Thursday, October 31, 2013

නුහුරු හැඟුමක්

පසුගිය සතිඅන්තයේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මා ගමන්ගත් බසය, කළුතර බෝධියට මීටර 100ක් තිබියදී පමණ කාර්මික දෝෂයකට ලක්ව නවත්වන ලදී. සියලු මගීන්ට ඉන් බැස කොළඹ දෙසට ධාවනය වන වෙනත් බසයකට ගොඩ වන කොන්දොස්තර මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ආසන්නයේ තිබූ බස් නැවතුම් පොළ වෙත පියමං කළෙමි.

එහිදී මා නෙත ගැටුණේ තරමක් නුහුරු දසුනකි.

ඇය සිඟන්නියකි. "ඔයා හිඟන්නියො දැකලා නැත්ද..?" යි ඔබ අසනු ඇත. 

මා අනන්ත අප්‍රමාණ විවිධ ස්වරූපයේ යාචක කාන්තාවන් දැක ඇත්තෙමි. නමුත් මැයගේ යම් විශේෂත්වයක්  නිරීක්ෂණය කළෙමි.
සාමාන්‍යයෙන් ඇය වයස 30-35 අතරේ පසුවන්නට ඇත. එවැනි වයස්වල අයද සිඟන වෘත්තියේ දුලභ නොවන බව දනිමි. නමුත් ඇගේ තළෙ'ලු වතද, පිළිවෙලකට ගත දැවටූ පිරිසිදු ඇඳුම්ද කියා පෑවේ ඇය මේ ක්ෂේත්‍රයට නවක බවයි.

කිසිවක් නො-ඇතුරූ බිම හිඳගෙන ඇය මගීන්ට අතපාමින් සිටියාය. මා සමගම බසයෙන් බට තරුණයෙක් ඇය පෑ අතට යම් මුදලක් දෙනු දුටිමි.
නමුත් අන් අයගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. හේතුව නොදනිමි. ප්‍රකෘති ශරීරයෙන් සිටින ඇය යම් රැකියාවක් කොට උපයන්නේ නැත්තේ මන්දැයි ඔවුන් සිතනවා විය හැකිය. නැතිනම් ඇය ලොව පැරණිම රැකියාව කරන හෝ යම් දුරාචාරවලට ඇබ්බැහි වූ තැනැත්තියක් යයි උපකල්පනය කරන්නට ඇත. ඒ අනුව ඇයට සිඟමන් දීම එම නාස්ති වියදම්වලට අනුබල දීමක් වනු ඇත.

සාමාන්‍යයෙන් මා ලෝකය පවසන, සිතන දේවල් නිසා කරන්නට සැලසුම් කරගෙන සිටින දේ ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නෙක් නොවේ. නමුත් යම් හේතුවක් නිසා මම ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි. එවිට ඇය දැක්වූයේ උදාසීන මළානික ප්‍රතිචාරයකි. එය ඇයට නුහුරු අත්දැකීමක් නොවන්නට ඇත.

මීළඟට පැමිණි බසයට මා ගොඩවූ අතර අසුනක්ද ලැබුණි.
එවෙලේ එම ප්‍රතික්ෂේප කිරීම එතරම් ගණනක් ගියේ නැති වුවද වැඩි වේලා යන්නට පෙර මා සිත එම සිද්ධිය නිසා නුහුරු හැඟීමකින් තවන්නට විය. එය අනුකම්පාව, වේදනාව, පසුතැවීම, වගකීමක් පැහැර හැරි විට දැනෙන වරදකාරී හැඟීම ආදිය එකට කළතා සෑදුණු වෙනස්ම ආකාරයේ හැඟීමකි.

ඇත්ත වශයෙන්ම ඇය පැරණිම රැකියාව කරන්නියක නම්, සිඟා කෑමේ අවශ්‍යතාවය කුමක්ද?

දැඩි පංචශීල ප්‍රතිපත්තියක පිහිටි මා කිසිදිනක ගණිකාවක ඇසුරු කර නැති මුත් එවැන්නියක පොදු ස්ථානයක දුටුවහොත් හඳුනාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මොනවා වුනත් මටත් පිහිටා තියෙන්නේ පිරිමි ඇසක් නිසාය. එහෙත් එවැනි සාපේක්ෂව 'ඉහළ ආදායමක්' උපයා ගත හැකි වෘත්තියක් කරන අයකු සිඟා කනු ඇතැයි සිතිය නොහැකි ය. කස්ටමර් කෙනෙකු සෙට් වන තුරු අමතර ගානක් ඉපැයීමට පාට් ටයිම් සිඟා කන ලිංගික සේවකයින් මා කිසිදු සමාජ විද්‍යා පර්යේෂණයක කියවා නොමැත. මෙය එවැන්නක් නම් පට්ටම Exceptional Case එකකි.

මෙය ආරක්ෂක අංශවල ඇස් වසන් සිරීමට  යොදන උපක්‍රමයක් යයි කෙනෙකුට පැවසිය හැකිය. එහෙත් පොලීසියේ සිටින්නේ බබ්බු නොවෙති. ගොනා හැරෙනකොට පොල්පැළයට සොරි වෙන බව නොදන්නේ නම් ඔහු උකුසු ඇසක් ඇති ආරක්ෂක අංශ නිලධාරියෙක් වීමට කොහෙත්ම නුසුදුසුය. 

ඒ අනුව මා නිගමනය කළේ ඇය ජෙනුඉන් කේස් එකක් කියා ය. ඇතැම්විට ඇයට පෝෂණය කිරීමට දරුවන්ද සිටිනවා විය හැකිය. යම් කායික හෝ මානසික දුබලතාවයකින් පෙළෙන්නියක්ද විය හැකිය.

ඒ අනුව මා කර ඇත්තේ සමාව දිය නොහැකි වරදකි. අසරණයෙක් නොසලකා හැරීමය. සමාජ වගකීම් පැහැර හැරීමකි. 

