Friday, April 26, 2013

අගනුවර දේපළ මිළට ගන්නේ බලාගෙනයි...

මේ ළඟදී අප හිතවතකු ඉතා දුක් මහන්සියෙන් හම්බකරගත් රුපියල් මිලියන ගණනක මුදලක් මරු කටට යා නොදී වලකා ගත්තේ අනූ නවයෙනි. මෙන්න ඒ ත්‍රාසජනක කතාපුවත..!

රු. ලක්ෂ 45ක මිළකට සුපිරි සහසුකම් සපිරි අංග සම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ යයි යන ආරංචියට ඔහු එහි ගියේය. පුවත සැබෑවකි. නිවස පිහිටා තිබෙන ස්ථානය අනුව සහ නිවසේ වටිනාකම අනුව බැලූ බැල්මටම එය ගජ වාසියක් බව ඕනෑම කෙනෙකුට පෙනී යයි. එවන් නිවසක් ඉඩම සමඟ ගොඩනැගුමට දැන් කාලේ අඩුම ගානේ රු. ලක්ෂ 85ක් වත් වැයවන බව කාගේත් මතය විය. එහෙත් නිවස විකුණා දැමීමට එහි හිමිකරුට තිබූ අසාමාන්‍ය නොඉවසිලිවන්ත භාවය නිසාම අප හිතවතාට තරමක සැකයක් ජනිත වී තිබුණි.

ඒ අනුව ඔහු කළේ නීතිවේදිනියක අප තවත් මිතුරකුගේ බිරිඳගේද සහය ඇතුව එහි යම් නීතිමය ගැටළුවක් පවතීද යන්න සොයා බැලීම ය. 

පුදුමයකට මෙන් එහි කිසිදු නීතිමය අවහිරයක් නොවීය. ඔප්පු පිරිසිදුය. තනි හිමිකරුය. වෙනත් උරුමකරුවන් හෝ නඩු නැත. අප හිතවතා අපමණ සතුටු වූ අතර ගණුදෙනුවට සූදානම් විය. 

එහෙත් යම් ගුප්ත රහසක් මෙහි ඇතැයි අප හිතවතුන්ට ඉවෙන් මෙන් දැනී තිබුණි. ඒ අනුව මිළ ගෙවීමට ප්‍රථම අනුමාන කරන ලද  සියළු සැකකටයුතු කරුණු එකින් එක සොයා බැලීමට තීරණය කරන ලදී. 

ඒ අනුව මෙය යම් අපරාධයක් සිදුවූ ස්ථානයක්ද යන්න සොයා බලන ලදී. එම පරීක්ෂණයෙන් අදාල නිවස සමත්වූ අතර මීළඟට අවධානය යොමු කරන ලද්දේ එය අනවසර ගොඩ කිරීමක් මත සිදුකරන ලද්දක් ද, වැසි කාලයට යට වන්නේද, යම් කාලයකට පමණක් පවතින ගන්ධයකට ආදී පීඩාවකට ලක්වන්නේද (ආසන්නයේ යම් රසායනික නිෂ්පාදන සහිත කර්මාන්තශාලාවක් ඇත්ද.) හා අසල්වැසියන්ගෙන් බාධා එල්ල වන්නේද යන කරුණුයි. එම චෝදනා වලින් අදාල නිවස එකින් එක නිදහස් වෙද්දී අප හිතවතාගේ සතුට මෙන්ම සැකයද තීව්‍ර විය.

කාටත් අමතක වූ කරුණක් කිසිවකු විසින් මතක් කරන ලදී. එනම් මෙය අනාගත සංවර්ධන ව්‍යාපෘතියකට අත්පත්කර ගැනීමට සැලසුම් කර තිබේද යන්නයි. අරුමයකි ! එවන් අවදානමක්ද නොමැති බව පසක් කරගන්නා ලදී.

අවසාන වශයෙන් නිවසේ හිමිකරුගේ වරිතය සහ ව්‍යාපාර පිළිබඳව සොයා බලන්නට තීරණය කළේ මිතුරන්ගේ බලපෑමටය. ඔහු ඉතාම ධාර්මික ව්‍යාපාරිකයයෙකු බවද ඔහුගේ සියළුම ව්‍යාපාර වල සුජාත භාවය පිළිබඳ කිසිදු ගැටළුවක් කිසිදා ඇති වී නොමැති බවද අනාවරණය විය. ඔහු ගැන නරකක් කී කෙනෙකු සොයා ගැනීම උගහට විය.

මේ අතර පොරොන්දු වූ මුදලට වඩා තවත් ලක්ෂ කිහිපයක්ම අඩු කිරීමට නිවසේ හිමිකරු කැමැත්ත පළ කළේ අප පුදුමයෙන් පුදුමයට පත් කරමිනි. ඒ සමඟම ඔහුගේ පරම ඉල්ලීම වූයේ හැකි තරම් ඉක්මනින් ගණුදෙනුව අවසන් කරන ලෙසයි.

