Friday, October 26, 2012

කාලය මැවු වෙනසක අරුමේ...


සාමාන්‍යයෙන් මම ප්‍රකෝපකාරීව හෝ කළහකාරීව හැසිරෙන කෙනෙක් නොවෙමි. එහෙත් බලවත් අසාධාරණය හමුවේ මගේ ඉවසීමේ සීමාවන් දෙගොඩ තලාගිය විට මා හැසිරෙන ආකාරය ගැන විවේචන තිබේ. එම හැසිරීම මගේ උගත්කමට නොගැලපෙන බව බහුතරයක් මිතුරන්ගේ මතය වුවද එය මා තුළ තවමත් යම් තාක් දුරට පවතින දුර්වලතාවයක් බව පිළිගනු නොකැමැත්තෙමි. බොහෝ විට මා එසේ කිරීම ගැන පශ්චාත්තාප නොවන අතර ඒ ගැන වැඩිදුර කල්පනා කිරීම අත් හැර දමමි.

එහෙත්....එවන් සිද්ධි වලට සම්බන්ධ පාර්ශව කෙරෙහි මගේ ආකල්පය, ජීවන අත්දැකීම් තුළින් ජීවිතය පිළිබඳ දැක්ම සමඟ සම්පූර්ණයෙන්ම වෙනස් වූ අවස්ථා ඇත. මෙය එක්තරා ආකාරයකට අසම්පූර්ණව තිබූ පරිණත භාවයක් මා වෙත ළඟා කර ගැනීමක් බවට පිළිගැනීමට සිදුවේ. මේ පරිණත භාවය, කිසිදා සංතෘප්ත නොවන, සදාකල්හිම වැඩිදියුණු වෙමින් පවතින්නක් යයි හැඟේ.

මීට වසර කිහිපයකට පෙර මා සරසවි ශිෂ්‍යයෙක් ලෙස සිටි කාලයේ විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන මා තුළ පැවති ආකල්පය එයට කදිම නිදසුනක් සපයයි.

මා එවකට පීඨ ශිෂ්‍ය නායක ව සිටියෙමි. අළුත් වාරයක් (සෙමෙස්තරයක්) ආරම්භවනවිට ඒ සඳහා අප හදාරණ විෂයයන් වලට ලියාපදිංචි වීම අප විසින් කළ යුතු විය. එතෙක් කල් පැවති සම්ප්‍රදාය වූයේ, සියළුම ශිෂ්‍යයන් විසින් තනි තනිව පුරවන ලද අයදුම්පත්, පීඨ ශිෂ්‍ය නායක විසින් පරීක්ෂාකර බලා අදාල අංශ වලට ගෙන ගොස් භාර දීමයි.

ඉතා අසීරුවෙන් එකතු කරගත් පීඨයේ සියලු සිසුන්ගේ නිසිලෙස සම්පූර්ණ කරනලද අයදුම්පත් ගොන්න සමඟ අදාල දෙපාර්තමේන්තුව වෙත ගිය මට දන්වන ලද්දේ අනපේක්ෂිත කතන්දරයකි. එනම් මෙවර සිට සිසුන් තනි තනිව පැමිණ ලියාපදිංචි විය යුතු බවයි.

මම මේ තීරණයට එකඟ නොවීමි. එක් එක් වාරවල එක් එක් ප්‍රතිපත්ති පැවතිය නොහැකි බවත්, මෙය පත්වීම් ලිපියකින් පිළිගන්නා ලදුව ඇති ශිෂ්‍ය නායක පදවිය අවිශ්වාසයට ගැනීමක් ලෙස හා ඔහුගේ බලතල අවප්‍රමාණ කර සැලකීමක් ලෙස හුවා දක්වන්නට තැත් කළෙමි. ප්‍රතිඵලය වෙනස් නොවන කල්හි මට ඉවසුම් නොමැති විය. දැන් දැන් වාදය එන්න එන්නම උණුසුම් වේගෙන එයි.

