Sunday, October 18, 2015

රාජ්‍ය සම්මාන මායාව සහ ග්‍රන්ථ ප්‍රකාශක මාෆියාව

මගේ පියාගේ කෘතියක් රාජ්‍ය සම්මානයක් උදෙසා නිර්දේශ වී ඇති බව අහම්බයෙන් දැනගන්නට ලැබුණි. (Link)
මුළදී මා එය විශ්වාස නොකළත් (ඔහුගේ කුසලතාවය පිළිබඳ අවිශ්වාසයක් නිසා නොව, රටේ ක්‍රමය පිළිබඳව ඇති සුපහන් සංවේගය හේතුවෙන්) එය සත්‍යයක් බව දැනගන්නට ලැබුණි. 

මේ ඒ පිළිබඳව උදම් ඇනීමක් නොව, කලාකරුවෙකුගේ ජයග්‍රහණයක කැටිව ඇති, මතුපිටින් ලොවට නොපෙනෙන කටුක යථාර්ථය පිළිබඳ හෙළිදරව්වක් යයි කිවහොත් වඩාත් නිවැරදිය.

'පළමු දඩයම' මෑතකදී ග්‍රන්ථයක් ලෙස දොරට වඩින්නට පෙර එය පළමු වරට උපත ලැබුවේ වේදිකා නාට්‍යයක් ලෙසටය. ඒ අතීතය මින් වසර 8ක්, එනම් 2007 දක්වා ඈතට දිව යයි. නමුත් එහි වස්තු බීජය ම'පියාගේ සිත තුළ පිළිසිඳ ගන්නට ඇත්තේ ආසන්න වශයෙන් මීට දශකයකට පමණ පෙරාතුව ය.

එයට මුල්වූ සංවේදී අත්දැකීම නොහොත් වස්තු බීජය බොහෝ දෙනා නොදනී. සිද්ධිය සැකෙවින් මෙසේය:

දැන් විශ්‍රාම සුවයෙන් පසුවන ම'පියා එකල මාතර නගරයේ ප්‍රමුඛතම බාලිකා විද්‍යාලයක නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඇදුරුතුමන් විය. 

වෙනත් සංස්කෘතියක් නියෝජනය කළද, නාට්‍යකරණයට සහජ දක්ෂතා පෙන්නුම් කළ දක්ෂ ශිෂ්‍යාවක් විය. ජීවිතයේ සාමාන්‍යපෙළ කඩඉම වුව පසු කළේ නොමැති වුවද ඇගේ දෙමාපියන්ගේ අභිලාෂය වූයේ ඇය කුඩා කලම ගිවිසගත් පරිදි වය්‍යාපාරික තරුණයෙකුට විවාහ කර දීමය. මේ පිළිබඳව සිසුවිය  තුළ අබමල් රේණුවකුදු කැමැත්තක් නොවුවද, දෙමාපියන් ඒ සඳහා ඇයට බලකර සිටින්නට වූහ. මේ පිළිබඳ සිත් තැවුලෙන් නොකා නොබී දින ගත කළ ඇය පිළිබඳ ම'පියාට දැනගන්නට ලැබුණි. 
ඔහු ඇගේ නිවසට ගියේ ය. එහිදී ගුරුවරයෙකු වශයෙන් ඔහු හද කම්පා කරවන අත්දැකීමකට මුහුණ පාන්නට සිදුවිය.

"අනේ සර්....මාව බේරගන්න!" සිසුවිය ඔහු පාමුළ වැඳ වැටුණා ය.

දෙමාපියන්ට කෙතෙක් කරුණු පැහැදිලි කර දුන්නද සිය දියණියගේ සුකොමළ ජීවිතයට වඩා ආගමික චාරිත්‍රය ලොකු කරගත් ඔවුහු සිය රුදුරු තීරණය වෙනස් නොකළහ.

ඉතා සංවේදී පුද්ගලයෙකු වූ මගේ පියා මින් ඉමහත් කම්පාවට පත්විය.

අප්‍රිකානු අනුභූතියක් තුළ ගොඩනැංවුවද, ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයක මස් වැද්දෙකුගෙන් ඉගෙණුමෙහි සමත් තරුණියක් ගලවාගෙන සිදාදියට පළා යන්නට යත්න දරණ ගුරුවරයෙකුගේ ප්‍රස්තුතය (තේමාව) රැගත් එම නිර්මාණයෙන් පිළිබිඹු වූයේ අප ජීවත්වන සමාජයේම එක් අඳුරු පැතිකඩකි. තවත් එක් 'කාන්තාරයේ කුසුම' කි. (Desert Flower by Waris Dirie)

'පළමු දඩයම' ඔහු සේවය කරන විද්‍යාලයේ පෙරහුරු දර්ශනයක් රඟදැක්වූ දිනය ඔහුට වඩාත් වේදනාකාරී එකක් විය. 100% ක්ම ස්වතන්ත්‍ර වූ මේ නිර්මාණය, පරිවර්තනයක් හෝ අනුවර්තනයක් විය යුතුයැයි ඇතැම්හු නිගමනය කළහ. මීටත් වඩා බරපතළ චෝදනාවකට, (සිය පෞද්ගලික ජීවිතයට බලපෑම් එල්ලවන තරමේ) ඔහු ලක්විය. කථාවේ යටිපෙළ අරුත තේරුම් ගන්නට නොහැකි වූ එක්තරා කලාකාරයන් පිරිසක් එය අර්ථ දැක්වූයේ මෙසේයැ! 

