දෙවන පෙළ ඉහළ පන්ති සාමාර්ථලාභීන්) හැම විටම මෙහි අගය 4.0 ආසන්නව, අඩු ගණනේ  3.5 ට ඉහළව තබා ගන්න උත්සාහ කරනවා. මේ නිසා සරසවිවල තියෙන්නේ (උසස් පෙළ වගේ) තරඟකාරී විභාග නොවුනත් (තරඟකාරී විභාගයක ලක්ෂණය තමයි සමත් වුනත් සාපේක්ෂව ඉහළම ළකුණු නොගත්තොත් අසමත් වුනා හා සමාන සැලකීම්වලට බඳුන් වීම.), කණ්ඩායමේ කීපදෙනෙක් අතරේ සීතල යුද්ධයක් දකින්න පුළුවන්. අවාසනාවකට මේ අය ගොඩක් වෙලාවට උත්සහ කරන්නේ කෙසේ හෝ ඒ අරමුණට ළඟා වීම මිසක් විශය කරුණු මනාව වටහාගෙන අවබෝධයකින් කටයුතු කිරීම නොවෙයි. මේකට කියන්නේ කටපාඩම් කිරීම හෝ වනපොත් කිරීම බව කවුරුත් දන්නවා. සරසවි ප්‍රජාව මේකට කියන්නේ 'ගිරවා දැමීම' කියලා.


මේ 'ගිරවා දැමීම' අඩු වැඩි වශයෙන් ජීවිතයේ කඩඉම් තරණය කිරීමේදී හැමෝටම අකමැත්තෙන් වුනත් කරන්න වෙන දෙයක්. පෞද්ගලිකව මම නම් ඒකට අංශු මාත්‍රයක්වක් කැමති නැහැ. අපි හැකි සෑම විටම උත්සාහ කළ යුත්තේ අදාල කරුණ හොඳින් තේරුම් අරගෙන හිතට දාගන්න එකයි. තමන්ට තේරෙන්නෙ නැත්නම් තේරෙන කෙනෙක්ගෙන් අහගන්න පුළුවන් (කුප්පියක් දා ගන්න.). 


කොහොම වුනත් සමහර විශය වල කරුණු මතක තියාගන්නම වෙනවනේ. ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි මතක හිටින්නෙ නැති එක. මෙන්න ඒකට අත්දුටු ප්‍රත්‍යක්ෂ විසඳුමක් (ක්‍රමයක්).

'අය්යෝ ක්‍රම නම් ඔය ඕන කෙනෙකුට කියන්න පුළුවන්....ඒත් කොහොමද ඒව හරි කියල අපි විස්වාස කරන්නෙ...?' කියල ඔබට හිතෙන්න පුළුවන්. ඒක හරි. කෙනෙක් ක්‍රමයක් කියල දෙනවනම් එයා ඒකෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගෙන තියෙන්න ඕනෙනෙ. ඒක තර්කාණුකූලයි. හරි. මේක ලියන මම රටේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. මම මෙතනට ආවෙ මෙ කියන ක්‍රමයෙ සාර්ථකත්වය මත තමයි. දැන් හරිද..?

ආ...හ්. අමතක වුනා. කෙනෙක් කියයි මෙහෙම..."සර්ට නම් ඉතින් ඕක නැතුව වුනත් ඔහොම වෙන්න පුළුවන්...ගොඩ දාන එකා කොහොමත් ගොඩ දානවා...මීටරේ හොඳ නම් ඔය කොයි එකත් එකයි....". ඒ කතාව හරිද වැරදිද කියල මෙන්න මේ කතාව කියවල ඔබම තීරණය කරන්න.

මේ ලියන මම උසස් පෙළ පළමු වර අසමත් කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද....? ඔව් ඒක ඇත්ත...අසමත් වුනේ ගණිත විශය ධාරාවේ අයට කවදත් පෙන්නන්න බැරි රසායන විද්‍යාව....එසේ මෙසේ අසමත් කමක් නොවෙයි ලකුණු 13යි. මේ වැටුණු අමාරුවෙන් ගොඩ එන්න ගිහින් එක එක අත් හදා බැලීම් කරනකොට තමයි මේ කියන්න යන ක්‍රමය මතුවුනේ....! ඒ කියන්නෙ මේ ක්‍රමය පාවිච්චි කරල මාස කිහිපයක් ගතවෙනකොට රසායන විද්‍යාවට මම රැස් කළ ලකුණු සාමාන්‍යය 92ක්.  (ඒ සඳහා ඉතින් ඉස්සෙල්ලම් ඒ විෂයයට තියෙන අසාධාරණ වෛරය නැති කරන්න ඕනෙ. ඒ කියන්නෙ ඒකට කැමැත්තක් කෘතිමව හරි ඇති කරගන්න ඕනෙ.)

ඔය තරම් අගය කරන මේ අමුතු ක්‍රමය මොකක්ද කියල දැන්වත් බලමු.


ඉස්සෙල්ලාම සම්ප්‍රදායික විදියට කෙටි සටහනක් හදා ගන්න. හැබැයි කරුණු වාක්‍ය විදියට තවමත් තියෙන්න බෑ. (තාමත් එහෙම නම් ඔබ හදල තියෙන්නෙ ෂෝර්ට් නෝට් එකක් නොවොයි, ලෝන්ග් නෝට් එකක්.) තියෙන්න ඕනෙ කරුණු ලැයිස්තුවක් විදියට.


උදා. 

ප්‍රධාන මාතෘකාව.
     හැඳින්වීම
වැදගත් කරුණු.
  1. පළමු කරුණ.
  2. දෙවන කරුණ.
  3. තෙවන කරුණ.
  4.  සිවුවන කරුණ.
උප මාතෘකාව 1
  1. පළමු උප කරුණ.
  2. දෙවන උප කරුණ.
  3. තෙවන උප කරුණ.
  4. සිවුවන උප කරුණ.
  5. පස්වන උප කරුණ.

මේ ආකාරයට ඇත්තම කෙටි සටහනක් හැදීගෙන යනවනම් මීලඟට සපයා ගන්න තියෙන්නෙ බිත්ති පුවරුවක්. එක්කෝ කළු ලෑල්ලක්, වියදම දරා ගන්න පුළුවන්නම් වයිට් බෝර්ඩ් එකක්. (රට හුණු හෝ ලියන වයිට් බෝඩ් මාකර් පෑන් ඕන වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.)


දැන්, ඉස්සෙල්ල ගන්න මුල් පිටපත. (කෙටි සටහන නොවෙයි.) කියවන්න එක පිටුවක් හෝ එක කුඩා පරිච්චේදයක්. දැන් ඒ පොත පැත්තකින් තියන්න. තියල සුව පහසු විදියට හිඳගෙන හරි හෙමින් ඇවිදින ගමන් හරි (හාන්සි වෙන්න යන්න එපා නින්ද යයි!) කියෙව්වෙ මොනවද කියල දල වශයෙන් අදහසක් තියෙනවද කියල (අඩු ගානෙ මොකක් ගැනද මේ පාඩම කියලවත්) හිතින් විමසල බලන්න.

දැන් ගන්න කෙටි සටහනේ අදාල කොටස. කලින්ට වඩා හොඳ අවාධානෙන් හෙමීට කියවන්න. තමන්ට මේ කරුණ ඉතා පැහැදිලියයි හැඟෙන තරමට කියවන්න. (මේ වෙලාවෙදි මතක තියාගන්න උත්සාහ දරන්න එපා.) පිටුවකට (මුළදි පිටු බාගෙක කරුණු වුනත් කමක් නෑ.) වඩා කියවන්න යන්න එපා වැඩේ හුරු වෙනකම්.

අන්තිම වතාවටත් කියවපු කොටසට බැල්මක් දාන්න. ඒ දාන ගමන් එක් එක් කොටසෙ කරුණු / උප කරුණු කීයක් තියෙනවද කියල විතරක් මතක තියාගන්න. උදාහරණයක් විදියට ප්‍රධාන කරුණු 4යි.

දැන් කෙටි සටහනත් සම්පූර්ණයෙන්ම වහන්න. වහල පැත්තකින් තියන්න. අතට ගන්න එපා. හිස් අතින් යන්න බෝර්ඩ් එකට*. හිතින් මතක් කරමින් අදාල කරුණු 4 ලියන්න උත්සාහ කරන්න. පිළිවෙල වැදගත් නෑ. මතක් වෙන විදියට ලියන්න. (පස්සෙ පුළුවන්නම් පොත නොබලා ආපහු පිළිවෙලට ලියන්න.) කොහොමහරි හරි පොත නොබලා අමාරුවෙන් මතක් කරගෙන ලියන්න උත්සාහ කරන්න.
බැරිම වුනොත් ලියපු දේවල් සම්පූර්ණයෙන්ම මකලා ආපහු සටහන අරගෙන කරුණු 4ම බලන්න. නැවත පොත වහල බෝර්ඩ් එකට ගිහින් (හිටගෙන.) කරුණු 4ම එකපාර ලියන්න උත්සාහ කරන්න. මේ විදියට සියළුම කරුණු එකපාර පොත නොබලා ලියන්න පුළුවන්නම් වැඩේ ගොඩ. 

උප කරුණු 5ටත් මේ විදියටම කරන්න. මතක තියාගන්න පොත වහල බෝර්ඩ් එකට යන්නෙ ඉතාම සැහැල්ලුවෙන්. ඔලුවෙ වැඩ කරන්නෙ මතක තියාගත්ත සංකීර්ණ කරුණු වෙනුවට 5 කියන සරල ඉලක්කම විතරයි.!


රූප සටහන් මතක තියාගන්නෙත් මීට සමාන ක්‍රමේකට. 




මේ රූපය බලන්න. ඒකෙ කොටස් නම් කරල තියෙන හැටි බලන්න. බෝර්ඩ එකට යනකොට ඔලුවෙ වැඩ කරන්න ඕනෙ 'වම් පැත්තෙ 7යි, දකුණෙ 6යි. නැතිනම් ඔක්කොම 13 යි.' කියන එක. එක පාරටම 13ම මතකෙන් නම් කරන්න බැරිවෙන එක ඉතාම සාමාන්‍යයි. මානසිකව වැටෙන්න එපා. ඕනම කෙනෙකුට එහෙමයි. නැවත නැවතත් උත්සාහ කරන්න. හැබැයි සියල්ලම නම් කරන්න හැකි වන තුරු.

මේක සෑහෙන වෙලාව ගතවෙන වැඩක් කියල මම දන්නව. ඒක නිසා අන්තිම මොහොතෙ පාඩම් කරන්න ගොඩ ගහගන්න අයට මේකෙ ප්‍රයෝජනයක් නෑ. අනිත් එක වැඩේ හුරු වෙනකම් ටිකක් අමාරුයි. හිත එකඟ කරගන්න එක අමාරුයි තමයි. හැබැයි ඒක නිකම් ඉඳලා නොවෙයි, පුහුණුවෙන් ප්‍රගුණ කරගන්න පුළුවන් එකක්. අත්දැකීමෙන් කියන්නෙ.