එවර නම් අප සිතුවේ නිවසේ හිමිකරු යම් මිත්‍යා විශ්වාසයක් මත එල්බ ගනිමින් යම් නක්ෂත්‍ර කරුවකුගේ නොමඟ යැවීමකට හසුවී අනවශ්‍ය පාඩුවක් කරගැනීමට තරම් බොළඳ වී ඇති බවය.

එහෙත් අපට වැරදී තිබිණ. අන්තිම මොහොතේ සත්‍යය හෙළිවූයේ අප හිතවතාගේ පූරුවේ පිනකටය.

මෙම නිවස පිහිටා තිබෙන්නේ කඩුවෙළ සිට කොස්වත්ත හරහා පාර්ලිමේන්තුවට යන මාර්ගය අද්දර ය. මෙය ඉදිකරන දිනවලම එක්තරා දේශපාලඥයෙකුට මෙය ගැන සිතක් පහළ වී ඇත. ඔහු කර ඇත්තේ නිවසේ හිමිකරුට සිය සිතැඟි හෙළිකිරීමයි. නමුත් තබා ඇති ලංසුව ඉඳුරාම නොවටිනා එකක් බව දැනගන්නට ලැබිණ.
මේ ගැන උරණ වූ හිමිකරු එයට එකඟ වී නැත. එහෙත් ඔහු කළේ කළු ගලේ ඔළුව ගසා ගැනීමක් බව වටහා ගන්නා විට ප්‍රමාද වැඩිය.

ලංකාවේ දේශපාලන බලය හිමිවීම යනු කප්-රුක පහළ වීමක් යැයි දේශපාකයින් සතු ආකල්පය සනාථ කරමින් සිය සිතූ පැතූ සම්පත අයත් කරගැනීමට (සාධාරණ ක්‍රියාපිළිවෙත පළ නොහෙන කල.) එකී දේශපාලඥයා සිය සුපුරුදු උපක්‍රමය නොහොත් විකල්පය භාවිත කර තිබිණ. එනම් ජීවිතයද, භෞතික දේපළද යන්න තෝරාගැනීමට අදාල නිවසේ හිමිකරුට අවස්ථාවක් දෙන ලද බව සිය පාතාල සඟයින් මගින් දැන්වීමයි. 

දාඩිය මහන්සියෙන් හම්බකරගත් දේපළ සිය මරණයට හේතුවක් කරගන්නට කැමැත්තේ කවුරුන්ද...? ඔහු සිය 'ජීවිත තර්ජනය' කාගේ හෝ ඇඟේ ගසා බේරෙන්නට දරන ලද උත්සාහයට තවපොඩ්ඩෙන් ගොදුරු වන්නේ අප හිතවතාය.

මේ මර උගුලෙන් අප හිතවතා ගැළවුනද, මේ වනවිටත් වෙනත් අහිංසකයෙකු එයට ගොදුරු වී ඇතුවා විය හැකිය. තමා ජීවිත කාලයක් දුක් මහන්සියෙන් හරිහම්බ කරගත් සේසතම කොහේවත් යන තක්කඩි රැළක් බුක්ති විඳිනු බලා හූල්ලනවා විය හැකිය.

ඒ නිසා කරුණාකර දේපළක් මිළදී ගැනීමට පෙර (ඉහත කී කරුණු වලට අමතරව.) එය රටේ සීදේවි දේශපාලක උතුමෙකුගේ ඇල්ම බැල්ම වැටුණු එකක්දැයි මනා ලෙස තහවුරු කර ගන්න...!     

Wednesday, April 24, 2013

එක්තරා ඓශ්චර්යමත් රටක...


වර්ෂ 1933
වෙතයි,
ආචාර්ය ෆර්ඩිනන්ඩ් පො(ර්)ෂ,
මෝටර් රථ ඉංජිනේරු නිර්මාණ ශිල්පී, 
ජර්මනිය.

මහත්මයාණෙනි,

ජර්මනියේ ජනතාවගේ පාලකයා ලෙසට මට මගේ රටේ සෑම පුරවැසියෙකුටම පෞද්ගලික වාහනයක් භාවිත කරනවා දැකීමට අවශ්‍යයි.
ඔබ ඒ සඳහා වෝල්ක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව අරඹන්න. ඒ සඳහා සියලු පහසුකම් හා ප්‍රතිපාදන මගේ රටවැසියන් වෙනුවෙන් සලසා දෙමි.
ස්තුතියි.

මීට,
ඇඩොල්ෆ් හිට්ලර්.



එකුන්විසිවැනි සියවස එක්තරා රටක....


මේ රටේ මිනිස්සු වාහන පාවිච්චි කරනවා වැඩියි. ඒය අධෛර්‍යමත් කිරීමට සෑම යතුරු පැදියකටම අවම බදු මුදල වශයෙන් රු. 70,000ක් ද
කුඩා මෝටර් රථයක් සඳහා අඩුම බදු මුදල රු. 750,000ක්ද වශයෙන් සංශෝදනය කරන්නට නිර්දේශ කරමි.

