Friday, September 27, 2013

මාර්ෂල් ලෝ

වේලාව උදෑසන 8.00ට පමණ.

ලැප්ටොප් පරිගණකය උරෙහි දරාගෙන ඔහු කොළඹ සරසවියේ පිවිසුම් ගේට්ටුව අබියසය. අඳුරු වර්ණ ගැන්වුණු නිළඇඳුම ළාගත් නිලධාරියා මහ හඬින් ගුගුරන්නේ මහා අපරාධ කාරයෙක්ගෙන් ප්‍රශ්න කරන පොළිස් නිළධාරියෙක්ගේ ස්වරයෙනි.

"තමුන් කවුද?"

"මම ස්ටාෆ්." 

"මොකද්ද තනතුර..?"

"ආධුනික කථිකාචාර්ය."

"අයි.ඩී. එක...?"

"මම ගිය සතියෙ ආවෙ. අයි.ඩී. එක ඇප්ලයි කරල තියෙන්නෙ."

"මෙන්න මෙයාට යුනිවර්සිටි අයි.ඩී. එකක් නෑ. ස්ටාෆ්ය කියන්නේ.." දැඩි අවඥාවෙන් 'වරදකරු' පෙන්වා ඔහු තවකෙකුට කියයි.

"මොරටුවෙ අයි.ඩී. එක තියෙනව."

"මේක මොරටුවද..? ඒ කියන්නෙ තමුසෙ ස්ටුඩන්ට් කෙනෙක්නෙ. වී.සී. මැඩම් කියල තියෙන්නෙ අද පිට කැම්පස් වලින් කඩාකප්පල්කාරයො මෙහෙට එනව කියල. ඔය අහුවුනෙ එකෙක්. මෙන්න මූව මැඩම් ගාවට යවමු."

එවරනම් ඔහුගේ ඉවසීමේ සීමා දෝරෙ ගලා යයි.

"මේ. හලෝ. මේක අන්ඩග්‍රැඩුවේට් අයි.ඩී. එකක් නෙමෙයි. නිකං මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැතුව ඩීන් ඔෆිස් එකට කතාකරල අහනව මම කවුද කියල...!"

තවමත් සැර බාල වී නොමැත.

"අපිට වී.සී. මැඩම් කියල තියෙන්නෙ මොකා ආවත් කලම්බු යුනි අයි.ඩී. නැත්නම් ඇතුළට ගන්න එපා කියල. ඔච්චර පොර නම් මැඩම් ගාවට ගිහින් ස්පෙෂල් පාස් එකක් අරන් එනව."

ඉහත සංවාදය හමුදා නිලධාරියෙක් හා සරසවි ශිෂ්‍යයෙක් අතර සිදුවූවක් නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විනය පාලක නිළධාරී හෙවත් මාර්ෂල්වරයෙක් හා මේ සිදුවීම වූ එකල එහි ආධුනික කථිකාචාර්යවරයෙක් (වත්මන වෙනත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්) අතර සිදුවූ සංවාදයකි.

නිමිත්ත : (සරසවියේ සියළුම අඩුපාඩු සංසිදුවීමෙන් අනතුරුව) කෝටි ගණනක වියදමින් මාර්ෂල්වරුන්ට වායුසමනය කළ නිළ නිවාස ඉදිකිරීමට පාලනාධිකාරිය තීරණය කිරීම.

Thursday, September 5, 2013

පිරිමින්ගේ විවාහය ගැන බමුණු මත

අපේ ලොකු අම්මගෙ දුවෙක් බැන්දා ගිය සතියේ. ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ නෑදෑයො කස්ටිය එකතු වෙලා ලොකු කයිවාරුවක් පටන් ගත්තා. දන්නවනේ ඉතින් ඔය වගේ වෙලාවට ඇදෙන කතා. අවිවාහකයින්ට විවාහ යෝජනා ඉදිරිපත් වෙන්න ඊට වඩා හොඳ අවස්ථාවක් තවත් නෑනේ.

