Sunday, May 26, 2013

ගිණි තියාගත් හිමිනම සහ හෘද සාක්ෂිය


ගව ඝාතනය මුල් කරගත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන හිමිනමක් ගිණි තබාගෙන අපවත් වී ඇත.

උන්වහන්සේගේ ක්‍රියාව පිළිබඳ අංශු මාත්‍රයකදු එකඟතාවක් මා තුළ නොමැත්තේ වුවද, එම පුවත මා කම්පනයකට පත්කළේ මන්ද...?

මා ශෝකයට පත්වූයේ මේ රටේ ඉතාම අතලොස්සක් වූ, සිය හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරන මනුෂ්‍යයෙකු නිකරුනේ අකාලයේ මිය යෑම නිසා මිස අන් කිසිදු හේතුවක් නිසා නොවේ.

මා මෙසේ කියනා විට "මේ වගේ මෝඩයෙක් මැරිල ගිය එකමයි හොඳ...!" යයි කියන නරුමයන් සිටින බව හොඳාකාරවම දනිමි. මින් සාතිශය බහුතරය, උග්‍ර මානව හිතවාදීන් යයි කියා ගන්නා සමාජවාදීන් ය.

වටිනා මනුෂ්‍ය ජීවිතයක් විනාශ කර ගනිමින් අවධානය යොමු කර ගැනීමට තරම් ගව ඝාතනය දැවෙන ජාතික ප්‍රශ්නයක් නොවන බව සහතික ඇත්තය. ඊට වඩා ඵලදායී, බලපෑම් සහගත බුද්ධිමත් ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන්නට උන්වහන්සේට ඕනෑ තරම් අවස්ථා තිබුණි. කටුක යථාර්ථය එයයි. ඒ අනුව බලන කල එම ක්‍රියාව අමනෝඥ ක්‍රියාවක් බව පිළිගන්නට මා බිඳකුදු පසුබට වන්නේ නැත.

එහෙත් උන්වහන්සේ විසින් සිදුකළ ක්‍රියාව නොව, උන්වහන්සේ පිළිබඳව මා තුළ පෞද්ගලිකව ප්‍රසාදයක් ඇත. එකට එකම හේතුව, හරි හෝ වැරදි වේවා, සිය හදවතට එකඟව යමක් කරන්නට තරම් ධෛර්‍ය්ක් උපදවාගන්නට සමත් වන්නන් මේ යුගයේ අතිශයින්ම දුර්ලභ වීමය. මේ ආත්මාර්ථකාමී ප්‍රවාහයේදී, අන් අයෙකුට මොන කරදරය සිය දෑස් ඉදිරිපිට සිදුවුවත් නොදැක්කා සේ සිටින ප්‍රවණතාව තුළ එසේ කිසීම උඩුගම්බලා පීනීමකි. හිමිනම නිකරුණේ හෝ සිය දිවි පුදන්නේ එවැනි සන්දර්භයක් තුළ වීම මා දකින සුවිශේෂීයත්වයයි. හරයක් ඇතුව හෝ නැතුව වේවා, ආත්මාර්ථකාමියෙකු නොවී සිය හදවටක එකඟව ක්‍රියා කිරීම, ආත්මාර්ථකාමී කාළකණ්ණියෙකු වීමට වඩා දහස් වාරයක් උතුම්ය. 

එසේ කරන්නන් කෙරෙහි මා තුළ නිතැතින්ම ලැදියාවක් ඇතිවීම නොවැලැවැක්විය හැකිය.

Thursday, May 23, 2013

පොත්

"කාලා...කාලා...විනාශ කරලා...ඇයි මේක වහල තියන්නෙ නැත්තෙ...?" තාත්තාගේ කටහඬේ තියෙන්නෙ තරහකට වඩා වේදනාවක්. මම කම්පියුටරෙන් ඇස් දෙක අමාරුවෙන් ගලවගෙන හැරිලා බැලුවා.

අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල. 
මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. දැන් ඒක මගෙ බුක්තියට සරි වුනත් ලොකු බිත්ති කබඩ් එකක් තියෙනව තාමත් පොත් සිය දහස් ගණනක් තියෙන. අමතක වීමකින් මට ඒකෙ දොරක් වහන්න බැරි වෙලා.

පොත් එකින් එක අරන් ස්ටූල් එක උඩින් තියෙන ගමන් තාත්තා එක පොතක් බොහොම සීරුවෙන් අතට ගන්නවා දැක්කා. 
අළුත ඉපදුණු රෝසපාට මී පැටවු හතරදෙනෙක් පොත උඩ එහෙට මෙහෙට පෙරලෙනවා. එතකොටම අපි දැක්ක මී අම්ම උඩ මුල්ලකින් ඔළුව දාල හරිම දුකෙන් බලන් ඉන්නව. තාත්ත හිමීට උන් එක්කම පොත උඩින් තිබ්බ.

