Friday, September 28, 2012

ඉතින් අවසරයි සමු දෙන්නට....


සංවේදී සේවය කරන සරසවියේ සංවේදීගෙ සහය ආචාර්ය මණ්ඩලයේ සොයුරෙක් හා සොයුරියක් (ඉතිරි වෙලා හිටිය එකම සොයුරිය) අද සරසවියට සමු දීලා පාසල් ගුරු සේවය වැළඳ ගන්නවා. මේ ඒ වෙනුවෙන් සංවේදී මුහුණු පොතේ තියපු සටහන. මේ ඉල්ලීම සහ වදන් පෙළගැස්ම සමස්ත ගුරු පරපුරටම වැදගත් වේවි සහ උපහාරයක් වේවි කියලා හිතුන නිසා මේක ඔබත් එක්ක බෙදා ගන්න හිතුනා.

"එක අතකට ඔබ මට වඩා වාසනාවන්තයයි මට හැඟේ. 

කීර්තිමත් විශ්වවිද්‍යාලක ආචාර්ය මණ්ඩලයේ සේවය කිරීමට සුදුසුකම් ලද ඔබ නික්ම යන්නේ වඩාත් කැපකිරීම් සහිත වූ උතුම් සේවයක් මේ රටට ඉටුකිරීමටය. 

මා වායුසමනය කරන ලද විද්‍යාගාරයක සහය ආචාර්ය මණ්ඩලය පිරිවරාගෙන කරන සේවය ඔබ දහඩිය වගුරුවමින් අවම පහසුකම් මැද මේ රටට ඉටු කරනු ඇත. 

දුප්පත් අහිංසක දරුවන්ගේ කඳුල හා සුසුම මට වඩා ඔබට සමීප වනු ඇත.
වනයේ පිපුනු නමුත් සුන්දරත්වයේ හෝ වටිනාකමේ අගයේ අඩුවක් නැති මල් කැකුළුවල සුවඳ ඔබ ආඝ්‍රාණය කරනු ඇත.
ඒ සුකොමළ හදවත් වඩාත් මෘදු ලෙස ස්ඵර්ශ කරනු ඇත.
ඒ සුවඳින් ඔබ විඳින අනේක විධ දුක් වේදනා සැනෙකින් අමතක වනු ඇත.

මතක තබාගන්න. විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද, දුෂ්කර පාසලේ බාලාංශයට ඉගැන්වුවද ගුරුතුමා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුඋතුමා වේ. එය වන්දනීය තනතුරකි.

මීට,
ඔබේම සොයුරු,
____ සර්"


ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක සංවේදීට හොඳට පුරුදු වුනත් (මේ සංවේදීගෙ සිවු වෙනි සරසවිය හා රැකියා ස්ථානය.) වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඒ ගැන නොවෙයි. 

අපේ නිදහස් සරසවි අධ්‍යාපනයේ හෙට දවස ගැන...

Wednesday, September 26, 2012

මිනිස්සුන්ට මෙච්චර ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්ද...?


මම ශිෂ්‍යයෙක් විදියට විශ්වවිද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙ මට හොඳ යෙහෙළියෝ 3 දෙනෙක් හිටිය. හැබැයි ඒ තුන්දෙනා ගැන මට දැනුනෙ සම්පූර්ණයෙන්ම වෙනස් තුන් විදියකටයි.

ඉන් එක්කෙනෙක් මම කවදහරි මගේ ආදරවන්තිය වෙයි කියල අවුරුදු 2 1/2 කට අධික කාලයක් බලාපොරොත්තු තියාගෙන හිටිය කෙනා. මෙයා මම D කියලා හඳුන්වන්නම්. දෙවැන්නා මගේ හොඳම මිතුරිය. එයාගෙන් මම කවදාවත් හීනෙන්වත් එහෙම එකක්  බලාපොරොත්තු වුනේ නෑ. ඒක මගේ හිත දන්නවා. කොටින්ම මම එයාගෙන් බලාපොරොත්තු වුනේ මගේ අක්කගෙ තැන. 
සාමාන්‍යයෙන් පිරිමි තීරණ ගනිද්දි ගොඩක් දුර බලන්නෙ නැතුව, එවෙලෙ ආපු ආවේගයකට වහල් වෙලා ගන්න හදිසි තීරණ තියෙනවා. මේ සමහර ඒවා, එවෙලෙට හරියටම හරි කියලා හිතුනත් පස්සෙ ඤාව් වෙලා ඇඬෙන අවස්ථා තියෙනවා. එතකොට ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ. ඒක නිසා ගෙදර අම්ම හරි ලොකු අක්ක හරි කියන දේ කවදාවත් අහක දාන්න හොඳ නෑ කියලයි මගෙ පෞද්ගලික මතය. මොකද ගැහැණු අය, ඒ ගොල්ලන්ගෙ සහජ ඉව පාවිච්චි කරල පිරිමි අපි නොදකින වෙනම පැත්තකින් ප්‍රශ්නයක් දිහා බලනවා කියලා මම කියන්නෙ අත්දැකීමෙන්. ඔය දෙවැනියට මම ආස්සරේ කරපු කෙනා (N කියලා හඳුන්වමු)ගෙන් මම ඇත්තටම බලාපොරොත්තු වුනේ මගේ ජීවිතයේදි, විශේෂයෙන් ගෙදර මිනිස්සුගෙන් ගොඩක් දුරස් නිසා සහ ශිෂ්‍ය නායකයෙක් විදියට මට නිතරම තීරණාත්මක තීරණ ගන්න වෙන නිසාත් (කොහොමත් මම හැඟීම් වලට ගොඩක් ඉඩ දෙන කෙනෙක්) ඒ වෙලාවට ළඟින් ඉඳගෙන හොඳ නරක කියල දෙන්න කෙනෙක් ඉන්න ඕනෑ කියල හිතුන නිසා කියල කිව්වොත් ඒකෙ ඇති වැරැද්දක් නෑ.
කොල්ලො සෙට් එක ඕන දේකට ඕන වෙලාවක මැරෙන්න උනත් එවරෙඩි වුනත් ඒ විදියට සියුම් කෝණවලින් සාමාන්‍යයෙන් කෙනෙක් නොදකින දෙයක් දකින්න උන්ට අමාරුයි. උදාහරණයක් විදියට ගත්තොත්, 'බූට්' එකක් කාපු වෙලාවට කොල්ලෙක්ගෙ (යාලුවෙක්ගෙ) හැසිරීම බලන්න. 
"මූදෙ එක මාළුවද බං ඉන්නෙ. ඔන්න ඕක අල්ලලා දාමු මචං. තව එකකට බහිමු." 
නැත්නම් 
"අපි ඕකි උස්සමු.". 
උන් ඔය වගෙ එකකට ප්‍රතිචාර දක්වන්නෙ ඔහොමයි. වැඩිය ගණන් ගන්නෙත් නෑ. ඒත් කිට්ටු යෙහෙළියක් ඒ වගේ වෙලාවකදි ළඟින් ඉඳන් හිත හදන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් විදියකට.

තුන්වෙනි එකී මම ආශ්‍රය කළේ 'මචං' ලෙවෙල් එකෙන්. කොල්ලෙකුට කියන්න පුළුවන් ඕනෙම එකක් මේකිට මූණ බලාගෙන කියන්න පුළුවන්. අදටත් ඒ ෆිට් එක එහෙමම තියෙනවා. මේකිට 'වැලා' කියල කටපුරා කියන්නෙ එහෙම නරක අදහසකින් නෙවෙයි. ෆැමිලි නේම් එකේ එහෙම කෑල්ලක් තියෙන නිසා. ගත් කටටම 'තෝ' කියලා තමයි මම අමතන්නෙ.

මේ සටහන උන් තුන් දෙනාගෙන් දෙවැන්නා, N ගැන.
කැම්පස් එකේ පළමු සතියෙ ඉඳල උපාධිය ගන්නකම්ම (උපාධිය හම්බුනේ අවුරුදු 4ත් සම්පූර්ණ කරල තවත් අවුරුද්දකට පස්සෙ.) අපි පුදුම හිතවත්කමකින් හිටියෙ. ගොඩක් කණ්ඩායම් ව්‍යාපෘති වලදි එකම ගෲප් එකේ හිටියෙ. 3 වෙනි අවුරුද්දෙ වගෙ දෙන්න ඉන්න කුඩා කණ්ඩායම් වල හිටියෙ අපි දෙන්න.

මෙයා බයෝ කරල ආපු නිසා පරිගණක විද්‍යාව විශේෂවේදී අපේ උපාධියෙ මැතට බර ගොඩක් සබ්ජෙක්ට්ස් මෙයාට අමාරු වුනා. මට මැත එදා ඉඳලම ගේමක් නැති නිසා ගොඩක් වෙලාවට ළඟින් තියාගෙන ගණන් කියල දුන්න. මගේ ගැන කොච්චර විශ්වාසයක් තිබුනද කිවුවොත්, සමහර විභාග කාලවල හැන්දෑවෙ 6.45 වගෙ වෙනකම් අඩ අඳුරෙ අපි දෙන්න විතරක් එකට පාඩම් කළා. ගොඩක් වෙලාවට වෙන්නෙ මට මෙයාට 'කුප්පිය' දාන්න වෙන එක. ගොඩක් වෙලාවට මෙයාව 'කුප්පියට' බාර දෙන්නෙ මෙයාගෙ මනුස්සයා (එළ කොල්ලෙක්. ඌ මම කවුද කියල දැනගෙන හිටිය. අදකාලෙ කවුරුවත් එහෙම පිට මිනිස්සු විශ්වාස කරන්නෙ නෑ.). 

එක පාරක් මම තදට අසනීප වෙලා විභාගෙ තියෙන දවස වෙනකම්ම් කැම්පස් එකට එන්න බැරිවුනා. පට්ට අමාරු සබ්ජෙක්ට් එකක් තිබුණ Computer Graphics කියල. ත්‍රිමාණ කණ්ඩාංක පද්ධති එහෙම මේකෙ වැහි වැහැල. හැබැයි මට අවුලක් නෑ. මෙයා මේක දැනගෙන හිටිය.
මම විභාගෙට කළින් දවසෙ බෝඩිමට ආවම කොල්ලො කිව්ව් N මම නැති නිසා ඇඬුව කියල. සමහරවිට අරක අහගන්න කෙනෙක් නැති නිසා සබ්ජෙක්ට් එක ෆේල් වෙයි කියල බය හිතෙන්න ඇති. 
මම ඉගැනුම් ආධාරක, ඔය පෙට්ටි වගේ ත්‍රිමාණ වස්තු යොදාගෙන ඒ පාඩම මෙයාට කියල දුන්න.

ඔය වගේ සිදුවීම් ඉසේ කෙස් ගාණට වුනා.
අවුරුදු හතර ඉවර කරල අපි පුද්ගලික අංශයෙ රැකියාවලට ගියා. අපි දෙන්නම ගොඩක් ඉහළ විදියට උපාධිය සමත් වුනත් එකපාරටම ආචාර්ය මණ්ඩලයට ගත්තෙ නෑ. කම්පැනිවල වැඩ කරද්දිත් හිතවත්කම තවතවත් දෝරෙ ගලාගෙන ගියා රැකියාවෙ පීඩනය නිසා. ෆෝන් එකෙන් හරි ස්කයිපි වලින් හරි දිනපතාම වගේ කතා කළා. 

මේ අතරෙ කැම්පස් එකේ ස්ටාෆ් යන්න අපි දෙන්නම සෑහෙන උත්සාහ කළා. පුරප්පාඩු 2ක්ම තිබුණ නිසා අපි අතරෙ තරඟයක තිබුණෙ නෑ.
අන්තිමේදි මෙයාව ස්ටාෆ් ගත්තා. ශිෂ්‍ය නායක පදවිය උසුලපු නිසා මට අපහාස කරල ප්‍රතික්ෂේප කලා. මම ඒ ගැන සැළුනෙ නෑ. පශ්චාත් උපාධිය කරගෙන ගියෙ කවදහරි දිනුම ෂුවර් නිසයි.

ඒත් මට දරාගන්න බැරි දෙයක් සිද්ද වුනා. ස්ටාෆ් ගියාට පස්සෙ මෙයා ටික ටික වෙනස් වෙන්න ගත්ත. සමහරවිට ඇඩ්මින් එක මාව රුස්සන්නෙ නැති නිසා තමන්ගෙ රැකියාවෙ පැවැත්මට හොඳ නෑ කියල හිතුවද දන්නෙ නෑ මාත් එක්ක ඇයි හොඳයි කම් පවත්වන එක.
ෆේස් බුක් එකේ මගේ පොස්ට් වලට ලයික් දාන එක මෙයා නැවැත්තුවා. චැට් වලට ආවෙත් නෑ.