කලාකරුට සිය සිසුවියක් පිළිබඳ සිතක් පහළ වී ඇත. මෙය සමාජ සම්මත‍යට පටහැනි නිසා එකම විසඳුම "අපි පැනලා යමු" යන්න වය්‍යාංගයෙන් පැවසීමයි. කතාවේ තේමාව දිවෙන්නේ ඒ ඔස්සේය...!
මේ කතාව මගේ අම්මාටද අසන්නට ලැබුණා නොව, 'ෆුල් සීරියස් මූඩ් එකක' කිසිවෙකු විසින් පවසන ලදී. විශ්වවිද්‍යාලයේදී ප්‍රේම සම්බන්ධයකින් විවාපත් වී දශක තුනකට අධික කාලයක් පුරාවට ම'පියා ගැන දන්නා ඇය එය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කිරීම අප කාගේත් පූරුවේ වාසනාව විය.

දහඩියෙන් කඳුලෙන් ඉපයූ, (එක් දර්ශන වාරයකට) අසූ දහසකට අධික (සෑම දර්ශන වාරයකම ආදායම ඊට වඩා බෙහෙවින් අඩු වූ බව කිව යුතුය.) මුදලක් හා මිළ කළ නොහැකි කැපකිරීම් රාශියක අග්‍ර ඵලය ලෙස ඔහු එය නැවත නැවතත් වේදිකා ගත කළේය. ඒ මාස ගණනක කාලය තුළ කිසිදිනෙක ඔහු මධ්‍යම රාත්‍රී පසුවී අළුයම උදාවනතුරු නිවසට පැමිණියේ නැත. ඔහු එනතුරා හදවත් රෝගියෙකු වූ මගේ මවුතුමිය නිදිවරා මගබලා සිටියාය.

අන්තිමේදී එය 2008 රාජ්‍ය නාට්‍ය උළෙලට නිර්දේශ විය. එය නැරඹූ නැසීගිය කලාශිල්පී එච්.ඒ. පෙරේරා මහතා එය ඔහු සිය ජීවිත කාලයේ නැරඹූ හොඳම වේදිකා නාට්‍ය අතළොස්ස අතර තිබෙන බවද, රාජ්‍ය සම්මානයක් නියත බවද කීය. ඔහු පමණක් නොව, එකී රාජ්‍ය නාට්‍ය උළෙලේ සියළුම නාට්‍ය එකක් හෝ අත නෑර නැරඹූ දිවයිනේ ප්‍රකට මාධ්‍යකරුවෙක් එය සනාථ කළේ ය. 

නමුත් පුදුමය නම් අවසානයේ කුසලතා සම්මානයක් හෝ දිනාගැනීමට එය සමත් නොවීමය. විවෘත මනසක් සහිතව මා නැරඹූ එතරම් කැපී පෙනෙන විශේෂත්වයක් නොමැති ඇතැම් නාට්‍යවලට සම්මාන වරුසා වසින්නට විය. අප ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අනුවර්තනයක් ඉදිරිපත් කිරීම ඊට හේතුව යයි තැන තැන කසුකුසු ගානු ඇසිණ.

ලොකුම විහිළුව නම් එකී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම ස්වතන්ත්‍ර නිර්මාණය සම්මානය දිනූ 'නිර්මාණය' අනුවර්තනයක් වීම ය. මා ඒ වනවිටත් නරඹා තිබූ 'අ බියුටුෆුල් සන්ඩේ' නම් විශ්ව කීර්තියට පත් නිර්මාණයේ විදේශීය නම් වෙනුවට ලාංකික නම් ගම් ආදේශ කිරීම මගින් නිර්මාණකරු එය ස්වතන්ත්‍ර නිර්මාණයක් යයි අපූරුවට ඒත්තු ගන්වා තිබුණි.

සම්මාන සඳහා නිර්දේශ වූ නාට්‍යය නිර්මාණය අත්වූ කල දසාව එසේ වෙද්දී ඉන් බිඳක්වත් නොසැලුනු ම'පියා, එය 'ග්‍රන්ථාරූඪ' කිරීමට සත් වසක් දුක් විඳී ය.

මහා දානපතියන්, සමාජයේ පරමාදර්ශී පුද්ගලයින් ලෙස පෙනී සිටින බොහෝ පොත් ප්‍රකාශකයින්, ඔහු නොසලකා හැරියා පමණක් නොව ඔහුට අවමන් කිරීමටද නොපැකුළුනි.

පසුගිය 'දූෂිත' රජය පෙරළා වත්මන් යහපාලනය උදාකිරීමට මාධ්‍ය මගින් මහ මෙහෙවරක් කළ එක්තරා මහැදුරෙකුට අයත් 'විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය' එහිළා විශේෂ ය.

ගිනි අවුවේ නාට්ටාමි කෙණෙකු මෙන් මහා පොත් මිටියක් අතේ දරාගෙන ඔහු එකී ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයට ගොඩවන විට එහි සිට ඇත්තේ එකී මහැදුරුතුමාගේ ප්‍රියාදර ඇඹෙණිය යි.

"අපෝ..! ඔය අප්‍රසිද්ධ ලේඛකයින්ගෙ පොත් ගහල අපිට නිකං පාඩු විඳින්න බෑ. අපි බිස්නස් එකක්නෙ කරන්නෙ. අනිත් එක මේ දවස්වල කවුද නාට්‍ය පොත් කියවන්නෙ? මේ දවස්වල නැගල යන්නෙ ඔය නවකතා, ශිෂ්‍යත්ව පොත් වගේ ඒවනෙ. බැරිද ඒ වගේ ඒව කරන්න?" 

සොච්චම් කතෘ භාග (භාග කිවුවට 50% නොවේ. 5 % කි!) ගිවිසුමක් යටතේ මුද්‍රණයේ පවතින සිය පොතක සෝදුපත් බැලීමට සිවුවන මහළ නැගීමට ගිය මගේ පියාට, ඇස් ගොඩගේ නම් ජාතියේ මහා පහන් තැඹ, සිය ආයතනයේ විදුලි සෝපාව භාවිත නොකර පියගැටපෙළ භාවිත කරන්න යැයි අණ කර තිබේ. තුන් වේලවත් කන්න නොතිබූ අන්ත දිළිඳු ගොවියෙකුගේ පුතෙකු වූ ඔහුට තට්ටු සතරක් නැගීම මහ ලොකු කජ්ජක් නොවේ. එහෙත් පඩි පෙළ නගින අතරතුර ඔහු මට මෙසේ කීය.