ප්‍රමාණවත් තරම් සිඟමන් නොලැබුනහොත්, පණ නළ ගැට ගසා ගැනීමේ එකම හා අවසන් විකල්පය ලෙසට හෙට දිනයේ ඇය ලොව පැරණිම වෘත්තිය තෝරා ගනු ඇත. 

ඇගේ එම තීරණයට මා ද දායක වී ඇත්තේ නොවේද?

Thursday, October 17, 2013

තෙරිපැහැ හිමියන්ගේ මහා පාවාදීම...!

දේශපාලන අරමුණුවලින් තොරව රටේ ජනතාව වෙනුවෙන් තම දිවිකැප කරන්නට, වදනක් හෝ තම පුද්ගලික වාසිය නොසලකා තෙපලන්නට හිතැ'ති කිසිවකුත් මිහිපිට, සුවිශේෂයෙන්ම මේ ලක් දෙරණ නැතුවා සේය. මහා මානව හිතවාදීන් වන සමාජවාදීන් සමාජ සේවය කරන්නේත්, අසාධාරණයට එරෙහිව හඬ නගන්නේත්, මිථ්‍යාවට එරෙහි වන්නේත් ජනයාගේ සිත දිනාගෙන එනයින් කවදා හෝ තම දේශපාලන දර්ශනය ඔවුන් මත පටවා තමන්ට පාලන බලය ගැනීමටය. 

ව්‍යාපාරිකයෝ සමාජ සේවය කරන්නේ බදු සහන ගැනීමටය. 
ආචාර්ය සෝමා එදිරිසිංහ නම් එසේ නොවේ, මිහිබට දෙවඟනක් යයි මිනිස්සු සිතන අතර, ඇය වෙනුවෙන් දෙවොලක් පවා ඉදිරියේදී ගොඩ නැගීමට ඉඩ තිබේ. එහෙත් මා ඇයත් සමඟ හදවත් රෝගීන් වෙනුවෙන් සම්මාදම් කරන කලාකාරුවන් ආදී සුපින්වතුන්, අභ්‍යාස පොත් 5කට ආර්. දුමින්ද සිල්වා හෝ රෝහිත අබේගුණවර්ධන මීළඟ කතරගම දෙවිදුන් ලෙස නම් කරන ජනතාව ගොඩටම වර්ගීකරණය කරන්නට තරම් අන්තවාදී නොවෙමි! ගාල්තැන්නේ ගාමිණී දේවගැති නම් පෙරුම්පුරන බෝසත්වරයෙකි. 

ජනතාව වෙනුවෙන් කෑමොර ගසන මාධ‍යවේදීන්ගේ සැබෑ කැක්කුම ගැන අපට බුද්ධික පතිරණ, සුදර්මන් රදලියගොඩගේ සිට ශ්‍රී රංගා දක්වා මනා කොට පෙන්වා දී තිබේ. සෝම හිමියන්ගේ දේහය මතින් අද දවසේ බුදු දහම රැග ගැනීමේ අභියෝයට මුහුණදීමට අවැසි නෛතික බලය පණගැන්වීමට දියවන්නාවට වැඩිය අපේ මහා සංඝරත්නයේ සහ ගිහි සුපින්වත් උපාසක මහත්වරු ගැන අපේ රටේ ජනතවාට අමතකව ගොස් ඇති සෙයකි. රොජර් සෙනෙවිරත්නගේ සිට රන්ජන් රාමනායක දක්වාම ජනප්‍රිය කලාකරුන්වන් රාශියක්ද අද අපේ පාලක උතුමන් වෙලාය. ලෝක කුසලානය දිනාදුන් අර්ජුනගේ සිට හෂාන් තිලකරත්න පමණක් නොව සනත් ජයසූරිය පවා අති උතුම් පාර්ලිමේන්තුවේය. කවුරුන් කොහොම කිව්වත් යුධ වීරයන්ද සෘජුව හෝ වක්‍රව දේශපාලන ප්‍රවාහයට එක්වී සිටිති. සරත් ෆොන්සේකා අද යුද විරුවෙක් නොව දේශපාලඥයෙකි.

සමාජ ජාලවල හෝ බ්ලොග් අවකාශවල ආකර්ෂණීය සටහන් යොදන සියලු දෙනාම (මමද ඇතුළත්ව) කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමය. එම ප්‍රතිරූපය භාවිත කොට තමන් පිළිගත් දර්ශනය, ආගම, ඇදහිළි, විශ්වාස අන් අය ලවා අනුගමනය කරවීමටය. 
තම ෆේස්බුක් ප්‍රොෆයිලය 100% ක්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් සහ සමාජවාදී නායකයින් වීරයින් කරවීමට වෙන්කරගෙන ඇති මිනිසුන් මා හොඳින් දනිමි. ඒ හැර අන් කිසිවක් ඔවුන් මෙහි කතා කරන්නේ නැත. අවුලක් නැත. ඒ ඔහුගේ අයිතියයි. නමුත් අරමුණ පැහැදිලිය. තමාට හෝ තම මතය දරන්නට බලය ලබාගැනීමය. මේ තරමටම නැතත් අන් සියලු පක්ෂවල අයද එසේ කරති. 

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදන්නට සැදී පැහැදී සිටින අන්තරේ දරුවන්ද කවුරුන් කෙසේ කීවද කරන්නේ දේශපාලනයකි. පුරා සත් වසක් ජාතික සරසවි 4ක දිවි ගෙවූ, පුරා තුන් වසක් පීඨ ශිෂ්‍ය නියෝජිතයෙකු වූ මා එයට සාක්ෂ්‍ය සපයමි. 
අධ්‍යාපනය උන්නතිය වෙනුවෙන් 6% ඉල්ලා මොරදුන් මා ඇතුලු සරසවි ඇතුරන්ද කළේ දේශපාලනයකි. එය මෙහෙයවූ ආචාර්ය නිර්මාල්, අමිල හිමි ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සියලුදෙනාම දේශපාලන දර්ශනයක් අනුගමනය කරන අය වෙති. අප විසින් ගනු ලැබූ වෘත්තීමය ක්‍රියාමාර්ගයට අප විසින් දරන ලද රාජ්‍ය විරෝධී දේශපාලන ආකල්ප තදින්ම බලපෑ බව කියන්නට මැළි නොවෙමු.