දවසක් මෙයා මට දරාගන්න බැරි වැඩක් කළා. මම බලාපොරොත්තු තියාගෙන හිටපු කෙනා (D) මට පිටු පාලා නාවික ඉංජිනේරුවෙක් බැන්දා. මෙයා ඒ වෙඩින් එකේ ෆොටෝස් සෑහෙන ගානක් ෆේස්බුක් දාලා තිබුණා. ඇතිවුණු හැඟීම් හිතාගන්න පුළුවන්නේ.

මම මෙයාට බොහොම සුහදශීලීව මැසේජ් එකක් යැව්වා මට මේවා බලන්න බෑ. මම ටික දවසකට විතරක් තාවකාලිකව ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ෂිප් එක අයින් කරනවා කියලා. මම හිතුවේ මෙයා මම ඉන්න තත්වෙ තේරුම් ගනියි කියලා. ඒත්......එවනව මට මැසේජ් එකක් මෙන්න මෙහෙම.
"බොහොම හොඳයි. මමත් බලාගෙන හිටියෙ ඔය අවස්ථාව ලැබෙනකම් තමයි. තාවකාලිකව නෙමෙයි මම සහදටම ඔබව ෆේස්බුක් එකෙන් අයින් කරනවා!"

මම හිතුවෙ ඒක නපුරු විහිළුවක් කියල. ඒත් කැම්පස් ගියාම එයා මාව අඳුනන්නෙ නෑ වගෙ හිටිය. මට ගොඩක් දුක හිතුණත් ඇත්ත තේරුම් ගත්ත. දැන් එයාට මගෙන් වැඩක් නෑ. වෙනවනම් වෙන්නෙ හානියක් මිසක් වාසියක් නොවෙයි. අනික මම එයාගෙ කවුද..? කොල්ලද...? නෑ. එයා දැන් විශ්වවිද්‍යාලෙ කථිකාචාර්යවරියක්. කළින් ඇඳන් හිටපු සරල කෙළි ඇඳුම වෙනුවට දැන් ලස්සනට සාරියක්  ඇඳල. ශිෂ්‍ය කාලෙ නම කියල කතාකරපු හැමෝම හැමෝම දැන් කටපුරා 'මැඩම්' කියල කතාකරන්නෙ. මම කවුද...? කොහෙවත් යන කොම්පැණි කාරයෙක්ගෙ කුළී ඉංජිනේරුවෙක්. අඳින්නෙ ටී ෂර්ට් එකයි, කබල් ඩෙනිමයි. අපි කවදාවත් පෑහෙන්නෙ නෑ කියල හිතුන.

බොහොම අමාරුවෙන් හිත වාවගෙන මම ආපු වැඩේ කරගෙන කැම්පස් එකෙන් පිටවෙලා ආව.
ඒත් දෙයියනේ....මනුස්සයෙකුට මෙහෙමත් වෙනස් වෙන්න පුළුවන්ද....?

පූස් පැටවු


විසි පස් වෙනි සංවේදී දිගහැරුම.

මේ අඩවියෙන් සංවේදී හදවත් තියෙන අයගෙ හිත් තවතවත් සංවේදී බවෙන් පුරවාලන්නට මිසක් කම්පා කරන්නට කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. දහස් වාරයක් සමාවන්න. අද කියන්න වෙලා තියෙන්නෙ ගොඩක් දුක හිතෙන සිදුවීමක්. මේක ඒ ජාතියේ පලමුවෙනි සහ අන්තිම සටහන කරන්න පුළුවන් උපරිම උත්සාහ කරනවා.

දුක හිතෙන ෆේස්බුක් පෝස්ට් එකක්වත් ශෙය්‍යා(ර්) කරන්නෙ නැත්තෙ මම අත්විඳින දුක වෙන කෙනෙකුට දෙන්න බැරි නිසා. ඒත්...මේකෙ ඔබට කියලා මගේ දුක තුනී කරගන්න ආත්මාර්ථකාමී අරමුණට වඩා එහා ගිය පණිවිඩයක් ගැබ්වෙලා තියෙනවා කියලා අවංකව හැඟෙන එකම හේතුව නිසයි මේ අත්දැකීම ඔබත් එක්ක බෙදා ගන්නෙ. දැන් නම් සිදුවීම සිදුවෙලා දවස් කීපයක් ගෙවිලා නිසා මේ සටහන තියන්න තරම් හිත ටිකක් විතර හැදිලා තිබ්බත් එයින් ඇති කරපු කම්පනයනම් ජීවිත කාලෙටම ළඟ තියේවි.

ගෙදර බොහොම ආදරෙන් හදපු බළල් තඩියා මැරුණට පස්සෙ සත්තු මොකෙක්වත් හදන්නෙ නෑ කියල හිතාගෙන හිටියේ. ඒත් කොහෙද යන බැළලියක් අපේ ගෙදර මිනිස්සුන්ගෙ හොඳ හිතෙන් ප්‍රයෝජන අරගෙන අපේ ගෙදර බලෙන්ම නැවතුනා. දැන් මාසෙකට විතර කළින් මෙයා අම්ම කෙනෙක් වුනා, ලස්සන බෝල වගේ කහ පාටට හුරු පැටවු 3 දෙනෙක්ගෙ. එළියෙ මඩුවක දමයි දැම්මෙ. පැටවු සත්තු ගෙනියයි කියල හිතුන නිසා උන් ගේ ඇතුලෙ තියාගම්මු කියල මම යෝජනා කළත් පස්සෙ මේක මහ කරදරයක් වෙයි, ගේ ඇතුලෙ කැත කරයි වගෙ අසුබවාදී කතා නිසා ඒක යට ගියා. මඩුවෙම මේ අහිංසකයො මාසයක් විතර හැදුනා. අපි හැමෝම හැමදාම මෙයාල හුරතල් කරන්න අමතක කළේ නෑ.

ඒත් දැන් සතියකට විතර කළින් දවසක බලනකොට එක්කෙනෙක් හිටියෙ නෑ. අපි පිස්සුවෙන් වගෙ හැමතැනම හෙව්ව. 
අන්තිමට අපි හැමෝම බලාපොරොත්තු අත් හැරගෙන ඉන්නකොට තාත්තා මෙයාව හොයාගෙන ආව, මුගටි ගුලක කටේ හිරවෙලා ඉඳලා. බලන්න දුකේ බෑ, මුගටියෙක්ගෙ දිග දත් දෙකක් වැදිල ඔළුවෙ ගැඹුරු තුවාල 2ක්. ඒ වෙනකොට පණ තිබුණත් අපි හිතුවෙ නෑ මෙයා ජීවත් වෙයි කියල. කොහොමහරි බේත් දාල ('විෂකපාල' කියල තෙලක් තමයි දැම්මෙ.) දවත් 4ක් විතර යනකොට ටිකක් හොඳ තත්වෙට ආවෙ අපි කාටත් සැනසීම දෙමින්. මීට පස්සෙ අපි එයාලට ගේ ඇතුළෙ කාමරයක නවාතැන් දුන්නා.

දවස් තුනකට විතර කළින් රෑ මැද ගෙදර කෙනෙක් මහ බැළලිට බනිනවා ඇහුනා. බලනකොට බාත් රූම් යන්න ආපු ගෙදර කෙනෙකුට මෙයාල පෑගෙන්න හදලා. බැළලි මෙයාල තුන් දෙනාම පාපිස්ස උඩට අරගෙන ඇවිත්. මෙච්චර හොඳට පරණ රෙදි, කුෂන් දාලා උණුසුමට හදපු තැන ඉඳන් මේ අනාරක්ෂිත තැනට මෙයාල ගෙනාපු මහ බැළලිට පිස්සු, මහ මෝඩ එළදෙනක් කියල කවුරුත් අප්‍රසාදය පළ කළා. ආයෙමත් පරණ තැනින්ම ගිහින් තිබ්බා. තමන්ට බනිනවා කියලා සතාට උනත් තේරෙනවනේ. මහ බැළලි පැනල ගියා එළියට.

කොහොමහරි අපි කාටවත් දවස් 2කින් විතර එයාල බලන්න බැරිවුනා. බැළලි නිතරම කාමරයට රිංගන නිසා අපිත් හිතුවෙ දැන් අවුලක් නැතුව ඇති කියල. අර තුවාල වෙච්ච එක්කෙනාගෙත් තුවාලෙ සෑහෙන්න දුරට සනීප වෙලා තිබුණෙ.

බලන්න දුකයි, එයා බොහොම දුර්වල වෙලා බිම වැතිරිල හිටිය. අන්තිමට දකිනකොට වැඩිය ගොඩක්ම කෙට්ටු වෙලත් එක්ක. කිරි පොවන්න උත්සාහ කළත් හරි ගියෙ නෑ. එයා අපිව දාල ගියා දැන් දවස් 2කට විතර කළින්. දුක වැඩි කමට මම බලන්නවත් ගියේ නෑ. තාත්ත තමයි අස් කළේ.

මෙයාගෙ හදිසි මරණය ගැන විවිධ මත පළවුනා. තුවාලෙ යටින් ඔඩු දුවල මොළේට ආසාධන‍ය වෙන්නැති කියල තමයි අන්තිම නිගමනය වුනේ. කොහොමවෙතත් දැන් ටිකක් අපිරිසිදු වෙලා නිසා එයාල ඉන්න තැන පරණ රෙදි අයින් කරල අළුතෙන් දාන්න ගියා. එතකොටයි අපිට තේරුණේ ඇත්තටම මොකද වෙලා තියෙන්නෙ කියලා.

ඒක අස්සෙ ඉඳල එළියට ආවෙ තඩිම තඩි ගරුඬ පත්තෑයෙක්. දන්නවද දන්නෙ නෑ පහතරට තෙත් කළාපෙ ඉන්නවා, තෙත ගතිය තියෙන තැන්වල, කුණු වලට තමයි ගොඩක් කැමති. හැඩය සාමාන්‍ය පත්තෑයෙක් වගෙ වුනත් ප්‍රමාණයෙන් ගොඩක් විශාලයි. ඒ වගේම විෂයි. දහඩිය ගඳට, තුවාල වලට එහෙම හොය හොයා එනව කියල මිනිස්සු විශ්වාස කරනව.
ඒ කාලකණ්ණි සතා අර අහිංසකයගෙ ජීවිතේ උදුරගෙන තිබුණ. මොනව කරන්නද? සතෙක්නෙ. හිතක් පපුවක් නෑනෙ.

දුක, කම්පනය මැදින් වුනත් මම කදිම පාඩම් 2ක් ඉගෙන ගත්ත.

1. අසරණයෙකුට, අසරණ  තෙකුට පිහිට වෙනවනම් පිහිට විය යුතු මොහොතෙම එහෙම කරන්න ඕනෑ. ආයෙ කල් දාන්නෙ නැතුව.එහෙම නැත්නම් වෙන්න අපිට වුනා වගේ පසුතැවෙන්නෙනයි. කළින්ම ගේ ඇතුලෙ නවාතැන් දුන්නනම් මේ අවාසනාවන්ත සිදුවීම මගහැරගන්න තිබුණා නේද කියල මට දහස් වාරයක් හිතුණා. 

2. සතෙක් වුණත්, අම්ම කෙනෙක්ගෙ හැසිරීම කවදාවත් මෝඩ එකක් කියල කියන්න බෑ. අනතුර කළින් දැනගෙන වෙන්න ඇති බළල් අම්මා එයාල පාපිස්ස උඩට ගෙනාවෙ. අපිට මේක තේරුම් ගන්න බැරිවුන එක ලොකුම අවාසනාවක්.

මේ වගේ පසුතැවෙන්න වෙන වැඩ එහෙම වෙන්න කළින් වලක්වා ගන්න පුංචි හරි මගපෙන්වීමක් වෙනවනම් ඒක තමයි මේ සටහනේ අර කළින් කියපු ඒකායන අරමුණ.   

Tuesday, September 18, 2012

හේතුවාදියෝ

හේතුවාදී සංගමයේ රැස්වීමක් ගැන පුවත්පතක දැකලා මේ ගැන ලියන්න හිතුනා.