"මේ මිනිස්සු මැරෙනකොට ගෙනියන්නද දන්නෙ නෑ අපි වගේ දුප්පත් ලේඛකයින් හූරා කාල මෙච්චර හම්බ කරන්නෙ. අඩු ගානේ දරුවෙක් මල්ලෙක්වත් ඉන්නවනම් කමක් නෑ."

ප.ලි. කංචුක නිර්මාණය: ලංකාදීප ප්‍රවීණ කාටුන් ශිල්පී පියල් උදය සමරවීර මහතාගේ පුත් පසත් සමරවීර.

මේ හා සබැඳි වෙනත් ලිපි:

පොත්
මගේ තාත්තා හෙවත් 'පළමු දඩයම' මැවූ ලේඛක තුමාගේ අපූරු ජීවිත කථාව








Friday, September 4, 2015

දෙමළු...

වස කම්මැලිකමෙන් මං උදේ නැගිටිනකොට 'මචං යූ ප්‍රිෆර් ටී ඕර් කොෆී?' කියල අහල තාමත් නිදි මරගාතෙ ඉන්න මගෙ අතට 'බෙඩ් ටී' එක දෙන එකා දෙමළෙක්.

ටික වෙලාවකින් උදේ කෑමට කැන්ටිමට එනව. "සර් මොනවද?" කියල අහල කන බොන ජාති ස්ටාෆ් ටේබල් එකටම ගෙනත් දෙන එකා දෙමළෙක්.

ඊට පස්සෙ ඔෆිස් එකට එනව. මාව දැකල දෙයියො බුදුන් දැකල වගෙ අතුගගා හිටපු කොස්ස කෙළින් කරල අල්ලගෙන එකත්පසක්ව පැත්තකට වෙලා යටහත් පහත්ව "ගුඩ් මෝර්නින්ග් සර්" කියන ගෑණි දෙමළියක්.

ඒ වෙනකොටත් මගෙ ප්ලාස්ක් එකේ උණුකරල නිමපු වතුර පුරවල. ඒත් වැඩි වෙලාවක් යන්න කළින් මම වතුර සේරම බීල ඉවර කරනව. එතකොට "සර් වතුර ඕනෙද" අහල අල්ලපු බිල්ඩින් එකට දුවල ඉක්මනට වතුර උණුකරල නිමල ගේන ගෑණි දෙමළියක්. 

රාජකාරි වැඩකට ඇඩ්මින් බිල්ඩින් එකට ගියාම හැමදේම හොයල බලල උදවු කරන Assistant Registrar දෙමළෙක්.

උදේ 10 ටයි හවස 3.30 ටයි අපිට තේ හදල බොහොම ගෞරවයෙන් පිළිගන්වන්නෙ දෙමළියක්. කොටින්ම අපි බීපු තේ කෝප්පෙ පවා හෝදන්නෙ දෙමළ ගෑණියෙක්.

ඔෆිස් එකේ වැඩයි පී.එච්.ඩී එකේ වැඩයි වැඩිවෙලා ස්ට්‍රෙස් උනාම මගේ වැඩත් එක්ක අදින්නෙ දෙමළෙක්.

මං කෑවද, බීවද, බෙහෙත් බිව්වද, මේ හැම එකක්ම සහෝදරයෙක් වගේ හොයා බලන්නෙ දෙමළෙක්.

"අයියා. ගෙදර අය බලන්නෙ නැතුව පාළුයි." කියල තමන්ගෙ දුක මාත් එක්ක බෙදාගන්න ජූනියර් ලෙක්චරර් දෙමළ කෙල්ලක්.

කොණ්ඩෙ වැවිල වැඩියි කියල හිතුනම හවසට ටවුන් එකට යනව. ටවුමට යන බස් එකේ කොන්දොස්තර දෙමළෙක්.
සැලූන් එකේදි මගේ කොණ්ඩෙ කපන්නෙ දෙමළෙක්.
ආපහු එන ත්‍රීවීල් එක එළවන්නෙ දෙමළෙක්.

"මගෙ වෙඩින් එකට 'සුනිත්' එන්නම ඕන කියල" ඔෆිස් එකටම ඇවිත් ඉන්විටේෂ්න් එක දීල, මං ඒ වෙනුවෙන් යාපනේ ගියාම මගේ අත මිරිකල තදින් බදාගෙන වැළඳගත්තෙ දෙමළෙක්.

ඒ යන ගමනෙදි මට සත 5ක් වියදම් කරන්න දෙන්නෙ නැතුව, නැවතුන තැනදි මදුරුවෙකුටවත් මට ළං වෙන්න නොදී, ළිඳෙන් වතුර අදින්නවත් දෙන්නෙ නැතුව මාව පොඩි එකෙක් වගේ පරිස්සමින් බලාගත්ත එකා දෙමළෙක්. 

මේ දැනුත් කෑමට යන්න මගේ වැඩ ඉවරවෙනකම් බලාගෙන ඉන්න එකා දෙමළෙක්.

දැන් ඔබට තිබෙන සාධාරණ ප්‍රශ්න කිහිපයකට උත්තර දෙන්නම්.

Q. උඹ/මල්ලි/අයියා/සර් වැඩ කරන්නෙ තමිල්නාන්ඩුවෙද / තූත්තුකුඩියෙද?
A. නෑ මචං/මල්ලි/අයියා/පුතා. මේ සිරි ලංකාවෙ බදුල්ලෙ. පහසුකම් නම් තූත්තුකුඩියෙ වගෙ තමා. ඒත් මේකත් ලංකාව ඇතුළෙම තියෙන පුහුලමක් තමා.