'කන්නන්ගර දරුවෝ' ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන් දැඩිව කැපවූ ෆෙස්බුක් පිටුවකි. මමද එහි ආරාධිත ලිපි සපයන්නෙක්මි. සමාජයට හොඳ දේ දායක කිරීමේ අරමුණෙන් 'ගුරු ගීතය', 'අම්මා' වැනි කෘතහස්ථ කෘති එහි වර්ණනා කරමින්ද, ඉන් යම් යම් කොටස් උකහා ගනිමින්ද එහි ලිපි පළ වනු දැක ඇත්තෙමි. එහෙත් ඒ සියල්ලම, සමාජවාදී රුසියාවෙන් බිහිවූ විශිෂ්ට කෘතිවල පරිවර්තන වීම අහම්බයක්ද...? 

ඕනෑම කෘතහස්ත සාරගර්භ නිර්මාණයක,(මා කතා කරන්නේ වානිජ අරමුණෙන් පමණක් ලියූ 'මල් පොත්' ගැන නොවේ යයි ඔබට අමුතුවෙන් මතක් කර දීමට අවැසි නැතැයි සිතමි.) යටි අරමුණු ගැබ්ව ඇත. බොහෝ විට එයින් යම් පුද්ගලයෙක් විසින් ගොඩනගන ලද සමාජ ක්‍රමයක්, එනම් දේශපාලන දර්ශනයක් වෙත පාඨකයින් ආකර්ෂණය කරගැනීම සිදුවේ. 

ලොව බිහිවූ විශිෂ්ට කලාකරුවන් සියලුදෙනාම දේශපාලනයෙන් බැට කෑවෝ වෙති. ඔවුන්ගේ නිර්මාණවලට දේශපාලනය ඈඳා ගැනීම අනිවාර්ය වූ බැවිනි. හෙන්රි ජයසේන විසින් සිංහලට නැගූ 'හුණු වටයේ කතාව' (ද කොකේසියන් චෝක් සර්කල්- බර්තෝල් බ්‍රෙෂ්ට්)හි පවා යටි පෙළ අරුත ලෙස දේශපාලනය දුවයි. බ්‍රෙෂ්ට් ට රට හැරදා පළා යාමට සිදුවන්නේ ඔහුගේ නිර්මාණවලින් රාජ්‍ය විරෝධී දේශපාලනය සියුම් ලෙස සමාජගත වන්නට වූ හෙයිනි.  දේශපාලයනය නොගැවුණු කලා කෘතියක් පවා සොයා ගැනීම උගහටය.  

බලාගෙන යනකොට අඩු වැඩි වශයෙන් 'කාරිය කෙරෙන තුරු කවුරුත් රැවටිල්ල' ය. 

එහෙව් දේශයක මොනයම් ක්‍රමයකින් හෝ ජනතා ජනප්‍රියත්වයක් ළඟා කරගත් තෙරිපැහැ හිමියන් පමණක් උඩුගම් බලා පීනයි යයි සිතීම මුළාවකි. උන් වහන්සේ වෙනස්වන බව මම කල් තියාම දැන සිටියෙමි. උන් වහන්සේ වීරයෙක් කරමින් පළවූ ලිපි දෙස මා උපේක්ෂාවෙන් බලා බැහැර කළේ එහෙයිනි. 

මේ ටික කියන්නට දේශපාලනය ගැන මෙච්චර වැල්වටාරම් ගෙනහැර පෑවේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් විමසිල්ලෙන් බලන්න. මේ සියල්ල දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කරන ලද දේශපාලන නාට්‍යයක ජවනිකාවන් ය. 

මේ නාට්‍ය පිටපතේ වීර චරිත බිහිවීම තවම අවසන් නැත. 

Friday, October 4, 2013

ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින්... (21+)

පිටපත ලැබී මාස 1 1/2ක් පමණ ගතවුවද නිවී සැනසිල්ලේ 'ඉගිල්ලෙන මාළුවෝ' නැරඹීමට විවේකයක් සොයාගත්තේ ඊයේ සවසය.

දෙගිඩියාවකින් තොරවම කිව හැක්කේ සංස්කෘතික, ආගමික, ඊනියා දේශප්‍රේමී තිමිර පට ලිහා බැලූ කල එය මෑත කාලයේ සිනමාවට එකතු වූ අති විශිෂ්ට නිර්මාණයක් බවය. මෙයින් රටේ ආරක්ෂක අංශවලට අවමානයක් වනවා යයි කීම හුදෙක් ප්‍රලාඵයකි. කෙළින්ම කියනවානම් එම පදනමක් නැති උපකල්පනය මත පදනම්ව එය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම තකතීරු, අමනෝඥ ක්‍රියාවක් බව පැවසීමට පසුබට නොවෙමි.  

මා මෙසේ කියන විට මා හා උරණ වන දෙපිරිසක් සිටිති. ඉන් පළමු පිරිස කලා නිර්මාණ රසඥතාවය යන්න කළඳක්වත් පිහිටා නොතිබූ, අගය කළ යුතු කලා නිර්මාණයක් වනාහී එක්කෝ ඓතිහාසික හෝ ආගමික තේමාවක දිවිය යුතුය යන පටු දූපත් මානසිකත්වයේ පිහිටා එය තහනම් කළවුන් විසින් මොළ සෝදන ලද මෙරට විචාර බුද්ධියෙන් තොර ප්‍රේක්ෂකයින්ය. නැතහොත් ඉන්දියාවේ සිවසේනා කල්ලීයේ අදහස් දරන මෙරට සංස්කෘතික හා ආගමික අන්තවාදීන්ය. 