හේතුවාදීන් කියලා කියන්නේ මේ ලෝකේ අධ්‍යාත්මික බලවේග තියෙනවා කියලා විශ්වාස නොකරන අය. මේ අය පිළිගන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අහුවෙන හෝ ගණිතමය වශයෙන් සාධනය කරන්න පුළුවන් 'පරම සත්‍යය' විතරයි. මේ අදහස් ලංකාවේ ගොඩක්ම ප්‍රවලිත කළේ මහාචාර්ය ඒබ්‍රහම් කොවුර් (Abraham Kovoor) මහතා. එතුමාගේ අනුගාමිකයින් තමයි අර රැස්වීම කැඳවලා තියෙන්නේ. ලංකාවේ ඉහලම පෙළේ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් සහ විද්වතෙක් වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා එහි පුරෝගාමියෙක්. මීට අමතරව සුප්‍රකට මනෝ වෛද්‍යවරු වන රූමි රූබන් මහතා, පී.එන්.විද්‍යාකුලපති මහතා මෙහි ප්‍රමුඛ පෙළේ සාමාජිකයන්. එතුමන් විශ්වාස කරන්නේ සියලු යක්ෂ, ප්‍රේත ආරූඪ මනෝ මූලමය රෝගයන් කියාය. මෙහි සත්‍යතාව ඉතා ඉහළ විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් තරුණියන්ට වැහෙනවා කියන කළුකුමාර දිෂ්ටිය කියන්නෙ වැඩිවිය පත්වෙලා විවාහ දිවියට සුදුසුකම් ලබන වයසේ ඇතිවන සිරුරේ හෝමෝන වෙනස් වීම නිසා මොළයේ සංඥා හා සංවේදන හසුරුවන රසායනික විපර්යාස නිසා ඇතිවන මානසික සමතුලිතතාව බිඳවැටීමක් බව හේතුවාදී නොවන වෛද්‍යවරුන්ගේ පවා මතයයි.  

මේ සටහනෙන් ඒ වගේ මතවලට සහය දැක්වීමට වඩා නිරුත්සාහයෙන්ම වෙන්නෙ ඒ මතයට ටිකක් පටහැණි සාධක ඉදිරිපත් කිරීමයි කියලා කිව්වොත් නිවැරදියි. මේක හේතුවාදී සංකල්පයට පහර ගැහීමක්වත් හේතුවාදීන් විවේචනය කිරීමක්වත් නොවෙයි. එහෙම වෙන්නෙ මගේ පුද්ගලික අත්දැකීම් 2ක් එක්කයි. එකක් 'අධ්‍යාත්මක හීන' සටහනේ තියෙන මගේම සත්‍ය අත්දැකීම. අනෙක තමයි 'සමාධි සුව' සටහන. ඒකත් මගේම සත්‍ය අත්දැකීමක්.

මේ දේවල්වලින් මට නම් නිගමනය කරන්න වෙන්නෙ විද්‍යාත්මක උපකරණ වලට අසු නොවන එකම හේතුව නිසා අපිට සියල්ල බැහැර කළ නොහැකි බවයි. මහ ලොකු විද්වතෙකු නොවුනත් මම ඒක තේරුම් ගන්නෙ මෙහෙමයි. 

ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගත්තෙ නැත්නම් අපි තවමත් විශ්වාස කරන්නෙ විද්‍යුත් චුම්බක තරංග කියන්නෙ හුදෙක් කල්පිතයක් විතරක් කියල වෙන්න පුළුවන්. ඒක තිබුණාවෙ. අන්වීක්ෂය බැරිවෙලාවත් හොයාගෙන තිබුණෙ නැත්නම් අපි කවුරු හරි ක්ෂුද්‍ර ජීවීන් කියල සත්ත්ව කොට්ඨාශයක් ඉන්නව කිව්වොත් හිනාවෙන්නත් ඉඩ තියෙනව. 

මෙතන වෙලා තියෙන්නෙ ඇත්තටම අධ්‍යාත්මික බලවේග කියල එකක් නැතිවීමද නැත්නම් ඒව අල්ලගන්න තරම් දියුණු, සංවේදී උපකරණ තවම නිපදවා නොමැති වීමද..? මිනිස් මොළය කියන්නෙ ඔය කියන හැම උපකරණයකටම වඩා සංවේදී, දියුණු අවයවයක් නිසා උපකරණ වලට අහුවෙන්නෙ නැති ඒව අහුවෙනව වෙන්න බැරිද..?



මරණාසන්න අත්දැකීම් (Near Death Experience) කියන්නෙ මොළේ යම් විශේෂ ප්‍රදේශයක සිදුවන රසායනික උත්තේජන කියල මේගොල්ල හොයාගෙන. දීප්තිමත් ආලෝක තුළින් ඉතා සැහැල්ලුවෙන් පියාසර කිරීම වගේ අත්දැකීම් වලට සමාන අත්දැකීම් මොළයේ යම් කොටස් විද්‍යුත් හා රසායනික උත්තේජන වලට ලැබිල තියෙනව. හැබැයි ඒ කාටත් සිහි මූර්ඡාකර තියෙද්දි ස්වාභාවිකව එහෙම දැණුනු අයට වගේ සැත්කම් කාමරය හා හෙදියන් එවෙලෙ කරමින් සිටියෙ මොනවද කියල කියන්න බැරි වෙච්ච බව ඒ ගොල්ලො සඳහන් කිරීම මග හරිනව.



මනෝ කාය(Astrol Body) ගැන පර්යේෂණ කරන විද්‍යාඥයො ගොඩක් අය ඔය වගෙ සියුම් ශරීර තියෙන ජීවී කොටස් ගැන විශ්වාස කරනව. ඒ විතරක් නෙමෙ ක්‍රිස්තුස් වහන්සෙ මරණින් දින ගණනකට පසු උඨ්ඨාන වුනයි (පෙනී සිටියයි කියන එක) කියන එකට මේ අය විද්‍යාත්මක අර්ථකතන දෙනව. සාමාන්‍ය කෙනෙකුට දර්ශනය නොවුනත්, යම් විශේෂ සංඛ්‍යාත පරාස වලට සංවේදී අයට එහෙම සියුම් ශරීරයක් පෙනෙන්න හැකියාව තියෙන බව මටත් හිතෙනෙව.

හොල්මන්, අවතාර ගැන මගෙත් වැඩි විශ්වාසක් නෑ. ඒත් එහෙම අය ඇත්තටම ඉඳලා, අපිට නොපෙනී ඉන්නවා වෙන්න පුළුවන්. උදාහරණක් විදියට මිනිස් කනට ඇහෙන්නෙ නැති ශබ්ද, රූප කොච්චර තියෙනවද සත්තුන්ට ඇහෙන, පෙනෙන. හිටිගමන් ඔය අපේ ගෙවල්වල බල්ලො එහෙම කිසිම හේතුවක් නැතුව කළබලවෙන්නෙ ඒ නිසා කියල මහලොකු උගත්තු නොවෙන අපේ ගැමියො කියනව. ඇත්ත වෙන්න පුළුවන්. 

වඩාත් විද්‍යානුකූලව මේක පැහැදිලි කළොත්, කවුරුත් දන්නවනෙ MP3 ගැන. ඔය ගීත එහෙම ගබඩා කරන Format එකක්. මේක සම්පීඩනය(Compress) කරපු  Format  එකක්. මේ MP3 වර්ගයේ ගීතයක් ගබඩා කර තබන්න ඉලෙක්ට්‍රොනික උපකරණවල / තැටිවල අවශ්‍ය වෙන්නෙ ඒ ගීතයම අමු (සම්පීඩනය නොකළ) Audio File එකේ තියෙනකොට වගේ 1/10 ධාරිතාවක් (ඉඩ ප්‍රමාණයක්). මෙහෙම වෙන්නෙ මුල් පිටපතෙන් මිනිස් කණට නොඇසෙන - ඒ කියන්නෙ හර්ට්z(ස්) 20-2000Hz පරාසයේ නැති ශබ්ද අයින් කළාම. වීඩියෝ සම්පීඩනය කරලා MP4 වගේ Formats වලට හරවද්දි වෙන්නෙත් ඔය ටිකමයි. ඒ කියන්නෙ මිනිස් ඇසට 'දිරවන්නෙ නැති' සංඛ්‍යාත වල රූපමය දත්ත ඉවත් කිරීම. සමහරවිට ඒ අයින්කරන රූප, ශබ්ද වල හොල්මන්, අවතාර ඉන්නත් පුළුවන්!

ඔය සංඛ්‍යාත කතාව තේරුණේ නැත්නම් කරන්න හොඳ වැඩක් තියෙනව. ගන්න ටී.වී. එකේ දුරස්ථ පාලකය. ඒකෙ මුදුනෙ තියෙනව සුදුපාට බල්බ් එකක් පෙනුමෙන් එල්.ඊ.ඩී. (LED) එකක් වගෙ. බොත්තම් (ඇඳුමෙ නෙවෙ, රිමෝට් එකෙ) ඔබල බලන්න ඒක පත්තු වෙන්නෙ නෑ. දැන් ගන්න කැමරාවක් තියෙන ජංගම දුරකථනයක් (එහෙම එකක් නැත්නම් කරන්න දෙයක් නෑ) කළින් විදියට කරල බලන්න හැබැයි දැන් බලන්න අර බල්බ් එක පත්තුවෙනව දකියි ෆෝන් එකේ කැමරාවෙන්. මෙහෙම වෙන්නෙ ඇයි? හේතුව අරක විශේෂ එල්.ඊ.ඩී. එකක්. අධෝරක්ත කිරණ (Infra Red - IR) තමයි නිකුත් වෙන්නෙ. ඒක අපේ ඇහේ සංඛ්‍යාත පරාසෙ නෑ. 


විද්‍යාත්මකව ඔප්පුකරන්න තවමත් බැරි වුනත්, තාර්කික ලෝකය විසින් පිළිගන්නා ලද පුනර්භව සාධක 11,000කට වඩා වාර්තා වෙලා තියෙනව. ඉතාමත්ම පුළුල් විෂය පථයක් නිසා මම ඒ ගැන කතා කරන්න යන්නෙ නෑ.

විශ්වයේ දැනට පිළිගත් ආකෘතිය පමණක් නොව, ජීවය පැවතිය හැකි සම්භාවිතාවන්, සංඛ්‍යා ලේඛන සහිතව මීට අවුරුදු 2600කට පෙර බුදුන් වහන්සේ ගණනය කළේ කොහොමද? (විශ්වය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් Thousand Universal Objects - 'සහස්සී ලෝක ධාතු' නම් සූත්‍රයේ ඇතුළත්. ලොව මුල්ම සාර්ථක විශ්ව කොටස් වලට බෙදා වෙන්කිරීම, වර්ගීකරණය මෙයයි.). සත්ත්වයාගේ උපත ගැන උන්වහන්සේ සඳහන් කර ඇති උපමාවට පැසෙන කිරි බඳුනක මතුවන ගිතෙල් (Ghee) වල රසය සම්බන්ධකොට තියෙනවා. පුදුමය නම් එය ජීවය සඳහා අවැසි මූලික ඇමයිනෝ අම්ල (ප්‍රෝටීන සෑදෙන්නේ ඇමයිනෝ අම්ල සංගණනය වීමෙන්.) වලින් පරිපූර්ණ වීමයි. 'ඉන්දක' සූත්‍රයේදී උන්වහන්සේ කළලයක විකසනය හරියටම විස්තර කර තිබෙන්නේ වෛද්‍ය පොතක වගේ.

වරක් උන්වහන්සේ අඹරේ දිලෙන තරුවක් පෙන්නලා ඇසුවලු "මහණෙනි ඔබ සිතනවද අර තරුව එතැන ඇත්තටම දැල්වෙමින් පවතිනවා කියලා?"
ලැබුණු උත්තරය 'ඔව්.' නමුත් උන් වහන්සේ ඊට පසු පැහැදිලි කළා එය පුපුරා ගොස් තිබුණේ මීට වසර ගණනාවකට පෙර බවත්, දැන් අප දකින්නේ තවමත් පෘතුවියට ළඟා වෙමින් පවතින, තරුව පුපුරා යාමට පෙර එයින් මුක්ත කල ආලෝකය පමණක් බවත්. මතක තියාගන්න මේ පැහැදිලි කිරීම කළේ 'ආලෝක වර්ෂ' සංකල්පය තබා ආලෝය කියන්නෙ (සීමිත වේගයකින්) ගමන් කරන දෙයක් බවවත් නොදැන සිටි සමයක බව.

ඔන්න ඔය නිසා තමයි NASA ආයතනයෙන් විශ්වයට මුදා හැරුණු යානයේ රන් පතක සඳහන් පණිවුඩය සනිටුහන් කිරීම සඳහා පාලි භාෂාවට විශේෂ ප්‍රමුඛත්වයක් ලැබුණේ. (රන් යොදා ගත්තේ එය ප්‍රතික්‍රියාශීලීත්වයෙන් අඩුම නිසා වැඩි කල්පැවැත්ම නිසා). තවත් පැහැදිලි කළොත්, බුදුන් වහන්සේ හමුවීමට පැමිණි දෙවිවරු ගැන සඳහන් වෙනවනේ. විද්‍යාඥයො හිතන්නෙ මේ දියුණු ලෝක වල සිට පැමිණි පිටසක්වල ජීවීන් විය හැකියි කියල. බුදුන් වහන්සේ ඔවුන් සමග සන්නිවේදනය කළේ පාලියෙන් හෝ වෙනත් එවන් භාෂාවක් භාවිතයෙන් නිසා එයාලට වටහා ගන්න වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ එම භාෂා කියලයි විද්‍යාඥයො බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ. 