Q.ප්‍රභාකරනුත් දෙමළෙක්නේ?
A. ඔව්. දෙමළෙක් විතරක් නෙවෙයි නොම්මර එකේ ත්‍රස්තවාදියෙක්.
Q. 'ත්‍රස්තවාදියා' යන වචනයට ඔබ දෙන නිර්වචනය කුමක්ද?

A. නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කරන, එසේ කරන්නට සැලසුම් කරන හෝ අනුබල දෙන ඕනෑම එකෙක් (මොන ජාතියේ වුනත්) ත්‍රස්තවාදියෙක්.

Thursday, June 4, 2015

ජීවිත තුට්ටුවකට නොවටිනායයි සිතන මාතර මහ රෝහල

මා කරන්නට යන්නේ ඉතා බරපතල චෝදනාවකි. එනම්,

ලංකාවේ ඉතා අකාර්ය්‍යක්ෂම සහ නොසැලකිලිමත්ම රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වාසය කරන්නේ මාතර මහ රෝහලේ බවය.

සඳුදා උදේ දේශනයක් අතරතුර, (11.00 ට පමණ.) මට හදිසි දුරකථන ඇමතුමක් ලැබුණි. හදිසි යනු රාජකාරි දිනවල කාර්යාල වේලාවේ මා කාර්යබහුල බැවින්, මා අමතන්නට එපා යයි ගෙදර මිනිස්සුන්ට කලින්ම දැනුම් දී ඇති බැවින්, එවන් වේලාවක ලැබෙන්නේ ඉතා වැදගත් පණිවුඩයක් පමණක් හෙයිනි.
ඉන් කියැවුණේ, අපට ඉතා ලබැඳි මගේ ඥාති සොයුරියක් කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
ඒ අනුව මා දේශනය කළින් නවත්වා මාතර හා ගාල්ල බලා පිටත් වූයෙමි.

දැන ගත් පරිදි සිදුවීම් දාමය මෙසේ ය.

මීට දින 3-4 කට පෙර ස්වසන අපහසුතාවය හා මද උණ ගතිය හේතුවෙන් මා ඥාති සොයුරිය මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී තත්ත්වය උත්සන්න වී ඇති අතර, රෝගය නිවුමෝනියාව යයි නිගමනය කර ප්‍රතිකාර කර ඇත. දින 3කට පසු ස්වසන අවහිරතාවය සහ මද උණ ගතිය තිබියදීම 

"ඔයාට දැන් සනීපයි. අනිත් එක මොකටද මෙතන තද බදේ අස්සෙ ඉන්නෙ. අපිට ඇඳනුත් නැහැ. අනිත් අයට දෙන්න තියෙන චාන්ස් එකත් නැති වෙනවා." යයි කියමින් අප ඥාතීන්ගේ දැඩි විරෝධතාවය මැද බලෙන්ම ටිකට් කප්පවා ඇත. 

තත්ත්වය එන්න එන්නම නරක් වූ හෙයින්ද, මාතර රෝහලෙන් තවදුරටත් පිළිසරණක් නොමැති හෙයින්ද ඥාතීන් මැදිහත් වී සොයුරිය කරාපිටිය ශික්ෂණ රෝහල (Teaching Hospital) ට ඇතුළත් කරන ලදී.

එහිදී හෙළිවූයේ මා ඥාති සොයුරියට ඉතා දරුණු වයිරසයක් වන Influenza A H1N1 ආසාධනය වී ඇති බවයි. මේ වනවිට ස්වසන අපහසුතාවය උත්සන්න වී ඇති අතර, වහාම දැඩි සත්කාර ඒකකය (ICU - Intensive Care Unit) වෙත යොමු කරන ලදී.
එහිදී හෙළිවූයේ, රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය 78 දක්වා පහළ බැස තිබූ බවයි. (නීරෝගී පුද්ගලයකුගේ මෙය 92-98 දක්වා පරාසයක පවතී.) 
වෛද්‍ය නිගමනය වූයේ තවත් ඒකක කිහිපයක් පහළ බැස්සානම්, එනම් තවත් අඩ පැයක් හමාර වූවානම් ඇගේ ජීවිතය අවසන් වන බවය.
මේ මොහොත වනවිටත් ඇය ජීවත් වන්නේ ඉතා අවදානම් තත්ත්වයක, සම්පූර්ණයෙන්ම යන්ත්‍ර ආධාරයෙන් ය.

මා ඥාති සොයුරිය, මාස කිහිපයක් වයසැ'ති බිලිඳු දියණියකගේ අම්මා කෙනෙකි. අම්මාගේ උණුසුම නොමැතිව අවිහිංසක සුරතල් දියණිය හඬනු දැක්ම තරම් හද කම්පා කරවන දර්ශනයක් මිහිපිට නොමැති තරම් ය.



Saturday, April 18, 2015

Extrasensory Perception (ESP) යනු යථාර්තයක්ද? මායාවක්ද? (සංවේදීගේ අත්දැකීම් ඇසුරින්)

සටහන තැබීමට කළින් කාරුණික මතක් කිරීමක් කරනු කැමැත්තෙමි. එනම් උග්‍ර භෞතිකවාදී අදහස් දරන අයට මෙය කිසිසේත්ම ඉන්ද්‍රීය ගෝචර සංකල්පයක් නොවන හෙයින්, ඔවුන් මෙය කියවීමට සිය වටිනා කාලය මිඩංගු නොකළ යුතු මනාය. සෘජුවම කිවහොත්, විශ්වයේ පවතින්නේ මිනිස් සිරිරේ භෞතික සංවේදන ඉන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව හා චර්මය යනාදියට සහ විද්‍යාත්මක උපකරණ හෝ ගණිතයමය අභ්‍යුනය, තර්කනයට හසු වන්නා වූ බලවේගයන් පමණක්මැයි යන මතයේ දැඩිව එල්බගත් අයවළුන්ට මෙය සාතිශය බොලඳ, විද්‍යාත්මක සාක්ෂ්‍යවලින් තොර, හුදෙක් ප්‍රලාථයක් පමණක් වනු ඇති බවය.




