Monday, February 18, 2013

නුදුටු කා(ර්)ල් මාක්ස්.....




කා(ර්)ල් මා(ර්)ක්ස් යනු ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකි. මිනිසා ආගමේ වහලෙක් විය යුතු නැති බව ඔහුගේ දැක්ම විය. සම්ප්‍රදායට පටහැණි, ගතානුගතික නොවන නව නිවහල් චින්තන ධාරාවකට යොමුවීමට මිනිසාට ආගම මගින් පනවා ඇති සීමාවන් බාධා පමුණුවන බව ඔහු අවංකව විශ්වාස කළේය. 

එය සත්‍යයකි. දෙවියන් පිළිබඳ සංකල්පය හා පල්ලියේ බලපෑම බලය සහිත මතවාද සමග ගැටෙමින් සිතීමේ නිම් වළලු ප්‍රසාරණය කළ නොහැකිය. (විශ්වයේ පරම බලවේගය වන දෙවියන් අභිබවනය කිරීම ආගමට අනුව බරපතල වරදක් බැවිනි.)

"ආගම අබිං" යනුවෙන් ලංකාවේ මා(ර්)ක්ස්වාදීන් හා සමාජවාදීන් අතර ප්‍රචලිත පාඨය බිහිවන්නේ එම පදනම මූලික කරගනිමින්ය.

එහෙත් අවාසනාව වන්නේ මා(ර්)ක්ස් හෝ ඔහුගේ දර්ශනය ගැඹුරෙන් අධ්‍යනය නොකළ හා එසේ කිරීමට උත්සාහයක් නොගන්නා හෝ එසේ කිරීමට උගත්කමක් නොමැති, ලංකාවේ ඇතැම් තරුණ කොටස්, උක්ත පාඨය මතුපිටින් අල්ලාගෙන දැඟලීමයි.

මේ සඳහා ප්‍රවේශයක් කාල් මාක්ස්ගේම වදන් වලින් ගනිමි. 
"Most of my time I'm walking and breathing fresh air. I read nothing and write less. I go to bed at 9.00 p.m. Generally, I subside into the emotional state of non-existence that Buddhism considers to be the height of human delicacy.". 
ඔහු මෙසේ සඳහන් කරනුයේ ඔහුගේ දියණිය වන ලෝරා මාර්ක්ස්ට (Laura Marx) 1986.03.20 දින සිය අත් අකුරින්ම ලියන ලද දීර්ඝ ලිපියකදී ය.

මෙයින් පැහැදිලිවම ගම්‍ය වන කරුණ නම්, සර්ව බලධාරී දෙවියකුට අසීමිත බලතල නොපවරන, සිතීමේ නිදහස අහුරනු වෙනුවට එය දිරිමත් කරන, පිරිසිදු බෞද්ධ දර්ශනය ඔහු අදහස් කළ ආගම් කුළකයට අයත් නොවන බවය. (Exception)

විහිළුව නම්, කාල් මාක්ස් මෙවැනි අන්තර්ගතයක් සහිත ලිපියක් සම්පාදනය කළේදැයි තබා කා(ර්)ල් මා(ර්)ක්ස්ට දියණියක් සිටි‍යේදැයි පවා නොදන්නා ලංකාවේ සමාජවාදී අඳබාල පරපුර, නිකරුණේ (ආගමික නායකයෙක් වීම කෙසේ වෙතත්) ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් බවට මෙලොව පහලවූ, විශේෂයෙන්ම බටහිර අබෞද්ධ අති අග්‍රගණ්‍ය බුද්ධිමතුන්* එකහෙළාම පිළිගන්නා බුදුන් වහන්සේට හා උන්වහන්සේගේ විශිෂ්ට දර්ශනයට අපහාස කිරීමට පෙළඹීමයි.


මේ පිළිබඳව මා ෆේස්බුක් සමාජ ජාලයේ සඳහන් කළ විට, මගේ ශිෂ්‍යයෙක් අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබුණි. එනම්, ලංකාවේ සිටින්නේ කා(ර්)ල් මාක්ස් වාදීන් නොව, කාල් (1/4) මාක්ස්වාදීන් බවයි!.
මෙහි ගැබ්වී ඇති ගැඹුරු අදහස නම්, විචාර බුද්ධියෙන් හීන ලාංකික සමාජවාදියා, කා(ර්)ල් මාක්ස් නම් දාර්ශනිකයා සහ ඔහුගේ උතුම් මානවවාදී දහම හරිහැටි හඳුනාගෙන නොමැති බව නොවේද..?