මෙහෙම බටහිර විද්‍යාඥයො අපේ දේවල් මත රඳා පවතින තැනට වැටෙද්දි අපේ අය ඊට ගරහන එක එක අතකින් කණගාටුවට කරුණක්.
කවුරුත් දන්නවනෙ 'හර්ජ්' (Hergé) කියන කලාකරුවා, 'ටින් ටින්' බැලුවනම්. මතකද දන්නෙ නෑ ඒකෙ මේ දර්ශනය



හර්ජ් කියන්නෙ නිකම් හිතළු විතරක්ම තමන්ගෙ කලා නිර්මාණ වලට පාදක කරගත්තු කෙනෙක් නෙමෙ. එයා ලෝකෙ ගොඩක් රටවල සංචාරය කරල තියෙනව. මේ අත්දැකීම එයා ටිබෙට් දේශයෙන් ගත්තු එකක්.
අදටත් මෙහෙම දේවල් ලෝකෙ තියෙනව. නිකමට 'ගූගල්' පාරක් දාල බලන්නකො 'Man Levitates YouTube' කියල.


සටහන : මේකෙ මේ හාමුදුරුවො පැහැදිලිවම කියනව 'Magic, we are not the same' (මැජික් සහ අධ්‍යාත්මික 'ප්‍රාතිහාර්යයන්' එකක් නෙමෙ නෙමෙ දෙකක්). මැජික් කියන්නෙ යම් කිසි දක්ෂ 'රැවටීම්ක්' විය හැකි නමුත් මෙය එවැන්නක් නොවන බව මෙහි අරුතයි.

සමාධි සුව


ඇල්ලකන්ද කියන්නෙ වනගත ආරණ්‍යයක්. මේකෙ බොහොම සිල්වත් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා බොහොම නිදහසේ භාවනායෝගීව කල් ගත කරනව. මනුෂ්‍ය ආශ්‍රය, භෞතික සම්පත් පරිභෝජනය ඉතා අල්පයි. මේ මෑතක් වෙනතුරුම ඒ ස්වාමීන් වහන්සේලාගේ කුටිවලට (වෙන වෙනම කැලේ මැද තියෙන්නෙ.) විදුලියවත් තිබුණෙ නැහැ. කාලෙකට පිණ්ඩපාතෙන් තමයි දානය සරි කර ගන්නෙ. දැඩි විනයක් රකින නිසා දනිස් පොල්කටු ළඟින් ලනුවකින් ගැටගහලා කියලයි මිනිස්සු කියන්නෙ.(මම නම් ඒ කතාව පිළිගන්නෙ නෑ.)

මම උසස් පෙළ කරන කාලෙ දැඩි සිත් රිදීමක් වෙලා, භාවනා කරල හිත පොඩ්ඩක් හදාගන්න හිතුන. ඔව්. ඔව්. වයසෙ වැරැද්දට හදාගත්ත හිතේ අමාරුවක් තමයි. (ඔය වයසට එහෙම වෙන්නෙ නැත්නම් ඉතින් මොකක් හරි අඩුපාඩුවක්). මේ දවස්වල මට ආරංචි වුනා ඇල්ලකන්දෙ භාවනා වැඩසටහනක් යනවය කියල. තරුණ අයත් ගොඩක් සහභාගී වෙනවලු. අසහනය නිසා නින්ද යන්නෙ නැති තව යාලුවෙකුත් කැමති වුනා මාත් එක්ක භාවනාවට සෙට් වෙන්න.

ඉතින් අපි උදේ භාවනා කරල දහවල් දානෙන් පස්සෙ ගියා නායක ස්වාමීන් වහන්සෙ මුණගැහිල ටිකක් සුහදව සාකච්ඡාවක යෙදෙන්න. ඒ වෙනකොට මගේ හිත සෑහෙන්න දුරට පහන් වෙලා. මූණත් එළිය වැටිලා කියලයි යාලුව කිව්වෙ. භාවනා කරන අය දන්නව ඇති මේකෙ ඇත්ත නැත්ත.

'සුධම්ම' නායක ස්වාමීන් වහන්සෙ බොහොම ප්‍රියමනාප, පැහැපත්, නිවුනු කෙනෙක්. අපි සුහදව කතා කර කර ඉන්නකොට එකපාරටම ස්වාමීන් වහන්සෙ මගෙන් ඇහුවනෙ

"මහත්තයට හිතේ ප්‍රශ්නයක් තියෙනවද?"
පුදුම හිතුනත් මම "ඔව්" කිව්වා.

මුවගට උපේක්ෂා සහගත මඳ සිනාවක් නගාගත් ස්වාමීන් වහන්සෙ කිවුවා 
"මේ ළගදිත් මහත්තය වගේම තරුණ ළමයෙක් ඔහොම ප්‍රශ්නයක් ඇති කරගෙන මාව හම්බෙන්න ආව. එයා නැවතිල හිටපු ගෙදර ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන......."

මා මගේ ගැටළුව ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළෙ නැතුවම උන් වහන්සේ බොහොම කාරුණිකව මට උපදෙස් රාශියක් දුන්නා.
මේක හුදෙක් අනුමාන කිරීමක්ද...? සමහරවිට මෙහෙම 'කේස්' නිතරම අපේ ස්වාමීන් වහන්සෙට එනව ඇති. ඒත්.....
ඒ වෙලාවෙ මම කියන්නත් කළින් ස්වාමීන් වහන්සෙ ප්‍රශ්නෙ ගැන කතාකළේ හරියට සියල්ල දැනගෙන වගේ විශ්වාසයෙන්. අනිත් එක යාළුවත් ඉද්දි මගෙන්ම අර ප්‍රශ්නෙ ඇහුවෙ ඇයි..?

මම ස්වාමීන් වහන්සෙගෙන් අවසර අරගෙන ආපහු ආවෙ කළින්ටත් වැඩිය පැහැදීමෙන්.
ඒ මානසික පිබිදීම මට විශ්වවිද්‍යාලයෙදී පවා අති සාර්ථක වෙන්න සෑහෙන දුරට බලපෑවා කිව්වොත් නිවැරදියි.    

Monday, September 17, 2012

පින් අනුමෝදනාව


සෑහෙන කාලෙකින් ලබැඳි මිතුරෙක් කතා කළා..වෙන කවුරුවත් නෙමෙ...ෂෙරීෆ් (එයා ගැන මේකෙ වෙනම තැනක ලියැවිල තියෙනව. ලින්ක් එකක් දාන්න විදියක් නෑ කවුද ගෝතයෙක් 'ස්පෑම්' කියල රිපොර්ට් කරන්න අරන්. තරහ ගන්න දෙයක් නෑ. ස්වයංක්‍රීය ඒජන්ත ගෝතයා වෙන්නත් පුළුවන්.) මතකයන් ආයෙත් අවුරුදු කිහිපයක් අතීතයට ගියා. පුංචි, නමුත් කිසිදා අමතක නොවන සිදුවීමක් ඒත් එක්කම මතකෙට ආවා. මේක වුනේ වෙසක් කාලෙක වුනත් සුදුසු කාලෙ - මීළඟ වෙසක් කාලෙ එනකම්  ඉන්න බැරි නිසා ඔන්න ඔහෙ ලියල දානව.

මම ගියා තොරණක් බලන්න. තොරණක් කිව්වෙ වෙසක් තොරණක්. සෑහෙන කට්ටිය එහෙමත් හිටිය. රෑ. 
මෙන්න බොලෙ ටික වෙලාවකින් මගෙ නම කියනව යකඩ කටෙන්...!

"............ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටියදී හදිසියේ අප අතරෙන් වියෝවූ...
මහාචාර්ය ........... ............(මගෙ නම) මහතාට නිවන් සුව පතමින් එතුමාගේ ආදරණීය ගෝලයන් පිරිසක් රුපියල් විස්සක මුදල් ආධාරයක් අප වෙත ලබා දී තිබෙනවා."
මෙසේ කී නිවේදකයා හිටගෙන කවියක් කියන්න ගත්තනෙ මගේ අවාසනාවන්ත හදිසි වියෝව ගැන..!

එක පාරටම තක්බීර් වෙලා ගියත් ඊළඟ මොහෙතෙ මට තේරුණා මොකද්ද පටලැවිල්ල කියලා...
මේක මගෙ යාලුවො එකතු වෙලා කරපු පුංචි අහිංසක විහිළුවක්.

අධික වැඩ රාජකාරි නිසා මාත් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්න වෙලාවක් නැති වුනත් ආයෙමත් අවස්ථාවක් ආවොත් මාව ආදරේට මරන්න නුඹලා පසුබට නොවෙන බව මම දන්නවා....
ආදරණීය සරසවි මිතුරනි, ජීවත්ව සිටියදීම මට පින් අනුමෝදන් කරනු ඇසීමට දුලබ වාසනාව උදා කර දීම ගැන නම් කියලා වැඩක් නැත....

ජෝන් මාමා

මේ ළඟදී මම නිවාඩුවකට මහ ගෙදර ගියෙමි. අපේ මහගෙදර තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ කෙළවර, තරමක් පිටිසර, එහෙත් සුන්දර ගම්මානයක කඳු නැග්මක මැද හරියේ හුදකලාවය. මා කුඩා කල හැදුනේ මෙහිදී ය. දැන් පාළු ස්වභාවයක් ඉසිලුවත්, එකල පවුල් කිහිපයක් (මගේ ලොකු අම්මලාගේ) සහ ළමෝ ළපටි දස දෙනෙක්ගෙන් මේ අභිමානවත් නිවස පිරී ඉතිරී තිබුණි. දැන් එහි වාසය කරන්නෝ අපේ ලොකුම ලොකු අම්මාත්, ඇගේ අවිවාහක දුවෙකුත් (මගේ ලොකු අක්කා) අවිවාහක පුංවි අම්මාත් පමණි.

මා සාලය හරහා කෑම කාමරයට ගොඩවැදුනේ පොඩි බඩගින්නක් දැනුනු නිසා ඊට වග-උත්තර බැඳීමටය. මැදි විය පසු කර ඇති ඉතා අහිංසක ගැමි යුවලක් නිහඬව ලොකු අම්මාගේ සංග්‍රහයක් භුක්ති විඳිනු දුටිමි. සාමාන්‍යයෙන් ගැමි ප්‍රභූ නිවසක් යැයි සැලකෙන මේ ගෙදර ඕනෑම මොහොතක මෙවැනි දර්ශනයක් වරදින්නේ කලාතුරකින් වුවත්, ඔවුන් - විශේෂයෙන් ගැමි කාන්තාව මට දැක පුරුදු නොවුවත්, ගැමි වැඩිහිටියා ගැන නම් මට යම් අපැහැදිලි - එහෙත් සුවිශේෂී මතකයක් ඇතිබව දැනුනි. හරි හතර රියන් පුරුෂයකු වූ ඔහු කලක් ඉතා ශක්තිමත්ව සිටි බවට ලක්ෂණ තවමත් ඉතිරිව ඇත. උඩුකය තරමක් නිරාවරණය කර තිබූ නිසා පපුවේ ඝන රෝම වැවී තිබෙනු දිස්විය.

"පුතේ, මේ ජෝන් මාමයි ඒ නැන්දයි. කන්දෙ එහා පැත්තෙ ඉන්නෙ. එහේ පොඩි උත්සවයක් තිබිල, මේ අපිට කැවිළි අරන් ඇවිත්..."
ලොකු අම්මා මට ඔවුන් හඳුන්වා දුන්නාය.
බුළත් කහට බැඳුණු මුවින් ඔවුහු මා සමග අහිංසක ලෙස සිනාසුනහ. ඒ සිනහව තුළ, ගැමි කමට ආවේණික අව්‍යාජත්වය, ගෞරවය, ලෙන්ගතුබව යන සියල්ල ගැබ්ව තිබුණි. මේ සමගම මා හද තුළ වූ ගැමියා අවදිව ජෝන් මාමා ගැන අපූරු සිදුවීමක් සිහිකැඳවමින් මා වසර විසි ගණනක අපූර්ව වූ අතීතයට කැඳවාගෙන ගියේය.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මහගෙදරට අයත් කුරුඳු ඉඩම, අක්කර ගණනක් පැතිරී නිවස පිහිටි කන්දේ මුඳුන දෙසට යොමුවී තිබිණ. ඊටත් උඩින්, මුඳුනට කිට්ටුවන්නට තිබුණේ නොඉඳුල් වන ලන්දය. මේ ළඳු කැලෑව මාගේත්, අමිලගේත් ළමා සිත් නිරන්තරයෙන් කුහුලෙන් පුරවාලීමට සමත්විය. (අමිල යනු මගේ සමවයසේ සිටි ලොකුඅම්මා ගෙනෙකුගේ පුතෙකි.) ඉඳහිට දිනක මහගෙදර පිළිකන්නට ලන්ද බැස එන වල් ඌරන්, ඕලු මුවන් හා රාත්‍රියට විවිධ අත්භූත ශබ්ද නගන විවිධ සත්ත්වයන් මෙය අපූරු තැනක් යයි යන අදහස අප හදවත් තුළ ස්ථිර කලේය. මෙහි මුදුනට නැග්ග විට මුහුද ඇතුළු අප මෙතෙක් නොදුටු බොහෝ අපූර්ව දේ දර්ශනය වන බවට අපි විශ්වාස කළෙමු.