මීට,
ඓශ්චර්යමත් රටේ මුදල් ඇමති

Sunday, April 21, 2013

මේ දවස්වල එක්තරා රටක.....


පෙනෙන තෙක් මානයේ ඇත්තේ ගිණියම් වූ වැලි තලාවයි...ඒ ශුෂ්ක කාන්තාරය හැර වෙන පිළිසරණක් නැති පීඩිත වූ ගෝත්‍රික ජන කොඨ්ඨාශයක්....රත් වී කැකෑරෙන ලෙය ඔවුන් දරදඬු මිනිසුන් කිරීමට සමත්වී ඇත. ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය හිඟ කමින්  අපිරිසිදු කමින්ද, එයින්ම පැණ නැගුණු රෝග පීඩා, ආසාධන වලින්ද පීඩිත වී සිටින ඔවුන්ට ඇති ජීවත් වීමේ අරගලය මදිවට ඒ මරු කතරම සිය ජීවිත තෝතැන්න බවට පත්කරගත් වෙනත් ගෝත්‍රික කණ්ඩායම් වල ආක්‍රමණ වලටද නිතර මුහුණ දීමට සිදුවේ. එය සම්පූර්ණයෙන්ම කාන්තාරය සතු අතිශයින් සීමිත සම්පත් බෙදාගැනීම සඳහා වූ තරඟයකි. අන් ගෝත්‍රික කණ්ඩායම් සතු සම්පත් කොල්ලකෑම එහි මූලික අරමුණ විය. 

විටෙක මේ සියළු ගැටළු වලට විසඳුම් සෙවීම පසෙකලා එකම ගෝත්‍රික කණ්ඩායමේ සාමාජිකයින් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවේ. ඉතා සුළු කරුණු මුල්කරගෙන පවා පටන් ගන්නා මේ ගැටුම්, අතිශය දරුණු මුහුණුවරක් ගනී. ඇතැම්විට කෙළවර වන්නේ ගෝත්‍රයේ පැවැත්ම උදෙසා වටිනාම සම්පත වන මිනිස් සම්පතට සැලකිය යුතු තරම් විනාශයක් අත් කර දෙමිනි. විශේෂයෙන් බාහිර ආක්‍රමණ වලට සාර්ථකව මුහුණ දීමට නම් පිරිස් බලය ඉතා වැදගත් සාධකයකි. එනම් එකම ගෝත්‍රයේ උන් ඇණ කොටා ගැනීම යනු සිය'තින් ගෙළ සිඳ ගැනීමකි. නමුත් මේ බව පෙන්වා දීමට තරම් ජගතෙක් ඒ ගෝත්‍රය තුළ නොවීය. අනෙක් අතට කර්කෂ පරිසරය මහින් දරුණු සිත් ලබා ඇති ඔවුන්, කෙනෙකුගේ අවවාදයක් පිළිපදින්නට තරම් විනයක් ඇති පිරිසක් නොවූහ.

නමුත්....සිය ගෝත්‍රයේ මිනිසුන් වැටී ඇති මේ නරාවලෙන් ඔවුන් ගොඩ ගැනීමට එක්තරා මනුෂ්‍යයෙකුට අවංකව අවැසි විය. ඔහු මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම්, හුදකලාව ගැඹුරු කල්පනාවක නිමග්න වෙමින් සොයන්නට තීරණය කළේය. ස්වාභාවිකව පිහිටි එක්තරා ගුහා පද්ධතියක් තුළට වී ඔහු දින ගණන් අහස පොළොව ගැටලන්නට කල්පනා කළේ ය. චින්තන ධාරාව එකම දිශානතියකට දැඩි මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව යොමු වීම ඔහුව යම් අධ්‍යාත්මික දියුණුවක් කරා ගෙනයන්නට සමත් විය. ලැබූ මානසික සංවර්ධනය උපයෝගී කොටගෙන ඔහු සිය ගැටළු වලට විසඳුම් සෙවීය. එවිට ඔහුට පෙනී ගියේ විශ්වයේ මිනිසාට අභිබවිය නොහැකි යම් බලවේග පවතින බවත්, ඒ පිළිබඳව සිය ජනයා දැනුවත් කිරීමෙන් ඔවුන් තුළ ඒ පිළිබඳව යම් බියජනක හැඟීමක් ජනිත කර, එමගින් ඔවුන් යම් තාක් දුරකට හික්මවිය හැකි බවය. මේ බලවේගය ඔහු 'දෙවියන්' ලෙස නම් කළේය. 

විශේෂයෙන්ම, මේ බලවේගයට වැරදි කරන අයට දඬුවම් කළ හැකිය යන කාරණය ඉස්මතු කළහොත්, අශිෂ්ටත්වය සෑහෙන දුරකට පාලනය කළ හැකි බව සක්සුදක් සේ පැහැදිලිය. 