"අරන් යනව ළමයි ටික. කරදර කාරයෝ."
මී අම්ම පැටවු ටික කටින් අරගෙන ගියේ රටක් රාජ්‍යයක් ලැබුණ වගේ.

මට කියන්න ඕන කතාව ඕක නෙමෙයි.

ඇත්තටම මේ පොත් තාත්ත අවුරුදු තිස් ගණනක් තිස්සෙ නොකා නොබී එකතු කරපුව කියල කිවුවොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. එකතු කරන්න පටන් අරන් තියෙන්නෙ තාත්ත කැම්පස් ඉන්න කාලෙ. ඒ කාලෙ තාත්ත හරිම දුප්පත්. මුළු මාසෙම වියදමට ගෙදරින් හම්බෙලා තියෙන්නෙ රුපියල් 50ක් වගෙ බොහොම සොච්චමක්. ඒක නිසා කැම්පස් ඉන්න ගමන්ම තාත්ත පත්තර කන්තෝරුවක වැඩ කරල තියෙනව. 'අත් තටු නැති කුරුල්ලෝ' කියල චිත්‍ර කතාවක් ලියල තියෙනව තරුණ පරපුර අතර බොහොම ජනප්‍රිය වෙච්ච. පොත් අරගෙන තියෙන්නෙ ඒ සල්ලි වලින්. සල්ලි ටිකක් අතට ආපු ගමන්ම තාත්ත යන්නෙ මරදානෙ මගී පාලම යට තියෙන දුප්පත් පොත් සාප්පු වලටයි පොත් විකුණන වෙළෙන්දොයි ළඟටලු.

පොත් වලට තාත්ත කොච්චර ආදරේද කියල කියනවනම් ජීවිතේ පරදුවට තියල ඒව රැක ගත්ත අවස්ථා තියෙනව. ඒ දවස්වල උග්‍ර සමාජවාදියෙක් (පස්සෙ 88-89 ජේ.වී.පී. කාරයො කෙළපු පිස්සු දැකපු ඔහු කළකිරුණ. ඔහු දැන් හොඳ බෞද්ධයෙක්.)  එයා ගාව තිබිල තියෙනව ලෙනින් පොත් කට්ටලයම. ඒ කාලෙ ඒව ළඟ තබාගැනීම මරණයෙන් වන්දි ගෙවන්න ඕන වරදක්. කවුරුත් කිවුවෙ ඒව පුච්චල දාන්න කියල. ඒත් කවදාවත් පොතක් පුච්චන්නෙ නැති තාත්ත ඒව ඉටි කොළේක ඔතල වළක් කපළ දාල කෙසෙල් ගහක් හිටෙව්වා.

පොත් තරම් මගෙ ජීවිතයට ළංවුණු තවත් වස්තුවක් නැති තරම්. 
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමනේ සත්‍යතාව හොඳටම අත්වින්ද කෙනෙක් මම.

තාත්තගෙ පුස්තකාලෙ විවිධ විෂයන් අළලා තිබුණ පොත් සිය දහස් ගණනක් තිබුණ. හැම ක්ෂේත්‍රයකම වගේ. කෙටි කතා, නවකතා, පරිවර්තන, චරිත කතා, දාර්ශනික විග්‍රහ, ප්‍රබන්ධ කතා, මනෝ විද්‍යාව, යොවුන් නව කතා, සාහිත්‍ය විචාර, නාට‍ය පිටපත්. කොටින්ම සුරංගනා කතාවේ සිට මාක්ස්වාදය, ගැඹුරු බෞද්ධ දර්ශනය දක්වාම. පුදුමාකාර විවිධත්වයක් තිබුණත් වැඩියෙන්ම තිබුණෙ රුසියන් පරිවර්තන. 

ඔයින් මෙයින් මමත් පොත් කියවන්න ඇබ්බැහි වුණා. මක්සිම් ගෝර්කිගෙ 'අම්මා', තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' වගේ පොත් වයස අවුරුදු අට වෙනකොට මම කියවල ඉවරයි.