එක්තරා පාසැල් නිවාඩු දිනෙක, ගෙදරට හොරා මෙය ගවේෂණය සඳහා තරණය කිරීමට අපි දෙදෙනා තීරණය කළෙමු. (දළ ඌරන්ගේ/ බඹරුන්ගේ ප්‍රහාරයට ලක්විය හැකි බැවින් මෙය අපට තහනම් කර තිබුණි.) එකල අපේ වයස අවු.7කි.

කුරුන්ද (කුරුඳු ඉඩම) පසු කර අප බොහෝ දුර පැමිණ තිබුණි. දැන් දැන් රැහැය්යන්ගේ කන් බිහිරි කරවන ශබ්දය ජනිත කළේ ගුප්ත හැඟීමකි.

එක් වරම අමිල මට වැළමිටෙන් ඇන වහාම නිෂ්ශබ්ද වනලෙස දන්වා මාත් ඇදගෙන පඳුරක් පසු පස සැඟවුනේ කුතුහලය අවුස්සමිනි.
පඳුරු අතුරින් අප දුටුවේ කුමක්ද...?

ඇඟ පුරාම ඝනව රෝම වැඩුණු කළු, ඉතා උස මහත කෙනෙක් (ඇඳ සිටියේ අමුඩ කෙටියක් බව යන්තමින් මතකයි.) අප දෙසට එයි.

මේ කැළෑවේ හොල්මන්, අවතාර, යකුන්, බහිරවයන් අරක්ගෙන ඇතිබව කියමින් අප සහෝදරියන් නිතරම අප දෙදෙනා බිය ගන්වයි. එවෙලේට කොලු කමට එය අවඥාවට ලක් කළත්, යම් යම් අත්භූත දේ පැවතිය හැකි බවට අප යටි හිතේ තැන්පත්වී තිබෙන්නට ඇත.

ඊළඟ මොහෙතේ අමිලයාත් ඇදගෙන කඩාගෙන බිඳගෙන දුවන්නට මගේ දෙකකුල් වලට පණ ලැබුනේ කෙසේදැයි නොදනිමි.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
මේ සිද්ධිය මා මතක්කර සිටිවිට, ජෝන් මාමා ඇතුළුව අප සියලු දෙනාට සිනාව නවත්වාගැනීමට නොහැකි විය. මහගෙදර සියලු දෙනා හඬ නගා සිනාසුනද, ඔවුහු පළ කළේ නිහඬ අහිංසක සිනාවකි. එකල ඔහු කිතුල් මැදීම කළ බවත්, කැළය මැදින් කෙටි පාරකින් ගමන් කළේ එවැනි රාජකාරියට විය හැකි බවත් ඔහු කීය.

පිළිකන්නෙන් ගෙට ගොඩවූ ඔවුහු, පිළිකන්නෙන්ම බැස ගියහ. සාලයට පැමිණ ආගිය තොරතුරු විමසීමක් එම ගැමියන්ගේ නොවීය.
ඔවුන් ගිය පසු ලොකු අම්මා පැවසුවේ ජෝන් මාමා තරුණ කළ ඉතා හැඩි දැඩි සැරපරුෂ පෙනුමක් තිබුණක්, ඔහු එකල පවා පාඩුවේ ජීවත් වූ අහිංසක නිර්ව්‍යාජ ගැමියෙක් බවයි.

සෙමා

සෙමා යනු මගේ බැචෙකි. එහෙත් ඔහු සතු 'සෙමක්' නොවීය. නම මුලකුරු සමග ඉක්මනට කියැවීමෙදී මෙසේ ශබ්ද වන නිසා ඔහුට ඒ නමින් අමතන්නට හිතවත්ම අය හුරුවූහ.
ඔහු නිකම්ම නිකම් බැචෙක් නොව අප සරසවියේ සියලු පීඨවල, සියලු බැච් වල සිසුන් ඒකමතිකව පිළිගත් නිළ නොළත් ශිෂ්‍ය නායක විය. නිළ නොළත් වූයේ අප විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් (පමණක් නොව ආචාර්ය සංගම් පවා) සපුරා තහනම් වීම නිසා මිස අන් කිසිවක් නිසා නොවෙයි. පාලක පැලැන්තිය සිතා සිටියේ මෙය සරසවියක් නොව මධ්‍ය මහා විද්‍යාලයක් ලෙසටය. ප්‍රධාන ශිෂ්‍ය නායකට පත්වීම් ලිපියක් මගින් බලතල පැවරීම පාසැලකට තරම් නොවටී යයි ඔවුන් සිතන්නට ඇත.

නමුත් මා ඔහු මුළින්ම හඳුනා ගත් සිදුවීමනම් එතරම් ප්‍රසන්න එකක් නොවේ. නායකයන් තෝරා පත්කරගැනීමේ සභාවක කිසිවෙකුත් නොසිතූ පරිදි ඔහු විසින්ම ශිෂ්‍ය නායක තනතුර ඉල්වා සිටියේය. සාමාන්‍යයෙන් සිදුවන්නේ යමෙකු විසින් නම යෝජනා කිරීමයි. ඔහුට අවශ්‍යමනම් මිතුරකු මගින් යෝජනා කරවීමට තිබුණි. මෙසේ ඔහු සම්ප්‍රදායට එරෙහිව නැගී සිටීම මා තුළ එවෙලේ ඇතිකළේ පහන් සිතුවිල්ලක් නොවේ. එනමුත් මගේ උපකල්පිතය සාවද්‍ය එකක් බවද, ඔහු ඒ තනතුරට ඉතාම සුදුස්සා බවද ඉතිහාසය විසින් පසක් කර තිබේ. 

ඔහු තරම් සාර්ථක වූද, ජනප්‍රියවූද, සිසුන් වෙනුවෙන් පුද්ගලික ජීවිතය කැපකළා වූද, ඒ වෙනුයෙන් පළිගැනීමට ලක්වූවා වූද, සෘජු , නිර්භය, රැවටීමට ලක් නොවන, නොසැලෙන ආත්ම ශක්තියක් ඇත්තා වූද, ඉතාමත්ම ඉහළ සංවිධානාත්මක හා වෙනත් කුසලතා වලින් පරිපූර්ණ වූද නායකයකු මා දිවියේ කිසි දිනෙක දැක නැත. 

සිසු ගැටළු පිළිබඳ විවාදාත්මක සංවාද වලදී, ඔහු කතාකරන්නේ කවරකු සමගද යන්න ඔහුට වැදගත් නැත. උපකුළපති වේවා, උසස් අධ්‍යාපන ඇමති වේවා, ජනපති වේවා, ගැටළුව මගහැරීමට ගන්න ලද උත්සාහයන් ඔහු අතින් නිර්දය ලෙස විවේචනයට ලක් ලක් විය. මෙවැනි අවස්ථාවක ඔහු නැවැත්වීම කවරකු විසින් කරන්නට තැත් කරත් එය ව්‍යර්ථ වී ප්‍රතිවිරුද්ධ පාර්ශවයට කට උත්තර නැති වේ. ඔහුගේ කතාව තුළ සියුම් උපහාසක් ගැබ් වී ඇත. ඔහුගේ කරුණු අතිශයින් තාර්කිකය. පහසුවෙන් බිඳ හෙලීමට නොහැකිය. ව්‍යංගාර්ථ මගින් ප්‍රතිවිරුද්ධ කරුණු උපහාසයට ලක් කිරීමට ඔහු සමතෙකි.

කෙසේ වෙතත් ඉතාමත්ම දැඩි සිසු පීඩනය හමුවේ පීඨ මට්ටමින් සිසුන්ට බලතල පැවරීමට බලධාරීන්ට සිදුවිය. පීඨ මණ්ඩල සඳහා පීඨ වලින් ශිෂ්‍ය නියෝජිතයන් සිසු කැමැත්ත මත තෝරා පත් කර ගැණින. ඔහු මගේම පීඨයේ සිසුවකු වුවද, පීඨ ශිෂ්‍ය නියෝජිත වශයෙන් තෝරා පත්කරනු ලැබුවේ මාය. සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් කෙරුණු මෙහි, ලැබෙන දුර්ලභ අවස්තාවෙන් උපරිම ඵල ලබා සිසු ගැටළු සීමිත කාලයක් තුළ සියල්ල ඉදිරිපත් කෙරීම අවශ්‍යතාව වූ නිසාත්, සාපේක්ෂව වඩාත් චතුර ලෙස හා වේගවත් ලෙස කඩුව හැසිරවීමට මා සතු හැකියාව ඊට හේතු විය.

එවෙලේ මට හැඟුනේ මා කිසිවකුගේ ඉත්තෙකු වූ බවයි. නීත්‍යානුකූල බලතල හිමි පීඨයේ එකම ශිෂ්‍යයා ලෙස මට ඉටුකිරීමට සිදුවන්නේ 'සෙමා' ගේ න්‍යාය පත්‍රයයි. පීඨ මණ්ඩලය මා නියෝජනය කළත් තිරය පිටුපස සිටින සැබෑ නායකයා වනු ඇත්තේ ඔහුය. පරිපාලනය පමණක් නොව ඇතැම්විට සිසුන්ගේද බහුතරය අදටත් සිතාගෙන සිටින්නේ එසේ විය හැකිය.

එහෙත් යථාර්තය එය නොවේ. පීඨ ශිෂ්‍ය නායක ලෙස මා ගත් තීරණ හා පීඨ මණ්ඩලයේ පළ කරන ලද අදහස් වලට ඔහු අංශු මාත්‍රයකවත් බලපෑමක් එල්ල නොකළේය. ඒ වෙනුවට සමස්ථ විශ්වවිද්‍යාලය මට්ටමින් නොව, පීඨ මට්ටමෙන් ගත්කළ මා ඔහු නියෝජනය කළ නායක බව ඔහු නිහතමානීව පිළිගෙන අදාල ගරුත්වය මට ලබාදීමට කටයුතු කළේ ය. මෙය නායකයකු සතු ඉතා හොඳ ගුණාංගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සංවිධානාත්මක හැකියාව හැකියාව අතින් ඔහුට සමකළ හැකි අන් කිසිවෙක් නොවීය. වරක් මා දිවා ආහාරය ගැනීමට කැන්ටිමට පැමිණි විට කැඳවීමක් ලැබුණි. මේ වන විට අප සොයුරු සිසුවෙකු අසාධාරණ ලෙස පන්ති තහනමකට ලක්ව පැයක් පමණ ගත වී ඇති බව මම දැන සිටියෙමි. සාකච්ඡාව ඒ ගැන විය යුතුය.

ඔහු මා කැඳවාගෙන ක්‍රීඩාපිටිය වෙත ගියේය. ඉතාම අල්පයක් හැර සමස්ථ විශ්වවිද්‍යාලයේම සිසුන් එහි සිටිනු දැක මම මවිතයට පත්වීමි. මිනිත්තු කිහිපක් තුළ එවැනි දැවැන්ත සංවිධානයක් කෙනෙකු කරන්නේ කෙසේද? අප සියලු දෙනා එක්ව ඉතා සාමකාමී ලෙස පරිපාලන ගොඩනැගිල්ලේ බිම පැය කිහිපයක් වාඩි වී සිටියෙමු. සාකච්චාවක් ලැබිණ. අප සොයුරු නිදොස් කොට නිදහස් කෙරිණ.

ශිෂ්‍ය ව්‍යාපාරය තුළ පමණක් නොව, සියලු තන්හි ඔහුගේ සංවිධානාත්මක හැකියාව කැපී පෙණුනි. එය දන්සැලක් වුවද, මළගෙයක් වුවද, විනෝද චාරිකාවක් වුවද වෙනසක් වූයේ නැත.