Extrasensory Perception (ESP) යනු ඉහත කී පංචේන්ද්‍රියයන්ට හැර, සයවන ඉන්ද්‍රියක් ලෙස සැලකෙන මනසට අතිග්‍රහණය කෙරෙන පණිවුඩ හා බාහිර සංවේදනයන් පිළිබඳ කෙරෙන අධ්‍යනයකි. මෙය ඩූක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ ජේ.බී. රයින් විසින් මූලිකත්වය ගෙන ක්‍රමවත් අධ්‍යයනයකට බඳුන් වූවායැයි සැලකෙන නමුත්, විද්‍යාත්මක දර්ශනය පිළිබඳ දේශනයකදී මෙකී විෂය පථය ප්‍රථමයෙන්ම ගැඹුරුන් හදාරා ඇත්තේ සිද්ධාර්ථ ගෞතම විසින් බව අසන්නට ලැබුණේ අබෞද්ධ විද්‍යාඥයෙකුගේ මුවිනි. (සිද්ධාර්ථ ගෞතම යන නම ඇසුණු සැණින් 'ආගම නේ? අපොයි අවිද්‍යාව. මිත්‍යාව' කියා අළුයම ලූ කෙළ පිඬක් සේ බැහැර කරන 'ප්‍රාමාණික විද්වතුන්' මෙරටද දුලබ නොවන බව කණගාටුවෙන් සටහන් කර තබන්නේ ලද අත්දැකීම් මත ය.)

පඳුර වටේ තැළුවා ඇති ය.

ආසන්නතම අත්දැකීම ලද්දේ ඉතා මෑතකදීය.

එකම සම්මුඛ පරීක්ෂණයට මුහුණ පා, එකම දිනයේ ස්ථිර පත්වීම් ලද, ඉතා ලෙන්ගතු දමිළ ජාතික මිතුරෙකු මට සිටී. දැඩි හින්දු භක්තිකයකු වන ඔහුද මා මෙන්ම ඉතා සංවේදී අයෙකි.

සති 2කට පමණ ඉහතදී, මා සේවය කරන සරසවියේ අවසන් වසර සිසුන් විසින් සමුගැනීමේ සාදයක් සංවිධානය කර තිබුණි. කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ටද ඊට ඇරයුම් ලැබුණි.
ආචාර්ය මණ්ඩලයේ අයට සමරු ඵලකයක්ද පිරිනැමුණි.
සාදය අවසන, සිසුන්ට සුභ පතා මා වාහනයට පැමිණියේ තරමක් ප්‍රමාද වී, අවසානයටය. මා එනතුරු මිතුරන් සහ අංශාධිපතිතුමා මිනිත්තු කිහිපයක් රැඳී සිට ඇත.

නිල නිවාසයට ආසන්න වත්ම මට හදිසියේ යමක් මතක් වීමෙන් මහත් කණගාටුවක් ඇති විය. එනම් මා ලද සමරු ඵලකය හෝටලයේ අමතක වී දමා විත් වීමයි.
එය මේ සරසවියේ සිසුන්ගෙන් මා ලද පළමු සිහිවටනය වීම නිසා එය මට මහඟු වටිනාකමකින් යුත්තක් විය. මට යළි යළිදු දැනුනේ මහත් පශ්චාත්තාපයකි.

ඒ පිළිබඳම මා මිතුරාටද පැවසීමි. ඔහු කිසිත් නොකී ය.
නිල නිවාසය කීවාට ඇත්ත වශයෙන්ම මාත්, මගේ දමිළ මිතුරාත් තාවකාලිකව නවාතැන් ගෙන සිටින්නේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාර්ය මණ්ඩලයට වෙන්වූ කාමරයකය.

මුහුණ සෝදාගෙන පැමිණ යළි මේසය ඉදිරිපිට හිඳගත් මා විමතියට පත්වීමි.

මට අමතක වූ සමරු ඵලකය මේසය මත විරාජමානව සිටී...!

මේ නම් මා මිතුරාගේ වැඩක් බව මම එසැණින් වටහා ගතිමි. එහෙත් මට එය අමතක වන බව ඔහු කල්තියා දැනගත්තේ කෙසේද? ඔහු උත්සව ශාලාවෙන් පිටවූයේ මා ඉන් පිටවීමට මිනිත්තු කිහිපයකට ප්‍රථමය.

මේ පිළිබඳව ඔහුගෙන් විමසූ විට දැනගන්නට ලැබුණේ කිසියම් අධ්‍යාත්මික බලවේගයක් (Spiritual Influence) විසින් මට එය අමතක වනබව ඔහුට දැනගන්නට සැලැස්වූ බවයි. සාමාන්‍යයෙන් මමද අත්භූත බලවේග (පමණක් නොව නක්ෂ්ත්‍රය, ගුරුකම්, දෙවියන්, යක්ෂයින් පමණක් නොව බෝධි පූජා හා පිරිත් පවා) කෙරෙහි දරන්නේ ඇල්මැරුණු ආකල්පයක් වුවද කිසිදු හේතුවක් නිසා අසත්‍යයක් නොපවසන මගේ මිත්‍රයා කියන දෙය එක්වරම ප්‍රතික්ෂේප කිරීමට මට සිත් නොවේ.

මේ හා සමාන වෙනත් අත්දැකීමක්ද මා සතුව පවතී. ඒ මීට වසර 8කට පමණ පෙරාතුව, මා සරසවි ශිෂ්‍යයෙක් වී කාලයේ ය.