මේ සංකල්පය හුදෙකලාව ඉදිරිපත් කළ නොහැකිය. මේ සමඟම යම් නීති පද්ධතියක් ද ඉදිරිපත් කළහොත්, එය මූලික හර පද්ධතියක් ලෙස සමාජගත කිරීම සාර්ථක විය හැකිය. ඒවා සර්වබලධාරියෙකු විසින් පණවන ලද දේව නීති බැවින් උල්ලංඝනය කිරීමට ඔවුන් අනිවාර්යයෙන්ම පැකිළෙනු ඇත. කොයි ජගතත් අන්තිමට දඬුවමට ස්වභාවයෙන්ම බියක් දක්වන හෙයිනි.

ඔහු සාර්ථක විය..! කෙතරම් සාර්ථක වීද යත්, ඔහු ඉදිරිපත් කළ සංකල්ප, ආගමක් ලෙසටද, ඔහු ඔවුන්ගේ ආගමේ නායකයා බවටද ඔවුහු ඒකමතිකව පිළිගත් හ. මගපෙන්වීමට කෙනෙකු නොමැතිව අයාලේ ගිය යාත්‍රාවක්, විනාශය පෙනි පෙනී සිටියදී දක්ෂ කප්පිත්තෙක් එහි පාලයන භාරගැනීමෙන් උද්දාමයට පත් නැවියන් මෙන්ම ඔවුහුද මේ ආගම හා එයටම බද්ධ වූ නීති පද්ධතිය දැඩිව වැළඳ ගත් හ.  

මෙම නීති අතිශයින්ම ප්‍රායෝගික විය. ශාකමය ආහර අතිශයින්ම දුලබ වූ සන්දර්භයක සත්ව අවිහිංසාවාදයට පැවැත්මක් නැත. බාහිර කොල්ලකෑම් වලට මුහුණ දීමට ඇති සාර්ථක හා ප්‍රයෝගික ක්‍රමෝපාය සතුරාටත් මෛත්‍රී කරමින් බවුන් වැඩීම නොව එම අසාධාරණට විරුද්ධව සංවිධානාත්මකව අවි අමෝරා ගැනීම සහ පිරිස් බලය හැකි තරම් ඉහළ නැංවීමයි.

මේ සඳහා ඇති එකම විසඳුම නම් හැකි තරම් දරුවන් බිහි කිරීමයි. සන්නද්ධ සටන් වලට මුහුණ දී මියයෑම සහ වෙනත් හේතු නිසා ජන ගහණයේ පිරිමි ගහණයට වඩා ස්ත්‍රී ගහණය අධික බව නිරීක්ෂණය කරන ලදී. මේ සඳහා විසඳුම ඒ වනවිටත් ජනප්‍රිය ක්‍රමක්ව පැවති බහු-බාර්යා ක්‍රමය අනුමත කිරීමයි. තවද, ගෝත්‍රයේ පැවැත්මට අතිශයින්ම තීරණාත්මක සාධකයක් වන මිනිස් සම්පත වැඩිදියුණු කිරීමට දායක වීම ස්ත්‍රීන් සතු ප්‍රධානතම කාර්යභාර්ය බව වටහාගන්නා ලදී. මෙවන් පසුබිමක, ඔවුන්ට වෙනත් අරමුණුවලට යොමුවීමට ඉඩදිය නොහැක. කොයි දේ කරන්නත් ගෝත්‍රයේ පැවැත්ම තහවුරු වී තිබිය යුතු නොවැ? එනම් ඔවුන්ගේ හිතුමතයට වැඩකිරීම නොහොත් අයිතිවාසිකම් ගැන කතාකිරීම සම්පූර්ණයෙන්ම අර්ථශූන්‍ය ය. උගෙනීම වැනි ගෝත්‍රයේ පැවැත්මට සෘජුවම දායකත්වයක් නොදෙන ක්‍රියා වෙනුවට පුරුෂයන් හා එක්වී සිය පිරිස් බලය ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගෙන් අපේක්ෂා කළ පරම යුතුකම විය.


ජලය දුලභ වූ පරිසරයක, නිතිපතා ස්නානය කිරීම ප්‍රයෝගික නැත. අනෙක් අතට, දුහුවිල්ල විසින් නිරන්තරයෙන්ම ගත අපිරිසිදු කරනු ලබයි. විශේෂයෙන්ම, ගැහැණුන්ගේ දිගු වරලසට ධූලි වැකීම මහත් හිරිහැරයකි. මේ සඳහා ඉදිරිපත් වූ විසඳුම සම්පූර්ණ කාන්තා සිරුරම ඇඳුම් වලින් ආවරණය කිරීමයි. ඇත්ත වශයෙන්ම මෙයට වෙනත් හේතු ද නොතිබුණා නොවේ. කඨෝර දිවි පෙවෙතක් ගෙවූ කාන්තාර වාසී පිරිමි, ජීවන සටනෙන් හා සතුකරගත් සම්පත් අන්‍යන්ගෙන් රැක ගැනීමට සටන් කිරීමන් හෙම්බත් වූවෝ, ඔවුන්ට තිබූ එකම සහනය සහවාසයයි. මේ නිසා ඔවුහු ස්වභායෙන්ම සාපේක්ෂව තරමක් කාමුක ගති පැවතුම් ඇත්තෝ වූහ. ආවරණය නොවූ කාන්තා සිරු, ඔහුන්ගේ හැඟීම් අවුස්සන්නට සමත් වීම ස්වභාවිකය. නමුත් ශිෂ්ටත්වය කරා ක්‍රමිකව පියමං කරන සමාජයක මෙහි යම් පාලනයක් තිබිය යුතුයි. මේ නිසා කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් ඉහත කී ක්‍රියාමාර්ගය ගන්නට සිදුවිය.