විශ්වවිද්‍යාලයට ආදරය කිරීමේ ආදර්ශය අප විසින් ප්‍රගුණ කරන ලද්දේ ඔහුගේ නායකත්වය යටතේය. විශ්වවිද්‍යාලය සතු සියළු භෞතික දේපළ සුරැකීම එහිම කොටසක් විය. එය ස්වයං විනය පිළිබඳ දැවැන්ත සාර්ථක ආකල්පමය විප්ලවයකි. මෙය කෙතරම් තදින් ක්‍රියාත්මක වූයේද යත්, මා උපාධිය නිමකර පිටවන තෙක්ම, එකදු පෑන් ඉරක්වත් ඩෙස්ක් මත, වැසිකිළි වල පවා දක්නට නොලැබිණ.  

වරක් එක්තරා සැඳෑ කාලයක මට කැන්ටිමට කැඳවීමක් ලැබුණි. පාවා දීමේ සිද්ධියක් මත අප විසින් පිළිකුළ් කරන ලද 'ජූනියර්' බැච් එකක ශිෂ්‍ය නියෝජිතයෙක් සමග ඔහු සිටියේය. සුහද ක්‍රිකට් තරඟාවලියක් සඳහා මගේ පීඨයේ ජෙයේෂ්ඨ සිසුන් නිදහස් කිරීමට අවසර දෙන මෙන් ඔහු ඉල්ලා සිටියේය. මගේ අවසරයකින් තොරව ඔහුට ඉතා පහසුවෙන් එම තීරණය ගත හැකිව තිබුණත් ඔහු එසේ කළේ නැත. 


විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ සිට සුළු සේවක දක්වා ඔහුට පුද්ගලික සම්බන්ධතා රාශියකි. ඔහු මේවා භාවිත කළේ හුදෙක්ම සිසුන්ගේ යහපත සඳහා පමණි. සිසුන්ට සපුරා තහනම් වූ සාදවල පවා සිදුවන දෑ සාක්ෂි සහිතව කවරාකාරයෙන් හෝ ඔහු වෙත පැමිණේ. ඔහු වෙනුවෙන් යම් රහසිගත ඔත්තු සේවයක් පැවතුණි දැයි නොදනිමි. කෙසේ වෙතත් පරිපාලනයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳ විද්‍යුත් පිටපත් සහිත සාක්ෂි රාශියක් ඔහු සතුවිය. ඒවා ලැබෙන්නේ කොහෙන්දැයි මා විමසූ විට ඔහු කීවේ ලැබෙන විදිය වැඩක් නොමැති බවත්, කිසිදු හේතුවක් නිසාවත් අදාල පුද්ගලයන් පාවා නොදෙන බවත්, අවශ‍ය නම් මා වෙනුවෙන් එවැනි සේවාවක් පවත්වා ගත හැකි බවත් (ඇත්ත වශයෙන්ම මා වෙනුවෙන් එවැනි රහස් ඔත්තු සේවයක් ක්‍රියාත්මක වී තිබිණ!), නමුත් මට සේවය කරන්නේ කවුරුන්දැයි මා පවා දැනුවත් නොවන බවත්ය. (දැන් අදාළ පුද්ගලයන් කිසිවෙකුත් අදාල තනතුරුවල සේවයේ නියුතු නොවන නිසාත්, එවැනි දෙයක් තවදුරටත් ක්‍රියාත්මක නොවන නිසාත් පරිපාලනය කළබල විය යුතු නැත. එවැනි සූක්ෂම ශිෂ්‍ය නායකත්වයක් යළි කිසිදා ඇති නොවනු ඇති නිසා පාලකයන්ට සදා නිදහසේ සැතපිය හැක.)


නායකත්ව දිවිය හැර, සාමාන්‍ය ජීවිතයේදී ඔහු ඉතා මිත්‍රශීලී, සමාජශීලී, මුඛරි, අපූරු පුද්ගලයෙක් විය.   
කිසිවෙකු විසින් කමිසයක් හොඳින් මැද තිබුණි නම් කිසිදු විමසීමකින් තොරව එය ඇඳගෙන යාම ඔහුගේ සිරිතයි. කොල්ලන්ගේ බෝඩිමක හෝ නේවාසිකාගාරයක ඇත්තේ පෞද්ගලික 'දේපළ' නොව පොදු දේ බව ඔහු විශ්වාස කළේය. එය ඇඳුම්, දන්තාලේප, ෂැම්පු, සබන් පමණක් නොව ඇතැම් විට යටඇඳුම්, රැවුළ බාන උපකරණ පවා විය හැකිය!

ඔහු තරම් එකිනෙකට වෙනස් වූ කුසලතා වලින් යුත් පුද්ගලයකු මා දැක නොමැති තරම්ය. ආහාර පිසීමේ, ඇඳුම් මැසීමේ පමණක් නොව පණුවෙකු මෙන් දඟළමින් නර්තනයේ යෙදීමටද ඔහුට හැකිය. වරක් බෝඩිමේ සිටි දුප්පත් කොල්ලන් ගැන අනුකම්පා කළ ඔහු, ඉතා සාධාරණ මුදලකට බෝඩිමීදී ඔහු විසින්ම පිළියෙල කරන ලද ආහාර ලබාදුන්නේය. මමද ඔහුගේ කෑම කා ඇත්තෙමි. ඉතා ප්‍රණීතය.

එක් නරක පුරුද්දක් නම් විය. එනම් ඉඳහිට හඳුන් කූරක් පත්තු කර ගැනීමයි. දිනක් මා කුස්සියට යනවිට මූ එකක් පත්තු කරගෙන දුම් දමමින් සිටියේය. මට වැඩිය ඕවා අල්ලන්නේ නැත. මම ඌ එළියට ඇද දමා දොර වැසුවෙමි. මා සිතුවේ ඔහු ඊට උරණ වනු ඇති කියාය. නමුත් බී අවසන් වූ විට මා යළි ගෙතුළට ගත් විට ඔහු කිසිවක් නොවූ පරිදි හැසුරුණි. කිසිදා හැදෙන එකෙක් නොවූ නිසා මා වැඩිපුර අවවාද දෙන්නට ගියේ නැත.

ඔහුගේ මුඛරි කම ගැන කිසිදා අමතක නොවන අපූර්ව සිද්ධියකින් පොත් ගනණක් වුව ලිවිය හැකිමේ අපූරු චරිතාපදානය නිමා කරමි.

ප්‍රායෝගික පරීක්ෂණයක යෙදී සිටි අප සොයුරියක් ඕනෑවට වඩා මේසයට නැඹුරු වීම නිසා ඇය ඇඳ සිටි ඇඳුම පිටුපසින් තරමක් පහළට ගොස් තිබුණි. මෙය දුටු සෙමා
"ඒයි...බජ්ජ-හුරී, උඹේ ඇඳුම හදාගනින් බං" යයි කීවේ සෙමිනි.
නමුත් ඇයට එය හරියට ඇසුනේ නැත.
"ඈ...?"
නැවත පවසන ලද නමුත් එවරද සාර්ථක වූයේ නැත.
උගුර පෑදූ සෙමා කාටත් ඇසෙන සේ මහහඬින් මෙසේ තෙපලීය.
"අද රෝස පාට එකක් නේ ඇඳන් ආවෙ...?" !!! 

Thursday, September 13, 2012

ජීවන සුනාමිය

ජීවිතයේ වාසනාව හා අවාසනාව සදා අප සමග නොවුවත්, ඒ ද්විත්වයම කිසිදා අප හැර නොයන බව මට තදින් විශ්වාස කිරීමට සිදුවී ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අත්විඳීමට සිදුවූ විශ්වාස කිරීමට තරම් නොහැකි එක පිට එක පැමිණි දුක්, කම්කටොළු මැදින් මා සොයා ආ වාසනාව නිසාය. විටෙක මා තරම් අවාසනාවන්තයෙකු මේ මිහිපිට නොමැති යයි හැඟුනිද, ඒ අවාසනාවම මට ජීවිතයේ නොසිතූ විරූ ජයග්‍රහණ ළඟා කර දී ඇති අයුරු මා විශ්මයට පත් කරයි. ජීවිතය නම් මෙයැකැයි සියල්ල උපේක්ෂා සහගතව ඉවසීමටත්, කම්පා නොවීමටත් මා ප්‍රගුණ කළේ ඒ අසමසම අවාසනාවන්ත සිදුවීම් සමුදායයි.

ඒ වන විට ගෙවෙමින් තිබුණේ මගේ සරසවි දිවියේ තෙවන වසරයි. ඉතා උද්යෝගිමත් ලෙස අධ්‍යයන කටයුතු කරමින් සිටි මගේ ඒකායන අරමුණ වූයේ උපාධියේ ඉහළම සාමාර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමයි. තෙවන වසර ප්‍රථම සෙමෙස්තර විභාගයෙන් GPA අගය ලෙස 3.8 ඉක්මවින් මා කණ්ඩායමේ ඉහළම ළකුණු වාර්තා කර තිබීම ඒ බලාපොරොත්තු තවත් තීව්‍ර කළේය.

නමුත් අවාසනාව මා හඹා ආවේ මටත් හොරාය. වසර 2 1/2 කට අධික කාලයක් පෙරුම් පුරමින් බලා සිටි මට ඇයගෙන් ලැබුයේ අනපේක්ෂිත පිළිතුරකි. මෙයින් ලද ජීවිත කළකිරීම හා වෙනත් කරුණු කිහිපයක් මුල් කොට ගෙන මට දැඩි මානසික අවපීඩනයකට මුහුණ දීමට සිදුවිය. එය එකම හේතුව නොවුවත්, මා ක්‍රමයෙන් කෘශ වී සිරුර වැහැරී දැඩි ලෙස රෝගාතුර වූයෙමි. එක්තරා දිනෙක එහි සීමා මායිම් දෙගොඩ තලා ගලා ගොස් මා ක්ලාන්ත වී ඇද වැටුනි. 
රෝහලට ඇතුළත් කර කරන ලද පරීක්ෂණ වලින් හෙළි වූයේ මා සදාකාලික රෝගියකු බවට පත්ව ඇති බවයි. මගේ රුධිරගත ග්ලූකෝස් මට්ටම 667 ඉක්මවා තිබූ අතර මා දියවැඩියා රෝගයේ ඉතා අවාසනාවන්ත ගොදුරක් වී තිබුණි. ඒ වනවිට මා යන්තමින් ජීවිතයේ 24 කණුවට ළගා වූවා පමණි.
මියෙන තුරාම මා හට දිනපතාම දෙවරක් ඉන්සියුලින් එන්නත් කිරීම අනිවාර්ය බව වෛද්‍යවරු නිර්දේශ කළහ. ඔවුන්ගේ තවත් එක් නිර්දේශයක් වූයේ එම එන්නත මා විසින්ම කරගත යුතු බවයි! 

මෙය මා දැඩි කළකිරීමකට පත්කිරීමට සමත් විය. වෙනත් අයකු විසින් කරන එන්නත් කිරීමද මා ඉවසන්නේ ඉතා වේදනාවෙනි. දිනකට දෙවරක්, මියෙන තුරාම මගේ සිරුර මවිසින්ම සිදුරු කර ගැනීම ඉවසිය හැකිද? තව කොපමණ දුරක් යා යුතුව තිබේද..? 
මීට අමතරව මුළු ජීවිත කාලයටම බලපාන පරිදි මට සියලුම රසවත් ආහාර සපුරා තහනම් කරන ලදී.

ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා සේ වූයේ, සිරුරේ සංඥා හසුරුවන රසායනික සමතුළිතතාව බිඳ වැටීම හේතුවෙන් මගේ දෑසේම පෙනීම නැති වී ගියාට පසුය. 

තෙවන වසර අවසන් විභාගය ළඟ ළඟ එයි. මේ මානසික කායික තත්ත්වය හමුවේ මගේ අරමුණු වලට කෙසේ නම් යා හැකිද..? එය සිහිනයක් පමණි. මේ ගෙවී යන්නේ අධ්‍යයන නිවාඩුවයි.
මා ඇය සමඟ අමනාප නොවුවත්, ඇය මා බැලීමට පැමිණියේ නැත. සදාතනික රෝගියකු බවට පත්ව ඇති මා, මින් ඉදිරියට ඇය පමණක් නොව සමස්ථ ගැහැණු වර්ගයා විසින්ම ආදරවන්තයෙකු, ආදරබර ස්වාමි පුරුෂයකු හා තම දරුවන්ගේ ආදරණීය පියා ලෙස පිළි නොගනු ඇත. මා නිරෝගී කල ප්‍රතික්ෂේප කරන ලද හේතුන් ගැන සිතන විට, මෙය දරා ගත නොහැකි තරම් කටුක යතාර්ථයක් බව මට පසක් වුණි.