දෙවැන්නන් නම් සිනමා විචාරය සිය බුක්තියට සරි කරගෙන, එය සින්නක්කර ලියාගෙන ඇති මෙරට වෘත්තීය කලාකරුවන් හා කුමක් හෝ මාධ්‍ය ආයතනයකට රිංගා තමන්ට මාධ්‍යවේදී සීල් එක ගසාගන්නා අයවළුන්ය. බ්ලොග් අවකාශයේ කවුරුත් හොඳින් දන්නා 'දුකා' විසින් සත්‍යජිත් රායිගේ 'අපූර් සංසාර්' සිනමා කෘතිය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ තබන ලද ප්‍රකාශයකට මා දැක්වූ අදහස්වලට ප්‍රතිපක්ෂව පුවත්වත් කලාවේදීන් යයි කියාගන්නා ඇතැමෙක් (මේ සංවාදයට නලීන් අයියා -නලීන් දිල්රුක්ෂ සහභාගී නොවුනු නිසා මේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ හැකිය.) අදහස් දක්වා තිබුණේ මා කුහකයෙක් යයි හුවා දක්වමිනි..! මා ලද අධ්‍යාපනය හෝ නිරත වන වෘත්තිය, කලාවට කිසිසේත්ම අනුකූලතාවයක් දක්වන්නේ නැති හෙයින් මට එවැනි අදහස් දැක්වීමක් කිරීමට අයිතියක් නැතැයි යන ආකල්පයක් ඔවුහු දරති. එහෙයින් මෙය සුදුසුකම්ලත් ප්‍රවීණ සිනමා විචාරකයෙක් විසින් කරන ලද සාරගර්භ ගැඹුරු විචාරයක් නොව, අතිශයින් සාමාන්‍ය සිනමා රසිකයෙක් විසින් මතුපිටින් බලා කරන ලද ලඝු නොහොත් අසංක්ෂිප්ත, අපරිපූර්ණ අදහස් දැක්වීමක් ලෙස සැලකිය යුතු මනාය.

හමුදා භටයෙකු විසින් ගමේ තරුණියෙකු අනාථ කර පළා යාමක් මෙහි ප්‍රස්තුතය වන හෙයින් මෙය හමුදාවට අවමානයක් යයි මෙයට එරෙහිව හඬ නගන අයගේ ප්‍රබලම තර්කයයි. නමුත් මැදහත්ව බලන කෙනෙකුට පෙනී යන දෙයක්නම් මෙහිදී ඉස්මතු කර ඇත්තේ ඔහුගේ හමුදා නිලය නොව, ඔහු තුළ ජීවත්වන සාමාන්‍ය මිනිස් දුර්වලතා වලින් හෙබි මනුෂ්‍යයායි. කතාවේ ආරම්භයේදී හැර, එය කෙමෙන් විකසනය වෙද්දී කිසිදු රූප රාමුවක ඔහු සිය නිළ ඇඳුම පිටින් සිටිනු දැකිය නොහැකිය. කොටින්ම ඔහු කරන හැම 'අළුගුත්තේරු' වැඩක්ම කරන්නේ එක්කෝ උපන් ඇඳුමෙනි. නැත්නම් සිවිල් ඇඳුමෙනි. ඔහු පෙනී සිටින ලිංගික දර්ශන වලදීත්, නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයට තරුණිය කැටුව යන්නේත්, පඬුරු ගැටගසන්නේත්, පොල් ගසන්නේත් සාමාන්‍ය ඇඳුමෙනි. එපමණක් නොව අවසන් රූප රාමු පෙළේදී තරුණිය මවාගන්නා විකාර රූපී චිත්ත රූප (තරුණයාගේ ලිංගේන්ද්‍රිය කඩාගන්නා දර්ශනය ඇතුළත්) වල පවා සිටින්නේ නිළ ඇඳුමෙන් සැරසුණු හමුදා භටයෙක් නොව සාමාන්‍ය තරුණයෙකි. මේ දර්ශන ඉහත කී මතය ඔළුවට බලෙන් ඔබ්බවා ගන්නේ නැතිව විවෘත මනසකින් නරඹන විට නිසඟයෙන්ම ඔහුගේ හමුදා භට භාවය අමතකව ගොස් ලිංගික හැඟීම් උද්දීපණය වන, සංවේදනා ඇති, ඉන්ද්‍රීය සංතර්පණය පරම සැපතක් දෙස සිතා එය සොයමින් සැරිසරන, ඇතැම්විට අවස්ථාවාදී පුහුදුන් මනුෂ්‍යයෙකු මැවේ. ඔහු තාවකාලිකව හෝ වසන, එනම් දැඩි මානසික පීඩනයකට නතුවූ නමුදු අවැසි නම් සොයාගත හැකි ඊනියා නිදහසක් පවතින සංදර්භයක එවැනි හැසිරීමකට පෙළඹීම ඔහු හමුදා භටයෙක් වීමෙන් ස්වායත්තය. එසේ නොවුණි නම් එය අස්වාභාවිකය. සිනමා කරු උලුප්පා පෙන්වන්නේ මේ යතාර්ථයයි. මෙහිදී එකී තරුණයා හමුදා භටයෙක්ම වීම ගැන විමතියට පත්වන ඇතැමුහු, මෙය සිනමාකරු සියුම් ලෙස ඔහු නියෝජනය කරන සමස්ථ කුළකය ගැනම වැරදි ආකල්පයක් මැවීමට උත්සාහ කරයි යනුවෙන් චෝදනා කරති. එය හරියට මෙවැනිය : අමරිකාවේ නිෂ්පාදිත මෙක්සිකානු මත්කුඩු බෙදාහරින මාෆියා සංවිධානයක ක්‍රියාකාරකම් අළලා නිර්මිත සිනමා පටයක් නරඹා සමස්ථ මෙක්සිකානු ජනගහනයම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පාතාලයින් යයි නිගමනයකට එලැබීම වැනිය. නැතහොත් චිකාගෝ නුවර ගණිකාවකගේ වෘත්තාන්තයක් නරඹා චිකාගෝවේ සෑම කාන්තාවක්ම ගණිකාවක් යයි උපකල්පනය කිරීම වැන්න. වැඩිය ඕන නැත. ඉන්දියාවේ නිෂ්පාදිත මෙගා ටෙලි නාට්‍ය පමණක් නරඹා ඉන්දියාව සුරපුරයක් ලෙස නම් කිරීම...? මෙහිදී වැරදි චිත්‍රයක් මැවීම ගැන අප සිනමාකරුට දොස් පවරනවාද?