අපේ තාත්ත ලේඛකයෙක්. පොත් විසිගණනක් ලියල තියෙනව. නමුත් පොත් ප්‍රකාශකයො ඔක්කොමලා වගේ එයාව හූරගෙන කෑව. වැඩියෙන්ම හූරගෙන කෑවෙ ජාතියේ පිනට පහළ වුනායයි කියන, සාහිත්‍ය ලෝකයට අසමසම සේවයක් කරනවා යයි බෙරිහන් දෙන ගොඩගේ මුදලාලි කියල මම බය නැතුව කියනව. තාත්ත මාස ගණන් පර්යේෂණ කරලා, නිදිමරාගෙන ලියපු ලොකු පොත් වලට දුන්නෙ රු. 5000ක් වගෙ සොච්චමක්. සමහර වෙලාවට සල්ලි නොදී පොත් 50ක් විතර දෙනව විකුන ගනින් කියල. පෞද්ගලික වියදමින් පොත් මුද්‍රණය කරන්න තරම් වත්කමක් තිබුණෙ නැති නිසා වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ.

ඔය අතරෙ එන්න ඕන සල්ලි ඉල්ලන්න ගිහින් කිහිප දවසක්ම රස්තියාදුවෙලා අන්තිමට කොහොමහරි මුණගැසුනම පොත් ප්‍රකාශකයො එයාලගෙ වෙන පොත් ණයට දෙන්නම්, පොත් බිස්නස් එකක් පටන් ගන්න කියල තාත්තට කියල තිබුණ. (ඒ ඉතින් අපිට තියෙන ආදරේට නෙමෙයි.) 
සොච්චම් ගුරු වැටුපෙන් පොත් අච්චු ගහන්න බැරි නිසා තාත්ත ඒකට කැමති වෙලා තිබුණ.

ඉතින් පොඩිවට පොත් සාප්පුවක් දැම්ම ගෙදර.
ඒකෙන් වැඩියම සතුටු වුණේ මම. කියවල තිබුණෙ නැති තවත් පොත් දහස් ගණනක් නොමිළෙම කියවන්න මට අවස්ථාවක් ලැබුණ. කොළඹ ඉඳන් පොත් ලෝඩ් එකක් ගෙනාපු දවසට මම එළි වෙනකම් නිදාගන්නෙ නෑ. 

ඒව අහක ගියේ නැහැ. පහ වසර ශිෂ්‍යත්වය මම ඉතාම ඉහළින් සමත් වුනත් කිසිම අමතර පන්තියකට ගියේ නැහැ. එකම එක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්වත් කළෙත් නැහැ. සාමාන්‍ය පෙළත් එහෙමයි. ඔක්කොම විශිෂ්ට සාමාර්ථ. මාතර දිස්ත්‍රික්කයෙන් 47 වෙනියා. 

විශ්වවිද්‍යාලයෙ පවා කණ්ඩායමේ ඉහළම ළකුණු ලබාගෙන ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න තරම් මට වාසනාව ලැබුණෙ තාත්තගෙ පුස්තකාලෙන් මම ලබපු පොත පතට ඇබ්බැහි වීමේ පුරුද්ද නිසාත්, තෝරන්නේ නැතුව ඕනම විශයයක් ගැන ලියවුණු ඕනම පොතක් එක හුස්මට කියවලා ඉවර කරනකම් නින්ද යන්නෙ නැති තරමටම ප්‍රගුණ කරපු පොත් සම්බන්ධ දැඩි ආශාවත් නිසයි. 
මගේ සහෝදරියත් ඒ වගේ. එයා පසුගිය සෙමෙස්තරයෙ වෛද්‍ය විද්‍යාලයෙ ඉහළම ළකුණු ලාභියාලු.

ජීවිතේ මුහුණ දීපු කිසිම දැනුම මිණුම හෝ බුද්ධි පරීක්ෂණයකින් අසමත් නොවීමේ රහසත් මේ කියවීමේ පුරුද්ද කියල මට විශ්වාසයි. රූපවාහිනියෙ ප්‍රශ්න විචාරක වැඩසටහන් වල අහන බොහොමයක් ප්‍රශ්න වලට උත්තර මම දන්නවානේ කියල සියුම් ආඩම්බරයක් එනව එහෙම එකක් බලද්දි.

නයා ඇති. තව අපූරු දෙයක් කියන්න බැරි වුණා.

ඒ තමයි තාත්තගෙ ලොකුම පොත් අල්මාරියෙ තිබුණ දොරක් මම වයස 13-14 වෙනකම් මට ඇරුණෙ නැති. නිසි වයස ආවම තාත්ත ඒකෙ යතුරත් දොරේම රඳවල තිබුණ.
ඇත්තටම ඒකෙ තිබුණෙ මොනවද කියල ලොකු කුතුහලයකින් මම හිටියෙ.