සරසවියේ සිවු වසරම මා හා එකටම සිටි ඉතා කුළුපග මිත්‍රයෙක් විය 'තෙලා'. ඉතාම අවිහිංසක, අවංක, අව්‍යාජ මිත්‍රයෙක් වූ ඔහු ගැන වෙනම සටහනක් නොතැබීම ඔහුට කරන බලවත් අසාධාරණයකි. 

සවස් වරුවේ දේශන නිමවී මා නවාතැනට ගොඩ වූයේ දැඩි තෙහෙට්ටු ගතියෙනි. වේලාව ගත වත්ම මා උණ රෝගයෙන් පෙළෙන්නට විය. ඒ සමඟම දැඩි කුසගින්නක් මා කය දවන්නට වූ අතර ශරීරය අප්‍රාණික වූ නිසා අන්ත අසරණ භාවයකට පත්වීමි.

මා දියවැඩියා රෝගයෙන් පීඩා විඳි නිසා සාමාන්‍ය ආහාර පරිභෝජනයට නොගෙන, විශේෂයෙන් සැකසූ ආහාරයක් ගන්නා ලෙසට වෛද්‍යවරු උපදෙස් දී තිබුණි. එය පිළියෙළ කිරීමට සරසවිය අසල නිවසක කාරුණික කාන්තාවක් භාරගෙන තිබුණි.

බෝඩිමේ මිතුරන් සියල්ලට දුරකථන ඇමතුම් ගත්තද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. ඒ අතර දැඩි වර්ෂාවක්ද ඇද හැලෙන්නට පටන්ගත් අතර ක්‍රමයෙන් අඳුරද ගලා එන්නට විය.

අධික සීතලෙන් හා කුසගින්නෙන් පීඩා විඳිමින් සිටි මොහොතක 'තෙලා' ගෙට ගොඩවූයේ හිතට මහත් සැනසීමක් ගෙනදෙමිනි.

"මචං...මට කෙළ උණ. උබට පුළුවන්ද අජන්තා අක්කගෙන් මගෙ කෑම එක අරගෙන එන්න?"

ඔය කියන අජන්තා අක්කාගේ නිවසට මෙතැන සිට කිලෝමීටරයක් පමණ දුරය. ඒ මදිවට පිටත අධික ශීතලය. නා කපන වැස්සය. ගණ අඳුරය. කෙසඟ දුර්වල සිරුරකට හිමිකම් කී තෙලාට එය මේ මොහොතේ මහත් අභියෝගයක් වනු නිසැකය. ඇරත් ඇගේ නිවස පිහිටා ඇත්තේ මුඩුක්කුවක් වැනි එතරම් ප්‍රියමනාප නොමැති පරිසරකය. තෙලා එවැනි පරිසරයකට රෑ පානේ තට්ට තනියම යවන්නේ සිතකින් නොවේ. 

මද සිනාවක් පෑ 'තෙලා', මා මහත් පුදුමයට පත් කරමින් සිය බෑගය විවෘත කර මගේ කෑම පාර්සලය ගෙන හැර පෑ ය.

"පුදුමයි නේ බං. උඹ එතනින් නෙවෙයිනේ වෙනදට කන්නේ...?"

"නෑ. බං. මං ගෙදරටම ගිහින් ගෙනාවේ. ඒ වෙනුවෙන්ම."

"උඹ කොහොමද දැන ගත්තේ මම කෑම එක ගත්තේ නෑ කියලා..?"

"මට නිකං හිතුනා."

"නිකං...?"

මගේ අම්මාටනම් එවැනි අත්දැකීම හිසේ කෙස් ගණනට තිබේ.
නමුත් ඒ සිහින මාර්ගයෙනි.

කලකින් හමු නොවූ ගමේ සමීප ඥාතියෙක් සුදෙන් සැරසී ඇගේ සිහිනයට පැමිණේ. අදාල ඥාතියා තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට දුරකථන ඇමතුමක් පසුවදාට ලැබෙයි...!

ඇගේ ආසන්නතම 'අධ්‍යාත්මික හීනය' මෙසේය:

මා කුඩා කිරි දරුවෙකුව සිට ක්‍රමයෙන් වත්මන් ස්වරූපය දක්වා රූපාන්තරණය වී, එක්වරම නැගිට මහත් අභිමානයෙන් යුතුව ඇවිදියි.

ඒ දිනවල මා සිටි මානසික මට්ටම ඉතා සංකීර්ණ එකක් විය.
සය මසකට පෙර මා සේවය කළ සරසවියෙන් ඉවත් වී ආචාර්ය උපාධිය සඳහා විදේශීය සරසවියක ලියාපදිංචි වුවද, පොරොන්දු වූ මූල්‍යමය සහනය නොලැබී යාම සහ සැඟවුණු ගාස්තු ඇතුළත්වීම යන හේතු නිසා එය තාවකාලිකව අත් හැර දමා ගෙදර එන්නට සිදුවිය.

මාස 5ක් පමණ දේශීය හා විදේශ රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ දුසිම් 2කට පමණ ඉදිරිපත් වුවද, ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා සුදුසු රැකියාවක් නොලදිමි.

කිසිදු ආදායමක් නොමැති වීමෙන් ආර්ථික දුෂ්කරතා හිස ඔසවන්නට වූ අතර, මාස 5ක පමණ ඇවෑමෙන් වාහනය පවා ලක්ෂ 7ක් පමණ පාඩුවට විකුණා දමන්නට සිදුවිය.

මේ හේතුවේන් මා පසු වූයේ බලවත් මානසික පසුබෑමක ය.

අම්මාගේ සිහිනය සංඛේතාත්මකව සැබෑවක් බව සාධනය කරමින් පසුදින උදයම මට එක්තරා ලිපියක් ලියාපදිංචි තැපෑලෙන් ලැබුණි.
ඒ මා උගත් සරසවියේ ස්ථිර කථිකාචාර්ය තනතුරට පත්වීමකි.