මෙය වඩාත් සරල ලෙස පැහැදිලි කළ හැකිය. ධීවර ජනතාව දරුණු ජන කොට්ඨාශයක් ලෙස හංවඩු ගැසුවා යයි කියා 'ඹබරු ඇවිත්' (ධර්මසේන පතිරාජ) සිනමා පටයට හෝ හෝ මුඩුක්කු ජනතාව අතර අසම්මත සබඳතා පවතීයයි හුවා දැක්වීයයි චෝදනා කරමින් 'පාලම යට' (කුලසේන ෆොන්සේකා) ආදී විශිෂ්ට සමාජ විද්‍යා පර්යේෂණ කෘතීන්ට විරුද්ධව ධීවරයින් හෝ මුඩුක්කු ආශ්‍රිතව සිය දිවිපෙවෙත ගෙවන ජනතාව කැරළි ගැසුවේ නැත. කවුරුවත් එසේ කරන්නට කියා උසිගැන්වූයේද නැත. 

බුදුදහමට අවමන් වන දෙස සංවාදයන් හිතාමතාම ගොඩනගන්නේ යයි යනු තවත් චෝදනාවකි. එහෙත් ඉන් බෞද්ධයෙකු වන මා තුළ නම් එවැනි නොපහන් හැඟීමක් ඇති කරන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට බුදුදහමෙන් සහ බුදු සිරිතෙන් ජීවිතයට ගතහැකි මගපෙන්වීම හරිහැටි ග්‍රහණය කරගැන්මට අසමත් වූ, අනවබෝධය නිසා එය තමන්ට අවැසි ලෙස වැරදි ලෙස අර්ථකථනය කරගන්නා මිනිසුන් නම් දුටිමි. මෙවැන්නන් අප සමාජයේ අප අතරම කොතෙකුත් සිටිති. සිනමා නිර්මාණය තුළ පීරා සෙවීමට අනවශ්‍යය. එහි එය රඟදැක්වීම යථාර්ථය අභිබවා ගිය අතිශයෝක්තියක් නොවේ. 

චීවරධාරියාගේ භූමිකාව ගැන කියන්නට ඇත්තේ ඒ ටිකමය. බුදුන් දෙසූ අවිහිංසාවාදය වෙනුවට ප්‍රචණ්ඩත්වය දිරිගන්වන මෙවැනි භික්ෂූන් යුද්ධය නැගලා ගිය එකල මෙන්ම මෙකලද දුලබ නොවන බව රහසක් නොවේ. මෙහිදී ම'පියාගේ අනුවේදනීය අත්දැකීමක් සිහියට නැගේ.
1980 ගණන් වල මුළ් හරියේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ අහිංසක දමිළ වැසියන්ට සිංහල අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල විය. කුමක්දෝ හේතුවකට මගේ පියාද එහි සිට ඇත. (ඔහු ඒවාට සම්බන්ධ නැත.) මෙහිදී එහි සිටි එක් චීවරදාරියෙක් (ප.ලි. දිඹුලාගල හිමි නොවේ.) සිංහල තරුණයින්ට තවමත් මිය නොගිය පණ අදින දමිළ මිනිසෙක් සහ බුර බුරා නැගෙන ගින්නක් පෙන්වා 
"මෙන්න මූව අරකට ඇදල දාපල්ලා" යයි කියා ඇත.
මෙහිදී දැඩි කම්පාවට පත් මගේ පියා අසා ඇත්තේ
"හාමුදුරුවො බුද්ධාගමේද?" කියාය. ඉන් පසු ඒ අසරණයා පණ පිටින්ම ගිණි ගොඩට ඇද දමා ඇත. 
මේවා අසන විට සිතෙන්නේ සිංහල ජාතිවාදීන් හා ජාතිවාදී භික්ෂූන් ගැනත් වෙනම චිත්‍රපටි හැදෙනවා නම් හොඳය කියා ය. 

ලිංගික දර්ශන ඇතුළත් නිර්මාණ සියල්ලම පහත් පෙළේ ඒවා බවට වර්ගීකරණය කරන පිරිසක්ද සිටිති. ඔවුන්ට කියන්නට ඇත්තේ මෙය ළමා චිත්‍රපටයක් නොවන බව පමණකි.

ලිංගිකත්වය, වාරණය කළ යුත්තක් නොවේ. කායික සන්තර්පණය මූලික මිනිස් අවශ්‍යතාවයකි. නරඹන්නාට එම හැඟීම් උද්දීපනය වන දර්ශන ඇතුළත්, එය කර්මාන්තයක් කරගත් 'පෝර්න් ඉන්ඩස්ට්‍රි' එකක් අමරිකාවේ පවතී. මෙම නිල් චිත්‍රපට නිෂ්පාදනය කරන අය කලාකරුවන් ලෙස ආසියාතික ශිෂ්ට සමාජය පිළි නොගනී. මමද එහි සංස්කෘතියෙන්ම පෝෂණය වූවෙක් නිසා සිටින්නේ එම මතයේමය කිවහොත් එය අවංක ප්‍රකාශයකි. එහෙත් භාවාත්මක ලෙස ලිංගික දර්ශන ඇතුළත් කලා නිර්මාණ අපි කවුරුත් උසස් ලෙස අවිවාදයෙන් පිළිගනිමු..!? 