ඒකෙ තිබුණෙ ඒ වෙනකොට මම කවර් කරල නොතිබුණ තවත් අපූරු විෂය ක්ෂේත්‍රයක් ආවරණය කරන්න සමත් දැනුම ගබඩාවක්. ඒ තමයි ලිංගික මනෝ විද්‍යාව, ඒ හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණ (ඩෙස්මන්ඩ් මොරිස්ගේ 'මනුසත් උයන', 'නිරුවත් වානරයා' වගේ ඒව)තව පොඩි උන්ට කියෙව්වට කිසිම තේරුමක් නැති පොත්. වරදවා තේරුම් ගන්න එපා කුණුහරුප පොත් නොවෙයි, ඔය 'කැළණි පාළම', 'සුද්දිලාගෙ කතාව', 'අපේ කාලයේ කුමාරිකාවගෙ කතාව', 'අයෝමා' වගේ ඒ ලිංගික සූරාකෑම, පුරුෂාධිපත්‍ය, සමාජ අසාධාරණය වගේ තේමාවල වල දුවන ඒවා. 

මේවායින් ඒ ඒ වයසට කුතුහලයෙන් ඉන්න අපේ සමාජයේ වැඩිපුර එළිපිට කතාකරන්නෙ නැති දේවල් ගැන වුනත් හොඳ නිවැරදි, පුළුල්, විද්‍යානුකූල දැනුමක් ලැබුණෙ. මේක නිසා වෙනත් අවිශ්වාසදායක ක්‍රම වලට ඒ දැනුම හොයන්න අවශ්‍ය වුනේ නෑ. 

අපේ රටේ දැන් ඔය වයසෙ ඉන්න ළමයි ගොඩක් නොමග යන්නෙ ඒ දැනුම ලබන්න එහෙම හොඳ මාධ්‍යයක් නැති නිසා. අඩු ගානෙ ඉස්කෝලෙ ගුරුවරුත් ඔය මාතෘකාව වුවමනාවෙන්ම මග හරිනව. එතකොට ඉතින් සමවයසෙ යාළුවො කියන ඕන බේගලයක් විශ්වාසෙට ගන්නව. අසභ්‍ය පොත් (දැන් කාලෙ නම් තියෙන්නෙ වීඩියෝනෙ.) වල දකින විකෘති හැසිරීම් ස්වාභාවික ඒව කියල හිතාගන්නව. මේකට දරුවො පලි නෑ. ඒ වයසට ඒ දේවල් ගැන කුතුහලක් ඇති නොවෙනවනම් ඌ ලෙඩෙක්. මේ වෙලාවෙ පිහිට එන ඕන ගෝතයෙක්, මිථ්‍යාවක් විශ්වාස කරන්න කිසිම කෙනෙක් පැකිළෙන්නෙ නෑ. ඒක ස්වභාවිකයි. හරි මගපෙන්වීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මුළාවේ.
මේක ඛේදවාචකයක්. මං හිතන්නෙ මේකට සාර්ථකම විසඳුම සොයා ගැනීමේ ගෞරවය අපේ තාත්තට ලැබෙන්න ඕන.

සමාජයේ ජීවත් වෙනකොට ඔය හැම දෙයක් ගැනම අවබෝධය ඕන වෙනව.
සංවේදී මනුෂ්‍යයෙක් වෙන්නත් කියවීම ගොඩක් වැදගත් වෙනව. ජීවිතයේ ගොඩක් සැප විඳින කෙනෙක්, දුක් අඩුවෙන් උහුලන කෙනෙක් ලෝකෙ දුක් විඳින මිනිස්සු ගැන සමහර වෙලාවට දැන ගන්නෙ පොත පතින් වෙන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නෙ.

පොත් ගැනම ලියපු එකේ මගේ ප්‍රියතම පොත ගැනත් නොකිවුවොත් ඒක පරිප්පු නැති හෝටලේ වගෙ වෙනවනෙ.
විභූතිභූෂණ බන්ධ්‍යොත්ප්‍යාය ලියපු අපූර් සංසාර්. මේක 'අපූගේ ලෝකය' නමින් සිංහලට පරිවර්තනය කරල තියෙනව මගේ ප්‍රියතම ලේඛිකාව චින්තා ලක්ෂ්මි සිංහාරච්චි මහත්මිය.
(එතුමිය මගේ ප්‍රියතම ලේඛිකාව වෙන හේතුවත් අමුතුයි. ඒ එයාගෙ ඇත්තම ජීවිත කතාවට මම කැමති නිසා. ගමක හැදිච්ච, අහිංසක ගැමි ආදරයක් ලබපු කෙනෙක්.)
පථේර් පංචාලි (මාවතේ ගීතය), අපරාජිතෝ (අපරාජිත ජීවිතයක්) සහ අපූර් සංසාර් (අපූගේ ලෝකය.) කියන පොත් තුනෙන්ම කියවෙන්නෙ අපූ කියල කෙනෙක්ගෙ ජීවිත කතාව. ඇත්තටම ඒක මුල් කතුවරයගෙ ජීවිත කතාව. (සත්‍යජිත් රායි ෆිල්ම් තුනකුත් කළා මේව පාදක කරගෙන.)