මීට අමතරව, ඒ වන විටත් පැවති යම් ගෝත්‍රික චාරිත්‍රවලට ආගමික අරුතක් දී දිගට පවත්වාගෙන යාමට සිදුවිය. උදාහරණයක් ලෙසට චර්ම ජේදනය. ජලය මද වීමෙන් නිරතුරුව පිරිසිදු කරගන්නට නොහැකි වීමෙන් ජනනේන්ද්‍රිය කෙළවර වියැළීම සහ විෂබීජ නිසා ආසාධන තත්වයන් හටගත් අතර, එම සම්භාවිතාව අවම කිරීම එහි අරමුණ විය. ඇත්ත වශයෙන්ම එම චාරිත්‍රයට ඉතා දිගු ඉතිහාසක් තිබූ අතර, අළුතෙන් හඳුන්වාදීමක් අවශ්‍ය නොවීය.

වවාගෙන කෑම (එසේ කිරීමට අවැසි යටිතළ පහසුකම් ඔවුන් සතු නොවීය.) වෙනුවට මෙම ගෝත්‍රිකයින් උනන්දු වූයේ සම්පත් හුවමාරුව මගින් තමන්ට වඩාත්ම වාසිදායක ගණුදෙනුවලට එළැබීමයි. මේ නිසා පසුකළෙක වෙළදාම බවට විකාශනය වූ භාණ්ඩ හුවමාරුවට, ඔවුහු නිතැතින්ම දක්ෂයෝ වූහ. එය ඔවුන්ගේ ජාන වලටම කා වැදින.  


මේ දක්වා මෙහි දිගහැර ඇත්තේ එකී ජන කොටසේ ඉතිහාසයයි. ඔවුන්ගේ වත්මන් තත්ත්වය මෙතැන් සිට....

කාලයක් ගතවන විට ඔවුහු සිය නිජබිම වූ මරුකතර අත් හැර සශ්‍රීක ප්‍රදේශවලට සංක්‍රමණය වූහ. භාණ්ඩ හුවමාරුවට අතිශය දක්ෂයින් වූ ඔවුන්ගේ සේවය ගැන පැහැදුනු ඇතැම් ජන කොටස්, ඔවුන්ට සිය ගැහැණු පාවා දී, ඉඩකඩම් ප්‍රදානය කර සිය රට වැසියන් බවට පත්කර ගත් හ. 

ඔවුන්ද සිය සංස්කෘතික අනන්‍යතාව රැක ගනිමින් වසර දහස් ගණනක් එක්තරා රටක සතුටින් සමාදානයෙන් කල් ගෙවූහ. මේ සඳහා සිය අනන්‍යතාවයට හානියක් නොවන පරිදි යම් යම් දේවල් වෙනස් වීම් වලට බඳුන් වීමට සිදුවන බව ඔවුහු බුද්ධිමත්ව වටහා ගත් හ. 

කාන්තාවන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම වැසීමට අවශ්‍ය නොවන බවද, ඔවුන්ට අධ්‍යාපන වරම් ලබා දීම ගැටළුවක් නොවන බවද වටහා ගන්නට අපහසු නොවීය. ශාකමය ආහාර බහුල මෙහි, ඉවක් බවක් නොමැතිව සත්ත්වයන් මරාකෑමට අවශ්‍ය නොවන බව ද මැනැවින් අවබෝධ කරගත් මොවුන්, මාංශ භක්ෂකයින් නොවී ඒ රටේ අනෙකුත් ජනකොටස් අතර ජනප්‍රිය ආහාර ගන්නට හුරු වූහ. ඔවුන් සමඟ අධ්‍යාපනය ලැබූහ, ඔවුන් සමඟ විවිධ රැකියාවල නිරත වූහ.....