මට සිතුනේ මා තරම් අවාසනාවන්තයෙක් මිහිපිට තවත් නොමැති බවයි.
යන්තම් පෙනීම ලබා, මුහුණ දුන් තෙවන වර අවසන් විභාගයේ ප්‍රථිඵල නිකුත් වීමත් සමගම එය සනාථ විය. සියලුම විශයන්ට සාමාන්‍ය සාමාර්ථ ලබා, මා කණ්ඩායමේ අන්තිමයා වී තිබුණි. GPA යන්තමින් 2.0 ඉක්මවීය. ප්‍රථම පන්ති සාමාර්ථය සාමාන්‍ය සාමාර්ථයක් බවට පත්ව තිබුණි. මීට පෙර විභාගයේ Batch Top වූ මා මෙවර Batch Bottom වීම කොතරම් දරුණු දෛවයේ සරදමක්ද..? මගේ එකම සැනසීම වූ ඉහල සාමාර්ථයක් සහිත උපාධිය හා අනාගත රැකියාව කෙරෙහි බලාපොරොත්තුද  කෙමෙන් මා හැර යන බව දැනුණි.

කෙසේ වෙතත් අවාසනාවට දිනුම නොදී සටන් කළ යුතු බව මම තීරණය කළෙමි. මගේ අරමුණට යාමට නම් අවසන් වසර සියළුම විෂයන්ට අති විශිෂ්ට සාමාර්ථ ලබා ගනිමින්, ගෞරව උපාධිය සඳහා සම්පූර්ණ කළයුතු පර්යේෂණයද ඉතා උසස් තත්වයෙන් තිබිය යුතුය. මේ සඳහා ඉතාමත්ම දැඩි කැපකීම් කිරීමට අවශ්‍යය. ඉතාම සුළු අත්වැරදීමකින් පවා එය අහිමි වී යා හැකිවීමේ අවදානම මා දැරිය යුතුය.

ඔව්..මම එය කළෙමි...!

මට අවශ්‍ය කර තිබූ පන්ති සාමාර්ථය සහිතව මා උපාධිය ඉතා ඉහළින් සමත් වී තිබුණි. මෙවර මට සිතුනේ මා ඉතා වාසනාවන්ත බවයි.

නමුත්... මා සිතුවා වැරදිය....'කට වැඩි නිසා' මා ආචාර්ය මණ්ඩලයට බඳවා ගැනීම විශ්වවිද්‍යාලය විසින් නිගරු කොට ප්‍රතික්ෂේප කරන ලදී.
පුද්ගලික අංශයේ රැකියාවක් සොයා ගන්නට පෝළිමේ රස්තියාදු වූ මට දැනුනේ නැවතත් අවාසනාව යළි මා ලුහු බැඳ එන බවයි. රටේ සියළුම ප්‍රධාන පෙළේ මෘදුකාංග සමාගම් මගේ පන්ති සාමාර්ථය සත පහකට මායිම් නොකර මගේ සේවය අනවශ්‍ය බව පැවසීය. අවසානයේ අප ශිෂ්‍ය කණ්ඩායෙම් ඉතිරිව සිටියේ මාත්, තව අයෙකුත් පමණි.
අවසානයේ මට රැකියාවක් ලැබුණි. නමුත් අවාසනාවේ සෙවනැළි තවමත් මා අත් නොහැරි බව වැටහුනේ රැකියාවේ වෙහෙසකාරී බවත්, ඊට ගෙවනු ලැබූ සොච්චම් වැටුපත් හේතුවෙනි. මේ වන විට රැකියා ලබා සිටි මගේ 'බැචාලා' අතුරින් ඉතාම අවම වැටුපකට සේවය කළේ මාය. කොතරම් අඩුද කියනවානම්, ඉතා දුක්ඛිත තත්ත්වයේ නවාතැන් හා ආහාර පහසුකම් ලබමින් පවා මා ලැබූ මාසික චේතනය, මාසයේ මූලික වියදම් ආවරණය කිරීමටවත් ප්‍රමාණවත් නොවීය. මා අවසන් වසරේ කරන ලද සියළු කැපකෙරීම් ගඟට කැපු ඉනි මෙන් විය. මා ලැබු දැනුමෙන් කිසිවෙකුටත් පළක් නොවන බව වැටහුණි.

නමුත් අවාසනාව තල්ලු කරගෙන වාසනාවට මා වෙනුවෙන් මවෙත පැමිණීමට ඉඩ හසර ලැබී තිබුණි.
කිසිවෙකුත් නොසිතූ පරිදි, අසාර්ථක යයි අත් හැර දමා තිබූ සංකීර්ණ ව්‍යාපෘතියක්, ඉතා දැඩි කැපවීම මත අති සාර්ථක ලෙස දින කිහිපයක් තුළ 'ගොඩ දැමීමට' මට හැකිවිය. එතැන් සිට මවෙත සියල්ල ළඟා වන්නට වූයේ නන්දා මාලිනියගේ 'පූජාසනයේ ඔබ හිඳුවා..' ගීතය යථාර්ථයක් බවට පත් කරමිනි.

නමුත් මෙන්න මේ සිදුවීම නිසා මා එම රැකියාව අත් හැර දමා යළි මගේ ප්‍රථම අරමුණට යාමට ප්‍රයත්නයක යෙදුනෙමි. මා උගත් සරසවිය නව උපකුලපතිවරෙකු යටතේ පාලනය වුවද, ඔහු අසත්‍ය වූ කේළාම් විශ්වාසයට ගන්නෙකු වීම මා නැවත වරක් කළකිරීමට තරම් ප්‍රබල සාධකයක් වීම මගේ අවාසනාවක්ද නැත්නම් මගේ මවු සරසවියේ අවාසනාවක්ද යන්න නොදනිමි.

අවාසනාව වාසනාව බවට පරිවර්තනය කිරීමට තරම් මා දිරිමත් වීම ගැන අද උදම් අනමි. මා වැළඳගත් රෝගයට සාප කරමින් නොසිට මම එය පිළිබඳව ගැඹුරෙන් හැදෑරීමි. ජාන ඉංජිනේරු විද්‍යාව හා ජෛව තොරතුරු තාක්ෂණය පිළිබඳව හදාරන්නට මෙය තීරණාත්මක බලපෑමක් එල්ල කර ඇති බව පෙනේ.

කෙසේ වෙතත් රටේ කීර්තිමත් විශ්වවිද්‍යාල කිහිපයක්ම මා උණුසුම් ලෙස පිළිගනිමින් මගේ දැනුමට නිසි අගයක් එක් කළහ. ඉතා දැඩි තරඟයකින් අනතුරුව මා පමණක්ම තෝරා ගැනීමට තුඩුදුන් එක් ප්‍රබලම සාධකයක් වූයේ අවාසනාව විසින් මා උගැනුමට පොළඹවන ලද විරල දැනුමයි. 

මා හට අවාසනාවද, වාසනාවද ගෙනා ජානය (gene) 'LARS2' බව මම සොයාගතිමි.

Friday, September 7, 2012

ඈත පළාත්වල ජීවිත....


මේ කතාව කියවගෙන යනකොට ඔබට සිනා පහළ වේවි නිතැතින්ම...කමක් නෑ ඒක ස්වාභාවිකයි, නමුත් පස්සෙ හරි ටිකක් හිතල බලන්න අපි හිනා වෙලා තියෙන්නෙ අපිටමයි නේද කියලා මොහොතකට හරි....අපි උපහාසයෙන් බැලුවේ අපේම රටේ අපේම වැඩිහිටියෝ, දරුවෝ පිරිසක් දිහා...කැත්ත, උදැල්ල, ගිණි ගහණ අව්ව, වැස්ස, වන සිවුපාවා එක්ක ඔට්ටු වෙලා රටට බත, ධාන්‍ය සපයන උත්තමයන්ට....

ඒ නිසා කරුණාකරලා මේක කියවලා හීන් හිනාවක් දාලා මේ මිනිස්සුන්ව අමතක කරලා දාන්න එපා...

හරි මෙන්න කතාව. මම දුරින් හඳුනන කෙනෙකුගෙ සත්‍ය අත්දැකීමක්.

මේක වෙලා දැන් අවුරුදු 15ක් විතර වෙනවලු.
ගුරුවරයෙක් වෙච්ච මගේ හිතවතාට දුෂ්කර සේවා විදියට බොහොම පිටිසර පළාතක පාසලකට පත්වීම ලැබුනලු.
මෙයා ගිහින් තියෙන්නෙ මෝටර් සයිකලයෙන්. ගිහින් නැවැත්තුවම ළමයෙක්ගෙ තාත්තා කෙනෙක් යයි සිතිය හැකි ගැමි මනුස්සයෙක් ළඟට ආවලු.
මේ කාලෙ මේ ගමේ මෝටර් සයිකල් එහෙම දකින්න ලැබෙන්නෙ බොහොම කළාතුරකින්ලු. මෙයා අපේ හිතවතාගෙන් ඇහුවලු මෙහෙම,
"මහත්තය, උඹ මොකෙන්ද ආවෙ?"
අපේ හිතවතාට ඇමතුවෙ මහත්තය කියලද වෙන මොකක් හරි කියලද කියල හරියට මතක නෑ. කොහොමවුනත් ඒ අදහස තියෙන ගැමි වචනයක්.
'උඹ' කියල කිව්වට අපේ හිතවතාට ටිකක් විතර අප්සට්ලු. ඒ උනත් මේ පළාතෙ හැටි වෙන්න ඇති කියල දුන්නලු අහපු එකට උත්තර.
"මම මෝට(ර්) සයිකලෙන් ආවෙ."
මේක ඇහුව විතරයි අර මනුස්සයගෙ මූණ ඇඹුල් උනාලු, තරහ ගිහින් වගෙ එතැනින් යන්න ගියාලු.

කාර්යාලයට ගිහින් විදුහල්පතිතුමා හමුවෙලා, රාජකාරි
කටයුතු එහෙම සම්පූර්ණ කරලා, ආ ගිය කතා එහෙම කතාකරනකොට කිව්වලු අර මනුස්සයට තරහ ගිය සිද්දිය.
විදුහල්පතිතුමාට තේරුණාලු අවුල.
"මදැයි ඔයින් ගියා. මේ පළාතෙ 'මෝ' කියන්නෙ අම්මට. 'මෝට' කියන්නෙ 'උඹෙ අම්මට....' වගේ කතාවක්නේ....!"

ඔය වගේ භාෂා වෙනස්කම් නිසා වෙච්චි සිද්දි බර ගානක් කිව්වා, දැන් මට මතක නෑ.

ඔන්න අපේ ගුරුතුමා පන්තියට ගිහින් නාමලේඛනය පරීක්ෂා කරනවලු පහුවදා.
මෙහෙම බලාගෙන ගනකොට තියෙනවලු හරි අපූරු නමක්.
'දිවංගත ප්‍රේමදාස'
කුතුහලයට පත්වුනු අපේ ගුරුතුමා හොයල බැලුවලු මේ නමේ උපත.
බලනකොට මේ නම අයිති දරුවගෙ තාත්තා තමයි නම දාල තියෙන්නෙ. දරුව ඉපදිල තියෙන්නෙ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාවප්‍රාප්ත වෙච්ච දවස්වලලු.

ඒ දවස්වල 'වෑර්ලස් එකේ' (ගුවන් විදුලියේ) හරියට වැඩසටහන් වල කියවුනනානේ ඔය 'දිවංගත ප්‍රේමදාස' නාමය. මේ ගැමි මනුස්සයා හිතල තියෙන්නෙ දිවංගත කියන්නෙ 'ශ්‍රීමත්' වගේ විශේෂණ පදයක් කියලා. තේරුම හොයලා නැහැ, ලස්සන නිසා දැම්මලු. 
බලාගෙන ගියාම අපේ නගරබද 'පොෂ්' අම්මල තාත්තලත් ඔය වගේ තේරුම හොයන්නැතුව නම් දානවානේ! (උදා. 'ට්‍රික්සි' = ප්‍රයෝගකාරී / සෙල්ලක්කාර )

ආයෙ දවසක් ආවලු අලුතෙන්ම දරුවෙක් බාර දෙන්න. බාර දීලා දෙමාපියෝ ගියාලු. අපේ ගුරුතුමා අර දරුවගෙන් විස්තර අහනවලු.
"පුතේ ඔයාගෙ තාත්තගෙ නම?"
කොළුවා උඩ බිම බළයි.
"ඇයි පුතේ දන්නෙ නැද්ද?"
(නොදන්නා බව හැඟවීමට ඔළුව වනයි.)
"හොඳයි ඔයාගෙ අම්මා ගෙදරදි තාත්තට කතා කරන්නෙ කොහොමද?"
"ඕයි..කියලා"
"එතකොට තාත්ත අම්මට...?"
"ඒයි.....!"