(මම පුනර්භවය විශ්වාස කරන කෙනෙක්) මේක කියවන හැම වෙලාවෙම මේක ලිවුවෙ මම කියන හැඟීම මට එන්නෙ මොකද කියල හිතාගන්න බෑ. ඒ තරම් මේ කතාව මගේ සිතුම් පැතුම් වලට සමීපයි. මෙයාගෙම 'වණ අරණකට පෙම් බැඳ' කියවද්දිදිත් ඒ හැඟීම ම එනව.

මම ඕනම දෙයක් කියවන්න ආසයි. 

අදටත් මම කෑම ඔතාගෙන ආපු කඩදාසියක්වත් අතහරින්නෙ නෑ. අකුරක් නෑර කියවල තමයි කුණු කූඩෙට දාන්නෙ.

මම කවදහරි පුතෙක් හැදුවොත් වැඩියෙන් කැමති වෙන්නෙ එයා එයාගෙ තාත්තගෙ විද්‍යාගාරෙ දැවටෙනවට නෙමෙයි, සීයගෙ පුස්තකාලෙ පීරනවට. මොකද ඔහුගෙ මොළය සහ හදවත හැදෙන්න ඕනෙ ලෙයින් මසින් මිසක් යකඩ වලින්වත්, සිලිකන් වලින්වත් නොවෙන නිසා. නැත්නම් මගේ අතින් හැදෙන රොබෝ කෙනෙකුයි එයාගෙයි අතර තියෙන වෙනස මොකද්ද...?

Wednesday, May 15, 2013

කාට කියන්නද මේ අවනඩුව....?


(හිතේ දුකට ලියැවෙන ඒවා.)

මේ දවස්වල රෑ  දෙගොඩහරියක් වෙනකම් රිචර්ච් එකක වැඩ නිසා උදේට මැරුවා වගේ නින්ද යනවා. අද උදේ ඇහැරෙනකොට 9.00ට කිට්ටුයි. මලලසේකර..10ට මගේ ලෙක්චර් එකක්. සාමාන්‍යයෙන් මට පැය භාගයක් විතර ස්ලීප් ඉන(ර්)ෂියා (නිදි මරගාතේ) තිබුනත් වෙලාව දැක්ක ගමන් ඒක කොහෙද නැතුව ගියා.

ඉක්මනට ලෑස්ති වෙලා යාන්තම් 9.30 ට විතර ගෙදරින් පිටත් වුනා. යනකොට මගදි කෝල් එකක් ආවා. කැම්පස් එකේ යාලුවෙක්ගෙන්. මම අද එනවද කියලා ඇහුවා. 

ඉතින් පොඩ්ඩක් ස්ලෝ කරන්න වුනා. ස්ලෝ කියන්නෙ ඕන්නම් 40ට අඩු වෙන්නැති 60 ඉඳලා. ඒ ඇසිල්ලෙන් ත්‍රී වීල් බුවෙක් (දැන් ගම් වල කියන්නෙ වීල් කියලනෙ.) වෙට්ටුවක් දාල ඉස්සර කළා.

කෝල් එක ඉවර වෙලා ආපහු වේගෙ වැඩි කළා. මාව ඉස්සර කරපු බුවා දැන් 40ට විතර කොටනවා. මට ඉස්සර කරන්න දෙන්නෙත් නෑ. යන්නෙ පාර මැද. 

ලංකාවෙ මිනිස්සුන්ගෙ මහ පුදුම මානසිකත්වයක් තියෙන්නෙ කියල බැන බැන ඔහොම කිලෝ මීටරයක් විතර ආවා. දැන් මම හොඳ ගානට ස්ට්‍රෙස් වෙලා. පාර දෙකට බෙදපු සුදු ඉර කඩ ඉරක් වෙනකම් නොඉවසිල්ලෙන් බල බලා ආවෙ. ත්‍රී වීල් කාරය තාම පාර මැදින් යන්නෙ. 

ඉතින් ඒ වර්ණවත් මොහොත උදා වුනා. පාරෙ අනිත් ලේන් එකේ පෙනෙන තෙක් මානෙක වත් වාහනයක් තිබුනෙත් නෑ. වේගෙ ටිකක් වැඩි කරල ඉස්සර කලා. ඊට කලින් හෝන් ගහල සිග්නල් එහෙම දාල ඉඩ ඉල්ලුවට ත්‍රීවීල් ඩයල් එක නෙමෙයි ගණනකටවත් ගත්තෙ. 
ඒගොල්ලො වී.අයි.පී.(Very Important Person) නෙවෙයි වී.වී.අයි.පී.(Very Very Important Person) නෙ. 

