Friday, January 17, 2014

උන්ටම ගිය රටක්....!

ප්‍රභූවරයෙක් මහමග වඩින කල ලේන්සුව අතට ගෙන කාණුවට බැස, දෙකට නැමී 'හාමුදුරුවනේ' යයි කී කලක් තිබුණි. මා සිතා සිටියේ ඒ යුගය අවසන් බවය. එහෙත් ඊයේ අපරභාගයේ සන්ධ්‍යා කාලයේ සිදුවූ එක්තරා අත්දැකීමක් හේතුවෙන් මගේ ඒ කල්පිතය බිඳී ගියේ ය.

වෙහෙසරකර දිනක නිමාව සනිටුහන් වෙද්දී මා රියට ගොඩවූයේ නිවස බලා යාමටය.

වාහනය මාතර - කතරගම ප්‍රධාන මාර්ගයෙන් ඇතුළ් මාර්ගයට දමා වැඩි දුරක් යාමට මත්තෙන් ප්‍රධාන ලාම්පු දල්වාගත්, එක්සත් රාජධානියේ නිෂ්පාදිත නවතම ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ පෙළක් විරුද්ධ දිශාවෙන් එනු දක්නා ලදී. 

පාරේ ඉඩ තිබෙන්නේ වාහන දෙකක් යන්තමින් මාරුවීමට පමණි. එසේ තිබියදී රිය පෙරහර පැමිණෙන්නේ අධික වේගයෙනි. ඒ මදිවට ඩිෆෙන්ඩර් වර්ගයේ රථ 4ට මැදිවූ අළුත්ම සුදු පැහැති ලෑන්ඩ් කෲෂර් ප්‍රාඩෝ රථයක් එන්නේ පාර හරි මැදය.

ප්‍රාඩෝ රථය හා මගේ රථය ගැටී අනතුරක් සිදුවීමට ඔන්න මෙන්නය. එහෙත් එහි රියැදුරුට රාජ උෂ්ණය වැදී තිබීම නිසාවෙන්දෝ මා රිය ලං ලංව පැමිණෙනු දැකීම කිසිදු චකිතයක් ඇති කරන්නට සමත් නොවී ඇති බව පැහැදිලි විය. මාර්ගය අයිනට ගනු වෙනුවට එය තවදුරටත් වේගය අඩාල නොවීම මා රිය දෙසට විදුලි වේගයෙන් එනු පෙණින.

ගෑවෙන-නොගෑවෙන ගානට අනතුරක් නොවී රථය බේරාගැනීමට මට ඇති එකම විකල්පය මා ගතිමි. එකම වෙනස ලේන්සුව කරට ගැනීම වෙනුවට ඉංග්‍රීසි කුණුහරුපයක් කියැවීම පමණි.

අපූරු ප්‍රභූවරු!

පිං බත් කෙළින පිං තෙල් වලින් දුවනා පිං වාහන වලින් සවාරි ගසනා පිනාලා නොදන්නා වග නම්, මහමග උන්ගේ අප්පාගේ බූදලයක් නොවන බවත්, දශක තුනක් අනේකවිධ කැපකිරීම් මැද කෘතිමව වඩවාගත් සිය මොළය මිරිකා ගත් මුදලින් ගත් ඉංජිනේරුවාගේ දුප්පත් වාහනය පමණක් නොව, දහඩිය කඳුළ මතින් ගත් කම්කරුවාගේ බයිසිකල් කටුවද පිනට පහළ වූ පින් ප්‍රාඩෝවට, ඩිෆෙන්ඩරයට වඩා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වටිනා බවත් ය.

Saturday, January 4, 2014

ඉන්ටර්නල්ද? එක්ටර්නල්ද?

මේ සටහන තබන්නට හේතුවූයේ මෙන්න මේ අදහස් දැක්වීම යි.

සරලවම එහි කියන්නට යත්න දරන්නේ, බාහිර උපාධිධාරියාට වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් 'සම තැන දීම' අසාධාරණ බවයි. කරුණාකර සටහන අවසන් වන තුරු මගේ ආකල්පය ගැන අවසන් තීරණයකට එන්න එපා.

රජයේ විශ්වවිද්‍යාලයක පූර්ණකාලීනව උපාධියක් හදාරණ කෙනෙක්ගේ ජීවන අත්දැකීම් වෙනස්. මොකද විශ්වවිද්‍යාලයක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය විශ්ව-විද්‍යාලයක් (Univers-ity) වන නිසා. එයින් ලැබෙන්නේ අද්විතීය විශ්වීය (Universal) දැනුමක්. පොත පතේ දැනුම පමණක් නොවෙයි. 

