Wednesday, January 2, 2013

වචන දුසිමක් කළ විප්ලවයක්.....


මූනිඡ්ඡාවට හොඳ කියනවාට වඩා ඇත්ත කීම කෙතරම් අගනේදැයි තහවුරු කරන සිදුවීමක් අද සිදුවිය. 

සෙමෙස්තරයේ අවසන් දේශනයේදී, සිය ආචාර්යවරයා ගැන ඇගයීමක් කිරීමට සිසුනට අවස්ථාවක් හිමිවේ. දේශන මාලාව ගැන සිය අවංක අදහස්, ලිඛිතව නමුත් නිර්ණාමිකව සඳහන් කිරීමට කඩදාසි කැබැල්ලක් ඔවුන්ට ලැබේ.

මා අවසන් වරට දේශනය කළේ භෞතික විද්‍යා දෙපාර්තමේන්තුව සඳහා වෛකල්පිත විෂයයකි. සිසුන් ඉහත කී ඇගයීම් පත්‍රිකා මත සිය අදහස් දක්වා තිබුණි. බහුතරය ගුරුවරයෙකු ලෙස සතුටු විය හැකි අදහස් වූ නමුත් පරස්පර අදහස් සහිත පත්‍රිකා 2ක් කෙරෙහි මගේ විශේෂ අවධානය යොමු විය.

ඉන් එකක්, මගේ ඉංග්‍රීසි සැර වැඩි බව කියා තිබුණි. එය ඇත්තකි. මා කළින් සේවය කළ සරසවියෙන්ද එම චෝදනාවම එල්ල විය. හැකි තරම් එය හදා ගැනීමට (විකල්ප සරල වචන භාවිත කිරීමට) මා උත්සාහ කළද තවදුරටත් එය පිළිබඳව සැලකිල්ලට බඳුන් කිරීමට මම ඉටා ගතිමි.

වැදගත්ම අදහස් දැක්වීම එය නොවේ. අනෙක් එකය. එහි සිංහල අදහස මෙවැනිය : 

"අද මොඩ්ල් පේපර් එක පට්ට අමාරුයි. මේ විදියට ගියොත් නම් මේ යකා අපිව ෆේල් කරනවා..!" 

මෙය කියවූ මට ඇති වූයේ තරහක් නොව හද කම්පා කරන හැඟීමකි. මේ වන විටත් පිළියෙළ කර අවසන් කිරීමට ආසන්නව තිබූ ප්‍රශ්න පත්‍රය තවදුරටත් ලිහිල් කිරීමට මම වහාම තීරණය කළෙමි. 

අවසන් වසර සිසුවකු විෂයයක් අසමත් වීමේ වේදනාව මම හොඳින් දනිමි. මා එසේ අසමත් වී නැති නමුදු මා සමග එකම බෝඩිමේ විසූ හොඳම මිතුරන් ඒ දුකට පත්වූ අයුරු තවමත් මතකය.

අවුරුදු 4ක් එකට කා බී, සියල්ල එකටම කර, අවසානයේ මා ඔහු තනිකර උපාධිය ගත් දිනයේ ඔහුගේ දෑසේ තිබූ කඳුල මට කිසිදා අමතක නොවේ.

එම නිසා, මගෙන් ඉගෙන ගත් ශිෂ්‍යයකු අසමත් වීම යනු මා අසමත් වීමයි. 

මේ අයුරින් සිතන්නට හැකි වෙනත් වෘත්තියක් වේද...? ගුරු වෘත්තියේ අරුමය මෙය නොවේද...? මෙය ලබන්නට මා කොපමණ පින් කර ඇත්ද...? ජීවිතය අතිශයින් තෘප්තිමත්ය.

6 comments:

  1. හරිම රසවත් බ්ලොග් එකකි, මම එනවා දිගටම

    ReplyDelete
  2. ශිෂ්යවන්ගෙ පැත්තෙන් හිතල තමන්ව වෙනස් කර ගන්න ආචාර්යවරු ඉන්න එක ලොකු සතුටක්... සංවේදී සිත තව තවත් අවදි වන, සියලු යහපත් අරමුණු ඉටු වන සුබ නව වසරක් වේවා...

    ReplyDelete
  3. වටින වැඩක් එහෙම හිතන එක.
    සුබ නව වසරක් !!!

    ReplyDelete
  4. ඇත්තටම මේ සිදුවීම වුනේ ලංකාවේ විශ්වවිද්‍යාලයකද ?,
    මාව නිකං කැරකෙනවා වාගේ.....

    ReplyDelete
  5. ඔව් උගන්නන අවස්ථාවලදී හොදටම උගන්නල ,
    පුළුවන් තරම් සබ්ජෙක්ට් එක හිතට දාන එකයි
    කරන්න ඕනේ.ඊට පස්සේ ප්‍රශ්න පත්තරේ ලේසි
    කරාට කමක් නැහැ.විශයෙන් විෂයට වෙනස් .
    නමුත් මන් ඉන්න විෂය වලදී මගේ ක්‍රමේ සාර්ථකයි...
    ළමයින්ට අනවශ්‍ය බියක් ඇති කිරීම නොකළ යුත්තක් ...
    මාත් අතිශයින් කැමති වෘතියක් මේ දේ.නොවැලක්වියහැකි
    හේතුවක් නිසා සියල්ලට සමු දෙන්න උනා..
    ඔබට සුබම සුබ වසරක් වේවා මිත්‍රයා...

    ReplyDelete
  6. ඇත්තටම ඇයි අමාරු ප්‍රශ්න දාල ළමයින්ව ෆේල් කරන්න ට්‍රයි කරන්නේ...එක විභාගෙක ප්‍රතිඵලේකින් ජීවිතේ කොච්චර වෙනස් වෙන්න පුළුවන් ද? එහෙම කරල හොඳම අය තෝරගන්න හදන එක මහ මෝඩ වැඩක් විදියටයි මට නම් පේන්නේ.. එක එක්කෙනා දැනම පාවිච්චි කරන්නේ එක එක විදියටනේ. ඉතින් විවිධ විදියට පාවිච්චි කරන්න පුළුවන් දැනුම එකම විදියකට මැනල තීරණ ගන්න එක වැරදියි කියල හිතෙන්නෙ නැද්ද..? විභාගේ ලේසි කරන්න හිතපු එක නම් හරි වටින දෙයක්.

    ReplyDelete