තියෙන ගතිය කියන්නෙ මම ඉස්සර කරද්දිත් ඇඟට කැපුවනෙ.

මගෙ කරුමෙ කියන්නෙ සුදු බඳ පටි බාප්ප කෙනෙක් ඉඳලා අත දැම්මනෙ. දන්න තරමට වරදක් කළෙ නැති වුනත් නීති ගරුක පුරවැසියෙක් වශයෙන් වාහනේ නැවැත්තුවා. දැන් පොරවල් ඉන්නවා මම බැහැල එනකම්. ඕන්නම් වරෙන් කියල මම වීදුරු පාත් කරගෙන හිටිය. එක්කෙනෙක් ආව. මගෙ රියදුරු බලපත්‍රෙ ගත්ත. කතාවත් නැතුව යන්න ගියා. විනාඩි දෙකක් විතර බැලුව එන පාටක් නෑ. බැරිම තැන මම බැහැල ගියා. මෙන්න ලියල තියන් ඉන්නව මාගල වගෙ දඩ කොළයක්.

"ඇයි...?" මම ඇහුව.

"වැරදි විදියට ඉස්සර කිරීම."

"මම ඉස්සර කළේ කඩ ඉරි තියෙන තැනකින්"

"ඒ වුනාට තවපොඩ්ඩෙන් ත්‍රීවිල් එක හැප්පෙනව."

"ඔහොම බැලුවොත් අපිට කවදාවත් වාහනයක් ඉස්සර කරන්න හම්බෙන්නෙ නෑනෙ."

දඩ කොළේ මගෙ අතට දෙන ගමන්

"පොලිසියට ඇවිත් මේක ගෙවල ලයිසන් එක ගන්න පුළුවන්."
මේ හාදයො එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතුන නිසා ඒක අරගෙන මම ආව.

වැඩි දුරක් යන්න හම්බුනේ නෑ. පිටුපස්සෙන් ආපු මට දඩ කොළේ දීපු රාළහමිගෙ ට්‍රැෆික් වාහනේ පාරෙ ඉරි සේරම කපාගෙන මාව ඉස්සර කරගෙන ගියා. 

Monday, May 13, 2013

අපේ අල්ලපු ගෙදර මලයගෙ වැඩ හෙවත් ලංකාවේ පළමු සබ්මැරීනය

(මේක මගේම වෙනත් බ්ලොග් අඩවියක තියපු සටහනක්.) 

අපේ අල්ලපු ගෙදර ඉන්නවා සාගර විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න පොඩි කොල්ලෙක්.

දවසක් මම ගෙදර ආව විතරයි, මිනිහ කඩාගෙන බිඳගෙන ආව අපේ ගෙදර.


"අයියෙ, සොලිඩ්-වර්ක්ස් තියෙනවද..?" 


සොලිඩ්-වර්ක්ස් (SolidWorks) කියන්නෙ ඔය ඉංජිනේරු ඇඳීම් කරන සොෆ්ට්වෙයා එකක්නෙ. ඔටෝකැඩ් (AutoCAD-Computer Aided Design) වගෙ තමයි. හැබැයි මේකෙන් Stress Analysis (බල එහෙම දාල විශ්ලේශනය) කරන්න පුළුවන්.  කොටින්ම ආකෘතිය ඇත්තටම implement කළාම (හැදුවම) මොන වගේද කියල Simulate (සමාවෙන්න. ගැලපෙන සිංහල වචනෙ දන්නෙ නෑ. Virtual Reality - අතත්‍ය යථාර්තයද මොකද්ද කියල කියනව) කරල බලන්න පුළුවන්.


"අයියෝ මල්ලි මගේ ගාව තියෙන්නෙ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ පාවිච්චි කරපු රජ කාලෙ වර්ෂන් එකක්නෙ. දැන් අවුරුදු 7ක් විතර පරණයිනෙ. ඒ මදිවට වෛරස් ගාර්ඩ් කාරය ඒකෙ ක්‍රැක් එකත් කාලා. මොන වගේ වැඩකටද...?"


"කමක් නෑ එහෙනම්. මේ පොඩි වැඩකට. කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකකට."


ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය සම්බන්ධ ප්‍රශ්න කීපයකට විසඳුම් අහගත්ත මිනිහ යන්න ගියා.