ගෙදරදී තමන්ගෙ රෙද්දක් හෝදගන්න බැරි, තේ එකක්වත් හදාගන්න බැරි හාමුලා, කුමාරිහාමිලා කැම්පස් ඇවිත් අගේට තමන්ගේ වැඩ කරගන්නවා. අවුරුද්දකින් දෙකකින් අගේට උයන්නත් ඉගෙන ගන්නවා. ගෙදරදි බැරිවෙලාවත් ආයුධයක් අල්ලන්නෙ නැති, කැත්ත උදැල්ල අල්ලන්න දන්නේවත් නැති උන් අගේට මළ ගෙවල්වල කාණු කපනවා. වත්තෙ හතර මායිම නොදන්න උන් ලංකාවෙන් තුනෙන් දෙපංගුවක් කවර් කරනවා. කුණුහරුපයක් ඇහුණොත් ලැජ්ජාවෙන් මූණ රතුවෙන උන් අපූරුවට කුණුහරුප කියනවා. කෙල්ලෙකුටනම් ඇඹරෙන්නේ නැතුව අහගෙන, දරාගෙන ඉන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. (මේ හැමදේම ජීවිතේට වැදගත්.)

කැම්පස් එකක් කියන්නේ සමාජයේ සෑම ජනකොටසකම නියෝජනයක්. සෑම ජාතිකයකම, සෑම ආගමකම අය එතන ඉන්නවා. විවිධ සංස්කෘති එහිදී මිශ්‍ර වනවා. ඒ විතරක් නොවෙයි, විවිධ මත, ආකල්ප දරන පුද්ගලයින් හා ගැටෙන්න වෙනවා. විවිධ සමාජ වලින් පැමිණි අය (ධීවර ආදී.), විවිධ තරාතිරම් වල අය, විවිධ දේශපාලන මත දරන අය, කුලභේද සලකන අය, උඩරට-පහතරට භේද සලකන අය, විවිධ දුර්ගුණ, විකෘති ඇබ්බැහි වලට යොමු වුණු අය ආදී වශයෙන් සංකීර්ණ සංකලනයක්. ඒ හැම ජාතියේම අය එක්ක එක නේවාසිකාගාරයේ, එක කාමරයේ ඉන්න සිදුවනවා. (උදාහරණයක් විදියට සරසවි ශිෂ්‍යයන් අතරේ ඉන්නවා ගංජා පානය කරන අය, මම හොඳට දන්නවා. අපේ හොස්ටල් එකේ හිටියා හෙළුවෙන් ඇවිදින එකෙක්.)

සාමාන්‍ය පවුලක කෙනෙක් වන මම, කෝටිපති ව්‍යාපාරිකයින්ගේ දෝණියැන්දලා එක්කත්, මහපොළ 2,500න් තමනුත් ජීවත් වෙලා ඉතුරු කරලා ගෙදරටත් යැවූ අන්ත දුගී අසරණ 'තෙලා' එක්කත් එකම පොල් රොටිය බෙදාගෙන කාලා තියෙනවා. 
කැම්පස් එනකොට සිංහල වචනයක් වත් නොදන්න (පස්සේ අපිටත් වඩා දක්ෂ විදියට සිංහල කුණුහරුප කියපු.) දමිළ 'කැනා' (ඔය පහළ පිතූරෙ දැකුම්-කළුවට ඉන්නෙ කැනෝජන් හෙවත් ආරණීය 'කැනා'. උගේ ගැන වෙනම සටහනක් නෙමෙයි පොතක් ලියන්න පුළුවන්. හරිම ආතල් ඩයල් එක.) ප්‍රධාන චරිතය රඟපාපු සහ ෆයිරූස්, ෂිෆාන් සහ රිෆ්කි මුස්ලිම් මිතුරන් වෙතින් සහාය නළුවන් විදියට උපරිම සහයෝගය ලබපු වේදිකා නාට්‍ය 3ක් සාර්ථකව වේදිකාගත කරලා තියෙනවා. 



කැම්පස් ජීවිතේ උපරිමෙන් විඳපු කෙනෙකුට, ඒ කියන්නෙ විවිධ සංස්කෘතින් එක්ක මිශ්‍ර වෙච්ච කෙනෙකුට කවදාවත් පට්ට ජාතිවාදියෙක් වෙන්න බෑ. කැනාල හිතන්නෙ, පතන්නෙ, අපිව දකින්නෙ කොහොමද කියන එක තේරෙන්නෙ උන් එක්ක එකට කාපු, පිස්සු කෙළපු උන්ට විතරයි. උන් අපි ගැනත්, අපි උන් ගැනත් හිතන හැටි වෙනස් කරන්නෙ නැතුව කවදාවත් මේ රටේ ජාතික ලෙඩේ - ජාතිවාදය නිට්ටාවටම සුව කරන්න බෑ. මෙන්න මේ අතිනුත් (හරියට) කැම්පස් ගියපු එකෙක් සාමාන්‍ය එකෙකුට වැඩිය පරිණත වෙනව. 

සංවිධානය කරපු දන්සැල්, අවුරුදු උත්සව, වෙසක් උත්සව, රාමසාන්, දීපවාලි ආදී උත්සව සංබ්‍යාව මෙච්චරයි කියා කියන්න බෑ. ගියපු විනෝද චාරිකා ගණනත් ඉලක්කම් දුසිම් කිහිපයකට අඩු නෑ. කොටින්ම මගේ ඡායාරූප එකතුවෙන් 90% කටත් වඩා තියෙන්නෙ ඒ සදා අමතක නොවෙන මිහිරි මතක.