කා(ර්)ල් මාක්ස් ගේ දර්ශනය ගැඹුරින් හදාරද්දී පෙනීයන දෙයක්නම්, ඔහුගේ පසු කාලීන ඉගැන්වීම් බොහොමයකට බෞද්ධ දර්ශනයේ ආභාශය ලබා ඇති බවය. මෙය මේ ආකාරයෙන්ම බටහිර අබෞද්ධ විද්වතුන් රාශියකටමද දැනී ඇති බව දර්ශනය පිළිබඳ තුලනාත්මක විවරණ සහිත ග්‍රන්ථ පරිශීලනයේදී මනාව පැහැදිලි වේ. එනම්, ආගම යනුවෙන් ඔහු අදහස් කළේ ඔහු විසූ සමාජයේ ඇදහූ දේවවාදී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආගම් ලෙස හැඳින්විය හැකි මතවාද බව වටහා ගැනීමට අපහසු නොවේ. කොහොමටත් බුදු දහම යනු දර්ශනයක් මිස, ඇදහිය යුතු ආගමක් නොවන බව, ලොව පහළ වූ එකම දාර්ශනිකයින් නම් සමාජවාදී නායකයින් පමණැකැයි සිතාසිටින, මිහිපිට එකම පරම සත්‍යය සමාජවාදය (අඩු ගානේ කාර්ල් මාක්ස්වත් එසේ කල්පනා නොකළේය!) යයි කල්පනා කරන පටු ලෝකයක ජීවත් වන මේ ළිංමැඩි උද්දච්ඡයින් හැර අන් සියළු දෙනා ඉඳුරා ම දනිති.      

ලංකාවේ මා දැක ඇති මා(ර්)ක්ස්වාදීන් / සමාජවාදීන් යයි කියාගන්නා අයවලුන් තුළින් මා දකින්නේ කා(ර්)ල් මාක්ස්ගේ අනුගාමිකයන්ගේ නොව, ඉස්ලාම් අන්තවාදීන්ගේගේ (සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයින් නොවේ) සහලක්ෂණයි. මා හොඳින් දන්නා කියන එක්තරා උග්‍ර සමාජවාදියෙක් මේ මෑතකදී මා හා ප්‍රකාශ කළේ, සමාජයක පැවතිය යුතු එකම පාලන ව්‍යුහය සමාජවාදය බවත්, සියල්ලන්ම එක්කෝ සමාජවාදය පිළිගත යුතු බවත්, නැතහොත් (එය පිළිනොගන්නා 'ප්‍රතිගාමීන්' ට) එම සමාජයේ ජීවත් වීමට අයිතියක් නොමැති බවත්ය. ප්‍රජාතන්ත්‍රවාදයෙන් යම් සමාජයක සමාජවාදී කල්ලියකට බලය ලබාගත නොහෙන සන්දර්භයක් තුළ, විප්ලවයකින් (හොඳින් හෝ නරකින්) එම 'උත්තුංග' අරමුණ සාක්ෂාත් කරගැනීම (තවමත් යල් පැණ නොගිය!) පිළිවෙත බව ඔහු දැඩිව විශ්වාස කරයි. මේ සඳහා විකල්ප මත දරන පිරිස් නිහඬ කළ යුතුබවද ඔහු කීය. මේ කියන්නේ තම ලබ්ධිය පමණක්ම නිවැරදිය, විකල්ප මත දැරීමට අන්‍යන්ට ඇති අයිතිය ඇහිරිය යුතුය යන අන්තවාදයේ එක් මුහුණුවරක් නොවේද..? 
විචාර බුද්ධියෙන් තොරව, කවුරුන් හෝ කියන ලද දෙයක් ඒ ආකාරයෙන්ම අදහන්නන් වාලේ 'ඇදහීම' හා ඊට විරුද්ධ මත නොඉවසීම, කෙසේ හෝ තම මතය වැපිරීම යන අරමුණ මුදුන්පත් කරගැනීම, (හොඳින් හෝ නරකින්) විකල්ප මත ඉවත් කිරීමට කල්පනා කිරීම දැඩි මතදාරී මූලධර්මවාදීන්ගේ ලක්ෂණ වේ.      

සැබෑ සමාජවාදියා, සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාව පදනම් කරගත් වෛරී සිතුවිල්ලෙන් නිරන්තරයෙන් දැවෙමින් සිටින කුහකයෙකු නොව, සමාජයට දැඩි ලෙස කරුණාභරිත ආකල්ප දරන උතුම් මිනිසකු බව ලංකාවේ විහින් මවාගත් හීනමානයෙන් පෙළෙන අධ්‍යාත්මික අන්ත දිළින්දන් වටහා ගන්නේ කවදාද....?