සිහිකල්පනාව සහ මතක ශක්තිය මේ පුහුණුවත් එක්ක පහළවෙන ඒවා. මේ පුහුණුව කොතරම වැදගත්ද කියනවනම් විශ්වවිද්‍යාලෙදි ගොඩක් විශයයන් ඉතාම ඉහලින් සමත් වෙන්න දේශනයට සහභාගී වෙලා හොඳ අවධානයෙන් සිටීම පමණක්ම ප්‍රමාණවත් වුනා. ඒ කියන්නෙ සමහර විෂයයන් වලට මම අධ්‍යයන නිවාඩුවෙ පාඩම් කළෙත් නැහැ. පාඩම් කරන්න සටහන් තිබුණෙත් නැහැ. තිබුණත් තිබුණෙ පිටු 2-3ක් විතරයි. ඒ කාලෙ කලේ පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම. නමුත් ප්‍රතිඵලවල කිසිම අඩුවක් නැහැ. මේක අදටත් ගොඩක් අය විශ්වාස නොකළත්, ඇත්ත තත්වය. මේක කරන්න බැරි දෙයක් කියලයි එයාලගෙ අදහස. මම කියන්නෙ පුළුවන්, හැබැයි ගිරවා දැමීමෙන් නොවෙයි, දෙයක් තේරුම් ගැනීමෙන් පමණයි ඒ දේ කරන්න පුළුවන්. 

ඔබ සරසවි ශිෂ්‍යයෙක්නම් අනිවාර්යයෙන්ම හැමදාම දේශන වලට යන්න. එය ඉතා වැදගත්. මොකද දේශනය ඔබට තේරෙන්නෙ නැතිනම් දේශකයා කියන හෝ ලියන දේ ඒ ආකාරයෙන්ම සටහන් කරගෙන පස්සෙ තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්නේ.(තනිවම හරි තව කෙනෙක්ගෙ උපකාරය ඇතුව හරි.) (මම දන්නවා ඇවිත් බෝර්ඩ් එකට උගන්නලා යන යන මහාචාර්යවරු ඉන්නවා. අපිටත් ඔය අත්දැකීම තියෙනවා. අපි කරන්නෙ ඉතින් පෑන ලියවෙනවද බලන්න බෝර්ඩ් එකේ ඉරක් ඇන්දත් ඒකත් ඒ විදියටම සටහන් කරගන්න එකයි. පස්සෙ සටහන තේරුම් ගන්නකොට තමයි අපිටම හිනා යන්නෙ..!!)  තේරෙන්නෙ නෑ කියන එක දේශන මගහරින්න සාධාරණ හේතුවක් නොවන බව මතක තබා ගන්න. එතකොට වෙන්නෙ (දවසක් හෝ කිහිපයක් මගහැර යළි දේශන වලට සහභාගී වෙන දවසට ) කොහෙත්ම තෙරෙන්නෙ නැතුව යන එකයි. මොකද අළුත් පාඩමට කළින් දේශන වල සම්බන්ධයක් තියෙන්න පුළුවන්. 

එක එක ගුරුවරු උගන්නන විදියත්, එක එක ශිෂ්‍යයාගේ මතක ධාරිතාවත් වෙනස් කියලා මම දන්නවා. හැබැයි ඔය කියපු දෙවෙනි කරුණ ඕනම කෙනෙකුට උත්සාහයෙන් වැඩිදියුණු කරගන්න පුළුවන් කියලා කියන්නෙ අත්දැකීමෙන්. ඒකට මේ කියල තියෙන මතක තබා ගැනීමේ ක්‍රමය පිටුවලක් වේවා කියන එකයි මගෙ පැතුම.


*බෝර්ඩ් එකේ ලියන ක්‍රමය නම් මගේම එකක් නොවෙයි, මගෙ ව්‍යවහාරික ගණිතය ගුරුදේවයන් වූ ජනක අබේවර්ධනයන්ගෙ සොයාගැනීමක්.



මේ පෝස්ට් එක මගේ වෙනත් බ්ලොග් අඩවියකත් පළ කළා. ඒක තාක්ෂණික දේවල් කතාකරන බ්ලොග් අඩවියක්. තාක්ෂණයෙන් පිස්සු වැටිල ඉන්න අය කැමතිනම් ඒ බ්ලොග් එකත් බැලුවට මගේ අහිතක්ම නෑ ඉතින්.

Tuesday, October 30, 2012

ලබන මාසෙ පඩියෙන් බඳිමු...?


මේ කතාව මට කිවුවෙ මගෙ මහාචාර්යතුමා. අපේ යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න ඔහු පාවිච්චි කරන්නෙ අපූරු උපක්‍රමයක්. ඒ තමයි උපහාස කතා. හාස්‍යොත්පාදක කතා විදියට ඔහු මේවා තැනට සුදුසු ලෙස පැවසුවාට, අපි හඬනගලා සිනාසුනාට මේවායේ ගැබ් වෙලා තියෙන සියුම් උපහාසය ඇත්තටම එල්ල වෙලා තියෙන්නෙ අන්තිමට බලාගෙන ගියාම අපිටමයි. මේකත් එහෙම එකක්. 

වැඩ කල් දමන්න අපි තරම් රුසියො මේ ලෝකෙ තවත් නැතුව ඇති. මේ එහෙම කෙනෙක් ගැනයි.

අගනුවර ආයතනයක සේවය කරන තරුණියක් සහ තරුණයෙක් ප්‍රේමයෙන් බැඳුනලු. ගෙවල් වලිනුත් අවුලක් නැතිලු.

තරුණියට වුවමනා වුනාලු ඉක්මනට කසාද බඳින්න. දවසක් මේ ගැන එයා සිය අනාගත සැමියට මතක් කළාලු.
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..." ඔහුගේ පිළිතුර වුනා.
වෙඩිමක් ඉතින් කොච්චර චාමෙට ගත්තත් ටිකක් සල්ලි එහෙම ඕනෙනෙ. ඒක නිසා ඒ ගැන තරුණිය සතුටු වුනාලු. අනෙත් එක මහ ලොකු කාලයක් නෙමේනෙ. ලබන මාසෙ.
ඉතින් මෙයා ඊළඟ මාසෙ පඩි දවස වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නවලු. යාළුවොත් එක්ක විවාහය සැලසුම් කරනවලු.

ඔන්න කොහොමහරි පඩි දවසත් ආවලු.
හිතපු නැති දෙයක්නෙ වුනේ. තරුණයා ගැටළු ලිස්ට් එකක්ම ඉදිරිපත් කළාලු. බලාගෙන ගියාම ඒ ඔක්කොම අත‍යවශ්‍ය හදිසි වැඩ. ඒවට සල්ලි වියදම් කළාම වෙඩිම ගන්න වෙන්නෙ නෑ කියල මෙයා තරුණියට එආත්තු ගැන්වූවා.  
"අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු..."
කමක් නෑ. මාසයයිනේ. තරුණිය හිත හදාගෙන හිටිය.

ඒත් ඊලඟ මාසෙ පඩියෙන් කරන්න තවත් වැදගත් වැඩ ලිස්ට් එකක් අපේ කොල්ලට එකතු වෙලා. ආයෙත් මාසයක් කල් ගියා.

මෙහෙම මාස කිහිපයක්ම ගත වුනා. ඒ ගැන මතක් කරන හැම වෙලාවෙම ඔහුගෙ පිළිතුර වුනේ "අපි ලබන මාසෙ පඩියෙන් බඳිමු...!"
ඔහොම කාලයක් යනකොට තරුණියට තේරුණා මේක හරියන සූදුවක් නෙමෙයි කියලා. සුපුරුදු පරිදි ඉතින් එයා වෙන අතක් බලා ගත්තා.
කොල්ල මානසිකව වැටිල වැඩ කරපු තැනින් අස් වෙලා වෙන තැනකට ගියා.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * 

අවුරුදු 3කට පස්සෙ තරුණිය බබාල දෙන්නත් එක්ක බස් එකකට නගින්න ඉන්නකොට දැක්ක අර ඩයල් එක පාරෙන් අනිත් පැත්තෙ බස් හෝල්ට් එකේ ඉන්නවා. මොනව වුනත් ඉතින් දවසක් හරි ආදරේ කරපු මනුස්සයනෙ කියල මෙයා පාර පැනල එයා හම්බෙන්න ගියා.

බලනකොට මිනිහ තාමත් තනිකඩ.
"හැමදාමත් ඔහොම ඉන්නද කල්පනාව..? කසාද බඳින්න එහෙම අදහසක් නැද්ද..?" තනිකඩයන්ගෙන් ඇහෙන සුපුරුදු පැනය.

එතකොටම බස් එකක් ආවලු. මෙයා කළබලෙන් බස් එකට ගොඩ වෙන ගමන් මෙහෙම කියාගෙන ගියාලු.

"ලබන මාසෙ පඩියෙන් බඳිනවා...!"

Friday, October 26, 2012

ඉරුණු නෝට්ටුව


මා අත තිබුණු ඉරුණු නෝට්ටුව මට පැටවූයේ කවුරුන්දැයි මා මතක් කර බැලූ මුත් සිහියට නො එයි. අද දවසේ කිහිප තැනකින්ම මුදල් ගනුදෙනු කළ බැවින් නිශ්චිත තීරණයකට එලැඹිය නොහැකි විය. ඉතිරි මුදල් එවෙලේම පරික්ෂාකර බලා භාරගැනීමේ පුරුද්දක් නොමැති වීම ගැන මම මටම දොස් පවරා ගතිමි. මීට පෙරද කටුබැද්ද හන්දියේ එක්තරා හෝටලයක් සහ බස් කොන්ස්තරවරුන් රැසක් මට රු. දහස් ගනණින් හිතාමතාම වංචා කළේ මගේ මේ අනවශ්‍ය කලබලය දඩමීමා කරගෙනය. එහෙත් තවමත් මා හැදී නැත.

මම යලිඳු නෝට්ටුව පරීක්ෂා කර බැලීමි. එය රු. 100ක නෝට්ටුවකි. හරි මැදින් බාගයක්ම ඉරී ඇත. එහෙත් 'සෙලෝ-ටේප්' පාරකින් එය ඉතා පහසුවෙන් අළුත්වැඩියා කළ හැකි බව පෙනුනි.

මා සතුව සෙලෝටේප් නොමැති වීම නිසා සහ ගන්නට සිතා සිටියත් අමතකවීම නිසා එය දිනෙන් දින කල් ගියේ ය. දින නොව සති කිහිපයක්ම කිසිදු වෙනසක් නොවී එය පසුම්බියේම රැඳුනි. බැංකුවටද කිහිප වරක්ම ගියද කළබළකාරී බව නිසා එය හොඳ නෝට්ටුවකට මාරු කර ගැනීමට අමතක විය.

මගේ හිත හොඳ කමද මෙය මෙතරම් දික් ගැස්සීමට හේතු වූවා යයි කිවහොත් වඩාත් නිවැරදිය. ගණුදෙණු කරන අවස්ථාවකදී එය අනෙක් හොඳ නෝට්ටු සමඟ ප්‍රයෝගකාරීව දෙන්නට සිතුනද හිතට එකඟව එසේ කළ නොහැකි විය.

වරක් එය ආපනශාලවට දී තේ ඇණවුම් කළෙමි. මුදල් භාරගත් සේවිකාවට එහි තත්ත්වය ගැන කල්පනාවක් නොවීය. එය ලාච්චුවේ දාගන්නට ඔන්න මෙන්න් කියා තිබියදී මට සිතුනේ මා තවත් අහිංසකයකු අමාරුවේ දමන බවත්, විශේෂයෙන්ම දිනපතා ගනුදෙනු කරන මෙවැනි හිතවත් කෙනෙකුට එසේ කිරීම බලවත් වරදක් බවත් ය. මම වහාම ඇත්ත පවසා එය ආපසු ඉල්ලා ගතිමි.