මිනිසුන් එකිනෙකා තේරුම් ගන්නවා. අන්‍යෝන්‍ය සහයෝගය, නායකත්වය, සංවිධානය, වගකීම් ඉසිලීම, මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගැනීම, වැරදි වලට සමාව දෙන්නට ඉගෙන ගන්නවා.

කණ්ඩායමක් විදියට වැඩ කරන්නේ කොහොමද (කණ්ඩායම් ව්‍යාපෘති වලදි.), ඒ වගේ වෙලාවක එකෙක් වැටුණොත් (ලව් සීන් එකක් නිසා/ආර්ථික හෝ වෙනත් නොසිතූ විරූ මානසික/සාමාජයීය ආදී සංවේදී ගැටළුවක් නිසා) කොහොමද ඌව ගොඩ දාන්නෙ කියලා ඉගෙන ගන්නවා. 
කැම්පස් උප සංස්කෘතියෙ(sub-culture) තියෙනවා 'කුප්පිය දානවා' කියල එකක්. මේකෙදි කරන්නෙ දේශනවලදි ගොඩක් අයට නොතේරෙන කරුණු, තේරුණු කෙනෙක් සරලව කියා දෙන එක. පුදුමය කියන්නෙ මහාචාර්යවරු මාස ගණන් කියලත් තේරෙන්නෙ නැති ඒව කුප්පියෙදි විනාඩි ගණනෙන් තේරෙන එක. (ඒක භාෂාමය සහ ආකල්පමය හේතු මත සැබෑ වන ආශ්චර්යයක්. ආකල්පමය කිව්වෙ සමහරු මහාචාර්යවරු කියන දේවල් තේරෙන්නෙම නෑ කියල පූර්ව-ආකල්පෙක ඉන්න නිසා.) මේ අත්දැකීම් සාමාන්‍ය ජීවිතේට වගේම වෘත්තීය ජීවිතේටත් ඉතාම වැදගත්.

දුප්පත්-පොහොසත් සෑම දෙනෙක්ම ජීවිතය හරියටම අත්දැකීමෙන් විඳින්නේ මෙහිදි කිව්වොත් එය නිවැරදියි.  
මේ පහත තියෙන්නේ ඒවාට සාක්ෂි. මේ අඩවිය කියවලා වැඩිම දෙනෙක් සිනාසුනු මෙන්ම අඬපු අනුවේදනීය සත්‍ය සටහන්. 

සරසවි ජීවිතයේ රසවත් සිදුවීම්.


සරසවියේදී හමුවූ අපූරුම චරිත


වෙනස් අත්දැකීම්


බලන්න, මේ අඩවියේ සටහන් වලින් වැඩිම ප්‍රමාණයක් සහ ජනප්‍රිය සහ වැඩිම ප්‍රතිචාර (කමෙන්ට්ස්) ලැබූ සටහන් සියල්ලම පාහේ සරසවි ජීවිතයට සම්බන්ධ ඒවා. ඒ කියන්නේ ජීවිතේ හොඳම අත්දැකීම් වලින් අති බහුතරය ලබා තිබෙන්නේ සරසවි භූමිය තුළදී. සරසවි ජීවිතයේ වසරක්, සාමාන්‍ය ජීවිතයේ වසර 5කට මා සමාන කරන්නේ ඒ නිසයි.

නමුත්, සමාජ අත්දැකීම් අතින් අභ්‍යන්තර උපාධිධාරියෙක් බාහිර උපාධිධාරියෙකුට වඩා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් සිටියත් විෂය දැනුමෙන් බාහිර උපාධිධාරියෙක් එවැන්නෙකුට දෙවැනි වන්නේ නෑ. 

මා මේ කරුණ කියන්නේ දීර්ඝ කාලීන අත්දැකීම් වලින්. ඔය දෙපිරිසම සමඟ මා විවිධ අවස්ථාවල ගණුදෙනු කර තිබෙනවා. ඇතැම්විට බාහිර උපාධිධාරීන් සිටින්නේ පූර්ණ කාලීනව සරසවි වල ඉගෙන ගත් අයට පවා ඉදිරියෙන්. 

බාහිර උපාධිධාරියෙක් සිය උපාධිය සම්පූර්ණ කරන්නේ දහසකුත් එකක් අභියෝග, දුක් කම්කටොළු මැද. අභ්‍යන්තර වුවත්, බාහිර වුවත් උපාධියක් සම්පූර්ණ කිරීම පහසු කටයුත්තක් නොවෙයි.

මෙන්න මේ නිසා, රැකියාවක් ප්‍රදානය කිරීමේදී බාහිර උපාධිධාරියාට සම අයිතිය දෙන එකේ වැරැද්දක් මම නම් දකින්නේ නැහැ. සරසවි යන්නට ලකුණු කිහිපයක් මදිවූ පළියට ඔවුන් හෙළා දැකිය යුතු නැහැ. ඔවුනුත් අපේම සොයුරන්, සොයුරියන්.