මේ සම්බන්ධයෙන් නම් සිනමා කරු ඇතැම් සංස්කෘතික සීමා මායිම් බිඳහැර ගෙන ගොස් ඇති බව පෙනේ. ස්ත්‍රී ස්වයං වින්දනය ගැන කතා කිරීමට අප, අප විසින්ම තහනම් නියෝග පණවාගෙන ඇත. ප්‍රවීණ සහ නිර්භය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ 'අග්නිදාහය' ආරම්භයේම පුරුෂ ස්වයං වින්දනයකි. එහෙත් මේ දක්වා සිංහල සිනමාවේ කිසිවෙකුත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් මෙවැනි දර්ශන ඇතුළත් කිරීම නොකළහ. වෙනත් විදියකින් කියනවානම් යථාර්ථවාදීව මෙවැනි සංවේදී සමාජ ගැටළුවක් (ස්ත්‍රීන්ගේ ලිංගික අවශ්‍යතා) පිළිබඳව මේ තරම් විවෘතව කතාකරන්නට කලාකරුවන් මැළි වූහ. සිනමාකරුගේ විශේෂත්වය එයයි. 

පිරිමින්ගේ ලිංගික අසහනය තරමටම ගැහැණුන්ගේ ලිංගික අසහනයද ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බව වටහාගෙන ඇත්තේ මේ 'රැඩිකල් රැල්ලේ' සිනමාකරුවන් පමණද? මෙය ඉතා හොඳින් විශ්ලේශණය කරන ලද වෙනත් නිර්මාණ දෙකක් ලෙස අසෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' සහ විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' හැඳින්විය හැකිය. ස්ත්‍රී සමලිංගික විවාහය ගැන සමාජයේ සැබැවින්ම සිදුවූ සිද්ධියක් පදනම් කරගනිමින් හඳගම නිර්මාණය කළ 'තනි තටුවෙන් පියාඹන්න' තත්පර ගණනක ස්ත්‍රී නිරුවත් දර්ශනයක් ඇතුළත් වූවා යයි 'මෙන්න හඳයා තමන්ගේ ගෑණිගෙ හෙළුව විකුණන් කනවෝ' කියමින් මෙරට ඇතැම් පටු රසඥතාවාදීන් මොර දුන්නා මතකය. ඇත්ත වශයෙන්ම එම දර්ශනය පහත් ලිංගික උද්දීපණය ජතිත කරවීම සඳහා පෙන්වූවක් නොවේ. සමාජයට පිරිමියෙක් ලෙස පෙනී සිටිමින් සිය අමුතු දීගය කන තැනැත්තිය එය 'මාට්ටු වූ' පසු සිය ආත්මාරාක්ෂාව උදෙසා තමාට පහර දීමට පැමිණෙන අයට සිය සළුව උනා පෙන්වයි. එයින් වික්ෂිප්ත වන අප සමාජයේ සුචරිතවාදීන්ගෙන් ඇය තාවකාලිකව හෝ ගැලවුමක් ලබයි. මෙය අවස්ථානුකූලව ගත යුතු හොඳම උපාය මාර්ගය යි. එය ඌරාගේ මාළු ඌරා පිටම තබා කැපීමකි. මෙවැනි දර්ශනයක් නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා නම් එය විකෘති තත්ත්වයකි.

සංඛේත යොදාගනිමින් සන්නිවේදනය කිරීම හා විවිධත්ත්වයෙන් හා අපූර්වත්වයෙන් යුතු දෘෂ්ඨි කෝණ ඔස්සේ මැවෙන රූපරාමු සිනමාකරුගේ නිර්මාණශීලීත්වය මැනවින් සාධනය කොට පෙන්වයි. තේමාව ඔස්සේ දිවීම යන කාරණය ඔස්සේ ඇගයීමකට ලක් කළහොත් කිව හැක්කේ සාර්ථකය කියා ය. මොනවා වුනත් අන්තිමට දමිළ හෝ සිංහල හෝ වේවා තැලෙන්නේ පොඩි මිනිහා යන පරම සත්‍යය සිනමාකරු විවිධ උපක්‍රම මගින් පසක් කරයි. කප්පම් ඉල්ලා නොදුන් තැන වෙඩිකා මියයන දමිළ මනුෂ්‍යයා පිලිබඳවද, කාළකණ්ණි ඉරණමකට ගොදුරු වී විනාශ වන සිංහල පවුල ගැනද මිනිසත් කම අගයන ඕනෑම අයෙකුට ඇතිවන්නේ එකම ආකාරයේ කම්පාවකි. 

සිනමාකරු කොටින්ට කඩේ යනවා යයි චෝදනා ලබන්නේ කෙසේදැයි මට නොතේරෙන්නේ කොටි සාමාජිකයින් පාසැල් තුළට ගොස් දරුවන්ගේ මොළ සේදීම (මෙය කිසිසේත්ම අභව්‍ය නොවන සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් බව මගේ සරසවි දමිළ මිතුරා සනාථ කළේ ය.) සහ කප්පම් නොදෙන නිරායුධ වැසියන් ඝාතනය කරන අයුරු මෙයින් නිරූපණය කර තිබියදී වීම හේතුවෙනි. ඒ අතර සිනමාකරු දමිළයින්ට වූ අසාධාරණය කොටි සාමාජිකයා පාසැලේ උගන්වන පාඩම මගින් සියුම් ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. කොටියාගේ කතාව 100% හරි යයි ඔහු නොකියයි. එයින් ගත යුතු දෙය ගත යුතුයයි ඔහු බුද්ධිමත් ප්‍රේක්ෂයින්ට ආරාධනා කරයි. සිනමාකරුවෙකු සතු ප්‍රබල සන්නිවේදන හැකියාව, අපූර්වත්වය මෙයයි.  