කෙසේ හෝ සෙලෝටේප්  රෝලක් ගැනීමට මම තීරණය කළෙමි. අදාල ගාස්තු ගෙවා මම එය ලබාගෙන සේවා ස්ථානයට පැමිණ හරි බරි ගැසී වාඩි වූයේ ඉරුණු නෝට්ටුව අළුත් වැඩියා කිරීමටය.

ඒත් කෝ ඒක....? එය පසුම්බියෙහි හෝ සාක්කුවල නොවීය. 

එහෙත් ඒ වෙනුවට සෙලෝටේප්  මිළදී ගැනීමට පෙර තිබූ මුදල් සියල්ලම එහි තිබුණි.....!  

කිසිදා වැඩිහිටියෙකු නොවන 'පොඩි එකා'


අප සමාජයට කෙතරම් වැඩිහිටි චරිත වුවද ගෙදරට තවමත් නොදරුවන්ය. මිතුරන් සමඟ කෙටි ගමනක් යාමට සූදානම් වූ විට 'මූදෙ නාන්න යන්න එපා', 'වාහනේ හයියෙන් යන්න එපා' වැනි උපදෙස් අදටත් නොඅඩුව ලැබේ. ආශ්‍රය කරන්නේ කවුරුන් සමගදැයි තවමත් සොයා බලයි. ඇඳිරි වැටුනු පසුත් ගෙදරට වාර්තා කර නොමැති නම් ජංගම දුරකථනයට නිවනක් නොමැත. ගියේ දුර ගමනක් නම් ගමනාන්තයට සුවෙන් ළඟා වෙමින් පවතීද?, ගෙදරට ගොඩ වැදුනේද?, තව කවුද ඉන්නේ? යනාදී වශයෙන් සියල්ල සජීවී විස්තර ප්‍රචාරයක් දීමට සිදුවේ. බැරි වෙලාවත් හදිසියක් වී රාත්‍රියේ නිවසින් පිටවීමට සිදුවුවහොත් තනිවම එම ගමන යාමට කිසිසේත්ම අවසර නොලැබේ. රාත්‍රියේ "බීපු මිනිසුන් ඇඟේ හැපීම සහ බේබදු රියදුරන් ඇඟට කැපීම" එයට හේතුව බව ඊයේ සිදුවූ මෙවැනි සිදුවීමකට මා විරෝධය දැක්වීමේදී දැනගැනීමට හැකිවිය. එය මට හාස්‍යජනක කරුණු පැහැදිලි කිරීමක් වුවද, කෙතෙක් උපහාසයට ලක් කළද සිත රිද්දන්නට නොහැකි හෙයින් අදහස අත් හැර ගැනීමට සිදුවිය. මා සූදානම් වූයේ මහා ලොකු දුර ගමනක් යාමට නොව, මීටර් 700ක් පමණ දුරින් පිහිටි හන්දියට ගොස් රීචාර්ජ් කාඩ් පතක් මිළදී ගැනීමටයි! 

මේ ළඟදී සිදුවූ සිදුවීම් කිහිපයක් නිසා මා වටහාගෙන සිටින්නේ මා තවමත් පොඩි එකෙකු නොවන බව ගෙදර අය පිළිගැනීමට අපොහොසත් බවයි. මින් එකක් මෙසේය:

මගේ පියා ගුරුවරයෙකි. ඔහු සුළු පරිමාණයෙන් පුද්ගලික පන්තිද පවත්වයි. එතරම් ආදායමක් නොලැබෙන ඒවායේ ප්‍රචාරයද බොහෝ විට සිදුවන්නේ ඉතා සුළු පරිමාණයෙනි. බොහෝ විට ගෙදරදීම සකස් කරන ලද ලී රාමු සහිත කටවුට් කිහිපයක්, පැය කිහිපයකට කුළියට ගන්නා ලද පුද්ගලයකු ලවා එල්ලවීමට පමණක් මෙය සීමාවේ.
මෙවර ඒ සඳහා අපට අවශ්‍ය පුද්ගලයා සොයා දුන්නේ ම'පියා ගේම ගෝලයෙකි.

අපි, එනම් මම, තාත්තා, ඔහුගේ ගෝලයා සහ  කටවුට් එල්ලන වැඩේ භාරගත් තරුණයා වාහනයේ ගමන් ගනිමින් සිටියෙමු. නගරයට කිලෝ මීටර කිහිපයක් දුර බැවින් ඒ යන අතරතුර කතාබහේදී ඔහුද වෙනත් විශයමාලාවකින් උසස් පෙළ හදාරන සිසුවෙකු බව දැනගන්නට ලැබුණි.
ප්‍රචාරක පුවරුවක් එල්ලන්නට සුදුසු තැනකට අපි පැමිණ සිටියෙමු. මා ඇමතූ තාත්තා...

"පුතේ, ඩිකියෙ ඇති කම්බියි, කටර් අඬුවයි. මේ අයියට දෙන්න....."

අයියා? ඔහු උසස් පෙළ සිසුවෙකි. අඩු තරමේ අවුරුදු 7-8 ක්වත් මට වඩා බාල විය යුතුය. මා උසස් පෙළ පමණක් නොව විශ්වවිද්‍යාලය පමණක් නොව රැකියාද කිහිපයක්ම 'පාස් කළ' අයෙක්මි. තත්තාට වැරදීමක් සිදුවන්නට ඇතැයි සිතුනි. නමුත් ඔහු අඳුරේම කණුවක් පාමුලට යනු දුටු තාත්තා නැවතත්
"පුතේ අයියට ටෝච් එක අල්ලන්න" යයි කීය.

එන පොට හොඳ නැති බවත් මේ ගැන මොනවා හරි කළ යුතු බවත් මම සිතාගතිමි.
යළි වාහනයට පැමිණ ගමන් ඇරඹූ පසු මම තරුණයා කතාවට අල්ලා ගතිමි.

"මල්ලි මොන අවුරුද්දෙද ඒ. ලෙවල්....?"  
"2014."
"ආ..ඇත්තද...? මම 2003...!" මා කීවේ තාත්තාටද ඇසෙන පදිරි උස් හඬිනි.

ඉන් පසු ඔහු මට ඔහුගේ ගෝලයා 'අයියා' ලෙස හඳුන්වා දුන්නේ නැත.

ආපසු එන අතර මා කල්පනා කළේ මෙයයි:
"හොඳ වෙලාවට කසාද බඳින්න එහෙම හදිස්සියක් නැත්තේ....බැරි වෙලාවත් එහෙම වුවමනා වුනා නම් සොරිම තමයි....!" 

කාලය මැවු වෙනසක අරුමේ...


සාමාන්‍යයෙන් මම ප්‍රකෝපකාරීව හෝ කළහකාරීව හැසිරෙන කෙනෙක් නොවෙමි. එහෙත් බලවත් අසාධාරණය හමුවේ මගේ ඉවසීමේ සීමාවන් දෙගොඩ තලාගිය විට මා හැසිරෙන ආකාරය ගැන විවේචන තිබේ. එම හැසිරීම මගේ උගත්කමට නොගැලපෙන බව බහුතරයක් මිතුරන්ගේ මතය වුවද එය මා තුළ තවමත් යම් තාක් දුරට පවතින දුර්වලතාවයක් බව පිළිගනු නොකැමැත්තෙමි. බොහෝ විට මා එසේ කිරීම ගැන පශ්චාත්තාප නොවන අතර ඒ ගැන වැඩිදුර කල්පනා කිරීම අත් හැර දමමි.

එහෙත්....එවන් සිද්ධි වලට සම්බන්ධ පාර්ශව කෙරෙහි මගේ ආකල්පය, ජීවන අත්දැකීම් තුළින් ජීවිතය පිළිබඳ දැක්ම සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථා ඇත. මෙය එක්තරා ආකාරයකට අසම්පූර්ණව තිබූ පරිණත භාවයක් මා වෙත ළඟා කර ගැනීමක් බවට පිළිගැනීමට සිදුවේ. මේ පරිණත භාවය, කිසිදා සංතෘප්ත නොවන, සදාකල්හිම වැඩිදියුණු වෙමින් පවතින්නක් යයි හැඟේ.

මීට වසර කිහිපයකට පෙර මා සරසවි ශිෂ්‍යයෙක් ලෙස සිටි කාලයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන මා තුළ පැවති ආකල්පය එයට කදිම නිදසුනක් සපයයි.

මා එවකට පීඨ ශිෂ්‍ය නායක ව සිටියෙමි. අළුත් වාරයක් (සෙමෙස්තරයක්) ආරම්භවනවිට ඒ සඳහා අප හදාරණ විෂයයන් වලට ලියාපදිංචි වීම අප විසින් කළ යුතු විය. එතෙක් කල් පැවති සම්ප්‍රදාය වූයේ, සියළුම ශිෂ්‍යයන් විසින් තනි තනිව පුරවන ලද අයදුම්පත්, පීඨ ශිෂ්‍ය නායක විසින් පරීක්ෂාකර බලා අදාල අංශ වලට ගෙන ගොස් භාර දීමයි.

ඉතා අසීරුවෙන් එකතු කරගත් පීඨයේ සියලු සිසුන්ගේ නිසිලෙස සම්පූර්ණ කරනලද අයදුම්පත් ගොන්න සමඟ අදාල දෙපාර්තමේන්තුව වෙත ගිය මට දන්වන ලද්දේ අනපේක්ෂිත කතන්දරයකි. එනම් මෙවර සිට සිසුන් තනි තනිව පැමිණ ලියාපදිංචි විය යුතු බවයි.

මම මේ තීරණයට එකඟ නොවීමි. එක් එක් වාරවල එක් එක් ප්‍රතිපත්ති පැවතිය නොහැකි බවත්, මෙය පත්වීම් ලිපියකින් පිළිගන්නා ලදුව ඇති ශිෂ්‍ය නායක පදවිය අවිශ්වාසයට ගැනීමක් ලෙස හා ඔහුගේ බලතල අවප්‍රමාණ කර සැලකීමක් ලෙස හුවා දක්වන්නට තැත් කළෙමි. ප්‍රතිඵලය වෙනස් නොවන කල්හි මට ඉවසුම් නොමැති විය. දැන් දැන් වාදය එන්න එන්නම උණුසුම් වේගෙන එයි.

මගේ කතා විලාශය කොහොමත් අනෙත් අයට සාපේක්ෂව තරමක් ශබ්දයෙන් වැඩිය. එක්වරම එහි සිටි අනධ්‍යන සේවිකාවක් (ඔවුන්ගේ වයස හා අධ්‍යාපන සුදුසුකම් අප දැන සිටියෙමු. ඇය මට වඩා වසර 2ක් පමණ බාල, අ.පො.ස. උ.පෙ. යන්තමින් සමත් තැනැත්තියක් බව දැන සිටියෙමි.) මා අමතා මෙසේ කීවේ ආරූඪ කරගත් මහේශාක්‍ය ලීලාවෙනි.

"මේක මොකක් කියලද හිතාගෙන ඉන්නෙ මෙතන ඔහොම කෑ ගහන්න...?"

මට නිම් නැතිවිය. කොහොමටත් මෙවැන්නියන් ගැන අප සියලු දෙනා (සිසුන්) තුළ තිබුණේ ඉතා අයහපත් ආකල්පයකි. මොවුන් ශිෂ්‍යයන් නොසලකා හැර ඇති අවස්ථා සහ තමන් සිසුනට වඩා ඉතා වැදගත් ගෞරවණීය පිරිසක් යයි දැනෙන්නට හැර ඇති අවස්ථා රාශියක් ගැන මට පැමිණිලි රාශියක් ලැබී තිබුණි. මේ සාපේක්ෂව නූගතුන් අතින් බාල්දු වන්නේ සරසවි ශිෂ්‍යයා සතු අභිමානය නොවේද...? 