අනෙක් අතට, ලංකාව වැනි 'සදාකල්හි පීඩිත බවින්' මිදීමට අවස්ථාවන් විරල නොවන සමාජයකට උග්‍ර සමාජවාදයේ අවශ්‍යතාව තදින් නොදැනේ. සමාජවාදයේ උපත සිදුවූ රටවල එකළ තිබූ වාතාවරණයට සලකා බැලුවහොත්, පීඩිතයාට එම තත්ත්වයෙන් මිදීමට කිසිදු අවකාශයක් නොතිබූ  බව පැහැදිලිය. එනම් විප්ලවය යනු පෙළෙනු ලැබෙනු ජනතාවට මුග්ධ පාලකයින් ඉතිරි කළ එකම විකල්පයයි.
එහෙත් ඒ වෙනුවට තෝරාගත හැකි විකල්ප රාශියක් අප සමාජයේ පවතී. ප්‍රධානතම මාර්ගය නම් නිදහස් අධ්‍යාපනයයි. අන්ත පීඩිත ජීවන තත්වයේ සිට ඉහළ මධ්‍යම පන්තිය දක්වා සංක්‍රමණය වීමට රටේ ඕනෑම කෙනෙකුට මෙමගින් මං අසුරා නොමැති බවට ඕනෑ තරම් අප සමාජයේ සාධක ඇත. මේ ලියන ම'පියාගේ ඉතිහාසයද එසේය.
හැමෝම ඒක සේම ඉගෙනුමට දක්ෂයින් නොවිය හැකිය. එහෙත්, රටේ සමෘධිමත් ව්‍යාපාරිකයින් බහුතරයකගේ ජීවිත අන්දරය ගෙන බැළුවහොත්, ඔවුන්ගේ ආරම්භය අන්ත දුගී, අසරණ පැල්පත බව පසක් වේ.

ඒ අනුව බලන කල්හි, 'අපි සදා පීඩිතයෝ, මෙන්න අපිව සූරා කනවෝ' යයි මොරදෙන සාතිශය බහුතරය (සෑබෑ මානව දයාවෙන් තෙත් වූ හදවත් ඇති උගත්, අවබෝධයෙන් යුත් සමාජවාදීන්ද ඉතා කලාතුරකින් නැතුවා නොවේ.) සිය නොහැකියාව නම් නිරුවත වසා ගැනීමට සමාජවාදය නම් අමුඩය යොදා ගන්නා බව සක්සුදක් සේ පැහැදිළි යථාර්ථයකි. මා පෞද්ගලිකව දන්න මෙවැන්නන්ගෙන් බහුතරය, තමන්ගේ දුර්වලතා හේතුවෙන්ම සිය අරමුණු වලට ළඟාවීමට නොහැකි වූවන්ය. මොවුන් සිය අඩුපාඩුව පිරිමසා ගන්නේ තමන් මේ තත්වයට පත්වීමට මුළුමහත් සමාජයම වගකිව යුතුබවට අභූත චෝදනා නගමින්, ස්වෝත්සාහයෙන් ඒ අභියෝග ජයගත් අයට ඊර්ෂ්‍යා කරමින්, එවැන්නන්ට එසේ වන්නට දිරිදුන් සමාජයට වෛර කරමිනි. 
මේ දුෂ්ඨ ප්‍රවාහයට, එනම් සාධාරණයෙන් යමක් කමක් උපයාගත් අය හෙළා දැකීමට දිරිදෙනු වෙනුවට උපේක්ෂාව ප්‍රගුණ කරන්නට, උත්සාහවන්ත වීමට ඔවදන් දෙන බුදුදහම ප්‍රමුඛ අවිහිංසාවාදී ආගම්, මෙවැන්නන්ගේ වෛරයට පාත්‍ර වීම මෙවන් සන්දර්භයක් තුළ අරුමයක් නොවේ.

ඕනෑම දර්ශනයක් බාගෙට හදාරා, එයින් අපරිණත (immature) නිගමන වලට එලඹෙන අයට මා කියන්නේ දාර්ශනික නූගතුන් කියාය. මෙවැන්නන්ට අනුකම්පා කිරීම හැර වෙන කුමක් කරන්නද...?  