මෙවැනි තවත් එක් අත්දැකීමක් පමණක් සටහන් කර තබන්නෙමි.

එදින අම්මාගේ සිහිනය ඇය නිවසේ ඉදිරිපස දොර තදකොට අල්ලාගෙන සිටින දර්ශනයකි. දොරේ අගුළු නොදා තිබූ අතර, කිසියම් බාහිර පුද්ගලයෙක් දොර තල්ලු කරගෙන බලයෙන් නිවසට ඇතුළ් වීමට උත්සාහ කරමින් සිටී.

මා අසා ඇත්තේ ඒ කවරෙක්ද කියායි. 

පිළිතුර "මාරයා" ය.

ඊට පසුදින, (පියවි ලොවේදී) මගේ පියා මාරාන්තික දුම්රිය අනතුරකින් දිවිගලවාගත්තේ අනූ නවයෙනි.

දුම්රිය වේදිකාව හා ධාවනය වන දුම්රිය අතරට වැටුණු ඔහු, 'ෂොක් ඇබ්සෝබර'යක පැටළී පීල්ල මත අඩි 50ක් පමණ ඇදී ගියද, සුළු සීරීම් තුවාළ වලින් පමණක් ඔහුගේ සිරුරට හානි වී තිබීම අප කාගේත් අතිශයින් දුලභ වාසනාව විය.   

සබැඳි:
හේතුවාදියෝ
අධ්‍යාත්මික හීන
පුනර්භවය පට්ටපල් බොරුවක්....?
සමාධි සුව

Friday, February 20, 2015

ඔබේ දැනුම් පොතට....

ඇතැම්විට ඔබ විද්‍යා සිසුවෙක් හෝ විද්‍යාවීදී උපාධිධාරියෙක් නොවනවා ඇති. එහෙත්....ඔබ මහරගම පිළිකා රෝහළට වරක් හෝ ගොස් තිබෙනවාද? 
ඒ අසරණයින් දිනක් හෝ වැඩිපුර ජීවත් වීමේ බලාපොරොත්තු සඵල කරගන්නේ මේ උදාර මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගය නිසා බව ඔබ මොහොතකටවත් සිතුවාද?

ලොව විශාලතම නොබෙල් පවුල
(රාජපක්ෂ පවුල ගැන දන්නා බොහෝ දෙනා මේ ගැන නොදන්නවා ඇති. :D )
කියුරි පවුල.
1. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
3. මාරි කියුරි - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
5. ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) - නොබෙල් සාම ත්‍යාගය 1965
7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව  (නිර්දේශිත.)

මේ සියලු සාර්ථකත්වයන්, විද්‍යාව වෙනුවෙන් කරන ලද අනුපමේය සේවාවන් පසුපස කඳුලින් ලියැවුණු තවත් කතාවක් ඇත. එනම් මෙයින් බොහෝ දෙනා, විකිරණශීලිතාව (Radioactivity) ගැන පර්යේෂණයන්හි නිරතව සිට එයින්ම සිය ජීවිතය අකාලයේ කෙළවර කරගත්, වඩාත් සංවේදීව කියනවා නම් දිවි පිදූ විශිෂ්ටයින්. ඒ විකිරණ වලට නිරාවරණය වීමෙන් ආසාධනය වූ රුධිර සෛල අවසාධනය ආශ්‍රිත වූ රෝග තත්ත්වයන් හේතුවෙන්.
මොවුන් භාවිත කළ පොත් පවා අධික ලෙස විකිරණශීලී බවක් අදටත් දක්වනවා. 

*මාරි කියුරි වයස 66දී මියයන්නේ ඇප්ලාස්ටික් ඇමීනියා නම් මෙවැනි රෝගයකින්.
*පියරේ වයස 46දී මිය ගියේ රිය අනතුරකින් වුවත් ඒ වනවිටත් ඔහු ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටියා. ඔහු මග මග ඇද වැටුණේද ඒ වනවිට ඔහු ශාරීරීකව බොහෝ දුර්වලව සිටි නිසා.
*අයිරින් මියගියේ වයස 58දී ලියුකේමියාවෙන්.
*අයිරින්ගේ සැමියා ෆෙඩ්‍රික්ද මියගියේ වයස 58දී.

අපි දික්කසාද වෙමු

වෙනස් සංස්කෘතියක තියෙන කිසිම දෙයක් අපිට මතුපිටින් බලා හොඳ නරක නිර්ණය කරන්නට නොහැකියි. මේක තේරුම් ගැනීමේ අඩුපාඩුවක් නිසා මම මේ ලඟදි අලි අමාරුවක වැටුණා.

මගේ රුසියානු ජාතික මිතුරිය මරීයා වරක් මගෙන් විමසුවා "ඔබේ රටේ මිනිසුන් ජීවිත කාලයම එකම සහකරුවා සමඟ ජීවත් වනවා. දික්කසාදය සලකන්නේ අවමානයක් ලෙසටයි. මේ ගැන ඔබේ මතය කුමක්ද?"
මගේ පිළිතුර වූයේ 

"ඒක අපේ සංස්කෘතියේ තිබෙන හොඳ දෙයක්. මා එයට කැමතියි."
ඇය මා දෙස හැරී බැලුවේ විමතිය හා මදක් අවඥාව මුසු බැල්මකින්.

"ඔබ විද්‍යාඥයෙක්. මං වගේ කළමණාකරණ උපාධිධාරියෙක්* නොවෙයි. ඇයි ඔබ වගේ කෙනෙකුත් එහෙම පටු විදියට හිතන්නේ?" 