මා කෙතරම් උද්වේගකර වූවේද කියතොත් මා සමඟ සිටි මිතුරන් විසින් මා තරකොට අල්ලා නොගන්නට ඇය මා අතින් පහර කනු ඇත. ඉතා ආවේගශීලීව මම ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීතුමියට සහ ජෙ‍ය්‍යෂ්ඨ ලේඛකාධීතුමාට මොවුනට ශිෂ්‍යයන් පහත්කර සැලකීමට මෙවැනි බලතල දීම ගැන දිගු වේලාවක් දොස් පැවරීමි. සිද්ධිය දැනගෙන අවට සිටි සිසුන්ද රැස්ව සිටි අතර ඔවුන්ද මා ගත් ක්‍රියාමාර්ගය එකහෙලාම අනුමත කළ අතර මා මෙම පොදු ගැටළුව කල් නොහැර ඉදිරිපත් කිරීම ගැන බලවත් ප්‍රසාදය පළ කළහ.  

කාලය ගෙවී ගියේය. මා උපාධිය ඉහළින් සමත් වී ටික කළක් පුද්ගලික අංශයේ සේවය කර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳීමට තීරණය කළෙමි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මා උගත් සරසවිය මා ප්‍රතික්ෂේප කළද අගනුවර කීර්තිමත්ම සරසවියක් මා ආදරයෙන් පිළිගත්තේය. ඒ වනවිටත් මා සතුව අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන තිබූ ආකල්පය අප්‍රසන්න එකක් විය. මා සැලසුම් කරගෙන සිටියේ හැකිතාක් ඔවුන් නොතකා රාජකාරි කටයුතු කරගෙන යාමටයි.

නමුත්....දින සති ගෙවී මාස කිහිපයක් යනවිට ඔවුන් ගැන මා තුළ තිබූ චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි එකක් යයි යන යථාර්ථය මට ඉතා සෙමෙන් නමුත් ගැඹුරු ලෙස පසක් වෙමින් තිබුණි. දහසකුත් එකක් වැඩ රාජකාරි අතරේ අතිශයින්ම කාර්යබහුල වී සිටින විටය අපට අන් අයගේ සුළු හෝ උපකාරයන්හි අගය දැනෙන්නේ. දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, විභාග, ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘති අධීක්ෂණය, විශ්වවිද්‍යාලය විසින් පවරන ලද වෙනත් රාජකාරි හා ව්‍යාපෘති, පශ්චාත් උපාධියේ කටයුතු අතර පැමිණීමේ ලේඛන සකස් කිරීම හා එම දත්ත පරිගණකගත කිරීම ආදී 'සිල්ලර' දේත් කරන්නට වූයේනම් එය මහත් හිසරදයක් හා වටිනා කාලය නාස්තියක් වනු ඇත. මෙහිදී අප වෙනුවෙන් එම 'මෙලෝ රහක් නැති' කාර්යයන් ඇතුළුව තවත් බොහෝ දෑ භාරගන්නා කැපකිරීම ඔවුන් කරන බව මා දැනගත්තේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු පසුය. දේශන ශාලා සැකසීම, තාක්ෂණික නිවැරදි කිරීම් ආදී මෙකී නොකී සේවාවන් රාශියක් ඔවුන් විසින් ඉටුකරනු ලබන බවද, එය කිසිසේත් ලඝු කොට තැකිය නොහැකි බවද වටහා ගතිමි. කොටින්ම දේශනයේ 'වීරයා' ආචාර්යවරයා වුවද තිරය පිටුපස තවත් බොහෝ දෙනෙක් නිහඬව ඊට පරිසරය සකස් කරන බව බොහෝ දෙනෙක් නොදුටු යථාර්ථය නවමු මානයකින් දකින්නට මට හැකිවිය.

මගේ ආකල්පමය පරිවර්තනය මට පවා විශ්වාස කරන්නට නොහැකි විය. දිනෙන් දින මා හා ඔවුන'තර සුහදතාව හා විශ්වාසය දළුලා වැඩුණි. පීඨාධිපති කාර්යාලයේ බොහෝ දෙනෙකු මට සොයුරෙකුට මෙන් සලකන්නට වූහ. විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙවී ගිය අතර මා ලබා තිබූ දියුණුව මැනිය හැකිවූ අවස්ථාවක් උදා විය. ගම් පළාතේ සරසවියකට උසස් වීමක් සමගම මා මාරුවීමක් ලබාගත් අතර ඒ සඳහා සමුගැනීමේ සාදයක් සංවිධානය විණි. 

පීඨයේ සියළුම අනධ්‍යන කාර්ය මණ්ඩලය එහි සිටිනු දැකගත හැකි වීම මා උපයා තිබූ ආකල්පමය වත්කම මට හඬගා කීය.  

මෙහිදී බොහේ දෙනෙකු අවංකව අදහස් පළ කළ අතර, සියළු කාර්ය මණ්ඩල අතර මෙවැනි ජනප්‍රියතාවක් කෙනෙකු ලබාගත්තේ වසර 12කට පසු බව දැන ගන්නට ලැබුණි.           

මා දැනට සේවය කරන සරසවියේද (මගේ සහය ආචාර්ය මණ්ඩලය හැරුණු කොට ගෙන) මා හා වඩාත්ම ළබැඳිව කටයුතු කරන්නේ ඔවුන් බව කිවහොත් එහි ඇති වැරැද්දක් නොමැත. ආචාර්ය මණ්ඩලය මා හා බැඳී පවතින්නේ රාජකාරිමය සුහදතාවයකින් යයි මට අවංකව දැනෙන දෙයයි. ඇතැම් විට මෙහි කථිකාචාර්යවරියන්ගෙන් කිහිප දෙනෙක්ම මගේ ගුරුවරුන් වීමත්, පශ්චාත් උපාධි පර්යේෂණ වල නියුතුව සිටීම නිසා සහ වෙනස් හේතු නිසා අප අතර කතාබහ ඉතා අල්ප වීමත් ඊට හේතූන් වියහැකිය.

කාලය විසින් මිනිසුන් පරිණත කරන බවත්, ඔවුන් තුළ උපේක්ෂාව වැනි දේව ගති ප්‍රගුණ කරවන බවත්, යම් යම් දුර්ගුණ මැඩ පවත්වන බවටත් මම අද විශ්වාස කරමි.

Friday, September 28, 2012

ඉතින් අවසරයි සමු දෙන්නට....


සංවේදී සේවය කරන සරසවියේ සංවේදීගෙ සහය ආචාර්ය මණ්ඩලයේ සොයුරෙක් හා සොයුරියක් (ඉතිරි වෙලා හිටිය එකම සොයුරිය) අද සරසවියට සමු දීලා පාසල් ගුරු සේවය වැළඳ ගන්නවා. මේ ඒ වෙනුවෙන් සංවේදී මුහුණු පොතේ තියපු සටහන. මේ ඉල්ලීම සහ වදන් පෙළගැස්ම සමස්ත ගුරු පරපුරටම වැදගත් වේවි සහ උපහාරයක් වේවි කියලා හිතුන නිසා මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.

"එක අතකට ඔබ මට වඩා වාසනාවන්තයයි මට හැඟේ. 

කීර්තිමත් විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීමට සුදුසුකම් ලද ඔබ නික්ම යන්නේ වඩාත් කැපකිරීම් සහිත වූ උතුම් සේවයක් මේ රටට ඉටුකිරීමටය. 

මා වායුසමනය කරන ලද විද්‍යාගාරයක සහය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන කරන සේවය ඔබ දහඩිය වගුරුවමින් අවම පහසුකම් මැද මේ රටට ඉටු කරනු ඇත. 

දුප්පත් අහිංසක දරුවන්ගේ කඳුල හා සුසුම මට වඩා ඔබට සමීප වනු ඇත.
වනයේ පිපුනු නමුත් සුන්දරත්වයේ හෝ වටිනාකමේ අගයේ අඩුවක් නැති මල් කැකුළුවල සුවඳ ඔබ ආඝ්‍රාණය කරනු ඇත.
ඒ සුකොමළ හදවත් වඩාත් මෘදු ලෙස ස්ඵර්ශ කරනු ඇත.
ඒ සුවඳින් ඔබ විඳින අනේක විධ දුක් වේදනා සැනෙකින් අමතක වනු ඇත.

මතක තබාගන්න. විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද, දුෂ්කර පාසලේ බාලාංශයට ඉගැන්වුවද ගුරුතුමා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුඋතුමා වේ. එය වන්දනීය තනතුරකි.

මීට,
ඔබේම සොයුරු,
____ සර්"


ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සංවේදීට හොඳට පුරුදු වුනත් (මේ සංවේදීගෙ සිවු වෙනි සරසවිය හා රැකියා ස්ථානය.) වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඒ ගැන නොවෙයි. 

අපේ නිදහස් සරසවි අධ්‍යාපනයේ හෙට දවස ගැන...

Wednesday, September 26, 2012

මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...?


මම ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හොඳ යෙහෙළියෝ 3 දෙනෙක් හිටිය. හැබැයි ඒ තුන්දෙනා ගැන මට දැනුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තුන් විදියකටයි.

ඉන් එක්කෙනෙක් මම කවදහරි මගේ ආදරවන්තිය වෙයි කියල අවුරුදු 2 1/2 කට අධික කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා. මෙයා මම D කියලා හඳුන්වන්නම්. දෙවැන්නා මගේ හොඳම මිතුරිය. එයාගෙන් මම කවදාවත් හීනෙන්වත් එහෙම එකක්  බලාපොරොත්තු වුනේ නෑ. ඒක මගේ හිත දන්නවා. කොටින්ම මම එයාගෙන් බලාපොරොත්තු වුනේ මගේ අක්කගෙ තැන. 
සාමාන්‍යයෙන් පිරිමි තීරණ ගනිද්දි ගොඩක් දුර බලන්නෙ නැතුව, එවෙලෙ ආපු ආවේගයකට වහල් වෙලා ගන්න හදිසි තීරණ තියෙනවා. මේ සමහර ඒවා, එවෙලෙට හරියටම හරි කියලා හිතුනත් පස්සෙ ඤාව් වෙලා ඇඬෙන අවස්ථා තියෙනවා. එතකොට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ. ඒක නිසා ගෙදර අම්ම හරි ලොකු අක්ක හරි කියන දේ කවදාවත් අහක දාන්න හොඳ නෑ කියලයි මගෙ පෞද්ගලික මතය. මොකද ගැහැණු අය, ඒ ගොල්ලන්ගෙ සහජ ඉව පාවිච්චි කරල පිරිමි අපි නොදකින වෙනම පැත්තකින් ප්‍රශ්නයක් දිහා බලනවා කියලා මම කියන්නෙ අත්දැකීමෙන්. ඔය දෙවැනියට මම ආස්සරේ කරපු කෙනා (N කියලා හඳුන්වමු)ගෙන් මම ඇත්තටම බලාපොරොත්තු වුනේ මගේ ජීවිතයේදි, විශේෂයෙන් ගෙදර මිනිස්සුගෙන් ගොඩක් දුරස් නිසා සහ ශිෂ්‍ය නායකයෙක් විදියට මට නිතරම තීරණාත්මක තීරණ ගන්න වෙන නිසාත් (කොහොමත් මම හැඟීම් වලට ගොඩක් ඉඩ දෙන කෙනෙක්) ඒ වෙලාවට ළඟින් ඉඳගෙන හොඳ නරක කියල දෙන්න කෙනෙක් ඉන්න ඕනෑ කියල හිතුන නිසා කියල කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.
කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න. 
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු." 
නැත්නම් 
"අපි ඕකි උස්සමු.". 
උන් ඔය වගෙ එකකට ප්‍රතිචාර දක්වන්නෙ ඔහොමයි. වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඒත් කිට්ටු යෙහෙළියක් ඒ වගේ වෙලාවකදි ළඟින් ඉඳන් හිත හදන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියකට.