අවසාන වශයෙන් කිව යුත්තේ කලාව පවතින්නේ පාලකයින් සතුටු කිරීමට, වෙනත් වචනවලින් කියනවානම් වන්දිභට්ටකම් කිරීමට හෝ එක්තරා තෝරාගත් පිරිසක් පමණක්, එනම් පොඩි එවුන්, දැඩි ආගමික භක්තියක් ඇත්තවුන්, දේශානුරාගයෙන් ඔද වැටී ගිය උන් ආදී වශයෙන් සීමිත පිරිසක් සතුටු කිරීමට නොවේ. ඊට වඩා පුළුල් දෘෂ්ඨි කෝණ වලින් ලෝකය දකින්නාවූද, පරිකල්පනය කරන්නාවූද අල්ප වූ හෝ පිරිසක් සිටිති. සැබෑ කලාකරුවා ස්ඵර්ශ කළ යුත්තේ පෙරකී සාතිශය බහුරතයගේ රුචිකත්වය පිනවීම අරභයා පමණක් නොව (වානිජ අරමුණුන් නිර්මාණ කරනවා නම් එසේ කළ යුතුවේ.), දුලභ වූ නමුදු ගැඹුරු ලෙස නිර්මාණයක් කියැවිය හැකි ඉහළ රසඥතාවයෙන් යුතු ප්‍රේක්ෂකයින්ටද අසාධාරණයක් නොවන ලෙසිනි. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ (පවුරු වළලු, පුරහඳ කළුවර) , තරමටම විමුක්ති ජයසුන්දර (සුළඟ එනු පිණිස), ඉනෝකා සත්‍යාංගනී (සුළං කිරිල්ලී) අසෝක හඳගම (තනිතටුවෙන් පියාඹන්න, අක්ෂරය) (මොවුන්ගේගේ යටි අරමුණු කුමක් වුවද කලා නිර්මාණ ලෙස ඔහුගේ නිර්මාණ සියල්ලම ඉතාමත්ම උසස් තත්ත්වයේ පවතී.) වැනි කලාකරුවන් අතළොස්ස අතරට සංජීව පුෂ්පකුමාරද එක්වී හමාරය.

Tuesday, October 1, 2013

දශක දෙකකට පෙර අද වන් දවසක....

ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ඇවිල්ලා....හරියටම ලෝක ළමා දිනේදීම...සමහරු මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලත් අර්ථකථනය කරාවි.

සමහරු මේකට අම්මලාගේ විභාගේ කියලත් කියනව. ඒ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?

තරඟකාරීබව උපරිම නිසා ළමයින්ට වැරදි ආදර්ශ දීල හරි කොහොමහරි තමන්ගෙ ළමය මේ කඩඉමෙන් පන්නගන්නනෙ ගොඩක් දෙමාපියො උත්සාහ කරන්නෙ. පාස් උනාටම මදි, ටවුමෙ ලොකුම ඉස්කෝලෙට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබන්නත් ඕනෙ. ඒ විතරක්නම් මදෑ, අහවලාගෙ ළමයට වඩා එක ළකුණක් හරි වැඩිපුර ගන්නත් ඕනි...නැත්නම් මොන මදි කමක්ද..?

වැරදි ආදර්ශ කීවම මතක් වුණේ...මං දන්න අම්ම කෙනෙක් ඉන්නව, දරුවගෙ පැවරුම්, ගෙදර වැඩ කරන්නෙ එයා...! එක පන්තියක් ඉවරවෙනකොටම තව එකක් පටන්ගන්න නිසා දරුවට ඒව කරන්න වෙලාවක් නැතිලු.

මම ජීවත් වෙන මාතර නගරයෙ ශිෂ්‍යත්ව උපකාර පන්ති පටන් ගන්නෙ 1 වසරෙන්. මාතර නගර කෙන්ද්‍රයෙ ඉඳල කිලෝමීටර් 10-15ක් විතර යනකම්, ඒ කියන්නෙ නාගරික සහ අර්ධ නාගරික ගෙවල්වල ඔය වයසෙ ඉන්න හැම දරුවෙක්ම වගේ ඔය රැල්ලට ගොදුරු වෙලා...හවස් වරුවෙ විතරක් නොවෙයි, නිවාඩු දවස්වල, පෝය දවස්වල පවා දරුවො ගෙවල්වල නැහැ. නගරයෙන් කි.මී. 5ක් විතර දුරින්, අර්ධ නාගරික යයි කියන අපි ජීවත්වන වටපිටාවෙත් එහෙමයි. අල්ලපු ගෙදර හුරතල් පොඩි එකීල දෙන්න ඇහැට දකින්න පෙරුම් පුරන්න ඕන. හාව හඳ දකින්න වගෙ තමයි ඇහැ ගැටෙන්නෙ.

අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කළින් නම් ඔහොම සූදුවක් තිබුණෙ නෑ. ඒ කියන්නෙ ශිෂ්‍යත්වෙට පන්ති යන ප්‍රවණතාවයක්. ශිෂ්‍යත්වය කියල එකක් තිබුණත් කාටවත් ගානක් තිබුණෙ නෑ. කොටින්ම මම ඒක ලියපු දවසට කළින් දවසෙත් ගත කළේ කෙළි දෙළෙන්. මම විතරක් නොවෙයි අපෙ ගමේ පහුවදාට ශිෂ්‍යත්ව විභාගය ලියන්න හිටපු ගොඩක් අය.