  *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *  


මම උගන්වන්නෙ විශ්වවිද්‍යාලෙ විද්‍යා පීඨෙ වුනත් ඉංජිනේරු පීඨෙ සෑහෙන ළමයි පිරිසක් මාව අඳුනනවා. එහෙම කෙනෙක් ළඟදි ආව මාව මුණ ගැහෙන්න. ඔය ආගිය කතා අතරෙ මෙහෙම කතාවකුත් ඇදුනා.


"සර් මේ ළඟද ඉන්නෙ...?"


"ඔව්නෙ. කැකණදුර. ඇයි දන්නවද ඒ හරිය..?"


"නෑ. උදිත අතුකෝරල දන්නවද...?"


"ඔව්. දන්නවා. අපේ ගෙවල් ළඟ. අර සාගර විශ්වවිද්‍යාලෙ ඉන්න හාදයනෙ...?"


"මිනිහ පට්ට වැඩ්ඩෙක්නෙ. මිනිහ සබ්මැරීන් එකක් හදල දැන් මාර ප්‍රසිද්ධයි...."


"නෑ...!" මට පුදුම හිතුණා. මෙච්චර එකක් වෙලත් මම හාංකවිස්සියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ.


ඕක තමයි කියන්නෙ ගමේ පුහුලන් ගමට අගේ නෑ කියල.


නොදන්න අයට දැනගන්නයි කියන්නෙ. මේක සරල වැඩක් වගෙ පෙනුනට ගොඩක් අමාරු අභියෝගයක්.


විෂේශයෙන්ම මුහුදු වතුරෙ ඝනත්වය වැඩියි. මුහුද යටදි පීඩනය දරාගන්න විදියට කුටියක් නිර්මාණය කරනව කියන එක පහසු කටයුත්තක් නොවෙයි. සමහර වෙලාවට පීඩනය වර්ග අඟලට ටොන් ගණනක් වෙන්නත් පුළුවන්. පොඩි හරි නොසැලකිළිමත්වීමකින් දුර්වල තැනකින් වතුර කාන්දු (leak) වෙන්න පුළුවන්. 


අනිත් එක තමයි මේ තාක්ෂණය හරිම දුර්ලභයි. කිමිදෙන්න සහ ආපහු උඩට එන්න පාවිච්චි කරන්නෙ ටැංකි වලට වතුර පුරවගන්න එකයි ආපහු හිස් කරන එකයි. මේකත් ගොඩක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. අධි පීඩන වායු තමයි හිස්කරන්න යොදාගැනෙන්නෙ. 


කෙනෙකුට ගොඩක් සරලයි වගෙ පෙණුනට මේව බොහොම භාරදූර වැඩ. පොඩි හරි වැරදීමකින් ඇතුළෙ ඉන්න කාර්ය මණ්ඩලයට අනතුරක් වෙන්න පුළුවන්.

ඉතින් මේ අභියෝගය ජයගත්ත අපේ උදිත මලයට මගේ උණුසුම් සුභ පැතුම්.

අපේ රටට තවතවත් ඕන මේ වගෙ අළුත් දේවල් කරන මොළ. එහෙම අය ගැන දැනුවත් කිරීම මගේ යුතුකමක් විදියට හැඟුණු නිසයි මේ සටහන. අනිත් එක රට වටේටම මුහුද තිබුණත් අපේ රටේ සාගර සම්පත් ගවේශනය තියෙන්නෙ තවමත් ඉතාම අසතුටුදායක තත්වයක.මේ වගේ අඩුවියදම් දේශීය තාක්ෂණික උපක්‍රම භාවිත කරනවනම් අපිට ඒ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ එන්න සුළු හරි රුකුළක් ලැබෙයි කියල හිතෙනව.








ප.ලි. මේක දැනට සෙමි-සබ්මැරීන්, ඒ කියන්නෙ සම්පූර්ණයෙන්ම ගිලී නොයන මට්ටමේ තියෙන්නෙ. ඒ වුනාට උදිතට අවස්ථාවක් දෙනවනම් සම්පූර්ණයෙන්ම ගිලෙන මාදිලියෙ එකක් වුනත් හදන්න අවශ්‍ය කරන දැනුම තියෙනව කියල මට හොඳට විශ්වාසයි.

අපේ රටේ වැසියන්ගෙ සාමාන්‍ය දැනුම

අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.

අවුරුද්දට සාමාන්‍ය පෙළ ගණිතය උගන්නපු ගුරුතුමාගෙ ගෙදර ගියෙමි. මේ එහෙදි අහපු කතාවක්.
(ඇත්තම සිද්ධියක්)

විද්වත් සුහද කතාවට සහභාගී වී සිටින්නේ සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකයෙක්, එවැනිම සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ වියතුන් යයි කියාගත් ගුරු භවතුන් කිහිපදෙනෙක් හා අපේ ගණිත ගුරුතුමා ය.
අප ගණිත ගුරුතුමාද හොඳ කලා රසිකයෙකි. අර්ථ රසයෙන් අනූන ගීත විචාරය කිරීම කතාබහේ මාතෘකාව විය.