ගෝත්‍රික සමාජයේදී සිය ගෝත්‍රයෙන් පිටත මිනිසුන් සතුරන් ලෙස සැලකුවද, නිතරම සිය ගෝත්‍රිකයින් කල්ලි ගැසෙන්නට, වෙන් වන්නට උත්සාහ කළද, අන් ගෝත්‍රිකයින්ගේ ඇදහිළි හා විශ්වාස හෙළා දකින්නට පෙළඹුනද ඒ ගති පැවතුම් සෑහෙන දුරකට වෙනස් කරගෙන අන් මත, අන් ජාතිකයින් සහ ඔවුන්ගේ ඇදහිළි, විශ්වාස ඉවසීමට හා ඊට ගරු කිරීමට පවා ඔවුන් දක්ෂ ලෙස සමත් වූහ. කොටින්ම ඔවුහු ඒ රටේ සංස්කෘතියට හා ජීවන රටාවට අනුගත (adapt) වූහ. මෙසේ ඔවුන් හා එම රටෙහි අනෙකුත් ජනවර්ග සමඟ ඔවුහු ඉතා සමඟියෙන්, සහජීවනයෙන් සතුටින් ජීවත් වූහ. අන් ජාතිකයින් පිළිකෙව් කර කොන් වනවාට වඩා, පාරිභෝගිකයාගේ භූමිකාව නිරූපණය කර ආර්ථික වශයෙන් ජීවත් කරවන ඔවුන් අතරම සහෝදරත්වයෙන් ජීවත් වීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

එහෙත්....මේ සියල්ල 'ඇල්ලුවේ' නැති පිරිසක් වූහ.

ඒ කාන්තාරයේ දිවි පෙවෙතින් ලද ඒ පරිසරයට ගැලපෙන සේ සකස් කරන ලද නීති පද්ධතිය, එළෙසින්ම සිය ජනයා ජීවත් වන වෙනත් සමාජවලත් ක්‍රියාත්මක කළ යුතු බව විශ්වාස කරන දැඩිමත ධාරීන්ය. 

සිය ජාතිකයින් අන්‍ය ජාතිකයින්ගේ ගතිසිරිත් 'හයර් එකට' ගෙන ඇති බවත්, කාලානුරූපව සහ පරිසරයට අනුව අනුගත වනවා යයි කියමින් මූලික හර පද්ධතියට හානි පණවා ඇති බවත් මොවුහු විශ්වාස කළහ. 

ඔවුන්ට අනුව මෙය බරපතල වරදකි. වහාම මේ වරද නිවැරදි කළ යුතුය....! එනම් ගෝත්‍රික සමාජයේ ප්‍රගුණ කළ ගති සිරිත් නැවත සිය ජනයා අතරට ගෙන යා යුතුය. එය කාන්තා සිරුර සම්පූර්ණයෙන් වැසීම, ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහෝසි කිරීමන් ආරම්භ කර අන් ඇදහිලි අදහන්නන් පිළිකෙවු කර (හැකිනම් ඔවුන්ට සහ ඔවුන්ගේ භෞතික හා අධ්‍යාත්මික දේපළ වලට හානි පමුණුවා) ඔවුන්ගෙන් වෙන් වීම දක්වා දිවෙන පුළුල් 'රැඩිකල්' වෙනසකි. අවාසනාවකට මෙලෙස සිතන්නන් බිහිවන්නේ පෙරකී අවිහිංසක සාමාකාමී ජනයා අතරින්ම ය.

ඒ අනුව ඔවුහු කාටත් නොදැනී සංවිධානය වන්නට වූහ. මොවුන්ගේ ඒකායන අරමුණ වූයේ අන්තවාදී මත නොදරණ සාමාන්‍ය වැසියන්ගේ මොළ සෝදා ඔවුන් ආගමික උන්මත්තකයි කිරීමයි. මෙය කෙතරම් දුරට ක්‍රියාත්මක වූයේද යත්, ආයුධ සන්නද්ධ කල්ලි පවා නිර්මාණය කිරීමට ඔවුහු සමත් වූහ. එකී රටේ වෙනත් ජාතීන් දෙකක් අතර අනවරථ යුද්ධයක් පැවතීම එයට වෙස් වළාගත් ආශිර්වාදයක් විය. කවුරුත් අවධානය යොමු කළේ යුද්ධය දෙසටය. ඒ මදිවට රටේ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වූ මෙවන් ඇතැම් කල්ලි වලට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබිණ. එයට හේතුව වූයේ රටේ නිල හමුදාවල සතුරා වූ, රටේ දෙවන බහුතර ජාතිකයින් නියෝජනය කරනවා යයි කියාගත් ජාතිවාදී සංවිධානයකට යටත් නොවී සිටීමට ඔවුහු සිය ආයුධ බලය පෙන්වීමය.

කලක් යනවිට ඒ රටේ යුද්ධය අවසන් විය. මේ දැඩිමත දාරීහු හීන් සීරුවේ ක්‍රියාත්මක වූහ. කාටත් නොදැනී අහිංසකයින්ගේ 'බ්‍රේන් වොෂ්' කරමින් ඔවුහු යළිදු ගෝත්‍රික, කල්ලිවාදී සමාජයකට තල්ලු කරන්නට සිහින බලමින් සිටියහ (තවමත් සිටිති.) ඒ සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලක් ඔවුන් සතු විය. ඔය කියන රටේ දැනට ක්‍රියාත්මක නොවන, කාන්තාර සමාජයේ තවමත් ක්‍රියාත්මක අශිෂ්ට නීතියක් එරටට හඳුන්වාදීම එම සැලසුමේ ප්‍රධාන සන්ධිස්ථානයකි (milestone). ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට රටේ අධිකරණ ඇමතිවරයා ඇතුළු පිරිස නම්මවා ගැනීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි. සිය ජාතිකයින් වැඩිපුර ජීවත්වන පළාත්වල කාන්තාරයේ දක්නට ලැබෙන ශාක ආදිය රෝපණය කරමින් සියුම් ලෙස කාන්තාර ගෝත්‍රික මානසිකත්වය ගොඩනගමින් සිටිති.

