Thursday, January 31, 2013

අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ට.....


මේ ආදරණීය අවවාදය අනාගත වෛද්‍යවරුන්ට සහ ඉංජිනේරුවන්ටයි.....
උසස් පෙළ කඩඉම තරණය කර, වෛද්‍ය විද්‍යාලයේ හෝ ඉංජිනේරු පීඨයේ දොරකඩ අභියස සිටින ආදරණීය දරුවනි,
ඔබ දැවැන්ත ජයග්‍රහණයක් ලැබ ඇති බව අවිවාදිතයි...එහෙත් මේ ටිකත් මතක තබාගන්න...
වෛද්‍ය හෝ ඉංජිනේරු යනු සමාජයට සේවය සලසන දැඩි සමාජ වගකීමකින් යුත් තවත් එක් වෘත්තියක් පමණි. 
එය ආඩම්බර වීමට හෝ ඔලුව උදුම්මාගැනීම්ට තරම් කාරණයක් නොවේ.
තමන් යටතේ සේවය කරන අහිංසකයන්ගේ දුක, කඳුළ, වේදනාව නොහඳුනන, කර්කශ වචනයෙන් ඔවුන්ගේ ආත්ම ගෞරවය කෙළෙසන, හිතක් පපුවක් නොමැතිව ඔවුන් සූරා කන මහ ලොකු ඉංජිනේරුවන්ට වඩා, 
නොසැලකිල්ල නිසා අසරණ රෝගීන්ගේ අත් පා අහිමි කරන වෛද්‍යවරුන්ට වඩා,
(සැබෑ මිනිසුන්ද නැතුවා නොවේ. එවැන්නෙක් වන්නට අදිටන් කර ගන්න.)
ගෙවල් ගානේ ගිහින් ඇට බෙදන, රු. 10,000 වැටුපට ගිණි අව්වේ පිච්චෙමින් ඇවිදින කලා උපාධිධාරීන් මේ රටේ ජනතාවට වඩාත් සමීපය, ආදරණීයය, ගෞරවණීය ය.
ඒ නිසා, තවත් කිසිම කෙනෙකුගේ වෘත්තියක්, අධ්‍යාපන මට්ටමක්, විෂය පථයක් හෙළා දකින්න එපා.
නගර සභාවේ කුණු අදින සේවකයාගේ පවා සේව‍ය මේ රටට ඉතා වටිනේය. ඔහුටද ඔබට මෙන්ම ආත්ම ගරුත්වයක් ඇත.
මතක තබාගන්න, ඔබ ජනතාවගේ සේවකයන් මිස ඔවුන් අතර රජවරුන් නොවේ.
ඔබට දී ඇත්තේ වරප්‍රසායක් නොව සේවය කිරීමට වරමකි.
මිනිස් ගුණ දම්, උස් මහත් කළ දෙමාපියන්, දෑස පෑදූ ගුරුවරුන් පමණක් නොව ඔබේ ඉගෙනුමට සිය දහදියෙන්, කඳුලෙන්, රුධිරයෙන් සම්මාදම් කරන මේ රටේ අසරණ මිනිසුන් කවදාවත් අමතක කරන්න එපා.
රටක්, සමාජයක් බබලවන්නේ ලොකු මිනිසුන් නොව හොඳ මිනිසුන්ය. 
මිනිසුන් ඔබට පෙරලා ගරු කරන්නේ ඔබ ඔවුන්ගේ ගරුත්වය රැක්කොත් පමණි.

Sunday, January 27, 2013

හලාල් නොවූ මිනිසත්කම


පටු මං මාවත් රාශියක් ඔස්සේ රිය පදවා මම වෙහෙසට පත්වී සිටියෙමි. වැලිගම නගරය පසු කර කිලෝමීටර 3ක් පමණ ඇතුළට මා ගමන් කරන්නට ඇත. පාර පුරා ඉබාගාතේ යන එළු රෑන මට නිතැතින්ම මතකයට ගෙන ආවේ කරුණාරත්න දිවුල්ගනේගේ 'රාමලාන් සඳ බලන්න එන්න පාතිමා' ගීතයයි.

දැන් මා පැමිණ සිටින්නේ තුං-මං සන්ධියකටයි. මා මිතුරියගේ මංගල ආරාධනා පත්‍රය ගෙන ආවේ හොඳ වෙලාවටය. මේ කළබළ අස්සේ මට උත්සව ශාලාවේ නම අමතකව ගොස් තිබිණ. දන්නා කෙනෙකුගෙන් අසා දැන ගැන්මට මම තීරණය කළෙමි.