මගේ කතා විලාශය කොහොමත් අනෙත් අයට සාපේක්ෂව තරමක් ශබ්දයෙන් වැඩිය. එක්වරම එහි සිටි අනධ්‍යන සේවිකාවක් (ඔවුන්ගේ වයස හා අධ්‍යාපන සුදුසුකම් අප දැන සිටියෙමු. ඇය මට වඩා වසර 2ක් පමණ බාල, අ.පො.ස. උ.පෙ. යන්තමින් සමත් තැනැත්තියක් බව දැන සිටියෙමි.) මා අමතා මෙසේ කීවේ ආරූඪ කරගත් මහේශාක්‍ය ලීලාවෙනි.

"මේක මොකක් කියලද හිතාගෙන ඉන්නෙ මෙතන ඔහොම කෑ ගහන්න...?"

මට නිම් නැතිවිය. කොහොමටත් මෙවැන්නියන් ගැන අප සියලු දෙනා (සිසුන්) තුළ තිබුණේ ඉතා අයහපත් ආකල්පයකි. මොවුන් ශිෂ්‍යයන් නොසලකා හැර ඇති අවස්ථා සහ තමන් සිසුනට වඩා ඉතා වැදගත් ගෞරවණීය පිරිසක් යයි දැනෙන්නට හැර ඇති අවස්ථා රාශියක් ගැන මට පැමිණිලි රාශියක් ලැබී තිබුණි. මේ සාපේක්ෂව නූගතුන් අතින් බාල්දු වන්නේ සරසවි ශිෂ්‍යයා සතු අභිමානය නොවේද...? 

මා කෙතරම් උද්වේගකර වූවේද කියතොත් මා සමඟ සිටි මිතුරන් විසින් මා තරකොට අල්ලා නොගන්නට ඇය මා අතින් පහර කනු ඇත. ඉතා ආවේගශීලීව මම ඔවුන්ගේ දෙපාර්තමේන්තු ප්‍රධානීතුමියට සහ ජෙ‍ය්‍යෂ්ඨ ලේඛකාධීතුමාට මොවුනට ශිෂ්‍යයන් පහත්කර සැලකීමට මෙවැනි බලතල දීම ගැන දිගු වේලාවක් දොස් පැවරීමි. සිද්ධිය දැනගෙන අවට සිටි සිසුන්ද රැස්ව සිටි අතර ඔවුන්ද මා ගත් ක්‍රියාමාර්ගය එකහෙලාම අනුමත කළ අතර මා මෙම පොදු ගැටළුව කල් නොහැර ඉදිරිපත් කිරීම ගැන බලවත් ප්‍රසාදය පළ කළහ.  

කාලය ගෙවී ගියේය. මා උපාධිය ඉහළින් සමත් වී ටික කළක් පුද්ගලික අංශයේ සේවය කර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට බැඳීමට තීරණය කළෙමි. සියලු සුදුසුකම් සපුරා තිබියදීත් මා උගත් සරසවිය මා ප්‍රතික්ෂේප කළද අගනුවර කීර්තිමත්ම සරසවියක් මා ආදරයෙන් පිළිගත්තේය. ඒ වනවිටත් මා සතුව අනධ්‍යන කාර්ය මණ්ඩලය ගැන තිබූ ආකල්පය අප්‍රසන්න එකක් විය. මා සැලසුම් කරගෙන සිටියේ හැකිතාක් ඔවුන් නොතකා රාජකාරි කටයුතු කරගෙන යාමටයි.