ඉතින් පවුලේ දැනට ඉතිරි වෙලා ඉන්න තනිකඩයො ටිකත් අමාරුවේ දාලා එළවලා දාන්න තමයි මෙයාලගෙ කල්පනාව. අනේ ඉතින් (ලැජ්ජාවෙන් ඇඹරෙමින්) මේ සැරේ ඔය අවාසනාවට ගොදුරු වෙන්න ගිය අහිංසකයෙක් තමා මම තුමා.

කස්ටිය මගේ වයස එහෙම අහගන්නකොටම මම දැනගත්තා බඩුම තමා කියලා.

මුළින්ම දැන් මගේ කළ වයස හරි කියලා මතක් වුනේ අපේ ලොකු අම්මට.

හැබැයි මෙච්චර දියුණුය කියන සමාජයේ කවදාවත් ඇහෙයි කියා හිතුවෙ නැති එතනදි ඇහුණු කතා ගැන නම් මට තාමත් පුදුමයි. 

මේ තියෙන්නෙ එතන වුණු සංවාදය.

1 ඥාතියා : "අනේ ඉතින් 29 කියන්නෙත් වයසක්ද..?"

2 ඥාතියා : "මේ කටේ කිරි සුවඳ නොගිය පුංචි ඈයොන්ට මොන ගෑණුද..?" (ඈයා කියන්නෙ අර ගස් නගින සතා නොවෙයි, දකුණු පළාතෙ ගම්වල 'එකා' කියන්න භාවිත වෙන පදයක්නෙ.)

3 ඥාතියා : (නුරුස්නා ස්වරයෙන්) "ඕකනෙ කියන්නෙ. දැන් ඉන්න උන්ට ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම ගෑණු ඕනවෙනව...!"

මෙතනදි ලොකු අම්ම තනි ගේමකට සෙට් වුණා වගේ පේන්නෙ.

ලොකු අම්මා : "එහෙම කියන්න එපා. අපේ දරුවන්ගෙ අනාගතේ ගැන අපි මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන..." 
මෙහෙම කියල ලොකු අම්ම අපේ අම්මගෙ මූණ බැලුව.

මේ කතාව මා සම්බන්ධයෙන් කවදාවත් ඇදිල නැති නිසා මම කුතුහලයෙන් හිටියෙ අපේ අම්මගෙ අදහස දැනගන්න.

"නෑ. අක්කේ. මෙයා තාම ඉගෙන ගන්නව. අනික ගෙවල් දොරවල් හරියකට නෑ. අම්බලම වගේ. වැස්ස දවසට තෙමෙනව. කොහොමද පිට කෙනෙක් ඇවිල්ල ඉන්නෙ..අනිත් එක මෙයාට තව වයස තියෙනව. අපේ ප්‍රියන්ත (අපේ මාමා) උනත් බැන්දෙ 34 දි නෙ. පිරිමියෙකුට 39 උනත් වයසක් නෑ. ගෑණු ළමයෙකුට තමයි ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ." අපේ අම්මගෙ ආකල්පය එහෙමයි.

"ඔව්. ඔව්. මෙයැයි දැන්මම බඳින්න ඕනෙ නෑ. ඉන්න තැනක්වත් තියෙනවැයි හරියකට..?" ඒ දෙවන වසර වෛද්‍ය ශිෂ්‍යාවක් වන අපේ නංගි කාරි.

"කොහොමත් ගෙදර නංගිලා ඉන්නකොට අයියලා ඉස්සර වෙන සිරිතක් නෑ. නංගිලගෙ කටයුතු එකළාසයක් කරලයි ඒව ගැන බලන්නෙ. මොකද්ද ඔච්චර තියෙන හදිස්සිය..?" අපේ අම්මලා හිතන හැටි.

"ඩිග්‍රි ගැහුවට වැඩක් නෑ. තාම වැඩිහිටියො ඉස්සරහ අතපය විසිකරන්නෙ නැතුව කතාකරන්නවත් දන්නෙ නෑ." ඇවිළෙන ගින්නට පිදුරු දාන්නෙ අපේ මාමා.