"ඉස්ලාම් සෙක්‍රටේරියට් හෝල් එක කොහෙද දන්නෙ නෑ නේද....?" 
මා ඇසූ පැණයට තරුණයාගෙන් ලැබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ. ඔහු දමිළ භාෂාවෙන් කියූ දෙය අනුමාන වශයෙන්වත් මට සිතාගත නොහැකි විය. මා අවට බැලුයේ වෙනත් පිළි සරණක් සොයමිනි. 

"ආ..මාත්තියා...ඔහොම කෙළිම්ම ඉස්සරහට ගිහින් එළොලු කඩේ එක්ක තියෙන පාරෙන් හරවන්ඩ." රිය කවුළුවෙන් එබී බැලූ තලතුනා මිනිසෙකු කීය.

"බොහොම ස්තුතියි." 
මා වීදුරුව වසා ගත්තා පමණකි. එකම වේලාවේ දෙපැත්තකින් පැමිණි වාහන කිහිපයක්ම එතන එක පොදියට එක් වී කිසිදු වාහනයකට එහා මෙහා විය නොහැකි වාතාවරණයක් නිර්මාණය විය. අනෙක් වාහන සියල්ලම තොර තෝන්චියක් නොමැතිව නළාව නාද කරන්නේ මට අප්‍රසාදය පළ කරන්නට මෙනි.

කොහොමටවත් වාහනය ඉදිරියටනම් යා නොහැකිය. පසුපසට ගැනීමට රිවර්(ස්) ගියරය දැමූ මා දුටුවේ එයද අසාර්ථක ප්‍රයත්නයක් බවයි. මා රිය පිටුපස දැනටමත් දිගු වාහන පෝළිමක් ඉමහත් නොඉවසිල්ලෙන් පසුවූහ.

මා පත්වූයේ අන්ත අසරණ තත්වයකටය. මේ අතර මගේ රියට සමාන්තරව තිබූ වෑන් රථයේ රියැදුරු යමක් පවසන බව දුටිමි. ඔහුගෙන් යම් වැදගත් උපදෙසක් අපේක්ෂාවෙන් මම වීදුරුව පහත් කළෙමි.
එකෙණෙහිම මා සවනත වැකුණේ අතිශය කඨෝර අසැබි වදන් සමූහයකි.
ඔහුගේ කෝපය සමනය කිරීමට මා මළානික සිනාවක් පෑවද ඔහු නොවේ ඉන් සැලුනේ. අසභ්‍ය වචන භාවිත කළ චතුර වාග් විලාශය අනුව නම් අනිවාර්යයෙන්ම ඔහු සිංහල ජාතිකයෙකි.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ මේ වූ දෙයට මම අන්දමන්ද වී කිසිවක් කරකියාගත නොහෙන තත්වයට පත්වීමි.
මේ අවස්ථාවේ මගේ පිළිසරණට ආවේ අසළ තිබූ වසා තිබූ කඩයක් ඉදිරිපිට කල් මරමින් සිටි රැවුළ වවාගත්, කෙසඟ පුද්ගලයෙකි.
මට පිටුපසින් තිබූ වාහන පෙළ තරමක් පිටුපසට ගමන් කරවීමට ඔහු සමත් විය. 

"එන්න මාත්තියා." 

පැටළුණු නූල් බෝලය ලිහාගත් මම, "බොහොම ස්තුතියි. මම යනවා." කියන්නට අතින් සන් කළෙමි.

ඔහුගේ මුහුණේ ඇඳී තිබූ උපේක්ෂා සහගත මද සිනාව, ස්වයංක්‍රීයව වැසී යන අඳුරු පැහැ ගන්වන ලද වීදුරුව තුළින් වුවද පැහැදිළිව දුටිමි. 

Thursday, January 3, 2013

මිනිසෙකුට ආගමක් අවශ්‍යමද....?


(මෙහි එන එකදු සිදුවීමක් හෝ චරිතයක් මන: කල්පිත නොවේ.)