තුන්වෙනි එකී මම ආශ්‍රය කළේ 'මචං' ලෙවෙල් එකෙන්. කොල්ලෙකුට කියන්න පුළුවන් ඕනෙම එකක් මේකිට මූණ බලාගෙන කියන්න පුළුවන්. අදටත් ඒ ෆිට් එක එහෙමම තියෙනවා. මේකිට 'වැලා' කියල කටපුරා කියන්නෙ එහෙම නරක අදහසකින් නෙවෙයි. ෆැමිලි නේම් එකේ එහෙම කෑල්ලක් තියෙන නිසා. ගත් කටටම 'තෝ' කියලා තමයි මම අමතන්නෙ.

මේ සටහන උන් තුන් දෙනාගෙන් දෙවැන්නා, N ගැන.
කැම්පස් එකේ පළමු සතියෙ ඉඳල උපාධිය ගන්නකම්ම (උපාධිය හම්බුනේ අවුරුදු 4ත් සම්පූර්ණ කරල තවත් අවුරුද්දකට පස්සෙ.) අපි පුදුම හිතවත්කමකින් හිටියෙ. ගොඩක් කණ්ඩායම් ව්‍යාපෘති වලදි එකම ගෲප් එකේ හිටියෙ. 3 වෙනි අවුරුද්දෙ වගෙ දෙන්න ඉන්න කුඩා කණ්ඩායම් වල හිටියෙ අපි දෙන්න.

මෙයා බයෝ කරල ආපු නිසා පරිගණක විද්‍යාව විශේෂවේදී අපේ උපාධියෙ මැතට බර ගොඩක් සබ්ජෙක්ට්ස් මෙයාට අමාරු වුනා. මට මැත එදා ඉඳලම ගේමක් නැති නිසා ගොඩක් වෙලාවට ළඟින් තියාගෙන ගණන් කියල දුන්න. මගේ ගැන කොච්චර විශ්වාසයක් තිබුනද කිවුවොත්, සමහර විභාග කාලවල හැන්දෑවෙ 6.45 වගෙ වෙනකම් අඩ අඳුරෙ අපි දෙන්න විතරක් එකට පාඩම් කළා. ගොඩක් වෙලාවට වෙන්නෙ මට මෙයාට 'කුප්පිය' දාන්න වෙන එක. ගොඩක් වෙලාවට මෙයාව 'කුප්පියට' බාර දෙන්නෙ මෙයාගෙ මනුස්සයා (එළ කොල්ලෙක්. ඌ මම කවුද කියල දැනගෙන හිටිය. අදකාලෙ කවුරුවත් එහෙම පිට මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ.). 

එක පාරක් මම තදට අසනීප වෙලා විභාගෙ තියෙන දවස වෙනකම්ම් කැම්පස් එකට එන්න බැරිවුනා. පට්ට අමාරු සබ්ජෙක්ට් එකක් තිබුණ Computer Graphics කියල. ත්‍රිමාණ කණ්ඩාංක පද්ධති එහෙම මේකෙ වැහි වැහැල. හැබැයි මට අවුලක් නෑ. මෙයා මේක දැනගෙන හිටිය.
මම විභාගෙට කළින් දවසෙ බෝඩිමට ආවම කොල්ලො කිව්ව් N මම නැති නිසා ඇඬුව කියල. සමහරවිට අරක අහගන්න කෙනෙක් නැති නිසා සබ්ජෙක්ට් එක ෆේල් වෙයි කියල බය හිතෙන්න ඇති. 
මම ඉගැනුම් ආධාරක, ඔය පෙට්ටි වගේ ත්‍රිමාණ වස්තු යොදාගෙන ඒ පාඩම මෙයාට කියල දුන්න.

ඔය වගේ සිදුවීම් ඉසේ කෙස් ගාණට වුනා.
අවුරුදු හතර ඉවර කරල අපි පුද්ගලික අංශයෙ රැකියාවලට ගියා. අපි දෙන්නම ගොඩක් ඉහළ විදියට උපාධිය සමත් වුනත් එකපාරටම ආචාර්ය මණ්ඩලයට ගත්තෙ නෑ. කම්පැනිවල වැඩ කරද්දිත් හිතවත්කම තවතවත් දෝරෙ ගලාගෙන ගියා රැකියාවෙ පීඩනය නිසා. ෆෝන් එකෙන් හරි ස්කයිපි වලින් හරි දිනපතාම වගේ කතා කළා. 

මේ අතරෙ කැම්පස් එකේ ස්ටාෆ් යන්න අපි දෙන්නම සෑහෙන උත්සාහ කළා. පුරප්පාඩු 2ක්ම තිබුණ නිසා අපි අතරෙ තරඟයක තිබුණෙ නෑ.
අන්තිමේදි මෙයාව ස්ටාෆ් ගත්තා. ශිෂ්‍ය නායක පදවිය උසුලපු නිසා මට අපහාස කරල ප්‍රතික්ෂේප කලා. මම ඒ ගැන සැළුනෙ නෑ. පශ්චාත් උපාධිය කරගෙන ගියෙ කවදහරි දිනුම ෂුවර් නිසයි.

ඒත් මට දරාගන්න බැරි දෙයක් සිද්ද වුනා. ස්ටාෆ් ගියාට පස්සෙ මෙයා ටික ටික වෙනස් වෙන්න ගත්ත. සමහරවිට ඇඩ්මින් එක මාව රුස්සන්නෙ නැති නිසා තමන්ගෙ රැකියාවෙ පැවැත්මට හොඳ නෑ කියල හිතුවද දන්නෙ නෑ මාත් එක්ක ඇයි හොඳයි කම් පවත්වන එක.
ෆේස් බුක් එකේ මගේ පොස්ට් වලට ලයික් දාන එක මෙයා නැවැත්තුවා. චැට් වලට ආවෙත් නෑ.

දවසක් මෙයා මට දරාගන්න බැරි වැඩක් කළා. මම බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනා (D) මට පිටු පාලා නාවික ඉංජිනේරුවෙක් බැන්දා. මෙයා ඒ වෙඩින් එකේ ෆොටෝස් සෑහෙන ගානක් ෆේස්බුක් දාලා තිබුණා. ඇතිවුණු හැඟීම් හිතාගන්න පුළුවන්නේ.

මම මෙයාට බොහොම සුහදශීලීව මැසේජ් එකක් යැව්වා මට මේවා බලන්න බෑ. මම ටික දවසකට විතරක් තාවකාලිකව ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ෂිප් එක අයින් කරනවා කියලා. මම හිතුවේ මෙයා මම ඉන්න තත්වෙ තේරුම් ගනියි කියලා. ඒත්......එවනව මට මැසේජ් එකක් මෙන්න මෙහෙම.
"බොහොම හොඳයි. මමත් බලාගෙන හිටියෙ ඔය අවස්ථාව ලැබෙනකම් තමයි. තාවකාලිකව නෙමෙයි මම සහදටම ඔබව ෆේස්බුක් එකෙන් අයින් කරනවා!"

මම හිතුවෙ ඒක නපුරු විහිළුවක් කියල. ඒත් කැම්පස් ගියාම එයා මාව අඳුනන්නෙ නෑ වගෙ හිටිය. මට ගොඩක් දුක හිතුණත් ඇත්ත තේරුම් ගත්ත. දැන් එයාට මගෙන් වැඩක් නෑ. වෙනවනම් වෙන්නෙ හානියක් මිසක් වාසියක් නොවෙයි. අනික මම එයාගෙ කවුද..? කොල්ලද...? නෑ. එයා දැන් විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරියක්. කළින් ඇඳන් හිටපු සරල කෙළි ඇඳුම වෙනුවට දැන් ලස්සනට සාරියක්  ඇඳල. ශිෂ්‍ය කාලෙ නම කියල කතාකරපු හැමෝම හැමෝම දැන් කටපුරා 'මැඩම්' කියල කතාකරන්නෙ. මම කවුද...? කොහෙවත් යන කොම්පැණි කාරයෙක්ගෙ කුළී ඉංජිනේරුවෙක්. අඳින්නෙ ටී ෂර්ට් එකයි, කබල් ඩෙනිමයි. අපි කවදාවත් පෑහෙන්නෙ නෑ කියල හිතුන.

බොහොම අමාරුවෙන් හිත වාවගෙන මම ආපු වැඩේ කරගෙන කැම්පස් එකෙන් පිටවෙලා ආව.
ඒත් දෙයියනේ....මනුස්සයෙකුට මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද....?

පූස් පැටවු


විසි පස් වෙනි සංවේදී දිගහැරුම.

මේ අඩවියෙන් සංවේදී හදවත් තියෙන අයගෙ හිත් තවතවත් සංවේදී බවෙන් පුරවාලන්නට මිසක් කම්පා කරන්නට කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. දහස් වාරයක් සමාවන්න. අද කියන්න වෙලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සිදුවීමක්. මේක ඒ ජාතියේ පලමුවෙනි සහ අන්තිම සටහන කරන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා.

දුක හිතෙන ෆේස්බුක් පෝස්ට් එකක්වත් ශෙය්‍යා(ර්) කරන්නෙ නැත්තෙ මම අත්විඳින දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා. ඒත්...මේකෙ ඔබට කියලා මගේ දුක තුනී කරගන්න ආත්මාර්ථකාමී අරමුණට වඩා එහා ගිය පණිවිඩයක් ගැබ්වෙලා තියෙනවා කියලා අවංකව හැඟෙන එකම හේතුව නිසයි මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නෙ. දැන් නම් සිදුවීම සිදුවෙලා දවස් කීපයක් ගෙවිලා නිසා මේ සටහන තියන්න තරම් හිත ටිකක් විතර හැදිලා තිබ්බත් එයින් ඇති කරපු කම්පනයනම් ජීවිත කාලෙටම ළඟ තියේවි.

ගෙදර බොහොම ආදරෙන් හදපු බළල් තඩියා මැරුණට පස්සෙ සත්තු මොකෙක්වත් හදන්නෙ නෑ කියල හිතාගෙන හිටියේ. ඒත් කොහෙද යන බැළලියක් අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොඳ හිතෙන් ප්‍රයෝජන අරගෙන අපේ ගෙදර බලෙන්ම නැවතුනා. දැන් මාසෙකට විතර කළින් මෙයා අම්ම කෙනෙක් වුනා, ලස්සන බෝල වගේ කහ පාටට හුරු පැටවු 3 දෙනෙක්ගෙ. එළියෙ මඩුවක දමයි දැම්මෙ. පැටවු සත්තු ගෙනියයි කියල හිතුන නිසා උන් ගේ ඇතුලෙ තියාගම්මු කියල මම යෝජනා කළත් පස්සෙ මේක මහ කරදරයක් වෙයි, ගේ ඇතුලෙ කැත කරයි වගෙ අසුබවාදී කතා නිසා ඒක යට ගියා. මඩුවෙම මේ අහිංසකයො මාසයක් විතර හැදුනා. අපි හැමෝම හැමදාම මෙයාල හුරතල් කරන්න අමතක කළේ නෑ.