* ඇල්බට් අයින්ස්ටයින් යනු නූතන මනව ඉතිහාසයේ පහළ වූ බුද්ධිමත්ම මිනිසා ලෙස අවිවාදිතව පිළිගැනේ. සාමාන්‍ය මිනිසකුගේ බුද්ධි ඵලය 100ක් වෙද්දී, ඔහු එම අගය 130කට හිමිකම් කියයි. බුදුදහම පිළිබඳව ඔහුගේ අදහස බලන්න.
"The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism."
-Albert Einstein

බර්ට්‍රන්ඩ් රසල් යනු 'කළුකුම් න්‍යාය' මගින්, සියවස් ගණනක් පැවති නිරීක්ෂණ මගින් විද්‍යාත්මක සෛධාන්ත ව්‍යුත්පන්න කිරීමේ ක්‍රමවේදය නිවැරදි නොවන බව පෙන්වා දුන්, විදු ලොව මහත් පෙරළිකාර විප්ලවයක් කළ මහා විද්‍යාඥයෙකි. ඔහු බෞද්ධ දර්ශනය ගැන ගැඹුරු අධ්‍යයනකින් පසුව කරන ලද ප්‍රකාශයක් මෙන්න:
"Buddhism is a combination of both speculative and scientific philosophy. It advocates the scientific method and pursues that to a finality that may be called Rationalistic. In it are to be found answers to such questions of interest as: 'What is mind and matter? Of them, which is of greater importance? Is the universe moving towards a goal? What is man's position? Is there living that is noble?' It takes up where science cannot lead because of the limitations of the latter's instruments. Its conquests are those of the mind."
-Nobel-prize winning philosopher Bertrand Russell

පරමාණුක ආකෘතිය සොයාගත් නීල්ස් බෝ(ර්) :
"For a parallel to the lesson of atomic theory...[we must turn] to those kinds of epistemological problems with which already thinkers like the Buddha and Lao Tzu have been confronted, when trying to harmonize our position as spectators and actors in the great drama of existence."
-Niels Bohr, who developed the Bohr Model of the atom

බෞද්ධ දර්ශනයේ සත්‍යභාවය වටහා ගැනීමට බටහිර විද්වතුන් පෙන්වාදිය යුතු නොවේ. මා ඉන් අදහස් කළේ, විවෘත මනසක් හා විචාර බුද්ධියක් දරන ඕනෑම කෙනෙකුට එය ගෝචර වන බවයි.

6 comments:

  1. Hi Suneth, You are a good writer. You better write a book buddy. Good Luck.

    Ashoka

    ReplyDelete
  2. නොදු‍ටු මුත් කා(ර්)ල් මාර්ක්ස් තවමත්, දු‍ටුවෙමි විදු ඇසින් දු‍ටු බුදු දහම. ඔබට තුති.....

    ReplyDelete
  3. "සැබෑ සමාජවාදියා, සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාව පදනම් කරගත් වෛරී සිතුවිල්ලෙන් නිරන්තරයෙන් දැවෙමින් සිටින කුහකයෙකු නොව, සමාජයට දැඩි ලෙස කරුණාභරිත ආකල්ප දරන උතුම් මිනිසකු බව ලංකාවේ විහින් මවාගත් හීනමානයෙන් පෙළෙන අධ්‍යාත්මික අන්ත දිළින්දන් වටහා ගන්නේ කවදාද....?" supiri

    ReplyDelete
  4. ඔබ පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද? පොතේ ගුරුන් පමණයි අපට සමාජයේ දකින්න ලැබෙන්නේ. අපට ඉදිරියේ පෙනී සිටින්නේ ඔබක් එක්ගරි එවන් අයෙක් පමණයි හොස විවේචකයෙක් එහෙත් නුබටවත් තෘප්තිමත් වූ ජීවිතයක් නැති බව අවංතව පිළිගත යුතුයි එය බෞද්ධ දර්ශනය හා පමණක් ගලපා ගැනීම නොකළ යුතුයි. මොකද මාර දර්ශනයක්නම් ලෝකය අද තත්වයේ පැවතීම ගැන තණගාටුවට කරුණක් ඔබ මහපොලෙොවෙහි පය තබා අදහස් දක්වනවානම් හොදයි.

    ReplyDelete
    Replies

    1. "සැබෑ සමාජවාදියා, සමාජය කෙරෙහි ඊර්ෂ්‍යාව පදනම් කරගත් වෛරී සිතුවිල්ලෙන් නිරන්තරයෙන් දැවෙමින් සිටින කුහකයෙකු නොව, සමාජයට දැඩි ලෙස කරුණාභරිත ආකල්ප දරන උතුම් මිනිසකු බව ලංකාවේ විහින් මවාගත් හීනමානයෙන් පෙළෙන අධ්‍යාත්මික අන්ත දිළින්දන් වටහා ගන්නේ කවදාද....?

      Delete