සිදුවීම 1

නිද්‍රාශීලීව, ඝන අන්ධකාරයේ වෙළී තිබු ගම්මානය සලිත වී ගියේ හෙණ හඬින් පුපුරා ගිගුම් දුන් වෙඩි හඬෙනි.
"අර අහිංසකයට වෙඩි තියන්න ඇති අර නරුමයෝ." තාත්තා කීවේ ශෝක භරිත හඬිනි.
"කවුද ලැම්බට් මුදලාලිටද..?" ඒ අම්මාය. ඇගේ හඬද ඉකි බිඳින ස්වරයකි.
"ඔව්. අරුන් මුදලාලිගෙන් උන්ගෙ සංවිධානෙ වැඩවලට සල්ලි ඉල්ලුවලු. මට ඊයෙ හවස කිව්ව."
"ඒ අහිංසකයට කොයින්ද ඔය දුප්පත් කඩෙන් එච්චර ආදායමක්..? දරු පවුල නඩත්තු කරන්නෙත් හරිම අමාරුවෙන් නේ."
පෙරදින සවස භූමිතෙල් ගෙන ඒමට තාත්තා සමඟ මම ඔහුගේ වෙළඳ සැලට ගොඩවුනෙමි.
මට එක්වරම සිහියට ආවේ අප ආපසු එන්නට හදන විට ඔහු මගේ හිස අතගා නොමිළයේම ටොෆි කිහිපයක් අත මිට මෙළැවූ අයුරුය.
එවන් හිත හොඳ, ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ ඔහු කිසියම් පිරිසක් විසින් ඔහු නොමැතිව අනාථ වන දරු පවුල ගැනවත් නොසිතා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණ.

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 2

මේ හා සමාන සිදුවීමක් ඊට මාස කිහිපයකට පසුව සිදුවිය. මෙවර බිල්ල වූයේ ගමේ නීති විරෝධී මත්පැන් අලෙවි කළ අප ගම්වැසියෙකි.
දිළිඳු භාවයේ අන්තයටම එරී සිටි ඔහු, ම'පියාගේ ඇතුළුව ගමේ යමක් තේරෙන අයගේ ඉල්ලීම්, අවවාද, මගපෙන්වීම සහ මුදල්/ද්‍රව්‍යමය උපකාර මත එම සමාජ විරෝධී රැකියාවට සමුදීමට මහත් කැමැත්තෙන් සිටිබව පසුව දැනගතිමි.
කොහොමටත් ඔහු ඉතා අහිංසක, ලෙන්ගතු මිනිසකු බව මගේ පුද්ගලික අත්දැකීම විය. එකම වැරැද්ද වූයේ වැරදි රැකියාව පමණි. පවුකාර ජීවිතයෙන් මිදීමට දින කිහිපයක් ඉවසීමෙන් බලා සිටි ඔහුට එක්තරා කල්ලියකින් මරණ වරෙන්තු නිකුත්කර තිබිණ. සිය දරුවන්ගේ සහ බිරිඳගේ කුසතුළ සිටින තවමත් මෙළොව එළිය නොදුටු බිළිඳාගේ නාමයෙන් සිතක් පපුවක් නොමැති නරුමයන්ගෙන් ජීවිතය අයැද සිටි ඔහුට එම අවස්ථාව නොලැබිණ. ඔහු ඝාතනය කරන ලද්දේ කුඩා දරුවන් හා නවමස් ගැබිණි බිරිඳ ඉදිරිපිටදීමය.

සිදුවීම 2 - අතුරු කතාව

දරාගත නොහැකි කම්පනයෙන් අප ඒ පෙදෙස අතහැර ගියද, මගේ පියාගේ සොයුරා තවමත් එහිම වාසය කරයි. මා නව යොවුන් තරුණයකු වූ පසු අපි දිනක් එහි ගොස් ක්‍රිකට් සෙල්ලම් කළෙමු. ගමේ මන්දමානසික දරුවකු අප සෙල්ලම් කරන තැනට අවුත් මහත් සේ හිරිහැර කරන්නට විය. පසුව මා දැනගත්තේ ඒ සිය පියා වෙඩි කා මිය යද්දී මවුකුස තුළ සිටි දරුවා බවයි.

(කොළඹ - පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව නගරයට කි.මී. 2ක් මෙහා, බැඳිවැව 'කිරි සෙන්ටර් එක' බස් නැවතුමේ බැස එතැනින් ඇතුළට ඇති ගුරු පාරේ මීටර් 500ක් පමණ ගමන් කර, 1988-89 කාලයේ ඒ ගමේ විසූ ඕනෑම ගම් වැසියෙකුගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව ඔබටම විමසා දැනගත හැකි ය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 3