ඒත් දැන් සතියකට විතර කළින් දවසක බලනකොට එක්කෙනෙක් හිටියෙ නෑ. අපි පිස්සුවෙන් වගෙ හැමතැනම හෙව්ව. 
අන්තිමට අපි හැමෝම බලාපොරොත්තු අත් හැරගෙන ඉන්නකොට තාත්තා මෙයාව හොයාගෙන ආව, මුගටි ගුලක කටේ හිරවෙලා ඉඳලා. බලන්න දුකේ බෑ, මුගටියෙක්ගෙ දිග දත් දෙකක් වැදිල ඔළුවෙ ගැඹුරු තුවාල 2ක්. ඒ වෙනකොට පණ තිබුණත් අපි හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියල. කොහොමහරි බේත් දාල ('විෂකපාල' කියල තෙලක් තමයි දැම්මෙ.) දවත් 4ක් විතර යනකොට ටිකක් හොඳ තත්වෙට ආවෙ අපි කාටත් සැනසීම දෙමින්. මීට පස්සෙ අපි එයාලට ගේ ඇතුළෙ කාමරයක නවාතැන් දුන්නා.

දවස් තුනකට විතර කළින් රෑ මැද ගෙදර කෙනෙක් මහ බැළලිට බනිනවා ඇහුනා. බලනකොට බාත් රූම් යන්න ආපු ගෙදර කෙනෙකුට මෙයාල පෑගෙන්න හදලා. බැළලි මෙයාල තුන් දෙනාම පාපිස්ස උඩට අරගෙන ඇවිත්. මෙච්චර හොඳට පරණ රෙදි, කුෂන් දාලා උණුසුමට හදපු තැන ඉඳන් මේ අනාරක්ෂිත තැනට මෙයාල ගෙනාපු මහ බැළලිට පිස්සු, මහ මෝඩ එළදෙනක් කියල කවුරුත් අප්‍රසාදය පළ කළා. ආයෙමත් පරණ තැනින්ම ගිහින් තිබ්බා. තමන්ට බනිනවා කියලා සතාට උනත් තේරෙනවනේ. මහ බැළලි පැනල ගියා එළියට.

කොහොමහරි අපි කාටවත් දවස් 2කින් විතර එයාල බලන්න බැරිවුනා. බැළලි නිතරම කාමරයට රිංගන නිසා අපිත් හිතුවෙ දැන් අවුලක් නැතුව ඇති කියල. අර තුවාල වෙච්ච එක්කෙනාගෙත් තුවාලෙ සෑහෙන්න දුරට සනීප වෙලා තිබුණෙ.

බලන්න දුකයි, එයා බොහොම දුර්වල වෙලා බිම වැතිරිල හිටිය. අන්තිමට දකිනකොට වැඩිය ගොඩක්ම කෙට්ටු වෙලත් එක්ක. කිරි පොවන්න උත්සාහ කළත් හරි ගියෙ නෑ. එයා අපිව දාල ගියා දැන් දවස් 2කට විතර කළින්. දුක වැඩි කමට මම බලන්නවත් ගියේ නෑ. තාත්ත තමයි අස් කළේ.

මෙයාගෙ හදිසි මරණය ගැන විවිධ මත පළවුනා. තුවාලෙ යටින් ඔඩු දුවල මොළේට ආසාධන‍ය වෙන්නැති කියල තමයි අන්තිම නිගමනය වුනේ. කොහොමවෙතත් දැන් ටිකක් අපිරිසිදු වෙලා නිසා එයාල ඉන්න තැන පරණ රෙදි අයින් කරල අළුතෙන් දාන්න ගියා. එතකොටයි අපිට තේරුණේ ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා.

ඒක අස්සෙ ඉඳල එළියට ආවෙ තඩිම තඩි ගරුඬ පත්තෑයෙක්. දන්නවද දන්නෙ නෑ පහතරට තෙත් කළාපෙ ඉන්නවා, තෙත ගතිය තියෙන තැන්වල, කුණු වලට තමයි ගොඩක් කැමති. හැඩය සාමාන්‍ය පත්තෑයෙක් වගෙ වුනත් ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒ වගේම විෂයි. දහඩිය ගඳට, තුවාල වලට එහෙම හොය හොයා එනව කියල මිනිස්සු විශ්වාස කරනව.
ඒ කාලකණ්ණි සතා අර අහිංසකයගෙ ජීවිතේ උදුරගෙන තිබුණ. මොනව කරන්නද? සතෙක්නෙ. හිතක් පපුවක් නෑනෙ.

දුක, කම්පනය මැදින් වුනත් මම කදිම පාඩම් 2ක් ඉගෙන ගත්ත.

1. අසරණයෙකුට, අසරණ  තෙකුට පිහිට වෙනවනම් පිහිට විය යුතු මොහොතෙම එහෙම කරන්න ඕනෑ. ආයෙ කල් දාන්නෙ නැතුව.එහෙම නැත්නම් වෙන්න අපිට වුනා වගේ පසුතැවෙන්නෙනයි. කළින්ම ගේ ඇතුලෙ නවාතැන් දුන්නනම් මේ අවාසනාවන්ත සිදුවීම මගහැරගන්න තිබුණා නේද කියල මට දහස් වාරයක් හිතුණා. 

2. සතෙක් වුණත්, අම්ම කෙනෙක්ගෙ හැසිරීම කවදාවත් මෝඩ එකක් කියල කියන්න බෑ. අනතුර කළින් දැනගෙන වෙන්න ඇති බළල් අම්මා එයාල පාපිස්ස උඩට ගෙනාවෙ. අපිට මේක තේරුම් ගන්න බැරිවුන එක ලොකුම අවාසනාවක්.

මේ වගේ පසුතැවෙන්න වෙන වැඩ එහෙම වෙන්න කළින් වලක්වා ගන්න පුංචි හරි මගපෙන්වීමක් වෙනවනම් ඒක තමයි මේ සටහනේ අර කළින් කියපු ඒකායන අරමුණ.   

Tuesday, September 18, 2012

හේතුවාදියෝ

හේතුවාදී සංගමයේ රැස්වීමක් ගැන පුවත්පතක දැකලා මේ ගැන ලියන්න හිතුනා.

හේතුවාදීන් කියලා කියන්නේ මේ ලෝකේ අධ්‍යාත්මික බලවේග තියෙනවා කියලා විශ්වාස නොකරන අය. මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි. මේ අදහස් ලංකාවේ ගොඩක්ම ප්‍රවලිත කළේ මහාචාර්ය ඒබ්‍රහම් කොවුර් (Abraham Kovoor) මහතා. එතුමාගේ අනුගාමිකයින් තමයි අර රැස්වීම කැඳවලා තියෙන්නේ. ලංකාවේ ඉහලම පෙළේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් සහ විද්වතෙක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එහි පුරෝගාමියෙක්. මීට අමතරව සුප්‍රකට මනෝ වෛද්‍යවරු වන රූමි රූබන් මහතා, පී.එන්.විද්‍යාකුලපති මහතා මෙහි ප්‍රමුඛ පෙළේ සාමාජිකයන්. එතුමන් විශ්වාස කරන්නේ සියලු යක්ෂ, ප්‍රේත ආරූඪ මනෝ මූලමය රෝගයන් කියාය. මෙහි සත්‍යතාව ඉතා ඉහළ විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් තරුණියන්ට වැහෙනවා කියන කළුකුමාර දිෂ්ටිය කියන්නෙ වැඩිවිය පත්වෙලා විවාහ දිවියට සුදුසුකම් ලබන වයසේ ඇතිවන සිරුරේ හෝමෝන වෙනස් වීම නිසා මොළයේ සංඥා හා සංවේදන හසුරුවන රසායනික විපර්යාස නිසා ඇතිවන මානසික සමතුලිතතාව බිඳවැටීමක් බව හේතුවාදී නොවන වෛද්‍යවරුන්ගේ පවා මතයයි.  

මේ සටහනෙන් ඒ වගේ මතවලට සහය දැක්වීමට වඩා නිරුත්සාහයෙන්ම වෙන්නෙ ඒ මතයට ටිකක් පටහැණි සාධක ඉදිරිපත් කිරීමයි කියලා කිව්වොත් නිවැරදියි. මේක හේතුවාදී සංකල්පයට පහර ගැහීමක්වත් හේතුවාදීන් විවේචනය කිරීමක්වත් නොවෙයි. එහෙම වෙන්නෙ මගේ පුද්ගලික අත්දැකීම් 2ක් එක්කයි. එකක් 'අධ්‍යාත්මක හීන' සටහනේ තියෙන මගේම සත්‍ය අත්දැකීම. අනෙක තමයි 'සමාධි සුව' සටහන. ඒකත් මගේම සත්‍ය අත්දැකීමක්.

මේ දේවල්වලින් මට නම් නිගමනය කරන්න වෙන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන එකම හේතුව නිසා අපිට සියල්ල බැහැර කළ නොහැකි බවයි. මහ ලොකු විද්වතෙකු නොවුනත් මම ඒක තේරුම් ගන්නෙ මෙහෙමයි. 

ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගත්තෙ නැත්නම් අපි තවමත් විශ්වාස කරන්නෙ විද්‍යුත් චුම්බක තරංග කියන්නෙ හුදෙක් කල්පිතයක් විතරක් කියල වෙන්න පුළුවන්. ඒක තිබුණාවෙ. අන්වීක්ෂය බැරිවෙලාවත් හොයාගෙන තිබුණෙ නැත්නම් අපි කවුරු හරි ක්ෂුද්‍ර ජීවීන් කියල සත්ත්ව කොට්ඨාශයක් ඉන්නව කිව්වොත් හිනාවෙන්නත් ඉඩ තියෙනව. 

මෙතන වෙලා තියෙන්නෙ ඇත්තටම අධ්‍යාත්මික බලවේග කියල එකක් නැතිවීමද නැත්නම් ඒව අල්ලගන්න තරම් දියුණු, සංවේදී උපකරණ තවම නිපදවා නොමැති වීමද..? මිනිස් මොළය කියන්නෙ ඔය කියන හැම උපකරණයකටම වඩා සංවේදී, දියුණු අවයවයක් නිසා උපකරණ වලට අහුවෙන්නෙ නැති ඒව අහුවෙනව වෙන්න බැරිද..?



මරණාසන්න අත්දැකීම් (Near Death Experience) කියන්නෙ මොළේ යම් විශේෂ ප්‍රදේශයක සිදුවන රසායනික උත්තේජන කියල මේගොල්ල හොයාගෙන. දීප්තිමත් ආලෝක තුළින් ඉතා සැහැල්ලුවෙන් පියාසර කිරීම වගේ අත්දැකීම් වලට සමාන අත්දැකීම් මොළයේ යම් කොටස් විද්‍යුත් හා රසායනික උත්තේජන වලට ලැබිල තියෙනව. හැබැයි ඒ කාටත් සිහි මූර්ඡාකර තියෙද්දි ස්වාභාවිකව එහෙම දැණුනු අයට වගේ සැත්කම් කාමරය හා හෙදියන් එවෙලෙ කරමින් සිටියෙ මොනවද කියල කියන්න බැරි වෙච්ච බව ඒ ගොල්ලො සඳහන් කිරීම මග හරිනව.