මේ ඔක්කොම කතා අහන් ඉඳල දැන් මට නප්පියටම තද වෙලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මගෙ අදහසක් අහන්නෙ නැතුව එයාම යෝජනා ගෙනත්, වාද කරල නිෂේදනය කරනව.

"මට ඕනෙ ඇති මගුලක් නෑ." මම අන්තිම තීන්දුව දුන්නු නිසා කට්ටියට කට උත්තර නැති වුනා.

සංවාදය අවසන්. දැන් විචාරය.

හරි. අවුරුදු 29 කියන්නෙ කෙනෙක් පරිපූර්ණ වශයෙන් පරිණත භාවයට එලැඹිලා නැති වයසක් කියල මම පිළිගන්නව. (ඔය චෝදනාවමනෙ මාවයි බ්ලොග් එකයි අල්ලන්නෙ නැති අයගෙ ලොකුම තුරුම්පුව.)

මෙතනදි මම කතාකරන්නෙ පිරිමියෙකුට විවාපත් වීමට සුදුසුම වයස කියා සමාජය සම්මත කරගෙන ඉන්න ආකල්පය ගැනයි. 

අවුරුදු 39 වුනත් පිරිමියෙකුට අවුලක් නෑ කියල සඳහන් වුණා. නමුත් හිතන්න 39 දි බඳින කෙනෙක් 40 දි දරුවෙක් ලබනව. දැන් කාලෙ තියෙන ආයුෂ ගැන හිතනකොට කෙනෙක් 60 පැනල ජීවත් වෙයි කියල හිතන්න අමාරුයි. හොඳයි අපි හිතමු 58ක් ජීවත් වුණා කියල. වැඩිමහල් දරුවගෙ වයස 18 දී පියා අහිමි වෙනව. ඊට පස්සෙ මුළු පවුලෙම බර අදින්න වෙන්නෙ එයාට. (මං දන්නව ඉතින් කඳ මෙහෙ වුනාට හිත අමරිකාවෙ තියල ආපු අපේ උගත්තු කියන කතාව. දියුණු රටවල වයස 18 වෙනකොට දරුවන්ට සම්පූර්ණ නිදහස දෙනව 'ඕන එකක් කරගනින්' කියලනෙ කියන්න හදන්නෙ. හැබැයි මේක ලංකාව. ලංකාවෙ දරුවෙක් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලෙ යන්නෙ වයස 20දි විතර.) 

අනිත් එක ඔය කතාවෙන් මට හැඟී ගිය එකක් තමයි අම්මල, සහෝදරියො කොච්චර පිටින් කැමැත්ත පෙන්නුවත් තමන්ගෙ පුතා, සහෝදරයා පිට කෙනෙක් එක්ක ආදරය, ආරක්ෂාව, ආර්ථිකය බෙදා ගන්නවට යටි හිතෙන් කැමති නෑ කියන එක.

පිරිමියෙක් හීනෙකින්වත් හිතල නැති කෙනෙක්ගෙ නැන්දම්මලගෙ, නෑනලගෙ එයා ගැන තියෙන ආකල්පය කොහොම එකක්ද කියල සියුම් විදියට තේරුම් ගන්න උත්සාහ කරන ඕනම කෙනෙකුට තේරෙනව.
ගෙවල් දොරවල් හරියකට නෑ කියන්නෙ "මේ ගෙදරට ගෑණු ගේන්න එපා. අපි වගකීමක් දෙන්න බෑ එයා එක්ක වළි දාගන්නෙ නෑ කියල. ඕනමනම් තමන්ගෙම ගෙයක් දොරක් හදගෙන පල....!"  කියන එකනෙ.
අනිත් කාරණේ: නංගිලගෙ කටයුතු අහවර කරල ඉන්න කියන්නෙ විවාහ වුණාට පස්සෙ එයාලගෙ විවාහ උත්සවයට (ගෑණිගෙ අකමැත්ත නිසා) අපි වියදම් නොකර ඉඳියි කියන බයටනෙ. එතනත් තියෙන්නෙ අවිශ්වාසය. 

ඉතින් නැන්දම්මා-ලේලි, නෑනලගෙ ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට දායාද වෙන එක අහන්නත් දෙයක්ද..?