අප ගමන්ගත් ලංගම බස් රථය කිසියම් පිරිසක් විසින් නවත්වන ලදී. අනතුරුව සියළුම මගීන්ට, රියැදුරුට සහ කොන්දොස්තරට ඉන් බසින්නට අණ ලැබිණ. ඉන් පසුව සිදුවූ සියල්ල ඔබට සිතාගත හැකිය. එම දරුණු ක්‍රියාව ගැන විරෝධය පෑ වැඩිහිටියෙකුට ලැබුණු පිළිතුර මෙසේය: 
"සහෝදරයා. අපි රජයට දැඩිව විරෝධය දක්වන්න ඕනෑ."
"මාමේ, ඒ වුනාට මේ අපේ බස් එකනේ" එවක සය වස් දරුවකු වූ මා වේදනාවෙන් දැවෙන හදවතින් කෑගෑමි. ඵලක් වූයේ නැත.
රට කරනවුන් ගෙදරින් ගෙනා මුදල් නොව, සුවහසක් අහිංසක ජනතාවකගේ කඳුල, සුසුම, දහඩිය මෝහයේ ගිණිසිළු වලින් වැසෙන්නට විය.
(මට අදටත් ඇති විස්මය නම්, සයවස් දරුවකුට තේරෙන දෙයක්වත් තේරුම් ගන්නට මොළයක් නොතිබූ මන්ද-බුද්ධිකයින්, අදටත් ඇතැම් කොටස් වල වීරයන් වන සැටිය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 4

එකල ගමේ රූපවාහිනී යන්ත්‍රයක් තිබූ නිවෙස් අතලොස්සෙන් එකක්, අප නිවස විය. 'නයිට් රයිඩර්' වෘත්තාන්තය පළමුවරට මෙරට විකාශය කළේ එසමයෙහිය. මෙය බැලීමට මගේ පියාගේ ඉහළ පන්තිවල ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ද පැමිණෙති. ඔවුන් එය නරඹා පෙරලා ආපසු යමින් තිබූ දිනෙක, අප නිවසේ ගෙට්ටුව සෙළවෙනු ඇසී තාත්තා විදුලි පන්දම දල්වා බැලීය. ඔහුගේ ආදරණීය ගෝලයන්, ගේට්ටුවේ වූ ලියුම් පෙට්ටියට යමක් දමනු පෙනිණ.
ඔවුන් ගිය පසු එම කඩදාසි කැබැල්ල ගෙනා තාත්තා, එය හඬ නගා කියැවීය.
"ආණ්ඩුවේ දණ්කුඩ පඩි කන බල්ලෝ, තෝ හෙටම ඉස්කෝලේ ගමන නැවැත්තුවේ තොපේ පවුලම මරණවා දැනගනියවු!"

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 5

මා සරසවියේ අවසන් වසර සිසුවෙකු ලෙස සිටි කාලයේ , අධ්‍යයන නිවාඩුවක් අතරතුර (මාතර දිස්ත්‍රික්කයේ ඈත කෙළවර පිහිටි) මහගෙදර ගිය දිනක, ගමේ මළගෙදරක නිදිවැරුමට සිදුවිය. මෙහිදී මට අපූරු පුද්ගලයෙකු මුණගැසිණ. 
එතරම් උගත් නැතත්, විශාල හිස සහ පුළුල් නළල් තලය කියා පාන්නේ ඔහු ජීවන අත්දැකීම් හා බුද්ධියෙන් පරිණත වූයෙකු බවය.
ඔහු 88-89 කාළයේ 'සමාජවාදී' දේශපාලනය කර අනූනවයෙන් දිවි බේරාගත්තෙකි.
සංවාදය අතරතුර මම අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි.
"ඒ දවස්වල ඕව කරනකොට පවු කියල හිතුන්නැත්ද?"
මෙතෙක් උපේක්ෂාසහගතව, උපශාන්තව තිබූ ඔහුගේ මුහුණ එක්වරම අඳුරු විය.
"පවු...?   න්..නෑ..." තත්පර කිහිපයකට පැවතියේ දැඩි නිහඬතාවකි.  මද වේලාවකට පසු ඔහු යළි කට හඬ අවදි කළේ කළකිරුණු ස්වරයෙනි.
"ඒ දවස්වල අපිට සහෝදරවරු ඉගැන්නුවෙ ඔක්කොම ආගම් බොරු, ඒවගෙන් කරන්නෙ මිනිස්සුන්ට හිතන්න බැරි කරන එක විතරයි කියල."
ඔහු ටිකක් නැවතී කල්පනාවේ නිමග්න විය. 
"පවු සිද්ධ වෙන්නෙ බුද්ධාගම් කාරයොන්ට, අපි ආගමක් අදහන්නෙ නැති නිසා අවුලක් නෑ කියලයි එයාල අපේ ඔළුවලට දැම්මෙ." 
ඔහු මෙසේද කීය.
"ඒ වුනාට දැන්නම් හිතෙනව උන් මහ ප්‍රෝඩාකාරයො ටිකක් කියල." ඔහු එසේ කීවේ අවංකවමද යන්න මට ගැටළුවක් විය. නමුත් ජීවිතයේ අත්දැකීම් වලින් තෙම්පරාදු වූ ඔහුගේ මුහුණේ වූයේ එය වගකීමෙන් පවසන ලද බැරෑරුම් ප්‍රකාශයක් බවයි.