මෙවර තිගැස්සී ගියේ මම. මෙවැනි චෝදනාවක් කවදාවත් මට එල්ල වී නැහැ. ඊළඟ මොහොතේ ඇය එය පැහැදිළි කළා.

"මිනිස්සු වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ සිතන පතන විදිය පවා වෙනස් වෙනවා. ඉලක්ක, අරමුණු වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒ අරමුණු වලට යනකොට තමන්ගෙ ආදරණීයයන් අමතක වෙනවා.

එතකොට එතැන ඉන්නේ අපි ආදරය කළ කෙනා හෝ විවාහ වූ දිනයේ සිටි කෙනා නොවෙයි. මං අහන්නේ අපි ආදරය කළේ වෙන කෙනෙකුට නම්, අහවල් මගුලකටද අතීතයෙ හිටි කෙනෙකුට මැරීගෙන කත් අදින්නේ?. අතීතයේ ජීවත් වෙන්නේ. වර්තමානයේ ජීවත් වන අපිව වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් අය මේ ලෝකෙ ඉඳිද්දි අපි මොකටද එහෙම අය නොසොයා දුක් විඳ විඳ ඉන්නෙ? මට නම් තේරෙන්නේ නැහැ."

මම නිරුත්තර වුණා.

ගමනාන්තයට ළඟා වීමට ගත වූ ඊළඟ පැය 2 1/2 ම මම කල්පනා කළේ ඇගේ පිළිතුරේ තර්කාණුකූල භාවය හා එයට අභියෝග කළ හැකි පිළිතුරක් ගැනයි.

ඇය නැගූ ප්‍රශ්නය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.

"මිනිස්සු වෙනස් වෙනවා නම්, ඇයි අපිට වෙනස් වෙන්න බැරි?"
----------------------------------------------------------------------
*මගේ කළමණාකරණ උපාධිධාරී මිතුරන් තරහ වන්නට එපා. මේ ඇය කියපු දේ එළෙසින්ම සිංහලට නැගූ විට හැඟෙන අදහසයි.. මගේ පෞද්ගලික මතය නම් කිසිම උපාධිධාරියෙක් වෙනත් කිසිම උපාධිධාරියෙකුට වඩා ලොකු නැත කියාය.

Tuesday, February 17, 2015

හයිබ්‍රිඩ් සිහිනය බොඳ කළ එකාලාට සුද්ධ සිංහලෙන්....


හයිබ්‍රිඩ් ගැන හරවත් සමාජ කතිකාවතක් ඇතිවෙමින් පවතී. එයට පොහොර දමමින් බ්ලොග් එකෙහි මකුළුදැල් කැඩීමට තීරණය කළෙමි.

සතුට නම් සිළුමිණේම මෙවැනි අගනා අපක්ෂපාතී ලිපියක් පළ වීමය. (එහෙත් යහපාලනය ෂෝක්..! කීමට ඉක්මන් නොවෙමි.)

ලංකාවේ හයිබ්‍රිඩ් මෝටර් රථයක් භාවිත කරන අයගෙන් 95% කට වඩා උගත් වෘත්තිකයින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ධනපතීන් වන දේශපාලඥයින්, සුපිරි වය්‍යාපාරිකයින්, නින්දගම් වලින් ඕසෙට සල්ලි ගලන නායක හිමිවරුන්, මහාපරිමාණ ටියුෂන් ගුරුවරුන් වැන්නවුන් ඉන්ධන පිරිමැසීමක් හෝ පරිසර හිතකාමී බවක් ගැන තකන්නේ ඉතාමත්ම කළාතුරකිනි. ඒ අනුව හයිබ්‍රිඩ් රථය යනු මෙරට උගත් වෘත්තිකයාගේ නිල වාහනය යයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. 

උදාහරණක් ලෙස, මා ලැබූ අධ්‍යාපන පසුබිම මත, මගේ මිතුරන් බොහෝ දෙනා තොරතුරු තාක්ෂණික හෝ ඉංජිනේරු වෘත්තිකයින්ය. නැතහොත් සරසවි ඇදුරන්ය. ගණනින් 70ක් පමණ වන මගේ උසස් පාසැල්, විද්‍යාවේදී, පශ්චාත් හා ආචාර්ය උපාධි බැචාලාගෙන් හා මා සේවය කළ ආයතන සතරෙහි වෘත්තීය සඟයන්ගෙන් 50ක් පමණ එක්කෝ හයිබ්‍රිඩ් රථයක් භාවිත කරති; නැතහොත් ළඟදීම එකක් මිළදී ගැනීමට බලාපොරොත්තු වෙති. එය පෞද්ගලිකව මා සම්බන්ධයෙන්ද අදාලය.

මෙවැනි සන්දර්භයක් තුළ මෙරට උගත් වෘත්තිකයින් සූරා කන මෙවැනි අම්බරු ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සිදුවන්නේ මෙරට ගැන උගතුන් කළකිරී බුද්ධි ගලනයට ඉණිමං බැඳීම මිස අන් කිසිවක් නොවේ.

මෙවැනි අදූරදර්ශී රොබින්හුඩ් ප්‍රතිපත්ති හදනා එකාලා දැනගතු යුතු දෙයක් ඇත. එනම් පසුගිය රජය පිරිහීමට 6% කාලයේ උගතුන්ට කරනලද අවමන් පාරාවළල්ලක් ලෙස ක්‍රියාකළ බවත්, එකී දූෂිත රජය පෙරලන්නට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය හා විශ්වවිද්‍යාල ප්‍රජාව සාධනීය මෙහෙවරක් ඉටු කළ බවත් ය.

එවන් සරසවි ප්‍රජාවේ හා ඉන් පිටවන්නන්ගේ වත්මන් හා අනාගත බලාපොරොත්තුවල ගෙළ සිඳලන්නට ඉදිරිපත් වන්නේ නම්, නුඹලාට වැඩි දුරක් යා නොහැකිය.