වායුසමනය කරපු විවේකාගාරයක, සැප පුටුවකට බර වෙලා ජනතා මුදලින් නඩත්තු වෙන අන්තර්ජාල සබඳතාවකින් මේක ලියන මට, ඔබ ලවා ඔවුන්ව උපහාසයට ලක් කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැති බව යළි යළිත් අවධාරණය කරන්නනම ඕනෑ. මහාචාර්ය ගංගානාත් කියනව වගේ, අපිව මේ විදියට නඩත්තු කරන්න මේ අහිංසකයින් පවා දායක වෙනවයි කියන එක කවදාවත් අමතක කරන්න හොඳ නෑ. මගේ විවේකාගාරයේ දැල්වෙන පහනත්, වායුසමන යන්ත්‍රයත් වැඩකරන්නෙ විදුලියෙන් නොවේ, මේ අසරණයින්ගෙ ලේ දහදිය වලින් කියලයි මට හිතෙන්නෙ. අන්තර්ජන්ජාලෙ හුවමාරු වෙන්නෙ දත්ත නොවෙයි, ඔවුන් හෙලන කඳුළු කියලයි මට හිතෙන්නෙ. මේ ගැමියන්ට සේවය කරන්න අනන්ත දුක් ගැහැට විඳින අපේ ශ්‍රේෂ්ඨ ගුරු පරපුරට මෙය උපහාරයක්ම වේවා..!

Saturday, September 1, 2012

ගුරු සිත සලිත කළ ගැමි සුවඳ


කලකට පසු අද යළිත් අතිශයින් සංවේදී අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය. අවුලකට ඇත්තේ එහි ප්‍රතිඵලය සිත් තැවුලකින් කෙළවර වීමයි.

ප්‍රථම උපාධියේ අවසන් විභාගය ලියා ප්‍රතිඵල එන තෙක් මාතර නගරයේ පුද්ගලික පන්තියක් ආරම්භ කළෙමි. ඉලෙක්ට්‍රොනික් හා රොබෝ උන්මත්තකයකු වූ මගේ පාඨමාලාව 'ක්ෂුද්‍රපාලක පරිගණක වැඩසටහන්ගතකරණය හා රොබෝ තාක්ෂණය' නම් විය. ඉතා කෙටි ශීර්ෂයකින් යුත් නිසාදෝ එය අතිශයින් ජනප්‍රිය විය. කොතරම් ජනප්‍රිය වූවාද කිවහොත් සූ... ගාලා ශිෂ්‍යයෝ 4 ක් වැනි අති විශාල සංඛ්‍යාවක් ආරම්භයේ සිටියත් පාඨමාලා ගාස්තු එකතුකරනවිට එය 2 දක්වා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වී තිබුණි.

එක් ශිෂ්‍යයෙක් නම් ආරම්භක දිනයේම ඔහු පන්තිය නතර කරන බව මට දිනය අවසානයේ දැන්වීය. මගේ ඉගැන්වීමේ ප්‍රශ්නයක් නැති බවත්, මේ පාඨමාලාවේ අන්තර්ගතය තම අවශ්‍යතාවට නොගැලපෙන බව ඔහු අවංකව කියා සිටියේය. රූපවාහිනී අළුත්වැඩියා කිරීම හා ගෙවල් වයරින් කිරීම ජීවිකාව කරගත් ඔහුට කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු හෝ අධි තාක්ෂණික වාහන පරිගණක පාලක පද්ධති නිර්මාණය කිරීමට අවශ්‍ය නැති බවත්, දුප්පත් පවුල් කාරයෙකු වූ තමාට විවිධ රටා මවන බුදුරැස්මාලාවක් සාදා ගැනීම ප්‍රමාණවත් බවත්, මගේ පාඨමාලාවේ වපසරිය පුළුල් බවත්, මගේ දැනුමට ගරු කරන බවත් ඔහු ඉතා අවංකව දන්වා ඉවත් විය. 

උපාධිය ලබාගත් පසු රැකියාවේ හා පශ්චාත් උපාධියේ කටයුතුවල කාර්යබහුලත්වය හේතුවෙන් මට එම පාඨමාලාව එක් ශිෂ්‍ය කණ්ඩායමකට සීමා කිරීමට සිදුවිය. (එය ත්‍රෛමාසික පාඨමාලාවකි.)

වසර දෙකකට පසු...

අගනුවර අධික කාර්යබහුල ජීවිතයට සමු දී හැදුණු වැඩුණු නගරයට පැමිණියෙමි. එක් දිනක් ඉහත කී අපූරු ශිෂ්‍යයා මට අහම්බෙන් මුණ ගැසුණි. මා පාඨමාලාව ඉගැන්වීම නවතා දමා ඇති බව ඇසූ ඔහු බෙහෙවින් කණගාටු විය. කෙසේ වෙතත් මගෙන් එම පාඨමාලාව නිවසටම පැමිණ තමන්ට අවශ්‍ය ලෙස හැදෑරීමට අවැසි බව කියා සිටියේය. ඒ සඳහා ගාස්තුවක්ද කියන ලෙස ඉල්ලීය. රු. අටදහසකට එය තීන්දු විය.

ඔහු අද දහවල් 12 ට මගේ නිවසට පැමිණ සවස 5 පමණ වනතුරු මා සමඟ එකී කාරණයේ යෙදුණි. හෙතෙම දහවල් ආහාරය නගරයෙන් ගෙන පැමිණ තිබුණෙන් මම සවස 3ට පමණ නිවස තුළ දිවා ආහාරය ගත් අතර ඔහු ෆෝටිකාවට ගොස් අම්මා සහ තාත්තා සමඟ පිළිසඳරක යෙදෙනු ඇසින.

සවස 5.30ට පමණ අදට පාඩම අවසන් කළෙමි. පාඨමාලා ගාස්තුවෙන් කොටසක් ලෙසට රු. පන්සියයක් ඔහු මට දුන් අතර මම එය එතරම් ගණනකට නොගත්තෙමි.
ඔහුගේ යම් විශේෂයක් මා දුටුවේ අන්තිම මොහොතේය. වයස තිස් ගණනක් වූ ඔහු මට දණ ගසා වැන්දේය !
එවෙලේ යම් නුහුරු හැඟීමක් මසිත පහලවුවද මට වඩා ඉතා අඩු වයස් පරතරයක් සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් මට එසේ කළ බව සිහිවී එම හැඟීම මගහැර දැමීමට උත්සාහ කළද සාර්ථක වූයේ නැත, මොහු අඩු වශයෙන් අවුරුදු දහයක්වත් මට වඩා වැඩිමල් බව මට සිතුණි.

කෙසේ වෙතත් මේ සිද්ධිය මම අම්මාට කීවෙමි.
"අනේ එයා ගියාද..? පව් හරිම අහිංසක ගැමි ළමයෙක්. ගොඩක් ඈත ඉඳන් ඇවිත් තියෙන්නෙ. හරියට ගුරු ගෞරවේ. අපිත් එක්ක එකට වාඩි උනේම නෑනෙ කොච්චර කිව්වත්. සීනි තේකොළ, බිස්කට් එහෙමත් ගෙනත් තිබුණා. සල්ලි එහෙම ගන්න එපා කීයටවත්..." 

සල්ලි..? එම පිළිකුල් සහගත වදන මා සිත තුළ දෝංකාර දෙන්නට විය.
මා ඔහුගෙන් මුදල් ගත් බව සිහිවී සිත ගිණියම් විය. 

ඉතා ධර්මානුකූල දිවියක් ගත කරන තමා අසාධාරණ ලෙස තම සේවයට  ගාස්තු අය නොකරන බවත්, බිරිඳ රැකියාවක් නොකරන බවත්, තමා කුඩා දරුවන් දෙදෙනෙකුගේ ආදරබර පියෙකු බවත් ඔහු කී බව මට සිහිවී මට පපුව 'හෝස්' ගා ගියේය. මට එවෙළේ ආවේස වී සිටියේ කිනම් යක්ෂයෙක්ද...?

මා දැන් සිතන්නේ ඔහු අමතා නැවත පැමිණෙන දිනකදී මුදල් රැගෙන නො එන ලෙස ඉල්ලා සිටීමටයි. ඔහුගේ ප්‍රතිචාරය කුමක් වනු ඇත්ද...?

පොල් ගැසීම

මේ කතාව මට කිව්වේ මම කලින් වැඩකරපු සොෆ්ට්වෙයා කම්පැනියෙ අපේ අයි.ටී. මැනේජර් සුදේශ්, අපි දෙන්නා 'අර්ජන්ට්' ප්‍රොජෙක්ට් එකකට නයිට් එකක් අදිද්දි.(ඒ කොම්පැනියෙ හැමදාම ඉතින් 'අර්ජන්ට්' තමා. හදිස්සියක් නැති කස්ටෙක්ගෙ ප්‍රොජෙක්ට් එකක් ආසාවටවත් හොයා ගන්න නෑ ! ඉතින් කාපන්කො පරිප්පුව!!).

සුදේශ් කළින් හිටියෙ මැද පෙරදිග රටක. ඉදිකිරීම් ඉංජිනේරු සමාගමක අයි.ටී. සෙක්ෂන් එකේ.
මේ සමාගමට ලැබුණලු මහා පරිමාණ ජල නළ එලීමේ ව්‍යාපෘති රාජයෙක්. ප්‍රොජෙක්ට් එක භාර වුනේ සුදේශ්ගෙ නවාතැනේ ගජයා, ඉන්දියන් ඉංජිනේරුවෙකුට. නගර දෙකකින් නළ එලාගෙන ඇවිත් අන්තිමට එක තැනකදි දෙකම එකට සෙට් කරන්න තමයි ප්ලෑන් කරලා තිබුණේ.

වැඩ කරපු කම්කරුවොත් වැඩි හරියක් ඉන්දියන් කාරයොලු. මේ අතර ඉඳල තියෙනවා හෙඩ් බාස් කෙනෙක්, මිනිහත් ඉතින් ෆුල් හින්දුස්තාන් ඩයල් එකලු.

වැඩ පටන් ගන්න දවසෙ පොර ඇවිත් අපේ ඉජිංනේරුවට කියනවලු
"සර්, වැඩ පටන් ගන්න කලින් අපි පොල් ගෙඩියක් එහෙම ගහලා වස් දොස් ඇරලා එහෙම කරමු."
එන්ගලංතෙ ඉගෙනගත්තු ඉන්ජිනේරු ඩයල් එක ඕව ගැන විශ්වාසයක් නෑ. එත් කමක්නෑ මුන්ගෙ හිතට හරි හොදයිනේ කියලා අවසර දුන්නලු.

ඔන්න ඉතින් ගජරාමේට වැඩ කරගෙන ගිහින් වැඩේ ඉවර වෙන්නත් කිට්ටුයිලු.
හෙඩ් බාස් තුමා ඉංජිනේරු තැන්ටත් වැඩිය හෙන පණ්ඩිතයලු. 'මෙහෙම කරන්න, අරහම කරන්න' කියලා කස්ටිය දක්කනවලු.
මෙයා ඉතින් ජීවිතේ වැඩි හරියක් ඔය වගේ ප්‍රොජෙක්ට් වලම වැඩ කරපු නිසා අපේ ඉංජිනේරුවත් හිතුවලු 'වැඩේ එළකිරි වගේ දෙයි. ආයෙ වැඩිය ඇඟිලි ගහන්න ඕනිත් නැහැ' කියලා.

ඔහොම ගිහින් වැඩේ ඉවරවෙන දවසක් ආවලු.
මලලසේකර ! ගම කාලා. දෙපැත්තෙන් ආපු බට ලයින් දෙක කොහොමවත් සෙට් කරන්න බැරිලු. මීටර් ගණනක් වෙනස්ලු බිම් මට්ටම (ලෙවල් එක).
දැන් ඉතින් මොකෑ කොරන්නේ කියලා හෙඩ් බාස් තුමා ගිහින් ඉජිංනේරුවට වාර්තා කළාලු ඔලුව කහ කහ.

අපේ ඉජිංනේරු තුමා:
"කමක් නෑ. උඹල පොල් ගෙඩියක් එහෙම ගහලනෙ පටන්ගත්තෙ?"
"ඔ.. ඔව් සර්."
"ගිහින් ගෙනෙන් තව පොල් ගෙඩියක්."

පොරට (හෙඩ් බාස්ට ) දැන් මාර හැපිලු. මිනිහ හිතුවෙ අම්බානකට කුණුහරුප අහගන්න වෙයි කියල. ඔයින් ගියා මදෑ.
"ඒ.. ඒ මොකටද සර්..?"
"ගෙනත් ගහපන් මගෙ ඔලුවෙ. බොලා වගේ උන් විශ්වාස කරල වැඩ බාරදුන්නට..!"