ආචාර්ය අමරදේවයන් ගායනා කරන 'සන්නාලියනේ' ගීතයද විචාරය පිණිස කරළියට පැමිණියේ ය.

ගණිත ගුරුතුමා : "හැබෑටම කවුද ඕක ලිව්වෙ...?"

කිසිවෙකුගෙන් පිළිතුරක් නොමැත.

අන්තිමේදී සිංහල භාෂාව පිළිබඳ ගුරු උපදේශකතුමා ඉදිරිපත් විය.

"ඕක ලිවුවෙ අපේ සුනිල් ආරියරත්න සර් නෙ."

ගණිත ගුරුතුමා : "පු* තමා." 

කට්ටිය මීයට පිම්බාක් මෙනි.

"මහගම සේකර."

මෙය ඇසූ මටද සිනාව නවතාගත නොහැකි විය.

හැබෑටම අපේ රටේ මිනිස්සුන්ගෙ සාමාන්‍ය දැනුමට මොකද වෙලා තියෙන්නෙ....?

අවවාදයයි : පණ්ඩිත (ෆුල් සීරියස්) ලිපියකි.

කලක ඉහතදී මම අගනුවර සරසවියක ශාස්ත්‍ර පීඨය සඳහා තොරතුරු තාක්ෂණය පිළිබඳ දේශන පැවැත්වීමි.

එදින දේශනය වූයේ තොරතුරුවල ආරක්ෂාව සලසා ගැනීම පිළිබඳව ය.
පරිගණක වෛරස පිළිබඳ හඳුන්වාදීමක්ද කෙරිණ. 'ට්‍රෝජන් හෝ(ර්)ස්' (Trojan Horse) යනු මෙවැනි එක් ද්වේශ සහගත පරිගණක වැඩසටහනකි.(Malware - Malicious Software) . යම් ප්‍රයෝජනවත් වැඩසටහන් මෙන් පෙනී සිට හීන් සීරුවේ පරිගණකයට රිංගා ගැනීම මේවායේ සහලක්ෂණය යි. මේ සඳහා අදහස ලබාගෙන ඇත්තේ සුප්‍රකට ග්‍රීක පුරාණ (ප්‍රබන්ධ) පුරාවෘත්තයක් වන ට්‍රෝජන් අශ්වයා කථා වස්තුවෙනි.

මේ කතාව අසා ඇති අය ඇත්දැයි මා විමසුවේ එය සිද්ධාන්තය වටහා ගැනීමට රුකුළක් වන නිසා ය.

අවාසනාවකි...! සිය ගණනක සිසු පිරිසෙන් එය අසා සිටි එකදු අයෙක් හෝ නොවීය...!!

සෙමෙස්තරය අවසානයේ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමට ගිය මා පිස්සන් කොටුවේ නොගිහින් බේරුණේ අනූ නවයෙනි..!

හාරසියයකට නොඅඩු උත්තර පත්‍ර වල මහා පරිමාණයේ අක්ෂර වින්‍යාස අඩුපාඩු සහ ව්‍යාකරණ වැරදි නොතිබුණේ අතේ ඇඟිලි ගණනටත් අඩු උත්තර පත්‍ර සංඛ්‍යාවක පමණි.

ඇතැම් පිළිතුරු හාස්‍යොත්පාදක විය. උදාහරණයක් ලෙස FTP යන්නෙහි තේරුම අසා තිබුණි. 

(නිවැරදි පිළිතුර File Transfer Protocol) ලබා දී ඇති පිළිතුර : Female Transport Protocol

ඒකනම් කමක් නෑ කියමු. උගන්නපු දවසෙ ආවෙ නෑ යයි හිතමු. 

එහෙත් රටේ කලා විශය ධාරාවෙන් ඉහළම ළකුණු ලබා ගෙන රටේ හොඳම සරසවියට එන සිසුන්ගේ සාමාන්‍ය දැනීමේ සහ භාෂා දැනුම පිළිබඳ තත්ත්වය මෙසේනම්...? 

මෙයට එක් ප්‍රබල හේතුවක් ලෙස මා සොයාගත්තේ අපේ රටේ සිසුන් තමා හදාරණ පටු විෂය ධාරාව අලලා ලියවී ඇති සීමිත (නිර්දිෂ්ට) පොත්පත් හා බොළඳ නවකතා හැරුණුකොට වෙනත් කිසිවක් කියවන්නේ නැති බවයි. 

අපේ අනාගත විද්වත් පරපුර....?