නිවාඩු කාලයක් වුණු එදා උදේ තාත්ත ඇහැරවල 'ඉස්කෝලෙ යං' කීවම මම පුදුම වුණා. ඇයි නිවාඩු කාලෙ තාම ඉවර නෑනෙ.
තාත්ත මාව මෝටර් සයිකලේ ඉස්සරහ ලගේජ් එකේ (ඒක තැපැල් නයින්ටියක්) තියාගෙන ඉස්කෝලෙට ගියා.

"ඔයා මේකෙන් පාස් වෙන්නම ඕන. නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා" "පාස් වුනොත් අරක අරන්දෙනව." වගේ කතා මුකුත් අහන්න ලැබුණෙ නෑ.

මුළින්ම තිබුණෙ ගණිතය ප්‍රශ්න පත්‍රය. පැය 1 1/2 හෝ දෙකයි. ඊට පස්සෙ සිංහල ප්‍රශ්න පත්‍රය.

මේ මොන කරුමයක්ද කිය කිය හිටපු මම ඕනවට එපාවට ලියල දාල ගෙදර ආවෙ වෙනද ඉස්කෝලෙ ඇරල එන මානසික තත්වයෙන්මයි. විශේෂ සැහැල්ලුවක්, බලාපොරොත්තුවක් කියල දෙයක් තිබුණෙ නෑ. අමුතුවෙන් නිදහස් වෙන්නය කියල එහෙම ඔළුවෙ බරක් තිබුණෙ නෑනෙ.

ඉතින් මීට අවුරුදු විස්සකට විතර කළින් අද වගෙ දවසක ඒ දවස උදා වුණා. එතකොට මම හිටියෙ ටවුමෙ මාමගෙ බෝඩිමේ. අම්මල ගමනක් ගිහිල්ල. මාමයි මාමගෙ යාළුවෙකුයි එක්ක මම ටවුමෙ බෝඩිමේ නවත්වල ගියා.

මාමල පාඩම් කරන නිසා මම හරිම කම්මැලි කමෙන් හිටියෙ. නොහිතපු වෙලාවක තාත්ත මෝටර් බයිසිකලෙන් ආව. එයා විශේෂ සතුටකින් ඉන්න බව පෙණුන. මාමගෙ අතට මොනවද දෙනව දැක්ක. මොනවද මොනවද කිව්ව. මට කිසිදෙයක් තේරුණෙ නෑ.

මාම මගෙ ඔළුව අතගාල තාත්ත දීපු පොදියත් අරන් කුස්සියට ගියා. ටික වෙලාවකින් පීරිසි කෝප්ප 4කට මුදවපු කිරියි, පැණියි බෙදාගෙන ආව.
අපි හතරදෙනා ප්ලාස්ටික් සහ යකඩ හැඳිවලින් කිරි කෑව. මට ඒත් අමුත්තක් දැනුනෙ නෑ.

කන ගමන් දෙමස්සිනෝ කතා කරපු දවල් වලින් මට තේරුණ මම මීට මාස 3කට විතර කළින් ලියපු අර ශිෂ්‍යත්වෙ කියන කෙහෙල්මල් විභාගෙ පාස් වෙලා කියල. ඒත් අමුතු සතුටක්වත් දුකක්වත් දැනුනෙ නෑ.

"මේ ළකුණු වලින් රාහුලේටම යන්න පුළුවන් වෙයි. 164 යි නේද? ගිය පාර රාහුලේට ගත්තෙ 160න්."
මාම එහෙම කිව්වම තමයි මට විශේෂ හැඟීමක් ඇතිවුනෙ. හැබැයි ඒක සතුටක් නෙමෙයි, දුකක්..! අවංකවම..!!

1 වසරෙ ඉඳලම නෙමෙයි ඊටත් කළින් ඉඳලම මම අපේ අම්මයි තාත්තයි එක්කමයි ඉස්කෝලෙ ගියේ. එයාල උගන්නපු ගමේ ඉස්කෝලෙටමයි. ගමේ ඉස්කෝලෙ හරිම ආදරණීය තැනක්. සමවයසෙ යාළුවොන්ගෙ විතරක් නොවෙයි ඉහළ පන්තිවල අයියල අක්කලගෙත් නොමද ආදරය මැදයි මම හැදුනෙ. මේ ඔක්කොම දාල මීට වඩා හොඳයි කියල කියන්න පැහැදිලි සාක්ෂියක් නැති, නොදන්න නුහුරු තැනකට, නානඳුන මිනිස්සු ගොඩක් මැද තට්ට තනිවම අතරමං වෙනව කියල මතක්වුණාම ඇතිවුණෙ ඇත්තටම කණගාටුවක්.  
මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් පරිච්චේදයක් පෙරළුණු ඒ දවස මට අවංකවම දැනුනෙ එහෙමයි.

අද මේ මොහොත වෙනකොටත් ඒ හේතුව මුල් කරගෙන සතුටු වෙන අතළොස්සට වඩා දුක්වෙන පිරිස වැඩි බව අපි සිහි කරන්න ඕන. ඇයි දෙයියනේ කීයෙන් කී දෙනාද බලාපොරොත්තු විදියටම සමත් වෙලා ඇත්තෙ? දරුවන්ට නම් ගාණක් නැතුව ඇති. 
ඒත් අම්මලා තාත්තල කී ලක්ෂයක් විරෝ පට්ටම් ගහගෙන, අල්ලපු ගෙදරට මූණ දෙන්න බැරුව ඇත්ද...?

හැබැයි ඒ අම්මල තාත්තල මේක බලනවනම් එකම එක දෙයක් විතරක් මට කියන්න තියෙනව.

මේ රට හොල්ලපු විශිෂ්ටයෝ, දක්ෂ කලාකාරයෝ, ක්‍රීඩකයෝ, විද්‍යාඥයෝ, අපේ සමාජයේ ලොකුයි කියා ලොකුවටම ගණන් ගන්න දොස්තරලා, ඉංජිනේරුවෝ වුනත් හැමෝම 5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් කරපු අය නෙමෙයි...