නමුත්....දින සති ගෙවී මාස කිහිපයක් යනවිට ඔවුන් ගැන මා තුළ තිබූ චිත්‍රය සම්පූර්ණයෙන්ම වැරදි එකක් යයි යන යථාර්ථය මට ඉතා සෙමෙන් නමුත් ගැඹුරු ලෙස පසක් වෙමින් තිබුණි. දහසකුත් එකක් වැඩ රාජකාරි අතරේ අතිශයින්ම කාර්යබහුල වී සිටින විටය අපට අන් අයගේ සුළු හෝ උපකාරයන්හි අගය දැනෙන්නේ. දේශන, ප්‍රායෝගික පරීක්ෂණ, විභාග, ශිෂ්‍යයන්ගේ ව්‍යාපෘති අධීක්ෂණය, විශ්වවිද්‍යාලය විසින් පවරන ලද වෙනත් රාජකාරි හා ව්‍යාපෘති, පශ්චාත් උපාධියේ කටයුතු අතර පැමිණීමේ ලේඛන සකස් කිරීම හා එම දත්ත පරිගණකගත කිරීම ආදී 'සිල්ලර' දේත් කරන්නට වූයේනම් එය මහත් හිසරදයක් හා වටිනා කාලය නාස්තියක් වනු ඇත. මෙහිදී අප වෙනුවෙන් එම 'මෙලෝ රහක් නැති' කාර්යයන් ඇතුළුව තවත් බොහෝ දෑ භාරගන්නා කැපකිරීම ඔවුන් කරන බව මා දැනගත්තේ ආචාර්ය මණ්ඩලයට බැඳුනු පසුය. දේශන ශාලා සැකසීම, තාක්ෂණික නිවැරදි කිරීම් ආදී මෙකී නොකී සේවාවන් රාශියක් ඔවුන් විසින් ඉටුකරනු ලබන බවද, එය කිසිසේත් ලඝු කොට තැකිය නොහැකි බවද වටහා ගතිමි. කොටින්ම දේශනයේ 'වීරයා' ආචාර්යවරයා වුවද තිරය පිටුපස තවත් බොහෝ දෙනෙක් නිහඬව ඊට පරිසරය සකස් කරන බව බොහෝ දෙනෙක් නොදුටු යථාර්ථය නවමු මානයකින් දකින්නට මට හැකිවිය.

මගේ ආකල්පමය පරිවර්තනය මට පවා විශ්වාස කරන්නට නොහැකි විය. දිනෙන් දින මා හා ඔවුන'තර සුහදතාව හා විශ්වාසය දළුලා වැඩුණි. පීඨාධිපති කාර්යාලයේ බොහෝ දෙනෙකු මට සොයුරෙකුට මෙන් සලකන්නට වූහ. විහිළුවෙන් තහළුවෙන් කාලය ගෙවී ගිය අතර මා ලබා තිබූ දියුණුව මැනිය හැකිවූ අවස්ථාවක් උදා විය. ගම් පළාතේ සරසවියකට උසස් වීමක් සමගම මා මාරුවීමක් ලබාගත් අතර ඒ සඳහා සමුගැනීමේ සාදයක් සංවිධානය විණි. 

පීඨයේ සියළුම අනධ්‍යන කාර්ය මණ්ඩලය එහි සිටිනු දැකගත හැකි වීම මා උපයා තිබූ ආකල්පමය වත්කම මට හඬගා කීය.  

මෙහිදී බොහේ දෙනෙකු අවංකව අදහස් පළ කළ අතර, සියළු කාර්ය මණ්ඩල අතර මෙවැනි ජනප්‍රියතාවක් කෙනෙකු ලබාගත්තේ වසර 12කට පසු බව දැන ගන්නට ලැබුණි.           

මා දැනට සේවය කරන සරසවියේද (මගේ සහය ආචාර්ය මණ්ඩලය හැරුණු කොට ගෙන) මා හා වඩාත්ම ළබැඳිව කටයුතු කරන්නේ ඔවුන් බව කිවහොත් එහි ඇති වැරැද්දක් නොමැත. ආචාර්ය මණ්ඩලය මා හා බැඳී පවතින්නේ රාජකාරිමය සුහදතාවයකින් යයි මට අවංකව දැනෙන දෙයයි. ඇතැම් විට මෙහි කථිකාචාර්යවරියන්ගෙන් කිහිප දෙනෙක්ම මගේ ගුරුවරුන් වීමත්, පශ්චාත් උපාධි පර්යේෂණ වල නියුතුව සිටීම නිසා සහ වෙනස් හේතු නිසා අප අතර කතාබහ ඉතා අල්ප වීමත් ඊට හේතූන් වියහැකිය.

කාලය විසින් මිනිසුන් පරිණත කරන බවත්, ඔවුන් තුළ උපේක්ෂාව වැනි දේව ගති ප්‍රගුණ කරවන බවත්, යම් යම් දුර්ගුණ මැඩ පවත්වන බවටත් මම අද විශ්වාස කරමි.