වේලාව පෙරවරු 2ට ආසන්න වූයෙන් මා සූදානම් වූයේ නිවස බලා යාමටයි. අවසාන වශයෙන් ඔහු මට මෙවන් අවවාදයක් දුනි.
"පුතා කැම්පස් කිව්ව නේද? ඔය කාලකණ්ණි තක්කඩින්ට අහුවෙලා තරුණ ජීවිතේ නිකරුණේ විනාස කරගන්න එපා. ඕව දැන්ම තේරෙන්නෙ නෑ. වයසෙ වැරැද්ද!"



Wednesday, January 2, 2013

වචන දුසිමක් කළ විප්ලවයක්.....


මූනිඡ්ඡාවට හොඳ කියනවාට වඩා ඇත්ත කීම කෙතරම් අගනේදැයි තහවුරු කරන සිදුවීමක් අද සිදුවිය. 

සෙමෙස්තරයේ අවසන් දේශනයේදී, සිය ආචාර්යවරයා ගැන ඇගයීමක් කිරීමට සිසුනට අවස්ථාවක් හිමිවේ. දේශන මාලාව ගැන සිය අවංක අදහස්, ලිඛිතව නමුත් නිර්ණාමිකව සඳහන් කිරීමට කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලැබේ.

මා අවසන් වරට දේශනය කළේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෛකල්පිත විෂයයකි. සිසුන් ඉහත කී ඇගයීම් පත්‍රිකා මත සිය අදහස් දක්වා තිබුණි. බහුතරය ගුරුවරයෙකු ලෙස සතුටු විය හැකි අදහස් වූ නමුත් පරස්පර අදහස් සහිත පත්‍රිකා 2ක් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

ඉන් එකක්, මගේ ඉංග්‍රීසි සැර වැඩි බව කියා තිබුණි. එය ඇත්තකි. මා කළින් සේවය කළ සරසවියෙන්ද එම චෝදනාවම එල්ල විය. හැකි තරම් එය හදා ගැනීමට (විකල්ප සරල වචන භාවිත කිරීමට) මා උත්සාහ කළද තවදුරටත් එය පිළිබඳව සැලකිල්ලට බඳුන් කිරීමට මම ඉටා ගතිමි.

වැදගත්ම අදහස් දැක්වීම එය නොවේ. අනෙක් එකය. එහි සිංහල අදහස මෙවැනිය : 

"අද මොඩ්ල් පේපර් එක පට්ට අමාරුයි. මේ විදියට ගියොත් නම් මේ යකා අපිව ෆේල් කරනවා..!" 

මෙය කියවූ මට ඇති වූයේ තරහක් නොව හද කම්පා කරන හැඟීමකි. මේ වන විටත් පිළියෙළ කර අවසන් කිරීමට ආසන්නව තිබූ ප්‍රශ්න පත්‍රය තවදුරටත් ලිහිල් කිරීමට මම වහාම තීරණය කළෙමි. 

අවසන් වසර සිසුවකු විෂයයක් අසමත් වීමේ වේදනාව මම හොඳින් දනිමි. මා එසේ අසමත් වී නැති නමුදු මා සමග එකම බෝඩිමේ විසූ හොඳම මිතුරන් ඒ දුකට පත්වූ අයුරු තවමත් මතකය.

අවුරුදු 4ක් එකට කා බී, සියල්ල එකටම කර, අවසානයේ මා ඔහු තනිකර උපාධිය ගත් දිනයේ ඔහුගේ දෑසේ තිබූ කඳුල මට කිසිදා අමතක නොවේ.

එම නිසා, මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයකු අසමත් වීම යනු මා අසමත් වීමයි. 

මේ අයුරින් සිතන්නට හැකි වෙනත් වෘත්තියක් වේද...? ගුරු වෘත්තියේ අරුමය මෙය නොවේද...? මෙය ලබන්නට මා කොපමණ පින් කර ඇත්ද...? ජීවිතය අතිශයින් තෘප්තිමත්ය.