විද්වතුන් යයි කියාගත් අන්තවාදීන් පිරිසක්, එම සැලසුමේම තවත් කොටසක් සියුම් ලෙස ක්‍රියාත්මක කරන්නට ඉදිරිපත් විය. 

එනම් පාරිභෝගිකයින් සිය ජාතිකයින් සහ අන්‍ය ජාතිකයින් බෙදා වෙන් කිරීමයි. සියවස් ගණනක් අඛණ්ඩව පැවති පාරිභෝගික සහජීවනය සියුම් ලෙස අභියෝගයකට ලක් කරන ගමන්ම, අන්‍ය ජාතිකයින්ගේ මුදල් සම්මාදම් කර එය සිය ආගමික ව්‍යාප්තිවාදී කටයුතු වලට යොදාගැනීමට මොවුහු සමත් වූහ. මෙහි අරමුණ වූයේ සිය ජාතියින් අන්‍ය ජාතීන්ගෙන් මානසික වශයෙන් වෙන් කර තැබීමයි. ඔවුන් විශේෂ වරප්‍රසාද ලැබිය යුතු බව අන්‍ය ජාතිකයින්ට දැන්වීමයි. දැනටමත් ඔවුහු රටේ සියළු වරප්‍රසාදවලට සමව අයිතිය බුක්ති විඳින අතරම, ඇතැම් විට විශේෂ වරප්‍රසාද ද උදා.විවාහ නීතිය. භුක්ති විඳින බවද ඔවුහු අමතක කළහ. අවාසනාවකට මෙසේ සෑම දෙයක්ම එක් ජන කොටසකට විශේෂයක් කරන්නට යාම කෙළවර වන්නේ ඔවුන් සමාජයෙන් බෙදා වෙන් කිරීමෙන් බව එරටෙහි කිසිවකුත් වටහා නොගත් හ. අන්තවාදීන්ගේ අරමුණද එයයි.

මේ අතර අන්තවාදී මත දරන්නේ නැති සහජීවනය අගය කරන සිය ජාතිකයින් බිලි බා ගැනීමට ඔවුහු (විද්වතුන් යයි කියා ගන්නා) අපූරු උපක්‍රමයක්ද භාවිත කරති. එනම් ජාත්‍යන්තර මට්ටමේ මෙවන් මත දරන අන්තවාදීන් ගෙන්වා දේශන පැවැත්වීමයි. බේරුවල නම් නගරයක පවත්වන ලද මෙවැනි එක් දේශනයක පිටපත් ලියුම්කරුටද ලැබිණ. ඒ ලියුම්කරුගේ මිතුරකු මාර්ගයෙනි. නිවැරදි ආගම තමන් අදහන එක පමණක් බවත්, අන් ආගම් වලට ගරු කළ නොවන බවත් දේශකයා පුන පුනා කියයි. ගරු නොකිරීම සාධාරණීකරණය කිරීම ඔහු යොදාගන්නා උත්සාහය නින්දිතය. එනම් රටේ බහුතරයක් අදහන ආගමේ හර පද්ධතියට අවමන් කිරීමයි. මෙමගින් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්දැයි පැහැදිලිය.

මෙහි පිටපතක් රටේ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසටත් ලැබී තිබිණ.  සියල්ල නරක අතට හැරෙන්නට එය තීරණාත්මක ලෙස බලපෑවේය. තමා විසින් කිරි පොවා ඇති දැඩි කර ඇත්තේ සර්පයින් බව වටහා ගන්නට ඔවුන්ට වැඩි වේලාවක් ගතවන්නේ නැත. 
අනාගතයේ ඇති විය හැකි මහත් ව්‍යසනයක පෙරනිමිති දැකීමට තරම් දූරදර්ශී වුවද, යම් අදූරදර්ශී වැඩපිළිවෙළකට යොමුවීමට සිදුවීම අවාසනාවකි. එනම් ඒ වනවිටත් රට තුළ ගොඩනැගෙමින් තිබූ ප්‍රතිවිරුද්ධ බලවේගයකට සහය දැක්වීමට තීරණය කිරීමයි. අන්තවාදයට පිළිතුරු සැපයිය යුතු වුවද, ඔය කියන බලවේගය යන්නේ වැරදි මාවතක වීම ඊට හේතුවයි. 