5 comments:

  1. ම්ම්ම්ම් හරිම ආසාවෙන් කියවපු අපුරු ලිපියක් ජය... අයෙමත් එන්නම් වෙලවක් හම්බුනු ගමන්... :D

    ReplyDelete
  2. Very good lipiyak. I have same story in many field.the way we act those days, now feel like shame.

    ReplyDelete
  3. ඇත්තටම සමාව අයිදිනු කැමැත්තෙමි ..... facebook හි මා විසින් ඔබ තුමන් රචිත කෙටි වාක්‍ය ඛන්ඩය පමණක් කියවිමෙන් ඉහත සටහන යෙදු බව කියනු කැමත්තෙමි මවිසින් ඔබගේ සම්පුර්න යථාර්තවාදි අත්දැකිම් සමුහය කියවු බවත් එහි අන්තර් ගතය ගැන සතුටු වන අතර සැබවින්ම අප සියළුතැන්හි සියළු දෙනා අතර පවතින්නේ රාජකාරි මය තත්වයන්හි තනතුරු වල විෂමතාවය වන අතර සැබැ ජිවිතයේදි අප සියළු දෙනාම එක හා සමානව සැලකිය යුතු බව මාගේ මතයයි ...... ජපානය කොරියාව සිංගප්පුරුව යම් තාක් තැනක සිටි ද ඒ සියළු තැන් හි දිම තමා පමණක් යන මතය ඔවුන් විසින් බැහැර කල බැවින් අද දියුණුවේ උපරිම තලයට ඔවුන් පැමින සිටිමත් ලාංකිකයන් වන අප අපගේ රාජකාරි එකිනොකා මත සංසන්දනය කර බලමින් සිටිම නිසා අප එක තැන ලොප් වුවන් බවටත් පත්ව සිටමි ඔබට යම් අපහසුවක් මාගේ සටහන නිසා ඇතිවුවා නම් කණගාටුව ප්‍රකාශ කර සිටමි

    ReplyDelete
    Replies
    1. නිම්, මම ඔයාව පුද්ගලිකව දන්නවා...මම දවසක් එනකොට ඔයා අපේ ඩිපාර්ට්මන්ට් එකට ආපු ඩෙස්ක් වගයක් අනිත් අයත් එක්ක එකතු වෙලා උඩ තට්ටුවට අදිනවා...කමිසක්වත් නැතුව.......ඇත්තටම් ඒක අපිට ඉන්න දක්ෂ කාර්මික නිලධාරියෙක්ගෙන් කෙරෙන්න ඕන දෙයක් නෙමෙ...නමුත් අපේ තැන වෙනුවෙන් ඔයා ඒක කළා...උදේ කෑම ගන්නෙවත් නැතුව...ඇත්තටම ආඩම්බරයි....
      මම ඇහුවේ මොකද බං අඩ නිරුවතින්' කියලා මතකද....?'
      ඔයා 'කෝ සර් පාටිය..?' කියල අහල ඩෙස්ක් එක උස්සගෙන ගියා.
      ඇත්තටම එතන අඩ නිරුවතින් හිටියේ මමයි...මොකද මම ඒ වැඩේට සම්බන්ධ නොවී ස්ටාෆ් රූම් එකට රිංගපු නිසා. (කථිකාචාර්යවරෙක් ඔය වගේ වැඩකට සම්බන්ධවීම ගැන අනෙක් අයගෙ ප්‍රතිචාරය කොහොම වෙයිද කියල දන්නෙ නැති නිසයි අකමැත්තෙන් වුනත් එහෙම කරන්න වුනෙ.) ඔබ වන් මිනිසුන් මේ සරසවි බිමට වටිනවා....ඔබට මගේ උපහාරය....

      Delete
  4. නියමෙට වදිනවා හිතට මචෝ.... මෙක හැමෝටම බෑ බන්,නියමයි ....
    ගොඩ දවසකින් බන් ආවේ මේ පැත්තේ ඒ උබලව අමතක වෙලා නෙමෙයි .. පහසුකම් නැති කම.... එල මචෝ දිගටම ලියපන් .....

    ReplyDelete