මනෝ කාය(Astrol Body) ගැන පර්යේෂණ කරන විද්‍යාඥයො ගොඩක් අය ඔය වගෙ සියුම් ශරීර තියෙන ජීවී කොටස් ගැන විශ්වාස කරනව. ඒ විතරක් නෙමෙ ක්‍රිස්තුස් වහන්සෙ මරණින් දින ගණනකට පසු උඨ්ඨාන වුනයි (පෙනී සිටියයි කියන එක) කියන එකට මේ අය විද්‍යාත්මක අර්ථකතන දෙනව. සාමාන්‍ය කෙනෙකුට දර්ශනය නොවුනත්, යම් විශේෂ සංඛ්‍යාත පරාස වලට සංවේදී අයට එහෙම සියුම් ශරීරයක් පෙනෙන්න හැකියාව තියෙන බව මටත් හිතෙනෙව.

හොල්මන්, අවතාර ගැන මගෙත් වැඩි විශ්වාසක් නෑ. ඒත් එහෙම අය ඇත්තටම ඉඳලා, අපිට නොපෙනී ඉන්නවා වෙන්න පුළුවන්. උදාහරණක් විදියට මිනිස් කනට ඇහෙන්නෙ නැති ශබ්ද, රූප කොච්චර තියෙනවද සත්තුන්ට ඇහෙන, පෙනෙන. හිටිගමන් ඔය අපේ ගෙවල්වල බල්ලො එහෙම කිසිම හේතුවක් නැතුව කළබලවෙන්නෙ ඒ නිසා කියල මහලොකු උගත්තු නොවෙන අපේ ගැමියො කියනව. ඇත්ත වෙන්න පුළුවන්. 

වඩාත් විද්‍යානුකූලව මේක පැහැදිලි කළොත්, කවුරුත් දන්නවනෙ MP3 ගැන. ඔය ගීත එහෙම ගබඩා කරන Format එකක්. මේක සම්පීඩනය(Compress) කරපු  Format  එකක්. මේ MP3 වර්ගයේ ගීතයක් ගබඩා කර තබන්න ඉලෙක්ට්‍රොනික උපකරණවල / තැටිවල අවශ්‍ය වෙන්නෙ ඒ ගීතයම අමු (සම්පීඩනය නොකළ) Audio File එකේ තියෙනකොට වගේ 1/10 ධාරිතාවක් (ඉඩ ප්‍රමාණයක්). මෙහෙම වෙන්නෙ මුල් පිටපතෙන් මිනිස් කණට නොඇසෙන - ඒ කියන්නෙ හර්ට්z(ස්) 20-2000Hz පරාසයේ නැති ශබ්ද අයින් කළාම. වීඩියෝ සම්පීඩනය කරලා MP4 වගේ Formats වලට හරවද්දි වෙන්නෙත් ඔය ටිකමයි. ඒ කියන්නෙ මිනිස් ඇසට 'දිරවන්නෙ නැති' සංඛ්‍යාත වල රූපමය දත්ත ඉවත් කිරීම. සමහරවිට ඒ අයින්කරන රූප, ශබ්ද වල හොල්මන්, අවතාර ඉන්නත් පුළුවන්!

ඔය සංඛ්‍යාත කතාව තේරුණේ නැත්නම් කරන්න හොඳ වැඩක් තියෙනව. ගන්න ටී.වී. එකේ දුරස්ථ පාලකය. ඒකෙ මුදුනෙ තියෙනව සුදුපාට බල්බ් එකක් පෙනුමෙන් එල්.ඊ.ඩී. (LED) එකක් වගෙ. බොත්තම් (ඇඳුමෙ නෙවෙ, රිමෝට් එකෙ) ඔබල බලන්න ඒක පත්තු වෙන්නෙ නෑ. දැන් ගන්න කැමරාවක් තියෙන ජංගම දුරකථනයක් (එහෙම එකක් නැත්නම් කරන්න දෙයක් නෑ) කළින් විදියට කරල බලන්න හැබැයි දැන් බලන්න අර බල්බ් එක පත්තුවෙනව දකියි ෆෝන් එකේ කැමරාවෙන්. මෙහෙම වෙන්නෙ ඇයි? හේතුව අරක විශේෂ එල්.ඊ.ඩී. එකක්. අධෝරක්ත කිරණ (Infra Red - IR) තමයි නිකුත් වෙන්නෙ. ඒක අපේ ඇහේ සංඛ්‍යාත පරාසෙ නෑ. 


විද්‍යාත්මකව ඔප්පුකරන්න තවමත් බැරි වුනත්, තාර්කික ලෝකය විසින් පිළිගන්නා ලද පුනර්භව සාධක 11,000කට වඩා වාර්තා වෙලා තියෙනව. ඉතාමත්ම පුළුල් විෂය පථයක් නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.

විශ්වයේ දැනට පිළිගත් ආකෘතිය පමණක් නොව, ජීවය පැවතිය හැකි සම්භාවිතාවන්, සංඛ්‍යා ලේඛන සහිතව මීට අවුරුදු 2600කට පෙර බුදුන් වහන්සේ ගණනය කළේ කොහොමද? (විශ්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් Thousand Universal Objects - 'සහස්සී ලෝක ධාතු' නම් සූත්‍රයේ ඇතුළත්. ලොව මුල්ම සාර්ථක විශ්ව කොටස් වලට බෙදා වෙන්කිරීම, වර්ගීකරණය මෙයයි.). සත්ත්වයාගේ උපත ගැන උන්වහන්සේ සඳහන් කර ඇති උපමාවට පැසෙන කිරි බඳුනක මතුවන ගිතෙල් (Ghee) වල රසය සම්බන්ධකොට තියෙනවා. පුදුමය නම් එය ජීවය සඳහා අවැසි මූලික ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ල සංගණනය වීමෙන්.) වලින් පරිපූර්ණ වීමයි. 'ඉන්දක' සූත්‍රයේදී උන්වහන්සේ කළලයක විකසනය හරියටම විස්තර කර තිබෙන්නේ වෛද්‍ය පොතක වගේ.

වරක් උන්වහන්සේ අඹරේ දිලෙන තරුවක් පෙන්නලා ඇසුවලු "මහණෙනි ඔබ සිතනවද අර තරුව එතැන ඇත්තටම දැල්වෙමින් පවතිනවා කියලා?"
ලැබුණු උත්තරය 'ඔව්.' නමුත් උන් වහන්සේ ඊට පසු පැහැදිලි කළා එය පුපුරා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙර බවත්, දැන් අප දකින්නේ තවමත් පෘතුවියට ළඟා වෙමින් පවතින, තරුව පුපුරා යාමට පෙර එයින් මුක්ත කල ආලෝකය පමණක් බවත්. මතක තියාගන්න මේ පැහැදිලි කිරීම කළේ 'ආලෝක වර්ෂ' සංකල්පය තබා ආලෝය කියන්නෙ (සීමිත වේගයකින්) ගමන් කරන දෙයක් බවවත් නොදැන සිටි සමයක බව.

ඔන්න ඔය නිසා තමයි NASA ආයතනයෙන් විශ්වයට මුදා හැරුණු යානයේ රන් පතක සඳහන් පණිවුඩය සනිටුහන් කිරීම සඳහා පාලි භාෂාවට විශේෂ ප්‍රමුඛත්වයක් ලැබුණේ. (රන් යොදා ගත්තේ එය ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම නිසා වැඩි කල්පැවැත්ම නිසා). තවත් පැහැදිලි කළොත්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි දෙවිවරු ගැන සඳහන් වෙනවනේ. විද්‍යාඥයො හිතන්නෙ මේ දියුණු ලෝක වල සිට පැමිණි පිටසක්වල ජීවීන් විය හැකියි කියල. බුදුන් වහන්සේ ඔවුන් සමග සන්නිවේදනය කළේ පාලියෙන් හෝ වෙනත් එවන් භාෂාවක් භාවිතයෙන් නිසා එයාලට වටහා ගන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ එම භාෂා කියලයි විද්‍යාඥයො බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. 

මෙහෙම බටහිර විද්‍යාඥයො අපේ දේවල් මත රඳා පවතින තැනට වැටෙද්දි අපේ අය ඊට ගරහන එක එක අතකින් කණගාටුවට කරුණක්.
කවුරුත් දන්නවනෙ 'හර්ජ්' (Hergé) කියන කලාකරුවා, 'ටින් ටින්' බැලුවනම්. මතකද දන්නෙ නෑ ඒකෙ මේ දර්ශනය



හර්ජ් කියන්නෙ නිකම් හිතළු විතරක්ම තමන්ගෙ කලා නිර්මාණ වලට පාදක කරගත්තු කෙනෙක් නෙමෙ. එයා ලෝකෙ ගොඩක් රටවල සංචාරය කරල තියෙනව. මේ අත්දැකීම එයා ටිබෙට් දේශයෙන් ගත්තු එකක්.
අදටත් මෙහෙම දේවල් ලෝකෙ තියෙනව. නිකමට 'ගූගල්' පාරක් දාල බලන්නකො 'Man Levitates YouTube' කියල.


සටහන : මේකෙ මේ හාමුදුරුවො පැහැදිලිවම කියනව 'Magic, we are not the same' (මැජික් සහ අධ්‍යාත්මික 'ප්‍රාතිහාර්යයන්' එකක් නෙමෙ නෙමෙ දෙකක්). මැජික් කියන්නෙ යම් කිසි දක්ෂ 'රැවටීම්ක්' විය හැකි නමුත් මෙය එවැන්නක් නොවන බව මෙහි අරුතයි.

සමාධි සුව


ඇල්ලකන්ද කියන්නෙ වනගත ආරණ්‍යයක්. මේකෙ බොහොම සිල්වත් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බොහොම නිදහසේ භාවනායෝගීව කල් ගත කරනව. මනුෂ්‍ය ආශ්‍රය, භෞතික සම්පත් පරිභෝජනය ඉතා අල්පයි. මේ මෑතක් වෙනතුරුම ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට (වෙන වෙනම කැලේ මැද තියෙන්නෙ.) විදුලියවත් තිබුණෙ නැහැ. කාලෙකට පිණ්ඩපාතෙන් තමයි දානය සරි කර ගන්නෙ. දැඩි විනයක් රකින නිසා දනිස් පොල්කටු ළඟින් ලනුවකින් ගැටගහලා කියලයි මිනිස්සු කියන්නෙ.(මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ.)

මම උසස් පෙළ කරන කාලෙ දැඩි සිත් රිදීමක් වෙලා, භාවනා කරල හිත පොඩ්ඩක් හදාගන්න හිතුන. ඔව්. ඔව්. වයසෙ වැරැද්දට හදාගත්ත හිතේ අමාරුවක් තමයි. (ඔය වයසට එහෙම වෙන්නෙ නැත්නම් ඉතින් මොකක් හරි අඩුපාඩුවක්). මේ දවස්වල මට ආරංචි වුනා ඇල්ලකන්දෙ භාවනා වැඩසටහනක් යනවය කියල. තරුණ අයත් ගොඩක් සහභාගී වෙනවලු. අසහනය නිසා නින්ද යන්නෙ නැති තව යාලුවෙකුත් කැමති වුනා මාත් එක්ක භාවනාවට සෙට් වෙන්න.

ඉතින් අපි උදේ භාවනා කරල දහවල් දානෙන් පස්සෙ ගියා නායක ස්වාමීන් වහන්සෙ මුණගැහිල ටිකක් සුහදව සාකච්ඡාවක යෙදෙන්න. ඒ වෙනකොට මගේ හිත සෑහෙන්න දුරට පහන් වෙලා. මූණත් එළිය වැටිලා කියලයි යාලුව කිව්වෙ. භාවනා කරන අය දන්නව ඇති මේකෙ ඇත්ත නැත්ත.