එනම් අන්තවාදියා සහ අන්තවාදී මත නොදරන, සහජීවනය අගය කරන අදාල ජාතිකයින්ද වෙන්කර ගැනීමට ඔවුන්ට නොහැකි වීමයි. මෙහි ප්‍රතිඵලය ඉතා දරුණු වූවකි. එනම් අන්තවාදය පිටුදැකීම වෙනුවට එක් ජාතියක්, අසාධාරණ ලෙස තවත් ජාතියක් සහ ඔවුන්ගේ ආගමික ඇදහිළි, ගති සිරිත් හෙළා දැකීමට පෙලැඹීමයි. මේ වන විට එය උග්‍ර අතට හැරෙමින් පවතී. එකිනෙකා නුරුස්සන ස්වභාවක් දක්නට ලැබේ. අන්‍ය ජාතිකයින්ගේ ව්‍යාපාර වර්ජනය කරති. වර්ජනය නොකරන අයට කුණු බිත්තර ගසති. ඇතැම් විට ව්‍යාපාරික ස්ථානවලට පහර දෙති. සමාජ ජාලවල එකිනෙකාගේ ආගම්වලට අපහාස කරගනිති.  ආගමික නායකයින්ගේ පෞද්ගලික ජීවිත ගෙන හැර ඔවුන්ට අපහාස කරති. එක විකාරයකි.

මේ සියල්ල සිදුවන්නේ වැරදි අවබෝධය මත ය. එක් අතකට මොකා කීවත් කාන්තාරයේ විදියට ජීවත් වන්නට අවශ්‍ය නැති බව එක් පාර්ශවයක් තේරුම් ගත යුතුය. අනෙක් අතට ඔය කියන ජාතියේ හැමෝටම එහෙම වන්නට අවශ්‍ය නොමැති බවත්, බහුතරයට අවශ්‍ය සහජීවනයෙන් පෙරපරිදිම ජීවත් වීමටත් බව අනෙක් පාර්ශවයද තේරුම් ගත යුතුය.

අන්තවාදීන් අන්තවාදී වැඩ කළායැයි කීම තවත් අන්තවාදයක් සාධාරණීකරනය කිරීමට හේතුවක් නොවේ.  එනම් අන්තවාදයට පිළිතුර අන්තවාදය නොවේ. ජාතිවාදයට පිළිතුර ජාතිවාදය නොවේ. එය බුද්ධියෙන් ආමන්ත්‍රණය කළ යුතු ගැටළුවකි. රට තුළ අන්තවාදයක් ක්‍රියාත්මක වන විට, සාමාන්‍ය ජනයා කුපිත වී නීතිය අතට ගැනීම නොව කළ යුත්තේ, ඒ පිළිබඳව අදාල පාර්ශව දැනුවත් කර එය මර්දනය කිරීමට ආරක්ෂක අංශවලට සහය දීමයි. ඔවුන් ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ සඳහා බල කිරීමයි.

මෙහිදී අදාල ජාතීන් දෙපාර්ශවයම දැනුවත් වීම ඉතා වැදගත් ය. සෑම සුළු ජාතිකයෙක්ම අන්තවාදියෙක් නොවන බව සහ ඔවුන් එසේ වන්නේ කාගේ හෝ උසිගැන්වීම මත බව 'මහජාතිය' තේරුම් ගත යුතුය. කළ යුතුවන්නේ එවන් අවස්ථා අවහිර කිරීමයි. උදාහරණයක් ලෙසට, එක්තරා ගායකයෙක් රටට පැමිණීම වැලැක්වීමට වළි කෑ ඔවුන්, එකී අන්තවාදී ආගමික දේශකයාගේ ආගමනය පිළිබඳ දැනුවත් වී සිටියේ නැත! 

අන්තවාදය වැඩෙන්නට ඉඩදී බලා සිට පොදුවේ අන්තවාදය පැණනැගුණු සමස්ථ ජනකොටසටම පහරදීම කිසිදු ශිෂ්ට සම්පන්න මනුෂ්‍යයෙකුට අනුමත කළ නොහැකිය. බොහෝ විට මෙහිදී සිදුවන්නේ මුවහමට තඩිබෑමයි. එනම් අන්තවාදීන් සිය කටයුතු නිවී සැනසිල්ලේ කරගෙන යන අතරතුර කොහේවත් යන අහිංසකයින් පිරිසක් ඔවුන් වෙනුවෙන් ගුටි කෑමයි.  මින් සිදු වන්නේ එකී ජන කොටස තුළ සිටින අන්තවාදී නොවන කොටස්, පහරදුන් ජාතියත් සමඟ වෛරයක් ගොඩනගාගෙන ඔවුන්ද අන්තවාදයට තල්ලු වීම පමණි. අන්තවාදය නොසැළේ. 

අන්තවාදයක් මැඬපැවැත්වීම සහ ජාතියක් මැඬපැවැත්වීම යනු දෙකකි. ඉන් පළමු වැන්න ශිෂ්ටය, දෙවැන්න අශිෂ්ටය.