'සුධම්ම' නායක ස්වාමීන් වහන්සෙ බොහොම ප්‍රියමනාප, පැහැපත්, නිවුනු කෙනෙක්. අපි සුහදව කතා කර කර ඉන්නකොට එකපාරටම ස්වාමීන් වහන්සෙ මගෙන් ඇහුවනෙ

"මහත්තයට හිතේ ප්‍රශ්නයක් තියෙනවද?"
පුදුම හිතුනත් මම "ඔව්" කිව්වා.

මුවගට උපේක්ෂා සහගත මඳ සිනාවක් නගාගත් ස්වාමීන් වහන්සෙ කිවුවා 
"මේ ළගදිත් මහත්තය වගේම තරුණ ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇති කරගෙන මාව හම්බෙන්න ආව. එයා නැවතිල හිටපු ගෙදර ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන......."

මා මගේ ගැටළුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළෙ නැතුවම උන් වහන්සේ බොහොම කාරුණිකව මට උපදෙස් රාශියක් දුන්නා.
මේක හුදෙක් අනුමාන කිරීමක්ද...? සමහරවිට මෙහෙම 'කේස්' නිතරම අපේ ස්වාමීන් වහන්සෙට එනව ඇති. ඒත්.....
ඒ වෙලාවෙ මම කියන්නත් කළින් ස්වාමීන් වහන්සෙ ප්‍රශ්නෙ ගැන කතාකළේ හරියට සියල්ල දැනගෙන වගේ විශ්වාසයෙන්. අනිත් එක යාළුවත් ඉද්දි මගෙන්ම අර ප්‍රශ්නෙ ඇහුවෙ ඇයි..?

මම ස්වාමීන් වහන්සෙගෙන් අවසර අරගෙන ආපහු ආවෙ කළින්ටත් වැඩිය පැහැදීමෙන්.
ඒ මානසික පිබිදීම මට විශ්වවිද්‍යාලයෙදී පවා අති සාර්ථක වෙන්න සෑහෙන දුරට බලපෑවා කිව්වොත් නිවැරදියි.    

Monday, September 17, 2012

පින් අනුමෝදනාව


සෑහෙන කාලෙකින් ලබැඳි මිතුරෙක් කතා කළා..වෙන කවුරුවත් නෙමෙ...ෂෙරීෆ් (එයා ගැන මේකෙ වෙනම තැනක ලියැවිල තියෙනව. ලින්ක් එකක් දාන්න විදියක් නෑ කවුද ගෝතයෙක් 'ස්පෑම්' කියල රිපොර්ට් කරන්න අරන්. තරහ ගන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ඒජන්ත ගෝතයා වෙන්නත් පුළුවන්.) මතකයන් ආයෙත් අවුරුදු කිහිපයක් අතීතයට ගියා. පුංචි, නමුත් කිසිදා අමතක නොවන සිදුවීමක් ඒත් එක්කම මතකෙට ආවා. මේක වුනේ වෙසක් කාලෙක වුනත් සුදුසු කාලෙ - මීළඟ වෙසක් කාලෙ එනකම්  ඉන්න බැරි නිසා ඔන්න ඔහෙ ලියල දානව.

මම ගියා තොරණක් බලන්න. තොරණක් කිව්වෙ වෙසක් තොරණක්. සෑහෙන කට්ටිය එහෙමත් හිටිය. රෑ. 
මෙන්න බොලෙ ටික වෙලාවකින් මගෙ නම කියනව යකඩ කටෙන්...!

"............ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී හදිසියේ අප අතරෙන් වියෝවූ...
මහාචාර්ය ........... ............(මගෙ නම) මහතාට නිවන් සුව පතමින් එතුමාගේ ආදරණීය ගෝලයන් පිරිසක් රුපියල් විස්සක මුදල් ආධාරයක් අප වෙත ලබා දී තිබෙනවා."
මෙසේ කී නිවේදකයා හිටගෙන කවියක් කියන්න ගත්තනෙ මගේ අවාසනාවන්ත හදිසි වියෝව ගැන..!

එක පාරටම තක්බීර් වෙලා ගියත් ඊළඟ මොහෙතෙ මට තේරුණා මොකද්ද පටලැවිල්ල කියලා...
මේක මගෙ යාලුවො එකතු වෙලා කරපු පුංචි අහිංසක විහිළුවක්.

අධික වැඩ රාජකාරි නිසා මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්න වෙලාවක් නැති වුනත් ආයෙමත් අවස්ථාවක් ආවොත් මාව ආදරේට මරන්න නුඹලා පසුබට නොවෙන බව මම දන්නවා....
ආදරණීය සරසවි මිතුරනි, ජීවත්ව සිටියදීම මට පින් අනුමෝදන් කරනු ඇසීමට දුලබ වාසනාව උදා කර දීම ගැන නම් කියලා වැඩක් නැත....

ජෝන් මාමා

මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක දුවෙකුත් (මගේ ලොකු අක්කා) අවිවාහක පුංවි අම්මාත් පමණි.

මා සාලය හරහා කෑම කාමරයට ගොඩවැදුනේ පොඩි බඩගින්නක් දැනුනු නිසා ඊට වග-උත්තර බැඳීමටය. මැදි විය පසු කර ඇති ඉතා අහිංසක ගැමි යුවලක් නිහඬව ලොකු අම්මාගේ සංග්‍රහයක් භුක්ති විඳිනු දුටිමි. සාමාන්‍යයෙන් ගැමි ප්‍රභූ නිවසක් යැයි සැලකෙන මේ ගෙදර ඕනෑම මොහොතක මෙවැනි දර්ශනයක් වරදින්නේ කලාතුරකින් වුවත්, ඔවුන් - විශේෂයෙන් ගැමි කාන්තාව මට දැක පුරුදු නොවුවත්, ගැමි වැඩිහිටියා ගැන නම් මට යම් අපැහැදිලි - එහෙත් සුවිශේෂී මතකයක් ඇතිබව දැනුනි. හරි හතර රියන් පුරුෂයකු වූ ඔහු කලක් ඉතා ශක්තිමත්ව සිටි බවට ලක්ෂණ තවමත් ඉතිරිව ඇත. උඩුකය තරමක් නිරාවරණය කර තිබූ නිසා පපුවේ ඝන රෝම වැවී තිබෙනු දිස්විය.

"පුතේ, මේ ජෝන් මාමයි ඒ නැන්දයි. කන්දෙ එහා පැත්තෙ ඉන්නෙ. එහේ පොඩි උත්සවයක් තිබිල, මේ අපිට කැවිළි අරන් ඇවිත්..."
ලොකු අම්මා මට ඔවුන් හඳුන්වා දුන්නාය.
බුළත් කහට බැඳුණු මුවින් ඔවුහු මා සමග අහිංසක ලෙස සිනාසුනහ. ඒ සිනහව තුළ, ගැමි කමට ආවේණික අව්‍යාජත්වය, ගෞරවය, ලෙන්ගතුබව යන සියල්ල ගැබ්ව තිබුණි. මේ සමගම මා හද තුළ වූ ගැමියා අවදිව ජෝන් මාමා ගැන අපූරු සිදුවීමක් සිහිකැඳවමින් මා වසර විසි ගණනක අපූර්ව වූ අතීතයට කැඳවාගෙන ගියේය.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මහගෙදරට අයත් කුරුඳු ඉඩම, අක්කර ගණනක් පැතිරී නිවස පිහිටි කන්දේ මුඳුන දෙසට යොමුවී තිබිණ. ඊටත් උඩින්, මුඳුනට කිට්ටුවන්නට තිබුණේ නොඉඳුල් වන ලන්දය. මේ ළඳු කැලෑව මාගේත්, අමිලගේත් ළමා සිත් නිරන්තරයෙන් කුහුලෙන් පුරවාලීමට සමත්විය. (අමිල යනු මගේ සමවයසේ සිටි ලොකුඅම්මා ගෙනෙකුගේ පුතෙකි.) ඉඳහිට දිනක මහගෙදර පිළිකන්නට ලන්ද බැස එන වල් ඌරන්, ඕලු මුවන් හා රාත්‍රියට විවිධ අත්භූත ශබ්ද නගන විවිධ සත්ත්වයන් මෙය අපූරු තැනක් යයි යන අදහස අප හදවත් තුළ ස්ථිර කලේය. මෙහි මුදුනට නැග්ග විට මුහුද ඇතුළු අප මෙතෙක් නොදුටු බොහෝ අපූර්ව දේ දර්ශනය වන බවට අපි විශ්වාස කළෙමු.

එක්තරා පාසැල් නිවාඩු දිනෙක, ගෙදරට හොරා මෙය ගවේෂණය සඳහා තරණය කිරීමට අපි දෙදෙනා තීරණය කළෙමු. (දළ ඌරන්ගේ/ බඹරුන්ගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවින් මෙය අපට තහනම් කර තිබුණි.) එකල අපේ වයස අවු.7කි.

කුරුන්ද (කුරුඳු ඉඩම) පසු කර අප බොහෝ දුර පැමිණ තිබුණි. දැන් දැන් රැහැය්යන්ගේ කන් බිහිරි කරවන ශබ්දය ජනිත කළේ ගුප්ත හැඟීමකි.

එක් වරම අමිල මට වැළමිටෙන් ඇන වහාම නිෂ්ශබ්ද වනලෙස දන්වා මාත් ඇදගෙන පඳුරක් පසු පස සැඟවුනේ කුතුහලය අවුස්සමිනි.
පඳුරු අතුරින් අප දුටුවේ කුමක්ද...?

ඇඟ පුරාම ඝනව රෝම වැඩුණු කළු, ඉතා උස මහත කෙනෙක් (ඇඳ සිටියේ අමුඩ කෙටියක් බව යන්තමින් මතකයි.) අප දෙසට එයි.

මේ කැළෑවේ හොල්මන්, අවතාර, යකුන්, බහිරවයන් අරක්ගෙන ඇතිබව කියමින් අප සහෝදරියන් නිතරම අප දෙදෙනා බිය ගන්වයි. එවෙලේට කොලු කමට එය අවඥාවට ලක් කළත්, යම් යම් අත්භූත දේ පැවතිය හැකි බවට අප යටි හිතේ තැන්පත්වී තිබෙන්නට ඇත.

ඊළඟ මොහෙතේ අමිලයාත් ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවන්නට මගේ දෙකකුල් වලට පණ ලැබුනේ කෙසේදැයි නොදනිමි.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මේ සිද්ධිය මා මතක්කර සිටිවිට, ජෝන් මාමා ඇතුළුව අප සියලු දෙනාට සිනාව නවත්වාගැනීමට නොහැකි විය. මහගෙදර සියලු දෙනා හඬ නගා සිනාසුනද, ඔවුහු පළ කළේ නිහඬ අහිංසක සිනාවකි. එකල ඔහු කිතුල් මැදීම කළ බවත්, කැළය මැදින් කෙටි පාරකින් ගමන් කළේ එවැනි රාජකාරියට විය හැකි බවත් ඔහු කීය.

පිළිකන්නෙන් ගෙට ගොඩවූ ඔවුහු, පිළිකන්නෙන්ම බැස ගියහ. සාලයට පැමිණ ආගිය තොරතුරු විමසීමක් එම ගැමියන්ගේ නොවීය.
ඔවුන් ගිය පසු ලොකු අම්මා පැවසුවේ ජෝන් මාමා තරුණ කළ ඉතා හැඩි දැඩි සැරපරුෂ පෙනුමක් තිබුණක්, ඔහු එකල පවා පාඩුවේ ජීවත් වූ අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක් බවයි.